තමන්ට පාසලේ දී සිදුවූ අපයෝජනයක් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් පියවරක් නොගන්නා තැන ඒ දුක්ගැනවිල්ල ජනමාධ්‍යයට කීවේ යැයි කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියකගේ වැඩ තහනම් කරනු ලැබුවේ 2012 වසරේදීය. රාජ්‍ය සේවයේ මෙවැනි අසාධාරණකම් කොතෙකුත් සිදු වූවත් බොහෝ දෙනකු කරබාගෙන සිටිති. එහෙත් මහානාම විද්‍යාලයේ ගුරුවරියට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගියාය. අවසානයේ ඇය ඉන් ජයග‍්‍රහණය කළේ කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් ගැන මෙන්ම භාෂණයේ නිදහස ගැන ද හොඳ නඩු තීන්දුවක් ලබා ගනිමිනි. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් හෙළිදරව් කරන්නට යන්නේ ද ඒ හා සමාන කතාවකි.

මෙවර සිදුවීම වාර්තා වන්නේ පොලිසියෙන් වීම විශේෂත්වයකි. නීතිය හා සාමය රකින්නට ඉන්නා ශ‍්‍රී ලංකා පොලිසියේ, පොඩ්ඩන්ට අපමණ අසාධාරණකම් සිදු වූවද ඔවුහු නිශ්ශබ්දව සිටිති. ඒ ඉහළ නිලධාරීන් සමඟ ගැටුමක් ඇතිකර ගත හොත් අත්වන ඉරණම දන්නා නිසාය. අප මෙවර කතා කරන්නට යන කතාවේ පොලිස් පොඩ්ඩා තමාට වූ අසාධාරණයක් ගැන නොබියව පැමිණිලි කළේය. අවසානයේ මහානාම ගුරුවරියට සේම පොලිස් පොඩ්ඩාට ලැබුණේ අසාධාරණ තීන්දුවකි. මෙවැනි සිදුවීම් කොතෙකුත් සිදුවන නිසා මින් ඉදිරියට හෝ එවැනි සිදුවීම් යළි නොවීමට මෙය හෙළිදරව් කරන්නැයි පොලිස් පොඩ්ඩෝ රැසක් ඉල්ලා සිටියහ.

මෙම සිදුවීම වාර්තා වූයේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ පොලිසියකිනි. කතාව පටන් ගන්නේ පසුගිය පෙබරවාරි මුල වුවත් කතාව වාර්තා වෙන්නේ මාර්තු 15 වැනි දා සිටය. බදුල්ල දිස්ත‍්‍රික්කයේ අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයා  අධිකරණයේ රාජකාරි සඳහා පිටව ගොස් සිටිය දී තරුණ පොලිස් කොස්තාපල්වරයකුගෙන් ඇමතුමක් ලැබෙන්නේය. කොස්තාපල්වරයා ඉල්ලා සිටින්නේ තමාට නිවසට යාමට අවශ්‍ය බවයි. ස්ථානාධිපති පොලිසියට එනතුරු රැඳී සිටින්නැයි ස්ථානාධිපතිවරයා දන්වා සිටියත් තමාට දැන්ම නිවෙසට යෑමට අවසර දෙන ලෙස කොස්තාපල්වරයා බෑගෑපත් විය. ඒ අනුව නිලධාරියාට නිවසට යෑමට ස්ථානාධිපතිවරයා අවසර දුන්නේය.

