(චමිල් රූපසිංහ)
මරණයට, මඟුලට පමණක් නොව ජීවිතයට මග කියාදෙන්නට ද පිහිට වන්නේ ගමේ පන්සල බැව් දන්නා කාරණාවකි. ඒ තරමටම ගමේ පන්සල ජීවිතය හා බද්ධ වී සිටින්නේ කිසිකලෙක වෙන් නොවන තරමේ අපූර්වතම බැඳීමකිනි. අප බොහෝ විට දන්නේ ගමේ දායක දායිකාවෝ එක්වී පන්සලට දන් පිළිගන්වන අවස්ථා පමණි. එය බෞද්ධාගමිකයෝ චාරිත්‍රයක් ලෙස ඉටු කරන්නේ ද මහත් භක්තියෙනි.
නමුදු මේ කතාව ඊට හාත්පසින්ම වෙනස් ය. පන්සලට ලැබෙන දානයෙන් දරුවන් පහකගේ කුසගිනි නිවන අලුත් කතාවකි.
ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නොසිටියානම් පවුලටම පාරේ හිඟා කන්න වෙන්නේ, දරුවන් 4 දෙනකුගේ මවක වූ දැනට අංශභාගය සෑදී ඔත්පළව සිටින දවුලගල හන්දෙස්සේ පදිංචි ශ්‍යාමා ගීතාංජලී (37) මහත්මිය පැවසුවේ හදවතින්මය.
අංක 220/2 දිග්ගලවත්ත, හපුගහයටතැන්න, දවුලගල, හන්දෙස්ස පදිංචි ශාමා ගීතාංජලී දරුවන් 4 දෙනකුගේ මවක් වන අතර විවාහ වීමට ප්‍රථම කොළඹ පදිංචිව සිට ඇත.
විවාහයෙන් පසුව දවුලගල ස්වාමියාගේ නිවෙසට පදිංචියට පැමිණ ඇති අතර වසර කිහිපයක් ගතවන විට දූවරුන් 4 දෙනකු ඔවුනට ලැබී ඇතත් දරුවන් සියලු දෙනාම දූවරුන් බැවින් නීත්‍යනුකූල ලෙස පිරිමි දරුවකු ද සාදා ගැනීම සඳහා අසරණ පවුලකින් ලබාගෙන ඇත.
මෙලෙස තම ස්වාමියා සමග කාලය ගත කරන විට දරුවන්ගේ මවට අංශ භාගය වැළඳීමෙන් එක් අතක් සහ කකුලක් අප්‍රාණික වීමෙන් එක්තැන් වී ඇත්තේ නොසිතූ මොහොතක ය.
ඉන් පසු තම පවුලට ආදරයෙන් සිටි ස්වාමියා දරුවන් 5 දෙනාම අත්හැර දමා වෙනත් කාන්තාවක් සමග ගොස් ඇති බව ඇය පවසයි. මේ සම්බන්ධව දවුලගල පොලිසියේ ද පැමිණිල්ලක් කර ඇති බවත් මේ දක්වා කිසිදු වන්දි මුදලක්වත් ස්වාමියා විසින් ලබා නොදෙන බවද ඇය පවසයි.
තම ස්වාමියාගේ නිවෙසේ ජීවත්වන ඇය ඇතුළු පවුලේ දරුවන් පස් දෙනා සමග ස්වාමියාගේ මව වන වයස 70ක් පමණ වන සීලවතී මහත්මිය ද ඇත.
ඇයටද කුලියක් කර ගැනීමට ද නොහැකි තත්ත්වයකින් සිටින නිසා තම සහෝදර හා අසල්වැසියන්ගෙන් ලැබුණු ආහාරවලින් ජීවිතය ගැට ගසා ගත්තත් දරුවන්ට උගන්වන්නට ක්‍රමයක් නොමැති බව තම සිතට දැනුණු විට දරුවන් සමග ජීවිතය පවා නැති කර ගැනීමට සිතුණු වාර අනන්ත බව දරුවන්ගේ මව වන ශ්‍යාමා ගීතාංජලී පැවසුවාය.
මේ අතරතුර වැඩිමහල් දියණිය හිතුවක්කා ලෙස විවාහයක් කරගෙන නිවසින් පිටත්ව ගියත් ඉතිරි දූවරුන් තිදෙනා සහ පුතා ජීවත් කරවීමට කාගේ පිළිසරණයක් ද කියා ඔත්පළව සිටින ඇය සිතුණු වාර අනන්තය.
ජීවත් වීම සඳහා දිනෙන් දින ආහාර නොමැති කමත් දරුවන්ට පාසල් යාමට අවශ්‍ය පාසල් උපකරණ නොමැති කම නිසාත් දරුවන්ගේ පාසල් ගමනද අඩාල වි ඇත.
මෙලෙස දිනෙන් දින කාලය ගත වන විට ගමේ විහාරයේ ලොකු හාමුදුරුවන්ගෙන් ලද පණිවිඩයකට අනුව නිවසේ සිටින ආත්තම්මා දවුලගල හන්දෙස්ස හපුගහයටතැන්න ශ්‍රී ශෙලතලාරාම විහාරස්ථානයේ විහාරාධිපති දෙයියන්නෙවල පියරතන නායක හිමියන් හමුවී ඇත.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසි විටක අඩාල නොකරන ලෙසටත් විහාරයට ලැබෙන ආහාර පාන හැකි අයුරින් දිනපතා ලබා දෙන බවත් එසේ ම දානය නොලැබෙන අවස්ථාවලදි ආහාරපාන ගැනිම සඳහා මුදල් ලබා දෙන බවත් දරුවන්ට අධ්‍යාපනය ලබා දි දරුවන් නිසිමගට ගැනිමට කැපවෙන්නේනම් උදවු කිරීමට හැකි බව නායක හිමියන් පවසා ඇත.
දරුවන්ගේ අත්තම්මා වැඩිදුරටත් අපහට පැවැසුයේ තමාගේ ලේලිය ට අංශභාගය රෝගය සැදුණු පසු තම පුතු වෙනත් කාන්තාවක සමග ගොස් ඇති බවත් දරුවන් හා ලේලිය තම නිවසේ සිට ජීවත් කරවීමට ගමේ විහාරයේ නායක හිමියන් මේ වන විට වසර එකහමාරක පමණ කාලයක සිට විහාරයට ලැබෙන ආහාර, මුදල් හදල් තමන්ට ලබා දෙමින් තම දරුවන්ට පිහිට වන බවයි.
‘එක දරුවෙක් හිතුවක්කාර විවාහයක් කරගෙන ගියා. දැන් දුවලා තුන් දෙනකුයි, පිරිමි දරුවකුයි අපට ඉන්නවා. මට අංශභාගය හැදිල ඔත්පළ වුණාම මහත්තයා දාල ගියා. අපි බලාගන්නෙ මහත්තයාගේ අම්මා. අහළ පහළ අයයි වටේ ඉන්න සහෝදරියොයි අපට උදව් කරනවා. නමුත් ගමේ ලොකු හාමුදුරුවන් හිටියේ නැත්නම් අපි ඔක්කොම මැරිලා ගිහිල්ලා‘ යැයි ශ්‍යාමා මහත්මිය පැවසුවාය.
‘හැමදාම උදේට මහත්තයගෙ අම්මයි දරුවොයි පන්සලට යනව ඉතිරිවෙච්ච දානය ගේන්න. ඒක ගෙනල්ලා අපි කනවා දවල් 12.30 ට විතරත් එහෙමම යනවා. දවල් දානය ගෙනල්ල අපි කාලා රෑටත් ඒක තියාගන්නවා. දානය නොලැබුණු දාට කෑම කන්න හාමුදුරුවන් හැම මාසෙකම බඩු මුට්ටු ගෙනත් දානවා. නායක හාමුදුරුවන් හැම විටම කියන්නෙ දරුවන්ගෙ අධ්‍යපනය කඩාකප්පල් කරන්න එපා මම පුළුවන් උදවුවක් කරන්නම් කියලා.‘
‘ඒත් මේ විදිහට හැමදාම හාමුදුරුවන්ගෙන් ලැබෙන දානය අරගෙන ජීවත්වෙන්නෙ කොහොමද ? දරුවන් ලොකු වෙද්දි මිනිස්සු දරුවන්ට ලැජ්ජ කරයි කියල බයයි‘ යැයි ද ඇය පැවසුවාය.
අපිට රුපියල් 3000 ක සමෘද්ධියක් ලැබුණා. වසර ගණනාවක් නමුත් ඒක ගිය මාසෙ කපල දාල දැන් හම්බවෙන්නෙ 1500 යි. අනේ මන්ද දුප්පත් අපටමයි සේරම වෙන්නෙ.
‘රජයෙන් තමා මට මගේ දරුවන්ට උදවුවක් ඉල්ලගන්න හිටියෙ ඒත් කොහොමද දැන් එහෙම ඉල්ලන්නෙ. තියෙන සමෘද්ධියත් කපල දැම්මම. මේ පුවත බලන සියලුම ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නෙ මගේ දරුවන්ට යහමග පෙන්ව ගන්න මට උදවු කරන්න කියලා.‘
මගෙ අංශභාගෙ ලෙඩේ සුවකරගන්න කාගෙන් හෝ උදවුවක් ලැබෙනවනම් ඒකත් ලොකු උදවුවක්. මට ගෙදර දොරේවත් කිසිවක් කරගන්න බෑ. මගේ ලෙඩේ හොඳ කරගන්න පුළුවන් වුණොත් මට රස්සාවක් කරගන්න හරි පුළුවන්.
අපිට ගමේ පන්සලේ ලොකු හාමුදරුවන් පිහිට වුණේ නැත්නම් අපිට මේ වනකොට මොනා වෙලාද කියන්නත් බෑ. ලොකු හාමුදරුවන්ට පිං සිද්ධවෙන්න දරුවො දැන් හොඳට ඉගෙන ගන්නවා. ලොකු දුව වයස 14යි. අනිත් දුවට වයස අවුරුදු 11යි. අනිත් දුවට අවුරුදු 7යි. මේ තුන් දෙනාම හන්දෙස්ස පාසලට යනවා. හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. අනිත් පුතා ගේ වයස අවුරුදු 3යි. තවම ගෙදර ඉන්නේ.
‘මෙය බලන හැමෝගෙන්ම මම ඉල්ලන්නේ අපිට දරුවන්ට උගන්වා ගන්න හැකි උදව්වක් කරන ලෙසයි‘ යැයි ශ්‍යාමා මහත්මිය පැවසුවාය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ දවුලගල හන්දෙස්ස හපුගහයටතැන්න ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ විහාරාධිපති දෙයියන්නෙවෙල පියරතන නායක හිමියෝ මෙසේ පැවසූහ.
‘මේ අපේ පන්සලේ දායක පවුල ගොඩක් සමගියෙන් හිටියා. පිරිමි දරුවෙක් නෑ කියලා දරුවකුත් අරන් හදාගත්තා. දැන් වසර එක හමාරකට විතර උඩදී දායක මහත්මියට අංශභාගය හැදිලා අතකුයි කකුලකුයි පණ නැති වුණා. ඔය අතරේ දායක මහත්මියගේ ස්වාමියා දරුවන් 4 දෙනා දාලා වෙනත් කාන්තාවක් එක්ක ගිහින් කියලා දැනගන්න ලැබුණා. දරුවන්ට හරියට කන්න බොන්න නෑ. දරුවන් පාසල් යන්නේ නෑ කියලා මට දැනගන්න ලැබුණා. මම එයාලා පන්සලට ගෙනල්ල උපදෙස් දුන්නා මම පන්සට ලැබෙන දානේ දෙන්නම් ඔයාලට ජීවත්වෙන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නවත්වන්න එපා කියලා‘
මමත් පිරිවෙන් ගුරුවරයෙක් දැන් විශ්‍රාම ගිහිල්ල ඉන්නෙ. මගේ විහාරයෙත් කුඩා සාමණේර හිමිවරු 5 ක් විතර වැඩ ඉන්නවා. තවත් පිරිවෙනේ ඉගෙන ගන්න දරුවන් 4 ක් විතර ඉන්නවා. ඒ අය ජීවත් කරවන්නෙ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් ගන්නෙ මට ලැබෙන විශ්‍රාම මුදලෙන්. මම ඒ කටයුතුත් කරන ගමන් අර පවුලටත් මාසෙකට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනල්ල දෙනවා. උදවු කරනවා. ඒ දරුවනුත් අධ්‍යාපනයෙන් හොඳ තැනකට ඇවිත් හොඳ ජීවිතයක් ගත කරයි කියන බලාපොරොත්තුවකින් තමා මම උදවු කරන්නෙ.
