(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ - චරිත හේරත්)

සතර පෙරනිමිති අයත් වන්නේ බෞද්ධ සාහිත්‍යයේ එන වැදගත් කථාන්දරයකටය.  මේ කථාව පදනම් වන්නේ බුද්ධත්වයට පෙර සිදුහත් කුමාරයාව සිටි කාලයේ බෝසතුන් අත්දුටු සිද්ධි හතරක් පිළිබඳවය.

දහම් පාසල් යන දරුවන්ගේ සිට වැඩි මහලූ බෞද්ධයන් දක්වා හැමෝටම වගේ මේ බෞද්ධ කථාන්දරය හොඳට පාඩම්ය. ඒ කථාවෙන් කියන්නේ සරල දෙයක් යැයි පෙනුණාට ඒ තුළින් බරපතළ දර්ශනික කාරණයක් පෙන්නුම් කරන බව මගේ පිළිගැනීමය.

සුද්දෝධන රජතුමාට අවශ්‍ය වූයේ තම පුතුට රට ගැන,  සමාජය ගැන හා ලෝකයේ ස්වභාවය ගැන හොඳ පැත්ත පමණක් පෙන්වීමටය. එහෙම පෙන්වීමෙන් බලාපොරොත්තු වූයේ සිදුහත් කුමරු තුළ ලෞකික සැපය පිළිබඳ ආශාව වැඩි කිරීමය. වෙනත් ලෙසකින් කිවහොත් ඒ මගින් බලාපොරොත්තු වූයේ නිර්මාණය කරන ලද යථාර්ථයක් ඇතුළේ තම පුතු තබා ගනිමින් ඔහු ගිහි ගෙදරින් පිටමන් වීම වැළැක්වීමය.

දේශපාලනික දර්ශනික කෝණයෙන් බැලූවිට සුද්දෝධන රජුගේ මේ ක‍්‍රියාව තේරුම් ගත යුත්තේ තරමක් ගැඹුරු අර්ථයකින් ය. පිය රජුගේ මේ උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ සමාජයේ පවතින යථාර්ථය තමාගේ පුතාගේ අවධානයෙන් වසා තබන්නට ගත් වෑයමක් ලෙසින් වන අතර සතර පෙර නිමිති මගින් පෙන්වන්නේ එසේ වසා තබන ලද යථාර්ථය මහ මඟදි හමුවන අත්දැකීම් මගින් අර්බුදයට යාමය.

සමාජයේ පවතින සැබෑ තත්ත්වය නොපෙන්වන්නට සහ   අලූතින් හදන මතවාදයකින් එය වසා තබන්නට  දැරූ  උත්සාහය අර්බුදයට යාමක් ලෙසින් ද මේ කාරණය තේරුම් ගත හැකිය. ශාස්ත‍්‍රීය භාෂාවෙන් කියන්නේ නම් මෙය පැහැදිලි කළ හැක්කේ ‘පිය රජතුමා විසින් නිර්මාණය කර දුන් පරිකල්පිත මතවාදයක්  ඇතුළේ සිටි සිද්ධාර්ථ කුමරු එම පරිකල්පනයෙන් මිදි ඇත්තටම සමාජයේ පවතින ස්වභාවය සමඟ කෙළින්ම ගැටුණේ මේ කියන සතර පෙර නිමිති දුටු නිසාය’ කියාය.

සම්ප‍්‍රදාය විසින් ප‍්‍රබන්ධය කර තිබූ කථාන්දරය හිතේ තියාගෙන පාරට  බැස්ස සිදුහත් කුමාරයාට තමාට පෙන්වන සමාජයේ ස්වභාවය සහ ඇත්තටම සමාජයේ පවතින තත්ත්වය අතර ඇති පරස්පරය පෙනී ගියේ මේ සිද්ධි හතර (සතර පෙරනිමිති) ඇස ගැටීම නිසාය.

මතවාදී ලෝකයේ හැමෝම සමානයි කියා පෙන්නුවාට සිදුහත් කුමාරයා පාරට බසිද්දි දැක්කේ රෝගවලින් පීඩා විඳින අසමාන වූ ලෙඩ්ඩුය. මතවාදී ලෝකයේ හැමෝම හැමදාම වෙනස් නොවී ඉන්නවා යැයි පෙන්නුවාට පාරට බසිද්දී සිදුහත් කුමාරයා දැක්කේ වයසට ගොස් අසරණව සිටින මහල්ලන්ය.

කවුරුවත් නොමැරෙන ගානට ජීවිතය භුක්ති විඳීමට මතවාදය හදා තිබුණාට පාරට බසිද්දි සිදුහත් කුමාරයා දැක්කේ මරණයට පත් වී දුක්ඛිතව නිමාවෙන මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ  ජීවිත කථාවය.

සිදුහත් කුමරු සත්‍යාවබෝධයට යොමු වුණේ මේ විසංවාදයට පිළිතුරු සොයන්නට යැයි සිතීමේ වරදක් ද නැත. ඉදිරියට සිදුවන්නට නියමිත වෙනසක පෙර නිමිති සතර පෙර නිමිති දැකීමෙන් මතු වූයේ යැයි පිළිගන්නේ මේ අර්ථයෙන්ය.

මාගේ මේ සටහන බෞද්ධ සතර පෙර නිමිති කථාවෙන් පටන් ගත්තේ අපේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පැහැදිලි කර ගැනීමට විශාල  පිටිවහලක් මේ කථාවේ  ආකෘතියෙන්  ලබා ගත හැකියි සිතන නිසාය. මා එසේ කියන්නේ එක් විශේෂ හේතුවක් පදනම් කර ගෙනය. ‘සමාජයේ වසා තබන්නට හදන යථාර්ථය’ සහ ‘කොච්චර හොඳට වැසුවත්  රටේ හැමෝටම පේන්න තියෙන  යථාර්ථය’  යන දෙක අතර ඇති විසංවාදය හොඳටම පෙන්නුම් කරන දේශපාලනමය වූ කාලයක අප ජීවත් වන නිසා මේ කථාවේ ආකෘතියත්  අද අප  මුහුණ දෙන දේශපාලනයත් යන දෙක අතර බරපතළ සමාන කමක් දැකිය හැකි බව මගේ අදහසය.

අද මේ රටේ මිනිසුන් අත්දකින්නේ එක පැත්තකින් යථාර්ථය වසාගෙන පවත්වා ගෙන යාමට දේශපාලන අධිකාරිය දරන උත්සාහයත් අනෙක් පැත්තෙන් එසේ  වසන්නට හැදුවාට වැසෙන්නේ නැතිව බුර බුරා මතුවන  සමාජ යථාර්ථ ගණනාවක් සතර පෙර නිමිති දැක්කා වගේ පෙනෙන්නට තිබීමත්ය.

තවත් සරලව  කීවොතින් මේ රටේ ජනතාව අද දවසේ රටේ දේශපාලනය තුළ මුහුණ දෙමින් සිටින්නේ බරපතළ උභතෝකෝටිකයකටය. ඒ එක් පැත්තකින් පාලකයන් පෙන්වන ‘යථාර්ථය’ රජයේ නාලිකාවලින් විකාශනය වෙද්දී අනෙක් පැත්තෙන් ඒ යථාර්ථයට සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්  සතර පෙර නිමිති වගේ  සිදුවීම්වලින් මහපාරේ අත්දැකීමෙන් විඳීමය.

රටේ ජනතාව අත්දකින සතර පෙර නිමිති පටන් ගන්නේ සිදුහත් කුමරු දුටුවා මෙන් ලෙඩ වූ එක පුද්ගලයකුගෙන් නොව  මහ මඟ පිරීගිය දහස් ගණනක් වූ ලෙඞ්ඩුන්ගෙන්ය. මේ රටේ ජනතාව තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ මේ තරම් භීතියට පත් වුණු කාලයක් මීට පෙර තිබුණේ නැති ගානය. රජයේ නාලිකා සහ සෞඛ්‍ය බලධාරින්  කුමක් කීවද මහ මඟ අප හැමෝම දකිමින් සිටින්නේ තමන්ගේ සහ තම දු දරුවන්ගේ ජීවිත ඩෙංගු උණෙන් බේරා ගන්නට වෙර දරන අසරණ ජනතාවගේ වෙහෙසකර ජීවිත පිළිබඳවය.

ඉස්සර පාසලට ගොස් එනතුරු දරුවන්ව ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට අසුවේ දැයි බියෙන් සිටියා වගේ දැන් මවුපියන් බියෙන් ත‍්‍රාසගත වී ඉන්නේ දරුවාට පාසලේදී ඩෙංගු මදුරුවකු විදීවී යන භයානක සැකයෙන් මිරිකෙමින්ය. පළාත් පාලන ආයතන විසුරුවා හැරෙන්නට අතහැර ඒවායේ බලය නිලධාරි අතට පත් කර ඇති නිසා දැන් කුණු ගෙනියන්නේ චක‍්‍රලේඛවල තියෙන ආකාරයටය. අපද්‍රව්‍ය කළමනාකරණය කාටවත් කළමනාකරණය කරන්නට බැරි තැනකට පත්වී තියෙන්නේ ඒ හේතුවත් නිසාය.

මේ තත්ත්වය වර්ධනය වෙමින් පවතින්නේ පරණ බෞද්ධ කථාවක් වන කිසාගෝතමී පුවතේ  නොමළ කෙනකු සිටින ගෙදරකින් අබ ටිකක් හොයාගැනීම වෙනුවට ‘ඩෙංගු වංසගතයට හසු නොවුණු ගෙදරක් සොයා ගැනීම’ ගානට භයානක තත්ත්වයකට ගමන් කරමින්ය.

අනෙක් අතට වෛද්‍ය අධ්‍යාපනය අද වන විට ගමන් කර ඇත්තේ නැවතත් නිවැරැුදි කරන්නට කාලයක් ගතවන ආකාරයේ සංකීර්ණ අර්බුදයකටය. සයිටම් ප‍්‍රශ්නය හරහා රටේ සියලූම විශ්වවිද්‍යාලවලට වෛද්‍ය පීඨ විභාග තියන්නේ නැති නිසා රට  ඇදවැටී තියෙන්නේ ඉදිරි වර්ෂයේ එකම වෛද්‍යවරයෙකු වත් උපාධි ලබා ගන්නට නොහැකි වෙන තත්ත්වයකටය.

තත්ත්වය හොඳ අතට හැරෙනවා යැයි බලධාරින් කීවාට ජනතාව අත්දැකීමෙන් විඳින්නේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගොඩ නැඟෙමින් තිබෙන මේ අර්බුද තම තමන්ගේ එදිනෙදා ජීවිතයට බරපතළ ආකාරයෙන් තර්ජනය කරනවා කියාය.

පැරණි බෞද්ධ කථාවේ සතර පෙර නිමිතිවල පළමු කාරණයෙන් දැක්කා වගේ අද අපි මුහුණ දෙන්නේ බලධාරීන් වසන්නට හදන යථාර්ථයත් ජනතාව එදිනෙදා මුහුණ දෙන යථාර්ථයත් අතර එකිනෙකට ප‍්‍රති විරුද්ධ තත්ත්වයකටය. රූපවාහිනියේ නායකයන් පෙන්වන සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳ මිථ්‍යාව මහපාරේ අත් දැකීමෙන් පෙන්වන යථාර්ථය හමුවේ අභියෝගයට ලක් වීමය.

සතර පෙර නිමිතිවලින් දෙවැන්න ලෙසින් සිදුහත් කුමරු දුටුවේ තමාගෙන් වසන් කොට තිබූ වයසට පත් වූ මිනිසුන් පිළිබඳ කාරණයයි.  අද අප දකින නූතන පෙරනිමිතිවල දෙවැන්න  වන්නේ  සමාජයෙන් වසන් කර තිබෙන බරපතළ ලෙසින් ‘මහලූ වූ’ රාජ්‍ය සේවයක් සහ දැනුම අතින් අන්ත ලෙස ‘දුගීකරණයට’ භාජනය වූ පරිපාලන සේවයකින් යුක්ත සමාජයක්ය. රාජ්‍ය සේවය කඩා වැටීම ආරම්භ වූයේ අද නොව 1970 ආණ්ඩුව තරම් ඈත කාලයේ සිට බව සැබෑය.

එහෙත් ඒ රාජ්‍ය සේවය මෙතරම් අක‍්‍රීය වූ කාලයක් මීට පෙර තිබුණේ නැති ගානය. රාජ්‍ය සේවය මෙච්චර මහලූ කාලයක් අපේ රටේ තිබුණා දැයි සැක සහිතය. අද රජයේ කාර්යාලවල කවුරුවත් තීරණ ගන්නේ නැත. දේශපාලකයන් මාරුවෙන ගානට නිලධාරීන් කරදරේ වැට්ටවීම පැත්තෙන්  මේ ආණ්ඩුව තරම් ‘කප්ගැසූ’ වෙනත් ආණ්ඩුවක් තිබුණේ නැති නිසා හැමෝම ඉන්නේ වගකීම අනෙකාගේ ඇගේ ගහන්නේ කෙසේ ද කියා සිතමින්ය.

අද නිලධාරීන් තමන්ගේ අත්සන යම් ලේඛනයකට යොදන්නේ ඊට උඩින් කීදෙනෙක් අත්සන් කර තිබේ දැයි හොඳින් විමසා බලාය. කොටින්ම ඇමැතිවරයා තමන්ගේ අත්සන දමන තෙක්ම ලිපි ගොනුව ඉදිරියට යන්නේ නැති ගානට කුඩා කාරණා පවා සංකීර්ණ වී ඇත්තේ මේ නිසාය. මේ මතුවෙමින් එන්නේ රාජ්‍යයේ පලදායකභාවය පිළිබඳ වූ බරපතළ කාරණයක් පමණක් නොව අනාගත රාජ්‍ය පාලනය පිළිබඳ නරක  පෙර නිමිත්තක් ද බව පැහැදිලිය.

තුන්වෙනුව පැරණි සතර පෙරනිමිති කථාවේ එන්නේ සිදුහත් කුමරු මැරුණු මිනිසකු දැකීම හරහා එතෙක් කල් තමාගෙන් වසන් කර තිබූ පැවැත්මේ අසාර්ථකත්වය පිළිබඳ තත්ත්වය අත් දුටු බවයි.

ජීවිතයේ පැවැත්මේ අනාගතය පිළිබඳ සැකය හා පැවැත්මේ ස්වභාවය පිළිබඳ අස්ථිරත්වය ගැන ඒ මගින් පාඩමක් කියා දුන් බව ඒ කථාවෙන් කියවෙන කාරණය විය. අද සමාජයේ අප දකින බරපතළ පෙරනිමිත්තක් වන්නේ මිනිසුන්ගේ මරණවලින්  කියවෙන කථාවකට වඩා දේශපාලන ව්‍යාපාරවල මරණවලින් මේ රටට අනාගතයක් නැති බව පෙන්නුම් කරන තත්ත්වයකට අප පත් වීමය.

වෙනත් ලෙසකින් පැවසුවොත් අප අත්දකිමින් සිටින්නේ අපේ  ගැටලූවලට විසඳුම් සෙවිය හැකි දේශපාලන ව්‍යාපාරයක් රටේ නොමැති වීම වැනි ප‍්‍රශ්නයකටය. මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ රටේ අභියෝග ජයග‍්‍රහණය කළ හැකි ආකාරයේ දේශපාලන ව්‍යාපාරයක් රටේ නැති වීම පමණක් නොව ඒ වෙනුවට පෙනී සිටින සාම්ප‍්‍රදායික  දේශපාලන පක්ෂ ‘මූලධාර්මිකව මරණයට’ පත් වී ඇති බවය. මේ සමහර පක්ෂ පෙන්නුම් කරන්නේ මරණයට පත් වී ආදහනය හෝ භූමදානය නොකළ මෘත කලේබරයක තත්ත්වයක්ය.

මේ ‘දේශපාලන ව්‍යාපාරවල මරණය’ සාක්ෂි සපයන්නේ අද රටේ ඇති ප‍්‍රශ්න විසඳීමට එජාපයට, ශ‍්‍රීලනීපයට, ජවිපෙයට හෝ ඒකාබද්ධයට හැකියාවක් නැති බව පමණක් නොව ඒ අයට ප‍්‍රශ්නයේ සැබෑ ස්වරූපය තේරෙන්නේ වත් නැති බවය. දේශපාලන වශයෙන් මේ රටේ අනාගතය පිළිබඳව අලූතින් සිතීමේ අවශ්‍යතාව වෙන කවර දාටත් වඩා බරපතළ ආකාරයෙන් ඉදිරියට පැමිණ ඇති බව මේ හරහා පෙන්නුම් කරන ප‍්‍රධාන  කාරණයය.

හතරවෙනුව පැරැුණි කථාවේ එකල සිදුහත් කුමරුට මුහුණ දුන් නිමිත්ත වූයේ ජීවිතයේ ගැටලූකාරීත්වයට විසඳුම් සොයන විකල්ප ආධ්‍යාත්මික  ක‍්‍රියාකරුවකු ලෙසින් භික්ෂුවකගේ රූපයක් දැකීමය. මේ තත්ත්වය දේශපාලන කෝණයකට පෙරළුවහොත් මෙයින් අර්ථවත් වන්නේ රටේ අනාගතය පිළිබද සුභ සිහිනයක් මතු කරන විකල්ප දේශපාලන ජායාවක් දැකීමක් ලෙසින්ය.

එහෙත් කනගාටුවට කාරණය වන්නේ මේ රටේ මේ නිශ්චිත මොහොතේ විකල්ප සමාජ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව එවැනි නායකත්වයක් නිර්මාණය කිරීම බරපතළ අර්බුදයක් ලෙසින් පැවතීමය. අස්ගිරි ප‍්‍රකාශය වැනි ආගමික මතුකිරීම්ල සයිටම් විරෝධය වැනි ශිෂ්‍ය මතු කිරීම්ල එට්කා විරෝධය වැනි වෘත්තීය මතු කිරීම් හුදකලා වූ වෙනස් වෙනස් මතු කිරීම් ලෙසින් පවතිනවා මිස එකට ගොඩ නැඟුණු ජාලයක් බවට පත්වීමක් පෙන්නුම් කරන්නේ නැත.

මේ හතර වන පෙර නිමිත්ත නිසි ලෙස  කළමනාකරණය වන දිනය තෙක් මේ රටේ දේශපාලනය වෙනස්වීමේ විභවයක් නැති බව දුරට පෙනෙන සත්‍යයයි.