එදින රාත‍්‍රී පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකතනයට යළිත් වරක් පෙර කී පොලිස් කොස්තාපල්වරයාගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. කොස්තාපල්වරයා කීවේ එම පොලිසියේම සිටින පොලිස් පරීක්ෂකවරයකුගෙන් තමාට දිගින් දිගටම කරදර බවයි. තමාට ඔහු අයුතු යෝජනා කරන බව ද කොස්තාපල්වරයා කීවේය. පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරයාට යොමු කළ කෙටි පණිවිඩයක් ද කොස්තාපල්වරයා ස්ථානාධිපතිට යොමු කළේය. අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ද පොලිස් පරීක්ෂකවරයකු වන අතර කොස්තාපල් චෝදනා කරන පුද්ගලයාද පොලිස් පරීක්ෂකවරයෙක් විය. ඒ අනුව පසුදිනම එනම් මාර්තු 16 වැනි දාම පොලිස් ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී හරහා කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් යොමු කළේය. එමගින් ස්ථානාධිපතිවරයා ඉල්ලා ඇත්තේ එම පොලිස් පරීක්ෂක සම්බන්ධයෙන් හැකි ඉක්මණින් විසඳුමක් ලබාදෙන ලෙසයි.

මෙය බරපතළ ප‍්‍රශ්නයක් වුවද මාස දෙකක් යනතුරු කිසිවක් සිදු නොවීය. නමට හෝ විමර්ශන ආරම්භ වූයේ මැයි 11 වැනි දා ය. අකරතැබ්බයට මුහුණ දුන් පොලිස් කොස්තාපල්වරයා මැයි 11 වැනි දා සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවනු ලැබූ අතර සහකාර පොලිස් අධිකාරීවරයා උදේ 11.45ට පොලිස් කොස්තාපල්ගෙන් ප‍්‍රකාශයක් ලබා ගත්තේය. එලෙස සටහන් කරගත් කොස්තාපල්ගේ ප‍්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.

”පොලිසියේ රාජකාරි කරමින් සිට මම මැතිවරණ රාජකාරි සඳහා ගොස් පෙබරවාරි 25 වැනි දා නැවත පොලිසියට වාර්තා කළා. මා නැවත රාජකාරි වර්තා කරද්දී පාලන අංශයේ ස්ථානාධිපති ලෙස පොලිස් පරීක්ෂක ...... මහතා රාජකාරි කළා. රාජකාරි කරමින් සිටියදී පොලිස් පරීක්ෂකවරයා දින ගණනාවක් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකුගේ නිවෙසට යමු යැයි පැවසුවා. මා අවිවාහක නිලධාරියකු බැවින් යාමට අපහසු බව පැවසුවා. මාර්තු පස් වැනි දා මාගේ දුරකථන අංකයට පැය 13.47ට එස්.එම්.එස් පණිඩිඩයක් ආවා. මා එම පණිවිඩය බලන විට එහි තිබුණේ ”මම අද හවස .... ගේ ගෙදර යන්නම්. ඔයත් පස්සේ එන්න. අද නයිට් ඔයටත් එහේ ඉන්න පුළුවන්. අපි කතා කර කර ඉමු. බොන්න  ඕන නම් මම ගේන්නම්. එහෙදි ශේප් එකේ ........ පුළුවන්. මම උදේ වෙනම එන්නම්.” යනුවෙනි. ඒ පණිවිඩයේ පිටපත මා අද දින මගේ අත්සනින් ඉදිරිපත් කරනවා.

මීට පසුවත් පොලිස් ස්ථානයේ සිටින විට පාලන අංශයට මා හට කතා කර අදවත් .... ගෙදර යමුද කියලා අහනවා. එහේ යන්න බැරිනම් තානායමට හරි යමුද, මට කාමරයක් ඒකේ තියෙනවා. අපි දෙන්නට තනියම කතා කර කර ඉන්න පුළුවන්. යනුවෙන් නොයෙක් දිනවල මගෙන් අසා තිබෙනවා. මා හට දුරකතනයට ද කතා කර අදවත් එන්න කියලා මා හට බලපෑම් කරනවා. සමහර දිනවල මම පොලිස් ස්ථානයේ සිටිය දී පොලිස් පරීක්ෂක ...... මහතා මා අසලින් ගමන් කරන විට මාගේ රහස් ප්‍රදේශය අතගාගෙන යනවා. මේ විදියට එතුමා මා හට දින පහක් පමණ කර තිබෙනවා. පසුව මාර්තු 15 වන දි ස්ථානයේ රාජකාරි කරමින් සිටිය දී පො.ප ........ නිලධාරියා මා හට කතා කරලා අදනම් අනිවාර්යෙන්ම තානායමට යමු කියා දෙතුන් පාරක් කිව්වා.

