ජනාධිපතිවරණය නිමාවට පත්වූයේ ඊයේ දිනයේය. නව ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම්දීමට නියමිතව ඇත්තේ අද දිනයේය. මෙවර ජනාධිපතිවරණය සහ නව ජනාධිපතිවරයා පිළිබඳව සටහනක් ලිවිය යුත්තේ එක් පැත්තකින් අප හමුවේ ඇති අභියෝග කවරේ දැයි පැහැදිලි කර ගැනීම සඳහාත් තවත් පැත්තකින්  නව ජනාධිපතිවරයා ලෙසින් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව යම් සටහනක් තැබීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් වන නිසාත්ය.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වූයේ මේ රටේ දේශපාලනයේ ප්‍රධාන අභියෝග තුනක් අබියස තිබෙන තත්ත්වයක් යටතේ බව මගේ අදහසය. ඒ අභියෝග තුන අතරින් පළමුව රටේ ජාතික ආරක්ෂාව අර්බුදයට යාම හේතුවෙන් ජාතික ආරක්ෂාව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව වන්නේය.  දෙවනුව රටේ ආර්ථිකය බරපතළ ආකාරයෙන් අර්බුදයට යාම හේතුවෙන් මතුවී ඇති අර්බුදජනක තත්ත්වය කළමනාකරණය කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් වීමයි.

තෙවනුව රටේ රාජ්‍ය යාන්ත්‍රණයට බරපතළ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යම තත්ත්වයක පවතින බව පෙනී යන කාරණයයි. මේ අභියෝග තුන එකිනෙකට සම්බන්ධ ඒවා මිස වෙනස් වූ දේවල් නොවන බව මෙහිදී මුලින්ම අපගේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. ඒවගේම මෙම අභියෝග තුන සමඟ රටේ දේශපාලන අවකාශයේ තීරණ තීන්දු ගැනීමේ ආයතන සමග ඍජු සම්බන්ධතාවක් තිබූ බව පිළිගැනීම නිවැරැදිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති මාලාව මූලික වශයෙන්ම කේන්ද්‍රගතවී තිබුණේ ඉහතින් මා සඳහන් කළ අභියෝග සඳහා පිළිතුරු සෙවීමට යැයි කීමේ වැරැද්දක් නැත.

මෙවර ජනාධිපති ධුරය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වන්නේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. ඒ මෙරට තිස් වසරක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදීන්ගේ යුද්ධයට එරෙහිව ඍජුව සටන් කළ නිලධාරියකු මෙරට ජනාධිපති ධුරයට පත් වූ පළමු අවස්ථාව ලෙසින්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මුලින් ගජබා රෙජමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් ඊළාම් යුද්ධය 1 සහ 2 යන අවස්ථාවල දී ක්‍රියාකාරී වශයෙන් මැදිහත් වූ අතර 2005 සිට මේ රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ බව හැමෝම දන්නා කාරණයක්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ පාසල් අධ්‍යාපනය නිමා කරන්නේ මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. ඔහු 1992 වර්ෂයේ දී තොරතුරු තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. කැඩෙට් නිලධාරියකු වශයෙන් හමුදා සේවයට එක්වන රාජපක්ෂ මහතා, රණවික්‍රම සහ රණසූර යන පදක්කම් ද්විත්වයෙන්ම පිදුම් ලැබුවෙකි. ඔහු සිය හමුදා සේවාව තුළ දී ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදස සහ ඩී.බී විජේතුංග යන ජනාධිපතිවරුන් වෙතින් සම්මානයට පාත්‍ර විය. ගෝඨාභය රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ. ත්‍රස්වාදීන්ගේ ඉලක්කයක් වූ අතර 2006 දී එල්ල කරන ලද බරපතළ ප්‍රහාරයකට ද ලක් විය.

