නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් සිදු වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මේ නිසා විවිධ ක්ෂේත්‍රවල නියැලී සිටින පුද්ගලයන්ට මෙම පනත බලපාන ආකාරය පිළිබඳ දැනටමත් විවිධ අදහස් පළ වෙමින් තිබේ. එහෙත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා චෝදනා කළේ මේ සම්බන්ධයෙන් මතුව ඇති සමාජ සංවාදයෙහි දුර්මත පිරී ඇති බවටය.

ඒ නිසා නව දේශීය ආදායම් බදු පනතේ මූලික හැඩරුව ගැන යම් පමණෙකින් හෝ විමසා බැලීම වටනේය. නව දේශීය ආදායම් බදු පනතේ මූලිකාංග කීපයක් දැකිය හැකිය. රජය මූලිකවම මෙම පනතින් ඉලක්ක කරතිබෙන්නේ මධ්‍යම පන්තියයි. මැදි ආදායම් පන්තිය පහළ මැදි ආදායම් හා ඉහළ මැදි ආදායම් හැටියට කොටස් දෙකකට බෙදේ. මෙම පනතින් මෙම පන්ති දෙකම ඉලක්ක කර තිබෙන බව ඉතා පැහැදිලිය. උපයන විට ගෙවීමේ බද්ද මෙහිදී ආණ්ඩුවේ මූලික ඉලක්කයක් වී ඇත. උපයන විට ගෙවීමේ බද්ද (PAYE -pay as you earn) බදු සඳහා වන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 7 1/2 සිට රුපියල් ලක්ෂ දොළහ දක්වා මෙම පනතෙන් වැඩි කර ඇත. 

බදු පනත අනුව සෑම පුරවැසියකුම උපයන පළමු රුපියල් ලක්ෂය දක්වා මුදල බදුවලින් නිදහස් කෙරේ. ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 4%ක බද්දක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 8%ක බද්දක් ද අය කෙරේ. ඉන් පසු බදු අයකෙරෙන්නේ උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 12%ක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 16%ක්ද ඉන් පසු උපයන පළමු රුපියල් පනස් දහස දක්වා මුදලට වසරකට 20%ක්ද ඊට වැඩිවන සෑම මුදලකට 24%ක්ද වශයෙනි.

මින් පෙර මෙම අගය පරාසය පැවැතියේ 4% සිට 16% දක්වාය. උපයන විට ගෙවීමේ බද්දට අදාළව වැටුප මින් පෙර ගණනය කළේ වෛද්‍ය දීමනා, ප්‍රවාහන දීමනා හා ඒ හා සමාන වෙනත් දීමනා ඉවත් කරය. එහෙත් නව ක්‍රමය යටතේ මෙම සියලු දීමනා වැටුපේ කොටසක් හැටියට සලකා ගණනය කෙරේ. රජය එවැනි ගණනය කිරීමකට යන්නට ඇත්තේ වැටුප්වල දීමනා ආදී ගෙවීම් වැඩි වශයෙන් එල්ලා ඇති බැවින් විය යුතුය. පෞද්ගලික අංශයේ මධ්‍යම නිලයක් දරන තැනැත්තකු ගතහොත් සාමාන්‍යයෙන් මෙම දීමනා සියල්ල එකතු කළ විට මාසික වැටුප රුපියල් ලක්ෂය ඉක්මවීමේ වැඩි සම්භාවිතාවක් ඇත. ශ්‍රමබල සමීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත්විට මෙම තත්ත්වය අපට නිරීක්ෂණය වේ. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීමේ පොලිය වැඩි අගයක් ගන්නා අවස්ථාවල දී බද්දක් පැනැවීම ද නව පනත යටතේ සිදුවේ.  එනම් ඉතිරිකිරීම් මත වන පොලී ආදායම මසකට රු.125,000 වඩා වැඩිනම් පමණක් පොලිය මත 5% බද්දක් පැනැවේ. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ මුදල් ආපසු ගැනීමේදී රුපියල් මිලියන දෙකට වැඩි නම් 14% ක බද්දක් පැනැවේ. පුණ්‍යායතනවල ලබන ආදායම් ද එසේය. ප්‍රාග් ධන ලාභ ගැන ද ආණ්ඩුව සැලකිලිමත් වී ඇති බව පෙනේ. උදාහරණයකට අප නිවෙසක් මිලදී ගෙන වසර තුනක් ඇතුළත ගැනුම් මිලට වැඩි මිලකට විකුණන්නේ නම් එම වැඩි මිලට අදාළව බද්දක් පැනවේ.

ඒ අනුව රජය බදු දැලට දැනට හසුව නැති හා යාන්තමින් හසුව ඇති පිරිස් ද බදු දැලට කෙළින්ම හසුකරගැනීමට මෙමගින් කටයුතු කර ඇති බව පැහැදිලිය. එසේම රජය ඇතැම් ක්‍ෂේත්‍රවලට මෙතෙක් තිබුණු බදු විරාම 200 ක් පමණ අහෝසි කර ඇත. සමාගම් ලාභ මත 28% ක වැනි බදු අනුපාතයක් දැනට තිබේ. දුම්කොළ හා අරක්කුවලදී මෙම අගය තිබෙන්නේ 40% ක පමණය. කෘෂිකර්මාන්තයට 14%, සුළු පරිමාණ 14%, සංචාරක ව්‍යාපාරයට 14%, අධ්‍යාපන සේවා සපයන ආයතනවලට 14% ආදී වශයෙන් පවත්වාගෙන යමින් යම් යම් ක්‍ෂේත්‍රවලට සුවිශේෂී සැලකුම් දැක්වීම වෙනුවට පොදු බදු අනුපාතයක් පවත්වාගෙන යෑමට ද රජය උත්සාහ දරා ඇත.

බදු ගෙවීම පැහැර හැරීම, බදු සම්බන්ධයෙන් වැරැදි තොරතුරු ලබාදීම හා බදු ගෙවීම පමා කිරීමට අදාළව පවතින නීති තවත් ශක්තිමත් කර තිබේ. එම වැරැදි කරන්නන්ට දෙන දඬුවම ද විශාලය. බදු ගෙවීම පැහැර හැරීමේ වරදකරුවකුට කලින් තිබූ සය මාසයක සිර දඬුවම දැන් අවුරුද්දේ සිට අවුරුදු දෙක දක්වාම ඉහළ දමා ඇත. තවද බදු නිලධාරින් බදු ගෙවන්නන් පිළිබඳව තොරතුරු තවත් පාර්ශ්වයකට හෙළි කළහොත් එසේ කරන්නන්ට ද නව පනතින් මුදල් දඩ හා සිරගතකිරීම් වශයෙන් දඬුවමක් නියම කර තිබේ. මෙය නව තත්ත්වයකි. එමෙන්ම හොඳ පියවරක් බව කිවයුතුය. 
එමෙන්ම වක්‍ර හා සෘජු බදු අනුපාතය වෙනස් කිරීම ද රජයේ මූලික අරමුණකි. ඒ අනුව වක්‍ර බදු 60% ක් හා සෘජු බදු 40% ක් ලෙස වෙනස් වේ යැයි අපේක්ෂිතය. දැන් එය තිබෙන්නේ සෘජු බදු 18% ක් හා වක්‍ර බදු 82% ක අගයකය.

ඒ අනුව සෘජු බදු ප්‍රතිශතය විශාල ලෙස වෙනසකට ලක්කිරීමට ආණ්ඩුව සූදානම්ය. මේ ආකාරයට සෘජු බදු වැඩිකිරීමේදී ඇතැමුන් සිතන්නේ භාණ්ඩ හා සේවා මත පටවා ඇති වක්‍ර බදු විශාල ලෙස අඩු වනු ඇතැයි කියාය. එමගින් ජනතාවට විශාල සහනයක් ලැබෙනු ඇතැයි කියාය. එහෙත් එය වැරැදි වැටහීමකි. මන්දයත් දැනට අය කෙරෙන බදු අඩුකිරීමක් එමගින් අදහස් නොවන නිසාය. ඉදිරියේදී තවත් භාණ්ඩ එම බදුවලට ලක් නොවේ යැයි අදහස් නොකෙරෙන නිසාය. ඒ අනුව ඉදිරියේදී වක්‍ර බදු ඉහළ නොයනු ඇතැයි කීමට ඉක්මන් විය යුතු නොවේ. 

තමන් රජයට ආදායම් බදු ගෙවන මිනිසුන් යැයි උදාරම් කියන පිරිස් අප දැක තිබේ. එහෙත් මෙසේ එක පිරිසක් පමණක් කරන ප්‍රකාශ අපට සලකන්නට වෙන්නේ විකාර කතා ගණයටය. ඇත්තවශයෙන්ම බදු නොගෙවන පිරිසක් මේ රටේ නැත. හිඟන්නාගේ පටන් ජනාධිපතිවරයා දක්වා රජයට බදු ගෙවිය යුතුය. මෙය අප සමාජයේ පවතින දුර්මතයකි. මෙය වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ ව්‍යාපාරික කොටස් අතරය. අනෙක් අතට පවතින නීතියේ විවිධ තත්ත්ව උපයෝගී කරගෙන බදු දැලෙන් රිංගා සිටින සමාගම් කොතෙකුත් තිබෙන බව කවුරුත් දන්නා කාරණයකි. එනිසා බදු ගෙවීම සම්බන්ධයෙන් කෙරෙන උදාරම් කතාවල ඇත්තේ වැරැදි තර්කනයක් බව අවධාරණකටයුතුය. 

මෙම පනත මගින් ආර්ථික තලයෙහි කවර වෙනස්කම් ඇතිකරනු ඇතිදැයි අප විමසිය යුතුය. පසුගිය වසරේ අපේ ආර්ථික වර්ධන වේගය 3.1% කි. ඒ අනුව මෙම බදු පනත එන්නේ ආර්ථිකය විශාල වශයෙන් කඩාවැටීමට ලක්ව ඇති මොහොතකය. ඇත්තවශයෙන්ම මේ වනවිට ලංකාව රටක් හැටියට බදු ආදායම වැඩිකර ගත යුතුව ඇත. රජයේ බදු ආදායම වැඩිකර නොගෙන මහජනතාවට රාජ්‍ය සේවා සැපයීමට ඉඩක් නැත. මහාමාර්ග, ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂාව ආදී සේවා සපයන විට ඊට යම් පිරිවැයක් දැරීමට සිදුවේ. රජය එම මුදල සොයාගත යුතුය. විශේෂයෙන්ම අවශ්‍ය වන අලුත් ආයෝජන සඳහා රජයට ආදායමක් තිබිය යුතුය. එවැනි තත්ත්වයක මෙම බදු පනතින් රජයට සිය ආදායම වැඩිකරගත හැකි නම් මා නම් සිතන්නේ එය ද සාධනීය තත්ත්වයක් හැටියටය. ආදායම් වැඩි කරනොගන්නේ නම් ඉන් අනතුරුව ගතහැකි පියවර දෙකකි. එකක් නම් ණයාධාර ලබාගෙන සංවර්ධන කටයුතුවලට නියැලීමයි. නැතිනම් අතරමග නතර කර දැමීමයි. 

බදු ආදායම වැඩිකර ගත යුතුය යන පාඩම රජය නිරන්තරයෙන් පවසන්නකි. එහෙත් මුදල් වියදම් කරද්දී ඒවා ඵලදායී ලෙස භාවිත කිරීමට මේ ආණ්ඩුව ද කිසිම උත්සාහයක් ගත්තේ නැත. දූෂණ විරෝධය කුළුගන්වමින් බලයට පැමිණිය ද ඵලදායී නොවන වියදම්, නාස්තිකාර වියදම්, අල්ලස් හා දූෂණ ගැන පුවත් පසුගිය තෙවසරේදී ද අඩුවක් නැතිව අපට අසන්නට ලැබිණි. පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ගණන හාරදහසේ සිට අටදහස දක්වා වැඩිකරගැනීම ඊට හොඳම උදාහරණයකි. අනවශ්‍ය වියදම් ගැන තුට්ටුවකටවත් තමන් ගණන් ගන්නේ නැති බව පාලකයෝ මෙමගින් පෙන්වා දී ඇත. රජයක් පමණක් නොව නිවසක් වේවා ආයතනයක් වේවා වියදම් කප්පාදු කර නොගෙන ආදායම් ගැන පමණක් සිතන්නේ නම් ආර්ථික අර්බුදයකින් ගොඩඒම පහසු නැත.

මෙම බදු පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ආණ්ඩුවට නැවතත් අපට මේ පාඩම අවධාරණය කිරීමට සිදුවන්නේ එහෙයිනි. ජනතාවගේ පැත්තෙන් බදු නිසියාකාරයෙන් ගෙවන කල ඒවා නිවැරැදිව උපයෝජනය කිරීමේ ශඛ්‍යතාව හා වුවමනාව ආණ්ඩුව කරවන ඇත්තන්ට තිබිය යුතුය. නොඑසේව ජනතාව සිය වගකීම ඉටුකරනු ඇත්තේ ද්වේශසහගත මානසිකත්වයකින් වීම නොවැළැක්විය හැකිය. 

මෙහි සාධනීය නොවන ලක්ෂණ කීපයක් ගැන ද කතා කළ යුතුවේ. විශේෂයෙන්ම උපයන විට ගෙවීමේ බද්ද ශ්‍රම සැපයුමට අහිතකර ලෙස බලපා හැකිය. වෘත්තික කණ්ඩායම් ගතහොත් මහත් වෙහෙසක් ගෙන ධනය උපයා මෙපමණ බදු ප්‍රමාණයක් ගෙවන්නේ කුමටදැයි ඔවුන් සිතන්නට ඉඩ තිබේ. උදාහරණයකට විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට මූලික වැටුපක් තිබෙන අතර පශ්චාත් උපාධි හා අනෙකුත් පාඨමාලාවන්හි සේවය සලසන ගුරුවරයකු හැටියටත් පර්යේෂකයකු හැටියට පර්යේෂණවල නිරතවීත් තවත් උපැයීම් කළ හැකිය. එය දෙවැනි ආදායමයි. මෙම දෙවැනි ආදායමට පැනැවෙන බද්ද පළමු ආදායමටත් වඩා වැඩි වන අවස්ථාවක සිදුවිය හැක්කේ ඔවුන් අධෛර්යමත් වීමය. ඇතැම්විට එහි ප්‍රතිඵලය වනු ඇත්තේ විවේකයෙන් සිටීමට හෝ බද්දට ලක් නොවන විකල්ප ආර්ථික කටයුත්තකට ඔහු තල්ලුවීමය. ශ්‍රම සැපයුමට එය අහිතකර බලපෑමකි. 

ආයෝජන සම්බන්ධයෙන් නව පනත යහපත් තත්ත්වයක් උදා කරනු ඇතැයි රජය පවසයි. සමාගම් සම්බන්ධයෙන් පොදු බදු අනුපාත ඊට හේතුවයි. එහෙත් මෙහි අනෙක් පැත්ත කුමක් ද? උපයන විට ගෙවීමේ බද්දට යටත් ඇතැම් සේවකයන් පවා කිසියම් ඉතිරි කිරීමක් කර ප්‍රාග් ධනයක් නිර්මාණය කරගෙන කිසියම් ව්‍යාපාර කටයුත්තකට යොමුවීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේදී දැකිය හැකි විය. එහෙත් මෙවැනි බදු පැනැවීමකින් මේ ආකාරයට ප්‍රාග් ධනයක් නිර්මාණය කරගැනීම කිසියම් සීමාවීමකට ලක්විය හැකිය. ඒ අනුව ආයෝජන සම්බන්ධයෙන් බලද්දී තරුණ මට්ටමේ මැදි මට්ටමේ සේවකයන් ව්‍යවසායකයන් බවට පත්කෙරෙන ක්‍රමය මෙමගින් අවහිරවීම විය හැකිය. තවද නීති රීති දැඩිවීම නිසා බදු උපදේශන ගාස්තු ද ඉහළ යා හැකිය. මන්දයත් නව පනත යටතේ බදු උපදේශන සමාගම්වලට වැඩි වගකීමක් පැවැරීම ඊට හේතුවයි. 

අනෙක් අතට රජය බදු පැනැවීම ඉහළ දමන්නේ ණය ගැනීම අඩු කරන්නේය යන තර්කනයෙහි පිහිටාය. එහෙත් තවමත් මෙම තර්කනයට අනුව රජය කටයුතු කරනු අපට දකින්නට නොහැකිය. ආණ්ඩුව තවමත් විවිධ ව්‍යාපෘති සඳහා වාණිජ ණය ගනිමින් සිටී. ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට විදේශ ණය ගැනීමක් සම්බන්ධයෙන් අගමැතිවරයා හා ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා එක්ව කැබිනට් පත්‍රිකාවක් යොමු කළ අතර එය වාණිජ ණයක් වශයෙන් ගන්නා බවක් කියැවිණි. එය එසේ නම් රජයේ ක්‍රියාව හා කතාව අතර යම් පරස්පරයක් ඇති බව නොකියාම බැරිය. රජයකට එසේ නාස්තිකාර පුත්‍රයකුගේ භූමිකාව රඟදැක්විය නොහැකිය. 

ලංකාවේ නීතිය සම්බන්ධයෙන් ගත්කල තිබෙන ප්‍රධානම දුර්වලතාවක් වන්නේ එය ක්‍රියාවේ යෙදීමය. නෛතික තත්ත්ව සහ වැරැදි සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව අපේ ව්‍යවස්ථාවේ කරුණු දක්වා ඇත. බොහෝ අවස්ථාවලදී ප්‍රශ්නය එන්නේ නීතිය ක්‍රියාවේ යෙදවීමේදීය. නීතිය එක් එක් පාර්ශ්වවලට විවිධ හැ`ඳිවලින් බෙදීමේදීය. ඒ නිසා නව පනතින් හඳුන්වා දුන් නෛතික තත්ත්ව කොතෙක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදයි ද යන්න දෙස අප බලා සිටිය යුතුය. විය යුත්තේ බදු පිළිවෙත සම්බන්ධයෙන් ආණ්ඩුව ද යථාවාදී තථාකාරී ගුණයෙන් යුතු වීමය. රට ගොඩගැනීමට ආණ්ඩුව ජනතාවගෙන් අපේක්ෂා කරන කැපවීම ආණ්ඩුව ද ආදර්ශයෙන් පෙන්වා දිය යුතුවේ. රාජ්‍ය ප්‍රතිපත්තියෙන් නිවැරැදි ඵල විපාක ලැබෙනුයේ එවිටය. 

                                                                                                                 සටහන
                                                                                                                 බිඟුන් මේනක ගමගේ