කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් පසුගිය කාලයේ ලොකු ආන්දෝලයක් ඇති විය. විවිධ ප‍්‍රදේශවල ඉදිකිරීමට ගිය කුඩා ජල විදුලි බලාගාරවලට එරෙහිව උද්ඝෝෂණ වාර්තා විය. කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නිසා ලොකු පාරිසරික හානියක් සිදුවනබවට පරිසරවේදීහු චෝදනා කළහ. මේ සොයා බැලීම කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති ගැනයි.

දිනය 2016 ඔක්තෝබර 21 වැනි දාය. කුඩා ජල විදුලි බලාගාර නිසා දැරණියගල ප‍්‍රදේශයට විශාල පාරිසරික හානියක් සිදුවන බවට වාර්තා වීම නිසා එම ප‍්‍රදේශයට ගිය අපට දැකගත හැකි වූයේ කුඩා ජල පාරක් පමණක් ගලා බසින මාගල් ගඟයි. සිරිපා අඩවියෙන් ආරම්භ වන බව කියන මාගල් ගඟ දැරණිගල හරහා ගලා බසිද්දී එය හැඳින්වෙන්නේ සීතාව ගඟ ලෙසයි. මෙම ගංගාවේ ජලය ඉතාම අඩුවෙන් තිබුණ ද ගංගාවට සමාන්තරව ඉදිකර තිබූ විශාල කොන්ක‍්‍රීට් කාණුවක් දිගේ විශාල ජල කඳක් ගලාගෙන යන අයුරු දැකගත හැකි විය.(පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ එම දසුනයි.)

කුඩා ජල විදුලි බලාගාර පිළිබඳ ලිපියට මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර දී ඇති කුඩා ජල විදුලි බලාගාර ලැයිස්තුව අවශ්‍ය වූ අතර ඒ දිනවල එනම් 2016 දී ඒ පිළිබඳ අධිකාරියෙන් විමසීමේදී එම ලැයිස්තුව ලබාදිය නොහැකි බව පැවසීය. 2017 පෙබරවාරි මස 3 වැනි දා සිට තොරතුරු පනත ක‍්‍රියාත්මක වීමෙන් පසු කුඩා ජල විදුලි බලාගාර පිළිබඳ තොරතුරු ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරිය, විදුලිබල අමාත්‍යංශය, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, සමාගම් රෙජිස්ටාර් කාර්යාලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට තොරතුරු ඉල්ලීම් අටක් පමණ ඉදිරිපත් කළ අතර නම් කළ නිලධාරියාට අභියාචනා දෙකක් ද තොරතුරු දැන ගැනීමේ කොමිසන් සභාවට එක් අභියාචනයක් ද ඉදිරිපත් කළෙමු. ඒ අනුව 2016 වසරේ ඔක්තෝබර මාසයේ සිට මේ දක්වා වසර දෙක හමාරක පමණ කාලයක් තිස්සේ ලබාගත් තොරතුරු මෙම ලිපියේ දී උපුටා ගැනෙයි.

කුඩා ජල විදුලි බලාගාර

කුඩා ජල විදුලි බලාගාර යනු මෙගාවොට් 10ට අඩු ධාරිතාවක් නිපදවන ජල විදුලි බලාගාර ලෙස පොදුවේ හැඳින්වේ. ශ්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති සමයේ සිට කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම ආරම්භ කළ බව කියැවේ. දියඇලි සහ ගංගා හරස් කර වේල්ලක් බැඳ එම ජලය විශාල කොන්ක‍්‍රීට් කාණුවක් දිගේ කිලෝමීටර දෙකක් හෝ තුනක් පමණ රැගෙන ගොස් ටර්බයිනයක් කරකැවීමට සලස්වා විදුලිය නිපදවීම මෙම ව්‍යාපෘතිවලදී වැඩි වශයෙන් සිදු කෙරෙයි. ටර්බයිනය කරකැවීමට සැලැස්වීමෙන් පසු එම ජලය යළිත් වරක් ගංගාවට එකතු කරන අතර ඇතැම් ගංගා ආශ‍්‍රිතව මෙවැනි කුඩා ජල විදුලි බලාගාර තුන හතරක්ම දක්නට ඇත.

