පාම් ඔයිල් වගාකරන ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවලට ජනාධිපතිවරයා ගිය අවස්ථාවේ පාම් ඔයිල් වගාව නිසා දිය උල්පත් සිඳී යන්නේය යන හැඟුම්බර ආයාචනය ගම්මුන් කර තිබේ. පාම් ඔයිල් වගාව තහනම් කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණයට එය බොහෝ සෙයින් බලපා තිබීම අතිශය කනගාටුවට කරුණකි. කෙසේ වුවද පර් යේෂණාත්මක සාක්ෂි මගින් ගම්මුන්ගේ මතය  සනාථ වී නැත.

ඇෆ්ලොටොක්සින් වලින් දූෂණය වූ පොල්තෙල් ගැනත් පොල්තෙල්වලට පාම් ඔයිල් මිශ්‍ර කිරීම ගැනත් පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහ සිදුවිය. පාම් ඔයිල් ආනයනය මුළුමනින් තහනම් කිරීමේ හා දැනට පවතින පාම් ඔයිල් වගාව කොටසින් කොටස උදුරා දැමීමේ ඔහුගේ ප්‍රතිපත්තිමය තීන්දු වලට ඉහත කී සිද්ධිය ද බලපා ඇති බව පෙනී යයි.

කෙසේ වුවද ඉන් අනතුරුව ආහාර පාන නිෂ්පාදකයන්ගේ සහ පාම් ඔයිල් භාවිතා කරන අනෙකුත් කර්මාන්ත හිමියන්ගේ හඬ නැගීම නිසා පාම් ඔයිල් මුළුමනින් තහනම් කිරීම සංශෝධනයට ලක්කොට පිරිපහදු නොකළ පාම්ඔයිල් පමණක් තහනම් කොට පිරිපහදු පාම් ඔයිල් ආනයනයට අවසර දෙන ලදී.


ජාතික මට්ටමෙන් එළැඹෙන ප්‍රතිපත්තිමය තීරණ කඩිමුඩියේ නොගෙන සාක්කි සහිතව පරෙස්සමෙන් කරුණු සොයා බලා ගතයුතු බව අමුතුවෙන් කිවයුතු නැත.

මෙම විෂය මැනවින් දන්නා වෘත්තිකයන්ගෙන් හෝ අවම වශයෙන් ඔයිල් පාම් පිළිබඳ පර් යේෂණ හා ප්‍රවර්ධන කටයුතු කිරීමේ බලයලත් පොල් පර් යේෂණ ආයතනයෙන් ඔහු ඒ ගැන විමසා බැලුවේ නම් මැනවි. අවාසනාවකට හේතුව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විද්‍යාව පිළිබඳ මනා දැනුමකින් යුත් අයකු වුවත් මෙම කරුණු සම්බන්ධව අවිධිමත් අයුරින් තොරතුරු ලබා ගැනීමයි.


මාස කිහිපයකට පෙර පාම් ඔයිල් පිළිබඳ ප්‍රවීණත්වයක් දරන ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් 17 දෙනෙක් සහ මෙම ලේඛකයා ද, මහාචාර්යවරුන් 12 දෙනකුගෙන් යුක්ත පිරිසක් එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියක් ලියා මෙම විෂය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියහ. කිහිපවාරයක් ඒ ගැන සිහිපත් කරමින් කාර්යාලයට  ඇමැතුම් දුන්පසු අතිරේක ලේකම්වරයකුගෙන් ලැබුණු ප්‍රතිචාරය නම් පාම් ඔයිල් පිළිබඳ තීරණය මේ වනවිට ගෙන හමාර නිසා ජනාධිපතිවරයා සාකච්ඡා වාරය ලබා දෙන සෙයක් නොපෙනෙන බව කීමය. අපගේ ඉල්ලීම එසේ තිබියදී ඔහු වෙත සැපයෙන වැරදි තොරතුරු මත වැරදි තීරණයක් ගන්නා තැනට කටයුතු යෙදී තිබේ. මෙම කාරණය සම්බන්ධව නිවැරැදි තොරතුරු ඔහු වෙත ඉදිරිපත් කිරීම තීරණාත්මක වශයෙන් වැදගත් වුව ද එම කාරණය ඉෂ්ඨ වූයේ නැත.

ඉන්දියාවේ තත්ත්වය මීට වඩා බොහෝ සෙයින් වෙනස්ය. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානු තාක්ෂණික කොමිසමෙන් විමසා බලා (තාක්ෂණික කොමිසම යනු 1960 අගමැති ශ්‍රීනේරු පිහිට වූ සැලසුම් කොමිසම වෙනස් වී දැනට ඒ වෙනුවෙන් පවතින කොමිසමයි.) මීළඟ දශක දෙක ඇතුළත ඔයිල් පාම් වගාව හෙක්ටයාර් මිලියන 2 කින් ව්‍යාප්ත කිරීමට පසුගිය වසරේ තීරණය කර තිබේ. ඉහත කී තාක්ෂණික කොමිසම සියලුම තාක්ෂණික ක්ෂේත්‍ර නියෝජනය කරන ඉහළම පෙළේ වෘත්තිකයන් 40 දෙනෙකුගෙනුත්, පාම් ඔයිල් පර් යේෂණ හා ප්‍රවර්ධනය කරනු ලබන සංගමයෙනුත් සමන්විත වන්නකි. වර්තමානයේ ඉන්දියාවේ පාම් ඔයිල් වගාබිම් ප්‍රමාණය හෙක්. 400000 ක් වන අතර ඊට මීළඟ දශක දෙක තුළ ඉහත කී හෙක්ටයාර මිලියන 2 එකතු වීමට නියමිතය. මෙකී පාම් ඔයිල් වගාව වාරි ජලය යොද‌ාගෙන සිදුකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අඩු අස්වැන්නක් ලැබෙන කන්න බෝග වන තල, හණ හා රටකජු වගාව ඉවත් කෙරේ.

මේ වනවිට මෙම (ඉවත්කරන) බෝග යොද‌ාගෙන ඉන්දියාවේ නිෂ්පාදනය වන එළවළුතෙල් ප්‍රමාණය එරට ජාතික අවශ්‍යතාව පිරිමසා ගන්නට ප්‍රමාණවත් නොවේ. එම නිසා විශාල වියදමක් දරා ඉන්දියාවට පාම් ඔයිල් ආනයනය කරන්නට සිදු වී තිබේ. අපේ ජනාධිපතිවරයා වෙනත් තැනක සිදුවෙන දේට දෑස් වසා ඉන්නේ ඇයි? ශෝචනීය අයුරින් පෙනී යන්නේ ඔහු හෙන්චයියන්ගෙන් පමණක් උපදෙස් ගන්නා බවයි. එහෙන් මෙහෙන් තොරතුරු අහුලාගත් පොල් අංශයේ ඉහළ තනතුරක් දරන ඔවුන්ගෙන් එක් අයෙක් තමාගේ (ම.ප.අ.) අධිකාරිය යහපාලනයේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මේවා ලියා යවා ඇති බව ඔහුගේ කනට කොඳුරා ඇති බව පෙනී යයි. ඇත්තෙන්ම මෙය ඇවිළෙන ගින්නට පිදුරු දැමීමකි. මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව පොල් පර් යේෂණ ආයතනයෙනුත්, වෙනත් මේ ගැන හොඳින් දැනුවත් විද්‍යාඥයන් විසිනුත් (රුහුණු විශ්වවිද්‍යාලයේ වැවිලි බෝග සම්බන්ධ මහාචාර්යවරයකු ඇතුළුව) දැඩි ලෙස විවේචනයට ලක්කොට තිබිණි. ඔවුන් පවසන පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවේ සඳහන් නිරීක්ෂණ 14න් 12ක්ම අතිශය වැරැදි සහගතය. කෙසේ වුවද එම විවේචනයෙන් ඵලක් නොවූ අතර යහපාලන රජය අක්කර 20,000 කින් පාම් ඔයිල් වගාව නංවන්නට ගත් මුල් තීරණය අහෝසි කර දමන ලදී. එයින් සිදුවූයේ අවසාන තීරණයක් නොගෙන වසර ගණනාවකට රික්තයක් ඇතිවීමයි.

මධ්‍යම පරිසර අධිකාරිය ගම්මුන්ගේ මතයට සහාය දක්වමින් පාම් ඔයිල් වගාවෙන් පස වියළීමකට ලක්වන බව වැරදි තර්කයක් මත පිහිටා වාර්තා කළේය. එහි සඳහන් කරන ආකාරයට රබර් ගසකින් දිනකට උත්ස්වේදනය හරහා වාෂ්පීකරණයට ලක්වෙන ජල ප්‍රමාණය ලීටර් 63 කි. ඔයිල්පාම් ගසකින් දිනකට වාෂ්පීකරණයට ලක්වෙන ජල ප්‍රමාණය ලීටර් 500 – 600 කි.

පාම්තෙල් වෙනුවට පොල්තෙල් ආදේශකයක් ලෙස යොද‌ාග යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබේ. එම අරමුණු සාර්ථක කර ගැනීමට නම් පොල් වගා කෙරෙන බිම් ව්‍යාප්ත කළ යුතුය. වර්තමානයේ රටේ සාමාන්‍ය පොල් ඵලද‌ාව හෙක්ටයාරයකට මෙ.ටොන් 0.8 කි. ගෝලීය වශයෙන් පාම්ඔයිල් අස්වැන්නේ සාමාන්‍යය හෙක්ටයාරයකට මෙ.ටො. 3.8 – 4.00 ක් පමණ වේ. එම නිසා පාම්ඔයිල් වෙනුවට තරගකාරී ලෙස පොල්තෙල් ආදේශ කිරීමට නම් පොල් වගා බිම් පස් ගුණයකින් වැඩි කළ යුතුය. මේ සඳහා අපට ඉඩම් ඇත්තේ කොහිද?


එසේ වුව ද එම සංඛ්‍යා පහත දැක්වෙන ආකාරයෙන් නිවැරැදිය විය යුතුය. පාම් ඔයිල් ගසකින් දිනකට උත්ස්වේදනය හරහා වාෂ්පීකරණය වන ජල ප්‍රමාණය ලීටර් 249 කි. රබර් ගසකින් දිනකට උත්ස්වේදනය හරහා වාෂ්පීකරණය වන ජල ප්‍රමාණය ලීටර් 63 කි. සාමාන්‍යයෙන් හෙක්ටයාරයක සිටුවනු ලබන පාම් ඔයිල් ගස් ගණන 143 ක් තිබෙන හෙක්ටයාර් එකකින් එම වගාවේදී වාෂ්පීකරණය වන ජල ප්‍රමාණය දිනකට ලීටර් 35607 කි. හෙක්ටයාරයක සාමාන්‍යයෙන් සිටුවන රබර් ගස් ගණන 520 කි. එවිට හෙක්ටෙයාර් එකක රබර් වගාවකින් දිනකට උත්සවේදනය හරහා වාෂ්පීකරණය වන ජල ප්‍රමාණය ලීටර් 32760 කි.

පාම් ඔයිල් වගාව සඳහා සාමාන්‍යයෙන් වර්ෂයකට මි.මී. 1300 ක වර්ෂාපතනයක් අවශ්‍ය වන අතර රබර් වගාවට වර්ෂයකට අවශ්‍ය වර්ෂාපතනය මිමි. 1200 කි. මෙම බෝග දෙකම වගා කරනුයේ මි.මි. 3000 ක වර්ෂාපතනයක් ඇති තෙත් කලාපයේ බැවින් බෝග දෙකටම ප්‍රමාණවත් ජල සැපයුමක් එම ප්‍රදේශයේ තිබේ. යම් බෝගයක වාෂ්පීකරණ උත්ස්වේදනය මනිනු ලබන්නේ ගස් ගණනින් නොව භූමි ඒකකයට ඇති ගස් සංඛ්‍යාව මත බව මධ්‍යම පරිසර අධිකාරිය නොදන්නා සෙයක් පෙනේ.

ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා දේශගුණ විපර්යාස සිදුව ඇති බවට පමණටත් වඩා සාක්ෂි ඇත. ඒ අතර වැඩිවන ජනගහනය නිසා ජලය පරිභෝජනය ද ඉහළ ගොස් තිබේ. දැනට උද්ගතව ඇති තත්ත්වයට වැඩිපුරම බලපා ඇත්තේ මෙම සාධකය.

මා 1992 දී මිලටගත් මගේම ගොවිපොළකින් එය වඩාත් හොඳින් මම අත්දුටිමි. මිලට ගන්නා කාලයේදී මනහර දිය දහරාවක් එම ඉඩම මැදින් ගලා ගියේය. කාලයත් සමග සිඳී යාමට ලක් වූ එම දිය දහරාව 2015 වන වට තිබූ තැනක් සොයාගත නොහැකි තරමට වියළී සිඳී ගියේය.

සිදුව ඇත්තේ ජල පරිභෝජනය පමණට වඩා ඉහළ යාම බවත් පාම්ඔයිල් වගාව නිසා දිය සිඳී යාම නොවන බවත් තර්කානුකූලව සලකා බැලූ විට පෙනී යයි.
අතීතයේ සහ වර්තමානයේ තත්ත්වය සසඳන ජල විද්‍යාත්මක අධ්‍යයනයකින් ජනාධිපතිවරයාට වර්තමාන තත්ත්වය හොඳින් වටහා ගතහැකි වනු ඇති. එහිදී විශේෂයෙන් රබර් වගා කරන ප්‍රදේශ හා පාම්ඔයිල් වගාකරන ප්‍රදේශ ආශ්‍රයෙන් කරන සසඳ‌ා බැලීමේ ජල විද්‍යාත්මක අධ්‍යයනයකින් බවත් දැනුවත්ව තීරණයකට එළඹිය හැකි වේ.

පාම් ඔයිල් සහ සෞඛ්‍යය

පාම් ඔයිල් සැකසුම් කටයුතුවලදී නිපදවෙන අතුරු නිෂ්පාදන පිළිකා කාරක සහිත වන බවට මත පළවූයේය.එහෙත් 2019 නියුට්ට්‍රියනට් නම් සඟරාවේ පළවූ පාම් ඔයිල් සම්බන්ධ ඊවා ගෙස්ටීරෝ සහ තවත් සහාය කතුවරුන් 9 දෙනෙකු එක්ව කරන විග්‍රහයකින් එහි සෞඛ්‍යයට ඇතිකරන බලපෑම වඩාත් සාකච්ඡාවට ලක්කර තිබේ. මෙහිදී වෙනත් කාරණා ද අවධාරණයට ගෙන තිබෙන අතර සාමානය අයුරින් පාම්ඔයිල් පරිභෝජනය කිරීමෙන් සෞඛ්‍යමය වශයෙන් අවද‌ානම් තත්ත්වයක් නොමැති බව තහවුරු කර තිබේ. පාම් ඔයිල්වල සියයට 46ක් සංතෘප්ත මේද අම්ල ඇති නිසා කොලෙස්ටරෝල් එය භාවිතයෙන් වැඩි වෙතැයි තර්ක කළ ද පොල්තෙල් ඒ අතින් වඩාත් නරක යැයි අයෙකුට  තර්ක කළ හැක්කේ පොල්තෙල්වල සංතෘප්ත මේද අම්ල ප්‍රතිශතය සියයට 74 වන බැවිනි. පොල්තෙල්වල සෞඛ්‍ය අතින් වාසිද‌ායක වැදගත් සංඝටක රාශියක් පවතින බව සැබෑය. ඉන් එකක් වන්නේ පොල්තෙල්වල ලෝරික් අම්ල (47%) ක තරම් ඉහළ මට්ටමක පැවතීමයි. ඒ මව්කිරිවල පවත්නා ක්ෂුද්‍රජීව නාශක විශේෂයකි. කෙසේ වුවද ඒවා කොලෙස්ටරෝල් වැඩිකරන්නා වූ මේද අම්ලයක් ද වෙයි.

පාම් ඔයිල් යනු ඉතා වැදගත් මේද අම්ල ප්‍රමාණවත් ලෙස තිබෙන    තෙලකි. ආහාර වේලේ වැඩිපුර ඒවා තිබේ නම් ඒ නිසා ප්ලාස්මා කො​ෙලස්ටරෝල් වැඩි වේ. පාම් ඔයිල්වල අඩංගු වන ඉහළ කැරොටින් ප්‍රමාණයෙන් කොටසක් සැකසුම් ක්‍රියාවලියේදී එක්වීම සිදුවේ. එය ප්‍රබල ප්‍රති පිළිකාකාරක (පිළිකාකාරක නැතිකරන) ආහාරයකි. දෙවැනි සමූහයේ ප්‍රතිඔක්සිකාරක, ටොකෝෆෙරොල් (විටමින් E ක්‍රියාකාරී) වලද ප්‍රති පිළිකාකාරක ගුණය සහ රුධිර නාළ තුළ ලේ කැටිගැසීම වළක්වන ගුණයක් ඇත. තවදුරටත් සංතෘප්ත නොවූ මේද (Monounsaturated Fat)  සංයුතිය පාම්ඔයිල්වල ඉහළ (38% ක් තරම්) වන නිසා ද සෞඛ්‍යද‌ායි ගුණය වැඩි වේ. ඒ මගින් LDL (අයහපත්) කොලොස්ටරෝල් අවම කිරීම සිදුවේ.

පොල් සහ පාම්තෙල්, ධමනිවල ලේ කැටි ගැසීමට ලක්කර නිවර්තන ප්‍රදේශවල තෙල් වර්ග, ලෙස සෝයා තෙල් නිෂ්පාදකයන් සහ වෙනත් අය විසින් වසර පනහකට පෙර පහළ ශ්‍රේණියේ ලා සලකන ලදී. උත්ප්‍රාසයට කාරණය වන්නේ අද වන විට පාම් තෙල් ගෝලීය වශයෙන් (43% තරමට) වැඩිපුරම පරිභෝජනය කරන, ගෝලීය වෙළඳපොළ කොටසක් හිමි තෙල් වර්ගය වීමයි. ඒ අතර බටහිර ජනයාගේ ආදරණීය තෛලය ලෙස හඳුන්වන තරමට පොල්තෙල් ජනප්‍රිය වී ඇත. සෞඛ්‍ය සම්පන්න ලෙස පිළිගැනෙන ඖෂධ සහ වෙනත් නිෂ්පාදන උදෙසා පොල්තෙල් ඉවහල්කර ගැනේ.


පාම් ඔයිල් වගාවට විකල්ප ඉඩම්

තෙත් කලාපයේ රබර් වගාව කළ ඉඩම් පාම් ඔයිල් වගාවට යොද‌ා ගැනීමට රජයේ යම් සැකයක් පවතී නම්, විශේෂයෙන් තෙත් කලාපයේ ඇති හෙක්ටයාර් 60,000 ක් පමණ වූ පුරන් කුඹුරු ඒ සඳහා යොද‌ාගත හැකිය. ඒවායේ වී වගාව අත්හැරද‌ා තිබෙන්නේ වී  වගාවෙන් ලැබෙන ප්‍රතිලාභ ඉතා අඩු නිසාය. ඒවායේ අතිරික්ත ජලය වැව් අද්දර පොකුණු වල එකතු වෙන්නට හැර උස්වැටිවල පාම් ඔයිල් වගාව කළ හැකිය. වැටි මැද ඇති පොකුණ මිරිදිය මත්ස්‍ය වගාව උදෙසා සාර්ථකව යොද‌ාගත හැකිය. තායිලන්තයේත්, ඉන්දුනීසියාවේත් ‘සෝජාන්’ තාක්ෂණය යොද‌ාගෙන මේ අයුරින් පොල්වගාව සිදුකෙරේ. පාම් ඔයිල් වගාවට ද එම තාක්ෂණ වඩා යෝග්‍ය වේ.

 

පොල් ආදේශයක් ලෙස

පාම්තෙල් වෙනුවට පොල්තෙල් ආදේශකයක් ලෙස යොද‌ාග යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබේ. එම අරමුණු සාර්ථක කර ගැනීමට නම් පොල් වගා කෙරෙන බිම් ව්‍යාප්ත කළ යුතුය. වර්තමානයේ රටේ සාමාන්‍ය පොල් ඵලද‌ාව හෙක්ටයාරයකට මෙ.ටොන් 0.8 කි. ගෝලීය වශයෙන් පාම්ඔයිල් අස්වැන්නේ සාමාන්‍යය හෙක්ටයාරයකට මෙ.ටො. 3.8 – 4.00 ක් පමණ වේ. එම නිසා පාම්ඔයිල් වෙනුවට තරගකාරී ලෙස පොල්තෙල් ආදේශ කිරීමට නම් පොල් වගා බිම් පස් ගුණයකින් වැඩි කළ යුතුය. මේ සඳහා අපට ඉඩම් ඇත්තේ කොහිද? ගෝලීය උණුසුම වැඩි වීම සහ වායුගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා විශේෂයෙන් වියළි කලාපයේ වියළි මාසවල පොල්මල් පරාගනය වීමේ සහ ගෙඩි හටගැනීමේ බැරෑරුම් ප්‍රශ්නයක් එම ප්‍රදේශවල ඇත. එහෙත් පොල්වගාව ව්‍යාප්ත කිරීම උදෙසා ඇති භූමිය සීමා වී තිබීම තවත් ගැටලුවකි. අමතර පොල් වගා කිරීම සඳහා තෙත් කලාපයේත් අතරමැදි කලාපයේත් ඉඩම් නොමැති තරම්ය. එක් විකල්පයක් වන්නේ පහත රට සහ මැදරට ප්‍රදේශවල තේ වගාවට සෙවණ දෙන බෝගයක් ලෙස පොල් වගා කිරීමයි. පොල් පර් යේෂණ ආයතනය සහ තේ පර් යේෂණ ආයතනය විසින් කළ පර් යේෂණවලින් මෙය සත්‍යතාවෙන් යුතු කාර්යයක් බව තහවුරු වී තිබේ.

කෙසේ වුවද නැවුම් පොල්තෙල් (Virgin)  සහ සාම්ප්‍රද‌ායික පොල්තෙල්වලට ඇති ඉල්ලුම 2015 පටන් අඩුවී ඇති සෙයක් පෙනේ. ඒ වෙනුවට පොල්වතුර සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. ඇත්ත වශයෙන්ම ඊළඟ පස්වසර තුළ පොල් වතුර ඉල්ලුම දෙගුණ වී ඉන් ලබන ආද‌ායම ඇ.ඩො.බි. 2.25 සිට 4.5 දක්වා ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ තැඹිලි වගාවට ද ඇති ඉල්ලුම වැඩි වී තිබෙන අතර පොල්තෙල් නිෂ්පාදනය උදෙසා පොල් ගෙඩි ඵලද‌ාව ලබා ගැනීමට වඩා තැඹිලි වතුර නිෂ්පාදනයට තැඹිලි වගාව වර්ධනය කිරීම විචක්ෂණ ශීලී ක්‍රියාවක් බව පෙනී යයි.

අවසාන වශයෙන් කිව හැක්කේ පාම් ඔයිල් වගාව හෝ භාවිතය තහනම් කිරීමෙන් සිදුවන්නේ රබර් වගාව මෙන් දෙගුණයක් ලාභද‌ායි වගාවක් නවතා දැමීමක් හා එදිනෙද‌ා අප භාවිතා කරන නිෂ්පාදන වලින් සියයට 50කට ද‌ායක කරගන්නා නිෂ්පාදනයක් නවතා දැමීමක් බවයි. ඒ වෙනුවට විකල්පයක් ලෙස පොල්තෙල් භාවිත කිරීමේ න්‍යායික වශයෙන් හොඳ යයි පෙනී ගිය ද ඒ උදෙසා වාණිජ වශයෙන් සාර්ථකත්වය උද‌ාකර ගැනීම අභියෝගාත්මක කාරණයකි. මෙම කාරණා උදෙසා රජයේ ක්ෂණික අවධානය යොමුවීම අත්‍යාවශ්‍ය වේ. තාක්ෂණික වශයෙන් තීරණ ගැනීම උදෙසා ගම සමග පිළිසඳර පැවැත්වීමට වඩා ජනාධිපතිවරයා ඒ සඳහා විද්වතුන් සමග පිළිසඳර පැවැත්වීම වඩා යෝග්‍ය බව අවසාන වශයෙන් කිව යුතුය.

===============================

ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ විසිනි

පරිවර්තනය – සමන් පුෂ්පලියනගේ

=============================