නොසැලකිල්ලෙන් ක්‍රියා කරන්නට හෝ අවදානමක් ගන්නට කිසිදු ඉඩක් නැත. ශ්‍රී ලංකාව තම සේවා ස්ථාන සේවකයන්ට විවෘත කරද්දී වන්දනාමාන කරන ස්ථානවල දොරටු බැතිමතුනට විවර කරද්දී, සිසුනට පාසල් දොරටු විවර වෙද්දී මහජන සෞඛ්‍ය සේවා භාර රටේ ඉහළම නිලධාරියා නැවත නැවත ඉහත කී දේ කියා සිටී.

පසුගිය අවුරුදු 100 ක කාලය තුළ දක්නට නොලැබුණු ආකාරයෙන් දුප්පත්, පොහොසත් සෑම රටක්ම දණ ගැස්සවූ නව කොරෝනා වෛරසය (කොවිඩ් - 19) පැමිණිදා පටන් ඔහු කඩිසර ලෙස ක්‍රියාකාරීව සිටී. පසුගිය ජුනි 10 වැනිදා ඔහු සමග පැය දෙකක් පුරා සම්මුඛ සාකච්ඡාවක නිරත වන්නට Sunday Times පුවත්පතට හැකිවිය.

දිනය පුරා ඉටුකළ වෙහෙසකර කාර්යයන්ගෙන් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකාව ඉදිරියේ දී කටයුතු කළ ආකාරය පමණක් නොව පසුගිය මාස කිහිපය තුළ අර්බුදය රට තුළ පාලනය කරගත් ආකාරය ද කියා සිටියේය.

ඔහුගේ මේසය අපිළිවෙළට ගොණු ගොඩගැසුණු තැනක් නොවේ. පිළිවෙළට අසුරන ලද ලිපිගොනු රාක්කයේ විය. කරුණු හුවා දක්වන්නට තොරතුරු හා සංඛ්‍යාලේඛන දත්ත සහිත ගොනු ඔහු ඉවත ගත්තේ එම රාක්කයෙනි. යාවත්කාලීන කළ මේ දත්ත අඩංගු ලේඛන ඔහුගේ අතේ දුරින් තිබිණි.

‘‘වෛරසයට එරෙහි සටන් පෙරමුණු කිහිපයකම නොකඩවා සිදුවෙනවා. සමාජ දුරස්ථකරණය, දෑත් ශෝධනය, මහජනයා ගැවසෙන තැන්වල මුව වැසුම් ලාගැනීම, සෙනග අතර ගැවසීමෙන් වැළකීම වැනි වැදගත් ආරක්ෂණ පියවර අපට අමතක කරන්නට බැහැ. ඒවා අප දැනටත් ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි. එසේ නොකළහොත් අපට ගෙවන්නට සිදුවෙන්නේ සුළුපටු වන්දියක් නොවේ.’’ මාස තුනක් පුරා ජනතාව විඳි අසීරුව පිළිබඳ කරුණු දක්වමින් වෛද්‍ය ජාසිංහ කියා සිටියේය.

රටට මහත් පාඩුවක් විඳින්නට සිදුවූ බැවින්, මෙම කටුක සමයේ අප රැස්කරගත් දේ ආරක්ෂා කරගෙන ඉදිරියට යායුතු බවත් පරිස්සමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියේය. ප්‍රජාව අතර පැතිරී යන්නට ඉඩ නොතබා ශ්‍රී ලංකාව විශිෂ්ට ආකාරයෙන් රෝගය පාලනය කරගත් ආකාරය වාර්තා වූ තොරතුරු ආශ්‍රයෙන් පැහැදිලි වේ. මේ වනවිට රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදාවේ පොකුරෙනුත්, විදේශ රටවල සිට පැමිණෙන රෝගී පොකුරෙනුත් පමණකි.

ආරම්භයේ සිට ජුනි 10 දක්වා තොරතුරු පහත පරිදිය.
නාවික හමුදාවේ පොකුරෙන් රෝගීන් - 911
විදේශයන්හි සිට පැමිණි රෝගී පොකුරේ - 642
අනෙකුත් ශ්‍රී ලාංකිකයින් - 313 කි.

මේ වනවිට සවිස්තරාත්මක මාර්ගෝපදේශ, මෙහෙයුම් කටයුතු උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හඳුන්වා දී තිබේ. මැතිවරණ පැවැත්විය යුතු ආකාරය, වැඩ කරන ස්ථානවල කොවිඩ්-19 වැළැක්වීමේ පියවර හා බාබර් සාප්පු, රූපලාවන්‍යාගාර, පාසල්, ටියුෂන් පන්ති, විශ්වවිද්‍යාලවල ගත යුතු සෞඛ්‍යමය පියවර එම මාර්ගෝපදේශවල දැක්වේ.

ගැටලුකාරී ස්ථාන පිළිබඳව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය. රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවල හා පොදු ප්‍රවාහන සේවා ගැන කනස්සල්ලෙන් කතා කළ ඔහු කීවේ ඒවායේ මිනිසුන් හැපි හැපි ඉන්නා බවයි.

එක ආසනයක එක මගියකු ගමන් කිරීම, මුහුණු වැස්ම පැළඳීම යන කාරණා ඒවායේ පිළිපැදිය යුතුවේ. පමණට වැඩි සෙනග ගැවසෙන බාහිර රෝගී අංශවලත්, දුම්රිය ආදියේත් විසඳුම් යොදා ගැනීමට ද ඔවුහු උත්සාහ දරති.

‘‘අවශ්‍ය ස්ථානවල අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අප සේවයේ යොදවනවා. මැතිවරණ කාලය තුළත් එය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.’’ ඔහු සහතික කොට කියා සිටියේය.

සමාජ දුරස්ථකරණය අනුගමනය නොකර මෑතක දී පැවැත්වූ විරෝධතා ව්‍යාපාර පිළිබඳව විමසූ විට වෛද්‍ය ජාසිංහ කියා සිටියේ, ජනතාව ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ක්‍රියාවේ යෙදවීම නවතාලන්නට තමන්ට අවශ්‍ය නොවන බවයි. ‘‘ඒත් රෝගය පැතිරීම වැළැක්වීමේ මාර්ගෝපදේශ අප විසින් දියයුතු වෙනවා. නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ ඒවා ක්‍රියාත්මක කළ හැකියි.’’ මෙම පූර්වාරක්ෂණ විධි කොවිඩ් 19 න් වැළකෙන්නට පමණක් නොව සියලුම ස්වසන රෝගාබාධ ඇති කරන වෛරස වැළැක්වීමට යෝග්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. රෝගීව හිඳින්නට වැය වන කාලය ඒ මගින් ආරක්ෂා කර ගත හැකි ආකාරය ඔහු පැහැදිලි කළේය.

ඊළඟට අවධානය යොමු වූයේ කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ අවස්ථාවේ ඊට එරෙහිව සටන් කිරීමට උපයෝගී කරගත් ක්‍රමෝපා දෙසටය. වෛරසය පිටින් ඒම වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව උපරිම උත්සාහ දැරුවේය. එම උත්සාහය බොහෝදුරට සාර්ථක විය.

ලෝකය පුරා වෛරසය පැතිර යන්නට පටන්ගත් ජනවාරි පෙබරවාරි කාලයේ ශ්‍රී ලාංකීය බලධාරීහු චීනයේ සිට පැමිණෙන්නන් නිවාසගත නිරෝධායනයට ලක්කොට මහජන සෞඛ්‍ය නිලධාරීන් (PHI) ඔවුන් නිරන්තර පරික්ෂාවට ලක්කිරීම සඳහා යැවූහ. ශරීර උෂ්ණත්ව මාන ස්කෑන් යන්ත්‍ර ගුවන්තොටුපොළවල සවිකර වෙනත් පරික්ෂාවවල ද මගීන් භාජන කරන ලදී. ඉන්පසු සෞඛ්‍ය පිළිබඳ ප්‍රකාශන පත්‍රයක් මගින් ලබාගැනිණි. ඉන් අනතුරුව ඔන්ලයින් වීසා නිකුත් කිරීම නවතා දමන ලදී. පැමිණි මගීන්ට මෙරටදී වීසා නිකුත් කිරීම (On Arrival) නවතා දමන ලද්දේය. මගී නැව්වලින් ගොඩබැසීම් ද අත්හිටුවන ලදී.

පළමු රෝගියා (චීන සංචාරක කාන්තාව) සොයාගනු ලැබුවේ ජනවාරි 27 වැනිදාය.

‘‘ඊළඟට අපි ප්‍රජාවට බෝවීම වැළැක්වීමේ ක්‍රම ක්‍රියාත්මක කළ මාර්තු මාසයේ දී ඉතාලියෙන් බොහෝදෙනා එන බව පෙනී ගියා. ඔවුන් නිවෙස් ගත නිරෝධායනයට ලක්කළ යුතු බව අප සිතුවත් ඒ වැඩේ හරි නොයන බව දැනගත් අප ඒ අදහස වෙනස් කොට හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථානවලට ඒ අයව යොමු කළා. ඒ හරහා මෙහෙයුම් කටයුතු හොඳින් කළමනාකරණ කරගත හැකි වුණා.’’ ඔහු පැහැදිලි කළේය.

​‘‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් 19 වැළැක්වීමේ මධ්‍යස්ථානයක් ඒ වෙනුවෙන්ම පිහිටවූ විට එය සෞඛ්‍ය අංශයට මහත් සහනයක් වුණා. තනිව එම කටයුතු කිරීමට හැකියාවක් හා මානව සම්පත් ඒ අංශයට තිබුණේ නෑ’’ කී වෛද්‍ය ජාසිංහ, සෞඛ්‍ය ක්‍රමෝපාය, කාලය, ස්ථානය හා පුද්ගලයා යන සාක්ෂාත් වූ වසංගත වෛද්‍ය විද්‍යා සාධක මත පදනම්ව සකසාගත් බව වැඩිදුරටත් කීවේය. රාජ්‍ය බුද්ධි අංශයේ සහාය ඇතිව ඔවුන්ගේ තාක්ෂණ හැකියා ද ඊට එක් කරගන්නා ලදී.

දැඩි අවදානම් සහිත ප්‍රදේශවල ඇඳිරිනීතිය මුලින්ම යොදා ගැනිණි. ඉන් අනතුරුව දිවයින පුරා ලොක්ඩවුන් කොට ඇඳිරිනීතිය පනවන ලදී. පිවිසුම් ස්ථාන ද වසා දැමුණේය.

හුදෙකලා ස්ථානවල වාට්ටු ඇති රෝහල්, ඔවුන් ජනවාරි පෙබරවාරි මාසවලම හඳුනාගෙන තිබිණි. ඉන් අනතුරුව කාර්ය මණ්ඩල අවශ්‍ය කටයුතු සඳහා පුහුණු කෙරිණි. යටිතල පහසුකම් ද සකසා රෝහලට එන යම් තැනැන්තකුට උණ හෝ කැස්ස තිබෙන අවස්ථාවල ඔවුන් RT – PCR පරීක්ෂණවලට යොමුකරන ලදී.

1390 හොට්ලයින් සේවාව පිහිටුවා, 1990 සුවසැරිය ගිලන්රථ සේවාව යොදා සැක සහිත රෝගීන් සුදුසු පරිදි ප්‍රවාහනය කරන ලද්දේය.

‘‘රෝගයට ගොදුරුවීමේ හැකියාව ඇති ත්‍රිරෝද රථ රියැදුරන්, වෙළෙඳපොළවල සහ බස්රථ නැවතුම්පොළවල ඉන්නා අය වැන්නන් RT-PCR පරීක්ෂණවලට යොමු කිරීමත් සමග පරීක්ෂා කිරීම් අලුත් මගකට යොමුවුණා. නිරන්තරව කරන සියුම් පරික්ෂා ඒ නිසා වැඩිවුණා. දැන් අප කරන ලද පරික්ෂණ සංඛ්‍යාව 80,000 කට වැඩියි.’’ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

දකුණු කොරියාව තරම් මහා පරිමාණයෙන් වීදිවල කරන පරික්ෂා ශ්‍රී ලංකාවේ නොකරන බවට ඇති විවේචනවලට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ එම රටට වඩා අප රටේ ශක්තිමත් මහජන සෞඛ්‍ය සේවාවක් ඇති බව විවේචකයන් අමතක කරන බවයි.
‘‘දකුණු කොරියාවේ සමාජය පුරා රෝගය පැතිර යාම විශාල ප්‍රශ්නයක්. අපට එහෙම ගැටලුවක් නෑ’’ ඔහු කියා සිටියේය.

