(කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ - ධම්ම දිසානායක)

රට එක පැත්තකය. රාජ්‍ය බලය සහ රාජ්‍ය උපකරණ අත්පත් කරගෙන සිටින ආණ්ඩුව වෙනම පැත්තක ය. රට සහ එහි සුබසෙත වෙනුවෙන් යැයි කියා බලය ගත් බලවත්තු ඊට මුළුමනින්ම විරුද්ධ ව  ක‍්‍රියා කරති. රට ඊට එරෙහි වෙයි. එවිට  රාජ්‍ය උපකරණ මත බලය පතුරවමින් ආණ්ඩුව රට සමඟ යුද වැදෙයි.

ආණ්ඩුව රට ට සලකන්නේ අපට තොප දැන් වැඩක් නැත, තොප රැකේවා මියේවා අපට ඉන් කම් නැත, අප බලය ගත්තේ අප ගේ යහපතට  මිස තොපගේ යහපත සඳහා නොවේ ය යන මානසිකත්වයකිනි. වසංගත, සාගින්න, නියඟය, පිපාසය, දිළිඳුකම, ගංවතුර, නාය යන කඳු සහ කුණු කඳු, ගොඩ ගැසෙන කුඩු කඳු, පාතාලය සහ මහමඟ අනතුරු ද නිසා පීඩාවට පත්වන රට ගැන වගේ වගක් නැත.

එහෙත් ඉලක්කම් දේශපාලනයක නිරත වුණු පාලකයන්ගේ කාම සුඛල්ලිකානු ජීවිතය සහ සෞභාග්‍යය නම් පෙන්නුම් කර ඇත්තේ ප‍්‍රකෝටිවලින් ය. මනුස්සකම් බින්දුවේය. වත්කම් ටි‍්‍රලියනවලින් ය. දැන් මිනිසුන්ට කියන්නට වී ඇත්තේ රට අපේ ය, ඒත් රාජ්‍ය  බලය, රාජ්‍යයේ මර්දන සහ පාලන උපකරණත් ආණ්ඩුවත් උන්ගේ ය යන්නය. එවැනි මොහොතක මේ ලියන ලියැවිල්ල රට වෙනුවෙනි. රටේ විධිමත් රාජ්‍යයක් යහපත් ආණ්ඩුවක් වෙනුවෙනි.

මේ රට තවම අවබෝධ කරගෙන නැති දෙයක් ඇත. එසේම පාලකයන් මේ රට ට නොකියන දෙයක් ඇත. එය කුමක්ද? ඒ එකම දෙයකි. එනම් මේ රටේ රාජ්‍යය බංකොලොත් වී ඇත යන්නය. ආර්ථිකය බංකොලොත් ය. කියන්නට හෝ පෙන්නන්නට තරම් ඇති වත්කමක් නැත. භාණ්ඩ හා සේවා වෙළඳපොළ බංකොලොත් ය. මුල්‍ය වෙළඳපොළ බංකොලොත් ය. දේශපාලනය බංකොලොත් ය. පොදු ජන සුබසාධනය බංකොලොත් ය. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ප‍්‍රවාහනය බංකොලොත් ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බංකොලොත් ය. පාර්ලිමේන්තුව, පළාත් සභා සහ ප‍්‍රාදේශීය ආණ්ඩු  බංකොලොත් ය. මේ ගැන රට දන්නේ නැත. පාලකයන් ඒ බව රට ට කියන්නේද නැත. එසේ කීවොත් පාලකයන් විඳින මහා සමෘද්ධිය ට තර්කයක් නැත. එසේ කීවොත් ඒ සමෘද්ධියේ හෙළුව වසා ගැනීමට ඇති, ඒ සඳහා ආවරණ සපයා ගන්නා ‘අපි රට සංවර්ධනය කරනවා’ නැමති පාංශුකූල වස්ත‍්‍රය ගැලවී නිර්වස්ත‍්‍ර වනු ඇත.

