IMG-LOGO

2024 අප්‍රේල් මස 13 වන සෙනසුරාදා


මූල්‍ය පාලනය අනාගැනීම

කෝප් යනුවෙන් සාමාන්‍යයෙන් කෙටියෙන් හැඳින්වෙන රාජ්‍ය ව්‍යාපාර කාරක සභාව මේ වනවිට අර්බුදයකට මුහුණ දී තිබේ. සාමාජිකයන් තිස් දෙනකුගෙන් සමන්විත එම සභාවට පත් කරනු ලැබූ සාමාජිකයන් එකොළොස් දෙනකු මේ වනවිට ඉල්ලා අස්වීම ඊට හේතුවයි.

එම සභාවේ නව සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත් කිරීමට එරෙහිව මෙම මන්ත්‍රීවරු මෙසේ ඉල්ලා අස්වී සිටිති. ඔවුන් අතර පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී මේ වනවිට එම පක්ෂයෙන් ඈත්වී සිටින මන්ත්‍රීවරු ද වෙති.

පාර්ලිමේන්තුවේ මෙවැනි කමිටුවලට හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ඒවායේ සභාපතිවරුන් වැඩි ඡන්දයෙන් පත් කෙරෙන හෙයින් සාමාජිකත්වයේ බහුතරය තමන්ගේ වන හෙයින් එම සභාපතිධුරය ද තම පක්ෂයටම ලබා ගැනීමේ හැකියාව ආණ්ඩු පක්ෂයට ලැබේ. එහෙයින් වැරැදි පත්වීමකදී ද එහි වගකීම පැවරෙන්නේ ආණ්ඩු පක්ෂයටය.

ඒ අනුව රෝහිත අබේගුණවර්ධන මහතා පත් කිරීමේ වගකීම ද පැවරෙන්නේ පොදුජන පෙරමුණටය. තම ඉල්ලා අස්වීමට හේතු දක්වමින් ඇතැම් මන්ත්‍රීවරුන් පවසා තිබුණේ බොහෝ චෝදනාවලට ලක් වූ පුද්ගලයකු සභාපති ධුරයට පත් කිරීම නිසා තමන් ඉල්ලා අස්වන බවය.

එහෙත් චෝදනා එල්ල වුවද අබේගුණවර්ධන මහතා අධිකරණයකින් වරදකරුවකු ලෙස තීරණය කොට නැතැයි පොදුජන පෙරමුණ තර්ක කළ හැකිය. මීට පෙර අධිකරණවලින් වරදකරුවන් කරනු ලැබූ ප්‍රසන්න රණතුංග හා ප්‍රේමලාල් ජයසේකර වැනි අයට මැතිවරණවල දී නාම යෝජනා දීම ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීම වැනි කරුණුවල දී එම පක්ෂය ඉදිරිපත් කළ තර්කය ද එයයි. එනම් ඔවුන් එම අධිකරණ තීන්දුවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කොට ඇති බවත්ය. එසේ වුවද කෝප් කමිටුවෙන් තම ඉල්ලා අස්වීම ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශයට පත් කළ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික   ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කෝප් කමිටුවේ නව සභාපතිවරයා පිළිබඳව ඇති සමාජ පිළිගැනීම ද සලකා බලා එම පත්වීමට විරෝධය පා තමන් ද එම කමිටුවෙන් ඉල්ලා අස්වන බවය.

මෙම ලිපිය ලියන මොහොත වන විට ඉල්ලා අස් වූ මන්ත්‍රීවරුන් වූයේ ඉරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ, මහාචාර්ය චරිත හේරත්, එස්.එම්. මරික්කාර්, හේෂා විතානගේ, ශානක්කියන් රාසමානික්කම්, අනුර කුමාර දිසානායක, දුමින්ද දිසානායක, වසන්ත යාපා බණ්ඩාර හා ඩිලාන් පෙරේරා යන අයයි.