මම මේ තත්ත්වය නිසා මහත් පීඩාවට පත්වෙලා හිටියේ. මම මේ සම්බන්ධව ස්ථානාධිපතිතුමාට කියන්න  ඕනෑ නිසා එතුමාට දුරකතන ඇමැතුමක් අරගෙන සර් පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා මම අද ගෙදර ගිහින් එන්නද කියලා ස්ථානාධිපතිතුමාගෙන් අවසර ඉල්ලූවා. එතුමාගෙන් අවසර ඉල්ලා මම නිවසට පිටව ගොස් රාත‍්‍රී ස්ථානාධිපතිතුමාගේ දුරකතනයට ඇමතුමක් ගත්තා. ස්ථානාධිපතිතුමා මාගේ තාත්තා වගේ හින්දා එතුමාට මේ පිළිබඳව මුහුණ බලාගෙන කියන්න බැරි හින්දයි මම ගෙදර ගියේ. මා පසුව දුරකතනයෙන් ස්ථානාධිපතිතුමාට විස්තරේ කිව්වා.”

ස්ථානාධිපතිවරයාට මෙය කියා පැමිණිලි කිරීමෙන් පසුව මාර්තු 27 වැනි දා පොලිස් කොස්තාපල්ට දුරකතන ඇමැතුමක් ලැබී ඇත. ඒ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකුගෙනි. තම කටඋත්තරයේ ඒ ගැන ද කොස්තාප්ලවරයා සඳහන් කර තිබේ.

”ඔහු දිගින් දිගටම මා හට හා ස්ථානාධිපතිතුමාට තර්ජනය කළ අතර ස්ථානාධිපතිතුමා හා මා ...... පොලිස් ස්ථානයේ නොතියන බවත්, ස්ථානාධිපතිතුමාට හා මා හට පරිස්සමින් සිටින ලෙසට තර්ජනය කළා. ඒ සම්බන්ධයෙන් මම මාගේ සාක්කු සටහන් පොතේ 25 වැනි පිටුවේ සටහන් යෙදුවා. ඉන් පසු අවස්ථා කිහිපයකදී කතාකර තර්ජනය කළා. එම දුරකතන ඇමැතුම්වල රෙකෝඩ් දමා බාරයේ තිබෙනවා. එම තර්ජනය කිරීම් හඬපට මා ස්ථානාධිපතිතුමාට ඩීවීඩී තැටියකට යොමු කර ලබා දුන්නා.” යැයි ඒ ගැන පොලිස් කොස්තාපල්වරයා සහකාර පොලිස් අධිකාරීවරයා හමුවේ ලබා දී ඇති ප‍්‍රකාශයේ සඳහන්වේ.

සහකාර පොලිස් අධිකාරීවරයා හමුවේ ප‍්‍රකාශය ලබාදෙමින් කොස්තාපල්වරයා ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් කොස්තාපල්වරයාගෙන් ප‍්‍රකාශය ලබා ගන්නේ 2018 මැයි 11 වැනි දා උදේ 11.45ට වන අතර එදිනම සවස 1ට අදාළ පොලිසියේ ස්ථානාධිපතිගෙන් ද ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පොලිස් පරීක්ෂකවරයා තවත් තරුණ පොලිස් කොස්තාපල්වරයකුට හිරිහැර කර ඇති බවයි.

ඉන් පසු මැයි 15 වැනි දා චෝදනා ලත් පොලිස් පරීක්ෂකගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබේ. තමාට එරෙහි සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කර ඇති පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයා තමාට එරෙහිව කටයුතු කරන බවයි. පිටු හතරක ප‍්‍රකාශයකින් එම පොලිස් පරීක්ෂකවරයා කියනුයේ ස්ථානාධිපතිවරයා මේ සියල්ල සැලසුම්කර තමාට එරෙහිව සිදු කරන බවයි.

පොලිස් පරීක්ෂකගෙන් බලපෑම් වූ බවට අනාවරණය වූ අනිත් පොලිස් කොස්තාපල්වරයාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගන්නේ චෝදනා ලත් පොලිස් පරීක්ෂකවරයාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුවය. ඔහු දෙමළ භාෂාව කතා කරන නිලධාරියකු නිසා වෙනත් නිලධාරියකුගේ ද සහායෙන් සහකාර පොලිස් අධිකාරීවරයා ඔහුගේ ප‍්‍රකාශය ලබාගෙන තිබේ. ඔහු පොලිසියට පැමිණ යන්තම් ගත වී ඇත්තේ මාස කිහිපයක් පමණි.

”පොලිස් පරීක්ෂක ...... මහතා මා බැරැක්කයේ නිදාගෙන සිටින විට ජනේලයෙන් බලා විසිල් කරනවා. පසුව මා දකින විට .... මහතා නාක්කු නිට්ටුවාර්, වායිකුල් විරල් පෝට්ටු කාට්ටුවාර් කරනවා. දිනක් ...... මහතා මාගේ රහස් ප්‍රදේශයට අතින් තට්ටුවක් දැම්මා. එවිට මට කේන්තියක් ආවා. මේවගේ දෙයක් කියන්න ලැජ්ජා නිසා මා කාටවත් කිව්වේ නෑ. මට සිංහල හොඳින් කතා කරන්න බැරි නිසා සහ  ඕඅයිසී මහත්තයාට දෙමළ  කථා කරන්න බැරි නිසාත් මෙම ක‍්‍රියාවන් ගැන ඕඅයිසී මහත්තයට කියන්න බැරි වුණා.” ආධුනික පොලිස් කොස්තාප්ලවරයා සිය ප‍්‍රකාශයේදී කියා ඇත.

ඉන් මාසයකට පසු ජුනි 12 වැනි දා යළිත් වරක් මෙම කොස්තාපල්වරයා සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවා ඇති අතර ඔහුගෙන් යළිත් වරක් ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මෙතැන අපරාධමය වරදක් සිදුවී ඇති පසුබිමක සහ කොස්තාපල්වරුන්ට දැඩි මානසික පීඩා විඳීමට සිදුවී ඇති පසුබිමක කඩිනම් විමර්ශනයක් නොවීම ගැටලූවකි. එම ගැටලූවම මුලින්ම සඳහන් කළ පොලිස් කොස්තාපල්ට ද පැන නැගී තිබේ. ඔහු ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කර ඇති පැමිණිල්ලේ සඳහන් පරිදි  තමාගේ සිද්ධියේ විමර්ශන ගැන ඔහු ජූලි පළමු වැනි දා තොරතුරු දැන ගැනීමේ පනතින් ඉල්ලීමක් කර තිබේ.

තොරතුරු දැන ගැනීමේ පනත යනු ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට තොරතුරු ඉල්ලීම සඳහා ගෙන ආ පනතකි. එය භාවිතයට ගෙන කොස්තාපල් ද තොරතුරු ඉල්ලීය. ඒ ජූලි පළමු වැනි දා ය. මේ සිද්ධිය තවදුරටත් යට ගැසිය නොහැකි බව ඉහළ පොලිස් නිලධාරීන් දැන ගත්තේ ඉන් පසුවය. පැමිණිල්ලෙන් මාස හතරකට පසු සහ පොලිස් කොස්තාපල්වරයා තොරතුරු දැන ගැනීමේ පනතින් විමර්ශනයේ තොරතුරු ඉල්ලා දින හතරකට පසු ජූලි 4 වැනි දා සහකාර පොලිස් අධිකාරීවරයා විමර්ශනය සම්බන්ධයෙන් කොට්ඨාස භාර පොලිස් අධිකාරීට වාර්තාවක් යැවීය. එම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.

”මෙම ගොනුවේ විෂයගත කරුණු සැලකිල්ලට ගැනීමේදී අපරාධයක් සිදුවී ඇති බව ගම්‍ය වන බැවින් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා ස්ථානාධිපති විශේෂ අපරාධ විමර්ශන ඒකකය බදුල්ල වෙත යොමු කර විමර්ශන කටයුතු සිදුකර අවශ්‍ය නීතිමය පියවර සහ විනය පියවර ගැනීමට කටයුතු කිරීමට යෝජනා කරමින් පිටු අංක 01 සිට 41 දක්වා වූ ගොනුව ඔබතුමා වෙත කාරුණිකව ඉදිරිපත් කරමි.”

පොලිසියට මේ අපරාධය ගැන ඉහමොළ රත්වී ඇත්තේ කොස්තාපල්ගේ තොරතුරු ඉල්ලීමෙන් පසුවය. ජූලි 4 වැනි දා සහකාර පොලිස් අධිකාරීවරයා කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට වාර්තාව යොමු කළ අතර ජූලි 6 වැනි දා කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා විසින් සේවයේ අවශ්‍යතා බව සහන් කරමින් තොරතුරු ඉල්ලීම යොමු කළ පොලිස් කොස්තාපල්වරයා වෙනත් පොලිසියකට ස්ථාන මාරු කරනු ලැබීය. පොලිසියේ පහළම ස්ථරයේ සිටින කොස්තාපල්වරයකුට දැඩි අසාධාරණයක් සිදුවී ඇති මොහොතක ඉහළ නිලධාරීන් ඒ නිලධාරියා ගැන සානුකම්පිතව බැලිය යුතු වුවද මෙහිදී ඔහුට ලැබුණේ ස්ථාන මාරුවකි.

ඔහු ස්ථාන මාරු කළ දිනම එනම් ජූලි 6 වැනි දා කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා සහකාර පොලිස් අධිකාරීට යළිත් ලිපියකින් දැනුම් දෙන්නේ පොලිස් පරීක්ෂකට එරෙහිව සහකාර පොලිස් අධිකාරීවරයා විසින්ම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසයි. එම ලිපියේ මෙසේද සඳහන් වේ.

”කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලවාද මෙහිදී අපරාධයක් සිදුව ඇද්ද යන්න පරීක්ෂා කරවූ අතර, අපරාධයක් සිදුව ඇති බව තහවුරු කරදී ඇත. එබැවින් මෙම සිද්ධිය ඔබගේ අධීක්ෂණය යටතේ පවතින පොලිස් ස්ථානයක වන බැවින්, ඔබ විසින්ම ඉදිරි විමර්ශන කටයුතු සිදු කළ යුතුය. ඊට අමතරව මෙය අපරාධයක් වන බැවින් පොලිස් ස්ථානයේ ලේඛන ගත කර නීතිමය පියවර ගැනීමට ඔබ විසින්ම ක‍්‍රියාකර ප‍්‍රගතිය ජූලි 15 දිනට මා වෙත වාර්තා කරන්න.”

කටයුතු මෙසේ වෙද්දී ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේම අසාධාරණයට එරෙහිව විමර්ශන සිදුනොවීම නිසා තොරතුරු පනතින් කරුණු විමසූ කොස්තාපල්ට ලැබුණු ස්ථාන මාරුව ගැන ඔහු පොලිස් මූලස්ථානයට පැමිණිලි කළේය. පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු හමුවූවත් සාධාරණයක් නොවූ තැන ඔහු පොලිස්පතිවරයා හමුවීමට ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව පොලිස්පතිවරයා හමුවූ විට ඉහළ නිලධාරියකු පොලිස්පතිවරයාට යම් දෙයක් කියූ බවත්, ඉන් පසු පොලිස්පතිවරයා සටහනක් තැබූ බවත්, තම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන බව එම සටහනේ තිබූ බව ඉහළ නිලධාරියා ප‍්‍රකාශ කළ බවත් පොලිස් කොස්තාපල්වරයා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස් කොමිසමට කර ඇති පැමිණිල්ලේ සඳහන්ය.

පොලිස් මූලස්ථානයෙන් ද සාධාරණයක් නොවූ තැන ඔහු ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ඒ ගැන පැමිණිලි කළේය. තොරතුරු දැන ගැනීම මූලික අයිතියක්ව පවා තිබිය දී තොරතුරු ඉල්ලූ විට ස්ථාන මාරුවක් ලබාදීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද කළ සරදමකි.  කොස්තාපල්වරයා කොමිෂන් සභා දෙකට පැමිණිල්ල කර ඇත්තේ ජූලි 10 වැනි දා ය. එදිනම සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ පොලිසියේ ස්ථානාධිපතිට යළිත් පැමිණිල්ල කර ඇත්තේ නීතිමය පියවර ගන්නා ලෙසයි.

කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ජූලි 6 වැනි දා සහකාර පොලිස් අධිකාරීයට ගොනුව යොමු කරන්නේ සහකාර පොලිස් අධිකාරී විසින්ම අදාළ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමිනි. අවසානයේ සහකාර පොලිස් අධිකාරීවරයා ගොනුව යොමු කරන්නේ පැමිණිල්ල සිදු කළ ස්ථානාධිපති වෙතමය.

ගොනුව දෙපැත්තට හුවමාරු වෙද්දී අගෝස්තු පළමු වැනි දා සිට ක‍්‍රියාත්මක වන පරිදි අදාළ කොස්තාපල්වරයා බදුල්ල කොට්ඨාසයෙන් වෙනත් කොට්ඨාසයකටම ස්ථාන මාරු කරනු ලැබ ඇත. ලංකාවේ පොලිස් පොඞ්ඩන්ට අසාධාරණයක් වූ විට ඉහළින් සලකන්නේ එලෙසය.

යටගිය විමර්ශනයේ තොරතුරු, තොරතුරු පනතින් ඉල්ලූ විට පොලිස් කොස්තාපල්ට ලැබුණු ස්ථානමාරු දෙක බරපතල වැරදි පූර්වාදර්ශයකි. එය කොස්තාපල්ට සිදුවූ ලිංගික බලපෑම්වලට වඩා භයානකය. හැමදාමත් මැරි මැරී වැඩකරන පොලිස් කොස්තාපල්වරුන්ට මෙන්ම පොලිස් සැරයන්වරුන්ට ද ඉහළින් එල්ල කළ විශාල කනේ පහරක් ලෙස මෙය සැළකිය හැකිය. තමන්ට වූ අසාධාරණයට එරෙහිව හඬ නැගූ කොස්තාපල්ට පන්න පන්නා ගහන්නේ චෝදනා ලත් පොලිස් පරීක්ෂකවරයා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට එක්වූ දවසේම පොලිසියට එක්වූ උසස් පොලිස් නිලධාරියකුගේ බලපෑමක් නිසාදැයි දන්නේ ඔවුන්ම පමණි.

මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව මෙන්ම ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද වහාම මැදිහත්වී අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි සාධාරණය පතන පොලිස් පොඩ්ඩෝ බලාපොරොත්තු වෙති. එමෙන්ම තොරතුරු පනතට කොකා පෙන්වමින් සිදුකරන මේ ක‍්‍රියා ගැන අවධානය යොමු කර පනත හරි හැටි ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සැලසීම සහ පුරවැසියන් දිරිමත් කිරීමට කටයුතු කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද යුතුකමකි.

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)