අධිකරණයේ විනිශ්චයකාරවරුන් අතිශයින් ගරු කටයුතු පිරිසක් වශයෙන් සැලකීමට ශ්‍රී ලාංකික සමාජය ඈත අතීතයේ සිටම හුරු පුරුදුව සිටියේය. කලෙක ඔවුන් හඳුන්වනු ලැබුවේ කෝටුවේ රජ්ජුරුවන් වශයෙනි. එසේ නැතිනම් නඩුකාර හාමුදුරුවන් වශයෙනි. තවමත් එම ගෞරවය බොහෝ දුරට ආරක්ෂා වී තිබේ. උසාවියක වැඩ ආරම්භ කිරීමට පෙර විනිශ්චයකාරවරයා ආසනාරූඪ වන බව තෝල්කයා හෝ උසාවි ලේකම්වරයා නිවේදනය කළ විට පැමිණ සිටින සියලූ දෙනා ඔහු අසුන් ගන්නා තුරු සීරුවෙන් නැඟී සිටිති. රටේ ජනාධිපතිවරයා පවා වැඳ නමස්කාර කරන බුද්ධ පුත‍්‍රයන් වහන්සේලා වුවද විනිශ්චයකාරවරයා අධිකරණයට පැමිණෙන විට අසුනින් නැඟී සිටිය යුතුය. වරෙක භික්ෂුන් වහන්සේ නමක් අසුනින් නොනැඟීටීම නිසා දඬුවම් විඳීමට සිදුවිය. මහා සංඝරත්නය ජාතික ගීය ගයන අවස්ථාවේදී අසුනින් නැඟී සිටිය යුතු ද යන්න පිළිබඳ සංවාදයක් පසුගිය කාලයේ පැවතුණි. එසේ වුවත් උන්වහන්සේලා විනිශ්චයකාරවරයා පැමිණෙන විට නැඟී සිටිය යුතුය. ඒ තරමට රටේ විනිශ්චයකාරවරු ඉහළ මට්ටමක සිටිති. උසාවිය පැවැත්වෙමින් තිබියදී බුලත් විට සැපීම, නොගැළපෙන ඇඳුම් ඇඳ සිටීම, කතා කිරීම වැනි හේතු නිසා උසාවි කටයුතුවලට බාධා කිරීමක් හෝ අපහාස කිරීමක් සේ සලකා විවිධ පුද්ගලයන්ට දඬුවම් පැමිණ වූ අවස්ථා පිළිබඳව පුවත්පත් විසින් නිතර වාර්තා කර තිබෙනු දක්නට ලැබුණි. ඒ තරමට මේ රටේ විනිශ්චයකාරවරු සමාජය තුළ ගරුත්වයක් ද සම්භාවනීය තත්ත්වයක් ද හිමිකරගෙන සිටිති. නීතිඥවරුන් ඔවුන් අමතන්නේ ස්වාමීනි යනුවෙනි. එහෙත් මේ සතියේ අඟහරුවාදා (දෙසැම්බර් 04) රූපවාහිනී තිරවල අපට දක්නට ලැබුණේ කුමක් ද? රටේ අග‍්‍ර විනිශ්චයකාරතුමිය පැමිණ සිටියවුන්ට වැඳ ආචාර කරමින් දෝෂාභියෝග විභාගය සඳහා පාර්ලිමේන්තුවට යාමට සූදානම් වන ආකාරයයි. බොහෝ දෙනකුගේ මතකයට නැගුණේ ප‍්‍රාදේශීය සභා ඡුන්දයකට නාමයෝජනා භාරදීම සඳහා ගමන් කරන දේශපාලන පක්ෂ අපේක්ෂිකාවකගේ ස්වරූපයයි. අවට පිරිසක් හුරේ දමද්දී ඇය වාහනයට ගොඩවූ බව පෙන්වන ලදී. මේ රටේ විනිශ්චයකාරවරුන් හොබවන ඒ උතුම් තනතුරේ ගෞරවය මේ තරම් පහත් තත්ත්වයකට පත් කරනු ලැබූ අවස්ථාවක් ඉතිහාසය තුළ තිබුණේ ද? ඇයට ආධාරයට පැමිණ සිටියෝ කවරහු ද? දේශපාලන පක්‍ෂ නායකයන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්, උසාවියේ ඇසෙන නඩුවල පැමිණිලි කරුවන්, විත්තිකරුවන් ඒ අතර සිිටිනු දක්නා ලදී. උසාවියේ විභාග වන නඩුවක පැමිණිලි පාර්ශ්වයට අයත් මාදුළුවාවේ සෝභිත හිමි, උසාවි කිහිපයකටම නඩුවල විත්තිකරුවකු වන පාලිත රංගේ බණ්ඩාර මහතා ද ඒ අතර වූහ. සරත් ෆොන්සේකා මහතා තවත් එක් උදාහරණයකි. ඔහු අධිකරණයෙන් දඬුවම් ලැබූ වරදකරුවෙකි. අනෙක් අතට ඔහු උසාවියේ විභාග වන නඩුවක පැමිණිලිකරුවෙකි. ඔහුගේ බෑණනුවන් සහ නැන්දනිය උසාවියේ විභාග වන නඩු දෙකක විත්තිකරුවෝය. ඒ ආකාරයටම අගවිනිසුරුවරිය ඉදිරියේ විභාග වන නඩුවලට පෙනී සිටින නීතිඥවරු කී දෙනෙක් සිටියෝ ද? අගවිනිසුරු අසුනේ යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය තවදුරටත් අපක්ෂපාතීව ඉටුකිරීමට ඉඩක් ඇතිවේදැයි බව එම දසුන්වලින් පැහැදිලි වෙයි. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ මහජනතාවට මේ අත්විඳීමට සිදුව ඇත්තේ කුමක් ද? දෙසැම්බර් 3 වනදා රටේ සියලූම විනිශ්චයකාරවරු කොළඹට කැඳවනු ලැබූහ. අධිකරණ අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඒ නිසා රටේ අධිකරණය එදින ක‍්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇති වන බවය. එය සැබෑ විය. බොහෝ උසාවිවල වැඩ කටයුතු එදින සිදුවූයේ නැත. ඒ විනිශ්චයකාරවරුන්ට කොළඹ ඒමට සිදුවූ නිසාය. රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනයකට අනපේක්ෂිත අයුරින් තම සේවා ඉටු කිරීමට නොහැකි වන අවස්ථාවල සේවා ලබා ගන්නට ඒ පිළිබඳව කලින් නිවේදනය කිරීමට කටයුතු කරනු ලැබේ. එහෙත් මෙම සිද්ධියේදී එවැන්නක් සිදු නොවීය. මෑතක සිට උසාවි එන මහජනතාවට නඩු කටයුතුවලට සහභාගි නොවී නැවත ගෙදර යාමට සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය මත නොවැම්බර් 07 දින විනිශ්චයකාරවරු වැඩ වර්ජනය කළහ. එහෙත් නැවත එවැනි ක‍්‍රියාමාර්ගයකට නොයන බවට විනිශ්චකාරවරුන් තීරණය කළ බව වාර්තා විය. පසුගිය ජූලි 20 වැනිදා මන්නාරම් සිද්ධිය සම්බන්ධයෙන්  නීතිඥ සංගමය රට පුරා වර්ජනයක් දියත් කළේය. මේ සියලූ වර්ජන සිදුවූයේ මහජනතාවට කිසිදු දැනුම්දීමකින් තොරවය. අනෙක් අතට සිතාසි මත උසාවියට පැමිණ ඇති සාමාන්‍ය ජනතාවට එවැනි නිවේදනයක් නිකුත් වුව ද පැමිණීමෙන් වැළකී සිටීමට හැකියාවක් නැත. විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන්ට පෞද්ගලික බස් ධාවකයන්ගේ තත්ත්වයට පත් විය හැකි ද? රටේ වැඩවර්ජන නැවැත්වීම සඳහා තහනම් නියෝග ලබා ගැනීමට යන්නේ උසාවිය වෙතය. මෑතකදී උසාවිය විසින් වැඩවර්ජන තහනම් කරමින් නියෝග නිකුත් කළ අවස්ථා පුවත්පත්වල වාර්තා විය. එහෙත් මහජනතාව වෙත ප‍්‍රමාණවත් තරමින් දැනුම්දීමක් නොකර විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන් වැඩවර්ජනය කරන විට මහජනතාව  යායුත්තේ කවරකු වෙත ද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නම් ඔවුන්ට කුමක් කළ හැකි ද? සමහර විනිශ්චයකාරවරුන්ගෙන් සාකච්ඡාවක් සඳහා නිතර ඉල්ලීම් ලැබුණු නිසා සියලූම විනිශ්චයකාරවරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළ බව අගවිනිසුරුවරිය විසින් කොළඹට කැඳවූ රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව පුවත්පත් විසින් වාර්තා කර තිබුණි. රට පුරා උසාවි වැඩවලට බාධාවක් නොවන පරිදි ඉදිරි දිනයක් තීරණය කර කල් ඇතිව දැනුම් දී එම රැස්වීමට කැඳවූයේ නම් සහ එදින වෙනුවට නඩු විභාගය සඳහා වෙනත් දිනයක් දැනුම් දුන්නේ නම් මහජනතාවට එවැනි අපහසුතාවකට මුහුණදීමට සිදු නොවනු ඇත. උසාවිය පෞද්ගලික බස් සේවාවේ තත්ත්වයට පත් නොවනු ඇත. මේ දිනවල පුවත්පත්වල අගවිනිසුරුවරියගේ මුදල් ගනුදෙනු පිළිබඳව දෝෂාභියෝගයේ සඳහන් නොවුණු කරුණු ද වාර්තා වී තිබුණි. එක් පුවත්පත් වාර්තාවක අගවිනිසුරුවරියගේ බැංකු ගනුදෙනුවල රුපියල් කෝටි ගණනක මුදල් තැන්පත් කළ ආකාරය සහ ඒවා ආපසු ලබා ගත් ආකාරය දින සහ සංඛ්‍යාලේඛන සහිතව දක්වා තිබුණි. පාර්ලිමේන්තුව විසින් ශ්‍රෙෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ට එරෙහිව නැඟෙන විෂමාචාරය සහ දුබලතාව යන චෝදනා විභාග කර ඒ පිළිබඳව තීන්දුවක් ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් නිශ්චය කරන ලද ක‍්‍රියා පද්ධතියක් මගින් සිදු කරනු ලබන කාර්යයකි. ඒ සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මන්ත‍්‍රීවරුන්ගෙන් තුනෙන් එකක අත්සන් අවශ්‍ය වේ. එවැනි යෝජනාවකට අත්සන් ගැනීම ව්‍යවස්ථාමය විධිවිධානවලට අනුකූල වීම සඳහා ගනු ලබන ක‍්‍රියා මාර්ගයක් මිස පැමිණිලිකරුවන් බවට පත් වීමක් නොවේ. උසාවියම පැමිණිලිකරුවන් වන සහ විනිශ්චයකරුවන් වන විශේෂ අවස්ථා අපේ අධිකරණ පද්ධතිය තුළ තිබේ. උසාවියට අපහාස කිරීම එවැනි විශේෂ අවස්ථාවකි. උසාවියට අපහාස කළ බවට එම උසාවිය මගින්ම තීරණය කර සැකකරුවන් සිර ගෙදරට යවන අවස්ථා ඇත. අපේ අධිකරණ ක‍්‍රමය තුළ ඒ පිළිබඳ කොතෙකුත් උදාහරණ ඇත. ව්‍යවස්ථාව පිළිබඳව අර්ථනිරූපණය කිරීමේ සම්පූර්ණ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය සතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ වේ. දෝෂාභියෝග ක‍්‍රියාවලිය ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විෂමාචාර පැවැත්ම සහ දුබලතාව පරීක්ෂා කරන ක‍්‍රියාවලියකි. රටේ මීට පෙර සිටි අග‍්‍රවිනිශ්චයකරුවන් දෙදෙනකු සහ තවත් විනිශ්චයකරුවන් සම්බන්ධයෙන් එම ක‍්‍රියාවලිය අනුගමනය කර තිබේ. එහෙත් දෝෂාභියෝග ක‍්‍රියාවලියේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව ඒ කිසිදු අවස්ථාවක ප‍්‍රශ්නයක් පැන නොනැඟුණි. කොටින්ම දෝෂාභියෝග ක‍්‍රියාවලිය ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන් පිළිබඳ විනය නීති පද්ධතියයි. තමන්ට අදාළ විනය ක‍්‍රියාවලිය පිළිබඳව අර්ථනිරූපණයකට සහ විනිශ්චයකට ඒමට එම ක‍්‍රියාවලිය අදාළ වන පුද්ගලයන්ටම ඉඩ සැලසෙන්නේද යන්න පිළිබඳවත් එහි යුක්ති යුක්ත භාවයත් සංවාදයකට ලක්කළ යුතු කාරණයකි. අධිකරණ දෝෂාභියෝගයකට පසු ඉන් එහාට කිසිදු අභියාචනයකට ඉඩ නොසැලසෙන බවට මතයක් ප‍්‍රකාශ වී ඇත. එහෙත් දෝෂාභියෝගය අධිකරණ ක‍්‍රියාවලියක් නොවන අතර විනය ක‍්‍රියාවලියකි. එහිදී වරදකරුවකු වුවහොත් සිර ගෙදරට යැවීමට හෝ දඩ ගැසීමට හෝ අත්හිටවූ සිර දඬුවම් පැමිණවීමට තේරීම්කාරක සභාවට පුළුවන්කමක් නැත. කළහැකි එකම දේ වරදකරුද නැද්ද යන්න තීරණය කිරීම පමණකි. එම තීරණය පාර්ලිමේන්තුව විසින් පිළිගත යුතුය. එහෙත් ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹිය හැක්කේ ජනාධිපතිවරයාටය. පාර්ලිමේන්තුවට වගකියන අනෙකුත් තනතුරු සම්බන්ධයෙන්ද විනය කටයුතු සම්බන්ධ විධිවිධාන සළසා ඇත්තේ මේ ආකාරයටය. ශ්‍රේෂ්ඨාධිකරණයේද එවැනිම තත්ත්වයක් දැකගත හැකි වේ. සමහර නඩු කෙළින්ම යොමු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. උදාහරණයක් ලෙස මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු විභාගකරනු ලබන්නේ කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. එහිදී වරදකරු වන පුද්ගලයන්ට එතැනින් එහාට යාමට කිසිදු තැනක් නැත. මෑතකදී විදුහල්පති පත්කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා තනතුරට නොගැළපෙන පුද්ගලයෙකු වශයෙන් හඳුන්වා තිබුණි. ඉන් එහාට එම ලේකම්වරයාට අභියාචනයක් කිරීමට යාමට තැනක් තිබුණේ නැත. එස්.බී. දිසානායක මහතාට එරෙහිව අපහාස නඩුව මුලින්ම විභාගකරනු ලැබුයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. ඔහුට බන්ධනාගාරගතවීමට හැර අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතියක් නොතිබුණි. එයට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකට එරෙහිව අභියාචනය කිරීමට ආයතනයක් හෝ මණ්ඩලයක් නොතිබූ නිසාය. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සම්බන්ධයෙන්ද ඇත්තේ එම තත්ත්වයමය. වෙනස තේරීම් කාරක සභාවට සිරගෙට යැවීමට නොහැකිවීමය. පසුගිය සතියේ දින තුනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී බටහිර රටක තානාපති කාර්යාලයේ අනුග‍්‍රහයෙන් සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණි. එහිදී සාකච්ඡා වූ මාතෘකා වූයේ ජනමාධ්‍යවේදීන්ට ලැප්ටොප් ලබාදීම, රටේ බලගතු ආණ්ඩුවක් පැවතීම හා දෝෂාභියෝගයයි. විදේශීය බලවේග අපේ රටේ අභ්‍යන්තර ක‍්‍රියාවලිය පිළිබඳව දක්වන උනන්දුව සහ මැදිහත්වීම ඉන් පැහැදිලි වේ. මහින්ද රාජපක්ෂ පාලනය විනාශ කිරීම සඳහා පසුගිය කාලය තුළ විවිධ ආකාරයේ කුමන්ත‍්‍රණ, ව්‍යාපෘති සහ විරෝධතා දියත් කළ අයට දෝෂාභියෝගය පෙනී යනු ඇත්තේ තවත් එක් අවස්ථාවක්, චාන්ස් එකක් ලෙසය. කිසිදු ජන බලවේගයක් නැති ත‍්‍රීවීල් පක්ෂ, බයිසිකල් පක්ෂ, ඩොලර් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කොටින්ට සම්බන්ධ ජාත්‍යන්තර ජාලය සහ ඩයස් පෝරාව නැවත වරක් එකතු වී මේ පසුපස සිටින්නේ ඒ නිසාය. එහෙත් මේ රටේ මහජනතාව අවදියෙන් සිටින බවත් රජයට අකුල් හෙළීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම විරෝධතාවලට ලබා දී ඇති අල්ප සහභාගීත්වයෙන් පෙනී යයි. මන්නාරම් සිද්ධියෙන් ආරම්භ කර අධිකරණ සේවා ලේකම්ගේ සිද්ධියෙන් තරමක ඉහළ තලයකට ගෙන ඒමට හැකි වුවද දෝෂාභියෝගයේදී එම උනන්දුව ක‍්‍රමයෙන් පහළ අංශක වලට ළඟා වන්නේත් ජන සහභාගීත්වය ක‍්‍රමයෙන් හීන වී යන්නෙත් ඒ නිසාය.
මහාචාර්ය - සුනන්ද මද්දුමබණ්ඩාර