 කෙසේ වෙතත් එවැනි ඉල්ලා අස්වීම් මැදම රාජ්‍ය ව්‍යාපාර කාරක සභාව, එහි සභාපති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා පළමු වතාවට රැස්විය. ඝනපූර්ණය පිළිබඳ ප්‍රශ්නයක් නොවූ හෙයින් එය නීති විරෝධි නොවේ. එහෙත් තවදුරටත් එසේ වන්නේ නම් ජනතාව හමුවේ එම කමිටුවේ කටයුතුවල පිළිගැනීම හා සුජාතභාවය පිළිබඳ ප්‍රශ්න මතුවිය හැකිය.

සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ එය ආණ්ඩු පක්ෂයට විපක්ෂයට කළ අභියෝගයක් බවය. ඔහු එය හිටපු සභාපති මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා හා සම්බන්ධ සිද්ධියක් සමග සම්බන්ධ  කළේය.

 පසුගිය නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන්ගෙන් කෝප් කමිටුව හමුවේ සාමාජිකයන් ප්‍රශ්න කරන අවස්ථාවක දී මහාචාර්ය බණ්ඩාර මහතා කළ හස්ත සංඥාවක් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඒ අනුව ඔහු කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි විපක්ෂය කියා සිටියේය. ‘‘රංජිත් බණ්ඩාර හොඳ නැත්නම් අපි පත් කරනවා රෝහිත වගේ කෙනෙක්’’ යන  අභියෝගයෙන් පොදුජන පෙරමුණ අබේගුණවර්ධන මහතා පත්කොට ඇති බව දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ  කළේය.

එසේ වුවද ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්වීමට හේතු වූ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් එම පෙරමුණේ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් හා ඔවුන් ක්‍රියා කළ අන්දම දෙස යළි හැරී බැලීමේ දී අබේගුණවර්ධන මහතා හා එම පෙරමුණේ අනෙක් මන්ත්‍රීවරුන් අතර වෙනසක් තිබේද යන ප්‍රශ්නය මතුවේ.

එම මන්ත්‍රීවරුන් අතර  ආචාර්ය, මහාචාර්යවරුන්ද වූ අතර ඇතැමුන් එසේ ආචාර්ය, මහාචාර්යවරුන්  වූයේ ආර්ථික විද්‍යාවට අදාළවය. එසේ වුවද ඔවුන්ගේත් අබේගුණවර්ධන මහතාගේත් අදහස් හා ක්‍රියාවල වෙනසක් දක්නට තිබුණේ නැත. එහෙයින් අබේගුණවර්ධන මහතා සභාපතිධුරයට පත් කිරීමට විරුද්ධ වීමටත් පොදුජන පෙරමුණේ වෙනත් මන්ත්‍රීවරයකු පත් කිරීමට විරුද්ධ නොවීමටත් හේතුවක් නැතැයි ද තර්ක කළ හැකිය.

රට බංකොලොත් භාවයට පත්වීමට ප්‍රධාන කාරණා හතරක් බලපෑ බව පොදු පිළිගැනීමයි. 2019 දී කරන ලද මහා පරිමාණ බදු කප්පාදුව, රසායනික පොහොර ආනයනය තහනම් කිරීම, ඩොලරය රුපියල් 203 සීමාවේ රඳවා ගැනීම සඳහා විදේශ සංචිත වෙළෙඳ පොළට මුදා හැරීම හා අවශ්‍යතාව පැන නැග බොහෝ කලක් ගත වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම එම කරුණු හතරයි. රට බංකොලොත්භාවයට පත් කිරීම පිළිබඳ නඩුවේ තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ද ප්‍රධාන වශයෙන් පෙන්වා දී ඇත්තේ මෙම කරුණුයි.

2019 නොවැම්බර් මාසයේ දී බලයට පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම  මාසයේදීම මහා පරිමාණ බදු කප්පාදුවක් ප්‍රකාශයට පත් කළේය. එමඟින් ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 650ක් පමණ (රුපියල් කෝටි 65,000ක් පමණ) අහිමි වනු ඇතැයි ඒ දිනවලම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පැවසීය. ඒ අනුව මෙය ඒ දිනවල රාජ්‍ය ආදායමින් තුනෙන් කොටසක් පමණ අහිමි කර ගැනීමකි.

නව ආණ්ඩුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ පළමු පුවත්පත් සාකච්ඡාවේ දී එවක කැබිනට් ප්‍රකාශක වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙසේ බදු ප්‍රමාණය අඩු කිරීම මගින් බදු පදනම පුළුල් වී  බදු ආදායම වැඩිවනු ඇති බවත්, රටේ නිෂ්පාදනය ඉහළ ගොස් ආර්ථිකය ශක්තිමත් වනු ඇති බවත්ය.

ගුණවර්ධන මහතා මහාචාර්ය රංජිත් බණ්ඩාර මෙන්ම ආර්ථික  විද්‍යාව උගත් අයෙකි. ආර්ථික විද්‍යාව උගත් තවත් අය ද පොදුජන පෙරමුණේ සිටියහ. ඒ කිසිවෙක් මෙම බදු කප්පාදුවෙන් ඇති විය හැකි ප්‍රතිඵල පිළිබඳව ආණ්ඩුවට අනතුරු ඇඟවූයේ නැත. එක්කෝ ඔවුනට මෙහි ආදීනව පිළිබඳ අවබෝධයක් තිබුණේ නැත. නැත්නම් එවැනි අවබෝධයක් තිබුණ ද තම තනතුරු රැක ගැනීම සඳහා ඔවුහු අනතුරු ඇඟවීම වෙනුවට එය අගය කළහ. ඉදින් ඒ උගතුන් එදා කළේ ද අබේගුණවර්ධන මහතා එදා කළ දේමය. එසේ නම් එකකුගේ පත්වීම පිළි ගැනීමටත් තවකකුගේ පත්වීමට විරුද්ධවීමටත් හේතුවක් නැතැයි තර්ක කළ හැකි නොවේ ද?

රටේ විදේශ විනිමය තත්වය නරක අතට හැරෙත්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටි අඩියේම 2021 මැයි මාසයේ දී රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කළේය. මෙය ක්ෂණිකව කළ හැකි දෙයක් නොවන බවත් මෙම තීරණය මගින් ඉතා භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් කෘෂි විද්‍යාඥයෝ ජනමාධ්‍ය මගින් පෙන්වා දුන්හ. පොදුජන පෙරමුණේ ප්‍රධාන ඡන්ද පදනම වූ ගම්බද ගොවි ජනතාව මෙම තීරණයට එරෙහිව රටපුරා උද්ඝෝෂණය කරන්නට වූහ. එවිට කෘෂිකර්ම ඇමැති වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විරුද්ධ පක්ෂයේ උසි ගැන්වීම් නිසා ගොවීන් උද්ඝෝෂණය කරන බව කීවේය. ජනාධිපතිවරයා ද එය පිළිගෙන විරුද්ධ පක්ෂවලට දොස් නැඟීය.

ජනාධිපතිවරයා  ප්‍රශ්නයේ බරපතළ බව හා තම තීරණයේ වරද තේරුම් ගත්තේ වසරකට පසු හා කන්න දෙකක වගාවට විශාල වශයෙන් හානි සිදුවූ පසුය. 2022 අප්‍රේල් 18 වැනිදා නව ඇමැති මණ්ඩලයක් පත්කොට එම ඇමැතිවරුන් අමතා කතා කරමින් ඔහු පොහොර ආනයනය තහනම වරදක් බව පිළිගත්තේය. එතෙක් ආර්ථිකය ගැන අවබෝධයක් ඇතැයි කියන මන්ත්‍රීවරු පමණක් නොව ගම්බද දිස්ත්‍රික්කවලින් තේරී පත් වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පවා පොහොර ආනයන තහනම වරදක් ලෙස ප්‍රසිද්ධියේ කීවේ නැත. පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවල දී හෝ ඔවුන් එය කී බවත් වාර්තා වූයේ නැත.

