කලුවාදේවගේ සිරිල් මැතිව් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නට ජේ.ආර්. ජනාධිපතිවරයා තීරණය කළේය. 1984 වසරේ දී ය. සිංහලයන් වෙනුවෙන් කතා කළ මහා නායකයකු සේ හෙතෙම ජනතා ප්‍රසාදය දිනා සිටියේය. බුදු දහම හා සිංහල ජාතිය ගැන කෘතියක් ද රචනා කර ජනතාව අතර බෙදාහැරියේය. උතුරේ ත්‍රස්තවාදය ඇවිළෙමින් තිබිය දී සියලු පක්ෂ කැඳවා වට මේස සාකච්ඡාවකට යන්නට ජේ.ආර්. ආණ්ඩුවට සිදුවිය. මැතිව් වට මේස සාකච්ඡාව තදට විවේචනය කළේය. ආණ්ඩුවක් ගන්නා තීරණ සාමුහික එකකි. කැබිනට් මණ්ඩලයේ දී එකට එකතු වී ගන්නා තීරණ ප්‍රසිද්ධ වේදිකාවේ දී වෙනම විවේචනය කිරීම ප්‍රශ්නයකි. ඇතුළත ගිනි තිබෙන්නට බැරිකමක් නැත. කවුළුවෙන් දුම් නැගෙන විට අවුලුවන්නට සුදුසු මොහොත සතුරෝ දැන ගනිති. දක්ෂ පාලකයකුට ඉවසිය නොහැකිය. ජේ.ආර්. ගේ තීන්දුව සිරිල් මැතිව්ට පමණක් කරන ලද තරවටුවක් නොවේ.  හැත්තෑ හතේ ආණ්ඩුවේ අත පය සොලවමින් සිටි බලවත් චරිතවලට අනතුරු ඇඟවීමක් විය.

ගැටුම් හා කෝලාහලවලින් රටක් දියුණු කරන්නට පුළුවන්නම් ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉදිරියෙන්ය. නායකයකු තෝරාගන්නේ ප්‍රශ්න විසඳා ගන්නය. නැති ප්‍රශ්න ඇති කරන්නට නොවේ. පසුගිය දශක හත තුළ ලංකාව අප්‍රමාණ අර්බුද ඇති කරගත්තේය. දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී පමණක් නොව හිතින් මවාගත් මිථ්‍යා අදහස්වලින් ද පැන නැගි ඒවාය.


ජනතාව තද නායකත්වයක් ඉල්ලා සිටි පසුබිම
රනිල් - චන්ද්‍රිකා සහ මෛත්‍රී - රනිල් ආණ්ඩු කාලය තුළ සිදුවූ වෙනස්කම් ගැන ජනතාවට වැටහීමක් තිබුණි. දෙපැත්තට ඇදීමෙන් සෙතක් සිදුවූයේ නැත. දේශපාලනඥයන් සිටිය දී දේශපාලනඥයකු නොවූ ගෝඨාභය තෝරා ගත්තේ පොදු ජනතාවය. ත්‍රස්තවාදය පරාජය කරන බලවේගය තුළ ගෝඨාභයගේ භූමිකාව අනන්‍ය එකකි. ලාබ ප්‍රසිද්ධිය පැත්තකට දමා යුද බිමේ සිටි සෙබළුන්ගේ ධෛර්යය නංවන පියවර ගත්තේය. අත්දැකීම් මනා සේ පිටුවහලක් විය. යුද බිමෙන් පසු වැඩබිමට පැමිණි ගෝඨාභය ආරක්ෂක සහ නාගරික අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් පරිවර්තනයකට තීරණ ගත්තේය. තැනට ඔබින තීරණ සහ ඡන්ද පදනම ගැන නොලසකා කරන ලද වැඩ කොටස ඔහු ඉහළටම ඔසවා තැබීය. විධායක ජනාධිපති ධුරය එහි ගිරි මුදුනය. පොදු ජනතාව තමන්ගේ කැමැත්තෙන් ඡන්දය පාවිච්චි කරන විට ඔහු ගේ පියවර මතින් ඇවිද ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්නට සෑහෙන කණ්ඩායම් පෙළගැසිණ. හැට නව ලක්ෂයක් කැමැත්ත දුන්නේ ගෝඨාභය අයිතිකරගන්නට තැත් කළ පිරිසකට නොවේ. ජනතාව සහ නායකයා අතර සෘජු තීන්දුවක් අනුවය.

