සත්ත්වවේදීන්ට අනුව මිනිසා හා මදුරුවා හැර අන් සියලූ සතුන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටී. කිඹුලා සිටින්නේ ඒ අතුරින් ඉදිරියෙනි. මිනිස් කි‍්‍රයාකාරකම් වැඩිවෙත්ම කිඹුලන්ගේද වාසස්ථාන අහිමිවෙමින්, උන්ගේ ජීවිත ද විනාශ වෙමින් තිබේ. රාගම-වනාත කළුඇළ ප‍්‍රදේශයේ තණකොළ කැපීමට පැමිණි පෑලියගොඩ පදිංචිකරුවකු වූ සෙබස්තියන් අංජන උදයකුමාර (36) දෙදරු පියාද කිඹුලකුට බිලිවිය. පසුව මිනිසුන් විසින් එල්ල කරන ලද ප‍්‍රහාරවලින් කිඹුලා ද මිය ගියේය. ඒ සිදුවීමට සති දෙකක් ගතවීමට පෙර ගම්පහ-කළුපාලම අසළ අත්තනගලූ ඔයට වැටෙන ඇළ මාර්ගයක සිටි කිඹුලෙක්ද අල්ලා ගත්තේය. ඒ පසුගිය 11 වැනිදාය. උරග හා උභයජීවී පදනමේ සභාපති මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතාට අනුව මෙරට කිඹුල් වර්ග දෙකකි. ඒ ‘හැල’ කිඹුලා හා ‘ගැට’ කිඹුලාය. ගැට කිඹුලන්ගෙන් විශාලම සතුන් අඩි 18 ත් 20 ත් අතර දිගකින් යුක්තය. ලංකාවේ මෙතෙක් සොයාගන්නා ලද ගැට කිඹුලන් දෙදෙනා පසුගිය වසරේදී කළුතර ප‍්‍රදේශයේදී සොයාගත් අතර උන්ගේ දිග අඩි 17 1/2 ක් පමණ විය. එම කිඹුලන් දෙදෙනා වෙනත් පරිසරයකට මුදාහරිනු ලැබිණි. මෙවැනි විශාල කිඹුලකු හෝ මිනිසුන් මරා කෑම සඳහා නොපැමිණෙයි. මිනිසුන්ව කිඹුල් ප‍්‍රහාරයට ලක්වන්නේ කිඹුලන් මිනිස් වාසස්ථානයකට පැමිණීමෙන් නොව කිඹුලාගේ වාසස්ථානය මිනිසා ආක‍්‍රමණය කළ පසුවය. කිඹුලාගේ සාමාන්‍ය ආහාරය වන්නේ කුඩා සතුන්ය. ඉබ්බන්, මාළුන්, ගිල දමන කිඹුල්ලූ කලබලකාරී හා බඩගිනි අවස්ථාවලදී මිනිසුන් ආහාරයට ගැනීමට උත්සාහ කරති. කිඹුලා මාංශ භක්‍ෂක සතෙකි. මළකුණු මෙන්ම පණ ඇති සතුන් මරා මස්කන කිඹුලා මස් සඟවා තබා පසුවට ද ආහාරයට ගනී. කිඹුලාගේ විශාලත්වය අනුව උගේ ආහාරවේල වෙනස් වේ. ශරීරය විශාල කිඹුලන් ලොකු සතුන්ද, කුඩා ශරීරයකින් යුත් කිඹුලා කුඩා සතුන් වශයෙන්ද ආහාර ඩැහැ ගනී. ගැට හා හැල කිඹුලන් අතුරින් වඩා කලබලකාරී වන්නේ ගැට කිඹුලාය. වනසත්ව හා වෘක්‍ෂලතා පනතට අනුව මෙවැනි සතකු ඝාතනය කිරීම, ළඟතබා ගැනීම සපුරා තහනම්ය. වදහිංසා පැමිණවීමද ඊට ඇතුළත්ය. රාගම-කළුඇළේදී හමුවූ කිඹුලා අඩි 15ක පමණ දිගකින් හා උදරය වට අඩි 8 ක් පමණ විශාල සතෙකි. මස් කැබැල්ලකට අමුණා තබන ලද යකඩ කොකු උගුලක් උගේ උගුරේ සිරවීම නිසාත්, හිසට එල්ල කරන ලද පොරෝ පහරකින් උගේ හිසට ඇති වූ බරපතල තුවාල නිසාත් කිඹුලා මිය ගියේය. රාගම හා ගම්පහ ප‍්‍රදේශවලින් ජනතාව විශාල වශයෙන් ගැවසෙන නිවාස ආශි‍්‍රතව කිඹුලන් දෙදෙනකු පසුගිය දෙසතිය තුළදී හමුවීම තම ජීවිත වලට තර්ජනයක් බව එම ගම් වැසියෝ පවසති. තවත් කිඹුලන් කිහිපදෙනකු මේ අවට ගැවසිය හැකි බවද ඔවුහු අනතුරු හඟවති. අලි මිනිස් ගැටුම තරම්ම වන්නට මිනිස් කිඹුල් ගැටුම විශාල නොවෙතත්, එවැනි ගැටුමක් නිර්මාණය වෙමින් පවතී. ගැට කිඹුලාගේ නිජබිම වන්නේ තෙත් කලාපයයි. වියළි කලාපයට ආවේණික වන්නේ හැල කිඹුලාය. මේ දෙවර්ගයට ඒ ඒ ප‍්‍රදේශ තුළ ජීවත්වීමට ඉඩදීම මිනිසා සතු පරම අයිතියකි, යුතු කමකි. පසුගිය 27 වන දින සවස රාගම ප‍්‍රදේශයේ වගුරු බිමක තණ කොළ කැපීමට ගිය පුද්ගලයකු ඩැහැගෙන ගොස් ඇති විශාලතම අඩි 15 ක් දිග ගැට කිඹුලා ඉකුත් 08 වැනි දින රාගම වගුරු බිමකදී උගුල් අටවා අල්ලාගෙන තිබුණි. ඒ අවස්ථාවේ කිසියම් පිරිසක් ඌට දැඩි ලෙස පහරදීම නිසා ඌ තුවාල වී අසාධ්‍ය තත්ත්වයෙන් වනජීවී නිලධාරීන් හරහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත ප‍්‍රතිකාර සඳහා රැගෙන එන නමුදු එදින සවස 5.30 වන විටත් කිඹුලා මිය ගොස් ඇත. මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය දෙහිවල ජාතික සත්වෝද්‍යාන පශු වෛද්‍ය ජගත් ජයසේකර විශේෂඥ පශු වෛද්‍ය ඞී.එස්. කොඩිකාර මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කරනු ද ලැබ ඇත. ඒ සම්බන්ධයෙන් පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා මෙසේ කීය. රාගම ප‍්‍රදේශයේ තරුණ පිරිසක් විසින් උගුල් අටවා අල්ලා ගන්නා ලද අඩි 15 ක් දිග විශාල කිඹුලා බරින් කිලෝ 850 ක් පමණ වනවා. කිඹුලා රැගෙන එන විටත් උල් ආයුධයකින් ඇනීම නිසා හිස මුදුනේ අඟල් 4 ක පමණ ගැඹුරට කිඳාබැසී තුවාලයක්ද තිබුණා. උගුරේ හිරවී තිබූ ගිලින ලද යකඩකූරු ඇම නිසා උගුර දැඩි ලෙස තුවාලවී තිබුණා. ආසාධනයටද ලක් වී තිබුණ මේ තත්ත්වය මත සත්වයා මිය ගොස් ද තිබිණ. උදරය කපා විවර කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී පසු ගියදා ගිල දැමූ පුද්ගලයාගේ කකුලක හා අතක අස්ථි කොටස් ද තිබූ අතර ඒ කොටස් ඉවත්කර සීල්කර රාගම පොලීසිය වෙත පරීක්‍ෂණ කටයුතුවලට යැවීමට කටයුතු කළා. උදරයේ තිබියදී ගවයන්ගේ කුර, බල්ලන්ගේ නියපොතු සහ අස්ථි කොටස්, ඉබිකටු, පොලිතින් උර විශාල ප‍්‍රමාණයක්ද තිබී ඉවත් කරනු ද ලැබුවා. ඒ අනුව මේ සත්වයා දුර්ලභ ඝණයේ විශාල ගැට කිඹුලකු ද නිසා හම සමඟ නැවත පුරවා සත්වෝද්‍යාන කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනයට තැබීමට අධ්‍යක්‍ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි කටයුතු කරගෙන යනවා. ඒ මහතා සඳහන් කළේය.
දොම්පේ- අජිත් මදුරප්පෙරුම සහ දෙහිවල එච්. එම්. ධර්මපාල
රාගම- කළු ඇළෙන් ඇල්ලූ කිඹුලා ගම්පහ - කළු පාලම අසළින් ඇල්ලූ කිඹුලා