ආණ්ඩුව 2021 දී වේගයෙන් ඉහළ යන ඩොලරයේ අගය රුපියල් 203හි රඳවා ගැනීමට අදහස් කළේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සඳහාය. එහෙත් එමඟින් විදේශ සංචිතයෙන් ඩොලර් බිලියන 5.5ක් නාස්ති වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ පසුගිය වසරේ කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළාය. එම මුදල ශ්‍රී ලංකාවේ වසරක තෙල් ආනයනය සඳහා වැයවන මුදලට ආසන්න මුදලකි.  මෙයද 2021 රෝහිත අබේගුණවර්ධන මහතා හෝ පොදුජන පෙරමුණේ ආර්ථික විද්‍යාව දන්නා මන්ත්‍රීවරුන් හෝ පෙන්වා දීමට ඉදිරිපත්  නොවූ කරුණකි.

විශාල විදේශ ණය අර්බුදයක හා විදේශ විනිමය අර්බුදයක් ළඟ එන බවත් ඊට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම හැර වෙනත් විකල්පයක් නැති බවත් විපක්ෂයේ බොහෝ දෙනා 2021 දීම පෙන්වා දුන්හ. තමන් එය 2020 දීම පෙන්වා දුන් බව සමහරු පවසති. එහෙත් 2022 මාර්තු මැදදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අරමුදලේ සහාය පතන තෙක් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එවැන්නකට සහාය පළ කළේ නැත.

වෙනෙකක් තබා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් උද්ධමනය වැඩි නොවන බව මහ  බැංකුවේ  හිටපු අධිපතිවරයකු පැවසූ විට එය හෝ නිවැරැදි කරන්නට පොදුජන පෙරමුණේ ආර්ථික විද්‍යාව දන්නා මන්ත්‍රීවරුන් ඉදිරිපත් වූයේ නැත. එහෙයින් කෝප් කමිටුවට නායකත්වය දීමේ දී අබේගුණවර්ධන මහතා හා තමන්ගේ අනෙක් මන්ත්‍රීවරුන් අතර වෙනසක් නැතැයි පොදුජන පෙරමුණේ නායකයන් සිතුවේ නම් එය සාධාරණය.

ඉදිරියට ද ආණ්ඩුවේ කටයුතු දෙස විචාරාක්ෂියෙන් යුතුව බලන්නට එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැකිවේ ද යන්න ගැටලුවකි. වෙනත් පක්ෂයක පාලනයකදී එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ද මේ තත්වයට පත්විය හැකිය. පාර්ලිමේන්තුවේ මූල්‍ය කටයුතු පිළිබඳ කමිටුවල නායකත්වය විපක්ෂයට දිය යුතු යැයි බොහෝ දෙනා තර්ක කරන්නේ එහෙයිනි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (2)

මූල්‍ය පාලනය අනාගැනීම

NIMAL Saturday, 23 March 2024 09:07 PM

පාර්ලිමේන්තුව තුළ දේශපාලකයින්ගේ හැසිරීම නිසා කලකිරී සිටිනා රටේ පුරවැසියන් COPE / COPA කමිටු පිළිබඳව විශ්වාසයක් හෝ උනන්දුවක් නොමැත...

:       0       2

Bandara Tuesday, 02 April 2024 10:31 PM

ඔක්කෝම තොලොංචි වෙලා යන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 466 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 60 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 52 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 540 0

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


පාතාලයට අවි සපයන්නන් අල්ලා දඬුවම් දිය නොහැකිද?
2024 අප්‍රේල් මස 10 170 0

පාතාලයන්ට මෙතරම් අවි කොහෙන් ද? මේ ඉකුත් සමයේ නිතර නිතර කතා බහට ලක්වූ මාතෘකාවකි. අන්ධයා අලියාගේ ස්වරූපය කියා පෑ හැටි සිහිපත් කෙරෙන උත්තර ඒවාට ලැබුණා මිස


ආර්ථිකය යුගයට ගැලපීම
2024 අප්‍රේල් මස 10 99 0

ණය ආපසු ගෙවීම නතරකර වසර දෙකක් ගත වී තිබේ. දරුණු අර්බුදයකට පත්ව තිබුණ ශ්‍රී ලංකාව තරමක් හිස ඔසවා සිටී. ඉන්ධන, විදුලිය සහ ගෑස් බාධාවකින් තොරව සැපයේ. ජනතාව ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 93 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1332 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1292 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site