කොන්ක‍්‍රීට් කාණුවක් දිගේ ජලය රැගෙන යන නිසා වේල්ලේ සිට ටර්බයිනය කරකවන තැන දක්වා කිලෝමීටර දෙක තුනක් දුරට ගංගාවේ ජලය ගලා යන්නේ ඉතාම අඩු වශයෙනි. වැඩි ජලය ප‍්‍රමාණයක් ගලා යන්නේ කොන්ක‍්‍රීට් කාණුව තුළිනි. (ග‍්‍රැෆික් පින්තූරයෙක් දැක්වෙන්නේ කුඩා ජල විදුලි බලාගාරයක සැකැස්මයි.

කුඩා ජල විදුලි බලාගාරයක් ඉදි කරද්දී ක‍්‍රියාත්මක විය යුතු ක‍්‍රමවේදයක් තිබේ. මුලින්ම එම කුඩා ජල විදුලි බලාගාරය ඉදි කරන්නේ කුමන ජල මූලාශ‍්‍රයක් ආශි‍්‍රතව ද යන්න ගැන මධ්‍යම පරිසර අධිකාරිය දැනුම්වත් කර ඒ සඳහා පරිසර අධිකාරයේ අවසරය ලබාගත යුතුය. ඊට සමගාමීව පළාත් පාලන ආයතනවලින් ද අනුමැතිය ලබාගත යුතු අතර පසුව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය ලබාගත යුතුව ඇත. ඉන් පසු ලංකා විදුලිබල මණ්ඩලය සමඟ විදුලි මිලදී ගැනීම් පිළිබඳ ගිවිසුම අත්සන් කළ යුතු අතර අවසාන වශයෙන් විදුලි බලාගරයේ ජනන කටයුතු සඳහා මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ජනන බලපත‍්‍රය ලබා ගත යුතුය.

මහජන උපයෝගීතා කොමිසන් සභාව කුඩා ජල විදුලි බලාගාර සඳහා ජනන බලපත‍්‍රය ලබා දීමට පෙර ඒ බව ප‍්‍රසිද්ධ දැන්වීම් මගින් මහජනතාව දැනුම්වත් කර විරෝධතා ඇත්දැයි සොයා බැලිය යුතුය. එසේම පරිසර බලපත‍්‍රය ආදී අනුමැතිය ලබාගෙන ඇත්දැයි පරීක්ෂා කර බැලිය යතු බව ද මහජන උපයෝගීතා කොමිසන් සභාවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියේ සඳහන් සංඛ්‍යාලේඛන අනුව 2016 වසරේ මෙගාවොට් 4018ක ධාරිතාවයක් විදුලි බලාගාර 232කින් ලබාගෙන ඇති අතර එම ප‍්‍රමාණයෙන් මෙගාවොට් 342ක් ලබාගෙන ඇත්තේ කුඩා ජල විදුලි බලාගාර 172කිනි.

2017 වසරේදී මෙගාවොට් 4087ක මුළු ධාරිතාවය විදුලි බලාගාර 247කින් සපයද්දී කුඩා ජල විදුලි බලාගාර 182 කින් සපයා ඇත්තේ මෙගාවොට් 354කි.

තොරතුරු දැන ගැනීමේ පනත අනුව කළ විමසීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය ලබා දුන් තොරතුරුවලට අනුව 2015 වසරේ දී කුඩා ජල විදුලි බලාගාරවලින් 2015 වසරේ දී මෙගාවොට් පැය 1073.91ක් ද, 2016 වසරේ දී මෙගාවොට් පැය 856.81ක් ද, 2017 වසරේ දී මෙගාවොට් පැය 2109.97 ක් ද මිලදී ගෙන තිබේ.

