තමිල්නාඩුවේ විපක්ෂ නායක හා ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් (ඞී.එම්.කේ) පක්ෂයේ නායක මුත්තුවේල් කරුණානිධි පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතළ  ප‍්‍රකාශයක් කර තිබේ. ශ්‍රී ලංකාවේ තමිල් ඊලමක් සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙසට ඉන්දියාව එ.ජා සංවිධානයට බල කළ යුතුයැයි යන්න එම ප‍්‍රකාශයයි. මෙය පසුගිය මාර්තු 23 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුව කරුණානිධි තමිල් ඊළමක් අවශ්‍ය බවට කළ දෙවැනි ප‍්‍රකාශයයි. තමන්ගේ ඉටු නොවූ අපේක්ෂාවක් ඇත්නම් ඒ තමිල් ඊළම යැයි ඔහු මීට පෙර කියා තිබිණි. එ.ජා. සංවිධානයේ මැදිහත් වීමෙන් සහ එම සංවිධානය විසින් පවත්වන ලද ජනමත විචාරණ මගින් බොහෝ අලූත් රාජ්‍යයන් බිහිවී ඇතැයි ද කරුණානිධි පැවසූ බව හින්දු පුවත්පත පසුගිය බදාදා වාර්තාකොට තිබිණි. කරුණානිධිගේ ප‍්‍රකාශය විමසා බැලීමට පෙර සඳහන් කළයුතු කරුණක් වන්නේ එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ශ්‍රී ලංකාවේ සංහිඳියාව සඳහා ගෙන එන ලද්දකැයි බටහිර රටවල් හා බොහෝ රාජ්‍ය නොවන සංවිධාන පුන පුනා කීවද එමගින් යටපත් වෙමින් තිබුණු බෙදුම්වාදයට එක්තරා දුරකට පණක් ලැබී තිබේ යන්නයි. කරුණානිධිගේ ප‍්‍රකාශය එහි එක් ප‍්‍රකාශයක් පමණි. තමන්ගේ ඉටු නොවූ එකම අපේක්ෂාව තමිල් ඊළම පමණකැයි කරුණානිධි පවසන්නේ දකුණු ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් සඳහා ගොඩ නගන ලද පක්ෂයක නායකයා වශයෙන් කටයුතු කරමිනි. 1950 ගණන්වලදී ඞී.එම්.කේ. පක්ෂය වත්මන් තමිල්නාඩුව කේරළය, ආන්ද්‍ර ප‍්‍රදේශ් හා කර්නාටක යන ප‍්‍රාන්ත ඇතුළත් දුවිඩ රාජ්‍යයක් සඳහා පෙනී සිටි අතර පසුව තමිල්නාඩුවේ වෙනම රාජ්‍යයක් සඳහා උද්ඝෝෂණය කළේය. ඉන්දීය මධ්‍යම රජය 1963 දී බෙදුම්වාදීන් මැතිවරණවලට තරග කිරීම තහනම් කරමින් ආණඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීමත් සමග ඞී.එම්.කේ. පක්ෂය වෙනම දෙමළ රාජ්‍ය සංකල්පය අත්හැරියේය. එසේ නැතිව කරුණානිධි ඇතුළු ඞී.එම්.කේ. නායකයන් වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස අත් හැරියේ එම අපේක්ෂාව ඉටු වූ නිසා නොවේ. කරුණානිධි බෙදුම්වාදී අතීතයක් ඇති ඞී.එම්.කේ. පක්ෂයට නායකත්වය දෙනවා පමණක් නොව එකල බෙදුම්වාදය ප‍්‍රචාරය කළ ‘‘මුරසොලි’’ පුවත්පත ද තවමත් සිය පක්ෂයේ පුවත්පත වශයෙන් පවත්වාගෙන යයි. එහෙයින් ස්වාධීන තමිල්නාඩු රාජ්‍යයද කරුණානිධිගේ ඉටු නොවූ අපේක්ෂා ලැයිස්තුවට අයත් විය යුතුය. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනතාව සහ තමිල්නාඩුවේ ජනතාව ජනවාර්ගික වශයෙන් සහ භූගෝලීය වශයෙන් සමීපව ජීවත්වන හෙයින් මෙරට දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිදුවන දෑ පිළිබඳව තමිල්නාඩු ජනතාව උනන්දුවක් දැක්වීම තේරුම් ගතහැකි කරුණකි. එහෙත් මෙරට දෙමළ ජනතාව පිළිබඳ තමිල්නාඩු දේශපාලනඥයන්ගේ ‘‘කැක්කුම’’ නම් සැක සහිතය. 1990 ගණන්වල සිටම මෙරට ජනවාර්ගික ප‍්‍රශ්නය හා කොටි සංවිධානය සම්බන්ධයෙන් තමිල්්නාඩු දේශපාලනඥයන්ගේ ප‍්‍රතිපත්ති සහ ආකල්ප පවතින්නේ විටින් විට වෙනස් වෙමිනි. මුලදී ඔවුන් අතර පැවතියේ ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී සංවිධානවලට සහාය දීමේ තරගයකි. 1980 ගණන්වලදී ඞී.එම්.කේ පක්ෂය ශ්‍රී සභාරත්නම්ගේ නායකත්වයෙන් කි‍්‍රයාකළ ටෙලෝ සංවිධානයට සහාය දුන් අතර ඞී.එම්.කේ. පක්ෂයෙන් කැඞී චිත‍්‍රපට නළු එම්.ජී. රාමචන්ද්‍රන්  විසින් පවත්වාගෙන ගිය සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂය කොටි සංවිධානයට සහාය දුන්නේය. එම්.ජී.ආර්. කොටි සංවිධානයට කෝටි ගණනින් මුදල් ආධාර ද දුන්නේය. එහෙත් 1991 දී කොටි සංවිධානය හිටපු අගමැති රාජීව් ගාන්ධි ඝාතන කිරීමෙන් පසු මේ තත්ත්වය හාත්පසින්ම වෙනස් විය. ඉන් පසු දක්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී සංවිධානවලට සහාය දීම සම්බන්ධයෙන් එකිනෙකට චෝදනා කර ගැනීමේ තරගයකි. එම්.ජී.ආර්.ගෙන් පසු අන්නා ඞී.එම්.කේ. පක්ෂයේ නායකත්වයට පත් වූ ජයලලිතා ජයරාම් දැඩිලෙස කොටි සංවිධානයට විරුද්ධ වූ අතර ඇය කොටි සංවිධානයට සහාය දීම සම්බන්ධයෙන් කරුණානිධිට නොකඩවා චෝදනා කළාය. කරුණානිධිද ජයලලිතාගේ පක්ෂය කොටි සංවිධානයට කළ ආධාර උපකාර සිහිපත් කරමින් චෝදනා කරන්නට විය. මේ තත්ත්වය වෙනස් වන්නට වූයේ ශ්‍රී ලංකාවේ යුද්ධය තීරණාත්මක තත්ත්වයට පත්වීමත් සමගය. ඒ සාමාන්‍ය ජනතාව යුද්ධයට කොටුවීම නිසාය. මුලදී යුද්ධයට මැදි වූ සාමාන්‍ය ජනතාව පිළිබඳ අනුකම්පාව දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි මතවාදයක් ගොඩ නැගුණු අතර පසුව තමිල්නාඩුවේ යම් යම් පක්ෂ එළිපිටම කොටි සංවිධානයට සහාය පළ කිරීමට ද පටන් ගත්තේය. කොටි සංවිධානය ඉන්දියාවේ තහනම් සංවිධානයක් වූ හෙයින් මෙසේ එම සංවිධානයට සහාය පළ කළ මරුමලර්ච්චි දුවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂයේ නායක වයි. ගෝපාලස්වාමි (වයිකෝ) හා දෙමළ ජාති ව්‍යාපාරය නායක පී. නෙඩුමාරන් කිහිප වතාවක්ම අත්අඩංගුවට ද පත් වූහ. නැගෙනහිර පළාතේදී මෙන් නොව වන්නියේදී තමන්ට පසු බසින්නට සිදු වූ විට කොටි සංවිධානය ගම්මාන පිටින් සාමාන්‍ය ජනතාව ද තමන් සමගම රැගෙන ගොස් එම ජනතාව පළිහක් කර ගත්තේය. අවසානයේදී මුලතිව් දිස්ති‍්‍රක්කයේ කුඩා බිම් කඩකට මෙම ජනතාවත් කොටි සංවිධානයත් කොටු වූ විට එම ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සෑම රටක්ම පාහේ කතා කරන්නට විය. තමිල්නාඩුවේ මේ නිසා දැඩි නොසන්සුන් බවක් ඇති විය. යුද්ධය නතර කර ලෙස ඉල්ලා 11 දෙනෙක් තම සිරුරට ගිනි තබාගෙන මිය ගියහ. තමිල්නාඩු දේශපාලනඥයෝ ශ්‍රී ලංකාවේ සමූහ ඝාතන සිදුවන බවට චෝදනා කරන්නට වූහ. 2008 ඔක්තෝබර් 15 වැනිදා සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවූ කරුණානිධි යුද්ධය නැවැත්වූයේ නැතිනම් තමිල්නාඩුවේ සියලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බවට තර්ජන කළේය. එහෙත් ඉල්ලා අස්වන බවට නියම කළ දිනය ළඟාවත්ම ඞී.එම්.කේ මන්තී‍්‍රවරු නොසන්සුන් වූහ. ඞී.එම්.කේ. පක්ෂය සමග සභාගයක් ලෙස මධ්‍යම ආණ්ඩු පවත්වාගෙන යන කොංග‍්‍රස් පක්ෂය ද කලබලයට පත් විය. දෙපාර්ශ්වයට මේ තත්ත්වයෙන් ගැලවෙන්නට අවශ්‍ය විය. මධ්‍යම රජය ශ්‍රී ලංකා රජය ඇමතූ අතර එවකට ජනාධිපති උපදේශකයකු වූ බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලියට ගොස් තම රජය ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයන බව කීවේය. මෙය අලූත් පොරොන්දුවක් නොවුවත් ඉන් සෑහීමකට පත් වූ ඞී.එම්.කේ. මන්තී‍්‍රවරු තම ඉල්ලා අස්වීම දින නියමයක් නැතිව ‘‘කල් දැමූහ’’ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කරන බවට චෝදනා කළ ඞී.එම්.කේ නායකයන් ජනාධිපතිවරයාගේ සොහොයුරා තම රටට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේද නැත. 2009 ජනවාරි 2 වැනිදා ආරක්ෂක හමුදා කිලිනොච්චිය අල්ලා ගැනීමට පෙර සමූහ ඝාතන ගැන කතා කළ තමිල්නාඩු දේශපාලනඥයන්ගේ ආකල්ප කිළිනොච්චි සටනින් පසු යළිත් වෙනස් විය. එතෙක් ජන ඝාතන ගැන කතා කළ ජයලලිතා හදිසියේ 2009 ජනවාරි 17 වැනිදා පැවැති ජනමාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ කොටි සංවිධානය තම පාලනය යටතේ නැති ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාවට යන්නට ඉඩ හරින්නේ නම් එම අහිංසක දෙමළ ජනතාව යුද්ධයට හසුවී මියයාම වැළැක්විය හැකි බවයි. එපමණක් නොව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවල අරමුණ දෙමළ ජනතාව ඝාතනය කිරීම නොවේ යැයි ඇය ප‍්‍රකාශ කළේ සියල්ලන් මවිතයට පත් කරමිනි.  ඕනෑම යුද්ධයකදී සාමාන්‍ය ජනතාව මිය යාම නොවැළැක්විය හැකි දෙයක් බවත් එය  ඕනෑම රටකට පොදු තත්ත්වයක් බවත් ඇය කී විට ඇගේම පක්ෂයේ අයට පවා එය ජීර්ණ කර ගත නොහැකි විය. උග‍්‍ර කොටි විරෝධියකු වන ඉන්දියාවේ ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි ද ඇගේ මතය අනුමත කළේය. ඔහුද ඊට ටික දිනකට කලින් ශ්‍රී ලංකාවේ හමුදා දෙමළ ජනතාව ඝාතනය කරන බවට චෝදනා කළ අයෙකි. ජයලලිතාගේ ප‍්‍රකාශය බෝවන රෝගයක් මෙන් වෙනත් පක්ෂවලට බලපෑම් කරන්නට විය. තමන්ගේ පාලන කාලයේදී කොටි සංවිධානයට අවශ්‍ය පරිදි මිනිස් ඝාතන හා කොල්ලකෑම් කරන්නට ඉඩ දුන් කරුණානිධිද 2009 පෙබරවාරි 3 වැනිදා සිය පක්ෂයේ විධායක සභා රැස්වීමේදී ප‍්‍රකාශයක් කරමින් ප‍්‍රභාකරන් 1987 දී තමිල් ඊළමේ ඒකාධිපති රාජ්‍යයක් බිහිකරන්නට කටයුතු කළදා පටන් කොටි සංවිධානය කෙරෙහි වූ තම පක්ෂයේ මිත‍්‍රත්වය අහෝසි වූ බව කීවේය. තමන්ට දැන් කොටි සංවිධානය තිත්ත වී ඇතැයි කරුණානිධි එහිදී කීවේය. ඔහු මේ ප‍්‍රකාශය කරන විට කොටි සංවිධානය ලක්ෂ ගණනක්වූ සාමාන්‍ය ජනාතාව ද සමග මුලතිව් දිස්ති‍්‍රක්කයේ ඈත මුහුදු වෙරළේ කුඩා බිම් කඩක කොටු වී සිටියේය. 1987 සිට කොටි සංවිධානය කෙරෙහි වූ තම මිත‍්‍ර ආකල්පය වෙනස් වී ඇතැයි කරුණානිධි කීවද, කොටි සංවිධානය 1990 ජූනි 19 වැනිදා තමිල්නාඩුවේ කෝඩම්බාක්කම්හිදී ඊ.පී.ආර්.එල්.එෆ් නායක පද්මනාබා ඇතුළු 10 දෙනකු ඝාතනය කරන විට ප‍්‍රාන්තයේ ප‍්‍රධාන ඇමැතිව සිටියේ කරුණානිධිය. ඝාතනය කළ වුන් සැඟ වී සිටි නිවසට ඝාතනය සිදු වූ දිනම රාති‍්‍රයේම ගිය පොලිස් නිලධාරියකු කළේ ඔවුන් අත්අඩංගුවට ගැනීම නොව ඔවුන්ට පසු දින පොලීසියට පැමිණෙන ලෙසට දැනුම් දීම පමණි. ඊට ආසන්න දිනෙකම ප‍්‍රාන්තයේ පොලිස් මුරපළක දී පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීහු කිහිප දෙනකු කොටි සංවිධානය විසින් ඝාතනය කරනු ලැබූහ. ඒ පිළිබඳව ද සාර්ථක පරීක්ෂණයක් කෙරුණේ නැත. ඒ පිළිබඳව කොතෙක් විවේචන එල්ල වූව ද කරුණානිධි ඒවා ගණන් ගත්තේ නැත. තවත් හාස්‍යජනක කරුණක් නම් තමන්ට කොටි සංවිධානය තිත්ත වී ඇතැයි කියන්නට සති කිහිපයකට කලින් කොටි සංවිධානයේ නායක වේලූපිල්ලයි ප‍්‍රභාකරන් තමන්ගේ හොඳ මිතුරෙකැයි කරුණානිධි කියා තිබිණි. තමිල්නාඩු දේශපාලනඥයන් ඒ ඒ කාලවල සිදුවන සිදුවීම් දෙස බලා තමන්ගේ අදහස් වෙනස් කරගෙන කරන ප‍්‍රකාශ අනුව පෙනෙන්නේ ඔවුනට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය හුදු දේශපාලන ආයුධයක් පමණක් බවයි. ප‍්‍රාන්ත හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් ළං වනවිට ඔවුන්ගේ ප‍්‍රධාන තුරුම්පුවක් වන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයයි. තමිල්නාඩු දේශපාලනඥයන් සහ දෙමළ ඩයස්පෝරාව නොසලකා හරින කරුණක් නම් ඔවුන්ගේ ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට කෙසේ බලපානු ඇත්ද යන්නයි. ඔවුන් තමිල් ඊළමක් පිළිබඳව එතෙර සිට කරන ප‍්‍රකාශයක් පාසා උතුරු නැගෙනහිර සිදුවීම් දෙසත් එහි ජනතාව දෙසත් වඩ වඩාත් සැලකිල්ලෙන් බලා සිටින්නට මෙරට ආරක්ෂක අංශවලට බල කෙරෙන බව ඔවුනට නොවැටහේ. නැත්නම් වැටහුනත් ඒ ගැන නොතකා තමන්ගේ අරමුණු වෙනුවෙන් එම ප‍්‍රකාශ දිගටම කරගෙන යති.
එම්.එස්.එම්. අයුබ්