IMG-LOGO

2024 ජුලි මස 22 වන සඳුදා


පොරොන්දු පරස්පරයේ ප්‍රහේලිකාව

පසුගිය මාසයේදී ඇමෙරිකාවේ නිව් යෝක් නුවර දී ප්‍රකාශයක් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රී ලාංකික දෙමළ කණ්ඩායම් හෙවත් දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමඟ  සාකච්ඡා කරන්නට අදහස් කරන බව ප්‍රකාශ කොට තිබිණි.

 එහෙත් විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය සතියේ ඊට ඉඳුරාම වෙනස් ප්‍රකාශයක් කළේය. ඒ මහතා පැවසුවේ දෙමළ ඩයස් පෝරා කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමේ අදහස් ආණ්ඩුව බැහැර කොට ඇති බවය.

ජනාධිපතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ පවුලේ සාමාජිකයන් සමඟ හෝ පෞද්ගලික මිතුරන් සමඟ හෝ නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වැනි මහා මණ්ඩල රැස්වීමට නිව් යෝක් නුවරට ගොස් සිටි දිනවල එ.ජා. මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් හමුවී  නිල සාකච්ඡාවක් පවත්වන අවස්ථාවේදීය.
එසේම එය ජනමාධ්‍ය විසින් විකෘති කරන ලද ප්‍රකාශයකැයි කිසිවකුට කිව නොහැක්කේ එය ජනමාධ්‍යයනට එවන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්වීම නිසාය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික ප්‍රශ්න රටේ අභ්‍යන්තරික යාන්ත්‍රණයක් මගින්  විසඳිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ඩයස්පෝරා සංවිධාන කැඳවන බවත් එහිදී ජනාධිපතිවරයා පවසා තිබිණි.

විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊට පටහැනි ප්‍රකාශයක් කොට තිබුණේ ඩේලි මිරර් පුවත්පත සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීය. තහනම් කරන ලද දෙමළ ඩයස්පෝරා සංවිධාන සමග සාකච්ඡා කිරීම මෙරට නීතිය උල්ලංඝනය කිරීමක් වන හෙයින් ඔවුන් සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමේ ඉඩක් කොහෙත්ම නැතැයි ඔහු අවධාරණය කොට තිබිණි. මෙය ජනමාධ්‍යයකට කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් වන හෙයින් එය ඇමැතිවරයාගේ  පෞද්ගලික මතයකැයි කිසිවකුටත් කිව නොහැකිය.

විදේශ ඇමැතිවරයා කුමන තත්ත්වයක් යටතේවත් ජනාධිපතිවරයාගේ මතයට එරෙහි මතයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එහෙයින් එය  ඇමැතිවරයාගේ මතය පමණක් නොව ආණ්ඩුවේත් ජනාධිපතිවරයාගේත් මතය සේ සැලකිය යුතුව ඇත. ප්‍රශ්නය නම් ඇමැතිවරයාගේ ප්‍රශ්නය ජනාධිපතිවරයා එ.ජා. මහලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවේ දී කළ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස්වීම නිසා එය මෙරට එ.ජා. නිලධාරීන්ගේ විශේෂ අවධානයට ලක්වීමට ඇති ඉඩකඩයි. ඔවුන්  එය එනිසා ඉහළට වාර්තා කරන්නටද ඉඩ ඇත. මෙම පරස්පර විරෝධි ප්‍රකාශය මගින් ඔවුනට ලැබෙන පණිවිඩය කුමක්වනු ඇත් ද?

දෙමළ ඩයස්පෝරා සංවිධාන සමඟ සාකච්ඡා කිරීමේ එතරම් වැදගත් කමක් තිබෙන බවක් අපට නොපෙනේ.  එහෙත් ඔවුන් සමඟ සාකච්ඡා නොකරන්නේ මන්දැයි යන්නට විදේශ ඇමැතිවරයා දක්වන හේතුව නම් තාර්කික එකක් නොවේ. තහනම් කරනු ලැබ ඇති දෙමළ ඩයස්පෝරා සංවිධාන සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් කුමක් හෝ හේතුවක් නිසා ආණ්ඩුව සැබෑ උනන්දුවක් දක්වන්නේ නම් එම තහනම ගැටලුවක් නොවේ. මන්දයත් එම සංවිධාන තහනම් කළේ ආණ්ඩුවයි. එහෙයින් අවශ්‍යතාවක් ඇත්නම් ආණ්ඩුවටම එම තහනම ඉවත් කොට ඔවුන් සමඟ සාකච්ඡා කළ හැකිය.

එය මීට පෙර ද සිදු  වී තිබේ.  1987 ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අස්සන් කරනු ලැබූ විට මෙරට සිටි සියලුම දෙමළ සන්නද්ධ සංවිධාන තහනම් කරනු ලැබ තිබිණි. එම ගිවිසුම යටතේ සටන් නතර කොට සාකච්ඡා මාර්ගයෙන් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අපේක්ෂා කෙරුණෙන් ගිවිසුම  අස්සන් කරනු ලැබීමෙන් පසු එම සංවිධානවලට පනවනු ලැබ තිබු  තහනම ඉවත් කෙරිණි. ගිවිසුම අස්සන් කරනු ලැබීමෙන් මසකට පමණ පසු කොටි සංවිධානය යළි සටන් ආරම්භ කළද එම තහනම යළි පනවනු ලැබුවේ නැත.

 යළිත් කොටි සංවිධානය තහනම් කෙරුණේ 1998 ජනවාරි 26 වැනිදාය. ඒ එදිනට පෙරදින එම සංවිධානය මහනුවර දළදා මාළිගාවට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම නිසාය.  අනෙක් දෙමළ සංවිධාන 1987 න් පසු සන්නද්ධ සටන් අත්හැර දැමූයෙන් එම සංවිධාන ඉන්පසු කිසිදා තහනම් කෙරුණේ නැත.

කොටි සංවිධානයේ තහනම යළිත් ඉවත් කෙරුණේ 2002 සැප්තැම්බර් 4 වැනිදාය. එම කාරණය දැන් විදේශ ඇමැතිවරයා මතු කරන ප්‍රශ්නයට අදාළය. එම වසරේ පෙබරවාරි 21 හා 22 යන දිනවල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් සටන් විරාම ගිවිසුමකට අස්සන් කළ අතර එම වසරේ සැප්තැම්බර් 16 වැනිදා තායිලන්තයේ දී දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වීමට නියමිත විය.

 එම සාකච්ඡාවලට සහභාගි වූ ආණ්ඩුවේ නියෝජිත පිරිසේ නායකයා වූයේ එවකට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ මහාචාර්ය පිරිස් මහතාමය. එම සාකච්ඡා සඳහා සැප්තැම්බර් 4 වැනිදා කොටි සංවිධානයට පනවනු ලැබ තිබූ තහනම ඉවත් කෙරිණි. එහෙයින් අද ද ඩයස්පෝරා සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට පනවනු ලැබ ඇති තහනම නීතිමය ගැටලුවක් හෝ බාධාවක් හෝ නොවනු ඇත.

දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන්නට යන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ වැදගත්කම අනුව අභ්‍යන්තරික ප්‍රශ්න විසඳීම සඳහා අභ්‍යන්තරික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවටත්, ඩයස්පෝරා සංවිධාන සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට අදහස් කරන බවටත් ජනාධිතිවරයා බැරෑරුම්ව තීරණය කරන්නට ඇතැයි සිතිය යුතුව ඇත.

2012 දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා. මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවේ සිට ගත වූ වසර නවය තුළ ශ්‍රී ලංකාවේ නායකයන් එ.ජා. සංවිධානයේ නායකයන් සමඟ සාකච්ඡා කළේ යුද්ධයේ දී සිදු වූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාපනය කළ යුත්තේ අභ්‍යන්තරික යාන්ත්‍රයක්ද නැත්නම් බාහිර යාන්ත්‍රණයක් ද නැත්නම් මිශ්‍ර (දෙමුහුන්) යාන්ත්‍රණයක් ද යන කාරණයයි. එහෙයින් මෙහිදී ද ජනාධිපතිවරයා සඳහන් කරන්නට ඇත්තේ මෙම වගවීමේ ක්‍රියාවලිය සඳහා වූ අභ්‍යන්තරික යාන්ත්‍රණයක් ගැන විය යුතුය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන ඇතැමුන් පුදුමයට පත් වුණේත් වෙනත් ඇතැමුන් එම ප්‍රකාශය සැක කළේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් අසීරුවට පත් වුණේත් මෙවැනි යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් හා දෙමළ ඩයස්පෝරා සංවිධාන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එතෙක් දැරූ ස්ථාවරය කවුරුත් දන්නා නිසාය.
 
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පුදුම වීමට තවත් කාරණයක් වූයේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට හෝ  මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීමේ ප්‍රශ්නය පිළිබඳව හෝ දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කළ යුතු යැයි කිසිදා කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක්  හෝ බලපෑමක් ඇති නොවීමයි.  

වෙනෙකක් තබා දෙමළ ඩයස්පෝරා සංවිධානය හෝ මෙවැනි  ඉල්ලීමක් කිසිදා ඉදිරිපත් කොට නැත.
ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මෙරට  ඇතැම් දෙමළ නායකයන් අගය කළද ඔවුන් අවංකවම ඊට කැමැති යැයි කිව නොහැකිය.  ඒ එමඟින් තමන් කොන් වේය යන සැකය නිසා පමණක් නොව දෙමළ ඩයස්පෝරාව විටෙක ඔවුනට ශක්තියක් වුව ද එම  කණ්ඩායම් ඔවුනට ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ නොදී තම සමාජ මාධ්‍ය බලය පාවිච්චි කොට විශාල වශයෙන් බලපෑම් කරන හෙයිනි.

එහෙයින් දෙමළ ඩයස්පෝරා සංවිධාන  සමඟ සාකච්ඡා කිරීම පිළිබඳ අදහස් ප්‍රතික්ෂේප කිරීමේ  විදේශ ඇමැතිවරයාගේ ප්‍රකාශය තේරුම් ගත හැකි වුවත් ඊට පෙර එසේ සාකච්ඡා කළ යුතු යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිටුපස වූ අරමුණ තේරුම් ගත නොහැකිය.

කෙසේ වෙතත්  එකම ආණ්ඩුවේ නායකයන් මෙසේ පරස්පර විරෝධී මත ප්‍රකාශ කිරීම මගින් ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන්ම එ.ජා. නායකයන් හට දෙනු ලබන අප්‍රසන්න පණිවිඩ නොවැළැක්විය හැකි ඒවා නොවේ. එය ඉතා සරලය. තමන්ට කුමන හේතුවක් නිසා කළ නොහැකි දෑ නොකියා සිටීම පමණක්ම ඒ සඳහා සෑහේ. එසේ වුව ද පක්ෂය කුමක් වුව ද මෑත දශකවල බලයට පත් වූ නායකයන් මෙවැනි පරස්පර විරෝධී මත ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශ කිරීම ඉතා සරල කරුණක් සේ සලකන  බව පෙනේ.

උදාහරණයක් වශයෙන් යුද්ධය අවසන් වී දින හතරකට පසු එනම් 2009 මැයි 23 වැනිදා එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවකට හිටපු එ.ජා.ප මහලේකම් බෑන් කී මූන් සමඟ කොළඹ දී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළේය. ‘‘ජාත්‍යන්තර මානුෂ්‍යවාදී හා මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම පිළිගනිමින්’’ ඔහු එමගින් ප්‍රතිඥාවක් දුන්නේය. එහෙත් එවකට පැවැති ආණ්ඩුව ඉන් එහාට කිසිවක් නොකළෙන් ඒ සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීම සඳහා එ.ජා. මහලේකම්වරයා 2010දී දරුස්මාන් කමිටුවට පත් කළේය.

එවිට කලබලයට පත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම කොමිෂන් සභාවක් පත් කළේය. එහි විෂය පථය වූයේ ජනාධිපතිවරයාට විරුද්ධ වූ 2002 සටන් විරාම ගිවිසුම ආසාර්ථක වීමට හේතු සොයා බැලීමය. හිටපු නීතිපති සී.ආර් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වූ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම නම් වූ එම කොමිසම එම විෂය පථයෙන් ඔබ්බට ගොස් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් පවා නිර්දේශ කොට තිබිණි.

කෙසේ වෙතත් දරුස්මාන් කමිටුවේ කටයුතු මඟ හැරීම සඳහා එසේ කොමිසමක් පත් කිරීම නිෂ්ඵල වූයේ නම් නැත. දරුස්මාන් වාර්තාව පිළිබඳව ඉන් පසු අසන්නට ලැබුණේ නැත. එහෙත් ඇමෙරිකාව හා  එ.ජා. නායකයෝ එවර සංහිඳියා කොමිසම අල්ලා ගන්නට එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කියන්නට වූහ.

මෙම කොමිසමේ වාර්තාව ද ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රජාවට දෙන ලද පොරොන්දුවකි. එහෙත් බෑන් කී මූන් සමඟ වූ ඒකාබද්ධ ප්‍රකාශය මෙන්ම මෙම වාර්තාව ද ආණ්ඩුව හමස් පෙට්ටියට දැමීමට උත්සාහ කළේය.  එ.ජා. මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා  සම්මත කරන්නට පටන් ගත්තේ එතැන් සිටය. 2012 දී සම්මත කරන ලද පළමු යෝජනාවෙන් ද නිර්දේශ කොට තිබුණේ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසය.

‘‘යහපාලන’’ආණ්ඩුව ද මෙරට හා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත වූ වගවීමේ යාන්ත්‍රයක් ගැන කියවෙන 2015 එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රහකත්වය සැපයීය. එමගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විදේශවල දී විශාල පිළිගැනීමක් ලැබිණි. සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදය  පිළිබඳව එම ආණ්ඩුව ආරම්භයේදී දැක්වූ ආකල්පය ද ඊට හේතු විය. මානව හිමිකම් සම්බන්ධයෙන් බාහිරින් එල්ල වූ පීඩනය බොහෝ දුරට අඩුවිය. තමන් මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරාගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එසේ පවසන අතරේම හා 2015 මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දීම නිසා තමාට හා ආණ්ඩුවට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම රටට පෙන්වමින්ම ජනාධිපතිවරයා මාස හතරකින් වෙනස් විය. 2016 ජනවාරී මාසයේ බී.බී.සී. සිංහල සේවය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් විදේශ විනිශ්චයකාරවරුන් නොපිළිගන්නා බව ප්‍රකාශ කළේය.
හරි හෝ වැරැදි හෝ ආණ්ඩුවකට යම් මතයක් දැරීමට අයිතියක් ඇති බව සැබෑය. ගැටලුව ඇත්තේ සෘජුව හෝ වක්‍රව ජාත්‍යන්තරයට දෙන පොරොන්දු හා කරන ප්‍රකාශ වෙනස් කිරීමය. එයින් ප්‍රයෝජනයක් ද ලැබී නැත. ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග ක්‍රමයෙන් නමුත් සෙමෙන් කරගෙන යයි.

මුල දී ඔවුහු සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යැයි කීහ. පසුව ඒ ඒ වසරවල මෙරට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ද ඔවුන්ගේ චෝදනා ලැයිස්තුවට ඇතුළත් කරති. 2014 දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ පරීක්ෂණයක් ද පැවැත් වූහ. එහි වාර්තාව මගින් ආරක්ෂක හමුදාවන්ට මෙන්ම කොටි සංවිධානයට ද බරපතළ චෝදනා එල්ල විය. මේ වසරේ ඔවුහු නිශ්චිත පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නට යෝජනාවක් සම්මත කළහ. ජාත්‍යන්තරය සමඟ ඉදිරියට ගනුදෙනු කළ යුතුව ඇත්තේ ඒ පසුබිම තුළය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

පොරොන්දු පරස්පරයේ ප්‍රහේලිකාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වැටුප් නොගෙන රටට වැඩකළ ලෝක නායකයෝ
2024 ජුලි මස 22 569 1

බලය පමණක් නොව, ධනය ද අවභාවිත කරමින් තව තවත් බලය සහ ධනය උපයනවා යන්න ලොව බොහෝ රාජ්‍ය නායකයන්ට එල්ල වන බරපතළ චෝදනාවකි. දේශපාලනය යනු ජනතා සේවයක් නොව, මුදල් ඉප


බදු ක්‍රමයට සංශෝධන අවශ්‍යද?
2024 ජුලි මස 22 121 0

ප්‍රතිලාභ ලෙස ලැබිය යුතු දේ වඩා හොඳ හෝ සමාන නම් මිස කිසිවකු තමා සතු දේ බෙදාගැනීමට කැමති නැත. ලැබිය හැකි දේ ස්පර්ශ කළ හැකි දෙයක් හෝ ස්පර්ශ කළ නොහැකි දෙයක්


වෘත්තීය කෙලෙසන ගුරුවරයා සමාජයට පිළිලයක්
2024 ජුලි මස 22 86 0

නිරුක්ති විද්‍යාවට අනුව ‘ගුරුවරයා’ යනු ‘‘නොදැනීම නමැති අන්ධකාරය දුරුකරන්නා’’ යන්නය. ගුරුවරයාගේ සමාජ භූමිකාව එමගින් මනාව නිරූපිත ය. එහෙයින් ඔහු අත්‍


සෞභාග්‍යය කරා ගිය ගමනේ චීනය ගත් ක්‍රියාමාර්ග
2024 ජුලි මස 20 285 0

චීනයේ කොමියුනිස්ට් පක්ෂය එහි 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරය ජූලි 15 සිට ජූලි 18 දක්වා බීජිංහිදී කැඳවනු ලැබීය.


වස් විසීමේ පුණ්‍යවන්ත සිරිතේ වගතුග
2024 ජුලි මස 20 241 0

සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ තරම් මහජන මතයට ගරු කළ, තත්කාලීන යහපත් සමාජ පිළිගැනීම් සඳහා නම්‍යශීලීවූ වෙනත් ශාස්තෘවරයකු පිළිබඳව ඉතිහාසයෙන් අනාවරණය


ප්‍රතිපත්ති කෙළෙසන දේශපාලනය
2024 ජුලි මස 20 346 2

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 170 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1070 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1929 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site