උසස් නිලතලවලට පත්කිරීම්, අයවැයේ ඉලක්ක, වනාන්තර එළිපෙහෙළි කිරීම්, වැව් දස දහසේ ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ආණ්ඩුවේ කොවිඩ් මර්දනයේ ගැටලු, ජනමාධ්‍ය නියාමනය හා උතුරේ, දකුණේ මළවුන් සැමරීම් ගැන මෙවර ‘‘සඳුද‌ා හමුවෙන්’’ අදහස් දක්වන්නේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි.

ප්‍රශ්නය:- 20 වැනි සංශෝධනයෙන් ප්‍රතිසංස්කරණය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය අනුව ජනාධිපතිවරයා විධායක තීන්දු රැසක්ම පසුගියදා ගත්තා. විධායක තීන්දු ගැන ජනතා විමුක්ති පෙරමුණේ නිරීක්ෂණ කෙබඳුද?
පිළිතුර:- ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනයෙන් තමන්ට ලැබුණු බලතල අනුව හදිසියෙන් අලුත් අමාත්‍යාංශ දෙකක් හැදුවා. මේ වනවිටත් පාර්ලිමේන්තුවට අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා අමාත්‍යාංශවලට වැය ශීර්ෂ වෙන්කරලා ඉවරයි. එම අයවැය ලේඛනයේ මුදල් උපයාගන්නා හා වියදම් කරන ආකාරය විස්තර කරලා තිබෙනවා. එහෙම තිබෙද්දී තමයි මෙහෙම අමාත්‍යාංශ දෙකක් අලුතින් හදන්නේ. ජනවාරි පළමුවැනිදා සිට මේ අමාත්‍යාංශවලට පඩි ගෙවන්නවත් සල්ලි නෑ. එක්කෝ අයවැය ඉදිරිපත් කිරීමට පෙර මෙම අමාත්‍යාංශ පිහිටුවිය යුතුයි. එහෙම නැත්තම් ඉක්මනින් අයවැයට සංශෝධනයක් ගෙන ආ යුතුයි. හැබැයි තවමත් නෑ. උසස් නිලතලවලට පත්කිරීම් ගත්තත් එහෙමයි. උදාහරණයකට රාජ්‍ය සේවා කොමිසමට ව්‍යාපාරිකයන් දානවා. ඔවුන්ගෙන් සමහරු රජය සමග බිස්නස් කරන අය. එතකොට අදාළ ව්‍යාපාරිකයා යම් ටෙන්ඩරයකට ඉදිරිපත් වූ විට ඔහුට එය ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කරන රාජ්‍ය නිලධාරීන්ගේ උසස්වීම්, මාරුකිරීම්, විනය ක්‍රියාමාර්ග ගන්නෙත් එම ව්‍යාපාරිකයාමයි. එය ලබැදියාවන් අතර ගැටුමක්.

ප්‍රශ්නය:- අයවැයේ දත්ත සම්බන්ධයෙන් විවාදයක් නිර්මාණය වී තිබියදී ආණ්ඩුව පැත්තෙන් කියන්නේ තමන් 2021ට ඉදිරිපත් කළේ ජනතාව සතුටු කරනවාට වඩා ප්‍රතිඵලය පෙන්විය හැකි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවිය හැකි ආර්ථික දැක්මක් බවයි. ආණ්ඩුවේ ප්‍රකාශය හා ඔබ එකඟද?
පිළිතුර:- මේ අපේ රටේ හැත්තෑ පස් වැනි අයවැය ලේඛනය. මේ හැම අයවැයක්ම ඉදිරිපත් කරද්දී රට සිංගප්පූරුවක් කරන බව ජාතික නිෂ්පාදනය ඉදිරියට ගෙනඑන බව කල්පනා කළයුත්තේ මේ මොහොත නොව අනාගතය ගැන බව ආදී වශයෙන් වූ සාහිත්‍ය වැකි අපි ඕනෑ තරම් අසා තිබෙනවා. හැබැයි මේ සියලු අයවැය ඉදිරිපත් කරලා ආපහු හැරිලා බැලුවාම රට ගෙවාගත නොහැකි ණය කන්දක හිරවෙලා තිබෙනවා. රටේ නිෂ්පාදනය කඩාවැටී තිබෙනවා. ආනයන අපනයන අතර පරතරය වර්ධනය වී තිබෙනවා. දුප්පත්භාවය, සාගින්න, ණයගැතිභාවය පොදු ජනතාව අතර වර්ධනය වී තිබෙනවා. මේ අර්බුදයන්ට විසඳුමක් මේ අයවැය ලේඛනයේත් නෑ. මේ වසර අවසාන වනවිට රාජ්‍ය ආයතන 32ක පාඩුව රුපියල් කෝටි 12,000 යි. එය අවම කරගැනීමට ආණ්ඩුවට තිබෙන සැලැස්ම කුමක්ද? ලබන වසරේ රජය හා පෞද්ගලික ආයතන විසින් විදේශයන්ට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.7 ඉක්මවනවා. මේ මුදල හොයාගන්නෙ කොහොමද කියන පැනයට උත්තරයක් අයවැය ලේඛනයට ඇතුළත් කළ යුතුයි. ඒ වගේම අපේ රාජ්‍ය ආදායම බිලියන 1300ක් දක්වා ඉතාම පහළ අගයකට මේ වසරේ වැටී තිබෙනවා. එය බිලියන 2000ට වැඩි කිරීමට ඉලක්ක සකස් කළත් කිසිසේත් එසේ නොවන බව පැහැදිලියි. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කියනවා නම් ඊට අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය ඊට තාක්ෂණය එකතු කිරීම හා වෙළෙඳපොළක් නිර්මාණය කිරීම කළයුතුයි. නිෂ්පාදනය රඳාපවතින්නේ මේ සාධක මතයි. හැබැයි මේ එවැනි කිසිදු විධිමත් වැඩපිළිවෙළක් සහිත අයවැය ලේඛනයක් නෙවෙයි.

ප්‍රශ්නය:- වනාන්තර එළි පෙහෙළි කළ බවට හිටපු ඇමැති බදියුදීන්ට අධිකරණයෙන් දඬුවමක් පනවද්දී වනාන්තර අවභාවිතය ගැන වනජීවී නිලධාරීන් හා විෂය භාර ඇමැතිවරයා අතර ගැටුමක් හටගෙන තිබෙනවා. පරිසර ආරක්ෂණය ගැන වැඩි බරක් තැබූ පක්ෂයක් හැටියට මේ විවාදය ගැන දරන්නේ කවර අදහසක්ද?
පිළිතුර:- මිනිසුන්ගේ මිනිසත්කම නැති කරන පරිසර පද්ධතිය විනාශ කරන මිනිසුන් අතර බැඳීම් මුළුමනින් පොඩිපට්ටම් කරන ආර්ථික ගමනක් දැන් තිබෙන්නේ. ගංගාවක් දැක්කාම ඔවුන්ගේ ඔළුවට එන්නේ කොච්චර වැලි තිබෙනවද කියලා. ගලක් දැක්කම පස් කන්දක් දැක්කම ඔළුවට එන්නේ කොච්චර කියුබ් තිබෙනවද කියලා. වනාන්තරයක් දැක්කම හිතන්නේ කොච්චර දැව තිබෙනවද කියලා. මේ නරුම සමාජය හදන්න මේ දේශපාලකයන් හා ආර්ථික උපායමාර්ග උපකාරී වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුවත් ග්‍රාමීය වශයෙන් තමන්ගෙ ඡන්දපොළ නියෝජිතයන් විදියට හිටපු අයගේ, දිස්ත්‍රික් මට්ටමින් තමන්ට උදවු උපකාර කළ අයගේ හා ජාතික වශයෙන් තමන්ට මුදල් යොදපු ජාවාරම්කාර කණ්ඩායම්වල හිතසුව පිණිස කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව පත්වූ ගමන් වැලි හා ගස් ප්‍රවාහන බලපත් ඉවත් කළා. මෙතෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තිබුණු ඉඩම් දිසාපතිවරයාට පැවරෙන සේ ගැසට් කළා. ඇමැතිවරු දෙදෙනෙක් ප්‍රසිද්ධියේ වනජීවී නිලධාරීන් සමග හැප්පෙන්න පටන්ගත්තා. සමහර ඇමැතිවරුම ඩෝසරයට නැගලා වනාන්තර ඩෝසර් කරන හැටි අපි දැක්කා. මේ පාලකයන්ටත් පරිසර පද්ධතිය යනු තවත් ලාබ උපයන මෙවලමක් විතරයි. අපේ භූගත ජල මට්ටම පහළ ගිහින්. වැසි දෙකක් වහිනකොට ගංවතුර ගලන සති දෙකක් පායනකොට වියළි තත්ත්වයක් ඇති කරන පරිසර පද්ධතියත් බිහිවෙලා. අනාගත පරම්පරාවට මේ පාලකයන් කළ බරපතළම අපරාධය පරිසර විනාශය කියලා මා හිතන්නේ. අනෙක් හැම විනාශයක්ම සැලසුම්වලින් වෙනස්කරගන්න අපට හැකිවුණත් පරිසරයට කළ මේ අපරාධය දශක ගණනාවකට නිවැරැදි කරගන්න බැරි වේවි.

ප්‍රශ්නය:- වැව් පිළිසකර කිරීම ගැනත් ඔබ පාර්ලිමේන්තුවේදී කතා කළා. එහෙත් ඊට පසුව වාරිමාර්ග රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවකදී චෝදනා කළේ ඔබටයි. වැව් දස දහසක් හදන වැඩපිළිවෙළක් 2004-2005 කාලයේදී ඔබ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ආරම්භ කළත් එය අසාර්ථක වූ බවටයි. මේ චෝදනාව පිළිගන්නවද?
පිළිතුර:- වැව් දස දහස කියන්නේ අවුරුදු කීපයක ව්‍යාපෘතියක්. එක අවුරුද්දකින් අපේ රටේ වැව් දස දහසක් ප්‍රතිසංස්කරණය කරන්න බෑ. එකක් අපේ වැව් ප්‍රතිසංස්කරණය කළහැක්කේ වැහි කාලයේ නෙවෙයි. ඉතාමත් කෙටි නියං කාලයේදී විතරයි. ඒ සඳහා වූ කාර්යමණ්ඩලය ගත්තාම මෙය දිගුකාලීන ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියේදී අපි පළමු වසරේදී වැව් දාහක් හඳුනාගෙන එයින් වැව් 842ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළා. එය සියයට 85ක ප්‍රගතියක්. එතෙක් ලංකාවේ වැඩිම වී අස්වැන්න ලබාදෙන්න හැකිවුණා. වාරිමාර්ග ඇමැති හැටියට දේශීය ඉංජිනේරුවන් යෙදෙව්වා. මැණික් ගඟ කියන්නේ එවැනි අපේ ව්‍යාපෘතියක්. හැබැයි මේ මන්ත්‍රීවරයාගේ තාත්තා කෘෂිකර්ම ඇමැති හැටියට සිටිද්දී පේරාදෙණිය උද්‍යානය තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ. ඔහු කළේ පේරාදෙණිය උද්‍යානයෙන් රුපියල් මිලියන 100ක් ආණ්ඩුවේ සල්ලි වෙන්කරලා අම්බුළුවාව කන්ද හදපු එකයි.

ප්‍රශ්නය:- ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ පැමිණීම සමග නැවතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන විවාදය තියුණු වී තිබෙනවා. වරාය වෘත්තිය සමිති මෙන්ම ජ.වි.පෙත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණාදැමීමට උත්සාහ කරන බවට චෝදනා කළත් විෂය බාර ඇමැතිවරු කියන්නේ මෙය ආයෝජනයක් පමණක් බවයි. ආණ්ඩුවේ පිළිතුර පිළිගන්නේ නැද්ද?
පිළිතුර:- ඔය විකිණීමේ කතාව අපේ රටට වරක් ජනසතුකරණය මුවාවෙන් ආවේ. තව අවස්ථාවක ආවේ ප්‍රතිසංස්කරණ මුවාවෙන්. දැන් එන්නේ ආයෝජන මුවාවෙන්. වරාය අපේ රටේ ආර්ථිකයේ වැදගත් මධ්‍යස්ථානයක්. මේ වරායේ ජැටි පහක් තිබුණා. ඒවා අවස්ථා ගණනාවකදී විකුණා දැම්මා. මීටර 18ක් ගැඹුරු නැව් ගේන්න පුළුවන් එකම තැන තිබෙන්නේ නැගෙනහිර ජැටියයි. ඉන්දීය සමාගමකට එහි කොටස්වලින් සියයට 49ක් හා කළමනාකරණය දෙන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එකඟතාවයකට අත්‍සන් කර තිබෙනවා. එය අවසන් ගිවිසුමක් නෙවෙයි. දැන් මේ ආණ්ඩුව ඒ මත ඉදිරියට ගිහින් නැගෙනහිර පර්යන්තය අලෙවියට එකඟ වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ එය අත්සන් කරද්දි ඒක අලෙවිකිරීමක් කිව්වේ මේ අයමයි. රනිල් වික්‍රමසිංහ කරද්දි ඒක අලෙවිකිරීමක් යයි කියූ රෝහිත අබේගුණවර්ධනලා තමන්ම ඒක කරද්දි ඒකට ආයෝජනයක් යැයි කියනවා. මේ පාලකයන්ගේ උත්සාහය අපේ රටේ ඉතාම වැදගත් සම්පතක් ඉන්දියාවට පවරාදෙන්නයි. අපේ වෘත්තිය සමිති ඊට එරෙහිව නඩුවක් දාලා තිබෙනවා. අපි මේ කතා පිළිගන්නේ නෑ.

ප්‍රශ්නය:- කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හටගන්නා විවාදවලදී ආණ්ඩුව දිගින් දිගටම චෝදනා කරන්නේ තමන් කොව්ඩ් සමග රට ඉදිරියට ගෙනයන්නට තැත් කරද්දී විපක්ෂය කොවිඩ් වසංගතයට මුවා වී දේශපාලනය කරන බවටයි. කොවිඩ් සමග රට ඉදිරියට යාම ගැන ජ.වි.පෙට තිබෙන්නේ  මොන වගේ අදහසක්ද?
පිළිතුර:- කොරෝනා වසංගතයේදී අපට ඉදිරියට යාමට මාවත් දෙකක් තිබෙනවා. එකක් රට මුළුමනින්ම වසා ඉදිරියට යෑමයි. දෙක රට විවෘත කරමින් කොරෝනා තත්ත්වයට මුහුණ දෙමින් ඉදිරියට යෑමයි. මේ පාරවල් දෙකෙන් කවරක් තෝරාගන්නවාද කියා තීරණය කළයුත්තේ ආණ්ඩුවයි. ඔවුන්ට තමයි දත්ත හා තොරතුරු තිබෙන්නේ. කොරෝනා සමග රට ඉදිරියට ගෙනයන්න ආණ්ඩුව තීරණය කර තිබෙනවා නම් කළයුතු සූදානම් කිරීම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එකක් ප්‍රවාහනය. මොන නිරෝධායන නීති හැදුවත් අද බස් එකේ කෝච්චියේ එකට ගැටි ගැටී යන්න වෙනවා නම් ප්‍රතිඵලය කුමක්ද? කොරෝනා තත්ත්වය සමග මිලදී ගැනීම් බොහෝසෙයින් අවම වී තිබෙනවා. පාරේ තොටේ හෝ නිවෙස්වලට ගොස් බඩු විකුණපු අයට අද වෙළෙඳාම් නෑ. දෛනික ජීවන මාර්ග සහමුලින් කඩා වැටී තිබෙනවා. ඔවුන්ට ජීවත්වීමේ මාර්ගයක් ආණ්ඩුවෙන් හදන්න ඕනෑ. ආණ්ඩුව පොදු ස්ථාන සඳහා නිරෝධායන ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා. එහෙම නම් ඒ නිරෝධායන රීති පවත්වාගෙන යන්න පොදු ස්ථානවල යටිතල පහසුකම් වර්ධනය කළ යුතුයි. විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය අංශයේ ධාරිතාව වැඩි කළ යුතුයි. ඇඳන්, වාට්ටු වගේම කාර්ය මණ්ඩලය පුළුල් කළ යුතුයි. හැබැයි ඒ වෙනුවට ආණ්ඩුව ගිය අවුරුද්දේ සෞඛ්‍යට වෙන් කරපු මුදලටත් වඩා මේ අවුරුද්දේ මුදල් අඩු කරලා. කොරෝනා පිළිගෙන ඉදිරියට යන්න සූදානම් කිව්වාට ආණ්ඩුව එහිදී මතුවන අතුරු සාධකවලට විසඳුම් නැතිවයි යන්න හදන්නේ. ආණ්ඩුව මේ කරමින් සිටින්නේ මිනිස්සුන්ගෙ ජීවිත සමග සෙල්ලමක්. මේ වනවිටත් මිනිසුන් 107ක් මිය ගිහින්. මේ අපේ රටේ පුරවැසියන්. ඉලක්කම් ගැන කියලා අපට සතුටු විය හැකිද? දැන් ආණ්ඩුව ඉන්නෙ සංඛ්‍යාව පොඩියි කියල සතුටු වෙන මානසිකත්වයක.  

ප්‍රශ්නය:- කොවිඩ් දත්ත කරුණුමය වශයෙන් වැරැදි ලෙස වාර්තා කරන්නන් හා අසත්‍ය තොරතුරු වාර්තාකරණය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ සිට වෙබ් අඩවි නියාමනයක් දක්වා ආණ්ඩුව ගමන් කරමින් සිටිනවා. මාධ්‍ය සංවිධානත් ඒ ගැන ප්‍රශ්න කර තිබෙනවා. ජනමාධ්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය නියාමනයක් අවශ්‍ය යැයි ජ.වි.පෙ හිතනවද?
පිළිතුර:- සමාජ මාධ්‍ය හැසිරීමේදී පුරවැසියන් හැටියට අපි කාටත් වගකීමක් තිබෙනවා. යම් පුද්ගලයෙක් හෝ දේශපාලන ව්‍යාපාරයක් හෝ ආයතනයක් ඉලක්ක කොට නිර්මාණය කරන අසත්‍ය අවලාද තිබෙනවා නම් ඒ සඳහා ක්‍රියාත්මක වීමට අවස්ථාවක් තිබිය යුතුයි. ඒ ගැන විවාදයක් නෑ. හැබැයි එය සත්‍ය තොරතුරු සමාජගත කිරීම වැළැක්වීමේ ප්‍රයත්නයක් නම් එය නතර කළ යුතුයි. ආණ්ඩුව මේ විවිධ දේවලට මුවාවෙමින් උත්සාහ කරන්නේ ජනතාව වෙත ඇත්ත තොරතුරු ගලායාම වැළැක්වීමටයි. ආණ්ඩුව අද බොහෝ මාධ්‍ය ආයතන සිය අණසකට යටත්කරගෙන තිබෙනවා. එතකොට ඒ ආයතනවලින් ප්‍රවෘත්ති සමාජයට එන්නේ ආණ්ඩුවේ පෙනේරයෙන් හැලිලයි. මේ නිසා සමාජ මාධ්‍ය තුළින් නිදහසේ ප්‍රවෘත්ති ගලායාමේ ඉඩක් නිර්මාණය වී තිබෙනවා. ඉතින් ආණ්ඩුවේ මේ ප්‍රයත්නය සමාජ මාධ්‍යයේ නිදහස් අවකාශයත් පොඩිපට්ටම් කිරීමයි. ඒ ප්‍රයත්නයට දේශපාලන පක්ෂයක් ලෙස අප කිසිසේත් එකඟ නෑ පමණක් නෙවෙයි එය පරාජය කිරීමටත් අපි කටයුතු කරනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේ කටයුතු කරන්නන්ටත් පුද්ගලයන් ආයතන දේශපාලන ව්‍යාපාර ඉලක්ක කරගනිමින් අසත්‍ය හා විකෘති කරන ලද පුවත් පළකිරීම් නොකිරීමට විශාල වගකීමක් තිබෙනවා.

ප්‍රශ්නය:- උතුරේ යුද සැමරුම්වලට අධිකරණ වාරණ නියෝග පැනවීම් ගැන දේශපාලන සාකච්ඡාව අලුත් වී තිබෙනවා. ඒ, දකුණේදී ඉල්මහ විරුවන් සැමරෙනවා නම් උතුරට එය අකැපද කියායි. ජ.වි.පෙ ඉල්මහ විරුවන් මෙවරත් සැමරුවා. ජ.වි.පෙ නායකයා මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද?
පිළිතුර:-  ඕනෑම පුරවැසියකුට අහිමි වූ තමන්ගෙ ඥාතියකු හිතවතකු අනුස්මරණයට අයිතියක් තිබෙනවා. දෙමළ ද සිංහල ද මුස්ලිම් ද භේදයකින් තොරව ඒ අයිතිය අපි පිළිගත යුතුයි. ඒ අයිතියට අපි ගරු කරනවා.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)