ජනතාවාදී නායකයා බලයට පත් කරන්නේ තමන්ගේ පදයට වැටුණ ඡන්දවලින් බව කල්පනා කරන පටු කණ්ඩායම් ජනාධිපතිවරයා කටයුතු කළ යුතු ඔවුන්ගේ අභිලාශ අනුව යැයි කල්පනා කරන්නේ නම් වරදකි. ජනාධිපතිවරයා තීරණ ගත යුතු සුළු පිරිසකගේ වාසි වෙනුවෙන් නොවේ. බහුතර ජනතාවගේ හිත සුව පිණිසය. සැනසිලිදායක රටක් හදන්නටය. ණය බර නැති දේශයක් ගොඩනගන්නටය. මානව අයිතිවාසිකම් ගැන බටහිර නගන චෝදනාවලට උත්තර දී නිදහස් අභිමානයක් වෙනුවෙන් බව අමතක කළ යුතු නැත. අවසාන වශයෙන් ජනතාව තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රටක් ප්‍රාර්ථනා කළහ. දෙකට, දෙපැත්තට නොව කෙළින් වැඩ කරන පිරිසුදු නායකයකු තමන්ගේ සිහින සැබෑ කරනු ඇතැයි විශ්වාස කළ බව රහසක් නොවේ. මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී රට නැවත ගොඩනගන කණ්ඩායම තුළ නොසිටිය යුතු සිරිල් මැතිව් ලා සොයා තීරණ ගැනීමත් විධායක ජනාධිපතිවරයා සතු අයිතිවාසිකමකි.  


පියවරක් පසුපසට ගැනීම සහ ආයෝජන අවස්ථා
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය මෙම ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධ සන්ධිස්ථානයකි. නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා රජයේ තීරණයකි. එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයක් නොවේ. ශ්‍රී ලංකා ආණ්ඩුව, ඉන්දියාව හා ජපානය යන මිතුරු රටවල් එකට එකතු කරන ආයෝජනයකි. එක පැත්තකින් චීනය, අනෙක් පැත්තෙන් ලාංකේය පෞද්ගලික සමාගමක් වන ජෝන් කීල්ස් ව්‍යාපාරය සමග කොළඹ වරායේ තරඟකාරීත්වයක් ඇති කරන ව්‍යුහයකි. නැවක් වරායට පැමිණීම රටට ආර්ථික වාසියකි. රස්සා හැදෙන්නේ මෙරට තරුණ පිරිසටය. වරායේ අංශ තුන හතරක කඩිමුඩියක් ඇති පසුබිමක සේවා සක්‍රීය වෙයි. එහෙම හිතන්නට පුළුල් දැක්මක් නැති පටු පිරිස් රට වෙන්දේසි කරන යෝජනාවක් සේ අර්ථ දක්වන්නට නැඹුරු වූහ. වරාය වෘත්තීය සමිති වෙඩි මුරය තැබීය. සංඝරත්නයේ ඇතැම් කණ්ඩායමක්, දේශපාලනඥයන්, විරුද්ධ පක්ෂ සහ වියත් මග ඇතුළු විවිධ කොටස් ඝෝෂාවට අනුව අවදි වූහ. අන්තිමේ දී කැබිනට් සාමාජිකයන් පමණක් නොව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද වරාය ආයෝජනය නතර කරන තීරණයට එකතු වී සිටී.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආණ්ඩුව සන්තකයේ තබා ගෙන බටහිර පර්යන්තය ආයෝජනයකට වෙන්කරන තීරණයක් කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත. බටහිර පර්යන්තයේ කොටස්වලින් සියයට අසූ පහක් පවරන්නට සූදානම් බව ප්‍රකාශ වී තිබේ. නැගෙනහිර ආයෝජනයට ඉඩ නොදුන් බලවේග බටහිරට අත තබන්නට දෙන්නේ නැත. බටහිර ආරක්ෂා කරන බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. පෞද්ගලීකරණය නොකරන බවට තීරණයක් ව්‍යවස්ථාවට ඇතුළු කරන තෙක් සටන නතර නොකරන බව වෘත්තීය සමිති අවධාරණය කර ඇත. තීරණාත්මක කඩුල්ල ඩැහැගත් පසු ඉතිරි කඩුලු දවා ගැනීම තරඟයේ ස්වභාවයකි. ආණ්ඩුව පියවරක් පසුපසට ගෙන තිබේ. රට වෙනුවෙන් ද නැත්නම් ඡන්ද පදනම වෙනුවෙන් ගත් දේශපාලන තීන්දුවක් ද යන්න ඉතිහාසයේ ලියැවෙනු ඇත.


වියතුන් ගේ දිග පළල මැන ගත හැකි දර්ශක
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරගැනීමත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ආණ්ඩුව ලබාගත් ජයග්‍රහණයත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ලඝු කළ යුතු නැත. ඉතා පටු අදහසකි. අණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොරෝනා වසංගතය මැඩ පවත්වන කාර්ය සාධක බළකායක් ගැන වගන්තියක් නොතිබුණි. වයිරසය පාලනය කරන එන්නතක් සොයා ගතහොත් මිල දී ගැනීමට මෙහෙයැවෙන ආකාරය ලියා තිබුණේ නැත. එහෙම නොතිබුණ පමණින් තීරණ ගැනීම බාධාවක් නොවේ. සාමුහිකත්වය වැදගත්ය. නායකත්වය එයටත් වඩා උසස්ය.

ආණ්ඩුවක් හෝ නායකයකු හෝ ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ සියයට සියයක් සාර්ථක නොවෙන්නට ඉඩ තිබේ. අසාර්ථක හා අත්හදාබැලීම් ගණනාවක් අවසානයේ එකක් හරියටම හරියන්නට ඉඩ තිබේ. වරදින දහයක් ගැන තීන්දුවක් ඉල්ලන්නට කලින් රටක් හදන්නට ගන්නා ප්‍රයත්නය සාධාරණීකරණය කිරීම අවශ්‍යය. කල්පනා කර හැම පැත්තෙන්ම හිතා බලන්නට විද්වතුන් පියවර ගත යුතුය. වත්මන් ආණ්ඩුව වටා විද්වත්හු පෙළ ගැසුණෝය. තීරණවල දී යුක්ති යුක්තභාවය වෙනුවෙන් පර් යේෂණාත්මකව කල්පනා කරනු ඇතැයි අපේක්ෂාව විය. අන්තිමේ දී අන්තවාදී අදහස්වලට ගොදුරු වී තිබේ. රටක් අන්තවාදයට නතු කිරීම සුදුසු ස්වභාවයක් නොවේ.

ලෝකයේ ස්වභාවය එක තැනක නැත. දැවැන්ත තරඟකාරීත්වයක් තිබේ. බල අරගලයකි. ඇමරිකාව හා සෝවියට් දේශය සමග තිබුණ සීතල යුද්ධයට සමාන එහෙත් එයට වඩා තියුණු පසුබිමක් ඇත. එක පැත්තකින් ඇමරිකාවය. අනෙක් පැත්තෙන් චීනය බව පෙන්වා දිය යුතුය. දෙපැත්තෙන් එන පීඩනය විසිරෙන්නේ ඉන්දියන් සාගරයේය. වාසනාවකට හෝ අවාසනාවකට ශ්‍රී ලංකාව එහි කේන්ද්‍රය බවට පත්ව ඇත. කියැවීම හරියට කරගතහොත් නැගෙන්නට බැරිකමක් නැත. වරද්දා ගත්තොත් පීඩන අවපාතයකට හසුවීම වැළැක්විය නොහැකිය. බලවත් රාජ්‍යයන්ගේ බල අරගලය තුළ ක්‍රියාත්මක විය යුතු උපායශීලී පිළිවෙළක් තිබේ. ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැගිය යුතු ආකාරයක් තිබේ. ප්‍රතිපත්ති සකස් කළ යුතු එළැඹුම අනුවය. දියවැල එන දිසාව බලා හසුරවන්නට සමත්විය යුතු කපිතාන්ය. ආධාරකරුවන්ට ද අදහසක් තිබේ. ඒවා කිරා මැන තීරණය නැව්පතියාගේය. දෙපැත්තකින් නැගෙන රැලි දෙස බලා නැගෙන රැල්ලට පැනීම බුද්ධිමත් තීරණයක් නොවේ.   


ලාබ ජනප්‍රියත්වයක් ද ජනතා ගෞරවය ද
රටක් ඉදිරියට ගෙනයන්නට පරිණත දේශපාලනයක් අවශ්‍යය. ලාබ ජනප්‍රියත්වය පලක් නැත. වර්තමාන සංකීර්ණ සන්නිවේදන පරිසරය අභියෝගයක් බව පිළිගත යුතුය. මාධ්‍යකරණයේ විලාසය වෙනස් වී තිබේ. සාම්ප්‍රදායික මාධ්‍ය අභිබවා සමාජ මාධ්‍ය ඉදිරියෙන්ය. මතය හැදෙන්නේ එතැනය. සමාජ මාධ්‍යයෙහි මතය හදා පාඩමක් ඉගෙනගත් නායකයෝ මෑත ඉතිහාසයේ අවලංගු කාසි බවට පත්වූහ. ඩොනල්ඩ් ට්‍රම්ප් හොඳම උදාහරණයකි. ට්වීට් පණිවුඩවලින් රට පාලනය කළේය. ජනප්‍රියත්වය තීරණවල එල්බ සිටියේය. අන්තිමේ දී ඇමරිකානුවෝ යථාර්ථය වටහා ගත්හ. ලාබ අදහස්වලින් රටක් පාලනය කරන්නට පුළුවන්කමක් නැත. බහුතරයක් පිනවන තීන්දු ජනප්‍රියත්වය ඇති කරයි. ජනප්‍රිය නායකයන් ජනතා ගෞරවය දිනාගන්නේ කලාතුරකින්ය. තීරණ තිත්තය. තිත්ත තීරණ තුළ මිහිරි පැවැත්මක් තිබේ. අරගලය තිබිය යුතු රට හදන්නටය. අලුත් දෙයක් නිර්මාණය කරන්නටය. පවතින රාමුව එහෙමම ඔසවාගෙන යන්නට විශාල ප්‍රයත්නයක් අවශ්‍ය නැත.

රටට ඇති ප්‍රශ්නය වරාය සංවර්ධනය නොවේ. වරාය ආයෝජනය  එක පුපුරකි. ආර්ථිකය හා ජාත්‍යන්තර බලපෑම් ඇවිළෙමින් තිබේ. අනෙක් පැත්තෙන් දියුණු තියුණු වී ඇති කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමග බව අමතක කළ යුතු නැත. ආයෝජනයක් ගැන තීරණ ගැනීම ආණ්ඩුව විශාල මතබේදාත්මක තැනකට තල්ලු කරන විට අනෙක් තීරණාත්මක තීරණවලට මුල පුරන්නට පුළුවන්කමක් නැත. ජනතාව ප්‍රාර්ථනා කළ වෙනස ඇති කරන පියවර අඩාල වනු නිසැකය.


මෙම විරුද්ධත්වය හැර තවත් විරෝධතා තිබේ ද?
පසුගිය අවුරුද්ද තුළ රට තුළ විරෝධතා හැර තිබුණ අනෙක් දෙයක් නැත. රට ලොක් වඩුන් කර නොතිබුණානම් තත්ත්වය තවත් වෙනස්ය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ විරෝධතාවලට ඉඩක් තිබේ. විරුද්ධත්වය පමණක් නොව එකඟවීමත් වැදගත්ය. පාරක් හැදුවත්, ඉඩමක් වෙන් කළත්, දුක් ගැනවිල්ලක් හමුවේත් පමණක් නොව ආයෝජනයකත් පරහක් දැකීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. සමාජ සංස්ථාව විකෘතිවීමේ ප්‍රතිඵලයකි. වගකීම් හා යුතුකම් මතක නැත. වෘත්තිකයන්, ආගමික නායකයන්, දේශපාලනඥයන් හා විපක්ෂ නියෝජිතයන් අතර ප්‍රතිසන්ධානයක් අවශ්‍යය. එහෙම නැති පසුබිමක් තුළ ජාතීන් අතර සමගි සන්ධානයක් හා සහජීවනයක් ගොඩනගන්නේ කෙසේද? මෙම කෝලාහලය ලෝක ප්‍රජාව ඉදිරියේ අවමානයකි. එක අරමුණක්, එක අනන්‍යතාවක් නැති රටකට කෙණෙහිලිකම් කෙළවරක් නැත. ජිනීවා මානව හිමිකම් කොමිසම පවා එයින් ප්‍රයෝජන ගෙන තිබේ. ත්‍රස්තවාදය පරාජය කර රටක් නිදහස් කරගන්නට සමත් වූ දවසේ සිට අද දක්වා එක උත්තරයක් දෙන්නට අප අසමත්ව තිබේ. ආණ්ඩු වෙනස්වන සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මාරුවන පිළිවෙළ අනුව වචන වෙනස් කර තිබේ. මෙවැනි තැන්වලින් ඇතිකරන ගැහැට අවසානයේ වන්දි ගෙවන්නට සිදුවෙන්නේ ජනතාවටය.

දීර්ඝකාලීන ගැටුම් තිබුණ රටක සමාජ එකඟතාව ඇතිකර ගැනීම පහසු නැත. බුද්ධිමත්ව වචන හැසිරවෙන තැනකට කැඳවීම දුෂ්කරය. සැකය, අවිශ්වාසය මුලට පැමිණෙයි. සුළු පිරිසක් අත උඩතබා මවා පෙන්වන මිථ්‍යාවට ගොදුරු වීම සාමාන්‍යයෙන් සිදුවෙයි. දියුණු රටවල් සමාජය හදන්නට කලින් මානසිකත්වය දියුණු කරයි. ධනාත්මකව හිතන්නට හුරු කරයි. ලංකාවේ පාසල් අධ්‍යාපනයේ සිට ආත්මාර්ථකාමීත්වය ඉහවහා ගොස් තිබේ. තැනක් ගන්නට අනෙකා යටපත් කළ යුතුය යන ආකල්පයෙහි සිටී. අනුන්ගේ විපතෙන් සතුටට පත්වන සමාජයක ආඩම්බර විය යුතු දෙයක් නැත. සමබරව හිතන්නට සහ මධ්‍යස්ථව තීරණගන්නට අධිෂ්ඨානයක් අවශ්‍යය. මධ්‍යම ප්‍රතිපදාව සහ අටලෝ දහම ගැන වැඩිම අවබෝධය ඇත්තේ අපටය. අන්තවාදයෙන් පලක් නැති බව බුද්ධ දර්ශනය සනාථ කර තිබේ. සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න විසඳාගැනීම ගැන හොඳම පාඩම අපගේ හදවත් තුළ ඇත. වෛරයෙන්, ගැටුම් ඇතිකර ගැනීමෙන් කෙළවරක් සෙවීමට තීරණය කිරීම සුදුසු නැත. මේවා ගැන පිළිවෙළකට ක්‍රියා කරන්නට ආගමික හා සමාජ නායකයන් පියවරගත යුතුය.

(*** සාරා කන්දෙගොඩ)