ආගමික පූජකවරයෙක් ප‍්‍රථම වතාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළේ වර්ෂ 2001 දීය. ඒ බද්දේගම සමිත හිමියෝය. ඉන්පසුව ජාතික හෙළ උරුමයේ මන්ති‍්‍ර භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළහ. භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබඳව එදා විවිධ මති මතාන්තර ඉදිරිපත් වුවත් පසුව ඒ පිළිබඳව විශාල සමාජමය කතිකාවක් නොවීය. එහෙත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව නිසා යළිත් දෙබරයට ගල් ගැසුවාක් මෙන් විවිධ මත ඉදිරිපත්වී ඇත. ඒ මහතා යෝජනා කරන්නේ පූජක පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කිරීම නීතියෙන් තහනම් කළ යුතු බවයි. විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව මෙසේය. ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට සහ සියළුම ආගම්වලට හිමි අයිතිවාසිකම් ආරක්ෂාකරදීම සහතික කොට ඇති හෙයින්ද? ජාතික එකමුතුව සහ සාමගි‍්‍රය ඇතිකරලීමේ අරමුණින් ආගමික ගෞරවය සහ පූජනීයත්වය පවත්වාගෙන යාම සහ ආරක්ෂා කරගෙන යාම පිණිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇති හෙයින්ද ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මෙසේ සංශෝධනය කරනු ලැබේ. 1. මෙම පනත දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 91 වැනි ව්‍යවස්ථාව පහත සඳහන් එකතු කිරීම මඟින් සංශෝධනය කරනු ලැබේ. ”91 (1) (ඈ) (xIII)  ඕනෑම ආගමක පූජකවරයෙකු.” 3. හත්වැනි පාර්ලිමේන්තුවේ කාලසීමාව අවසන්වීමෙන් හෝ විසුරුවා හැරීම සිදුවීමත් සමඟ මෙම සංශෝධනය කි‍්‍රයාත්මක විය යුත්තේය. 4. මෙම පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතුය. දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරු ති‍්‍රවිධ හමුදා නිලධාරින් හා පොලිස් නිලධාරින් වැනි මහජනතාව හමුවේ ස්වාධීනව කටයුතු කිරීමට බැඳී සිටින පුද්ගලයන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකියි. ඒ ස්වාධීන පුද්ගලයන් අතරට පූජක පක්ෂයද ඇතුළත් කළ යුතු බවට මන්තී‍්‍රවරයා සංශෝධන යෝජනාවක් ගෙන ඒමට යයි.මේ සංශෝධන යෝජනාව පිළිබඳව කරුණු දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා මෙසේ කීය. බුදු රජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට නියම කර ඇති විනය නීතිවලට අනුව පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකියි. භික්ෂුන් වහන්සේගේ ගරුත්වය රඳවා ගැනීමට උන්වහන්සේලා කි‍්‍රයාකාරි දේශපාලනයේ යෙදීම සුදුසු නැහැ. භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මගින් බරපතළ ලෙස සැහැල්ලූවට ලක්වීමට සිදුවී තිබෙනවා. එසේම විශාල පිරිහීමකටද ලක්වී තිබෙනවා. මේ භික්ෂුන් වහන්සේ හැසිරෙන්නේ සතර අගතියට අනුවයි. තණ්හාව, ද්වේෂය, භය හා මෝහය මේ සතර අගතියට යෙදීමක් සිදුවී තිබෙනවා. බුද්ධ පුත‍්‍රයන් වහන්සේ පූජක මට්ටමින් සිටිය යුතුයි. ගිහියාට උඩින් සිටිය යුතු භික්ෂුන් වහන්සේ රණ්ඩු කරන අසභ්‍ය වචන ප‍්‍රකාශ කෙරෙන ස්ථානයක් නියෝජනය කළ යුතු නැහැ. අන්තවාදී කි‍්‍රයා කලාපයකට යා යුතු නැහැ. පාර්ලිමේන්තුව රටට අවශ්‍ය පරිදි කාලීනව අවශ්‍යතා මත කටයුතු කළ යුතු ස්ථානයකි. ඒ කාලීන අවශ්‍යතාවක් ලෙසින් පූජකවරු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු වෙනවා. ඒ අභියෝගය මා භාර ගත්තා. වෙනත් ආගමික පූජකවරු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. අපේ භික්ෂු ශාසනය ආරක්ෂා කිරීම කාලීන අවශ්‍යතාවයක්. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරිපත් කරනවා. ජාතික හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා- විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන මෙම පනත භික්ෂුන් වහන්සේගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමක්. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී එකක්. මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. මේ රටේ සමාජ කොටස්වලින් භික්ෂුන් වහන්සේ වෙන් කළ නොහැකියි. භික්ෂුන් වහන්සේට ඡන්දය පාවිච්චි කළ හැකි නම් ඒ ඡුන්දය පාවිච්චි කිරීම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට මන්තී‍්‍රවරයකු තේරී පත්වන්නේ නම්, උන්වහන්සේටත් පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකිවිය යුතුයි. භික්ෂුන් වහන්සේ දේශපාලනයට ඉදිරිපත්වීම ගැන වර්ෂ 2004 දී විශාල සංවාදයක් කතිකාවතක් ඇති වුණා. ඒත් දැන් එහෙම නැහැ. විජයදාස රාජපක්ෂ මහතා මෙවැනි යෝජනාවක් දැන් ඉදිරිපත් කරන්නේ කාගේ වුවමනාවකටද යන ප‍්‍රශ්නය ඇති වෙනවා. ස්තී‍්‍ර දුෂකයන්, කුඩුකාරයන්, අපරාධකරුවන්, සමාජ විරෝධී කටයුතු කරන ඇතැම් පුද්ගලයන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවාට වඩා භික්ෂුන් වහන්සේ නමක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් රටට ඵලදායක බවක් ලැබෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමක් සිදු වෙනවා. භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් කිසියම් අප කීර්තියක් වූ බවක් සඳහන් කරන්නැයි මා අභියෝග කරනවා. පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූයේ මන්තී‍්‍ර භික්ෂුන් වහන්සේ නිසා නොවෙයි. පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා නොවීමත් විනය ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමත් පිළිබඳව භික්ෂුන් වහන්සේ වගකිව යුතු නොවේ. එයට වගකිව යුතු වන්නේ ගිහි මන්තී‍්‍ර පිරිසයි. මන්ති‍්‍ර භික්ෂුන් වහන්සේ එයට වගකිව යුතු නොවේ. භික්ෂුන් වහන්සේ රටේ යහපතට සියලූ කැප කිරීම් කරයි. එයට කදිම උදාහරණයක් ඉදිරිපත් කළ හැකිය. එනම් දුම්වැටි හා මත් උවදුර පිළිබඳව අතුරලියේ රතන හිමියන් ඉදිරිපත් කළ යෝජනාවයි. ඒ පනත මගින් ඉදිරිපත් කළ යෝජනාව අද නීතියක් වී ඇත. කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමේ මුල් පියවර වූ මාවිල්ආරු සොරොව්ව විවෘත කර ගැනීමේ කාර්ය භාරයට මූලික වූයේද භික්ෂුන් වහන්සේය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේදී සුනාමි සහන මණ්ඩලයට විරෝධය දැක්වූයේද භික්ෂුන් වහන්සේය. මහින්ද චින්තනය ප‍්‍රකාශයට රටේ ඒකීය භාවය ඇතුළත් කිරීමට මූලික වූයේද භික්ෂුන් වහන්සේය. රටේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා වූ කරුණු ගණනාවකට මැදිහත්වූයේ භික්ෂුන් වහන්සේය. මේ භික්ෂුන් වහන්සේ ජනතාව නොමඟ යවා නැත. එසේ නම් පැවිදි ගරුත්වයට සිදුවූ හානිය කුමක්දැයි ප‍්‍රශ්න කිරීමට කැමැත්තෙමි. මේ ජනතා සේවයෙන් භික්ෂුන් වහන්සේ ලබන දෙයක් හෝ ලබපු දෙයක් නැත. ලබා දුන් සියලූ දේ රටට හා ජනතාවටය. එබැවින් භික්ෂුන් වහන්සේ දේශපාලනයට පිවිසීමේ කිසිදු වරදක්ද නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඔෂන්ත තල්පාවිල මහතා - භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියේාජනය නොකළ යුතුයි. එයට හේතුව කරුණු ගණනාවකි. සමාජය භික්ෂුන් වහන්සේ සළකනුයේ ඉමහත් ගෞරව භක්තියෙනි. වන්දනාමාන කරති. තම නිවසට වැඩම කරනු ලබන භික්ෂුන් වහන්සේට අසුනක් ලබා දෙන්නේ සුදු රෙද්දක් ඇතිරීමෙනි. ඒ තරමට ගෞරවණීය ලෙස පිදුම් ලබන භික්ෂුන් වහන්සේ හෝ පූජක පිරිස් දේශපාලනයට පිවිසීමෙන් සිදුවන්නේ ඒ ගෞරවනීය බව කෙළෙසීයාමය. අද සමාජයේ වැඩි දෙනා තුළ දේශපාලනඥයන් පිළිබඳව පවතින්නේ කිසියම් අප‍්‍රසාදයකි. කළකිරීමකි. ජනතා ඡුන්දයෙන් තේරීපත්වීමෙන් පසු සම්පත් පසුපස යන පිරිසක් බවට බොහෝ දෙනාගේ තුළ මතයක් ඇත. එවැනි සමාජ පරිසරයක් තුළ භික්ෂුන් වහන්සේ හෝ පූජක පක්ෂය පාර්ලිමේන්තුව හෝ වෙනත් දේශපාලන ආයතනයක් නියෝජනය නොකළ යුතුය. භික්ෂුන් වහන්සේ හෝ පූජකවරු ජනතාවගේ අධ්‍යාත්මය යහපත් කරනු ලබන හා ඒ සඳහා වූ මාර්ගය පෙන්නුම් කරනු ලබන පිරිසකි. මේ රටේ ඇතැම් නායකයන් රට පාලනය කරද්දි භික්ෂුන් වහන්සේගෙන් ගුරු හරුකම් ලබා ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. අදටත් යහපත් දෙයක් ආරම්භ කිරීමට පෙර පූජක පක්ෂයේ ආශිර්වාදය ලබා ගැනීම සිදුවෙයි. ඒ ආශිර්වාදය ලබා ගන්නේ අතිශයින් භක්තිමත්වය. එවන් ගෞරවයට පාත‍්‍රවූ පූජක පිරිස පාර්ලිමේන්තුව වැනි ස්ථානයක දේශපාලන නියෝජනයක් කිරීම ඒ ගෞරවයට කරගනු ලබන හානියකි. දේශපාලනයේ යෙදෙන අයට අවවාද අනුශාසනා කිරීමට හැකියාව ඇත්නම් පාර්ලිමේන්තුවට තේරීපත්වී යන අයට ඡන්දය පාවිච්චි කළ හැකි නම් පූජක පක්ෂයට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකිද යන්න කිසිවකුට තර්ක කළ හැකිය. එහෙත් පූජක පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගැනීම ඒ සඳහා සරල අවස්ථාවක් ලෙස සැලකිය නොහැකිය. ඒ ඒ ආගම්වලට ආවේනික ගුණධර්ම ඇත. මධ්‍යස්ථබව, අවිහිංසාව, වෛර නොකිරීම, අපහාස නොකිරීම ආදී විවිධ කරුණු ඇතුළත්වේ. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පූජකවරයකුට මේ සියලූ කරුණු අබිබවා කටයුතු කිරීමට සිදුවනු ඇත. විශේෂයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට මධ්‍යස්ථ බව වෙනුවට පක්ෂපාතී වීමට සිදුවනු ඇත. තමන් නියෝජනය කරනු ලබන පක්ෂයට පක්ෂපාතිවීමට සිදුවෙයි. තම පැවැත්ම සඳහා පක්ෂපාතී බව ආරක්ෂා කිරීමට සිදුවනු ඇත. අනෙකුත් විරුද්ධ දේශපාලන මතධාරින්ගේ අපහාස උපහාස කතා විඳ දරා ගැනීමට සිදුවෙයි. අල්පේච්ඡු ජීවිතයක් ගත කිරීමට ඇප කැපවී සිවුරු දරන භික්ෂුන් වහන්සේ නමකට නම් මෙවැනි අවස්ථාවක බුදු දහම ගැන නොසිතා කටයුතු කිරීමට සිදුවේ. පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්තී‍්‍රවරයකුට සිදුකළ ශාරීරික පීඩා ගැනද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. භික්ෂුන් වහන්සේ නමක් එවැනි පීඩාවකට පත් නොවිය යුතුය. වස්කඩුව ශ්‍රී ශාක්‍යමුණි විහාරාධිපති ආචාර්ය පරගොඩ විමලවංශ හිමි - කිසියම් පුද්ගලයකු බහුබූත අදහසක් ඉදිරිපත් කර ඇති විටක එම අදහස සුනු විසුනු කර ඒ බහුබූත මතය වැරැදි බව සමාජයට පෙන්වාදීම ශාසනාභිවෘද්ධිය අපේක්ෂා කරන අයගේ යුතුකමයි. එබැවින් විජේදාස රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය පක්ෂයට දේශපාලනය සුදුසු නැති බව පෙන්වා දෙමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් ඉදිරිපත් කිරීමට කි‍්‍රයා කිරීම සම්බන්ධයෙන් ඔහු හා විවාදයකට එළඹීමට වුවද සූදානම්ය. විජේදාස රාජපක්ෂ මහතාට බුදු දහම හෝ ව්‍යවහාරික ගිහි පැවිදි සමාජය පිළිබඳව හෝ පැහැදිලි අවබෝධයක් නොමැති බව පැහැදිලිය. මෙවැනි අදහස්වලින් ශාසනයට සිදුවන්නේ අයහපතකි. අනර්ථයකි. එබැවින් විජයදාස මහතා සමාජගත කිරීමට උත්සාහ ගන්නා ධර්ම විරෝධී මිථ්‍යාදෘෂ්ටික මතය පිළිබඳව ශාසනයේ නාමයෙන් විවාදයට එන ලෙස ඉල්ලමි.
දයාසීලී ලියනගේ
විජේදාස රාජපක්ෂ