IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ජන්ම ශත සංවත්සරයේදී චීනයෙන් උපහාර ලබන ඉඹුල්ගොඩ වීරයා - ඇස්.ඩී.

(ප්‍රවීණ දේශපාලනඥයකු වූ ඇස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට චීන රජය කටයුතු යොදා ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

‘මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී.  බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති’ යනුවෙන් සුභාෂිත කවියා සිය මියුරු කවි බසින් සඳහන් කළේ මිත්‍රත්වය වනාහී නොවෙනස්වන, නොවෙනස්විය යුතු සදාචාරාත්මක ගුණධර්මයක් බවයි.

අප මේ පූර්විකාව මගින් ප්‍රවේශවීමට උත්සාහ කරනුයේ චීන මහජන සමූහාණ්ඩුව මගින් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ඉඹුල්ගොඩ මංසන්ධියේදී තැනීමට යෝජිතව ඇති ඇස්.ඩී. බණ්ඩාරනායක ප්‍රතිමාව පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව දැනුම්වත් කිරීම උදෙසාය. තිස් වසරක් ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය හෙබවූ ඇස්.බී. බණ්ඩාරනායක මහතා තමා නියෝජනය කළ ආසනයට ප්‍රදේශයට පමණක් නොව සමස්ත ලංකාවට මහඟු මෙහෙයක් ඉටු කළේය. ජාතික ආගමික, පාරිසරික සමාජයික හා දේශපාලන යන ඕනෑම ප්‍රශ්නයකට මැතිසබයේදීත් ඉන් පිටතදීත් නොපැකිල සටන් වැදුණු ඇස්.ඩී. ජාත්‍යන්තර දේශපාලන පොර පිටියේ පවා නම රැන්දූ චරිතයක් විය. ජෝසප් ස්ටාලින්, මාඕ සේතුං, චෞ එන් ලායි, චූගේ, කිම් ඉල් සුං, ජානෝස් කදාර්, ගොමුල්කා ලෝක සමාජවාදී කඳවුරේ මහා පතාක යෝධයින් සමීපව ඇසුරු කළ ඇස්.ඩී. එම සමාජවාදී ක්‍රමවේදයන් තම රට තුළද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇප කැපව සිටියේය.

ඇස්.ඩී. බණ්ඩාරනායකයන් අද ජීවත්ව සිටියා නම් මෙම දෙසැම්බර් පළමුවැනි දිනට වසය අවුරුදු සියයකි. තම පූර්ණ වයස ගෙවා එතුමා අභාවප්‍රාප්තව වසර තුනකි. උපතින් සිය වසක් සපිරෙන මොහොත තම අමාරු කාලයේදී අතහිත දුන් මිත්‍රයෙකුට උපහාර දැක්වීමට චීනය කටයුතු කිරීමද විශේෂත්වයකි. චීන ලෝකයේ කිසිම රටක විදේශීය මිත්‍රයෙකුට උපහාර දැක්වීමට මෙවැනි ක්‍රියාවක් සිදු කර නැති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලිවලින් හෙළිවෙයි. ‘බණ්ඩාරනායක වංශාවලිය’ යන ඉපැරණි ග්‍රන්ථයේ සඳහන් වන අන්දමට එම පරපුරේ ආදිතමයෝ තමන්ට පැවරුණු බල ප්‍රදේශවල මුදලි මුහන්දිරම් සහ මහමුදලි තනතුරු දැරූ ප්‍රභූවරු වූහ.

ලන්දේසි ඉංග්‍රිසි සහ පෘතුගීසි යුගවල පවා මෙම තනතුරු දැරූ ඔව්හු නිසැකවම එම යටත් විජිත පාලකයන්ට සුවචව කීකරුව සේවය කළහ. 1834 දී කෝල්බෘක් කොමිසම නිර්දේශ යටතේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව පිහිටුවීමේදී සිංහල ජනවර්ගයා වෙනුවෙන් පත් කරන ලද ප්‍රථම මන්ත්‍රීවරයා වූ ක්‍රිස්ටෝපර් ගොඞ්ෆ්‍රෙඞ් පිලිප්ස් පණ්ඩිතරත්න මහමුදලිවරයා මෙම පවුලේ සමීපතම ඥාතියෙකි. එම සභාවට මුළු මහත් දකුණු පළාත ආසනය නියෝජනය කළ ඕ.සී. තිලකරත්න මහතා ඇස්.ඩී.කේ. මව් පාර්ශ්වයේ මාමණ්ඩියකි. මෙවැනි ඉතා සම්භාවනීය නෑදෑකම් සහිත 1917 දෙසැම්බර් මස 01 වැනිදා සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක දරුවා උපත ලද්දේ මාතර පොකුණවත්ත වලව්ව නම් වූ මවගේ නිවසේදීය. මහමුදලි කොන්රඞ් පීටර් ඩයස් බණ්ඩාරනායකයන්ගේ පුත් වූ බටහිර සියනෑ කෝරළය කරවන සී.පී.ඩී. බණ්ඩාරනායකයන්ගේ සහ මාතර පොකුණවත්ත වලව්වේ රොස්ලින් හිල්ඩා ඩී. ඕතා ඒකනායක ළමාතැනියගේ දරුවෙකු වශයෙනි.

මේසා සම්භාවනීය පරපුරක උපත ලදුවත් ළමා අවධියේ සිටම පෙරළිකාරී ගති පැවතුම්වලින් යුතුවූ මෙම තරුණයා පසු කාලීනව මුලින් කී පරිදි ලෝක සමාජවාදී ව්‍යාපාරයේ පතාක යෝධයන් ඇසුරු කිරීමට පෙළඹුණේ සසර පුරුද්දකට මෙනි. චීනයේ සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසු එම රට ලෝකයේ නීත්‍යානුකූල චීනය යැයි පිළිගැනීම එදා අධිරාජ්‍යවාදී කඳවුර විසින් දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන ලදී. චීනයේ කුඩා දූපතක් වූ හෝමෝසාව හෙවත් තායිවානය තුළ රැඳී සිටිමින් ජාතික චීනය නමින් යුතුව ප්‍රතිවිප්ලවයට නායකත්වය දෙමින් සිටි චියෑං-කායි ෂෙක්ගේ රජය නීත්‍යානුකූල චීනය  බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයට හිමි ආසනය සහ නිශේධ බලයද පවරා දී තිබුණි.

එක් දහස් නවසිය පනස් දෙකේ මහා මැතිවරණයේදී ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආසන නවයක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවේ දෙවැනි පක්‍ෂය බවට පත්විය. එම නව දෙනාගෙන් එක් අයෙකු වූවේ ඇස්.ඩී. බණ්ඩාරනායකයන්ය. ඔහු ගම්පහ අසුන දිනා සිටියේය. සිය පක්‍ෂ නායකයාගේ ඉල්ලීම පරිදි 1952 සැප්තැම්බරයේදී ඔහු චීන සංචාරයකට එක්විය. පිලිප් ගුණවර්ධන, එඞ්මන්ඞ් සමරක්කොඩි, එච්.ජී.ඇස්. රත්නවීර කේ. වෛද්‍ය කුණ්ඩවාසන් මහතා සහ මහත්මිය ඇන්. ශන්මුගදාසන් යන අය සහ නරාවිල ධම්මරතන හිමිද මෙම නියෝජිත පිරිසට අයත් වූහ. අනෙක් සෑම දෙනාම වාමාංශික රතු පක්‍ෂවලම සාමාජිකයන් වූ අතර එවැන්නකට අයත් නොවූවේ ඇස්.ඩී. පමණි. මෙම ගමනේදී සභාපති මාඕ හමුවීමටද ඇස්.ඩී ට අවස්ථාව උදාවිය.

මේ වනවිට චීන විප්ලවය ජයග්‍රහණය කර ගතව තිබුණේ වසර තුනකි. විප්ලවයෙන් පසුවත් කුසගින්නට ගස්වල කොළ පොතු අනුභව කළැයි කී චීන ජනතාව ආහාර අතින් ස්වයංපෝෂිතව තිබුණි. ලංකාවේ ආහාර හිඟයක් පැවති එසමයේ ලංකාවටද සහල් සැපයීමට චීනය එකඟ වූයේ ඇස්.ඩී.ගේ ඉල්ලීමක් වශයෙනි.

ලංකාවේ නිපදවන රබර් චීනයට ලබා ගෙන ඒ වෙනුවෙන් සහල් ලබාදීමට චීනය එකඟවීම ඒ අවස්ථාවේ අපේ රටට මහත් අස්වැසිල්ලක් විය. එවක් පටන් අද දක්වාත් ක්‍රියාත්මක කෙරෙන චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම ඇස්.ඩී. සහ චීනයත් ශ්‍රී ලංකා ජනතාවත් අතර දිගුකාලීන මිත්‍රත්වයට ජීවමාන සංකේතයක් වැනිය.

පනස් හයේ පෙරළියෙන් පසු මෙරට චීනය සමග තානාපති සබඳතා ඇති කර ගත්තේය. එතෙක් මෙරට පාලකයන් ඒ ගැන උනන්දුවක් දැක්වූවේ නැත.  1957 දී විල්මට් ඒ. පෙරේරා මහතා චීනයේ ප්‍රථම ලංකා තානාපතිවරයා වශයෙන් පිටත්ව යනතුරු තිරයෙන් පසුපස ඒ පිළිබඳ සුවිශාල කාර්යභාරයක් ඉටු කළේ ඇස්.ඩී. බව බොහෝ දෙනා නොදනිති.

මෙම ප්‍රතිමාව ඉදිකරනු ලබන ඉඹුල්ගොඩ නගරයද ඇස්.ඩී. බණ්ඩාරනායක චරිතයට සුවිශේෂී වූ ස්ථානයකි. එතෙක් රාජ්‍ය භාෂාව ලෙස පැවති ඉංග්‍රීසිය එම තත්ත්වයෙන් ඉවත් කර සිංහලට එම තැන ලබාදීම බණ්ඩාරනායක රජයෙන් සිදු වූ වටින කාර්යභාරයක් ලෙස බොහෝ දෙනා සලකති. එහෙත් මෙය දෙමළ කථා කරන ජනතාවගේ සිත් රිදීමකට හේතුවන බව වටහා ගත් රජය බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම නම් වූ එකඟතාවකට එක්විය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් පා ගමනක් ඇරඹුණි. අගමැති බණ්ඩාරනායක මහතාගේ නියමය පරිදි ඉඹුල්ගොඩ කන්ද කපාපු හන්දියේ දී මෙම පාගමන නැවැත්වීමට ඇස්.ඩී. සමත්විය. එවක් පටන් ඔහු විරුදාවලි ලැබීය.

චීන මහජන සමූහාණ්ඩුව ඇස්.ඩී. බණ්ඩාරනායක නම් වූ හෘදයාංගම මිතුරාට උපහාර පිණිස තනවනු ලබන ප්‍රතිමාව බොහෝ කාලයක් ස්ථිරසාරව පවතිනු ඇත. එමගින් බොහෝ අතීත සිහිවටනයන් අනාගත පරපුරට මතක් කර දෙන බව නම් සහතිකය.

 



අදහස් (0)

ජන්ම ශත සංවත්සරයේදී චීනයෙන් උපහාර ලබන ඉඹුල්ගොඩ වීරයා - ඇස්.ඩී.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1742 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site