IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


දිනෙන් දින වැඩි වන ණය බර

මෙරට ණය අර්බුදය සම්බන්ධයෙන්  සමාජය තුළ පෙරටත් වඩා සාකච්ඡාවක් මතුවෙමින් ඇති බව පෙනේ. මෑත කාලයේ විවිධ ආණ්ඩු ලබාගත් ණය සැලකිල්ලට ගතහොත් පසුගිය වසර විස්සක කාලය තුළ එනම් 2004 වසරේ සිට මේ දක්වා විශාල ණය කන්දරාවක් ගොඩගැසීම ණය අර්බුදය උග්‍ර අතට පත්වීමට හේතුවකි. එම ආණ්ඩු දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ඩොලර් බිලියන 70කට වඩා මේ වසර විස්ස තුළ ණය ලබාගෙන තිබේ.

රටක් ණය ලබාගැනීමෙන් පසු එහි මූලික වාරික ගෙවමින්, සේවාකරණය කළ යුතු වුවත් 2022 ජනවාරි පෙබරවාරි පමණ වනවිට ලබාගත් ණය ආපසු ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය නොමැති තත්වයකට ලංකාව පත්විය. එක් අතකින් විදේශ සංචිත හිඟ විය. අනෙක් පැත්තෙන් විදේශ ඉපයීම් ද කිසිසේත්ම ප්‍රමාණවත් නොවිණ. එහි ප්‍රතිඵලයක් වූයේ විශාල ණය අර්බුදයකට රට ගොදුරු වීමය.

මේ අනුව වසර විස්සක පමණ කාලයක් තිස්සේ දිගින් දිගටම ආණ්ඩු අය වැය හිඟය පවත්වාගෙන යමින් අයවැය හිඟ පියවීම සඳහා විශාල ණය කන්දරාවක් ලබාගැනීම හේතුවෙන් මේ වනවිට සේවාකරණය අර්බුදයකට ගොස් තිබේ. 2023 අග භාගය වනවිට ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය ඇ. ඩො. මිලියන අනූඑක් දහසකට වැඩි අගයකින් යුක්ත විය. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 105කට වඩා වැඩි අගයකි. ඒ අනුව ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ද ඉක්මවා යන්නකි.

මේ මුළු ණයවලින් ඇ. ඩො. මිලියන 51,000කට වඩා පැවැති ආණ්ඩු දේශීය ණය ලබාගෙන ඇත. එනම් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර දේශීය වෙළඳපොළෙහි විකුණා දේශීය මූලාශ්‍රවලින් ගත් රුපියල් ණය මේ ගණයට අයත්ය. 2023 අගභාගය වනවිට මෙරට විදේශීය ණය ප්‍රමාණය ඇ. ඩො. මිලියන 36,000කට වඩා අධිකය. එය රුපියල් බිලියන 10,000කට වඩා වැඩි ණය ප්‍රමාණයකි.

මේ මුළු අගයන් ගණනය කර බලනවිට ආණ්ඩුවේ සමස්ත ණය ප්‍රමාණය ඒක පුද්ගල අගයක් ලෙස ඇ. ඩො. 4000කට අධිකය. ඒ අනුව රටේ සමස්ත ජනතාවගෙන් එක් පුද්ගලයකුට ඇ. ඩො. 4000කට අධික ණය ප්‍රමාණයක අගයක් ලැබේ. රටේ ණය අර්බුදයේ සංකීර්ණත්වය කවරාකාරද යන්න මෙයින් වැටහෙනු ඇත.

ඇතැම් විදේශීය ණය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය මූල්‍ය ආයතනවලින් ලබාගැනුණු ඒවා වෙයි. එපමණක් නොව ඉන්දියාව, චීනය වැනි ද්වීපාර්ශ්වීය අංශවලින් ලබාගත් ණය විශාල ප්‍රමාණයක්ද වෙයි. ඊටත් අමතරව ඩොලර් මගින් නිකුත් කෙරුණු බැඳුම්කර හරහා විදේශීය වෙළෙඳපොළෙන් ලබාගත් විශාල ණය ප්‍රමාණයක්ද ඇතුළත්ය.

දේශීය වශයෙන්  බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල වැඩිපුරම ආයෝජනය කර ඇත්තේ සේවක බාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල හා බැංකු මාර්ගයෙනි. ආණ්ඩුව ලබාගත් ණය මෙම දේශීය මූලාශ්‍ර වෙතද ගෙවිය යුතුව තිබේ.

එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද? මෙම ණය කන්ද ආපසු ගෙවා  ගැනීමට නොහැකි තත්වයට ගොඩගැසීමයි. 2022 මුල භාගය වනවිට මේ තත්ත්වය තහවුරු විය.

විදේශ සංචිත නොමැතිවීමත් විදේශ විනිමය නොමැතිවීමත් මීට හේතුවිය. දේශීය වශයෙන්ද ආණ්ඩුවේ වියදම විශාල වශයෙන් වැඩිවී  ආදායම අඩුවීම නිසා ණය පොලී ගෙවීමද තර්ජනයට ලක්විය. විදේශ ණය සේවාකරණය නතර කොට දැමීම බංකොලොත්වීමක් ලෙස ඇතැම්හු අර්ථකථනය කරති. එහෙත් මා එය හඳුන්වන්නේ ණය ආපසු ගෙවීම අත්හිටුවීමක් ලෙසය. එම අත්හිටුවීම 2022 මුල් කාලයේදී සිදුවිය. මේ වනවිට එම වෙළෙඳපොළ මගින් ලබාගැනුණු විදේශ ණය ගෙවීම තවමත් අප ආරම්භ කොට නැත.

විශාල ණය කන්දක් මේ රටේ ගොඩගැසීම සම්බන්ධ ප්‍රශ්නයේදී එක් ආණ්ඩුවකට පමණක් දෝෂාරෝපණය කළ නොහැකිය. 1977 න් පසු විදේශ හා දේශීය ණය ගැනීමේ ක්‍රියාවලිය අපි දිගින් දිගටම සිදුකළ බව දනිමු. එහෙත් ණය ගැනීම අර්බුදයක් දක්වා වර්ධනය වීමට පටන්ගෙන ඇත්තේ 2004 වසරේ සිටය. මේ වනවිට පවතින දැඩි ණය අර්බුදය නිර්මාණය කිරීමට එතැන් සිට මේ දක්වා පැවැති සෑම ආණ්ඩුවක්ම දායකවී තිබේ.

අපි ඩොලර්වලින් ලබාගත් විදේශීය ණය ඩොලර්වලින්ම ගෙවිය යුතු වෙමු. එසේ ඩොලර්වලින් ගෙවීමට නම් ඩොලර් උපයන මාර්ගවල ආයෝජනය කොට තිබිය යුතු වේ. උදාහරණයකට සංවර්ධන  ක්‍රියාවලියේ දී අධිවේගී මාර්ග ඉදිකිරීම ගනිමු. අධිවේගී මාර්ග ඉදිකිරීමේ දී යොදා ගන්නේ විදේශවලින් ලබාගත් ණය මුදල් නම් එම මාර්ගවලින් ඩොලර් ඉපයෙන්නේද? මෙයින් අදහස් වන්නේ අධිවේගී මාර්ග ඉදිකිරීම යහපත් නොවන බව නොවේ. එහෙත් එයින් ඉපයෙන්නේ රුපියල් නම් අප සාකච්ඡා කරන අදාළ ප්‍රශ්නයට එයින් විසඳුම් ලැබෙන්නේ නැත. විශේෂ වෙළදාමට දායක නොවන ක්ෂේත්‍රවල විදේශ ණය අතිවිශාල ප්‍රමාණයක් යෙදවීම මේ අනුව මෙරට දිගින් දිගටම සිදුවූ බව පෙනේ.

එසේ නම් 2004 සිට මේ දක්වා පැවැති සියලුම ආණ්ඩුවල රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති, වියදම් ප්‍රතිපත්ති, ආදායම් ප්‍රතිපත්ති, විදේශ ණය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති, සංවර්ධන උපාය මාර්ග ක්‍රියාවට නැංවූ අන්දම ආදි සෑම කරුණක්ම මේ ණය අර්බුදය උග්‍රවීමට බලපා තිබේ.

එහෙත් මේ ණය අර්බුදය උච්චස්ථානයට පැමිණ පුපුරා යන්නේ 2019 දී ය. කවර ආණ්ඩුවක් බලයට පැමිණියත් පැවැති තත්වය අනුව 2019-2020 වනවිට මෙරට විදේශ ණය කන්ද පුපුරා යාමට නියමිතව තිබිණ. එය බොහෝ දෙනා විවෘතව සාකච්ඡා කිරීමට ඉදිරිපත් නොවූ කරුණකි. කෙසේ වෙතත් එවකට පැවැති ආණ්ඩුව අනුගමනය කළ යම් යම් දෝෂ සහගත ප්‍රතිපත්ති හේතුකොට ගෙන මේ ණය කන්ද පුපුරා යාම ඉක්මන් විය. බදු අඩු කිරීමේ ප්‍රතිපත්තිය ඉන් එකකි. ඊට අමතරව කොවිඩ් වසංගයත්, පාස්කු ප්‍රහාරයත් ආර්ථික වශයෙන් ඇති කළ බලපෑමද සැලකිය යුතුය.

2015-2019 දක්වා කාලයේ විදේශ ණය විශාල වශයෙන් ලබාගෙන ඇත්තේ ඊට පෙර ලබාගෙන තිබූ විදේශ ණය ආපසු ගෙවීමේ අරමුණෙන් බව ආණ්ඩුවේ ලේඛනවල සඳහන් වේ. වානිජ අංශවලින් ලබාගත් ඩොලර් බිලියන 17ක පමණ ණය ප්‍රමාණයක් ඒ අතර වේ.

මේ කරුණු කෙසේ වුවත් කාලානුරූපව පැවැති සෑම ආණ්ඩුවක්ම වැරැදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කොට ණය අර්බුදයක ගිලීමේ බරපතළ ප්‍රශ්නය අවසානයේ පොදු මහජනතාව මත පැටවී තිබීම ඛේදවාචකයකි. ඒ පීඩනය අද ජනතාව අත්විඳිමින් සිටින වග පැහැදිලිය.

පොදුවේ ගත්විට මෙම ප්‍රධාන කාරණාවලට අමතරව ණය අර්බුදය ජනතාවට බලපාන විධි රාශියක් දැකිය හැකිය. ඒ අතර සෘජු බලපෑම් මෙන්ම වක්‍ර බලපෑම් ද වේ. ඒවායින් කිහිපයක් පමණක් මෙහිදී සඳහන් කෙරෙයි. එකක් නම් විදේශ විනිමය අර්බුදය, විදේශ ණය අර්බුදය සමග නිර්මාණය වූ තත්වයෙන් ප්‍රථමයෙන්ම සිදුවූයේ රටේ උද්ධමනය සියයට 70 දක්වා වැඩිවීමය. ඒ යනු භාණ්ඩ හා සේවාවල මිල ඉතා ඉහළ යාමය. උදාහරණයකට 2019 දී අප කිසියම් භාණ්ඩයක් කිසියම් මුදලකට ලබා ගත්තේ නම් 2022 වනවිට එම භාණ්ඩයටම තුන් ගුණයක් වැඩි මුදලක් ගෙවන්නට සිදුවිය. එමගින් ජනතාවට මහත් පීඩාවකට පත්වීමට සිදුවිය. මහජනතාවගේ ආදායම්වල වර්ධනයක් වූයේ නැත. එසේ වූවිට ජනතාවට භාණ්ඩ මිලට ගැනීමේ හැකියාව තුන් ගුණයකින් අඩු විය. ආර්ථික පීඩාව, දරිද්‍රතාව, ආහාර හිඟය, මන්දපෝෂණය ආදි අර්බුදකාරී තත්වයක් සමාජය තුළ නිර්මාණය වූයේ මේ අර්බුදයත් සමගය.

2019 වසරට සාපේක්ෂව මිලියන 1.4 ක්ව (ලක්ෂ 14) පැවැති දිළිදු ජනගහනය 2023 අග භාගය වනවිට මිලියන 3 කට (ලක්ෂ 30 කට) ආසන්නව වර්ධනය විය. භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම මගින් එම ජනතාව මහත් පීඩාවට ලක්වූ බව පැහැදිලිය. එසේ තිබියදීත් ආණ්ඩුව මුදල් සැපයුම අඩු කිරීම, අයවැය හිඟය පියවීමට බදු ගැසීම ආදියෙන් වක්‍ර ලෙසද ජනතාව නැවත පීඩාවට ලක්වූ බව පෙනේ.