කාලාන්තරයක් තිස්සේ සහචර ජාවාරම්කාර වෙළඳාමට සහ සහචර බල දේශපාලනයට තිරසාර පහසුකම් සපයන ‘ලෝක සහ දේශීය සහචර  ධනවාදය’ විසින් මේ රටේ රාජ්‍යය ‘බංකොලොත් රාජ්‍යයක්’ බවට පත් කොට ඇත. ඒ බංකොලොත් කිරීමේ කටයුත්තට මේ රටේ පාලකයන් කළ මහ මෙහෙවර උදෙසා  ලෝක සහචර ධනවාදයේ අත් උදව්කරුවන් වන එක්සත් ජනපදය, යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළඳ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දියාව සහ චීනය විසින් සම්මාන රාශියක් දී ඇත.

ඉදිරියේ දී දෙනු ඇත. ලෝකයේ හොඳම නිහඬ අගමැති, හොඳම අගමැති, හොඳම මුදල් ඇමැති, හොඳම මහ බැංකු අධිපති, හොඳම විදේශ ඇමැති, හොඳම වරාය ඇමැති, හොඳම කෘෂිකර්ම ඇමැති, හොඳම සෞඛ්‍ය ඇමැති, හොඳම උසස් අධ්‍යාපන ඇමැති, හොඳම විදුලිබල ඇමති, හොඳම පෙට්‍රෝලියම් ඇමැති, හොඳම පොලිස්පති, හොඳම ආපදා ඇමැති, හොඳම පළාත් සභා සහ ප‍්‍රාදේශීය ආණ්ඩු ඇමැති සහ හොඳම මැතිවරණ කොමිෂන් සභාපති, හොඳම සාධාරණ සමාජ කැඳවුම්කරු, හොඳම පුරවැසි බල කැඳවුම්කරු  යනාදී වශයෙන් සම්මාන පෙරහැරක් ලැබෙනු නියතය. එසේම ජාතියට එපාවූ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීම නිසාත් බහුතර විපක්ෂය සිටියදී සුළුතර විපක්ෂ කණ්ඩායම්වල ට විපක්ෂ නායක කමත් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කමදීම නිසාත් කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමේ මහා මෙහෙයුම නිසාත් ලෝකයේ ශ්‍රේෂ්ඨතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුව නම් වූ සම්මානයද ලැබෙනු ඇත. මහා බලයක් තිබියදීත් මේ රාජ්‍යය බංකොලොත් කරන තුරු අහක බලා සිටීමේ, නිහඬව සිටීමේ සහ සහාය වීමේ  මහ මෙහෙවර උදෙසා ජනාධිපතිවරුන් කීප දෙනෙකුට ම ලොව හොඳම ජනාධිපති සම්මාන ද හිමි වෙනු ඇත.

විස්තර කිරීම්වලින් තොරව සාමාන්‍යයෙන් කියනවානම් රාජ්‍යය සහ එහි ආණ්ඩුව බංකොලොත් වීම යනු රටක් මුහුණ දෙන දරුණු ඛේදවාචකයකි. එවැනි රටක් සාර්ථක රාජ්‍යයක් සහ ආණ්ඩුවක් ගොඩනඟා ගැනීම පිණිස දැඩි වෙහෙසක් ගත යුතු ය. දැනට ඇති සාධනීය තත්ත්වය වන්නේ රාජ්‍යය සහ එහි ආණ්ඩුව බංකොලොත් වුවත් රට තවම බංකොලොත් නොවී පැවතීම ය. මීගමු ධීවර විරෝධතාව, රතුපස්වල විරෝධතාව, මීතොටමුල්ල විරෝධතාව, ලොතරැයි අලෙවිකරුවන්ගේ විරෝධතාව, එළවළු,වී, ලූනු, ගම්මිරිස්, තේ, කිරි ගොවීන්ගේ විරෝධතා, උමා ඔය විරෝධතා, ඌව-වෙල්ලස්ස විරෝධතා, සයිටම් විරෝධතා, පෙට්‍රෝලියම්  සේවකයන්ගේ විරෝධතා, වරාය සේවකයන්ගේ විරෝධතා යනාදී රට පුරා විසිරුණු විරෝධතා  හරහා පෙනී යන්නේ රට තවම බංකොලොත් නැති බවය.

එහෙත් ඒ විරෝධතාවල පැවති සහ පවතින ප‍්‍රධාන දුර්වලතාව වන්නේ ඔවුන් තම ගැටලූවලට විසඳුම් ඉල්ලා සිටින්නේ බංකොලොත් රාජ්‍යයකින් සහ ආණ්ඩුවලින් බව නොදැන සිටීම ය. එසේම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විවිධ පැතිවලින් බංකොලොත් වූ රාජ්‍යයකින් සහ ආණ්ඩුවලින් බව නොදැන සිටීම ය.ඔවුන් රට ට වැළඳී ඇති නොව බෝකර ඇති රෝගවල ට ප‍්‍රතිකාර ඉල්ලා සිටින්නේ ඒ රෝගවල රෝග වාහකයන් සහ කාරකයන් වන ආණ්ඩුවලින් සහ ඒ ආණ්ඩු විසින් අත්පත් කර ගෙන සිටින රාජ්‍ය බලය සහ මර්දන සහ පරිපාලන උපකරණවලින් ය. එය අනවබෝධයේ ප‍්‍රතිඵලයකි. එක අතකට රාජ්‍ය උපකරණ සහ ඒවා අත්පත් කරගෙන සිටින ආණ්ඩු රෝග වාහක හෝ කාරක නොව රෝගය ම ය. එසේ නම් රෝගයකින් බෙහෙත් හෝ නිවාරණය ඉල්ලා කෑ ගැසීම කොතරම් නම් ප‍්‍රයෝගිකද? එහෙත් සිදුවන්නේ ඒ අනවබෝධකාරී ක‍්‍රියාවලිය ම ය.

රටේ සම්පත් විකිණීම, අනූනව අවුරුදු හෝ එකසිය අනූඅට අවුරුදු බද්ද ට දීම හෝ වැඩි වැඩියෙන් ණය ගැනීම හෝ රුපියලේ අගය අවප‍්‍රමාණවීම හෝ විදේශීය වෙළඳපොළ, රාජ්‍ය සහ ආයතනවල අණට අවනත වීම හෝ බැලිය යුත්තේ පැති කීපයකිනි. ආණ්ඩුවක් මෙවැනි තීරණවලට එළඹෙන්නේ එක්කෝ රාජ්‍යය පවත්වාගෙන යා නොහැකි මට්ටමකට බංකොලොත් නිසා ය. එක්කෝ බාහිර සාධක විසින් එවැනි දෑ කරන ලෙසට බල කරන සහ නොකොළොත් ආණ්ඩුව අවදානමකට දමනවාය යන තර්ජන නිසාය.

එක්කෝ එවැනි තීරණවලින් සහචරයන්ට මහත් වාසි සහ ප‍්‍රතිලාභ ලැබෙන නිසා ය.එනම් විකුණුවත් සන්තෝසම්, කොමිෂන් ලැබෙන පවරා ගත්තත් සන්තෝසම්, කොමිෂන් ලැබෙන උපාය සහචර ධනවාදී ලෝකය සතු නිසා ඒ හේතුව ය. එක්කෝ පෙනෙන රාජ්‍යයක ට ආණ්ඩුවක ට වඩා බලවත් සහ තීරණාත්මක ’ඇත්ත රාජ්‍යයක්’ ‘ඇත්ත ආණ්ඩුවක්’  නොපෙනෙමින් එහෙත් ප‍්‍රබලව සහ දැඩිව පවතින බවය.  ඒ කවර කාරණයක් නිසා හෝ ආණ්ඩුවක් විසින් මේ ජේදයේ මුලින්ම දක්වා ඇති තීරණ ගත්තේ ද ඉන් ගම්‍ය වන්නේ රාජ්‍ය බංකොලොත් වී ඇති බවය.

විරෝධතාකරුවන් ට පොලීසිය සහ හමුදාව විසින් ජල ප‍්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කිරීම, පහර දීම සහ වෙඩි තැබීම, සමහර විරෝධතාකරුවන් මිය යෑම, පහර දුන්නා මදි යැයි ජාතික ලැයිස්තු ඇමතිවරුන් ප‍්‍රකාශ කිරීම,ිගම්මුන් විසින් පෙට්‍රෝලියම් සේවකයන්ට පහර දීම, සයිටම් විරෝධීන්ට මහ ? ගල් ගැසීම, කවුරු විරුද්ධ වුණත් සයිටම් අහෝසි කරන්නේම නැතැයි කීම, රාජ්‍ය ප‍්‍රතිපත්තිවල ට විරුද්ධ වීමට රට ට අයිතියක් නැතැයි කීම යනාදිය තේරුම් ගත යුත්තේ ඉහත කී පසු බිමේ ය.

රාජ්‍යය බංකොලොත් වී ඇති පසුබිමක රට තේරුම් ගත යුතු දෙයක් ඇත. එනම් රට ඉල්ලන ඉල්ලීම් ලබා දීමට ආණ්ඩුවට වුවමනාවක් නොව හැකියාවක් නැත. මෙවැනි පසු බිමක ආණ්ඩු සිටින්නේ රට ට වඩා අසරණ සහ දුබල තැනක ය. විදේශීය තර්ජනවලින්, ‘ඇත්ත රාජ්‍යයෙන්’ සහ ‘ඇත්ත ආණ්ඩුවෙන්’ ගැලවී යාමට වුවමනාවක් තිබුණද එය කිරීමට තරම් ශක්තියක් නැත. ඒ නැතිකම රට ට පෙන්නන්නට ද බැරිය. එසේම බංකොලොත් රාජ්‍යයක් ඉන් මුදවාගෙන ගොඩගත හැකි මඟක් දන්නා  සහ ඊට වුවමනාවක් ජාතික හැඟීමක් ඇති අය පාර්ලිමේන්තුවේත් නැත. පළාත් සභාවලත් නැත. ප‍්‍රාදේශීය ආණ්ඩුවලත් නැත. රාජ්‍ය සේවයේත් නැත. සිවිල් සමාජයේත් නැත. පොදු ජන සමාජයට ඊට ඉඩක් නැත. එහෙත් ඉඩක් සහ වැඩපිළිවෙළක් හදාගත යුතුය.

මේ බංකොලොත් භාවයෙන් රාජ්‍යය ගලවා ගැනීමට නම් රට විධිමත් විය යුතුය. දැනුවත් විය යුතුය. ආණ්ඩුවට ඇති බාධා තර්ජන රට ට නැත. පාපී අය රට සහ ජනයා  නියෝජනය කිරීමේ කටයුත්තෙන් ඉවත් කළ යුතුය. රට සහ එහි යහපත වෙනුවෙන් රාජ්‍ය බලය සහ උපකරණ මෙහෙය විය හැකි වැඩපිළිවෙළක් සහ වැඩකරුවන් තෝරාගැනීමේ බුද්ධිය වර්ධනය කරගත යුතුය.

රාජ්‍යය සහ පෞද්ගලික අංශය අතර සම්බන්ධය අවශ්‍ය රාජ්‍ය ගොඩ නැඟීමට මිස බංකොලොත් කිරීමට නොවන බව, සන්තෝසම් සහ කොමිෂන් හරහා  පුද්ගලිකව මඩිය තර කර ගැනීමට නොවන බව  වටහා ගත් අය රාජ්‍ය පාලනයට තෝරා පත් කරගත යුතුය. එසේ නොමැතිව ආණ්ඩු බලය අතැති පාර්ශවය කෙරෙහි වූ බලවත් විරෝධය නිසාම කිසිදු ප‍්‍රගතිශීලී වැඩපිළිවෙළක් හෝ නියාමනයක් නැති හුදු බලවාදීන් පිරිසකට හෝ කණ්ඩායමකට හෝ බලය මාරු කිරීම නොකළ යුතු ය. තේරීම නිසි ලෙස කිරීමට නම් පරණ පාඩම්වලින් ඉගෙන ගත යුතුය. රට හිතනවාට වඩා දේශපාලනය, ආර්ථිකය සහ සමාජය සංකීර්ණය ය. හැඟීමකට, උද්ඝෝෂණයකට සහ කතිරයකට පමණක් ඒ සංකීර්ණත්වය තේරුම් ගත නොහැකිය. ගැඹුරින් සිතා දේශපාලන තීරණ ගතයුතු වන්නේ ඒ නිසාය.