පාරිසරික බලපෑම

කුඩා ජල විදුලි බලාගාර ගැන සොයා බැලීමට ගිය ගමනේ දී මාගල් ගඟ ඉහළට ගිය විට දැකගන්නට ලැබෙන විශාල ජල කඳ ඊට කිලෝමීටර ගණනක් පහළට ආ විට දැකගන්නට නැත. ගඟ හරස්කර බඳින ලද වේල්ලකින් ගඟේ ජලය වැඩි ප‍්‍රමාණයක් විශාල කාණුවක් දිගේ විදුලි බලාගාරයක් වෙත රැගෙන යාම නිසා වේල්ලේ සිට විදුලි බලාගාර දක්වා කිලෝ මීටර දෙකක හෝ තුනක පමණ ප‍්‍රමාණයක් ගංගාවේ ජලය සිඳී ගොස් තිබිණි.

යළිත් විදුලි බලාගාරයෙන් පසු සුපුරුදු පරිදි ගඟ දිගේ ඇදෙන මහා ජල කඳ තවත් කිලෝමීටර දෙක තුනක් ගිය පසු වේල්ලක් බැඳ කොන්ක‍්‍රීට් කාණුවක් දිගේ ගලා යෑමට සලස්වා ඇත. මාගල් ගඟේ පමණක් කුඩා ජල විදුලි බලාගාර පහකට වඩා ඉදි කර තිබිණි.

කුඩා ජලවිදුලි බලාගාර නිසා සිදුවන විශාලම පරිසර හානියක් ලෙස පරිසරවේදීන් ප‍්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවට ආවේනික මිරිදිය මත්ස්‍යයින් සහ ජලජ ජීවීන් වඳවී යාමේ තර්ජනයට මුහුණ දීමයි. ස්වභාවික ජල පහරක් හරස් කර වේලි බැඳ කාණුවක් ඔස්සේ ජලය රැගෙන යාමෙන් මිරිදිය මත්ස්‍යයන්ගේ සහ ජලජ ජීවීන්ගේ ජීවන රටාවට සෘජුවම බාධා පැමිණේ. උදාහරණයක් ලෙස තොල රතු වැලිගොව්වාගේ බෝවීම සිදුවන්නේ දියපහරේ දමන බිත්තර ගඟේ පහළට ගසාගෙන ගොස් කලපු ජලයේදී පැටවුන් බිහිවීමෙනි. එම පැටවුන් යළිත් මව් සතුන්ගේ වාසස්ථාන කරා ගංගාව දිගේ ඉහළට ගමන් කරයි. මෙවැනි කුඩා ජල විදුලි බලාගාර නිසා ඔවුන්ගේ ජීවන රටාවට හානි වී ඔවුන් වඳවී යාමේ තර්ජනයකට මුහුණ දෙන බව පරිසරවේදීහු කියති.

කොන්ක‍්‍රීට් කාණුවක් දිගේ ජලය රැගෙන යෑමෙන් ගංගාව දිගේ ගලා බසින ජලය අවම වීම නිසා ගඟ දෙපස ශාඛ විනාශ වීම සහ අවට තෙතමනය නැතිවී ගොස් වියළි ස්වභාවයක් ඇතිවීම සිදුවේ. අවට කෘෂි ආර්ථිකයට ද මෙය තදින්ම බලපායි.  ජලය ගෙන යෑමට කොන්ක‍්‍රීට් කාණු ඉදිකිරීමට ගඟ දෙපස ස්වාරක්ෂිත කලාපය විනශ කිරීම  සිදුවන නිසා එයින් ද පරිසරයට දැඩි බලපෑමක් එල්ල කරන බව පරිසරවේදීහු කියති. මේ අනුව පාරිසරික සමතුලිතතාව බිඳ වැටී ජන ජීවිතවලට ද විවිධ ආකාරය බලපෑම් ඇති වන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

විදුලි මාෆියාවට නොදෙවෙනි කුඩා ජලවිදුලි බලාගර මාෆියාව

ලංකාවේ ඇති විදුලි මාෆියාවේ එක් පැතිකඩක් 2018 ඔක්තෝබර 17 වැනි දා බදාදා ලංකාදීපයේ සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කළේය. කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති අස්සේ ද එවැනි මාෆියාවක් ඇතැයි පරිසරවේදීන් පවසන අතර එය සත්‍ය බව තහවුරුවන කරුණු කිහිපයක් අප කළ සොයා බැලීමේදී ද අනාවරණය විය.