‘මම ගොඩ දෙනෙක්ගෙන් උදවු ඉල්ලුවා මේ පවුලෙ දායක මහත්මියව හොඳ කරගෙන රැකියාවක්වත් හොයල දෙන්න. නමුත් කාගෙන් කියල උදවු ඉල්ලන්නද? ඒ නිසා තමා මම තිරණය කළේ දරුවන්ගෙ අධ්‍යපනයටයි ජිවත්වෙන්නයි පන්සලට ලැබෙන දානයෙන් කොටසකුයි ඒ පවුලට දෙන්න‘
‘මාත් දැන් වයසයි. මම නැති වුණ දවසක පන්සලේ උදවිය සලකයි. නමුත් අධ්‍යාපනයට මේ පවුලෙ දරුවන්ට උදවු කරන්න කෙනෙක් නැතුව යනවා. ඉතිං මම මෙය බලන ජනතාවගෙන් ඉල්ලන්නෙ මේ පවුලට යම් උදවුවක් කරන්නට හැකි අයෙක් වෙතොත් ඉදිරිපත් වෙන්න කියා‘යි ශ්‍රී ශෙලතලාරාම විහාරාධිපති දෙයියන්නෙවල පියරතන නායක හිමියෝ පැවසූහ.


COMMENTS
සාදු..සාදු, මේ හිමි නම දේසපාලනය නොකර වැඩක් ඇති දෙයක් කොරනවා.
සබැ බුද්ද පුත්‍රයෙක්වූ ඔබ වහන්සේට සැමදෙනාගේම ගවුරවය හිමි විය යුතුයි, මෙවැනි පවුල් නගා සිට වීමට ගමේ පන්සල මුල් විය යුතයි
දේශපාලනය කරන පන්සල් වලට වඩා, මේ පන්සල කොයිතරම් රටට සහ සමාජයට ආදර්ශයක්ද? මේ කුසල කර්මයම ඇති මේ ස්වාමින්වහන්සේට නිවන් දකින්නට.
කරුණ කරුණාකර මි අයගේ ලිපිනිය එවන්නේ
ඔබවහන්සේ " දුන්දේ සුවදය.... කෑදේ ගදය " යන වදන සමාජයට කියාදීමට උත්සහකිරීම ගැන අපගේ හදපිරි ගෞරවය පුදකිරීමට කැමැත්තෙමු. අනාගතයේත් මෙවැනිම සමාජයට ප්‍රයෝජන වන ක්‍රියාවන් කිරීමට ඔබවහන්සේට ශක්තිය දෛර්ය ලැබේව.
මෙවා ප්‍රසිද්ධ කරන්න එපා... ඒ දරු පවුල අපහසුතාවයට පත් වෙනවා.
ප්‍රසිද්ධ කරන්න. නැත්නම් ආධාර ලැබෙන්නේ නඈ . හැබැයි මේ විධිහට මූන පෙන්නන එපා. නම හරියටම දාන්න එපා. එතකොට තමයි නියම සේවයක් පිනක් වෙන්නේ.
කරුණාකර ඔඋන්ගේ බංකු ගිණුම් අංකයක් හෝ දුරකථන අංකයක් දන්වන්න.
ගරුතර ස්වාමීන් වහන්සේට යම් මුදලක් පරිත්‍යාග කරන්න විදියක් දන්වන්න. එතකොට උන්වහන්සේට මේ පවුලට හා තවත් අයට උපකාර කරන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක්.
මන් මේ පවුලට උදව් කරන්න කැමති.
මහපින්කම් කරනවා නම් ඔය ලොකුකමට මහා සද්ද දාලා කරන බොරු සෝබන පින්කම් කියලා කරන දේවල්වලට වඩා මෙම දරු පවුලට යමක් කළොත් කොතරම් සමාජ සේවයක් වෙනවද? ඔය ජාතිය ගැන කතා කරන අයටත් පුළුවන් ජාතියේ නාමයෙන් යමක් කරන්න.
මේ දරුවන් ඉගෙන ගන්න දක්ෂනම් ඉගෙන ගන්න උනන්දු නම් ඉගෙන ගන්නකම් හැම අවුරුද්දකම අවශ්‍ය පොත්පත් මම අරගෙන දෙන්නම්...
කොහොමද එයාලාට උදව් කරන්නේ? උදව් කරන්න පුළුවන් ක්‍රමයක් ඵල කරන්න පුලුවන්ද?
කරුණාකර ඔවුන්ගේ බංකු ගිණුම් අංකයක් හෝ දුරකථන අංකයක් දන්වන්න.