දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානයේ යුද පුහුණුව ලැබීමට තෝරාගනු ලැබීම මෙන්ම සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සමග මුහුණට මුහුණ හමුවකින් පසුව සංවිධානයට ඇතුළත් කර ගැනීමත් ”දෙමළ කොටිකත” ලේඛිකාවගේ ජීවිතයේ එම යුගයේදී ලැබූ වැදගත් ජයග‍්‍රහණයකි. ”ෂෙනුකා” නමින් සංවිධානය තුළ හඳුන්වනු ලැබීමට නියමිත දහහත් හැවිරිදි ගැහැණු ළමයා තමන්ගේ ජීවිතයේ අපේක්ෂාව ඉටුකර ගත් බවක් පෙනිණි. මෙහි ඇති වැදගත් කාරණය නම් ඇය හෝ ඇගේ මිතුරිය  හමුදා පුහුණුව සඳහා බලහත්කාරයෙන් බඳවාගත් අය නොවීමයි. තමන්ගේ ජීවිත හෝ අතපය නැතිවීමට ඉඩ ඇති ලෙස එල්.ටී.ටී.ඊ.යට බැඳීම සිදුවූයේ ස්වෙච්ඡුාවෙන් හා කැමැත්තෙනි. එමෙන්ම වසරකට පසුව ෂෙනුකා එල්.ටී.ටී.ඊ.යෙන් ඉවත්වීමට තීරණය කළ විට කොටි සංවිධානය ඇයට එසේ කිරීමට ඉඩ දුන් අතර ඇය තම මව සමග නැවත එකතුවන බවට වගබලා ගත්තේය. තමන්ගේ සාමාජික සංඛ්‍යාව ඉහළ ගිය පසු කාලයේ එල්.ටී.ටී.ඊ.යේ කි‍්‍රයාකාරිත්වය හා සැසඳීමේදී මෙම හැසිරීම විශ්වාස කළ නොහැකි තරම්ය. එමෙන්ම තරුණ පිරිමි ළමයින් සහ ගැහැණු ළමයින් ස්වෙච්ඡාවෙන් හමුදා පුහුණුවට බැඳී ජීවිත කැප කරන්නට ඉදිරිපත්වූ හේතු හා වාතාවරණය තේරුම් ගැනීමද වැදගත්ය. බලහත්කාරයෙන් බඳවා ගැනීම හා පැහැර ගැනීම එල්.ටී.ටී.ඊයේ. පිළිගත් සම්ප‍්‍රදායක් බවට පත්වන්නේ නව සියවස ආරම්භයෙන් පසු කාලයේදීය. සටනේ අවසන් අදියරේදී එය ඉතා ඉහළ මට්ටමකට පත්වීය. එසේ වුවද එල්.ටී.ටී.ඊ.ය මෙන්ම අනෙක් සටන්කාමී සංවිධාන ද බලහත්කාරයෙන් බඳවා ගැනීම් හෝ පැහැර ගැනීම් නොකළ කාලයක් තිබිණි. ඒ දෙමළ සන්නද්ධ අරගලයේ මුල් කාලයේදීය. තරුණයන් ස්වෙච්ඡාවෙන්ම සංවිධානවලට බඳවා ගැනීම සඳහා තියුණු ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය ද කිසි විටෙක බලය යෙදීමක් සිදු නොවීය. එයට හේතුව පැහැර ගැනීම් මගින් හොඳ ගරිල්ලා භටයකු නිර්මාණය නොවන බව විවිධ සංවිධාන දැන සිටීමයි. ඉතාමත් වැදගත් වූයේ බලය යෙදීම නොව තේරුම් ගැනීමයි. බලය යෙදීම මගින් දිරි ගැන්වීම කළ නොහැකිය. මෙම අලිඛිත නීතිය පළමුවෙන්ම උල්ලංඝනය කරන ලද්දේ 1989-90 කාලයේ ඉන්දියානු රෝ (පර්යේෂණ හා විශ්ලේෂණ අංශය) ඔත්තු සේවයේ උපදෙස් මත කි‍්‍රයාත්මක වූ ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊ. පී. ආර්. එල්, එෆ්) සහ ඊලාම් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්ති පෙරමුණ (ඊ. එන් ඞී. එල්. එෆ්) සංවිධාන විසින්ය. ලක්ෂ්මනගේ රේඛාව මෙම ”ලක්ෂ්මනගේ රේඛාව” ඊ.පී.ආර්.එල්.එෆ් සහ ඊ. එන්. ඞී. එල්. එෆ්. සංවිධාන විසින් උල්ලංඝනය කරන ලද්දේ ඉන්දු ලංකා ගිවිසුමට පසු කාලයේ ඉන්දියානු හමුදාවට සහ ඔවුන් හා සන්ධාන ගත වූවන්ට එරෙහිව එල්.ටී.ටී.ඊ.ය දියත් කළ සන්නද්ධ ප‍්‍රතිිරෝධයට මුහුණදීමට තමන්ගේ ශක්තිය වැඩිකර ගැනීමට සාමාජිකත්වය සඳහා බලෙන් බඳවා ගැනීමට හා පැහැර ගැනීමට කි‍්‍රයාකිරීම මගින්ය. මෙම පිරිස පසුව ”දෙමළ ජාතික හමුදාව” නම් හමුදා කණ්ඩායම ලෙස සංවිධානය කරනු ලැබූහ. ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම පටන්ගත් පසුව දෙමළ ජාතික හමුදාව නමින් හැඳින්වූ කණ්ඩායමට එල්.ටී.ටී.ඊ.ය ප‍්‍රහාර එල්ල කළේය. එහිදී කොටින්ට ශ්‍රී ලංකාවේ සන්නද්ධ  හමුදාවල ආධාර උපකාර ලැබිණි. බලෙන් බඳවාගත් සෙබළුන්ට එල්.ටී.ටී.ඊ.යට මුහුණදිය නොහැකිවූ අතර කොටින් විසින් දහස් ගණනක් තරුණයෝ සමූල ඝාතනය කරනු ලැබූහ. ඉන්දියානු ආධාරයෙන් ගොඩනැගූ දෙමළ ජාතික හමුදාව එල්.ටී.ටී.ඊ.ය විසින් විනාශකර දැමීමෙන් පැහැදිලිව පෙනී ගියේ තරුණයන් බලෙන් බඳවාගෙන සන්නද්ධ හමුදාවක් ගොඩනැගීම අසාර්ථක ව්‍යාපාරයක් බවයි. එසේ වුවද පසු කාලයේදී එල්.ටී.ටී.ඊයද තරුණයන් බලෙන් බඳවා ගැනීම පෙළඹුණේ හැම පවුලක්ම තම නිවෙසින් වීරයකු හෝ වීරවරියකු බිහිකළ යුතු බව කියමින්ය. අකමැත්තෙන් සිටි තරුණයන් බලෙන් බඳවාගෙන ගොඩනැගූ දෙමළ ජාතික හමුදාව එල්.ටී.ටී.ඊ.ය විසින් විනාශ කළා සේම බලහත්කාරයෙන් බඳවාගත් කොටි සාමාජිකයෝ අති විශාල පිරිසක් වන්නියේ ඉදිරියට ආ හමුදා අතින් මැරුම් කෑහ. ඉතා කෙටි පුහුණුවක් ලැබූ කොල්ලන් සහ කෙල්ලන්ට මීට පෙර සටන්කර අත් දැකීම්ද නොතිබූ අතර ඔවුහු ඉදිරියට එන දියුණු හමුදාවට එරෙහිව ඉදිරියට යවනු ලැබූහ. පිරිස් බලයෙන් මෙන්ම අවි බලයෙන්ද ශක්තිමත්ව සිටි හමුදාවට ඔවුහු ගොදුරු වූහ. ”යටත් වුවත්” මෙලෙස බලෙන් බඳවාගත් දහස් ගණනක් යුද ගැටුමේදී මිය ගියහ. එමෙන්ම සටනේ අවසන් දිනවල මෙබඳු විශාල පිරිසක් හමුදාවට යටත් වූහ. මෙලෙස යටත් වූ බහුතරය රැඳවුම් කඳවුරුවල රඳවා තබනු ලැබූහ. පුනරුත්ථාපන කි‍්‍රයාවලියකින් පසුව මෙම පිරිස කණ්ඩායම් වශයෙන් නිදහස් කරමින් පවතියි. මා විසින් ෂර්මිලා ලෙස හඳුන්වනු ලැබ ඇති ”දෙමළ කෙටිකතා” ලේඛිකාව 1986 දී එස්. ඕ එල්ටීයට හා 1987 දී නියම ලෙස එල්.ටී.ටී.ඊ.යට බැඳෙන කාලයේදී බලහත්කාරයෙන් බඳවා ගැනීමේ මෙම භයානක ක‍්‍රමය කොහෙත්ම කි‍්‍රයාත්මක නොවීය. ද්වි භාෂා දැනුම තුබූ හා ඉහළ මැද පංතියෙන් පැමිණි කි‍්‍රස්තියානි පවුලක ඉපිද ඉහළ පෙළ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි මෙබඳු දක්ෂ ගැහැණු ළමයකු එල්.ටී.ටී.ඊ.යට බැඳීමට කැමැති වීමට හේතු තේරුම් ගැනීමට නම් එම කාලයේ යාපනයේ පැවැති තත්ත්වය ගැන අවබෝධයක් තිබීම අවශ්‍යය. තමන් විසින්ම විමුක්ති සංවිධාන ලෙස හඳුන්වාගනු ලැබූ සන්නද්ධ කණ්ඩායම් 30-35 පමණ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වූ කාලයක් තිබිණි. එකල තුබූ විහිළු කතාවක් නම් එක තුවක්කුවක් බයිසිකල් දෙකක් හා තරුණයන් තිදෙනකු සිටීම සංවිධානයක් ආරම්භ කිරීමට ප‍්‍රමාණවත් බවයි. මෙම පැතුරුණු තත්ත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් පහව ගියේ ඇතැම් සංවිධානවල කි‍්‍රයාකාරිත්වය නතරවීමත් තවත් ඇතැම් සංවිධාන වෙනත් සංවිධාන සමග ඒකාබද්ධ වීමත් සමගය. පසුගිය ශත වර්ෂයේ අසූ ගණන් මැදදී යාපනයේ බලවත්ව සිටමින් ඉතිහාසයේ නම රැඳවීමට ප‍්‍රධාන සංවිධාන හතක් සමත්විය. එනම් ප‍්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානය උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්) පත්ම නාභාගේ නායකත්වයෙන් යුතු ඊලාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්.) බාලකුමාරන් සහ ශන්කර් රාජිගේ නායකත්වයෙන් යුතු ඊලාම් විප්ලවකාරී සංවිධානය (ඊරෝස්* ශ්‍රී සභාරත්නම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) ”පනාගොඩ” මහේශ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ඊලාම් හමුදාව (ටී.ඊ.ඒ.) 1983 දී එල්.ටී.ටී.ඊය විසින් මරා දමනු ලැබූ ”ඔබරෝයි” දේවන් ආරම්භ කළ දෙමළ ඊලාම් විමුක්ති හමුදාව (ටෙලා) සංවිධානයි. ”අර්ධ නිදහසක්” මේ සියලූම සංවිධාන යාපනය අර්ධද්වීපයේ කි‍්‍රයාත්මකව පැවැති අතර 1985 මැද වනවිට එම ප‍්‍රදේශය අර්ධ නිදහස් තත්ත්වයකට පත්වීය. සන්නද්ධ හමුදා සහ පොලිසිය අර්ධද්වීපය තුළ ඔබ මොබ ගමන් කිරීමෙන් වැළකී සිටි අතර විවිධ ප‍්‍රදේශ විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් පාලනය කරනු ලැබීය. යාපනයේ සිටි රජයේ සේවකයන් සංස්ථා සේවකයන් සහ ගුරුවරුන්ට කොළඹින් වැටුප් ගෙවනු ලැබුවද ඔවුනට සිදුව තුබුණේ සන්නද්ධ කණ්ඩායම්වල නියෝග පිළිපැදීමටය. 1981 ජුලි මාසයේදී ප්ලෝට් සංවිධානය අනෙයි කොට්ටෙයි පොලිසියට පහරදීමෙන් පසුව අර්ධද්වීපයේ පොලිස් ස්ථාන එකිනෙක වසා දැමීමේ කි‍්‍රයාවලිය ආරම්භ වීය. 1985 මැයි මාසයේදී යාපනය පොලිස් ස්ථානයට එල්.ටී.ටී.ඊ.ය සාර්ථක ප‍්‍රහාරයක් එල්ල කළේය. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්ට යාපනය කොටුවට ගොස් සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලැබිණි. නිල ඇඳුම් රහිත පොලිස් නිලධාරින්ගෙන් යුතු පොලිස් මුරපොළක් යාපනය රෝහලේ පවත්වාගෙන යනු ලැබීය. නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීහු කිසි තැනක දක්නට නොවූහ. ගණන් කළ නොහැකි තරමට බිම් බෝම්බ ප‍්‍රහාරවලට මුහුණ දුන් යුද හමුදාවද ගමන් බිමන් සීමා කළේය. තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ නව දිල්ලිය මැදිහත්වී සටන් විරාමයක් පනවා 1985 ජුලි අගෝස්තු මාසවල භූතාන අගනුවර තිම්පුහි සාම සාකච්ඡා සූදානම් කිරීමත් සමගය. යුද හමුදා බැරැක්කවලට සීමා කරනු ලැබූහ. එවිට විවිධ සන්නද්ධ කණ්ඩායම් කළේ හමුදා කඳවුරු වටා තමන්ගේ ප‍්‍රහාරක ස්ථාන පිහිටුවා ගැනීමයි. මෙම ආරක්ෂක මුරපොළවල් බොහොමයක් පිහිටුවා ගැනීමට කොටින්ට හැකියාව ලැබිණි. සාකච්ඡා බිඳ වැටී නැවත සටන් ආරම්භ වූ විට හමුදාවට පෙනී ගියේ තමන් වටලනු ලැබූ තත්ත්වයකට පත්ව සිටින බවයි. ඉන්පසුව යාපනයේ යුද තත්ත්වය වෙනස්වීය. ළමයින් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබූ විවිධ සන්නද්ධ කණ්ඩායම් හමුදා කඳවුරු අවට මුර කපොලූ පිහිටුවා ගනු ලැබීය. හමුදාව ඉවතට යෑමට උත්සාහ දරන විට මේ මුරකපොලූ මගින් අසල ඇති සන්නද්ධ කණ්ඩායම් කඳවුරට දැනුම් දෙනු ලැබේ. බර අවි සමග එන අනෙක් සාමාජිකයන් ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීම වහාම සිදුවන්නකි. හමුදාව කඳවුරුවලින් ඉවත යාමට නිතරම උත්සාහ දරන අතර ප‍්‍රහාර එල්ලවීම නිසා ඔවුනට සිදුවන්නේ නැවතත් කඳවුරට පැමිණීමටය. හමුදාව භූමියේ ඔබ මොබ යෑම සීමාවීමෙන් පසුව අර්ධද්වීපය තුළ යුද ගැටුම ඉදිරියට ගියේ වෙනත් ආකාරයකිනි. තමන්ගේ කඳවුරු තුළ සිටිමින්ම පිටත සිටින නොපෙනෙන සතුරන්ට එරෙහිව කාල තුවක්කු ප‍්‍රහාර එල්ල කිරීමට හමුදාව පෙළඹුණි. සන්නද්ධ කණ්ඩායම් රැඳී සිටියේ සාමාන්‍ය ජනයා අතර නිසා මෙම ප‍්‍රහාර බොහොමයක් සාමාන්‍ය ජනයාට සහ ඔවුන්ගේ ගොඩනැගිලිවලට එල්ලවීය. සාමාන්‍ය ජනයා විශාල සංඛ්‍යාවක් මිය ගියහ. නැතහොත් තුවාල ලැබූහ. අලූත් තත්ත්වය යටතේ අලූතින් ආරම්භ වූ තවත් කි‍්‍රයාවක් නම් ගුවනින් බෝම්බ දැමීම හා ප‍්‍රහාර එල්ල කිරීමයි. සන්නද්ධ කණ්ඩායම් රැඳී සිටින ස්ථාන ලෙස සැක කරන තැන්වලට හෙළිකොප්ටර් මගින් බෝම්බ දැමීම හෝ ප‍්‍රහාර එල්ල කිරීම හෝ සිදුවීය. ගුවන් යානා මගින්ද බෝම්බ දැමීම සිදුවීය. කාලතුවක්කු ප‍්‍රහාරවලදී මෙන්ම ගුවනින් බෝම්බ දැමීම හා ගුවන් ප‍්‍රහාර මගින්ද සාමාන්‍ය ජනයා විශාල පිරිසක් මිය ගිය අතර විශාල විනාශයක් සිදුවිය. එම තත්ත්වය තුළ සාමාන්‍ය ජනයා අතර හමුදාව පිළිබඳ කල කිරීමක් හා වෛරයක් ඇතිවීය. එය ප‍්‍රදේශයේ ජනමාධ්‍ය මගින් තවත් වර්ධනය කරනු ලැබීය. ”ආරක්ෂක දෙවිවරු” ගැටුමේ සහ අවධානමේ මෙබඳු පරිසරයක් තුළ දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලට හිමිවූයේ ප‍්‍රමාණයට වඩා වීරත්වයක් සහිත ප‍්‍රතිරූපයකි. හමුදාව පැමිණ මහජනයාට හානි කිරීම වළක්වන ආරක්ෂකයන් පිරිසක් ලෙස ඔවුහු පෙනී සිටියෝය. දෙමළ මාධ්‍යය ඔවුන්ව හඳුන්වන ලද්දේ ආරක්ෂක දෙවිවරු වශයෙනි. සන්නද්ධ කණ්ඩායම් හඳුන්වන ලද්දේ ශුද්ධ වූ ව්‍යාපාර වශයෙනි. සිවිල් පරිපාලනය හා නීති කි‍්‍රයාත්මක කිරීම බිඳ වැටීමෙන් ඇතිවූ හිඩැස පිරවීම ද සන්නද්ධ කණ්ඩායම් විසින් ආරම්භ කරනු ලැබීය. සිවිල් මට්ටමේ වැරැදි පිළිබඳව විභාග කිරීම සඳහා පිළිගැනීමක් ඇති පුරවැසි ආධාරකරුවන්ගෙන් සමථ මණ්ඩල ඇති කිරීමට ඔවුහු කටයුතු කළහ. ඔවුන්ගේ තීරණ පිළිගෙන කි‍්‍රයාවට නැගීම සන්නද්ධ කණ්ඩායම් මගින් කරනු ලැබීය. අපරාධ මට්ටමේ වැරැදි පිළිබඳව විභාග කිරීම සන්නද්ධ කණ්ඩායම් මගින්ම කරනු ලැබීය. වැරැදිකරුවන්ට දඬුවම් දීමද කළ සන්නද්ධ කණ්ඩායම් කි‍්‍රයා කළේ විනිශ්චයකරු ජුරි සභාව හා දඬුවම් දෙන්නාද වශයෙනි. ව්‍යාපාර හා පුද්ගලයන්ගෙන් බදු ගැනීමටද සන්නද්ධ කණ්ඩායම් කි‍්‍රයා කළේය. ඔවුහු මුද්දර නිකුත් කළශ. එමෙන්ම මත්පැන් නිෂ්පාදනය කළෝය. කුඩා කර්මාන්ත ආරම්භ කළහ. එමෙන්ම යුද්ධයේ අලූත්ම තොරතුරු ඇතුළත් දැන්වීම් පුවරු විවිධ මංසන්ධිවල ප‍්‍රදර්ශනය කරනු ලැබිය. කෙනකුට පැමිණිල්ලක් හෝ යෝජනාවක් හෝ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ප‍්‍රසිද්ධ ස්ථානවල පෙට්ටි සවිකොට තිබිණි. පෞද්ගලික රූපවාහිනී සේවාද ආරම්භ වන්නට විය. එල්.ටී.ටී.ඊ.ය වැනි ඇතැම් කණ්ඩායමක් තමන්ගේම ගුවන් විදුලියක් හා රූපවාහිනියක් පවත්වාගෙන ගියේය. විවිධ කණ්ඩායම් මගින් දෙමළ සඟරා සහ පුවත්පත් ගණනාවක් පළ කරනු ලැබීය. පෞද්ගලික හිමිකම යටතේ පැවැති ප‍්‍රධාන ධාරාවේ දෙමළ පුවත්පත්ද සන්නද්ධ කණ්ඩායම්වලට අනුගත වීය. උතුරේ මෙම දූපත් කලාපයේ අනතුරුදායක වර්ධනකයක් බොහොමයක් ඇතිවීය. ප‍්‍රධානත්වය ගැනීමට සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිවිය. එහිදී එල්.ටී.ටී.ඊ.ය ටෙලෝ සංවිධානයට සහ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයට පහරදී පරාජය කරනු ලැබූ අතර ප්ලෝට් සංවිධානයට ප‍්‍රසිද්ධියේ කි‍්‍රයාත්මකවීම නතර කිරීමට ද සිදුවිය. ටී.ඊ.ඒ. සහ ටෙලා සංවිධාන කි‍්‍රයාත්මකවීම නතරවිය. එල්.ටී.ටී.ඊ.ය සමඟ අසමාන, දුෂ්කර සම්බන්ධතාවයක් පවත්වාගත් ඊරෝස් සංවිධානයට බේරී සිටීමට හැකිවිය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් රාශියක් සිදුවීය. ද්‍රෝහීන්, ඔත්තුකාරයන් සහ පළාගියවුන් ලෙස සැකකළ අයට දඬුවම් කළ අතර බොහෝ විට ලබාදුන් දඬුවම මරණයයි. අමානුෂික තත්ත්වයන් යටතේ නොයෙක් දෙනා රඳවාගෙන ප‍්‍රශ්න කළේ වධ දෙමින්ය. මර්දනය ගැන ”සිංහල අධිපතිධාරි රජය” ට චෝදනා කළ දෙමළ ජනයාගේ විමුක්තිය ළඟාකර දෙන්නන් වීමට සිටි අයද හෙමින් හෙමින් පත්වෙමින් තුබුණේ පීඩකයා ලෙස චෝදනා ලැබුවාගේ දර්පන ප‍්‍රතිබිම්බය බවටය. සුරතල් වඳුරා ”බෙලී” එල්.ටී.ටී.ඊ.ය දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතර ඉදිරිපෙළට පැමිණියේ මෙම තත්ත්වය යටතේය. නොයෙකුත් ක්ෂේත‍්‍රවලදී ඔවුන්ගේ කි‍්‍රයා පිළිගත නොහැකි වුවද එල්.ටී.ටී.ඊ.යට වීරත්වයේ ප‍්‍රතිරූපයක් පවත්වාගත හැකිවිය. සාමාන්‍ය ජනයා අතරත් විශේෂයෙන්ම තරුණ තරුණියන් අතරත් කොටි සංවිධානය තම ප‍්‍රතිරූපය පවත්වා ගත්තේ ඔවුන්ගේ කැපවීම හා ජීවිත පූජා කිරීමේ සූදානම පෙන්නුම් කරමිනි. එහි කැපී පෙනෙන හමුදා අණදෙන නිලධාරී සතාසිවම් කි‍්‍රෂ්ණකුමාර් හෙවත් කිට්ටු ඔහුගේ සුරතල් වඳුරා ”බෙලී” සමග ඩබල් කැබ් රථයේ ඔබ මොබ යන අයුරු දැකීම තරුණ සිත් කළඹන සුළුය. තරුණ, කඩවසම්, කඩිසර කොටින් තමන්ගේ මෝටර් සයිකල්වල ඔබ මොබ යනු දැකීම තරුණියන්ගේද සිත් ඇද බැඳ ගන්නා දසුනකි.මියගිය සටන්කරුවන් සඳහා සූදානම් කරන අවමඟුල් උත්සව සහ සැමරුම් මගින් මහජනයා තුළ ඇති කළේ මොවුන්ගේ කැපවීම පිළිබඳ ගෞරවාන්විත හැඟීමකි. මෙම තත්ත්වය යටතේ මහජනයාට පෙනී ගියේ මොවුන් කරන කියන දේවල් කොතරම් අඩුපාඩු වැරැදි තිබුණද තමන්ගේ ආරක්ෂකයන් හා රැකවලූන් වන මොවුන්ට ආධාර කළ යුතු බවට හැඟීමකි. ”දෙමළ කොටි කත” කතුවරිය එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධවීම සිදුවන්නේ එබඳු කාලයක සහ එම වාතාවරණය යටතේය. ඇගේ එම තීරණය ගැන සමකාලීනයන් සහ හඳුනන්නන් බොහෝ දෙනෙකු අතර ඇතිවූයේ එය විශ්වාස කළ නොහැකි සහ සැකමුසු ආකල්පයකි. එයට බොහෝ දුරට හේතුවූයේ ඇගේ පවුල් පසුබිම නොගැළපෙන වුවමනාවන් සහ ආශාවන්ය. ඇය වැනි කෙනෙක් එල්.ටී.ටී.ඊ.යට බැඳී විමුක්තිය වෙනුවෙන් සටන් වදිනු ඇත යන්න පිළිගැනීමට    දුෂ්කරය. මතු සම්බන්ධයි
පරිවර්තනය - සී. ජේ. අමරතුංග
දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 1 දෙමළ කොටි කතගේ සත්‍ය කතාව - 2 මහත්තයා, ප‍්‍රභාකරන් හා යෝගී