අනෙක් වැදගත් කරුණ නම් මෙරට ව්‍යාපාර බිඳ වැටීමය. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අතිවිශාල ගණනක් මේ කාලය තුළ පවත්වාගෙන යා නොහැකි තත්වයට පත්විය. මිලියන 1.2කට ආසන්නව රැකියා අහිමි විය. මේ කාරණ ද සමග නැවත ජන පීඩක තත්වයක් වර්ධනය වුණි. අප ඉහතින් දැක්වූ බදු පැනවීම ව්‍යාපාරවලට ද ප්‍රබලව බලපෑවේය. සේවකයන්ට රැකියා අහිමිවීමට ද මෙය හේතුවිය.

සමස්තයක් ලෙස ගත්විට පැවැති ආණ්ඩුවල වැරැදි ආර්ථික කළමනාකරණය වැරැදි ප්‍රතිපත්ති දශක දෙකක් පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආණ්ඩු විසින්ම ඇති කර ගන්නා ලද තත්ත්වයෙන් අවසානයේ පීඩාවට පත්ව සිටින්නේ රටේ මහජනතාවයි.

මේ පවත්නා ණය අර්බුදයෙන් ගොඩ එන්නට කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් කිහිපයක් යෝජනා කළ හැකිය. එකක් නම් එක්කෝ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමය. නැත්නම් ණය කපා හැරීමට පසුබිම සැකසීමය. එය සිදු කළ හැක්කේ අපට ණය ලබාදුන් රටවල් සමග සාකච්ඡා කිරීමෙනි.

අපට ණය ලබාදුන් කිසිදු රටක් මේ වනතෙක් ණය කපා හැරීමට යම් එකඟතාවක පිහිටා නැත. එසේනම් ණය ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීමට සාකච්ඡා කිරීම  වැදගත් වෙයි.

මේ වනවිට චීනය ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟව ඇත. එහෙත් පෞද්ගලික විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යම් එකඟතාවක් ඇති කර ගැනීමට මෙහිදී අවධානය යොමු කිරීම වටී. ඒවා කෙටිකාලීන විසඳුම්ය.

එහෙත් දිගුකාලීනව විසඳුම් සෙවීමට නම් තිරසාර විසඳුමක් අවශ්‍යය. ඒ සඳහා මොන ක්‍රමයකින් හෝ අපනයන ඉපයීම් වැඩි කරගත යුතුය. එසේම සංචාරක කර්මාන්තය විදේශ රැකියා ආදි විදේශ විනිමය ඉපයුම් මාර්ග වර්ධනය කරගත යුතුවේ. මේ සඳහා රටේ ආර්ථික වර්ධනය පුනර්ජීවය විය යුතුමය. කාර්මික හා කෘෂිකර්ම ක්ෂේත්‍ර ගැනද අවධානය යොමුකළ යුතුවේ. නිෂ්පාදන වර්ධනයක් අවශ්‍ය වේ. එවිට ණය ගෙවීමේ හැකියාවේ වැඩිවීමක් ඇති කරගත  හැකිය.

වර්තමාන ආණ්ඩුව 2022 සිට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළහි ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික ස්ථායිකරණය සඳහා යම් ධනාත්මක දායකත්වයක් සපයමින් තිබෙන බව පෙනේ. රටේ මූල්‍ය අංශයත්, විදේශ විනිමයත් යම් වැඩි දියුණුවීමක් පෙන්වන අතර එය යහපත් දිශානතියකට මාර්ගයකි.

ණය අර්බුදය ස්ථිරව විසඳීමට නම් ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුය. විදේශ ආයෝජන සඳහා ඉඩදීම වැදගත් වුවත් ඒ සඳහා තවමත් ලංකාව තරගකාරී මට්ටමක් පෙන්නුම් කරන බවක් නොපෙනේ. නිශ්චිත වැඩපිළිවෙළක් පැවැතියහොත් ප්‍රශස්ත ආර්ථික සංවර්ධන මාවතක් විවර කොට ගැනීමට වසර හතරක පමණ කාලයක දී අපට හැකිවනු ඇත.

 

(*** සටහන – ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

දිනෙන් දින වැඩි වන ණය බර

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 243 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 204 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 223 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 514 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 413 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 152 1

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 240 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1562 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1463 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site