මහ මැතිවරණයේ කටයුතු ආරම්භ වී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ජූලි මස 01 වැනි දින සිට කොමිෂන් සභාව මැතිවරණ ක්‍රියාවලිය ශීඝ්‍රයෙන් ආරම්භ කළ බවය.
ඒ අනුව තරග කරන පක්ෂ හා අපේක්ෂකයෝ වෙන වෙනමත් පක්ෂ ලෙසත් ඡන්ද ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටිති. මැතිවරණ ප්‍රචාරණයේදී තරග කරන අපේක්ෂකයන්ගේ නම් සහ ඡායාරූප ප්‍රදර්ශනය තහනම් කිරීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ කොමිසමට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් තිබේ. ඇතැම් අපේක්ෂකයෝ සෘජුවම මැතිවරණ කොමිසමට ඇඟිල්ල දිගුකරමින් සිටිති. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම ගත් තීන්දුව වෙනස් කිරීමේ අදහසක් නැතැයි කොමිසමේ ආරංචිමාර්ග කියයි.
මැතිවරණ කොමිසමට මුලින් ගණන් බලා තිබූ මුදලට වඩා වැඩි මුදලක් මහ මැතිවරණය වෙනුවෙන් වැය කිරීමට සිදුවනු ඇති බවද පැවසේ.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ මැතිවරණයට රුපියල් කෝටි 1000කට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවය.
‘‘අපි මුලින් හිතන් හිටියේ රුපියල් කෝටි 700ක් පමණ වියදමක් දැරීමට සිදුවන බවයි. ඒත් හිතුවට වඩා වැඩි මුදලක් වැය වෙනවා. රුපියල් කෝටි 1000 පනීවි. අපි වියදම අඩුකර ගන්න බලනවා. මුව ආවරණ ලක්ෂ තුනහමාරකට වඩා වැඩියෙන් ගෙන්වන්න වෙනවා. අත්සෝදන දියරවලටත් මුදල් වැය වෙනවා යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේය.
මැතිවරණ නීති උල්ලංඝණය වෙනවා නම් ඒ ගැන අපි බලනවා.’’ මැතිවරණ කාලයේදී එවැනි නීති කඩ කරන්නන්ට එරෙහිව ‘‘මැතිවරණයෙන් පස්සෙත් පියවර ගන්නවා. යම් අපේක්ෂකයෙක් මැතිවරණ නීති උල්ලංඝණය කළ බව අධිකරණයේදී ඔප්පු වුවහොත් ඔහු ජයග්‍රහණය කර තිබුණත් ඔහුගේ මන්ත්‍රී අසුන අහිමි වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ රෝදය කැරකැවෙන්නේ සෙමින්. ඒත් එය කුඩු කළ යුතු සියල්ල කුඩු කරනවා.’’ සියල්ල කුඩු වෙනතුරු කැරකැවෙනවා යැයි දේශප්‍රිය කියන්නේය.
මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ මෙවර දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ඉතාම අවම මට්ටමක තිබෙන බවය. සැබැවින්ම මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නොමැති අතර පොලිසිය සඳහන් කරන්නේ නීතිය තදින් ක්‍රියාත්මක කරන බවය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සාමාන්‍යයෙන් ලබා දෙන්නේ සති පහක කාලයකි. එසේත් නැතිනම් දින 35කි. ජූලි මස 01 වැනි දින සිට අගෝස්තු මස 03 වැනි දින දක්වා තරග කරන අපේක්ෂකයන්ට ප්‍රචාරණ කටයුතුවල නිරත විය හැකිය. රටපුරා ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 14,000කි. දේශපාලන පක්ෂයකට සෑම ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද කාර්යාලයක් ස්ථාපිත කළ හැකිය. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කරන දේශපාලන පක්ෂයකට ඡන්ද කාර්යාල 14,000ක් ස්ථාපිත කළ හැකිය. එම ඡන්ද කාර්යාලවල ප්‍රදර්ශනය කළ හැක්කේ පක්ෂයේ නම හා පක්ෂ ලාංඡනය පමණි.
සමගි ජනබලවේගයෙන් නාම යෝජනා බාරදුන් මංගල සමරවීර සහ අම්බලන්ගොඩ එජාප ආසන සංවිධායක මෙවර තරගයෙන් ඉවත් වූ නිසා සමගි ජනබලවේගයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඇතැම් අපේක්ෂකයන් ප්‍රකාශ කර ඇත්තේ මංගල සමරවීරගේ ප්‍රකාශ නිසා තවදුරටත් සමගි ජනබලවේගය පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයට අවාසියක් සිදුවන බවය. එහෙත් තවත් පිරිසක් පෙන්වාදී ඇත්තේ ඔහු තරගයෙන් ඉවත් වූ නිසා ඔහුගේ ප්‍රකාශ සමගි ජනබලවේගයට ගැටලුවක් නොවන බවය. කෙසේ වෙතත් මැතිවරණ නීතියට අනුව කිසියම් අපේක්ෂකයකුට නාමයෝජනා බාරදුන් පසුව නිල වශයෙන් ඉල්ලා අස්වීමේ හැකියාවක් නැත. ‘‘මංගල සමරවීර සමගි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා බාරදී තිබෙනවා. ඔහුගේ නම බැලට් පේපර් එකේ තිබෙනවා. සමහර විට මනාප වැටෙන්නත් පුළුවන්. නාමයෝජනා දීලා මම තරග කරන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඔහු තවදුරටත් අපේක්ෂකයෙක් ලෙස තමයි මැතිවරණ කොමිසම පිළිගන්නේ. යම් හෙයකින් ඔහුට මනාප වැටිලා තිබ්බොත් අපි ඒ මනාප සංඛ්‍යාවත් නිල වශයෙන් ප්‍රකාශ කරනවා’’ යැයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙක් පවසන්නේය.
සෞඛ්‍ය කොන්දේසි අනුව මහ මැතිවරණය පැවැත්වීමට සිදුවීම නිසා ඡන්දපොළ මධ්‍යස්ථානවල පිටත පරිශ්‍රද රාජකාරී කටයුතු සඳහා යොදා ගැනීමට මැතිවරණ කොමිසම තීන්දුවක් ගෙන තිබේ. කැනපි හට් ගසා තාවකාලික මඩුවල නිලධාරීන් රැඳවීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන තිබේ. එහෙත් කැනපි හට් සියල්ලම රතුපාට කොළපාට හා නිල්පාටවලින් යුත් නිසා මැතිවරණ කොමිසම බලවත් අපහසුතාවකට පත්ව තිබේ. සුදුරෙදි හෝ වෙනත් පාටකින් යුත් කැනපි හට් තොගයක් සොයා ගැනීමේ මෙහෙයුමක් මේ දිනවල මැතිවරණ කොමිසම ආරම්භ කර තිබේ. ‘‘අපට දුඹුරුපාට රෙදි තියෙන කැනපි හට් හමු වුණා. ඒත් ඒක කුරහන් පාටට සමානයි. අපි ඒකත් අත්හැරියා’’ යැයිද මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙක් පවසන්නේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණ පනතට අනුව ඡන්දය ප්‍රකාශ කළ හැකි කාලය පෙරවරු 7 සිට පස්වරු 4 දක්වාය. එහෙත් මෙවර ඡන්ද විමසීම පැවත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසමට අවශ්‍යවී තිබේ. ඒ සඳහා තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් ඉකුත් අඟහරුවාදා පැවැත්වීමට කොමිසම තීන්දුවක් ගෙන තිබිණි. එහෙත් මහාචාර්ය රත්නජීවන් හූල් එදින කොළඹට පැමිණියේ නැත. යාපනයේ සිට දුරකතනයෙන් ඔහු ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය. මැතිවරණ කොමිසමේ එදිනට නියමිතව තිබූ රැස්වීම කල් දැමීමට සිදුවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් තිබේ. එම පක්ෂය මෙවර අලුත් ආකාරයකින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ද නියමිතය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ එකම වේදිකාවකට නොයෑමට තීන්දුවක් ගෙන තිබේ.
‘‘ජනාධිපතිතුමා විශාල රැස්වීම් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ලොකු රැස්වීම් මාලාව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙනවා. ජනාධිපතිතුමා වෙනත් ආකාරයකින් ජනතාව ආමන්ත්‍රණය කරනවා. හරියට සමාන්තර රේඛා දෙකක් වගේ. දෙන්නා වෙන වෙනම කැම්පේන් කරනවා’’ යැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කියන්නේය.
මහ මැතිවරණ වේදිකාවේ මේ දිනවල තවත් කතාවක් ඇහෙන්නට පටන්ගෙන තිබේ. ඒ ඇමෙරිකානු එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙනි. ආණ්ඩුවේම දේශපාලනඥයෝ ඇමරිකාවටත් ගිවිසුමටත් තදින් දොස් නගන්නට පටන්ගෙන සිටිති. මේ පසුබිම යටතේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඉකුත් සඳුදා පස්වරුවේ දුරකතනයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට කතා කළේය. සඳුදා පස්වරු 6.30ට පමණ ආරම්භ කෙරුණු එම දුරකතන ඇමතුම විනාඩි විස්සක පමණ කාලයක් පුරා පැවතියේය. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙවත් විදේශ කටයුතු ඇමැතිවරයා එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් අදහස් කීවේ සුළු වේලාවක් පමණි. විදේශ ඇමැතිවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවේදී වැඩිදුර අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ අපනයන ඇමෙරිකාවට යැවීමේ ගැටලු හා ගතයුතු ක්‍රියාමාර්ගයද එහිදී සාකච්ඡා වූ බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවත් සමඟ එකඟතාවකට පත්ව කටයුතු කිරීමේ සූදානමක් ඇති බවට උතුරේ වෙනත් දේශපාලන පක්ෂ චෝදනා එල්ල කරමින් තිබේ. ඔවුන් සඳහන් කරන්නේ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා ආණ්ඩුවත් සමග ඩීල් එකකට සූදානමින් සිටින බවය. ‘‘විපක්ෂයේ දේශපාලන පක්ෂයක් හැටියට අපට දිගින් දිගටම ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න බැහැ. ආණ්ඩුවේ යම් යම් දේවල් සමග අපි එකඟ වෙනවා. ඒක අවස්ථාවට අනුව කළ යුත්තක්’’ යැයි දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කර තිබේ.
*** කස්තුරි
මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබෙන්නේ ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද ‘‘අදානි ග්‍රීන් එනර්ජි සමාගම’’ පසුගිය දිනක ශ්‍රී ලංකාව
ශ්රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ලේඛ
අද රටේ තිබෙන්නේ අතීතය ගැන කතා කරන්නට බිය වන විපක්ෂයක් හා වර්තමානය ගැන කතා කරන්නට බියවන ආණ්ඩු පක්ෂයකි.
මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ
මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව
කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මැතිවරණ කොමිසමට ඇබැද්දියක්