රෝගයට ගොදුරුවීමට ඉඩ ඇති කණ්ඩායම් ආශ්‍රයෙන් කළ සියුම් පරික්ෂාවල දී පෙනීගියේ ඒ අයගෙන් 2% ක් පමණක් රෝගයට ගොදුරුවී ඇති බවයි. ඉන් 98% ක් රෝගය නොවැළඳුණ අය වග එයින් අර්ථවත් වේ. ශ්‍රී ලංකාවේ RT-PCR පරික්ෂණ කොවිඩ් 19 උදෙසා පටන්ගත්තේ ජනවාරියේමය. එසේ කළ අනෙක් එකම රට ඉන්දියාවයි. ඒ පුනේ නගරයේ පර්යේෂණාගාරයකයි. මේ වනවිට එහි රජයේ විශ්වවිද්‍යාල 20 කත් පෞද්ගලික අංශයේ පර්යේෂණාගාර 4 කත් එම පරීක්ෂණ සිදුවේ. RT-PCR පරික්ෂණ සම්බන්ධයෙන් වූ චෝදනාවලට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ රෝගය වැළඳුණ රෝගීන් රෝහලෙන් මුදා හරින්නට පෙර දෙවරක් පරික්ෂා කොට රෝගය සුවවී ඇති බව තහවුරු කරගන්නා බවයි. පසුකාලීනව එවැනි අයෙකු නැවත ශරීරය තුළ වෛරසය ඇති බව පරික්ෂණයකින් පෙනී යෑමට ඉඩ ඇතත් ඒ වනවිට එම තැනැත්තාගෙන් බෝවීමේ හැකියාව නැතිවන තරමට වෛරසය අකර්මණ්‍ය වී යයි.

‘‘හොංකොං හි ඉන්නා සුප්‍රසිද්ධ වෛරස විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් සමග අප නිතරම සම්බන්ධ වෙනවා. ඔහු කියා සිටින්නේ රෝගය සුව වූ පුද්ගලයකු තුළ මියගිය RNA කොටස් තිබිය හැකි බවයි. එවිට පරික්ෂණයක දී පෙනී යන්නේ ඔහු තුළ වෛරසය ඇති බවකි. වරක් රෝගය වැළඳුණු අයකු රෝහලෙන් නිදහස් කළ පසු ඔහුගෙන් නැවත තවත් අයකුට රෝගය බෝනොවන බව අපට සනාථ වී තිබෙනවා.’’

යාවත්කාලීන දත්ත තම අත ළඟම තබාගෙන ඉන්නා වෛද්‍ය ජාසිංහ තහවුරු කොට කීවේ මේ වන විට දිනක් පාසා RT-PCR පරීක්ෂණ 1700 ක් පමණ සිදුකරන බවයි. ජුනි 9 දා වන විට කොවිඩ් 19 රෝගීන් සඳහා වෙන් කළ ගිලන් ඇඳන් 400 කට වඩා ඉතිරිවී තිබේ.

නාවික හමුදාවෙන් පිටතට බෝ නොවී රෝගය පැතිරීම වළක්වාගත් ආකාරයත් විදේශවලින් පැමිණෙන රෝගීන්ගෙන් බෝවීම වළක්වා ගත් ආකාරයත් වෛද්‍ය ජාසිංහ පැහැදිලි කළේය. රට තුළට ගුවන්යානාවලින් පැමිණෙන මගීන් පවතින තත්ත්වය අනුව වෙන් කරනු ලැබිණි.

මෙරට සැබෑ ලෙස රෝගයට ගොදුරුවූ සංඛ්‍යාව වූ 313 පිළිබඳ කතා කළ ඔහු රට තුළින් රෝගී ප්‍රජාවට මාර්තු මාසයේ පටන් ඉතාලියෙන් පැමිණි අයත් සුදුවැල්ල, ජාඇළ, බණ්ඩාරනායක මාවත, ගුණසිංහපුර ප්‍රදේශවලින් හමුවූ රෝගීනුත් එකතු වූ බව කියා සිටියේය. එහිදී රෝගය පැතිරීම සීමා කිරීමට වෙහෙස වී වැඩ කළ ආකාරය “දමාගෙන වැඩ කළා” යන වචනවලින් පැහැදිලි කළේය.

වේගයෙන් පැතිරී ගිය නාවික හමුදාවේ රෝගී පොකුර නිසා අපට ලැබුණේ ඉතාලියේ පැවති ආකාරයේ අත්දැකීමක් වග ඔහු කීවේය. එය පැතිරෙන්නට පටන්ගත්විට එහි මුල සොයාගැනීම අසීරු විය. එය පැතිරයන්නට ගත් නමුත් එය කෙමෙන් පාලනයකට නතු කරගන්නට බලධාරීහු සමත් වූහ. විදේශයන්ගෙන් ආ උදවිය ද නිරෝධායනයට ලක්කරනු ලැබීය. ඒ අය රඳවා තැබූ මධ්‍යස්ථානවල සිටි ආරක්ෂක හමුදා නිලධාරීන්ට හෝ සෞඛ්‍ය සේවකයන්ට බෝවෙන්නට ඉඩ දුන්නේ නැත.

‘‘අපේ මරණ සංඛ්‍යාව 11යි. එය අනෙක් රටවල් හා සසඳා බැලීමේදී 59% තරම් පහළ අනුපාතයක්. මේ වනවිට රෝහල්ගත රෝගීන් සංඛ්‍යාව 789 ක්. රෝගීන් 1059 රෝහල්වලින් නිදහස් කොට යවා තිබෙනවා. ඒ අය නිදහස් කළ පසු ඔවුන්ගෙන් අනෙක් අයට නැවත බෝවීමක් සිදුවන්නේ නෑ. රෝහල්ගත රෝගී සංඛ්‍යාවට වඩා රෝහලෙන් නිදහස් කළ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම ශ්‍රී ලංකාවේ විශේෂ ලක්ෂණයක්. අපට රෝහල්වල ඇති ගිලන් ඇඳන් සංඛ්‍යාව කළමනාකරණය කර ගැනීමේ හැකියාව ඒ නිසා ලැබුණා. නාවික හමුදාවේ හා පිටතින් පැමිණි විදේශගතව සිටි අයගේ රෝගී පොකුර නිසා තත්ත්වය අනෙක් පැත්තට හැරුණත් මේ වනවිට තත්ත්වය සමතුලිත කරගෙන තිබෙනවා’’ යයි ඔහු සහතික කොට කීවේය. රෝගීන් සහිත ගිලන් ඇඳන් සංඛ්‍යාව පිළිබඳ විස්තර දැක්වෙන රූප සටහනක් පෙන්වා ඔහු අපට එය විස්තර කළේය.

ශ්‍රී ලංකා සිතියම් සහිත තවත් රූ සටහනක් ඉවත ගෙන ඔහු එය පැහැදිලි කළේය. පසුගිය සති දෙක ඇතුළත කොවිඩ් 19 රෝගීන් හමුවූ ස්ථාන ඒවායේ රතු පාටින් සේයාකර තිබේ. මැයි 30 දිනට යාවත්කාලීන කළ එම සිතියමේ ඒ සියලු ඒවා කොළ පාටට හැරී තිබේ. එහි අරුත වන්නේ මැයි 30 ට පෙර දින 14 ඇතුළත එම ප්‍රදේශවලින් අලුත් රෝගීන් හමුනොවූ බවය.

ගුවන්තොටුපොළ වසා දැමූ දා පටන් රටට ගුවන් මගින් පැමිණි මගීන් සංඛ්‍යාව 6000 ක් පමණ වේ. එක් එක් රටවලින් පැමිණි මගී ප්‍රතිශතය මෙසේය.

ඉන්දියාවෙන් - 20%, ඔස්ට්‍රේලියාවෙන් - 10%, රුසියානු සමූහාණ්ඩුවෙන් - 8%, කුවේට් - 8%, එ.රාජධානිය – 7.5%, බංග්ලාදේශය – 6.3% මාලදිවයින – 5.2% කටාර් - 4.7%, බෙලරූස් - 4.5%, ජපානය – 4.3% එ.අරාබි එමීර් - 3.6% සිංගප්පූරුව – 3.4% මැලේසියාව – 3.2%

එක් එක් රටවලින් පැමිණි මගීන්ගෙන් පැමිණි රෝගීන්ගේ ප්‍රතිශතය කුවේට් - 77% එ.අරාබිඑමීර් - 8.4% කටාර් - 7.8% රුසියානු සමූහාණ්ඩුව – 1.8% බංග්ලාදේශය – 1.4% ඉන්දියාව – 1.4%
ඉටු කරන ලද ක්‍රියාපිළිවෙළ ප්‍රස්ථාර සටහන් මගින් පැහැදිලි කළ වෛද්‍ය ජාසිංහ වෛරස සමග සටනින් ලැබූ ජයග්‍රහණ ආරක්ෂා කරගන්නට ශ්‍රී ලංකාව, පරිස්සමෙන් කටයුතු කළ යුතු බව කියා සිටියේය.

 

2020 ජුනි 14 Sundya Times පුවත්පතේ පළවූ
කුමුදුනී හෙට්ටිආරච්චි, රුක්‍යහා ඩීන් සහ මිලීසා රත්නායක
ලියූ Ease up with care ලිපියේ පරිවර්තනය.

(*** පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ)