
දෙමළ සිනමාවේ අසහාය වීරයා, එක මුෂ්ටි ප්‍රහාරයකින් සතුරන් පොදියක් බිම දමන වීරයා, ආදරවන්තයා සහ පසුගිය කාලයේ කච්චතිච් දූපතේ අයිතිය අභියෝගයට ලක් කළ තලපති විජේ, තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය ජයග්‍රහණය කළේය. තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණෙයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ඊයේ (4) සිදුවිය. අනාවැකි පළ වුණු ආකාරයටම, රංගනයට සමුදී නව දේශපාලන පක්ෂයකින් දේශපාලනයට ආ තලපති විජේ, තමිල්නාඩු දේශපාලනයේ පෙරැළියක් කර අවසන්ය. සහභාගී වූ පළමු මැතිවරණයෙන්ම විශිෂ්ට ජයක් පෙන්වා සාම්ප්‍රදායික දේශපාලනය උඩුයටිකුරු කර අවසන්ය. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙවර තමිල්නාඩු මැතිවරණය විජේගේ නවතම ‘බ්ලොක්බස්ටරය’ වූ බවය.
විජේ දේශපාලනයට අවතීරණ වී සිටින්නේ ‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂයෙනි. මෙහි අර්ථය තමිල්නාඩු විජයග්‍රාහී පක්ෂය යන්නය. ‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂය පිහිටුවීම සිදුවූයේ 2024 දීය. තමිල්නාඩු ප්‍රාන්ත සභාව ආසන 234 කින් සමන්විතය. බහුතරය සඳහා ආසන 118 ක් දිනා ගැනිම කළ යුතුය. ‘තමිල්ග වෙට්රි කසාගම්’ ආසන 108 ක් දිනා ගත්තේය. තමිල්නාඩු මහ මැතිවරණය අප්‍රේල් 23 වැනිදා ආරම්භ විය. ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 85 ක් විය. තමිල්නාඩු ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ප්‍රතිශතය මෙය යැයි මැතිවරණ බලධාරීහු පවසති.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ (තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව සඳහා) පැවැත්වෙන්නේ පහෙන් 5 ට ය. පසුගිය පස් අවුරුදු කාලයේ, බලයේ සිටියේ ද්‍රවිඩ මුනේත්ර කසාගම් හෙවත් ඩී.එම්.කේ පක්ෂය ප්රමුඛ සන්ධානයයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඩී.එම්.කේ හවුල්කරුවෙකි. පක්ෂයට නායකත්වය දුන්නේත්, තමිල්නාඩු මහ ඇමැති ධුරය හෙබවූයේත් තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ එම්. කරුණානිධිගේ පුත්‍රයා එම්.කේ. ස්ටාලින්ය. ඩී.එම්.කේ පක්ෂය අන්ත පරාජයක් ලබා දෙවැනි තැනට පත්විය. ඩී.එම්.කේ පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 59 ක් පමණි. පසුගිය 2021 මැතිවරණයේ දී ඩී.එම්.කේ පක්ෂය ප්රමුඛ සන්ධානය විශිෂ්ට ජයක් හිමිකර ගත්තේ ආසන 159 ක් දිනා ගනිමිනි.
‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂයේ ආගමනයට පෙර ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු ‘ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්ර කලහම්’ හෙවත් ‘ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.’ පක්ෂයයි. ‘ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.’ පක්ෂයේ නායකයා එඩප්පාඩි කේ. පලනිසාමිය. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය ප්රමුඛ ‘ඉන්දියා’ සන්ධානය ‘ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.’ හවුල්කරුවෙකි. ඊයේ (4) ප්‍රතිඵල නිකුත් වෙද්දී ‘ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.’ පක්ෂය ප්රමුඛ සන්ධානයට ආසන 47 ක් හිමිවිය.
විජේගේ ‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂය මැතිවරණයට තරග කරමින් ජයග්‍රහණය ලැබුවේ තනිවමය. බහුතරය දිනා ගැනීමට නොහැකි වූ බැවින්, ඔවුන් ඔවුන්ට හිතවත් පක්ෂයක් හවුල් කර ගනු ඇත. ‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂය මෙවර මැතිවරණයෙන් ඉදිරියට පැමිණීම, තමිල්නාඩු දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් බව පැහැදිලිය. දශක ගණනක් තිස්සේ තමිල්නාඩු දේශපාලනයේ බලය මාරුවෙන් මාරුවට ඩී.එම්.කේ. පක්ෂය සහ ඒ.අයි.ඒ. ඩී.එම්.කේ. පක්ෂය අතරේ දෝලනය විය. තලපතිගේ ආගමනයත් සමග එම ද්වන්ධ සටන අවසන්ය.
දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු වන විජේ හෙවත් තලපති විජේ ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය දෙමළ නළුවෙකි. දේශපාලන ප්‍රතිපත්ති තුළ තමිල්නාඩුවේ ප්‍රධාත ම දේශපාලන මතවාද දෙක වන දෙමළ මතවාදය සහ දෙමළ ජාතිකවාදය යන දෙකෙහි ම බෙදීමක් නොමැති බව සැමවිටම විජේ අවධාරණය කර ඇත. දෙමළ මතවාදය දෙමළ, තෙළිඟු, කණ්නඩ, මලයාලම් සහ තුලු යන භාෂා කතා කරන්නන් ද ඇතුළු සියලු දෙනා අයතාර්කිකවාදය, සමාජ සාධාරණත්වය පදනම් කරගත් මතවාදයක් වන අතර, දෙමළ ජාතිකවාදය යන්නෙන් අදහස් වන්නේ තමිල්නාඩුව දෙමළ භාෂාව කතා කරන්නන් සඳහා පමණක් යන්න ය. විජේ පෙන්වා දී ඇත්තේ, ‘මෙම මතවාද දෙක ම අපගේ ඇස් දෙක වගේ’ යනුවෙනි. විජේ රංගනයට සමු දී දේශපාලනයට පිවිසෙන බව නිවේදනය කිරීම ඔහුගේ රසික රසිකාවියන්ට කම්පනයක් මෙන්ම සතුටක් ද විය.
දෙමළ සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින තලපති විජේ සිනමාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළ සැණින් ඔහුගේ නව දේශපාලන පක්ෂය වන ‘තමිලාහ වෙට්රි කළහම්’ පක්ෂයේ වැඩ කටයුතු ආරම්භ කළේ ය. පක්ෂයේ නිල ධජය සහ නිල ගීතය ප්‍රසිද්ධියට පත් කළේය. පළමු පක්ෂ මහ සමුළුව පැවැත්වූයේ පක්ෂය පිහිටුවා මාස 8 කින් පසුවය.
දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන එස්. ඒ. චන්ද්‍රසේකර් සහ ගායිකාවක් වන ශෝබාගේ දරුවකු ලෙස එස්. ඒ. ජෝසප් විජේ චෙන්නායිහි දී උපත ලබන්නේ 1974 වසරේ ජුනි 22 වැනිදාය. ඔහු පළමුව සිනමාවට පිවිසින්නේ සිය පියා 1992 දී අධ්‍යක්ෂණය කළ නාලයියා තෙරප්පු’ චිත්‍රපටයෙනි. ඉන්පසු ඔහු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර, චිත්‍රපට ගීත 29ක් ද ගායනා කර ඇත.
විජේ රංගනයෙන් දායක වූ චිත්‍රපට 68ක් නිකුත් වී ඇති අතර, ‘ගෝට්’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන ශ්‍රී ලංකාවේ ද රූගත කෙරුණි. විජේගේ අවසන් චිත්‍රපටය ‘ජන නායගම්’ ය. මෙය හුදෙක් විජේගේ දේශපාලන ප්‍රතිරූපය සහ පක්ෂය ජනප්‍රිය කරලීමේ අරමුණින් නිර්මාණය කරන ලද්දකි. තමිල්නාඩු මැතිවරණයට ඔන්න මෙන්න කියා චිත්‍රපටය තිරගත කිරීමට සූදානම් වුවත් අධිකරණය ඊට හරස් විය. අවසානයේ කාටත් හොරා ‘ජන නායගම්’ චිත්‍රපටයේ ‘කොපියක්’ අන්තර් ජාලය හරහා ප්‍රසිද්ධ විය. විජේ ‘තලපති විජේ’ යන නමින් ආමන්ත්‍රණය කරන්නේ ඔහුගේ අතිශය ජනප්‍රියත්වය නිසාය. ‘තලපති’ යන්නෙන් ගම්‍ය වෙන්නේ නායකයා එසේත් නැතිනම් ‘ප්‍රධානියා’ යන අරුතය.
කලින් කලට පුවත් මවන තමිල්නාඩු මහ ඇමති ධූර මෙතෙක් දරා ඇති අයගෙන් බොහෝ දෙනෙකු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ අයයි. අවස්ථා හතරක දී තමිල්නාඩුවේ මහ ඇමති ධූරයට පත් එම්. කරුණානිධි දකුණු ඉන්දීය සිනමාවේ තිර පිටපත් රචකයකු ලෙස කටයුතු කර ජනප්‍රියත්වයට පත් වූ අයෙකි. ඩී.එම්.කේ පක්ෂයට නායකත්වය දෙන වර්තමානයේ තමිල්නාඩුවේ මහ ඇමති ධූරය දරන එම්. කේ. ස්ටාර්ලින් ඔහුගේ පුත්‍රයා ය. පස් වතාවක් මහ ඇමති ලෙස කටයුතු කළ ජයලලිතා ජයරාම් ද දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ නිළියකි.ඊට අමතර ව එම්. ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්. සහ ඔහුගේ මරණයෙන් හිස් වූ මහ ඇමති ධූරයට පත් වූ ඔහුගේ බිරිඳ වූ ජානකී රාමචන්ද්‍රන් ද සිනමාවේ ලැබූ ජනප්‍රියත්වයත් සමඟ දේශපාලනයට පිවිසි අයයි.
විජේගේ මැතිවරණ පොරොන්දුවල ඉහළින්ම ඇත්තේ කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනිම යන කාරණාවය. එදා ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකා ආග්රාමාත්ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වය යටතේ අස්සන් කළ ඉන්දු ලංකා සමුද්‍ර සීමා ගිවිසුමට අනුව කච්චතිව් දූපතේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවටය.කච්චතිව් දූපත අයිති ශ්‍රී ලංකාවට වන අතර මෙය ඉන්දියාවේ පිළිගැනීමය. පසුගිය කාලයේ මැතිවරණ වේදිකාවේ විජේ මෙය අභියෝගයට ලක් කළේය.
විජේගේ බිරිඳ සංගීතා සෝර්නලින්ගම් ය. ඇය ලන්ඩනයේ පදිංචි ශ්‍රී ලාංකික දෙමළ ව්‍යාපාරිකයෙකුගේ දියණියකි. විජේගේ දැඩි රසිකාවියක වූ ඇයව ඔහුට මුලින්ම මුණගැසී ඇත්තේ 1996 වසරේදී චිත්රාගාරයක් තුළදීය. පසුව දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතිව 1999 අගෝස්තු 25 වන දින ඔවුන් විවාහ විය. ඉකුත් පෙබරවාරියේ වාර්තා වූයේ විජේ සහ ඔහුගේ බිරිඳ සංගීතා සෝර්නලින්ගම් වසර 27ක විවාහ ජීවිතය අවසන් කිරීමට තීරණය කර ඇති බවය. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, සංගීතා විසින් තමිල්නාඩුවේ චෙංගල්පට්ටු අධිකරණය හමුවේ දික්කසාදය ඉල්ලා පෙත්සමක් ගොනු කර ඇත.මාධ්‍ය වාර්තා කරන අන්දමට, සංගීතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සමෙහි සඳහන් වන්නේ විජේ වෙනත් නිළියක සමඟ පවත්වාගෙන යන අනියම් සබඳතාවක් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවය. සමාජ සේවිකාවක මෙන්ම ව්‍යවසායිකාවක ද වන සංගීතා, දික්කසාදයට අමතරව තමන් මෙතෙක් පදිංචිව සිටි නිවසේ පදිංචි වීමේ අයිතිය මෙන්ම ස්ථිර නඩත්තු දීමනාවක් ද විජේගෙන් ඉල්ලා තිබේ. 1999 වසරේදී විවාහ වූ විජේ සහ සංගීතා යුවළට වයස අවුරුදු 25ක පුතකු (ජේසන් සංජේ) සහ 20 හැවිරිදි දියණියක ද (දිව්‍යා සාෂා) සිටිති.
ලුසිත ජයමාන්න NDTV ඇසුරිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd