දින හැටහතකට පසුව රට ඇඳිරියෙන් මිදුණේය. එහිදී විමසිලිමත් බව සමඟ මුසු වූ සතුටක් සියලු‍ පුරවැසියන්ට දැනුණු බව මහ මාර්ගවලට පිවිසුණු සියලු‍ දෙනාට දැකගත හැකි විය. දින 67ක් පුරා කොළඹ නගරය පුරා නොතිබුණු මහාමාර්ග තදබදය පසුගිය අඟහරුවාදා (25) සිට දැකගන්නට ලැබිණි. එසේ වුවද මාර්ග තදබදයට එරෙහිව නිරතුරුවම මහජනතාවගෙන් නැඟෙන ආවේගශීලී ප්‍රතිචාර නම් අසන්නට දකින්නට නොතිබුණේය. කොරෝනා හිරේ විලංගුවේ වැටී සිටි ජනතාවට එයින් මිදීමෙන් ලැබුණු ආස්වාදය මගින් ඒ සියලු‍ ආවේග යටපත් කර දමනු ලැබ තිබිණි. එය බලාපොරොත්තු විය යුතුය. ඒ සමඟ අමතක නොකළ යුතු අත්හළ නොයුතු උපදෙස් ගණනාවක් තිබෙන බවද සිහි තබා ගත යුතුය.

මේ රට තුළ පැවති ඇඳිරි නීතිය වරින් වර ලිහිල් කොට දිවයිනටම බලපාන පරිදි පුළුල් කෙරුණේ කොරෝනා - කොවිඩ් 19 වසංගතය රට තුළින් මුලිනුපුටා දැමීමෙන් පසුව නොවන බව සියලු‍ දෙනාම තරයේම ඇදහිය යුතු පළමු උපදේශය වෙයි. නිරෝධායන පනත යටතේ ලෝක ව්‍යාප්ත වසංගතයකදී රටේ එකී වසංගතය පිළිබඳ නිසි බලධාරියා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකරන ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ රෝගයේ අවදානම කිසිසේත්ම පහව ගොස් නැති බවය. ආයතනවල සියලු‍ දෙනා එකවර සේවයට කැඳවීම සුදුසු නොවන බවද ඒ මහතා පෙන්වා දී තිබිණි.

වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර හැර සෙසු පොකුරු නිවා දමන්නට හැකි වීමද රෝගය සමාජය තුළ ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරගන්නට හැකිවීම ද රටේ දොරගුළු විවෘත කිරීමට මඟපාදා ඇති බව ඒ අනුව අපි තේරුම් ගත යුතු වෙමු. ඒ සමඟ යළිත් රෝගය ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නැති බව සිත තබා ගැනීමද අවශ්‍යමය. එසේ නොමැතිව කිසිදා පාලනයකින් තොරව නිදහසේ හැසිරීමට ලැබුණු වරමක් ලෙස ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් ලද සහනය භාවිත කළහොත් එය යළිත් කොරෝනාව පාලනයෙන් ගිලිහීමට පාර කැපීමක් වනු ඇත. ඒ පිළිබඳ අවබෝධයකින් ක්‍රියා කිරීම කාගේත් යහපතට හේතුවනු ඇත.

රට යළිත් සාමාන්‍ය තත්ත්වයට හැකි ඉක්මනින් පත්වනු දැකීමට රටේ ජනතාව තුළ කිසියම් නොඉවසිලිකමක් තිබෙන බවද පෙනෙන්නට තිබේ. විවෘත කිරීමට අවසර නුදුන් ඇතැම් වෙළෙඳ ව්‍යාපාර පවා වරින් වර විවෘත වෙනු දැකිය හැකි වූ අතර රැකියාවලට යාමට පැවැති දැඩි උනන්දුව ද එය පෙන්නුම් කළේය. පොදු ගමනාගමන සේවා භාවිත කිරීම සඳහා එක්රොක්ව සිටි විශාල ජනකායෙන් ඒ බව පැහැදිලි විය. එහෙත් ඔවුන් වෙනුවෙන් ප්‍රමාණවත් තරම් බස් හා දුම්රිය යොදවා නොතිබීම හේතුවෙන් සමාජ දුරස්ථභාවය රැකීම පිළිබඳ කොන්දේසිය බිඳවැටී තිබිණි. විශේෂයෙන්ම පෞද්ගලික බස් සීමිතව ධාවනය වීමත් දුම්රිය ධාවනය ද සීමිත වීමත් ලංගම බස්වල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් නංවාගැනීමත් ගමනාගමන ගැටලු‍ව උග්‍ර වීමට හේතු වී තිබිණි.

මහජනතාවගේ ගමන් බිමන්වලට වක්‍රාකාරව එයින් සීමා පැනවී තිබුණු බව සැබෑවකි. එහෙත් රැකියා සඳහා යාමට බලාපොරොත්තුවෙන් මහමඟට පිවිසි බොහෝ දෙනාට එය ලොකු ගැටලු‍වක් විය. අම්බලන්ගොඩ දුම්රියපොළට පැමිණි මගීන් පිරිසක් දුම්රිය මාර්ගයට බැස විරෝධතාවක් දැක්වීමට තරම් තත්ත්වය උත්සන්න විය. මහජනතාවගේ අවශ්‍යතා පිළිබඳ ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොවීම මෙයට හේතු වන්නට ඇත. එහෙත් එවැනි අවස්ථා හැකි තරම් අවම කරගැනීම බලධාරීන්ගේද වගකීමක් වෙයි.

රට විවෘත කර තිබුණත් අත්‍යවශ්‍යම කාරණයකට හැර නිකරුණේ නගරවලට සහ මහා මාර්ගවලට පැමිණීමෙන් වළකින්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී නිසි සෞඛ්‍ය ක්‍රමවේද අකුරටම පිළිපැදීම සියලු‍ දෙනාගේ වගකීමක් බවත් මහමඟට පිවිසෙන හැම අවස්ථාවකදීම තමන් කොරෝනාවෙන් ආරක්ෂා විය යුතු බවට අධිෂ්ඨානයක් තබාගෙන ඒ අනුව පරෙස්සම් වීමට පියවර ගත්තේ නම් එය සමස්ත සමාජයම ආරක්ෂා කිරීමක් බවත් මෙහිදී පෙන්වා දිය යුතුය. කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් 46ක් සිදුකළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. එම උපදෙස් පිළිබඳ දැනුම්වත් වීම මහජනතාවගේ වගකීමකි.

කොරෝනා ව්‍යසනය ලොවේ බොහොමයක් රාජ්‍ය නායකයන්ගේ මෙන්ම රටවාසීන්ගේද චින්තනයට ප්‍රබල බලපෑමක් එල්ල කර තිබෙන බව විද්වතුන්ගේ පිළිගැනීමය. එය අපේ රටට ද අදාළය. කොතරම් ධනය, බලය සහ තාක්ෂණය තිබුණද නොපෙනෙන වෛරසයකට යටත්වීමට ලොවටම සිදුව තිබේ. ජීවිතය පිළිබඳ මෙතෙක් ලෝ පුරා පැවැති නිර්ණායක ගණනාවක් ද වෙනස්ව ගොස් තිබේ. ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයන විනයගරුක පොදු ප්‍රවාහන සේවයක් පිළිබඳව මේ රටින් මීට පෙර අප අසා නැත. එසේම අප රටේ පමණක් නොව ලොවේද පරිසරය බෙහෙවින් පිරිසිදු වී තිබේ. මේ දේවල් දිගටම රැකගැනීම පහසු නොවේ. එහෙත් ලෝවැසියන් සියලු‍ දෙනා වෙනස් විය යුතු බවටත් නිදහස සේම ආරක්ෂාවද වැදගත් බවටත් ප්‍රබල පණිවුඩයක් කොරෝනාව ලබා දී තිබෙන බව යථාර්ථයයි.