මෙම ලිපියේ මීට පෙර සඳහන් කළ පරිදි කුඩා ජල විදුලි බලාගාර ඉදි කිරීමට පෙර පාරිසරික ඇගයීමක් සිදුකර මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. නමුත් ඇතැම් කුඩා ජල විදුලි බලාගාර ඉදි කිරීමේ දී එවැනි අනුමැතියක් ලබා ගෙන ඇත්දැයි සැක හිතෙන ස්ථාන රාශියක් විය.

ඇතැම් කුඩා ජල විදුලි බලාගාර ඉදි කර තිබුණේ පාරිසරික සංවේදීකම වැඩියෙන් ඇති කලාපවලය. අදාළ ගංගා ආශ‍්‍රිතව සිටිනා මතස්‍යයන් වර්ග සහ දුර්ලභ ශාඛ වර්ග ගැන විස්තර ඇතැම් කුඩා ජල විදුලිබලාගාර ඉදි කිරීම සඳහා කරන ලද පාරිසරික තක්සේරු වාර්තාවල ඇතුළත් නොවීය. පාරිසරික හානිය නොතකා දුන් අනුමැතියෙන් ඇතැම් ගංගා ආශ‍්‍රිතව කුඩා ජල විදුලි බලාගාර රැසක් ඉදිකර ඇත.

කුඩා ජල විදුලි බලාගාර සම්බන්ධයෙන් පරස්පර තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයේ දී මධ්‍යම පරිසර අධිකාරිය ප‍්‍රකාශ කළේ මේ ආශ‍්‍රිත ඇතැම් තොරතුරු තමන් සතුව ලේඛන ගත කර නැති බවයි. තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභා නියෝගයේ ඒ ගැන මෙසේ සඳහන් කර තිබේ. මෙහි පොදු අධිකාරිය ලෙස සඳහන් කර ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරිය ගැනයි.

‘‘පොදු අධිකාරිය කරුණු දක්වමින් පවසා සිටියේ මෙවැනි කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ව්‍යාපෘති ස`දහා මධ්‍යම පරිසර අධිකාරිය පමණක් අනුමැතිය ලබා නොදෙන බවත් ඒ ස`දහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය විසින් ද අනුමැතිය ලබා දුන් අවස්ථා ද විය හැකි බවයි. තවද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙන ව්‍යාපෘති ද මෙම ලැයිස්තුවේ අඩංගු නොවන බව පොදු අධිකාරිය පවසා සිටින ලදී. එම අවස්ථාවේ කොමිෂන් සභාව විමසා සිටින ලද්දේ මෙම අනුමැතිය මධ්‍යම පරිසර අධිකාරිය හා සමගාමීව ලබා දෙන අනුමැතියක් ද යන්නයි. පොදු අධිකාරිය එය එසේ බවට ප‍්‍රතිචාර දක්වා සිටිමුත් එවැනි ව්‍යාපෘතිවල ලැයිස්තුවක් පවත්වාගෙන නොමැති බව ප‍්‍රකාශ කර සිටින ලදී.’’  කුඩා විදුලි බලාගාර මාෆියාවේ පැතිකඩ ගැන තේරුම් ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ මෙම නොහැකියාවම හො`ද උදාහරණයකි.  මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප‍්‍රකාශ කළේ තමන් අනුමැතිය ලබා දෙන්නේ පාරිසරික අනුමැතිය ලබා දීමෙන් පසුව නිසා පරිසර අධිකාරියේ ප‍්‍රකාශය පිළිගත නොහැකි බවයි.

පරස්පර වාර්තා

මෙම ලිපියට මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර දී ඇති කුඩා ජල විදුලි බලාගාර ලැයිස්තුව අවශ්‍ය වූ අතර ඒ දිනවල එම අධිකාරියෙන් විමසීමේදී එම ලැයිස්තුව ලබා දිය නොහැකි බව පරිසර අධිකාරිය ප‍්‍රකාශ කළේය. 2017 පෙබරවාරි මස 03 වැනි දා සිට තොරතුරු පනත ක‍්‍රියාත්මකවීමෙන් පසු 2017 පෙබරවාරි මස 17 වැනි දා මධ්‍යම පරිසර අධිකාරියට තොරතුරු ඉල්ලීමක් යොමු කරමින් 2010 සිට 2017 දක්වා කාලයේ අවසර දී ඇති කුඩා ජල විදුලි බලාගාර ලැයිස්තුව ඉල්ලීමක් කළෙමු.  ඊට ප‍්‍රතිචාර ලෙස ‘2016 සිට 2017 දක්වා අවසර දුන් කුඩා ජල විදුලි බලාගාර ලැයිස්තුව’ යන ශීර්ෂයෙන් 131ක ලැයිස්තුවක් මධ්‍යම පරිසර අධිකාරිය ලබා දුන්නේය.

එම ලැයිස්තුව ලැබුණු පසු මේ ආශ‍්‍රිත තවත් තොරතුරු ඉල්ලමින් විදුලිබල අමාත්‍යංශය, ලංකා විදුලිබල මණ්ඩලය, සුණිත්‍ය බලශක්ති අධිකාරිය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන ආයතනවලට තොරතුරු ඉල්ලූම්පත් යොමු කළෙමු. ඒවායේ තොරතුරු ලැබුණු පසු යළිත් වරක් 2018 ජනවාරි 22 වැනි දා මධ්‍යම පරිසර අධිකාරියට  තොරතුරු ඉල්ලීමක් යොමු කරමින් 2015 ජනවාරි පළමු වැනි දා සිට 2018 ජනවාරි දක්වා අවසර දුන් කුඩා ජල විදුලි බලාගාර ලැයිස්තුව ඉල්ලීමක් කළෙමු. ඊට පිළිතුරු ලෙස තොරතුරු නිලධාරියා මීට පෙර දුන් 131ක ලැයිස්තුවම යළිත් වරක් දුන් අතර එහි ශීර්ෂය පමණක් වෙනස් කර තිබිණි. ‘ඔහු විසින් ඉල්ලා ඇති තොරතුරු 2017.03.09 දිනැති ලිපිය මඟින් දැනටමත් ලබා දී ඇති අතර එහි පිටපතක් මේ සමඟ ඉදිරිපත් කරමි.’ යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරී පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබිණි.

මෙම පරස්පරතා සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් යොමු කළ අතර   2018 දෙසැම්බර හතර වැනි දා සිට එහි විභාගය ආරම්භ විය. ඒ අතරතුර යළිත් වරක් මධ්‍යම පරිසර අධිකාරියටම තොරතුරු ඉල්ලීමක් යොමු කරමින් 2019 ජනවාරි තෙක් ඉදි කර ඇති සියලූම කුඩා ජල විදුලිබලාගාර ලැයිස්තුව ඉල්ලීමක් කළෙමු. අවස්ථා තුනක දී පරිසර අධිකාරිය ලබා දුන් තොරතුරු එකිනෙකට පරස්පර විය.  පරිසර අධිකාරිය සියලූ අවස්ථාවල දුන් තොරතුරු විශ්ලේෂණය කර පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.

2016 සිට 2017 වසර දක්වා අනුමැතිය ලබා දුන් කුඩා ජල විදුලි බලාගාර ගණන මුල් තොරතුරු ඉල්ලීමට අදාලව 131කි. තුන් වැනි තොරතුරු ඉල්ලීමට අදාලව 09කි. 2010 සිට 2018 දක්වා කාලයේ අනුමැතිය ලබා දුන් කුඩා ජල විදුලි බලාගාර ගණන මුල් තොරතුරු ඉල්ලීමට අදාලව 131කි. තුන් වැනි තොරතුරු ඉල්ලීමට අදාලව 115කි.  2019 ජනවාරි 01 දක්වා අනුමැතිය දී ඇති මුලූ කුඩා ජල විදුලි බලාගාර ගණන තුන් වැනි ඉල්ලීමට අනුව 240කි. එම ඉල්ලීමෙන් පසු කොමිසමේ නියෝගය පරිදි අවසන් වරට දුන් තොරතුරු අනුව 256කි.  මධ්‍යම පරිසර අධිකාරිය විටින් විට මෙවැනි පරස්පර තොරතුරු ලබාදීමෙන් පෙනී යන්නේ මේ සම්බන්ධ නිශ්චිත තොරතුරු වාර්තා තබා ගැනීමක් එම අධිකාරිය සිදු නොකර ඇති බව හෝ සිතා මතා සංඛ්‍යාලේඛන සඟවන බවකි.

මේ සම්බන්ධයෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරියට යොමු කළ තොරතුරු ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් ඔවුන් දැනුම් දුන්නේ 2018 වසරේ අගෝස්තු පළමු වැනි දා වන තෙක් විදුලි ජනනය ආරම්භ වූ කුඩා ජල විදුලි බලාගාර 188ක් ඇති බවයි. තවත් කුඩා ජල විදුලි බලාගාර 80කට අනුමැතිය දී ඇති මුත් මෙතෙක් වැඩ නිම කර නැතැයි එහි ස`දහන් වෙයි. ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය අවසර දුන් කුඩා ජල විදුලි බලාගාර ගණන 268කි.  මධ්‍යම පරිසර අධිකාරියේ තොරතුරු හා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තොරතුරු අතර පරස්පරයක් පවතී.

පසුගිය අපේ‍්‍රල් මස පළමු වැනි දා රත්නපුර දී ජනමාධ්‍යවේදීන් අමතමින් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පුනර්ජනන බලශක්ති අධ්‍යක්ෂවරයා කුඩා ජල විදුලි බලාගාර ගැන තොරතුරු ගණනාවක් අනාවරණය කළේය. ඔහු ප‍්‍රකාශ කළේ කුඩා ජල විදුලි බලාගාර ඉදි කිරීම සඳහා අයදුම්පත් 3500ක් පමණ ලැබී ඇති නමුත් 2015 වසරෙන් පසු කිසිදු කුඩා පරිමාන ජල විදුලි බලාගාරයකට අවසර දී නැති බවයි. අධ්‍යක්ෂවරයා ජනමාධ්‍යවලට අදහස් දක්වමින් එසේ ප‍්‍රකාශ කළ ද තොරතුරු පනත යටතේ සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් ලබා ගත් තොරතුරුවල සඳහන් වන්නේ 2015 ජනවාරි පළමු වැනි දා සිට 2018 ජනවාරි පළමු වැනි දා තෙක් කුඩා ජල විදුලි බලාගාර 26කට අනුමැතිය ලබා දී ඇති බවයි. ඒවා ඉදිකර ඇත්තේ කුම ගංගාවක් ආශ‍්‍රිතවද යන වගද සුනිත්‍ය බලශක්ති අධිකාරිය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා දී තිබේ. ඒ අනුව අධ්‍යක්ෂවරයා මාධ්‍යයට කර ඇත්තේ අසත්‍ය ප‍්‍රකාශයකි.

ලංකා විදුලිබල මණ්ඩලය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා දුන් තොරතුරු වලට අනුව 2018 අගෝස්තු පළමු වැනි දා තෙක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් අනුමැතිය ලබා දුන් කුඩා ජල විදුලි බලාගාර ගණන 190කි. එමෙන්ම ගිවිසුම් අත්සන් කළත් අනුමැතිය ලබා නුදුන් කුඩා ජල විදුලි බලාගාර ගණන 67කි. ඒ අනුව එකතුව 257කි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් තොරතුරු පනත අනුව ලබා දුන් තොරතුරුවලට අනුව එම කොමිසමෙන් 2010  සිට 2019 දක්වා ජනන බලපත‍්‍රය ලබා දී ඇති කුඩා ජල විදුලි බලාගාර ගණන 209කි.

‘විකල්ප බලශක්ති කරා යායුතුයි ’

පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

‘‘ කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිවෙන්නේ ලංකාවේ ගඟක්, දියඇල්ලක් වගේ ජල මූලාශ‍්‍රයක් ආශ‍්‍රිතව. බොහෝ වෙලාවට මේවා වෙන්නේ පරිසර නීතියවත් තැකීමට ලක් නොකර.  දැන් අලූත් ප‍්‍රවණතාවය තමයි බටහිර රටවල් කුඩා ජල විදුලි බලාගාර අයින් කරගෙන යනවා. ඔවුන් මේ වෙනකොට හඳුනාගන්නේ සුළං බලශක්තිය, සූර්ය බලශක්තිය වගේ ප‍්‍රභවයන්. ඒවගේ වටපිටාවක තමයි ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර ඉදි කරන්නේ.

කුඩා ජලවිදුලි බලාගාර ඉදි කිරීම නිසා ලංකාවේ ඉන්න මත්ස්‍ය විශේෂ විනාශ වෙන්න ඉඩ තිබෙනවා. මොකද ඔවුන්ගේ හැසිරීම් රටාවලට බලපෑම් වෙනවා. බුලත් හපයා, තල් කොස්සා වගේ මාලූ විශේෂ ගණනාවක් ලංකාවේ ඉන්නවා. වෙන රටවල මේවා ඉදි කරද්දි ‘මාලූ ඉනිමං’ කියලා දමනවා. වතුරපාර   හරවලයි ටර්බයින් එක කරකවන්න කාණුවකින් යවන්නේ. ඒක දිගේ යන මාලූන්ට නැවත එන්න විදියක් නෑ. වෙන රටවල්වල ආයෙත් එන්න ‘මාලූ ඉනිමං’ දමනවා. මේවගේ අවම දේවල්වත් බලන්නේ නැතිව තමයි ලංකාවේ කුඩා ජලවිදුලි බලාගාර ඉදිකරන්නේ.

මේවා ඉදිකිරීමෙන් ජල පෝෂිත විශාල වශයෙන් විනාශ වෙනවා. අපේ රටට හො`දට ඉර එළිය එනවා. සූර්ය පැනල වහළවල්වල සවි කරලා විදුලිය ජනනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒවා නිවාසවල භාවිතයට අරගෙන අතිරික්තය ප‍්‍රධාන පද්ධතියට එකතු කරන ක‍්‍රමයක් අපි හදාගත්තොත් ලංකාවේ බලශක්ති අර්බුදය විස`දගන්න පුලූවන්.’’

‘චෝදනා බොරු’

කුඩා ජල විදුලිබලාගාර හිමියෙක්

‘‘කුඩා ජල විදුලි බලාගාරවලින් ලංකාවේ විදුලිබල පද්ධතියට විශාල සේවාවක් සපයනවා. හදිසියේ විදුලිය අවශ්‍ය වෙලාවට කුඩා ජල විදුලි බලාගාරවලිනුත් විදුලිය මිලදී ගන්නවා. මේකෙන් පරිසර හානියක් වෙනවා කියන්නේ බොරු. පරිසර හානියක් නොවන ආකාරටයි අපි විදුලි බලාගාර කරන්නේ. අපි වැඩ කරන්නේ නීතියට අනුවයි. විවිධ රාජ්‍ය නොවන කණ්ඩායම් අපට අසත්‍ය චෝදනා එල්ල කරනවා. ඔවුන් එසේ කරන්නේ ඉරිසියාවටයි. වෙන කිසිම හේතුවක් නෑ.’’

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

(ඡායාරූප - තරිඳු ජයවර්ධන)