ශ්‍රී ලංකාවේ 73 වැනි ජාතික නිදහස් උත්සවය සඳහා රජය ලහිලහියේ සූදානම් වෙමින් සිටී. මෙවර ජාතික නිදහස් උත්සවය සැමරීමට සිදුව ඇත්තේ කොවිඩ් වසංගතය තරමක තදින් පැතිර යාමේ අවදානමක් මැදය. කොළඹ නිදහස් චතුරශ්‍රයේදී එම උත්සවය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සීමිත පිරිසක් සහභාගීකරවා ගැනීමටද කටයුතු යොදා තිබේ. නිදහස් උත්සවයට සහභාගීවන්නන්ට පී.සී.ආර්. පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ සිදුකිරීමටද ඉකුත්දා සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබිණ. නිදහස් උත්සවයට සහභාගිවන පිරිස සීමා කළද ගරු ගාම්භීර අන්දමින් එම උත්සවය පැවැත්වීමට රජය කටයුතු යොදා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඇවිලුන ගින්න ඉදිරි දිනවලදී  තව තවත් ඇවිළී යනු ඇතැයි දේශපාලන විචාරකයෝ පැහැදිලි කරති. වරාය වෘත්තීය සමිති ඉතා තද තීන්දුවකට පැමිණ සිටී. නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට ලබාදීමට කිසිසේත් ඉඩ නොතියන බවද ඉදිරි දිනවලදී සටන් තීව්‍ර කරන බවද වරාය වෘත්තීය සමිති නායකයෝ ප්‍රකාශ කරති. නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්නය මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් බවට පත්වීමේ ලකුණු පහළ වෙලා. ඉන්දියාව ඉතා තද තීන්දුවක ඉන්නවා. ජැටිය ලබාගැනීම පිළිබඳව අනෙක් පැත්තේ ආණ්ඩුවට පක්ෂව කටයුතු කරපු පිරිස ප්‍රශ්නය දේශපාලන අර්බුදයක් බවට පත්කරන තත්ත්වයකට  පත්වෙලා’’ යැයි දේශපාලන විචාරකයෝ පවසති. මේ අතර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නවදිල්ලියට පත්කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා තවමත් රාජකාරී බාරගෙන නැත. හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කළේය. ඔහුට තානාපතිවරයකුටත් වඩා ඉහළ බලතලයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළේය.
කෙසේ වෙතත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් මහ කොමසාරිස්වරයා තවමත් රාජකාරී බාරගෙන නැති බවය.

නවදිල්ලි තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට සුවිශේෂයි. අනෙක් රටවලට සාපේක්ෂව ඉන්දියාව අපට විශේෂයි. අවුරුද්දක් තිස්සේ දිල්ලියට මහ කොමසාරිස්වරයෙක් පත්නොවීම පාඩුවක්. අපේ ආසන්නතම වැදගත් රට ඉන්දියාව යැයි දේශපාලන විචාරකයෝ පවසති. මීට අමතරව කැනඩාවට සහ සෞදිඅරාබියට පත්කර යවන ලද තානාපතිවරුන්ටද එම රටවලින් යම් යම් ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇතැයිද වාර්තාවේ. කැනඩාවට පත්කර ඉන්නේ ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකි. කැනඩාව තවම අනුමැතිය ලබාදී නැහැ.  සෞදි අරාබියත් තානාපතිවරයා සම්බන්ධයෙන් අනුමැතිය ලබාදී නැහැ. ඊට වෙනත් ගැටලුවක් බලපාන්න ඇතැයි අනුමාන කරන්න පුළුවන්’’ යැයි දේශපාලන විචාරකයෝ පවසති.

එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් කවුන්සිලය ජිනීවාහිදී පෙබරවාරි මස 22 වැනි දින රැස්වීමට නියමිතය. මෙවර මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධ ප්‍රශ්නය තරමක ගැටලු සහගත තත්ත්වයක් උදාකරනු ඇතැයි විදේශ මතධාරීහු අනතුරු හඟවති. “ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත්කර ගත්තා. එහෙත් වර්තමාන ජනාධිපති බයිඩන් නැවත ඊට එකතු වීමේ ප්‍රවණතාවක් දක්වනවා. ඒ නිසා  ශ්‍රී ලංකාවට අවධානයෙන් පසුවීමට සිදුවේවි යැයි විපක්ෂයේ දේශපාලනඥයකු ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ කොමිෂන් සභාවක් පත්කිරීමට ඉකුත්දා පියවර ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් සභාපතිත්වය හොබවන එම ත්‍රිපුද්ගල කොමිසමට පවරා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවල වාර්තා විමර්ශනය කර මාස 6ක් ඇතුළත වාර්තාවක් ලබාදීමටය. “මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව විමර්ශන කිරීම සඳහා පූර්වගාමීව පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මගින් සිදුකරන ලද විමර්ශනවලදී බරපතළ ගණයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් බරපතළ ගණයේ ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීම් වෙනත් එවැනි බරපතළ වැරදි පිළිබඳව අනාවරණය කරගෙන තිබේද විවිධ නිර්දේශ ලබාදී තිබේද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගතයුතු පියවර මොනවාද යන්න පිළිබඳව කරුණු නිර්දේශ කිරීම එම ජනාධිපති කොමිසමට පවරා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙක් ඉකුත් බ්‍රහස්පතින්දා වන විට කොරෝනා ආසාදිතයන් බවට පත් විය. අලුතින්ම හඳුනා ගත් රෝගියා රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ය. වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත, වසන්ත යාපා බණ්ඩාර සහ පවිත්‍රා වන්නිආරච්චි දේශපාලනඥයෝ කොරෝනා ආසාදිතයන් බවට පත්වූහ.

පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර සහ දයාසිරි ජයසේකර මේ වන විට සුවය ලබා නිවෙස්වලට ගොස් සිටිති. පාර්ලිමේන්තුව රැස්වීමද කොවිඩ් නිසා යළිත් වරක් කල්දැමීමට සිදුවූයේය. පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස 26 වැනි දිනය. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම කල්දැමීමට සිදුවීමද බරපතළ තත්ත්වයකැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පාර්ලිමේන්තු රැස්වීම් කල්දැමුණ ද එහි කමිටු රැස්වීම් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා කියයි.

මේ අතර කොරෝනා මෘතදේහ ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ අනිවාර්ය තීන්දු ඉකුත්දා එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනයට ලක්විය. ශ්‍රී ලංකා රජයේ එම තීන්දුව ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් ආරවුලක් කරා යොමුවීමට ඉඩ තිබේ යයිද එම තීරණය වෙනස් කරන්නැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කණ්ඩයමක් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. කොවිඩ් වසංගතය ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති නමුත් ඉන් මියයන රෝගීන්ගේ ආගමික විශ්වාසයන්ට ගරුකළ යුතු වන බවද එම විශේෂඥ කණ්ඩායම දන්වා තිබේ.

සමගි බලවේගයට නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ විධායක සභා රැස්වීමද නොබෝදා පැවැති අතර එහිදී සභාපති, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන්, ජාතික සංවිධායක ආදී ප්‍රධාන තනතුරුවලට එහි ඉහළ තලයේ නායකයෝ පත්කර ගත්හ. සභාපති පදවියට ෆීල්ඩ් මාර්ෂල් සරත්  ෆොන්සේකා පත්කරගනු ලැබීය.

කෙසේ වුවද මෙම තනතුර සඳහා කබීර් හෂීම් හෝ ඉමිටියාස් බාකිර් මාකර් හෝ යන දෙදෙනාගෙන් කෙනකු පත්කර ගැනීම මුලදී සම්මුතියක් තිබූ බවටත් කෙසේ හෝ අන්තිම මොහොතේ එය වෙනස්වී ඇති බවටත් පක්ෂ ඇතුළේ ආරංචිමාර්ගවලින් පැවසෙයි. විශේෂයෙන් එජාප ඉතිහාසයේ බොහෝ අවස්ථාවල සභාපති ධුරය සඳහා පත්වූයේ සුළු ජාතිකයෙකි.  ඔලු ගෙඩිවලින් වෙනස් වුවද සමගි බලවේගයේ ප්‍රතිපත්ති බොහොමයක් එජාපයට සමාන වන හෙයින් ඊට ප්‍රතිවිරුද්ධ, විරුද්ධ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේම සමහර පාර්ශ්වවලින් නොසතුටක් පළවී ඇතැයි වාර්තාවෙයි.
මෙවර නිදහස් උත්සවයට සහභාගිවීමට විපක්ෂනායක හා සමගි බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය ද මධ්‍යස්ථ මතධාරීන්ගේ පැසසුසට ලක්වී තිබේ. දේශපාලනයත් ජාතික උත්සවයත් එකට පටලවා නොගත යුතු බව මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වී ඇත.

මෙවර ද කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ය. ඒ පසුගිය සඳුදාය. අගමැති මහින්ද වේලාසනින්ම කැබිනට් මණ්ඩලයට ඔන්ලයින් ඔස්සේ එක් වූයේය. ඒ වනවිටත් ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල ඔන්ලයින් කැබිනට් මණ්ඩල රැස්වීමට ඒ ඒ අමාත්‍යවරුන් සිටින තැන්, දර්ශන හා හඬ පැහැදිලි දැයි පරීක්ෂා කරමින් සිටියහ. අගමැති මහින්ද ද ඔවුන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ට උපදෙස් දුන්නේය. “හඬ පැහැදිලි නෑ.. තව පොඩ්ඩක් රූප ලොකු කරන්න. බස්ට් එක (උඩුකය) ගත්තනම් හොඳයි..” වැනි උපදෙස් අගමැතිවරයා ඇමතිවරුන්ගේ කාර්යමණ්ඩලවලට උපදෙස් ලබා දුන්නේය.
කොවිඩ් වැළඳී සුව වූ ඇමති වාසු ද මෙවර කැබිනට් මණ්ඩලයට එක් වූයේය. වාසු පැමිණ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සැණින් ඔහුව දැක්කේ අගමැති මහින්ද ය. “කොහොමද වාසු..” අගමැති මහින්ද ඇසුවේය. “හොඳයි අගමැතිතුමා..” වාසු කීවේය. මේ වනවිට ඔන්ලයින් කැබිනට් රැස්වීමට බොහෝ ඇමතිවරු පැමිණ සිටියහ. ඔවුන් සියලු‍ම දෙනා ඇමති වාසුට සුබ පැතූහ.

“ඔබ දැකුමෙන් මා පින් කළ බව දැනිණි” ඩලස් කීවේය.
“ඔබෙ මුහුණින් මට ඒ බව පෙණුනි” වාසු උත්තර දුන්නේය.
පියල් නිශාන්ත ඇමතිවරයාගේ ආශ්‍රිතයෙකු බවට පත්ව සිටින නාමල් රාජපක්ෂ ඇමතිවරයා නිරෝධායනය වන අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කැබිනට් රැස්වීමට එක් වූයේය.
“මේ දවස්වල නාමල් කොටහළු වෙලා...” ඇමති විමල් විහිලු‍ කළේය.
“තව දවස් කීයක් තියෙනවා ද?” බන්දුල ද ඇසුවේය.
 “අදින් ඉවරයි... පීසීආර් එක ගත්තා..” නාමල් කීවේය.
“චමල් සර්ටත් මාර වැඩේ වුණේ ගොවිජන සේවා කොමසාරිස්තුමා වාහනේ ගිහිල්ලා..” මහින්දානන්ද කීවේය.
“පුදුම බේරිල්ලක් බේරෙන්නේ සර්. මේ දවස්වල... පවිත්‍රාක්කා නෙළුම් මාවතේ ඉඳලා ගියා විතරයි. තව පොඩ්ඩෙන් අපිත් අහුවෙනවා..” ඔහු කීවේය.
“මමත් ගියානේ ඊට පස්සේ එතනට.” සී.බී. කීවේය.
“පවිත්‍රාගේ අතේ දුරින් හිටපු නිසා අපිත් බේරුණා.” බන්දුල කීවේය.
“නෑ. නෑ. පවිත්‍රා ඇමතිතුමිය ඔයාගේ අතේ දුරින් හිටියේ.” විමල් කීවේ බන්දුලටය.
“වාසු සර් ගෙදරද ?” නාමල් ඇසුවේය.
“මම ඉවරයි. බර වියදම්.” වාසු කීවේය.
“ඔබතුමා දැකීම සතුටක්...” දිනේෂ් ද කීවේය.
“සුවපත්ව ඉන්න වියදම සැරයි.” වාසු කීවේ දිනේෂ්ටය.
“මොනවද ඒ කාලෙ දුන්නේ.” බන්දුල ඇසුවේය.
“කෑම බීම අඩුවක් නෑ...” වාසු කීවේය.
“බෙහෙත් දෙනවාද ?” විමල් ඇසුවේය.
“එකම බෙහෙත තමයි නිරෝධායනය.” වාසු කීවේය.
“ගෙදර හිටියානම් ඉවරයිනේ...” විමල් යළි කීවේය.
“නීතියෙන් බෑනේ. ප්‍රතිකාර මධ්‍යස්ථානයට යන්න ඕනෑනේ..” වාසු උත්තර දුන්නේය.
“දැන් කීදෙනෙක් කොරොන්ටයින් ද?” අගමැති මහින්ද ඇසුවේය.
“දැන්නම් 10ක් විතර කොරොන්ටයින් මම හිතන්නේ.” මහින්දානන්ද කීවේය.
“එස්.එම්. ඇමතිතුමාටත් කොරොන්ටයින් ද?” බන්දුල ඇසුවේය.
“ඔව්.ඔව් ” එස්.එම් කීවේය.
වසරේ මුල්ම පෝය යෙදී තිබුණේ පසුගිය (28) බ්‍රහස්පතින්දාටය.  ඇමති නාමල් පෝය නිමිත්තෙන් අලු‍ත් වැඩක් සංවිධානය කළේය. ඒ සෑම පෝය දිනකම තරුණ තරුණියන් සිල් සමාදන් කරවීමය. නාමල්ගේ ඉලක්කය වී ඇත්තේ තරුණ තරුණියන් ලක්ෂයක් සිල් සමාදන් කරවීමය. එහි සමාරම්භක වැඩසටහන පැවැත්වුණේ කැලණිය රජමහා විහාරස්ථානයේ දීය. මෙවර ඒ සඳහා තරුණ තරුණියෝ 500කට ආසන්න පිරිසක් සහභාගී වූහ. විශේෂත්වය වූයේ ඉන් වැඩිම පිරිසක් පැමිණ සිටියේ ප්‍රසන්නගේ මිනුවන්ගොඩ ආසනයෙන් වීමය. 300කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් කැලණිය විහාරස්ථානයට සිල් සමාදන් වීම සඳහා ප්‍රසන්න යොමුකර තිබුණි. ඒ අතර ප්‍රසන්නගේ වැඩිමහල් දියණිය වන අර්චනා ද වූවාය. නාමල් අලුයම කැලණිය විහාරස්ථානයට පැමිණියේ ය. ප්‍රසන්න නොසිටි නිසා ඔහු දුරකතන ඇමතුමක් ගත්තේය.
“අයියේ මම ඉන්නේ කැලණිය පන්සලේ... ඔයා කොහෙද?” නාමල් ඇසුවේය.

“මම ඊයේ රෑ වුණා ජීවනෝපාය සංවර්ධන කමිටුවට ගිහින් එන්න. ඔතන වැඩේ අවුලක් නෑ නේද?” ප්‍රසන්න ඇසුවේය.
“මොන අවුලක් ද? ඔයා ඉතිං වැඩක් භාරගත්තොක් ඒක හරියටම කෙරෙනවානේ...” නාමල් කීවේ මේ වැඩසටහනට වැඩිම පිරිසක් සහභාගී වී සිටියේ ප්‍රසන්නගේ මිනුවන්ගොඩ ආසනයෙන් වීම නිසා ය.
අගමැති මහින්ද ද බ්‍රහස්පතින්දා දවල් කැලණි විහාරයට ආවේ මේ යොවුන් සීල සමාධි වැඩසටහනට එක් වූ තරුණ තරුණියන්ට ආශිර්වාද කිරීමටය. කැලණි විහාරස්ථානයේ නායක හිමියන් බැහැදුටු අගමැති මහින්ද සිල්ගෙන සිටි තරුණ තරුණියන් සමඟ ද මොහොතක් කථාබස් කිරීමට අමතක කළේ ද නැත.

එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමෙන් පසු ඔවුන් පළමුවරට හමුවූයේ ඉකුත් සතියේ සදුදාය. ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, සාගල රත්නායක ආදී පක්ෂ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

පක්ෂ සංවිධානය ගමට ගෙනායමට අවශ්‍ය සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මෙහිදි සාකච්ඡා කළහ. ශාඛා සමිති මෙන්ම යොවුන් පෙරමුණ ශක්තිමත් කිරිම ගැනද කරුණු සාකච්ඡා කෙරිණ. ඊට අමතරව පක්ෂ සාමාජිකයන් ලෙස සිටිමින් වෙනත් පක්ෂවලට සහාය දැක්වූ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට එරෙහිව පවතින නඩු පිළිබදව ද අදහස් පළවිය.

‘පක්ෂය ජනතාව අතරට ගෙන යන්න නම් පාක්ෂිකයන් හා නායකන් අතර තියෙන දුරස්ථභාවය නැති කරන්න ඕනේ, මහලේකම් රංගේ බණ්ඩාර කීය.
‘ඔව් ඒක හොද අදහසක්. මේ වෙලාවේ කොවිඩ් අර්බුදයත් බේරගෙන තමයි යන්න වෙන්නේ, සභාපති වජිර කීවේය.
‘අපි දින දෙකක් පාක්ෂියන්ට වගේම සාමාන්‍ය ජනතාවටත් පක්ෂ මූලස්ථානයට ඇවිල්ලා නායකයෝ හම්බ වෙන්න අවස්ථාව හදලා දෙමු, මහලේකම් කීවේ එවැන්නකි.

‘එය හොදයි. එහෙම නම් අපි අගහරුවාදාට හා බදාදාට පක්ෂ නායකයන් හමුවෙන්න අවස්ථාව දෙමු. මටත් ඒ දවස්වල ඇවිල්ලා ඉන්න පුළුවන්. රුවන්ටත් පුළුවන්නේ, නායකයා කී දේ සැවොම අනුමත කළහ.
ඒ අනුව ලබන මාසයේ සිට සෑම සතියකම අගහරුවාදා සහ බදාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි මහජන දින පැවැත්වීමට තීරණය කෙරිණි. එම දින දෙකෙහි දවස පුරා පක්ෂ නායක රනිල්, නියෝජ්‍ය නායක රුවන්, මහලේකම් රංගේ, සභාපති වජිර ඇතුළු සියලූම නිලධාරීන් එදිනට පක්ෂ මූළස්ථානයේ රැදී සිටිමින් ජනතාව හමුවීමට තීරණය විය.

සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් පිට වීමට පෙර නායකයා සියලු දෙනාට අපූරු කතාවක් කීවේය.

‘මෙච්චර කල් අපට දිනන්න බැරි වෙන්න ලොකු හේතුවක් තිබුණා. ඒ මේක නායකයන්ගේ පක්ෂයක් වෙච්ච නිසා. මොකද හැමෝම බැලුවේ නායකයෝ වෙන්න මිසක් පක්ෂය දිනවන්න නොවෙයි. ඒ නිසා මේක නායකයන්ගේ පක්ෂයෙන් සාමාජිකයන්ගේ පක්ෂය බවට පත් කරන්න ඕනෑ, නායකයා සිනාමුසුව කී දේ සියලු දෙනා බැරෑරුම්ව බාරගත් බව පෙනින.

රුවන්, අකිල, සංදිත්, නාලක වැනි තරුණයන් පිරිසක් පක්ෂය වටා සිටීම ශක්තියක් බව සිහිපත් කළ නායකයා තවත් තරුණ නායකයන් ගම් මට්ටමින් එකතු කර ගනිමින් පක්ෂය දිනන මගට වැඩ කරන ලෙස ද සිහිපත් කළේය. රුවන්ද එහිදි කීවේ පාර්ලිමේන්තුවට වඩා අද අපට සටන තිබෙන්නේ ඉන් පිටත බැවින් පාරේ සටනට සුදානම් විය යුතු බවය.

රුවන්, රංගේ බණ්ඩාර ඇතුළු නව නිලධාරි මණ්ඩලය ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැද පුදා ගෙන ආශිර්වාද ලබාගැනීමට අගහරුවාදා අනුරාධපුරයට පැමිණි අතර එහිදි මහනාහිමිවරු ඔවුන්ගේ ඉදිරි ගමනට සෙත් පැතූහ.


(***කස්තුරි)