ණුසුම් බහින්බස් වීම්, විරෝධතා, අපහාස උපහාස, තර්ජනය කරගැනීම් හේතුවෙන් පසුගිය සතියේ පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. එළියට බැස ගහගන්නට අභියෝග කරන මට්ටමට වරක් මේ බහින්බස් වීම් දුරදිග ගියේය. 

සාමාන්‍යයෙන් ඇතුළේ ‘චැලේන්ජ්’ කර එළියට බැස ගහගන්න කතා කරන සිදුවීම් වාර්තාවන්නේ පාසල් සමයේදීය. ඒ අතින් පාර්ලිමේන්තුවේ පසුගිය සතියේ හැසිරීම් මොන්ටිසෝරි පාසලක තත්ත්වයට වැටුණු බව අපට කනගාටුවෙන් වුව ද පෙන්වා දීමට සිදුව තිබේ.

පාර්ලිමේන්තුවේ සභාවාර උණුසුම් වාද විවාදවලින් තොරව සිදුවිය යුතු යැයි නියමයක් නැත. එහෙම වෙන්නේ ද නැත. පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරු ද ලෙයින් මසින් පිරුණු මනුෂ්‍යයෝම වෙති. මේ නිසා ආවේගශීලී වාදවිවාද සහ ලේ රත් කරගෙන සිදුකරන කෑගැසීම් පාර්ලිමේන්තු රැස්වීම්වලදී දැකගන්නට ලැබීම අරුමයක් නොවේ. අපේ රටේ පමණක් නොව වෙනත් රටවල පාර්ලිමේන්තු සභාවාරවල ද එවැනි අවස්ථා මතුවෙයි. එහෙත් ඒ සෑම හැසිරීමක් තුළම සීමාවක් තිබිය යුතුය. ඔවුන් නියෝජනය කරන්නේ මහජනතාව බැවිනි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් වාතාවරණය සියලු‍ සීමා මායිම් කඩාගෙන ගියේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අතර ඇති වූ බහින්බස් වීම එළියේ ගහගැනීමට සිදුකරන අභියෝග කරගැනීම් දක්වා දුරදිග යාම හේතුවෙනි.

එදින ඒ වනවිට ද උණු වතුරේ තිබූ පාර්ලිමේන්තුව ඉන් පසු ‘අපායේ ඉන්ටවල්’ තත්ත්වයට පත්විය. එම සිදුවීම විනාඩි කිහිපයක් ඇතුළත වීඩියෝ ක්ලිප් ඔස්සේ රටම දැකබලා ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළකිරීමට චමල් රාජපක්ෂ මහතා ඉන් පසුව ක්‍රියා කළේ මෙම සිද්ධියට ලැබුණු ප්‍රචාරය සහ ප්‍රතිචාර හේතුවෙන්දැයි අපි නොදනිමු.

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම මේ සමස්ත සිද්ධියට මූලික විය. තම සහෝදර මන්ත්‍රීවරයකුගේ අසුන අහිමි වීමේදී ඒ පිළිබඳව සෙසු මන්ත්‍රීවරුන් ආවේගාත්මකව අදහස් දැක්වීම අසාමාන්‍ය සිද්ධියක් නොවේ. එහෙත් ඒ සම්බන්ධයෙන් දැන් පාර්ලිමේන්තුව දෙවනත් කරනවාට වඩා එදා රන්ජන් රාමනායකගේ කට පරිස්සම් කරගැනීමට අවවාද අනුශාසනා කර තිබුණා නම්, ඔහු ඒ උපදෙස් පිළිපැද්දා නම්, වඩාත් සංවර වූවා නම් අදත් ඔහු මන්ත්‍රීවරයෙකි. එසේ වී නම් චමල් රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා මැති ඇමැතිවරුන් අත පයේ හිරි ඇරගන්නට සූදානම් වන්නේත් නැත. විපක්ෂයට ද වඩාත් වැදගත් ජාතික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාව ද හිමිවනු ඇත.

පාර්ලිමේන්තුවේ වාද විවාදවලට බල්ලන්, බූරුවන් සහ පිස්සන් සහභාගි වන්නේ නැත. මෝඩයන් සිටීමට ද ඉඩක් නැත. එහෙත් එදා මේ වචන ද හුවමාරු වනු අසන්නට ලැබිණි. වාසනාවකට මෙන් එදින පාර්ලිමේන්තු ගැලරියට පාසල් සිසුන් පැමිණ සිටියේ නැත. එසේ සිටියා නම් ඔවුන් තමන් පාර්ලිමේන්තු රැස්වීම් නැරැඹීමේදී ලද අත්දැකීම් පාසල් පොතේ රචනාගත කිරීමේදී ‘අපේ පාර්ලිමේන්තුවේ බල්ලන්, බූරුවන්, පිස්සන් සහ මෝඩයන් ද සිටින බවත්, ඔවුන් පාසලේ ඇතැම් දඩබ්බර සිසුන් මෙන් එකිනෙකාට අභියෝග කරගනිමින් එළියේදී බලා ගනිමු’ යැයි පවසන බවත් යනුවෙන් සඳහන් වීමට ඉඩ තිබිණි. එසේ සිදු වූවා නම් ඒ පිළිබඳව කනගාටු විය යුත්තෝ රටේ මහජනතාව නොව පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුමය. 

චමල් රාජපක්ෂ වැනි හිටපු කතානායකවරයකු සහ ඇමැතිවරයකු ද රටේ විශිෂ්ට හමුදා නායකයකු වශයෙන් ඉහළම තනතුරකින් පුදනු ලැබ සිටින සරත් ෆොන්සේකා වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ද මේ තරම් බාල තත්ත්වයකට ඇදවැටීම රටේ ප්‍රතිරූපයට පවා හානියක් බව පෙන්වා දිය යුතුය. රටේත් මහජනතාවගේත් සුබසිද්ධිය සඳහා අතිවිශිෂ්ට මෙහෙවරක් සිදුකර ඇති මැති ඇමැතිවරුන් සිටි රටක්, ලොවටම පූර්වාදර්ශයක් කරගත හැකි සාරගර්භ හරවත් වාද විවාදවලින් පාර්ලිමේන්තු දේශපාලනය පෝෂණය කළ බුද්ධිමත් දේශපාලනඥයන් සිටි රටක් මේ තත්ත්වයට ඇදවැටීම පෙන්නුම් කරන්නේ මෙරට පාර්ලිමේන්තුවේ සාරධර්ම දැඩි සෝදාපාළුවකට ලක්වෙමින් තිබෙන බවය. එය නිවැරැදි කරගැනීමේ වගකීම ඇත්තේ ද අපේ මැති ඇමැතිවරුන් අතේමය.

මෙරට දේශපාලන ඉතිහාසයේ සිරගත කෙරුණු එකම මන්ත්‍රීවරයා රන්ජන් රාමනායක නොවේ. සිරගත කිරීමේ හේතුවෙන් හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් හෝ මන්ත්‍රී පදවිය අහෝසි කෙරුණු එකම මන්ත්‍රීවරයා ද රන්ජන් රාමනායක නොවේ.

රටේ ජාතික නායකත්වයට යා හැකි බුද්ධිමත් දේශපාලනඥයන් වශයෙන් සැලකුණු ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක යන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ද වරක් අහිමිකරනු ලැබීය. එය සිදුවූයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් වූ හිටපු ජනපති ආර්. ප්‍රේමදාස යුගයේදී බව ද සිහිපත් කිරීමට කැමැත්තෙමු.

එවැනි අවස්ථාවලදී ඒ පිළිබඳ වාද විවාද කළ යුත්තේ පාර්ලිමේන්තුවේත් තම තමන්ගේත් ගෞරවය රැකෙන පරිදිය. එසේ වුවහොත් අඩුම තරමින් මේ රටේ පාර්ලිමේන්තුවේ බල්ලන්, බූරුවන්, මෝඩයන් සහ පිස්සන් නොමැති බව හෝ මහජනතාව තේරුම් ගනු ඇත.
 

(***)