මා සෑම විටම මරණයෙන් බේරී ඇත්තේ අනූ නමයෙනි. මගේ මව් බිමෙන් සැතැපුම් ලක්‍ෂ ගණනාවක් ඈත නැගෙනහිර අප‍්‍රිකාවේ ටැන්සානියාවේ දී වනජීවී කළමනාකරණ පුහුණුව ලබමින් සිටි වකවානුවේ ‘අභියෝග ජයගැනීම’ පාඨමාලාවේ දී මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උසින් පිහිටා ඇති කිලිමන්ජාරෝ වනාන්තර ප‍්‍රදේශයේ දී ටැන්සානියානු යුද හමුදා කැප්ටන් කපායා අපට නියම කළේ තනිවම ගිනි අවියක් නොමැතිව රාත‍්‍රී 02 එනම් දින 03ක් ගසක් යට ගත කළ යුතු බවය.

 

පහරදීමට හඹා එන අලියකු වන සත්ව නියාමක සුජීව විසින් නතර කරලීම (යාල වනෝද්‍යානයේදී)

 

අපට ලැබුණේ සීමිත අමුද්‍රව්‍ය ආහාර ස්වල්පයකි. මා සිටියේ තනිවම දැවැන්ත ඇකේෂියා (Accacia) ගසක් පාමුලය. හුදෙකලාව සිටි මම ඊළඟ සගයා සිටින්නේ කොහිදැයි දැන නොසිටියෙමි. එදින අලූයම මගේ කැන්වස් ඇඳ අසලටම කිසිත් නොදැන සංක‍්‍රමණය වූ අප‍්‍රිකානු අලි රංචුවෙන් බේරුනේ හාස්කමකින් මෙනි. එම අවස්ථාවේ මා පියවි ඇසින් නොසිටින්නට මේ වන විට මා මියගොසිිනි.

මන්ත‍්‍ර බලයෙන් හඹා එන වන අලින් නතර කරලීම
මිනිසාට පහර දීමට හඹා එන අලින් මන්ත‍්‍ර බලයෙන් නතර කරලීමේ අභියෝගය මැනවින් ඉටු කරන්නේ දකුණු ප‍්‍රදේශයේ සේවය කරන වනජීවී සේවකයින් බව උතුරු, නැගෙනහිර හා මධ්‍යම වනජීවී ප‍්‍රදේශවල අස්සක්xමුල්ලක් නෑර රාජකාරි සිදුකොට ඇති මගේ පෞද්ගලික නිරීක්‍ෂණයි. වසර 1971 ජේ.වී.පී. භිෂණය සමයේ දී ස්වේච්ඡා යුද හමුදා නිලධාරීන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරන ලද කතරගම රූප සුන්දරිය පේ‍්‍රමවතී මනම්පේරී ගේ පියා අති දක්‍ෂ මන්ත‍්‍ර ගුරුකම් සිදු කළ වනජීවී නිලධාරියකු බව, ඔහු මා හමුවූ දිනවල මා සමග පවසා තිබේ. මා අම්පාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ හැටියට සේවය කළ වකවානුවේ මගේ නිල ජීප් රථය පැදවූයේ ඔහුගේ පුතකු වූ කරුණාදාස මනම්පේරිය.

දිනක් කරුණාදාස මනම්පේරි ඇමතූ මම’’ කරුණාදාස.. මම අහලා තිබෙනවා.. ඔයාගේ තාත්තා හඹා එන අලින්ට... ලේxබඩයන්න මතුරනවා කියලා.... ඒ ගුරුකම් කොහෙන්ද එයාට ලැබුණේ... ’’ යයි විමසුවෙමි. ඊට පිළිතුරු දුන් කරුණාදාස
‘‘ඇයි සර්... තාත්තා පානම වැඩ කළානේ දිගු කාලයක්. ඒ පළාතෙම ගෙදරක.. පදිංචිකරුවෙකුගෙන් තමයි ඒවා ලැබිලා තිබෙන්නේ. පුළුවන් නම් සර් කොහොම හරි තාත්තගෙන් ඒවා ටික ගන්න’’ යයි ඔහු මට කීය.

 

යාල වනෝද්‍යානයේදී වනසත්ව නියාමක හෙන්දිරික් අප්පුහාමි විසින් හඹා එන අලියකු නතර කරලීම.

 

පානම වනාහි වන අලින් බහුලව වෙසෙන නැගෙනහිර වෙරළට නුදුරු ගම්මානයකි. ‘පානම’ පසුකොට සැතපුම් විසි පහක් යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය තුළට ගිය තැන ‘කුමන’ පුරාණ ගම්මානය හමුවෙයි. කිට්ටු සබඳතාවයක් පැවති මෙම ගම්මාන දෙකෙහි විසූ පැරණි ගම්වාසින් දක්‍ෂ ගුරුකම් කාරයින් වූහ. ‘කුමන’ ගමේ ඉපිද හැදී වැඩුනු කේ. ඬේවිඞ් කලක් යාල උද්‍යානයේදී මා යටතේ සේවය කළ එහෙත් සොහොයුරකු ලෙසින් මම ආශ‍්‍රය කළ වනසත්ව නියාමක (පසුව අඩවි සහකාර) නිලධාරියෙක් විය. ඔහු දැන සිටියා වූ වන සතුන් මෙල්ල කළ හැකි මන්ත‍්‍ර මා ඔහුගෙන් ඉල්ලා සිටි විට ඔහු මා සමඟ කියා සිටියේ ඒ මන්ත‍්‍ර මගෙන් ගන්නවාට වැඩිය හොඳයි.. මම ඒවා දීපු කෙනෙකුගෙන් ගන්න.. ඔහු මට කීය. ‘‘ ඒ ඇයි?’’ මම විමසුවෙමි... එවිට ඬේවිඞ් මට කියා සිටියේ  ‘‘එහෙම ඉල්ලගත්තම.. බල වැඩියි.. ඒ නිසා සර්ගෙ යාලූවා ලක්‍ෂමන් නෙත්ති කුමාර (මියගොස් සලාකා සමූහ ව්‍යාපාරය - කොළඹ) මහත්මයාගෙන් ඉල්ලා ගන්න.’’ ඔහු ද මට ඒවා ලබාදුන්නේ කිහිප වතාවක් පෙරැත්ත කිරීමෙන් අනතුරුවය. ඬේවිඞ්, ලක්‍ෂමන් නෙත්ති කුමාර සහ මා කුළුපග මිතුරන් ය. විවිධ අයගෙන් ලැබුණු මන්ත‍්‍ර මම කට පාඩම් කරගත් නමුත් මම ඒවා අත්හදා නොබැලූවේ මගේ ගොරෝසු කටහඬ භාවිතයෙන් වනාන්තරය තුළදී මම මුහුණදුන් අවස්ථා ලෙහෙසියෙන් ජයගත් බැවිනි.

මගේ හිතවත් සේවක ඬේවිඞ් ගේ පුත් වනසත්ව නියාමක සුජීව තම පියාගෙන් ලබාගත් ප‍්‍රබල අලි මන්ත‍්‍රයකින් තමාට පහරදීමට හඹා ආ කෝපාවිෂ්ඨ වූ අලියකු මෙල්ල කළ ආකාරය මට අද මෙන් මතකය. මගේ දෙ ඇස් ඉදිරියේ එය සිදු වූයේ 1989 අප‍්‍රියෙල් මස පසළොස්වක් පොහොය දිනක යාල උද්‍යානයේ රාත‍්‍රී කාලයේ පැරණි බූතවසංචාරක බංගලා නිවහන ඉදිරිපිටදීය.

නියමිත මුදල ගෙවා යාල උද්‍යානයේ බුතව (පැරණි) බංගලාව දින තුනකට වෙන්කරවා ගත් ලක්‍ෂමන් සිය බිරිඳ වජිරා, දරුවන් සහ සමීප මිතුරන් කණ්ඩායමක් සමග බුතව බංගලාවේ පදිංචියට පැමිණියහ. කණ්ඩායමේ මාර්ගෝපදේශක වනසත්ව නියාමක (ඬේවිඞ්ගේ පුත්) සුජීව විය. යාල වනෝද්‍යානයේ භාරකරු වූයේ මමයි.

සිරිත් පරිදි  ලක්‍ෂමන්, වජිරා සහ දරුවන් හමුවීමට ඔවුන් පැමිණි දිනම මම රාත‍්‍රී 8.00 පමණ බුතව බංගලාවට පැමිණියෙමි. ජීප් රථයෙන් බැසගත් මා කෙළින්ම ගියේ කිසියම් කරුණක් වීමසීමට බංගලා භාරකරු හමුවීමට මුලූතැන් ගෙයටය. එකෙනෙහිම කිසියම් කෙනෙකු උස්හඬින්  කතා කරමින්’’ හා පුළුවන් නම් සුජීව. අර ගල උඩ වතුර ටැංකියට වතුර බොන්න යන අලියා ළඟට.. යනවා කෝ.. ‘‘නියාමක සුජීවට අභියෝගයක් එල්ල කළ බව මට ඇසුනි. ඒ මගේ මිත‍්‍රයාගේ කටහඬ නොවන බව මම හඳුනා ගතිිමි. ‘‘අලියා ළඟටම යන්න  ඕනැද?’’ එසේ ඇසුවේ සුජීවයි. ‘‘ඔව් ළගට ගියොත් රුපියල් පන්දහසක් (රු. 5000/=) දෙනවා.’’ තවත් කෙනෙක් සුජීව දිරිගන්වමින් කෑ ගැසීය. මා පැමිණ සිටින බව කණ්ඩායමේ කිසිවකුත් දැන සිටියේ නැත. මෙම සංවාදය මුළුතැන් ගෙයි සිට අසා සිටි මම වහා බංගලාවේ ඉදිරිපසට ගියෙමි. මගේ මිත‍්‍රයා ලක්‍ෂමන් නෙත්තිකුමාර ඇතුලූ පිරිස මා පැමිණ සිටින බව දැනගත්තේ එවිටය. මා දුටු  ලක්‍ෂමන් ‘‘හා... විල්සන්.. කොයි වෙලාවෙද ආවෙ... වාඩිවෙන්න... මොනවද බොන්නෙ’’ විමසීය. මම කිසිත් නොදොඩා අසල තිබූ පුටුවක හිඳ ගතිමි.
බංගලාව ඉදිරිපිට ගල්තලාව සහ අවට වනාන්තරය සඳ එළියෙන් නෑවී ඇත. මුහුදේ රැුල පහර ගල්පරවල හැපෙන ශබ්දය ද මට ඇසේ.. සුජීව කොහිදැයි මම විපරමින් අවට බැලූවෙමි... මම ප‍්‍රමාද වැඩිය ඒ වන විටත් ඔහු ගන්තලාව ඉහළට නිසොල්මනේ ඇවිද යන දැවැන්ත අලියා සමීපයට ඉක්මන් පියවර තබමින් යන ආකාරය මම දුටුවෙමි. ඔහුගේ ගමන වළක්වාලීමට මා විසින් ඒ අවස්ථාවේ කෑගැසීම අන්තරාදායක විය හැකි බැවින් මම එසේ නොකළෙමි.

මා අසතුටින් සිටින බව දුටු ලක්‍ෂ්මන් මගේ මිත‍්‍රයා ‘‘අපි දන්නෙ නැහැ... විල්සන්  බංගලාවට ඇවිත් සිටි බව’’ යයි කීය.

‘‘දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.. සුජීව ගල්තලාවෙන් පහළට ආපුවාවෙ කෝ...’’ මගේ සිත තුළ ජනිතව ඇත්තේ සියුම් කෝපයකි. බැරි වෙලාවත් සුජීවට අනතුරක් සිදු වුවහොත් මට එය විශාල ගැටළුවක් වනු ඇත.

වයස අවුරුදු පණහක් පමණ වන මෙම අලියා කාලාන්තරයක් තිස්සේ දිනපතා රෑ බෝ වූ පසු ‘‘බුතව’’ බංගලාව ඉදිරිපිට පිහිටා ඇති ගල් තලාව ඉහළටම ඇවිද ගොස් ඒ මත ඉදිකොට ඇති බංගලාවට ජලය සැපයෙන වැසි වතුර ටැංකිය තුළට තම හොඬ වැල බහා සිත්සේ පිපාසය සංසිඳුවාගනී. බංගලාව ඉදිරිපිට ඇති නෙලූම්,  ඕලූ සහිත ‘බුතව වළේ’ වතුර මඩ සහිත බැවින්, දිනපතා එය පසු කරමින් අලියා ගල්තලාව ඉහළට ගොස් ටැංකි ජලයෙන් පිපාසය සංසිඳුවාගනී. අලින් මඩවතුර නොබොන බැවින් නියං සමයේ දී ඉව අල්ලමින් පැහැදිලි ජලය සොයාගෙන ඉතා ඈත දුර බැහැරට යති.

මේ වන විට බංගලාවේ සිටි පහළොස්  දෙනෙකුගේ පමණ ඇස් යොමු වී ඇත්තේ ගල ඉහළට ඇවිද යන අලියා සහ ඔහු පසුපසින් කඩිනමින් යන සුජීව වෙතය. පැහැදිලි සඳ එළිය හේතුවෙන් දහවල් මෙන් සියල්ල මනාව දර්ශනය වේ. වැසි ජල ටැංකිය සමීපයට ගිය අලියා තම හොඬවැල දියට පහත් කොට එක උගුරක් තම මුව තුළට ගත්තා පමණි... අලියා සහ සුජීව අතර දුර යාර 15-20 පමණය. ක්‍ෂණයකින් අලියා දිය බීම පසෙක තබා සුජීව දෙසට හැරුණි. තම හොඬවැල අග මුව තුළට ගති. කන්පෙති දෙක කෙලින් කරගෙන සුජීව දෙසට මුහුණට - මුහුණලා බලාගෙන මොහොතක් නිසොල්මන් විය. තව නිමේශයකින් අලියා සුජීවට පහර දීමට ඒකාන්තයෙන්ම හඹා යන බව මම දැන සිටියෙමි. සුජීවගේ ගමනේ වේගය අඩු වී ඔහු ඉතා සෙමින් අලියා දෙසට පියනගන්නට විය. එවිට එක්වරම වනාන්තරය දෙවනත් කරවන සුලූ අති භයංකර මහා ශබ්දයක් මුවින් පිටකරමින් අලියා හොඬවැල උස්සාගෙන සුජීව කරා පහරදීමට හඹා එන්නට විය. අලියාගේ හඬ නිසෝල්මන් වනාන්තරයේ දෝංකාරය දුනි. එකඳු අඩියක් පස්සට නොගත් සුජීව තම දකුණත අල්ල ඇඟිලි දිගුකොට ඉදිරියට හඹා එන අලියා දිසාවට යොමු කරගෙන ශබ්ද නගා මන්ත‍්‍රය මතුරන්නට විය... ‘‘ ඕං..... සංසාර.... දිරි ආදී වශයෙන් තම පියාගෙන් උගත් අලි මන්ත‍්‍රයෙන් නැවත නැවතත් ශබ්ද නගා මතුරන්නට විය.

සුජීව ආසන්නයටම දිව ආ අලියා තම හොඬවැල පහත් කොට සුජීවට පහර නොදී හෝ පහර දීගත නොහැකිව පසෙකට හැරී ඉතා වේගයෙන් ගල්තලාව පහළට දිවගියේ විකාරයෙන් මෙන් ‘බුතව වළ’ හරහාය. ඒ දිවගිය ආකාරයට ‘‘බුතව වළේ’’ (Buttuwa Pond) දියයට සිටි කිඹුලන් දෙතුන් දෙනෙකුගේවත් හිස් කබල්, ඉළ ඇට අලියාට පෑගී උන් මිය යන්නට ඇතැයි මට සිතුනි.

දිව ගිය අලියා පෙනෙන්නටවත් නැත. සුජීව ජයග‍්‍රාහි ලීලාවෙන් ගල පහළට වුත් ඔහුට අභියෝග කළ සහ රු. 5000/= ත්‍යාගය දීමට පොරොන්දු වූ අය අසලින් වාඩිවිය. එකෙණෙහිම මගේ මිත‍්‍ර ලක්‍ෂ්මන් නෙත්තිකුමාර සුජීව වෙත ගොස් කනට කොඳුරා කුමක්දෝ කීවේය. ඒ මම බංගලාවට පැමිණ සිටින පුවත විය යුතුය.

ඒ සැණින් මා අසලට පැමිණි සුජීව ‘‘සර්... කොයි වෙලාවෙද ආවේ... මම දැනගෙන සිටියෙ නැහැ සර්... ඉන්න බව...’’ යයි මා ඇමතීය. මම ඔහුට දැන්වූයේ ‘‘බැරි වෙලාවත් සුජීව ඔයාට අලියා ගැහැව්වා නම්... මට මගේ රැුකියාවත් අහිමි වෙනවා.. මීට පස්සෙ මම ඉන්න තැනක ඔය වැඬේ කරන්න එපා’’ යනුවෙන් මම ඔහුට අවවාද කළෙමි. සුජීව මේ වන විට සේවය කරන්නේ කතරගම උතුරින් පිහිටි ගාල්ගේ අඩවියේය. ඔහු අති දක්‍ෂ වනෝද්‍යාන මාර්ගෝපදේශක කෙනෙකි.


(මතු සම්බන්ධයි)

එඞ්මන් විල්සන්

විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු

ඊමේල් edmund.wilson09@gmail.com

ඡායාරූප අනුග‍්‍රහය:- කිරිබත්ගොඩ ඔල්ගා ස්ටුඩියෝ අධිපති රංජිත් ද සිල්වා