කොටි සංවිධානය ඔවුන්ගේ බල ප‍්‍රදේශවල පොලිස් ස්ථාන පිහිටවනු ලැබුවේ 1991 වසරේදීය. කොටි පොලිසියේ ලොක්කා වූයේ කාලයක් ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරයකුව සිටි නඬේෂන්ය. ඔහුගේ බිරිඳ වූයේද ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරියක් ලෙස සේවය කළ විනීතා නමැති දකුණේ සිංහල කාන්තාවකි. 

 

 

සින්න පොඩියන් පුලේන්ද්‍රන් යාපනය කිලිනොච්චියේ පදිංචි අයෙකු වන අතර ඔහු කොටි පොලිසියට බැඳී ඇත්තේ 1992 වසරේ අගෝස්තු මස 15 වැනිදාය. ඒ කොටි පොලිසියේ කොස්තාපල්වරයෙකු වශයෙනි.

කොටි පොලිසියට කොස්තාපල්වරයෙක් ලෙස එක්වූ පුලේන්ද්‍රන් යාපනයේදී මාස 09 ක පමණ කාලයක් පුහුණුවීම් ලබා ඇත.
පුලේන්ද්‍රන් සමග තවත් 400 දෙනෙක් පමණ කොටි පොලිස් කොස්තාපල්වරුන් ලෙස පුහුණුවීම ලබා ඇති අතර ඔවුනට අවි පුහුණුවීම් සරඹ ඇතුළු පුහුණුවීම් ලබාදී ඇත්තේ කාලයක් ශ්‍රී ලංකා පොලිසියේ සැරයන්වරයකු ලෙස රාජකාරි කරමින් සිටි අතරවාරයේ කොටි පොලිසියට එක්ව සිටි රාජරත්නම් නමැත්තෙකි. 

කොටින්ගේ ඊලාම් සිහින රාජ්‍යයේ අගනුවර වශයෙන් ඔවුන් සැළකූ කිලිනොච්චිය නගරයේ ඒ වනවිටත් කොටි පොලිස් ස්ථානයක් ස්ථාපිත කර තිබුණ අතර පුලේන්ද්‍රන් එම පොලිසියේ සේවයට එක්වී තිබේ.

කොටි පොලිසියේ කොස්තාපල්වරයෙක් ලෙස බැඳුණු පුලේන්ද්‍රන් උප පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලබා මාන්කුලම් කොටි පොලිසියේ ස්ථානාධිපති තනතුරද දරා 2009 වසරේ මැයි මස 11 වැනිදා කොටිනායක ප‍්‍රභාකරන් නන්දිකඩාල් කළපු වගුරුබිමේ රණවිරුවන් අතින් මැරුම්කන තෙක්ම කොටි පොලිස් කාරයකු ලෙස සේවය කර ඇත.

පුලේන්ද්‍රන් අවසන් වරට සේවය කරමින් සිට ඇත්තේ කිලිනොච්චිය කොටි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසය. ඔහු 94 වසරේ සිට 2009 වසර දක්වාම මේ තනතුර දරා ඇත.

පුලේන්ද්‍රන් බිරිඳ හා දරුවන් 4 දෙනා සමග කිලිනොච්චියේ විනයාගපුරම් ගම්මානයේ නිදහසේ සැනසිල්ලේ ජීවත්වෙති.

කොටි පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් අපරාධ විමර්ශන අංශයක් භාර ලොක්කාද වී සිටි පුලේන්ද්‍රන් අද අඹු දරුවන් රකින්නේ රා මැදීමෙනි. 

කිලිනොච්චිය කොටි පොලිසියේ ක‍්‍රයිම්  ඕඅයිසී ලෙස එදා එල්.ටී.ටී.ඊයෙන් පත්කර සිටි පුලේන්ද්‍රන් අප ඉදිරියේ දැන් සිටින්නේ පසුගිය කාලයේ කළ කී දෑ ගැන කතාබහ කිරීමටය.

කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ද අප සමග එක්ව සිටි අතර පුලේන්ද්‍රන් සමග කතාබහ කිරීමේදී භාෂා පරිවර්තනයෙන් සහාය වූයේ කොස්තාපල් මහින්ද කුලසිංහ (44430) මහතාය.

කොටි පොලිස් ස්ථාන හා කොටි අධිකරණ පිහිටුවන්න පෙර ස්තී‍්‍ර දුෂකයින්, මිනීමරුවන් ගැන කොටි නායකයින්ට පැමිණිලි කළාම ඒ වගේ උන්ව අල්ලාගෙන ඇවිත් ප‍්‍රසිද්ධියේම ඔළුවට වෙඩි තියලා මරනවා. කොටි සංවිධානයේ කෙනෙක් මේ වගේ දෙයක් කරලා අහු වුණොත් එහෙම දරුණු වධ හිංසා දීලා අප‍්‍රසිද්ධියේ මරා දමනවා. කොටි පොලිසි, කොටි අධිකරණ පිහිටුවූවාට පසු ඒවා ගැන නිසි පරීක්ෂණ විමර්ශන පවත්වා අධිකරණයට ඉදිරිපත් කර නඩු විභාග කරල තමා දඬුවම් දෙන්නේ යැයි කතාබහට මුල පුරමින් පුලේන්ද්‍රන් කීවේය.

ස්තී‍්‍ර දුෂකයන්ට හා මිනීමරුවන්ට අනිවාර්යයෙන්ම හිමිවන්නේ මරණ දඬුවමයි. කොටි අධිකරණයක් මගින් යමෙකුට මේ වැරැුදි දෙකම නඩු විභාග කරලා වරදකරු බවට තීන්දු කළායින් පස්සේ එවැනි අයව කොටි බන්ධනාගාරයක විශේෂිත සිර මැදිරියක රඳවා තබනවා. මරණ දඬුවම හිමිවූ අයගේ පවුලේ කිට්ටුම අයට බලන්න පුළුවනි. හැබැයි මරණ දඬුවම දෙන තැනට නම් පවුලේ අයට එන්න තහනම්. මරණ දඬුවම දෙන දවසට කලින් දවසේ ශබ්දවාහිනි යන්ත‍්‍රයක් බැඳගෙන ප‍්‍රදේශය පුරා ඒ ගැන ප‍්‍රචාරය කරනවා. 
මරණ දඬුවම නියමවූ තැනැත්තා අතින් දුෂණයට ලක්වූ කාන්තාව හෝ තරුණිය ගැන, මරණයට පත්වූ තැනැත්තා හෝ තැනැත්තිය ගැන, මරණ දඬුවම ලබාදෙන ස්ථානය හා වේලාව ගැන ප‍්‍රචාරය කරන්නේ කැමැති අයට මරණ දඬුවම දෙන හැටි බලන්න එන්න පුළුවනි. මෙහෙම ප‍්‍රසිද්ධියේ වෙඩි තබලා මරලා දමන්නේ ආයෙත් මේ වගේ දේවල් සිදුවීම වළක්වා ගැනීමටයි. මරණ දඬුවම දෙනවා බලන්න හරියට සෙනඟ එනවා.

 

සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර
කිලිනොච්චි පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිති
සින්න පොඩියන් පුලෙන්ද්‍රන්

 


මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ කොහොමද?

සම්පූර්ණයෙන්ම මුහුණ රෙද්දකින් වහලා කොටි බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව යටතේ මරණ දඬුවම හිමිවී සිටින පුද්ගලයා මරණ දඬුවම දෙන තැනට කැඳවාගෙන එනවා. මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන අළුගෝසුවන් කොටි සංවිධානය විසින් පත්කර තිබෙනවා. ඒ අළුගෝසුවත් ඇස් දෙක පමණක් පේන විදිහට මුහුණ ආවරණය කරගෙන එතැනට පැමිණෙණවා. ඔහු එන්නේ කොටි සන්නද්ධ අංශයේ 10-15 එක්ක විතර. පස්සේ අළුගෝසුවා මරණ දඬුවම හිමිවී සිටින පුද්ගලයා සමීපයට ගොස් හිසට පිස්තෝලයකින් වෙඩි තියනවා. කොටි සංවිධානයේ දොස්තර කෙනෙක් ඇවිදින් ඔහු මිය ගිය බවට තහවුරු කරනවා. දණ ගස්සා තබා වෙඩි තියන්නේ.

 

 

මරා දමපු කෙනාගේ සිරුර පවුලේ අයට භාරදීමක් නැත්ද?

පවුලේ උදවිය මළ සිරුර භාර ගන්න කැමැත්ත ප‍්‍රකාශ කළොත් කොටි බන්ධනාගාර නිලධාරින් ගෙදරටම ගිහින් බාර දෙනවා. අකමැතිනම් කොටි බන්ධනාගාර නිලධාරින් සිරුර වළ දමනවා. මරණ දඬුවම ලබාදුන්නු සමහර අයගේ සිරුරු භාර දෙන්න ගියාම කොටි බන්ධනාගාර නිලධාරින්ට සහ කොටි පොලිසියේ අයට පවුලේ අය පහර දුන්නු අවස්ථා  ඕනෑ තරම් තිබෙනවා. පහරකෑමට ලක්වී තුවාල පවා සිදුවී තිබෙනවා. කොටි පොලිසියේ හා කොටි බන්ධනාගාර නිලධාරින්ට පහරදීමෙන් තුවාල වුණාම පහරදීම්වලට සම්බන්ධ අය අත්අඩංගුවට අරන් කොටි උසාවිවලට දාලා සිර දඬුවම් ලබාදෙනවා.

 


ප‍්‍රසිද්ධියේ වෙඩිතබා මරා දමන්නේ ස්තී‍්‍ර දුෂකයන් හා මිනීමරුවන් පමණක්ද?
පුලේන්ද්‍රන්

කොටි සංවිධානය පාවා දෙන අයටත් ප‍්‍රසිද්ධියේ වෙඩිතබා මරනවා. හමුදාවට පොලිසියට ඔත්තු දීලා සාමාන්‍ය අය අහුවුණොත් කොටි උසාවිය ඒකට වරදකරු කළොත් වෙඩි තබා මරා දමනවා. සංවිධානය පාවාදීලා අහුවෙන කොටි සාමාජික සාමාජිකාවන්ට අප‍්‍රසිද්ධියේ

කොටි පොලිස්පතිගේ පහරදීමෙන් ඇතිවූ කැළැල්.

වෙඩිතබා මරා දමනවා. ප‍්‍රසිද්ධියේ වෙඩිතබා මරා දමන්නේ නැහැ. කොටි සංවිධානය පාවා දෙන සාමාන්‍ය වැසියන් විතරයි ප‍්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන්නේ. එහෙම අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙන්නේ නැහැ. ද්‍රෝහීන් හැටියට සළකා වළ දමනවා. සිරුර වළ දැමූ තැන පහනක්වත් පත්තු කරන්න ඥාතීන්ට තහනම්.

මරණ දඬුවම නියමවී සිටින සමහරු වෙඩි තියන තැනට ගෙනාපුවාම වෙව්ලනවා. තවත් සමහරු සිහි නැතිව ඇද වැටෙනවා. සිහිය ආවාට පස්සේ වෙඩි තබා මරා දමනවා. මරණ දඬුවම නියමවුණ කෙනකුට කවමදාවත් නිදහස ලැබිලා නැහැ. මරණ දඬුවම නියමවී සිටින පුද්ගලයාගේ පවුලේ අය ප‍්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටියත් වැඩක් වන්නේ නැහැ. ප‍්‍රභාකරන් මරණ දඬුවම ලබාදුන් කෙනකුට නිදහස ලබාදී නැහැ.

නය ඒ 9 මාර්ගයේ පරන්තන්  හංදියේ විශාල කොහොඹ ගස් කිහිපයක් පිහිටා ඇති අතර 80-90 දශකවල මිනීමරුවන්, ස්තී‍්‍ර දුෂකයින් හා කොටි සංවිධානය පාවා දෙන්නන් අල්ලාගෙන ඇවිත් මේ කොහොඹ ගස්වල යකඩ දම්වැල්වලින් දින කිහිපයක් එල්ලා තබා වතුර පොදක් හෝ කෑම ටිකක්වත් ලබා නොදී අවසානයේ වෙඩි තබා මරා දමා ඇත.

හන්දිවල ඇති ගස්වල එල්ලා මරා දැමීමට අමතරව විදුලි පහන් කණුවල ගැට ගසා වෙඩි තබා මරා දැමීමද කොටින් විසින් මුල් කාලයේ සිදුකර ඇති බව පුලේන්ද්‍රන් පවසයි.

ඒ 9 මාර්ගය ආසන්නයේ කිලිනොච්චිය මූලස්ථාන පොලිස් ස්ථානය පිහිටා ඇති අතර පොලිස් ස්ථානයට ඇතුළුවන ගේට්ටුව අසළ කොහොඹ ගසක් පිහිටා තිබේ.

පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි මේ කොහොඹ ගසේ අත්තක යකඩ දම්වැලක් ගැට ගසා තිබෙන අයුරු දක්නට ඇත.

කොටි සංවිධානය පාවා දෙන්නන්, ස්තී‍්‍ර දුෂකයින්, මිනීමරුවන් අල්ලාගෙන ඇවිත් මේ කොහොඹ ගසේ එල්ලා ඇති දම්වැලේ එල්ලා වෙඩි තබා ඇති බව දැන ගත්තේ කිලිනොච්චියේදී අපට හමුවූ සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකුගෙනි.

කොටි ත‍්‍රස්තවාදීන් විසින් අපරාදකරුවන් එල්ල තැබීමට යොදාගන්නා ලද කොහොඹ ගසක ගැට ගසා තිබූ දම්වැල් (කිලිනොච්චි පොලිසිය ඉදිරිපිට).

මේ කොහොඹ ගසේ ඇති යකඩ දම්වැලේ මිනිසුන් එල්ලා ඝාතනය කිරීම සිදුකර ඇත්තේ 80-90 තරම් කාලයේය.

කිලිනොච්චිය කොටි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ලොක්කා වන පුලේන්ද්‍රන් කොටි සංවිධානය කළ තවත් මිලේච්ඡු කි‍්‍රයාවක් ගැන තොරතුරු හෙළිකරමින් පැවැසූ කථාවක් මෙසේ ගෙනහැර දක්වමු.

කිලිනොච්චිය නගරය හමුදාව හතර අතින් වටකර ඉදිරියට ඒමට සූදානමින් සිටින බව දැන ගත්තායින් පස්සේ කොටි නායකයන් සාමාන්‍ය ජනතාවත් සමග කිලිනොච්චිය අතහැර මුලතිව්වලට පසුබහින්න තීරණය කළා. වසර ගණනාවක ඉඳලා යුද්ධයෙන් ආබාධිත වුන කොටි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් කොටි පුනරුත්ථාපන කඳවුරුවල සිටියා. ඇවිදගන්න බැරි විදිහට ආබාධිත වෙලා හිටිය කොටි සාමාජික සාමාජිකාවන්ට කිලිනොච්චිය අතහැර පලා යාමට කලින් වෙඩි තියා මරා දමන්න ප‍්‍රභාකරන් ඇතුළු ඉහළ කොටි නායකයන් තීරණය කළා.

මේ තීරණය නියෝගයක් වශයෙන් දැනුම් දුන් පසු කිලිනොච්චියේ කොටි පුනරුත්ථාපන කඳවුරුවල හිටපු ඇවිදගෙනයාමට අපහසු කොටි සාමාජික සාමාජිකාවන් සියලූ දෙනාටම වෙඩිතබා මරා දැම්මා. ඒ විතරක් නොවේ සටන් පෙරමුණට ගිහින් ඇස් දෙකම අන්ධ වෙලා හිටපු කොටි සාමාජික සාමාජිකාවන් වෙඩිතබා මරා දැම්මා. මෙසේ මරා දැමූ අය අතර කොටි නායක නායිකාවන් පවා හිටියා. මේ වගේ අය මුලතිව්වලට රැගෙනයාම අපහසු නිසයි වෙඩි තියා මරා දමන්න ප‍්‍රභාකරන් නියෝග කර ඇත්තේ. මේ බව පසුව අප දැන ගැනීමට ලැබුණා. 

වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් සටන් පැවැති සමයේ වෙල්ලමුල්ලි වයික්කාල් ප‍්‍රදේශයේ පිහිටි කොටින්ගේ තිප්පොළකට හමුදාවේ කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ලවී ඇති බවත් කාලතුවක්කු උණ්ඩ කිහිපයක් පතිතවීමෙන් අඩි 100ක් පමණ දිග කන්ටේනරයක්ද පුපුරා විනාශවී ගිය බව පුලේන්ද්‍රන් පවසයි.

අඩි 100ක් පමණ දිග මෙම කන්ටේනරය ගැන තවදුරටත් අප සමග විස්තර හෙළි කරමින් පුලේන්ද්‍රන් කීවේ මෙවැනි කතාවකි.
කාලතුවක්කු ප‍්‍රහාරයෙන් විනාශවූ ඔය කන්ටේනරයේ සම්පූර්ණයෙන්ම පුරවා තිබුණේ රත්තරන් බඩු. කොටින්ගේ රත්තරන් බඩු පුරවා තිබූ කන්ටේනරයක් විනාශයට පත්වෙලා තිබුණ බව දැනගත් සාමාන්‍ය මිනිස්සු විනාශවූ කොටි තිප්පොළ පිහිටි තැනට ඇවිත් පොර කකා රත්තරන් බඩු එකතු කරගත්තා. රත්තරන් බඩු ගන්න පොරකද්දි කිහිප දෙනෙක් පෑගී මැරුණා. එතකොට මමත් හිටියේ වෙල්ලමුල්ලි වයික්කාල් ප‍්‍රදේශයේ.
 

 

මෙච්චර රත්තරන් තොගයක් කොටින්ට කොහෙන්ද?

කොටි සංවිධානය විදෙස්ගතවීමට යන හා විදෙස්ගතවී එන සාමාන්‍ය වැසියන්ගෙන් කප්පම් වශයෙන් රත්තරන් බඩු කප්පම් වශයෙන් ගත්තා. ඒ විතරක් නොවේ පවුල්වල සිටින ළමයි සංවිධානයට බඳවා ගන්න ඉල්ලූවාම යමක් කමක් ඇති පවුල්වල උදවිය ඔවුන් සතුව තිබෙන රත්තරන් බඩු දීලා ළමයි බේරාගත්තා. ඔය විදිහට සාමාන්‍ය මිනිස්සුන්ගෙන් කාලයක් තිස්සේ ඉඳලා උදුරා ගත්තු රත්තරන් බඩු තොගයක් තමා කන්ටේනරයේ දමා තිබුණේ. 

වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් සටන් පැවැති කාලයේ හමුදාව රජයේ පාලන ප‍්‍රදේශවලට සාමාන්‍ය ජනතාවට එන්න කියා දැනුම් දුන් පසු වැලනොකැඞී මිනිස්සු යන්නට පටන් ගත්තා. සාමාන්‍ය ජනතාව රජයේ පාලන ප‍්‍රදේශවලට යාම කොටි නායකයන්ට ලොකු ප‍්‍රශ්නයක් වුණා. ඒ නිසා රජයේ පාලන ප‍්‍රදේශවලට පලායන සාමාන්‍ය ජනතාව දිගට හරහට කොටි වෙඩි තියන්න පටන් ගත්තා. හුඟ දෙනෙක් මැරුම් කෑවා. මැරුම් කාපු සමහර අය පැළඳගෙන හිටපු රත්තරන් බඩු පැහැරගත්තු අය  ඕනෑ තරම් හිටියා. මැරිච්ච අයගේ රන් බඩු ගලවාගෙන ඇවිත් විකුණලා පොහොසත්තු වෙච්ච සාමාන්‍ය පුද්ගලයන් ගණනාවක්  අදටත් කිලිනොච්චියේ ඉන්නවා. මැරුණු අයගේ රන් බඩු ගලවා ගන්නා හැටි ඇස් දෙකෙන්ම දැක්කා. 

 

ධර්මපුරම් පිහිටි කොටි සිර මැදිරි.

 

කොටි පොලිස්පති පී. නඬේෂන් කොටි පොලිස්කාරයින්ට තද නීති රීති මාලාවක් කි‍්‍රයාත්මක කර තිබී ඇති අතර ඒ ගැන තොරතුරු හෙළිකරමින් පුලේන්ද්‍රන් පැවැසුවේ මෙවැනි කතාවකි.

කොටි පොලිසියේ මොනම තරාතිරමක අයකුටවත් සිගරැට්, අරක්කු බීම සපුරා තහනම්. රාජකාරි වේලාවේ විතරක් බුලත් විට කන්න බැහැ. රාජකාරිය හමාර කිරීමෙන් පසු පමණක් බුලත් විටක් කන්න පුළුවනි. රාජකාරි වේලාවේ මේවා කරලා අහුවුණොත් දඬුවම් කරනවා. සමහර අවස්ථාවල දම්වැලකින් පහර දෙනවා. කිසිම සමාවක් නැහැ. 

අල්ලස් අරන් එහෙම අහුවුණොත් වෙඩි තියලා මරා දමනවා. කිසිම නඩු විභාගයක් නැහැ. ඒ හින්දා කොටි පොලිසියේ කිසිම කෙනෙක් අල්ලස් ගත්තේ නැහැ. වෙඩිකාලා මැරෙන්න වෙන නිසා බයට අල්ලස් ගත්තේ නැත්තේ.

මම කොටි පොලිසියේ සේවය කරන කාලේ හොරුන්ට මංකොල්ල කාරයින්ට පාරේ නිකරුණේ රස්තියාදු ගහන අයට බෝක්කු උඩ වාඩිවෙලා ඉන්න අයට හොඳ හැටි පහර දෙනවා. එහෙම පහර දෙන්නේ නැතිව මිනිස්සුන්ව හදන්න බැහැ. පහරදීමක් නොකර අපරාධයක සුලමුල හෙළිකරගන්න බැහැ. ඒ නිසා අපරාධකාරයන්ට හොඳට මතක හිටින්න ගහන්න  ඕනෑ. අදටත් සමහරු මාව දැක්කාම බයයි. මොකද කොටි පොලිසියේ සේවය කරන කාලයේ මා සැර පරුෂ කෙනෙක්. වැරැුදි කරන එවුන්ට හොඳට ගුටි බැට දුන්නු කෙනෙක්. ඒ නිසා හුඟ දෙනෙක් අදටත් බට බයයි. මම කවදාවත් අහිංසක මිනිස්සුන්ට ගහලා නැහැ. පාරෙ යන ගැහැණු ළමයින්ට අනවශ්‍ය විහිළු තහළු කරලා අහුවන අයටත් මම හොඳට ගහනවා. 

කිලිනොච්චිය නගරයේ රස්තියාදු ගහපු කොල්ලෝ කට්ටියක් අල්ලාගෙන පාරේ මැද්දේ තියාගෙන හොඳටම තඩි බෑවා. මේ කොල්ලෝ කට්ටිය කොටි පොලිස්පතිට මේ ගැන පැමිණිලි කරලා නඬේෂන් මාව එයාගේ කාර්යාලයට කැඳවා කොටි පොලිස් කමිසය ගලවන්න කියා අණ කළා. පස්සේ මට චේන් එකකින් පහර දුන්නා. කොටි පොලිසියේ ලොක්කන්ට වුනත් එයා වරදක් කරලා අහුවුනොත් චේන් එකකින් ගහනවා.

පුලේන්ද්‍රන් නමැත්තා තමාට එදා කොටි පොලිස්පති නඬේෂන් චේන් එකකින් ගැසූ පහරවල්වල සළකුණක් ඔහු ඇඳ සිටි කමිසය ගලවා අපට පෙන්නුවේ සිනාසෙමිනි.

ඔහුගේ පිට හරහා වැදුණු චේන් පහරක සළකුණු දක්නට තිබිණි.

කොටි පොලිස්පති පහර දුන්නා කියලා මගේ පහරදීම් නැවතුණේ නම් නැහැ යැයිද පුලේන්ද්‍රන් නමැත්තා පවසන්නේ තරමක උජාරුවකින් බව අපට පෙනී ගිය කරුණකි. 

කොටි පොලිස්පති නඬේෂන්ගේ සිංහල ජාතික බිරිඳ විනීතා නෝනා වැඩිය එළියට යන්න එන්න කැමැති කෙනෙක් නොවන බවත් නිවසට වී කාලය ගත කිරීමට පුරුදුව සිටි අයෙක් බවත් පුලේන්ද්‍රන් නමැත්තා පවසයි.

පුලේන්ද්‍රන් පවසන ආකාරයට විනීතා ගෙදරින් එළියට බැස්සේ උත්සව අවස්ථාවකට පමණයි. ඇය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලූවා මිස කොටි සංවිධානයේ කටයුතු කිසිවකට සමිබන්ධ නොවූ බවද පුලේන්ද්‍රන් පවසයි.    කොටි නායකයාව සිටි ප‍්‍රභාකරන්ට එක වගේ ජීප් රථ 6ක් ගමන් බිමන් යාම සඳහා තිබී ඇත. ඒවා පැජරෝ වර්ගයට අයත් අඳුරු වීදුරු සහිත ජීප් රථයි. ඔහු ගමනක් බිමනක් යනවිට මේ ජීප් රථ තුනක් පමණ යන අතර කොයි ජීප් රියේ ගමන් කරනවාද කියා කිසිවකුට සිතා ගැනීමට නොහැකිය. මේ ඔහුගේ ආරක්ෂාව සඳහා ගන්නා එක් පියවරකි.

කාලවකවානුව ගැන කියන්න තරම් මතකයක් දැන් නැහැ. කොටිනායක ප‍්‍රභාකරන්ගේ දුව විභාගෙට ලියන්න කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට එන දවස්වලට ඉස්කෝලේ වටේ ලොකු ආරක්ෂාවක් දානවා. එයා විභාගෙට ලියලා අවසන් වෙලා ගෙදර යනකම් පිස්තෝලයක් ඉනේ ගහගත්තු කොටි සාමාජිකාවක් එයා ළඟට සමීප වෙලා ඉන්නවා. එද්දි යන වාහනේ නොවේ ආපහු යන්නේ. කොටි දේශපාලන අංශයේ නායකයාව සිටි තමිල් සෙල්වම්ගේ නිවස පිහිටලා තිබුණේ ඉස්කෝලේ ළඟමයි. ප‍්‍රභාකරන්ගේ දුව විභාගෙට ලියලා ඉවරවුණාම ඒ ගෙදරට ගිහින් තමා පස්සේ ප‍්‍රභාකරන් ඉන්න තැනකට යන්නේ. ප‍්‍රභාකරන් එයාගේ දරුවන්ට විතරයි ආදරය කළේ. අනෙක් අයගේ දරුවන් ගැන කිසිම කැක්කුමක් තිබුණේ නැහැ යැයි පුලේන්ද්‍රන් කියා සිටියේය.

 

 

ප‍්‍රභාකරන්ගේ දරුවන්ට හා බිරියටද ප‍්‍රභාකරන්ට වාගේම ඔවුන් ගමන් බිමන් යන විට ආරක්ෂාවක් සැපයූ බවද පුලේන්ද්‍රන් පවසයි. 
පුලේන්ද්‍රන් අප සමග තවත් එක්තරා ආකාරයක අපූරු කතාවක්ද හෙළි කළේය. මේ ඒ කතාවයි.

අනුරාධපුරයේ සිට 1950 වසරේ තරම් ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් විශ්වමඩු හා ධර්මපුරම් යන ගම්මාන දෙකට පදිංචියට පැමිණ ඇත. මේ ගම පැවත එන්නේ 1950 වසරේදී ආ අයගේ පවුල්වල අයගෙනි.


 

සටහන : ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය - ඡායාරූප : මාදම්පේ එස්. හේරත්