හන්තානට පායන සඳ එදත් පායා තිබෙන්නට ඇත. එහෙත් ඝන වළාකුළු අහුරකින් ඒ සඳ වැසි තිබෙන්නට ඇත. නොඑසේ නම් හන්තාන කඳු වළල්ලම කම්පිත කරවමින් අකාලයේ ජීවිතයෙන් සමුගත් දික් ඕවිට කම්කානම්ලාගේ නිශාන්ත නමැති සුහුඹුල් යෞවනයාගේ ඉරණම සම්බන්ධයෙන් වැදගත්ම සාක්ෂිය රැගෙන සඳ යළිත් නැග එන්නට ඉඩ තිබිණි.

සාක්ෂියක් නොතබාම නිශාන්ත මරු වැළඳ ගත්තේය. ඔහු ගෙල වැළලාගෙන දිවි නසාගත් බව පමණක් දැනට අපි දනිමු.

කරගොඩ - උයන්ගොඩ නාරංගල උපන් නිශාන්ත අඟුණකොළපෑලැස්ස මහානාග ජාතික පාසලෙන් උසස් පෙළ හදාරා සරසවි සිහිනය සැබෑ කර ගත්තේය. ඒ 2010 වසරේදීය. 2011 වසරේ ඔක්තෝබරයේදී ඔහු සුන්දර හන්තාන අඩවියේ සරසවියට පැමිණියේය. ඉතිහාසයේ මහා ශිෂ්‍ය සටන්වලට සෙවණ දුන් මාකස් ප‍්‍රනාන්දු ශාලාවේ කාමර අංක 55හි ඔහු ලැඟුම් ගත්තේය. ඒ සරසවි ගිරි දුර්ගය තරණය කිරීමට පැමිණි තවත් සගයන් දෙදෙනකු සමගය.

කාලය ගෙවී ගොස් තිබේ. මේ 2014ය. ඉකුත් 10 වැනිදා පුහුණුවකට පැමිණ සිටි බාලදක්ෂයෝ පිරිසක් මාකස් ප‍්‍රනාන්දු ශාලාවට ඉහළ කන්ද තරණය කරමින් වනාන්තරයට ඇතුළු වූහ. බොහෝ දුරක් යාමට ඔවුන්ට අවකාශයක් නොවීය. ගසක අත්තක එල්ලෙමින් තිබූ මළ සිරුරක් දැක ඔවුහු නතර වූහ. ඒ වනවිටත් මළ සිරුර නරක්වී තිබිණි. ආරංචිය ලැව් ගින්නක් සේ සරසවි බිම් පෙත පුරා පැතිර ගියේය. මුදල් පසුම්බියේ වූ හැඳුනුම්පතින් ඔහු කවුදැයි හඳුනා ගැනුණි. ඒ නිශාන්තය. ජීවිතයට අලූත් ආරම්භයක් ඉල්ලා ඔහු පැමිණි සරසවි භූමියට ඔහුගේ ජීවිතයේ නිමාව සනිටුහන් කර තිබිණි.

විශේෂත්වයකි!
ඔහු එල්ලී සිටියේ ඔහු වසරකට ආසන්න කාලයක් ලැඟුම් ගෙන සිටි හිල්ඩා ඔබේසේකර ශාලාවේ කාමර අංක 55 දෙස එක එල්ලේම බලාගෙනය. කන්දේ අතු පතර අතරින් ඔහුගේ කාමරය මැනවින් දිස්විය.

ප‍්‍රශ්නයකි!
ඔහු මරා දැමුවාද? නොඑසේ නම් ඔහු දිවි නසා ගත්තේද? මේ පිළිබඳව විවිධ මතිමතාන්තර එළි දැක්වෙමින් තිබියදී අපි පේරාදෙණිය සරසවිය බලා ගියෙමු.
ගලහා හන්දියේ අට්ටාලයකි. ඒ අට්ටාලයට දින 52කි. සම සෞඛ්‍ය සිවු අවුරුදු පාඨමාලාව රැක ගැනීමේ සිසු සටන ඒ අට්ටාලයේ ඇවිළී යයි. සරසවි ශිෂ්‍යයෝ උදේ - දිවා - රැයේ වෙනසකින් තොරව අඛණ්ඩ සත්‍යග‍්‍රහයේ නියැලෙමින් සිටිති.

ඒ අට්ටාලය පසුකරමින් අපි සරසවි පරිශ‍්‍රයට ඇතුළු වූයෙමු.
විමතියක.

තමන්ගේ රැහේ එකෙක් මැරී තිබේ. නැතහොත් මරා දමා තිබේ. එහෙත් ඒ වෙනුවෙන් එසැවුණු සුදු කොඩියක් නැත. ශෝක ප‍්‍රකාශයක් නැත. තම සගයකුගේ සමුගැන්ම සම්බන්ධයෙන් සංවේදීවන සහෝදර හදවත් මේ භූමියේ නොමැතිද?

”මේ මරණයත් සුපුරුදු විදියට ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගහන්න ආණ්ඩුව පාවිච්චි කරමින් ඉන්නවා. මේ දැන් තමයි පශ්චාත් මරණ පරීක්ෂණය තිබ්බේ. ජනමාධ්‍ය ආයතනවල මහත්වරු මට කතා කරලා කිව්වා ඒ මරණ පරීක්ෂණයෙන් ඔප්පු වුණා කියලා මේක සිය දිවි නසා ගැනීමක් කියලා. ඒත් ආණ්ඩුව මේ මරණය නවක වධයක් එක්ක ගැට ගහලා ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගහනවා.” දිමුතු ගුණසේකර කීවේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඔහුය.

යළිත් අතීීතයට යාමට අපට සිදුවී තිබේ. නිශාන්තලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණියේ 2011 වසරේ ඔක්තෝබරයේ 17 වැනිදාය. ඉන් හරියටම දින 10කට පසුව පැමිණි රාති‍්‍රයකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආපන ශාලා ආසන්නයේ ශිෂ්‍යයෙක් වැටී සිටියේය. කථිකාචාර්ය ඊ. එම්. එම්. ආර්. පී. එල්. නුගපිටිය මහතා හනිකට එම ශිෂ්‍යයා පේරාදෙණිය රෝහලට රැගෙන ගියේය. සරසවි පද්ධතියේ සටන්කාමි හා අව්‍යාජ ජීව ගුණය මරාදමන භයානක පිළිලයක් වන නවක වධයේ ම්ලේච්ඡත්වයේ නිරුවත රෝහල් පොලිසිය ඉදිරිපිටදී අනාවරණය විය. ආපන ශාලාව ඉදිරිපිට බිම වැටී සිටි ශිෂ්‍යයා දරුණු ලෙස නවක වධයට ලක්වී තිබිණි. එයට අමතරව මුළු මහත් සරසවි ප‍්‍රජාවටම නින්දාසහගත කැළලක් එක් කරමින් එම ශිෂ්‍යයා බරපතළ ලෙස ලිංගික අතවරයට ලක්වී ඇති බව අනාවරණය විය. වෛද්‍ය පරීක්ෂණයෙන්ද ඒ බව අනාවරණය විය.

එසේ ලිංගික අතවරයට ලක්ව සිටියේ නිශාන්ත සමග 66 කාමරයේ ලැඟුම් ගෙන සිටි සගයන් දෙදෙනාගෙන් එක් අයෙකි. එහෙයින්ම නිශාන්ත එම සිද්ධියට අදාළ ප‍්‍රබලම සාක්කිකරුවා විය. එමෙන්ම ඔහු තමන්ද විඳි අනේක විධ වධ බන්ධනයන් සහිතව ලිංගික අතවරය සම්බන්ධයෙන් සාක්කි දුන්නේය.

මහනුවර මහාධිකරණයේ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ මෙම නඩුව දීර්ඝ ලෙස විභාග වූ අතර ශිෂ්‍යයන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා හයක් යටතේ නඩු පවරා තිබිණි. නවකවදය ලබාදීමට කුමන්ත‍්‍රණය කිරීම, නවකවදය ලබාදීම, බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම, ඉන් ලිංගික තෘප්තියක් ලබාගැනීම, එම කි‍්‍රයාව සඳහා ආධාර හා අනුබලදීම එම අධි චෝදනා වේ. චූදිත සිසුන් තිදෙනා වෙන් වෙන්ව සියලූ චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන් අධිකරණය ඔවුන්ට බරපතළ වැඩ සහිතව වසර දෙකකට වැඩි සිරදඬුවම් නියම කළ අතර එම දඬුවම වසර පහකට අත්හිටුවා තිබේ. එසේම ලිංගික අතවරයට ලක්වූ ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කෙරුණු අතර එම මුදල නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කළේය.

මෙම සිදුවීමෙන් පසුව ලිංගික අතවරයට පත් සිසුවාත් එහි ප‍්‍රධාන සාක්ෂිකරුවා වූ නිශාන්තත් සරසවි බිමට සමුදුන්හ.

අතුරු කාරණාවක් මෙසේය. අධිකරණය මගින් නියම කළ දඩ මුදල ගෙවීම සඳහා පෙරමුණ ගන්නේද එම සරසවියේ ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍ය සංගමයය. නවක සිසුන්ට නවක වධය දී ලිංගික ආශාවන් සන්තර්පනය කරගත් සරසවි සිසු වෙස්ගත් නරුමයන්ට කෙවිටෙන් තළා පන්නා දමනු වෙනුවට ඒ පවිටුවන්ට අවශ්‍ය මුදල් සොයාදීම ශාස්ත‍්‍රපීඨ ශිෂ්‍ය සංගමයට යුගයේ කාර්යභාරය වී තිබිණි. එම දඩ මුදල් සොයාදීම සඳහා සරසවි ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යාධාර වාරික එකතු කළ ශාස්ත‍්‍රපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට සති දෙකක පන්ති තහනමක් ලබාදී තිබේ.

අපි යළිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර දෙසට හැරෙමු. අපි ඔහුට ප‍්‍රශ්නයක් යොමු කළෙමු.

”ලිංගික අතවරයට ලක්වූ ශිෂ්‍යයාත් එය සම්බන්ධයෙන් සාක්කි දුන් නිශාන්තත් විශ්වවිද්‍යාලය හැර ගියේ ඇයි? එයට ඔබේ පැත්තෙන් යම් බලපෑමක් වුණාද?” මේ එයට ලැබුණු පිළිතුරය.

”නෑ අපෙන් කිසිම බලපෑමක් නෑ. අපි නවකවධයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එය හෙළා දකිනවා. නමුත් ආණ්ඩුව හැම මොහොතෙම මේ නවකවධයට මුවාවෙලා ශිෂ්‍ය ව්‍යපාරයට මඩ ගහනවා. එහෙම කරලා ඇත්ත ප‍්‍රශ්න යට ගහනවා. ඔය කියන ශිෂ්‍යයො දෙන්නාවත් ආණ්ඩුව හොඳට පාවිච්චි කළා. ඒ දෙන්නත් ඒ වෙනුවෙන් පාවිච්චි වුණා.”

නිශාන්තගේ මළ ගෙදර යන්නේ දැයි අපි ඔහුගෙන් විමසුවෙමු. ඒ ඔහු මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වන හෙයිනි.

”ඔව් මළ ගෙදර යනවා. ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් නෑ.”

”සරසවි බිමෙන් සමුගත් නිශාන්ත කොහේද ගියේ? සැබැවින්ම ඔහු ගියේ බියගම මල්වානේ පදිංචි ඔහුගේ බාප්පාගේ නිවසටය. එම නිවසේ නතරවී ඔහු කොළඹ වරායේ පෞද්ගලික ආයතනයක ලොරියක සහායකයකු ලෙස සේවය කළේය. 2010 වසරේදි රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් 73 වැනියා ලෙස උසස් පෙළ උසස් ලෙස සමත්වූ නිශාන්තට දෛවය සරදම් කළේ එසේය. සරසවි බිම පිටුපෑවේ එසේය. සහෝදර හදවත් සැළකුවේ එසේය.

දිනය ඉකුත් ජනවාරි 26 වැනිදාය.

”මම තේ බොන්න යනවා” එසේ කී නිශාන්ත රැුකියා ස්ථානයෙන් පිටතට ආවේය. දෙදිනක් ගෙවී ගියේය. නිශාන්ත ගැන තොරතුරක් නොවීය. බාප්පා මේ ගැන කඩවත පොලිසියට පැමිණිලි කළේය. එහෙත් නිශාන්ත ගැන තොරතුරක් නොවීය.

ඉකුත් 29 වැනිදා නිශාන්තගේ ඥාති සොහොයුරකුට ඇමතුමක් ආවේය. ඒ ඇමතුම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම සිසුවියකගෙනි. රජරට පදිංචිකාරියක වන ඇය නිශාන්තගේ පෙම්වතිය බවද කියැවේ. අධ්‍යයන නිවාඩු ලබා සිටි හෙයින් ඇය සිටියේ අනුරාධපුරයේය.
”නිශාන්ත පේරාදෙණියේ ඉන්නේ. එයා කලකිරීමෙන් වගෙයි කතා කරන්නේ. පොඞ්ඩක් හොයලා බලන්න.” ඇය කීවාය. ඥාති සහෝදරයාද නිශාන්තට කතා කළේය.

”මම ඉන්නේ පේරාදෙණියේ” ඔහු කීවේය. එපමණකි. දුරකථනය විසන්ධි විය.

නිශාන්තගේ බාප්පා ඇතුළු පිිරිසක් පේරාදෙණියට ගියහ. විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට නිශාන්තගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුහු පැමිණිලි කළහ. ආරක්ෂක අංශ නිලධාරීහු හා ඥාතීහු මාකස් ප‍්‍රනාන්දු ශාලාවට ඉහළින් ඇති වනගත පෙදෙස පරීක්ෂා කළහ. එහෙත් නිශාන්තගේ මරණයේ කිසිදු සළකුණක් ඔවුන්ට හමු නොවීය.

එහෙත් 10 වැනිදා නිශාන්ත හමුවිය. ඒ වනවිටත් ඔහු නොඑන ගමන් ගොස් සිටියේය. නවක වධ සිද්ධියට මුහුණ දුන්නාට පසුව පුතා හිටියේ හරිම සිත් වේදනාවෙන්. ඊට පස්සේ ඉගෙන ගන්නවත් එයාගේ හිතේ ආශාවක් උනන්දුවක් තිබුණේ නැහැ. ඒත් මගේ පුතා මෙහෙම දෙයක් කර ගනීවි කියලා මම  හිතුවේ නෑ. නිශාන්තගේ ආදරණීය තාත්තා කම්කානමලාගේ බන්දුල මහතා කීවේය. ජීවිතය වසා පැතිර තිබූ අනේක විධ දුක් කම්කටොලූ පලවා හැර කඳුළ මත පය ගසා වඩාත් භාග්‍යවත් ජීවිතයකට සිහින දුටු තමාගේ ආදරණීය පුත‍්‍රයා ගැන පියාට කීමට තිබුණේ එබඳු වැකියකි.

අපි මව්වරුන්ගේ වේදනාව සිනහවකටත් පියවරුන්ගේ වෛරය බලාපොරොත්තුවකටත් පෙරළුණු සුසංගත සමාජයක් පිළිබඳ අත් නොහළ අපේක්ෂාවෙන්ගෙන් පසුවන්නෙමු. එහෙත් ඈත අඟුණකොළපෑලැස්සේ ගිනියම සමග හැපෙමින් උස්මහත් කර සරසවියට එවූ තම ආදරණීය දරුවා ගැන ඒ පියාට කීමට තිබුණේ එබඳු වැකියකි.

සුමිතුරු නිශාන්ත! ඔබ ඉතිහාසයට එක්වනු ඇත්තේ සරසවි ශිෂ්‍යයකු ලෙස ඔබට හිමිවූ සමාජ වගකීම එයට හිමි නිසි අරුතෙන් ගරුකළ මානවකයකු ලෙස නොව දිවි නසා ගැනීම සිය ජීවිතයේ ගැටලූවලට එකම විසඳුම යැයි සිතන දුබලම දුබල මනසක් සහිත තරුණයකු ලෙසය. ප‍්‍රශ්නවලට උත්තරය ජීවිතයෙන් පලායාම නොවන බව පහළ පංතිවලදීද ඔබ කොතෙකුත් ඉගෙන ගන්නට ඇත. එහෙත් ඔබ තෝරාගත්තේ ඒ මාර්ගයය. ඔබ ඔබේ අම්මාගේ තාත්තාගේ ඇස්වලට කිසිදා නොවියැළෙන කඳුළක් දුන්නේය. ආදරණීය අක්කාට, නැගණියට හා මලනුවන්ට සදාකාලික වේදනාවක් රැගෙන ආවේය. මහා තියුණු තරග විභාගයකින් ජය ලබා රටේ අනාගත ප‍්‍රඥාවක් බවට පත්වූ ඔබට එබඳු කඳුළක් එබඳු වේදනාවක් උරුමකර දීමට කිසිදු අයිතියක් නැත. නමුත් ඔබට ඔබේ මනස පාලනය කරගත නොහැකි විය. හැඟීම් මෙල්ල කර ගැනීමට නොහැකි විය. අනාගත මහා බුද්ධිමතෙකු වීමට සිටි ප‍්‍රඥාවන්තයකුට සෙවණ දුන් මාකස් ප‍්‍රනාන්දු ශාලාවේ 55 කාමරය දෙස බලාගෙනම ඔබ ගෙළ වැළලා ගත්තේය. පරාජිතයකු ලෙස ඔබ ජීවිතයෙන් සමුගත්තේය.

දයාබර නිශාන්ත!
ඔබේ මරණයට සැබෑ හේතුව දන්නේ ඔබේ හෘදය සාක්ෂිය පමණි. හන්තානට පායන සඳවත් එය නොදනී. ඔබ මුහුණ දුන් සරසවි ජීවිතයේ සිද්ධි සමුදාය එකිනෙකට ගැලපූ විට ඔබේ මරණයට එම සිදුවීම්ද යම් බලපෑමක් කළාය යන්න බැහැර කිරීමට මගේ සිත මට ඉඩ නොදෙයි. එය එසේ වූයේ නම් මුළු මහත් මානව සංහතිය වෙනුවෙන්ම සමාව අයදිමි. මනුෂ්‍යත්වයට එසේ නිගරු කිරීමට කිසිවකුට අයිතියක් නැත.

රූපා රත්නසීලි මෙනෙවියගේ රූපය මගේ සිතේ සිතුවම් වෙයි. නවක වධයට බියෙන් පේරාදෙණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ උඩු මහලේ සිට බිමට පැන්නාය. එමගින් ඇය සදාකාලික ආබාධිත බවට පත්වූවාය. පසු කාලයේදී ඇය ළිඳට පැන දිවි නසා ගත්තාය.

ෂෙල් වෙඩි පිපුරුණ යාපා පටුනේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ආ වරප‍්‍රකාශ් මට තවම මතකය. නවක වධයෙන් රෝගාතුර වී රෝහල් දොරටුවෙන් ඇතුළට ගන්නටත් පෙර අවසන් සුසුම් පොද වා තලයට මුසු කළේය. අද නිශාන්තය. හෙට කවුරුන් විය හැකිද?ආදරණීය ශිෂ්‍ය සහෝදරවරුනි! ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ බිත්තියක රතු පැහැයෙන් යෝධ අකුරෙන් මෙසේ ලියා තිබිණි.

”ඔබ මෙහි ආවේ කුමකටද? ආවකු විලස යන්නද? නොආවකු විලස යන්නද? යනතෙක් රැුඳී සිටින්නද? නොරැුඳී රැඳී ඉන්නද?

මම ඔබෙන් එසේ අසමි. ගල් පව්වක් වුව අස්වද්දන ධෛර්යයන් හා ජීවයෙන් පිරීතිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් ඇස්, ඉස්, මල්, ලේ හා ජීවිත දන් දුන් විරුවෝ බොහෝ වෙති. ඔවුන්ගේ ජීවිත පූජාවන්ට නිගරු කිරීමට කිසිවකුට අයිතියක් නැත. එපමණෙකි!