අගමැතිට එරෙහි විශ්වාස භංගය දිනවීම කෙරෙහි වෙහෙසෙන දේශපාලකයන් ට නොපෙනෙන ව්‍යසනයක් කෙරෙහි ඔවුන්ගේත් මෙරට ජනයාගේත් අවධානය යොමු කරවීම මෙවර ලිපියේ මුඛ්‍ය අරමුණයි.

1970 දශකයේ මැද සිට මෙරට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක වූ ආකාරය මා කීප වරක් මෙම ලිපි මාලාව තුළ ම පැහැදිලි කළ ආකාරය ඒවා කියවන ජනයාට මතක ඇතැයි සිතමි. මතකය අලුත් කර ගැනීම සඳහා උපකාරයක් පෙබරවාරි ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණයට පෙර සහ පසු ලියු ලිපි දෙකෙහි කොටස් දෙකක් උපුටා දැක්වීම සුදුසු යැයි සිතමි. “මෙවැනි මොහොතක කළ යුත්තේ කුමක් ද?

පාලකයන් අව්‍යාජ ජාතිකවාදී හෝ ස්වදේශිකවාදී උන් නම්, කළ යුත්තේ මේ තත්ත්වය ජාතික අර්බුදයක් ලෙස ගෙන රටේ දේශපාලන ක්‍රමය ඒ අර්බුදයට විසඳුම් සොයන එකක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීමය. එහි දී කළයුතු පළමු කටයුත්ත වන්නේ අවුල් සහගත ව්‍යාජ “ජාතික ආණ්ඩු දේශපාලනය මේ අර්බුදයට ප්‍රධාන සහ ප්‍රබල හේතුවක් ලෙස හඳුනා ගැනීමය. ඊළඟට කළ යුත්තේ ඉන් මිදී පැහැදිලි ආණ්ඩුවක් සහ විපක්ෂයක් ස්ථාපිත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණයක් පැවත් වීම ය.”

ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණයෙන් පසු මා ලියු ලිපියේ “ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට, අධිකරණයට සහ ජනාධිපති තනතුරට වඩා ජන සමාජය බලවත් සහ  උත්තරීතර වන බව සියල්ලෝම තේරුම් ගෙන කටයුතු කළ යුත්තෝය. ඓතිහාසිකව ඇදි ඇදී එන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතිකරණය නවතනු. පාර්ලිමේන්තුව විසුරුවනු” යැයි සඳහන් කළේ මේ ව්‍යසනය මෙරට පාර්ලිමේන්තු සහ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහමුලින් ම අතුගා දැමීම ට හේතුවන බව ඉතාම පැහැදිලිව, පාලකයන්ට නොව මෙරට ජනයාට පෙනුණ නිසා ය.

දැන් අපි මේ ගෙවී යන මොහොතේ දේශපාලන අනතුර වටහා ගැනීමට උත්සාහ කරමු. පෙනෙන දේශපාලන තිරය මත රඟ දැක්වෙන ‘අගමැතිට එරෙහි විශ්වාස භංගය’ නම් වූ සිනමා පටයේ ප්‍රධාන නළුවෝ අතිරේක නළුවෝ ආරාධිත නළුවෝ, දුෂ්ටයෝ සහ විකටයෝ බොහෝ වෙති.

විශ්වාස භංගයට පක්ෂව කටයුතු කරන සහ එහි මුලිකත්වය දරණ ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසය වන්නේ අගමැති ඉවත් කළ පසු නව ප්‍රගතිශීලී දේශපාලන ගමනකට මුල් පියවර වැටෙන බවය. විශ්වාස භංගයට සහාය දීමට සුදානම් ව සිටින එජාප මැති ඇමැතීන්ගේ විශ්වාසය  සහ අපේක්ෂාව වන්නේ රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් ගැලවෙන එජාපය තමන්ට රිසි පරිදි ප්‍රතිසංස්කරණය කොට තමන්ගේ ම වූ ‘එජාපය පමණයි’ ආණ්ඩුවක් පිහිටු වීමට හැකියාවක් ලැබෙනු ඇති බවය.

ජවිපෙ විශ්වාස කරන බව පෙනෙන්නේ රටේ සිදුවෙමින් පවතින වංචා සහ සොරකම් අගමැති ඉවත් කළ විට නතරවන බව ය. ජාතිභේදවාදය මුල් කරගෙන ක්‍රියාත්මක වන සුළුතර පක්ෂවල පාලකයන් බලා සිටින්නේ පෙරළෙන පිටෙන් වඩා වාසි ඇති පැත්තකට කවර කොන්දේසි යටතේ මාරුවෙනවාද යන්න පිළිබඳව ය. ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ‘එහෙට මෙහෙට පනින්නෝ’ බලා සිටින්නේ තමන්ලාගේ ඊළඟ පැනීම සඳහා මේ මොහොත හෙමින් සීරුවේ පාවිච්චි කිරීමට ය. එසේම ඒ පැනීමට ප්‍රගතිශීලී සායම්පාරක් ගා ගැනීමට ය.

ඒ හරහා ජන අපවාදයෙන් බේරී තම සුපුරුදු එහෙට මෙහෙට පැන මඩි තර කරගැනීමේ දේශපාලනය දිගටම කරගෙන යාමට ය. ඇත්තටම නම් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන සහ ලේකම් දුමින්ද දිසානායක මේ පනින්නෝ ප්‍රවර්ගයට අයත් නොවෙති. මන්ද  ඒ දෙන්නා 2014 දී පැන්නා නොව  අලුත් දේශපාලන තීරණයක් ගත් දෙදෙනෙකු වූ නිසා ය. ‘පැන්නෝ’ වැඩ පටන් ගත්තේ 2015 ජනවාරියෙන් සහ අගෝස්තුවෙන් පසුව ය.

ඇත්තටම විශ්වාස භංගය මගින් අගමැති ඉවත් කිරීම හෝ පාර්ලිමේන්තුව ඇතුළේ කොහොම කොහොමහරි ආණ්ඩුව ගළප්පාගෙන ඇති තුනෙන් දෙක නැති කිරීම මගින් ඉතා කෙටි කාලීනව යම් කිසි වාසියක් සහ සතුටක් සමාජයට ලැබෙන බව සත්‍යයකි. එහෙත් ඒ මගින් මෙරට දේශපාලන සමාජයේ නිරෝගීතාවය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය රැකී තහවුරු වන්නේ නැත.

එසේ නොවන්නේ 1978 සිට විශේෂයෙන් ම 2015 ජනවාරියේ සිට මේ දක්වා මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යයේ සැබෑ නියෝජනය මුළුමනින්ම විකෘතියක් බවට පත්ව විනාශ වී ඇති නිසා ය.
දැනට පවත්නා කුමන පාර්ශවයකටවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් හෝ බහුතර බලයක් නැත. එජාපයටත් නැත. ශ්‍රිලනිපයටත් නැත. සන්ධානයටත් නැත.

එනම් ඒ කිසිම කණ්ඩායමකට ආණ්ඩු පිහිටුවීම සඳහා වූ විශ්වාසයක් ජනයා වෙතින් ප්‍රකාශ වුයේ නැත. විපක්ෂයේ නායකයාට විපක්ෂයේ වැඩිම ප්‍රසාදය නැත. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකටත් විපක්ෂයේ බහුතර ප්‍රසාදය නැත. මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයන්ට මන්ත්‍රීකම් දී ඇමතිකම් දීම ගැන ජනයාගේ ප්‍රසාදයක් නැත.

ඉතාම සරලව කියනවා නම් 2015 අගෝස්තු පාර්ලිමේන්තුව වනාහි පළමු සැසිවාරය ආරම්භකළ දිනයේම සියල්ලන්ගේම එකඟත්වයෙන් විසුරුවා හැරිය යුතු අබ්බගාත පාර්ලිමේන්තුවකි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමය තම බඩගෝස්තරවාදය සඳහාම යොදා ගන්නා නිසාම කිසිදු පාර්ශවයක් එම ඉල්ලීම තබා ඇතිවී ඇති ගැටලුව වත් පාර්ලිමේන්තුවේ දී මතු කළේ නැත. ඒ වෙනුවට කළේ විකෘති අබ්බගාත පාර්ලිමේන්තුවක් සහ ජනතා පරමාධිපත්‍යය නියෝජනය නොකරන පාර්ලිමේන්තුවක්, ආණ්ඩුවක් සහ විපක්ෂයක්  මේ දක්වා නඩත්තු කිරීමය.

ඒ විකෘති ආණ්ඩුව, විකෘති විපක්ෂය සහිත විකෘති පාර්ලිමේන්තුව විසින් මේ රටට කළ හානිය සුළු පටු නැත. ආර්ථීක ස්ථාවර භාවය, මුල්‍ය ස්ථාවර භාවය, වෙළඳපොළ ගුණාත්මක භාවය, දේශපාලන ස්ථාවර භාවය, සමාජ ස්ථාවර භාවය, නීතිය සහ පිළිවෙළ (සාමය), නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය, මැතිවරණ ක්‍රමය  සහ පොදු ජන දිවි පැවැත්ම මුළුමනින්ම අර්බුදයකට ලක් කළ ඒ දේශපාලන විකෘතිය පසුබිමේ ඉදිරිපත්වන විශ්වාස භංගයකට සිදුවූ විනාශය යථා තත්ත්වයට පත්කළ හැකිද?  එය කළ නොහැකි නම් විශ්වාස භංගය යනු හුදු බිග්මැච් ආතල් එකක් පමණක් වීම අනිවාර්ය ය.

පාර්ලිමේන්තුව රටේ ජාතික අභිලාෂය නියෝජනය කරනවානම් කළ යුත්තේ සියලු දෙනාම හෝ තුනෙන් දෙකක බහුතරයක් විසින් සිදු කරන යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම සහ විසුරුවා හැරීමට නොකඩවා බල කිරීම මිස බිග්මැච් ආතල් ගැනීම නොවන බව විශ්වාස භංග කරුවන් තේරුම් ගත යුතු ය.
 දිගින් දිගටම මෙහි  සදහන් කරන දේශපාලන විකෘතිය වනාහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නිසා පැන නැඟුණක් බව ද අප වටහා ගත යුතු ය.

පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය පමණක් පැවති සමයේ දුර්වල හෝ සුළුතර ආණ්ඩු පිහිටුවූ අවස්ථාවල දී රාජාසන කතාව පරාජය කිරීමෙන් පළමු සැසියේ දී ම, ආණ්ඩුව පරාජය කොට පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමට හැකි බලයක් පාර්ලිමේන්තුව සතු විය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ බලය වැදගත්කම සහ ප්‍රජාතන්ත්‍රවාදී ගුණය රැකුණේ ඒ නිසාය. එහෙත් 1978 අර්ධ ජනාධිපති නැතහොත් ජනාධිපති-පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය මගින් තමන්ට තමන්ලා විසුරුවා ගෙන නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට පාර්ලිමේන්තුවට තිබු බලය අහිමි කළේ ම නැති වුණත් එය අතිශය අමාරු සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් කළේ ය.

පාර්ලිමේන්තුව විධායකයේ අණසකට යටපත් කළේය. ඒ අණසක තේරුම් ගැනීම සඳහා ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් 2004 දී  වික්‍රමසිංහ ආණ්ඩුව විසුරුවා හැරීම නිදර්ශනයක් කර ගත හැකිය. එහෙත් ඒ විධාන මෛත්‍රී පාලනය විසින් ඉවත් කරනු ලැබීය. එසේ කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නම් නොවේ. එය වික්‍රමසිංහ ගේ සුළුතර ආණ්ඩුව කෙසේ හෝ රැක ගැනීමේ අරමුණෙන් සිදු කළ එකක් ය.

ඒ සියල්ලෙන් පසු දැන් රට මුහුණ දී ඇත්තේ බරපතළ ව්‍යවස්ථා අර්බුදයකටය. 2015 සිට ඒ අර්බුදය දෙගුණ තෙගුණ වී රටම විනාශ මුඛයට ඇද දමා ඇත. ඒ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නම් අලුත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටු වීම අත්‍යවශ්‍යමය. ඒ සඳහා තිබෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මිස වෙන මඟක් නොමැති බව මගේ අදහසය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිටත් බැරි පාර්ලිමේන්තුවටත් බැරි ව්‍යවස්ථා අර්බුදය විසඳා ගැනීම සඳහා පොදු ජන බලවේග කටයුතු කිරීම වඩාත් ප්‍රමුඛ විය යුතුය. මන්ද අවුරුදු හතරෙන් පසු විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා පෙරුම් පුරන වර්ගයේ මන්ත්‍රීන් නම් මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කොහෙත්ම එකඟ නොවන නිසා ය.

එසේම එවැනි යෝජනාවක් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට ඊටත් වඩා ප්‍රබල හේතුවක් ඇත. එනම් පාලකයන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතීන්ට වඩා පොදු ජනයා කෙරෙහි විශ්වාසය තැබිය හැකි නිසා ය. පොදු ජනයා මැතිවරණයක දී තම ඡන්දය දෙන්නේ තනතුරු, වාහන, බදු සහන, දැසි දස්සන්, නිල නිවාස, පිරිවර, විවිධ වරප්‍රසාද කිසිවක් බලා ගෙන නොව රටේ සහ පොදු ජන යහ පැවැත්ම උදෙසාය.

එහෙත් ඒ ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට, ප්‍රාදේශීය ආණ්ඩුවලට යන්නන් ඒ පොදුජනයා අපේක්ෂා නොකළ සියලු_ දේවල් ලබා ගැනීම සඳහා තමාට ලැබුණු ජනවරම  ඉහළ ලන්සුවලට වෙන්දේසි කරන අන්දම හිරිකිතය. 2015 ජනවාරියෙන් පසුත් අගෝස්තුවෙන් පසුත් 2018 පෙබරවාරි 10 න් පසුත් අප දකිමින් සිටින්නේ ඒ හිරිකිත ක්‍රියා දාමය ය.      

හොඳයි, විශ්වාස භංගයෙන් අගමැති පරාජය වී ඊළඟට පත්වන අගමැති ට හෝ ඔහු පත් කරන අයට ඉහත කී අර්බුදයට විසඳුම් තිබේද? එසේම නැවත අගමැතිකම එජාපයටම දුනහොත් විශ්වාස භංගකරුවන්ගේ අපේක්ෂා ඉටු වේ ද? එසේ නොවී, සිදුවන්නේ නව අගමැති කෙනකු පත් කිරීම නිසා එජාපයට සහ ආණ්ඩුවට එරෙහිව නැඟෙන මහා ජන විරෝධය තුනී වීම නම් ඒ සා වූ දේශපාලන අපරාධයක් තවත් තිබේද? එසේම අගෝස්තු අත්දැකීම අමතක ද?  එසේම විශ්වාස භංගය පරාද වුවහොත් ඒ නිසා ආණ්ඩු විරෝධී ජන බලවේග තුළ ඇතිවන මන්දෝත්සාහී බව උපකාරයක් වන්නේ කාටද?  ඒ අවකාශ තුළ එජාපය ප්‍රති සංවිධානය වීම සඳහා පිටුබලයක් සැපයේ නම් එවැනි ආකාරයෙන් එජාපය ශක්තිමත් කිරීමට ආණ්ඩු විරෝධීන්ට ඇති වුවමනාව කුමක් ද? එසේම පනින්නන් පාරුවක් නොව නැවක් බවට විශ්වාස භංගය පත් වූ විට ආණ්ඩු විරෝධී ව්‍යාපෘතිය තුළ දිගටම සිටි ක්‍රියාකාරිකයන්ට ආයෙත් හිමි වන්නේ පිළිකනු ද? 

පාර්ලිමේන්තුවත් විකාරයක් වී ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා වල බලය පිහිටුවීම පවා විකාරයක් වුණු බහුබූත මැතිවරණ ක්‍රමයක් ඇති රටේ මේ යන ගමන වැළැක්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ දේශපාලන අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා කිවයුත්තේ රට අස්ථාවර නොකරනු, පාර්ලිමේන්තුව විසුරුවනු, භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණය පවත්වනු, යන්න මිස බිග්මැච් ආතල් ගැනීම නොවන බව යළි යළිත් අවධාරණය කිරීමට කැමැත්තෙමි.