නාගයින්ට බියේ ගැහෙමින් දවස ගත කරන ගැමියන් පිරිසක් ජීවත්වන ගම්මානයක් තිබෙනවා යැයි කියා කෙනෙක් කිව්වොත් ඔබ පුදුමයට පත්වනවා නොඅනුමානය. ඒ කතාව ඔබ එක්වරම විශ්වාස කරන්නේ ද නැත. ඔබ විශ්වාස නොකළත් නාාගයන්ට බියේ පසුවන ගම්මානයක් සබරගමු පළාතේ පිහිටා ඇත.

 


28-Page-01-S2--(1)මේ ගම්මානය ගැන අපට මුලින්ම ආරංචිය දුන්නේ විශ‍්‍රාමික පොලිස් අධිකාරිවරයෙක් වන ආනන්ද සමරසේකර මහතාය.


ගොඩකවෙල, මැද්දේගම, යහලවෙල කියන ගම්මානයට දවස් ගාණක ඉඳලා නාගයන් වරින් වර පැමිණීම නිසා ගමේ මිනිස්සු හරිම බයෙන් ඉන්නවා.

ගමනක් බිමනක් යන්නෙත් ලොකු බයකින්. ප‍්‍රදේශයේ පන්සල් වත්තක හිටිය නාගයෙක්ව ගමේ කෙනෙක් මරලා  ඊට පස්සේ තමා මේ විදිහට නාගයන් ගමට එන්නේ කියාත් කතාවක් විශ්වාසයක් ඒ ගමේ සමහරුන් අතර තිබෙන බවත් මට දැන ගැනීමට ලැබුණා යැයි මාගේ හිතවතෙක් වන විශ‍්‍රාමික සහකාර පොලිස් අධිකාරි ආනන්ද සමරසේකර මහතා දැනුම් දුන්නේ මේ ගැන සොයා බලන ලෙස ද ඉල්ලීමක් කරමිනි.


විශ‍්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා පදිංචිව සිටින්නේ රත්නපුර ප‍්‍රදේශයේය. නාග විමනක් බවට පත්ව ඇතැයි කියන යහලවෙල ගම්මානයේ ඇත්තෙන්ම සිදුවන්නේ කුමක්දැයි කියා සහකාර පොලිස් අධිකාරිවරයාගේ මේ කතාවෙන් පසු සොයා බැලීමට කුහුලක් මට ඇතිවිය.


මේ කතාව ඒ සොයා බැලීමේ ප‍්‍රතිඵලයකි.


මැද්දේගම යහලවෙල ගම්මානයේ අල්ලාගත් නාගයන් ගෙනවිත් මුදාහැර ඇත්තේ උඩවලව ජාතික වනෝද්‍යානයට බව දැනගත් පසු එහි වනජීවී අඩවි සහකාර සරත් විජේතුංග මහතාට කතා කළෙමි. නාගයන් අල්ලාගෙන ඇවිත් තම කාර්යාලයට ගෙනවිත් බාර දුන්නේ එස්. එච්. චමින්ද නැමැති තරුණයෙකු බව අපට දැන ගැනීමට හැකිවිය. චමින්ද මහතාගේ පදිංචිය පල්ලෙබැද්ද ගම්මානයේය.


‘නාගයින් වරින් වර මතුවීම නිසා යහලවෙල ගමේ මිනිස්සු හුඟ දෙනෙක් ඉන්නේ හොඳටම බයවෙලා. ගමනක් බිමනක් යන්නත් සමහරු  බයයි නාගයන් දෂ්ඨ කරයි කියා. ගොඩකවෙල පොලිසියේ සේවය කරන උපපොලිස් පරීක්‍ෂක රත්නායක සර් තමා මට කතා කරලා කිව්වේ යහලවෙල ගමට නයි එනවා. ගමේ මිනිස්සු මේ හින්දා බය වෙලා ඉන්නේ... ඒ නාගයින් අල්ලන්න කියා’ යැයි  පවසමින් චමින්ද කතා බහට මුල පිරුවේ එහෙම කියමිනි.


‘මේ වෙdhfනකොට කොච්චර නාගයින් යහලවෙල ගම්මානයෙන් අල්ලගෙන තියෙනවාද?’ මම චමින්දගෙන් විමසුවෙමි.


‘පසුගිය 16 වැනිදා විතරක් නාගයන් 7 දෙනෙක් ඇල්ලූවා. අල්ලපු ඒ නාගයන්ගෙන් 7 දෙනෙකුම අඩි 9 අගල් 7ක් විතර දිගයි. නයි හත් දෙනාගේම බර කිරලා බැලූවා. කිලෝ 49ක් විතර බරයි. ආයෙත් පහුවැනිදා (17) නාගයින් දෙන්්නෙක් අල්ලගත්තා. උන් දෙන්නා අඩි 7 1/2ක් විතර දිගයි. යහලවෙල හතරමං හන්දිය ළඟ තියන ගෙයක් ළඟ ඉඳලා තමා මුලින්ම නාගයන් හත්දෙනා අල්ලා ගත්තේ. ඒ ගෙට එහායින් තියෙන තවත් ගෙයක් ළඟ ඉඳලා අනෙක් නාගයින් දෙන්නා අල්ලා ගත්තා.’


ඒ චමින්දගෙන් ලැබුණු පිළිතුරයි.


යහලවෙල ගමේ තැන් තැන්වල තවත් නාගයින් ඉන්නවා ගමේ සමහරුන් දැක තිබෙනවා. ඒ බව ඔවුන් මම ගමට නාගයන් අල්ලන්න ගිය අවස්ථාවේ කිවුවා. පණිවිඩය ආව ගමන් මම උන්වත් අල්ලා ගන්න යනවා. නාගයන් මේ විදියට ගමට ඒම සාපයක් නිසා සිදුවෙන දෙයක් බවයි  ගමේ සමහර අයගේ විශ්වාසය. ඒ බව ඔවුන්ගේ කතා බහෙන් මම දැන ගත්තා.


‘ගමේ සමහරුන් ඇයි මේක නාග ශාපයක් නිසා සිදුවන දෙයක් විදියට විශ්වාස කරන්නේ?’ මම චමින්දගේ කතාවට බාධා කරමින් විමසුවෙමි.


‘ඒ පැත්තේ පන්සලක (පන්සලේ නම කියයි) වත්තේ ලොකු සුදු නාගයෙක් ඉඳලා තියෙනවා. මේ නාගයා පන්සල් වත්තෙන් එළියට ආපු වෙලාවක ගමේ කෙනෙක් ඌව මරලා දාලා. මේ නාගයා මරලා තියෙන්නේ මීට මාසයකට විතර කළින්. පන්සල් වත්තේ හිටිය නයා මරලා දැම්මාට පස්සේ තමා මේ විදියට නාගයන් ගමට එන්න පටන්ගෙන තියෙන්නේ කියා ගමට නයි අල්ලන්න ගිය අවස්ථාවේ මට ගමේ සමහරු කිව්වා. මරා දැමූ නාගයාගේ ශාපය ගමට බලපා තිබෙන බව ගම්මුන් හුඟදෙනෙක් කතා වෙනවා.


ගමේ අයගේ බිය දෙගුන තෙගුන කිරීමට හේතු වූ සිද්ධියක් ගැනද චමින්ද මහතාට ඒ ගමට ගිය වෙලාවේ දැන ගැනීමට ලැබී ඇත. අවුරුදු 80ක විතර ආච්චි කෙනෙක් ගෙයි දොරකඩ ළඟට වෙලා ඉඳලා තියෙනවා. ඒ ගේ ළඟ තවත් කට්ටියක් ඉඳලා තිබෙනවා. ඔන්න එක පාරටම එතෙන්ට ලොකු නාගයෙක් ඇවිත්. මේ නාගයා අර වයසක ආච්චිට පෙනේ පුප්පලා පියඹා යන්න ගිහින්. මේ සිද්ධියෙන් පස්සේ ගමේ අය තවත් බයවෙලා. වයසක ආච්චිත් මෙයින් හොඳටම බයවෙලා. හැබැයි කිසිම කෙනෙක් නයාට ගහලා මරන්න ගිහින් නැහැ.


කඩගමුව විහාරය ළඟත් නාගයන් දෙන්නෙක්, මනතුංග මහත්තයාගේ හාඞ්වෙයාර් එක ළඟත් නාගයන් දෙන්නෙක්, කාලිංග මහත්තයාගේ ගෙවත්තේ නාගයෙක් සහ කපිල මහත්තයාගේ ගෙදරත් නාගයෙක් ද මීට කලින් මං අල්ලා ගත්තා, යැයි චමින්ද මහතා පවසයි.


මේ විදිහට අසමාන්‍ය ලෙස නාගයින් මතුවීම ගැන චමින්ද මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.


‘අපේ අය වගා කරන්න කෘමිනාශක ගහන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ හින්දා ගෙම්බෝ වගේ සත්තු පවා වඳවෙලා ගිහින්. ඉතිං නාගයින්ට කන්න සත්තු නැහැ. මේ කරුණු නිසා නාගයන් කෑම හොයාගෙන ගම්වලට එනවා. කැලෑ අනවශ්‍ය විදිහට එළිපෙහෙළි කරලා නාගයන් ගම්වලට එන්න එයත් හේතුවක් කියා තමා මට හිතෙන්නේ. කැලෑ එළිකරපුවම වල් අලි ගම්වලට එනවා වගේ.’


චමින්ද මහතා දැන් වයස අවුරුදු 35ක් පමණ වන අතර ඔහු නාගයන් ඇල්ලීම කරගෙන එන්නේ 1994 වසරේ පමණ සිටය.