2005 වර්ෂයේ සිට ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් මෙරටට සිදු කළ සේවය ඉතාමත් විශාල බව අප හැමෝම දන්නා කරුණක් වන අතර, ඒ මහතා ඒ කාලයේ දී මේ රටේ ආරක්ෂක ක්ෂේත්‍රයට අමතරව සංවර්ධන ක්ෂේත්‍රයේ විශාල සේවයක් සිදුකළ බව මෙහිදී සඳහන් කළ යුතුම කාරණයකි.
මෙම කාර්තුව තුළ මේ රටේ සංවර්ධනයේ වේගවත් වර්ධනයක් සිදුවූවා පමණක් නොව එම වර්ධනය මගින් රටේ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රවලට විශාල ධනාත්මක බලපෑමක් සිදුකළ බව පිළිගැනීම ඉතාමත් නිවැරැදිය. නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ සිදුකළ මෙම නව ආකාරයේ සංවර්ධන උපාය මාර්ගික මැදිහත්වීම නිසා කොළඹ නගරය ලෝකයේ සුන්දරත්වය අතින් සුවිශේෂ තැනක් ගන්නා නගරයක් බවට පත් කිරීමට එතුමාට හැකි වූ බව මෙහිදී කිව යුතුම කාරණයකි.

පරිපාලන නිලධාරියකු ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂත්වය වූයේ තමන් වෙත පැවරෙන වැඩසටහනක් නිසි ආකෘතියකින් හා නිසි කළමනාකරණයකින් යුතුව සිදු කිරීමය. තවත් පැත්තකින් ලෝකයේ දියුණු රටවල ඇති ආකාරයේ ශක්තිමත් හා කාර්යක්ෂම  ලෙසින් යම් ක්‍රියාදාමයක් හරහා විවිධ නව සංවර්ධන කටයුතු ‘ව්‍යාපෘති මානසිකත්වයෙන්’ සිදු කිරීම එතුමන්ගේ පරිපාලන උපක්‍රමයක් ලෙසින් විශේෂයෙන් සැලකිය හැකි බව මගේ අදහසය.
ගෝඨාභය රාජපක්ෂ මහතා තම දේශපාලන දිවිය ආරම්භ කරන්නේ විද්වතුන් රාශියක් පිරිවරාගෙනය. ඔහු නිහඬව රට සැලසුම් නිර්මාණය කළේය. විනයගරුක රටක් නිර්මාණය කිරීම ඔහුගේ මූලිකම බලාපොරොත්තුවකි.

අනාගතයට ගැළපෙන ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැකි නායකත්වයක් ඔහු තුළ පවතින බව මෙරට සමාජයේ බොහෝ අය දැනගත්තේ එතුමන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ වියත්මඟ සංවිධානයේ ක්‍රියාකාරිත්වයත් සමඟය. මේ රටේ තරුණ පරපුරේ හා දරුවන්ගේ අනාගතය අධ්‍යාපනය හරහා ශක්තිමත්ව ගොඩනැංවීම සඳහා එතුමන් තුළ පවතින දැනුම තම අරමුණට කැපකිරීම අතිශයෙන්ම වැදගත් හා නැවුම් බව මගේ අදහසය. එසේ මෙරට තරුණ පරපුරේ අනාගතය  හා අපේක්ෂා පිළිබඳව ගෝඨාභය මහතා සතුව ඇති අදහස් හා යෝජනා ඉතාමත් ප්‍රායෝගික බව ද මෙහිදී කිව යුතුම කාරණයකි.

විවිධ වෘත්තීන් පිළිබඳව ඔහු තුළ වූ අවබෝධය සහ වැඩපිළිවෙළ ජනතා ආකර්ෂණයට බඳුන් විය. ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩපිළිවෙළක් මත තෝරාගන්නා නායකයකු බවට පත් වූයේ එබැවිනි.

මෙරට දේශපාලනයේ ඇති බරපතළම කාරණයක් වන්නේ යම් අදහසක් යම් ක්‍රියාමාර්ගයක් බවට පත්කිරීමේ අවශ්‍යතාවයි. එම කාරණය පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇති මැදිහත්වීම ඉතාමත් විශේෂ බව මගේ අදහසය. මේ රටේ දේශපාලනයේ අපට හමුවී ඇති බොහෝ නායකයන් ‘හොඳ කතා කාරයන් මිස හොඳ වැඩ කාරයන්’ නොවන බව අප හැමෝම දන්නා කාරණයක්ය. ඒ අර්ථයෙන් මේ රටේ දේශපාලනයේ සම්පූර්ණයෙන්ම අලුත් වූ පරිච්ඡේදයක් ඇති කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාවක් ඇති බව මගේ පිළිගැනීම වන අතර ඒ මගින් නව ආකාරයේ වැඩ සංස්කෘතියක් ගොඩනගන්නට හැකියාවක් ඇතැයි මම තදින්ම විශ්වාස කරමි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන වැඩපිළිවෙළ ලෙසින් ඉදිරිපත් වී ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහන මගින් යෝජනා කරන්නේ මේ රටේ ඉදිරි දේශපාලන කටයුතු ප්‍රධාන එළඹුම් දෙකක් හරහා සිදුකළ යුතු බවයි. ඒ එළඹුම් දෙක වන්නේ (1) සංවර්ධනාත්මක එළඹුම (Developmental Approach) සහ (2) ප්‍රතිසංස්කරණාත්මක එළඹුම (Reformist Approach) යන දෙකයි. මේ දෙඅංශය හරහා විවිධ ක්ෂේත්‍රවල සිදු කරන වැඩසටහන් රාශියක් එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් වෙන අතර ඒ මගින් යෝජනා වන්නේ ප්‍රායෝගික වශයෙන් මේ රටේ පැළ කළ හැකි සංවර්ධන ක්‍රියාමාර්ගය.

මේ රටේ දේශපාලනයට වෘත්තීයභාවය එක් කිරීමේ අවශ්‍යතාව මේ රටම පෙළන බව අප හැමෝටම පැහැදිලි වෙන කාරණයකි. ‘225 ම එපා’ යන සටන් පාඨය මතුවුණේත් දේශපාලනයේ වෘත්තීයභාවය නොමැතිවී නිසාම බව සත්‍යයක්ය. ඒ අර්ථයෙන් ගත්විට ගෝඨාභය රාජපක්ෂ මහතා යනුම මෙරට දේශපාලනයේ වෘත්තීයභාවයේ සංකේතයක් බව පිළිගැනීමේ වැරැද්දක් නැත. ඔහු ප්‍රශ්න දකින්නේ සහ ප්‍රශ්න විසඳන්නේ යම් ආකාරයක වෘත්තීයමය වූ පදනමකින් බව පසුගිය කාලයේ පෙන්නුම් කළ කාරණයක් විය. වියත්මඟ වැනි වෘත්තීය එකමුතුවක් හරහා මතු වී තිබෙන්නේ අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී වැදගත් වන කණ්ඩායමක අවශ්‍යතාවයි. 2015 බිහිවූ වත්මන් ආණ්ඩුව අසාර්ථකත්වයට බලපානු ලැබූ තවත් එක් කාරණයක් වූයේ රටක් ගොඩනඟන්නට හැකි කණ්ඩායමක් මේ රජයට හෝ එය ක්‍රියාත්මක කරන නායකයන්ට නොමැති වීමයි. ඒ අර්ථයෙන් ගත් විට මේ මැතිවරණයේ දී රටේ ජනතාවගේ අවධානය යොමු විය යුතු කාරණයක් ලෙසින් වෘත්තීයමය වූ කණ්ඩායමක් සතුවීම යන කාරණය සැලකිය යුතු බව මගේ අදහසය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනාගත දේශපාලන ක්‍රියාදාමයන් සියල්ල මගින් රටේ ආරක්ෂාව සංවර්ධනය හා ප්‍රතිසංස්කරණ ධනාත්මකව සිදුවේ යැයි විශ්වාසය පළකරමි.

ආචාර්ය
චරිත හේරත් විසිනි

ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා