ස්වභාව දහමේ දායාදයක් වූ මිනිසා, එම ධර්මතාවයට විරුද්ධවීම නිසාම, සමස්ත රටවැසියන්ටම එහි ප‍්‍රතිවිපාක විඳීමට සිදුව තිබේ.

පරම ආයුෂ ලැබූ නිරෝගී රටවැසියන්ට රෝගාබාධයන්ට ගොදුරුව, අඩු වයසින් මියයාමේ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව දැන් දැන් අසන්නට ලැබෙන්නේ එම නිසා ද විය හැක.

ඩෙංගු ද එලෙස මිනිසාගේ සදාචාරය පිරිහී යාමෙන් බැටකන්නට සිදුවූ රෝගයක් ලෙසට හඳුන්වා දුන්නාට වරදක් නැත.

මානව ආචාර ධර්මයන්හි වෙනසක් ඇතිකර ගත හැකි නම් ඩෙංගු වළක්වා ගැනීම අදට ද අපහසු කටයුත්තක් වන්නේ නැත.

මෙම විශ්වය පවතිනුයේ පරිසරය තුළ ඇති සත්වමය හා ශාකමය සාධක මතය. ස්වභාව දහම ආරක්ෂාකර ගත් නිසාම අතීතයේ මිනිසාට සතුන්ගෙන් පරිසරයෙන් හානි නොවුණ තරම්ය. ඔවුන් ආරක්ෂා කළේ ස්වභාව දහමය.

අතීතයේදී පරිසරයට අපද්‍රව්‍ය වලින් ආක‍්‍රමණය කිරීමට නොහැකි වූ නිසාම මදුරු විස පිළිබඳ සඳහන් වන්නේ අඩුවෙනි.

එදවස රට ගිලගත් මැලේරියා රෝගයට ද ප‍්‍රධානම හේතුව වූයේ කැලෑ එළිපෙහෙළිකර මදුරුවන්ට බෝවීම පහසු ජලාශ ඉදිකිරීමය.

රත්තජ්ජර, රත්තපිත්තජ්ජර යන නාමයෙන් රෝගයක් පිළිබඳ ආයුර්වේදයේදී සඳහන්ව ඇතත් එය වර්තමානයේ හඳුන්වන ඩෙංගු රෝගය පිළිබඳවම යැයි කිව හැකි නිශ්චිත සාධක නොමැත.

අතීත දන්තයන්ට අනුව මදුරුවාගේ වාසභූමිය වන්නේ කැලයයි. කැලය එළිපෙහෙළිකර නාගරිකරණය වීම නිසාම මදුරුවාට කැලයේ වාසස්ථාන නැතිවී ගොස් මනුෂ්‍ය වාසස්ථාන ආක‍්‍රමණයට හුරුවී ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරම් හේතුවෙනි.

ඩෙංගු යනු අප මිනිසාගේ ශීලාචාරකම තුළ පවතින ගැටලූවකි. කෙටියෙන්ම සඳහන් කළහොත් ඩෙංගු නමැති රෝගයක් පරිසරය තුළ නිර්මාණය කර ඇත්තේ මිනිසා විසින්මය.

කුමන සාධක ඔස්සේ සළකා බැලූව ද පිරිසුදු පරිසරයක් තුළ මදුරුවන් බෝවන බව අපි කිසිවිටෙක අසා නැත්තෙමු. එසේ නම් මූලිකම වරද වන්නේ අපිරිසුදු වටපිටාවක් නිර්මාණය කරන්නේ මනසින් උසස් මිනිසුන්මය.

එම නිසා ඩෙංගු පාලනය කළ යුත්තේ සෞඛ්‍යභාර ඇමැතිවරයා හෝ බටහිර පෙරදිග වෛද්‍යවරුන් හෝ විෂයට අදාළ වගකිව යුත්තන් නොවේ. මෙය කළ යුත්තේ අපිමය.

එයට ආකල්පමය වශයෙන් වෙනස් වීමක් අවශ්‍යය. එසේ නොමැතිව රෝගය වැළඳී රෝහල්ගත වූ විට ප‍්‍රතිකාර සඳහා යුහුසුළු වීම රෝගය වළක්වා ගැනීමේ නිවැරැදි ක‍්‍රමය වන්නේ නැත.

අපි සැවෝම වසර දෙකක් නොකඩවා තම ගෙවත්ත සතියකට වරක් පිරිසුදු කිරීමට අදිටන් කර ගන්නේ නම් සමස්. ශ්‍රී ලංකාවම එම කි‍්‍රයාදාමයට හවුල්කාරයන් වුවහොත් මෙම ඩෙංගු මෙරට නොහැදෙන බව ස්ථිරය. එසේ නොමැතිව මෙම රෝගය වළක්වා ලිය හැකි පහසු ක‍්‍රමවේදයක් ඇත්තේ නැත.

ඩෙංගු රෝගයෙන් පෙළෙන රෝගියකුට ආයුර්වේදයේදී පැපොල් යුෂ ලබාදීමෙන් රුධිර පට්ටිකා වැඩිවීම සිදුවන බව සොයාගෙන තිබේ.

සිදුකර ඇති පර්යේෂණයකින් ඔප්පුවී ඇත්තේ ප්ලීහාවේ නිපදවෙන රුධිර පට්ටිකා, රුධිරයට ඉක්මනින් මුදා හැරෙන අතර පැපොල් ඉස්ම වලින් රුධිර උද්දීපනයවීමක් ද සිදුවන බවය. කෙසේ නමුත් ආයුර්වේදයේ ඇති තිත්ත කසායවලට ද රුධිරයේ පට්ටිකා ප‍්‍රමාණය වැඩි වන බව ද සොයා ගෙන ඇත.

ඩෙංගු මූලික ලක්ෂණයෙන් පෙළෙන රෝගියකු කළ යුත්තේ ශරීර ප‍්‍රතිශක්තිය ආරක්ෂා කර ගැනීමය. ඒ වෙනුවෙන් ආයුර්වේදයේදී පෙන්වාදී ඇත්තේ රෝගියාගේ ශරීරයෙන් මුත‍්‍රා පිටවන ප‍්‍රමාණයට දියරමය ආහාරය ශරීරයට එක්කර ගැනීමය.

ඒ වෙනුවෙන් හාල් බැඳි කැඳ, හෝ හීං බෝවිටියා කැඳ, නැතහොත් යකිනාරං කොළ භාවිතයෙන් සකසා ගත් කැඳ භාවිතා කළ හැක. මේ තුළින් රෝගී ශරීරය තුළ ප‍්‍රතිශක්තිය ගොඩනැෙඟන අතර  ඕනෑම උණ රෝගියකුට මෙම පානයන් ලබාදිය හැක. මෙම ඖෂධීය කැඳ ඩෙංගු හෝ උණ වෙනුවෙන් ලබාදෙන ආයුර්වේද ඖෂධයන් නොවන අතර මේ තුළින් සිදුකරනුයේ ශරීර ප‍්‍රතිශක්තිය ලබාදීමත් රෝගය හේතුවෙන් ඇතිවිය හැකි අතුරු ආබාධයන් අවම කිරීමත්ය.

ඩෙංගු රෝගීන්ට සේම වෛරස් උණ රෝගයෙන් පෙළෙන්නන්ට ආයුර්වේදයට අනුව පස් පංගුව ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය. බටහිර ඖෂධ අවශ්‍ය අයෙකුට බටහිර වෛද්‍යවරයකුගේ උපදෙස් මත එම ප‍්‍රතිකාර සඳහා යොමුවිය හැක.

රෝගි තත්ත්වයෙන් මිදීමට අනුගමනය කළ යුතු තවත් වැදගත්කම කරුණක් වනුයේ ශරීරයේ ඇති තරල ප‍්‍රමාණය පාලනය කර ගැනීමට උත්සාහ දැරීමය. මේ සෑම දේ කරන අතර රෝගියා සියලූ දෛනික කාර්යයන්ගෙන් මිදී ඇඳ විවේකය ලබාගැනීමද රෝගය පාලනය කරගත හැකි සරළ උපක‍්‍රමයක් ලෙසට ආයුර්වේදයේදී පෙන්වා දේ.

මීට අමතරව රෝගියාගේ ශරීරයේ උණුසුම් බවක් ඇත්නම් මද රස්නය වතුරින් ශරීරය සෝදා පිරිසුදුකර ඝන රෙදිවලින් ආවරණය නොකර විවෘතව තබා ගැනීම ද කළ යුත්තකි.

මෙම සියලූ ප‍්‍රතිකර්ම කරන අතර ශරීරයේ මෘදු පඨක ආශි‍්‍රතව කුඩා රතු පැහැති බිබිළි මතුව ඇද්ද යන්න සොයා බැලිය යුතුය. එය ඩෙංගු අවදානමකි. එවැනි තත්ත්වයකින් රෝගියා පසුවුවහොත් හැකි ඉක්මනින් රෝහල්ගතවිම අනිවාර්යයෙන්ම කළ යුතුය.

බටහිර ප‍්‍රතිකාර වශයෙන් ගත්ත ද, ආයුර්වේද ප‍්‍රතිකාර වශයෙන් ගත්ත ද, දින දෙකකට වඩා උණ පවතී නම්, ”ඩෙංගු ඇන්ටිබොඩි” පරීක්ෂාවකට භාජනය වී පවතින උණ ඩෙංගු ද සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයක් ද යන බව නිශ්චිතව දැනගත හැකි වේ.

වෙනත් වෛරස් උණ තත්ත්වයන්හිදී ද රුධිර පට්ටිකා අඩුවන බැවින් ඩෙංගු හඳුනා ගැනිම සඳහාම ඇති පරීක්ෂාවකට ලක්වී නියමිත ප‍්‍රතිකාර සඳහා යොමුවීමෙන් රෝගි තත්ත්වය පාලනය කර ගැනීමටත් ජීවිත ආරක්ෂාකර ගැනීමටත් පහසුවෙන් කළ හැකි බව මතක තබා ගත යුතුය.

ආයුර්වේදයේදී ඩෙංගු වෛරස් තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් ඖෂධ කසාය පිළිබඳ සඳහන්ව ඇතත් එම කසාය ඩෙංගු රෝගියකු ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතය. එසේ නොමැතිව හිතුමතේට ප‍්‍රතිකාර ගැනීමෙන් රෝගියාට අවාසිදායක තත්ත්වයක් ඇතිවිය හැක.

පසුගියදා ඩෙංගු මැඬලීමට උක් හකුරු සහ රතුලූනු භාවිතය සුදුසු යැයි ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධ වී තිබුණත්, ආයුර්වේදයට අනුව එවැනි නිශ්චිත ප‍්‍රතිකාරයක් පිළිබඳ සඳහන් වන්නේ නැත.

නමුත් දීර්ඝකාලීනව ඖෂධ ලබාගන්නෙකු හෝ වෙනයම් රෝගයක් හේතුවෙන් රෝගී ශරීරයේ අක්මාවට වැඩි බලපෑමක් ඇති වී ඇතිනම් පැණිරස ආහාර ද්‍රව්‍ය වැඩිපුර ආහාරයට දීමෙන් සුවය ලැබෙන බව ආයුර්වේදයේදී පිළිගැනේ. එම නිසාම කිතුල් හකුරු, උක් හකුරු එවැනි රෝගි තත්ත්වයන්ගෙන් පෙළෙනා දියවැඩියාව නොමැති රෝගීන්ට ලබාදීම සිදුවේ.

රතුලූනු ආයුර්වේදයේදී හඳුනාගෙන ඇත්තේ විෂබීජහරණය සඳහා භාවිතා කරනා ද්‍රව්‍යයක් ලෙසටය. එම බීජය තුළ විෂ අවශෝෂණය වීමේ ගුණයක් තිබෙන බව ද පිළිගැනේ. එම නිසාම  ඕනෑම විෂ නැසීමේ ගුණයකට ආයුර්වේදයේදී රතුලූනු භාවිතා කෙරේ. අතීතයේදී සර්ප විෂ නැසීමට භාවිතා කළ ප‍්‍රධානම අමු ද්‍රව්‍යයන්ගෙන් එකක් වී ඇත්තේ ද රතු ලූනුය.

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදීත්, ඖෂධීය තෙල් වර්ග නිෂ්පාදනයේදීත්, රතුලූනු භාවිත කළ බවට ආයුර්වේද ග‍්‍රන්ථයන්හි සඳහන්ව ඇතත්, උණ රෝගීන්ට ඍජුව ලබාදිය හැකි ඖෂධයක් ලෙස සටහන්වී නැත.

රතුලූනු වල අන්තර්ගත රසායනික සංයෝගය නිසාම රතුලූනු පොතු හැර පරිසරයට නිරාවරණය කර තැබීමෙන් වළකින ලෙස කියා ඇත්තේ පරිසරයේ ඇති විෂ සහිත සංඝටක රතු ලූනුවලට උරා ගැනීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.

රතුලූනුවලට පරිසරය තුළ ඇති විස බීජයන්හි ඝනත්වය අඩුකළ හැකි නිසාම, වෛරස් රෝගයකින් පෙළෙනා රෝගියකු සිටින කාමරයක රතුලූනු කපා භාජනයකට දමා නිරාවරණව තැබීමෙන් පරිසරයෙන් රෝගියාට සිදුවන හානියත්, රෝගියාගෙන් පරිසරයට විය හැකි හානියත් අවම කරගත හැකිය.

 

 

බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි

 

සටහන:- අසුන්තා එදිරිසූරිය