‘1994 වසරේ ඉඳලා මේ වෙනකොට මම  නාගයන් 3000 කට වැඩි සංඛ්‍යාවක් අල්ලා වනෝද්‍යානවලට මුදාහැරීමට කටයුතු කරලා තිබෙනවා. මම මස්මාංශ කන්නේ නැහැ. භාවනා කරනවා. මේ වෙනකම් මට නාගයෙක් දෂ්ඨ කරලා නැහැ. කොච්චර අවදානම් වුණත් මේ වැඬේ කරගෙන යනවා. අපි දුප්පත්. අම්මා තාත්තා මැරිලා අවුරුදු 10ක් විතර වෙනවා. මම කුලීවැඩ කරලා ජීවත්වෙන්නේ. නංගී කෙනෙකුයි මල්ලී කෙනෙකුයි මට ඉන්නවා. මල්ලී උසස් පෙළ කරලා රැුකියාවක් බලාපොරොත්තුව ඉන්නවා. ඒ දෙන්නාම ජීවත් කරවන්නේ මමයි. දුප්පත් මිනිස්සු වුණාට මම කවදාවත් ප‍්‍රතිපත්තියක් විදිහට නාගයන් අල්ලා ශත පහක දෙයක් කගෙන්වත් මේ වෙනකම් අරගෙන නැහැ. ඉදිරියටත් එහෙමයි.’ චමින්ද මහතා කියාගෙන ගියේය.


‘නාගයන් ඇල්ලූවාට පස්සේ යහලවෙල ගමේ මිනිස්සු එකතුවෙලා මට රුපියල් 14,000ක මුදලක් දුන්නා. මම ඒක ඔවුන්ට ආපසු දුන්නා. බාරගත්තේ නැහැ. ඒක මගේ ප‍්‍රතිපත්තිය. මගේ මල්ලීට රස්සාවක් හොයලා දුන්නොත් ලොකු පිනක්’ යැයි චමින්ද මහතා අවසාන වශයෙන් කීය.


කැමතිනම් චමින්දගේ 072 8556098 යන දුරකතන අංකයට ඔබටත් කතා කළ හැකිය.


මෙරට සිටින ප‍්‍රකට උරග හා සත්ව විද්‍යාඥයකු වන ඇන්සලම් ද සිල්වා මහතාට ද කතා කළේ අසාමාන්‍ය ලෙස නාගයන් පැමිණීම බලපාන හේතු කවරේදැයි යන්න දැන ගැනීමටය. ‘සෑම වසරකම පෙබරවාරි සහ මාර්තු කියන මාසවල තමා නාගයින් සංසර්ගයේ යෙදන කාල වකවානුව. මේ කාලයට හැපින්නන්ගෙන් හෝමෝනයක් නිකුත් වෙනවා. හැපින්න නිපදවන මෙම හෝමෝනයේ සුවඳට නාගයා, හැපින්න සොයාගෙන එනවා. ඔය කියන ගමට නයි එන්න බලපා තියෙන්නේ ඔය කියන සාධකයි. විදා්‍යාත්මත හේතුව  ඕක තමා. නැතුව නාග ශාපයක් නිසා නොවේ. අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ.

හෝමෝනයේ සුවඳට නාගයා, හැපින්න සොයාගෙන ඇවිත් සංසර්ගයේ යෙදෙනවා. නාග ශාපයක් කියා දෙයක් නැහැ. ඒවා මිත්‍යා විශ්වාස පමණයි.
මා නාගයන් 500ක් පමණ දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර අත්දැකීම් ලබා තිබෙනවා. අතීත කාලයේ ඉඳලම නාගයන් මනුෂ්‍ය වාසයට කැමති සත්තු ජාතියක්.’


උරග හා සත්ව විද්‍යාඥ ඇන්සලම් ද සිල්වා මහතා පැවසූ තවත් කරුණක් ඔබේ දැන ගැනීම සඳහා අපි කියන්නෙමු. නාගයින් දෙන්නෙක් හෝ ගැරඬි දෙන්නෙක් එකට වෙළෙමින් උඩට ඉස්සෙමින් දඟලන අන්දම ඔබ  ඕනෑතරම් දැකලා ඇති. හුඟ දෙනෙක් හිතන්නේ ගැහැණු සතයි පිරිමි සතයි සංසර්ගයේ යෙදනවා කියායි.  මෙය පිරිමි සතුන් දෙදෙනෙක් අතර සිද්ධ වෙන සටනක්. මේ ද්වන්ධ සටනින් පැරදුනු සතා බිම ඇදගෙන වැටුණාට පස්සේ ජයග‍්‍රහණය කරපු සතා ගැහැණු සතා හොයාගෙන ගොස් සංසර්ගයේ යෙදෙනවා. ගැහැණු සතා බෙදාගන්න තමා මේ විදියට සටන් කළේ.’ යැයි ඇන්සලම් ද සිල්වා මහතා  පෙන්වා දුන්නේය.


චමින්ද නාගයින් අල්ලා කරදරයක් නොකර කැලෑවට නිදහස් කිරීම මගින් ඉටුකරන්නේ ලොකු සේවයක්. එය අප අගය කළ යුතුයි. ඒත් ඔහු නාගයින් අල්ලන ක‍්‍රමය හරිම අවදානම් යැයි සත්ව විද්‍යාඥයා අවසාන වශයෙන් කීය.


තොරතුරු සොයා ගැනීමට සහාය වූ ගොඩකවෙල පොලිසියේ සැරයන් කේ. එම්. එච්. සූරිය බණ්ඩාර (41601) මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය පිරිනමමු.

 

  m