අත්‍යවශ්‍ය සේවා නොවන ක්ෂේත්‍රවලට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මුළු රටම එකම වැඩබිමක් ලෙස ක්‍රියාත්මක විය යුතු වුවද අපට ගමන් කිරීමට සිදුව ඇත්තේ ආපස්සටය. සිකුරාදා දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා එල්ලවී ඇති හෙයිනි. ඉන්ධන හිඟය තුරන් කිරීම සඳහා විධිමත් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බවක්ද නොපෙනේ. එහෙයින් විය හැකිව තිබෙන්නේ නිවාඩු දින තව තවත් වැඩිවීම පමණි. රට ගමන් කරමින් තිබෙන්නේ කවර දිශාවකට ද යන්න ඉහත පරිසරයෙන් වුවද තේරුම් ගැනීම අසීරු නැත.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග පල්ලෙකැලේ පැවැති අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගයේදී අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග ක්‍රීඩා පිටියේ රොද බැඳ සිටි ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්ව ඔල්වරසන් නගන අයුරු රූපවාහිනී තිරය මත මනාව චිත්‍රණය විය. ක්‍රීඩා ලෝලීන්ගේ එම උද්වේගකර ඔල්වරසන් හඬ තුළ රැඳී තිබුණේ මෙරට ජනයා මෙතෙක් කාලයක් විඳි එහෙත් දැනට අහිමිව ඇති සතුට වේ. අප රටෙහි ජනයා සතුටෙන් කල්ගත කිරීමට කෙතරම් කැමැත්තෙන් සිටින්නේ ද යන්න එම රූප රාමු මනාව ඔප්පු කළේය.

සතුටෙන් සිටි ජාතියක් අද නරකාදියක දැවෙමින් තැවෙමින් සිටී. මූලික මිනිස් අවශ්‍යතා හෝ සපුරා ගැනීමට නොහැකිව හෙට දවසේ කුමක්වේදැයි සිතා ගැනීමට නොහැකිව අසහනයෙන් හා භීතියෙන් කල දවස ගෙවා දැමීමට ජනතාවට සිදුවී තිබේ. මේ මොහොතේ ප්‍රාතිහාර්යය පෑමට නොහැකි බව සත්‍යයකි. එහෙත් ජනතාවට විසඳුම් දිය යුතුය. විසඳුම් තවත් පමා කළ නොහැකි තරමට තත්ත්වය දරුණු වී තිබේ.

මේ රටේ දේශපාලකයන්ට තම ඇත්ත හැකියාව මෙන්ම ඇති වුවමනාව පෙන්නුම් කිරීමට මෙම අවස්ථාව ඉතාම හොඳින් යොදාගත හැකිය. එමෙන්ම ජනතාවට වගකීමේ තම හෘදය සාක්ෂිය කදිමට නිරූපනය කළ හැකිය. තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය බාරගන්නා ලෙස ආරාධනා කිරීමෙන්ම රජය මේ මොහොතේ රට වැටී ඇති අර්බුදයේ දිග පළල තේරුම්ගෙන ඇති බවක් පෙන්නුම් කර තිබේ. එමෙන්ම අගමැති ධුරය බාරගැනීම හරහා මේ මොහොතේ තම වගකීම රනිල් වික්‍රමසිංහ මහතා ඉටුකර තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂවලට ද ජනාධිපතිවරයා ආරාධනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහාය. මේ මොහොතේ එය අත්‍යවශ්‍ය වූවකි. රටේ දසතින් නැගුණු හඬෙහි අර්ථය වන්නේ සියලු දෙනා එකට එක්විය යුතු බවය. අසමානතා, නොගැළපීම් මෙන්ම වෙනත් කාරණා සියල්ල පසෙකලා රට වෙනුවෙන් එක්විය යුතු බව පොදු මහජනයාගේ ඉල්ලීම වේ. එමග හැර රට ගොඩගැනීමට වෙනත් මගක් නැත.

ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල මෙන්ම භූමිතෙල් පෝලිම්වල අපා දුක් විඳින මිනිසුන් දුටු විට දේශපාලකයන්ගේ හදවත් වෙඬරු පිඩක් මෙන් උණුවිය යුතුය. සාපිපාසිතව කල් ගෙවන සාතිශය බහුතරයක් ජනයාගේ දුක හඳුනා ගැනීමට දේශපාලකයන්ගේ සිත් සංවේදී විය යුතුය. එසේ විය යුත්තේ අනෙකුත් සෙසු සෑම කාරණාවක්ම පසෙකලා රට වැටී තිබෙන දුර්දශාපන්න ඉරණමෙන් ගලවා ගැනීම න්‍යාය පත්‍රයෙහි අංක එකට ගත යුතු හෙයිනි.

එක් පැත්තකින් ඇසෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ගැනය. තව පිරිසක් මැතිවරණ ක්‍රමයේ සංශෝධන සම්බන්ධයෙන් වෙහෙසෙන බවක් පෙනේ. නව දේශපාලන සන්ධාන සම්බන්ධයෙන්ද වැඩි උනන්දුවකින් කටයුතු කරන පිරිසක්ද සිටිති. පාර්ලිමේන්තුව රැස්වූ විට රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හරවත් සංවාදයක් මෙන්ම එම සංවාදය හරහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවක් ද නොපෙනේ. ඒ වෙනුවට ගරු කටයුතු මහජන නියෝජිතයන් තම තමන්ගේ දුක්ගැහැට ඉදිරිපත් කරමින් හඬා වැළපෙන බවක් දක්නට ලැබේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකතුවීමට දරන උත්සාහයට වඩා පෙනෙන්නේ එවැනි ආණ්ඩුවක් බිහි නොකර ගැනීමට හේතු හොයන තත්ත්වයකි.

රට මෙතරම්ම බංකොලොත් වීමට හේතු ජනතාවට දැන් අවශ්‍ය නැත. එමෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ හා නව දේශපාලන සන්ධාන ජනතාවට අවශ්‍ය නැත. ජනතාවට මේ මොහොතේ වුවමනා කරන්නේ මූලික අවශ්‍යතා සපුරා ගත හැකි මගකි. වේලෙන් වේලට අලුත්වෙන බඩගින්න නිවා ගැනීමේ වැඩපිළිවෙළකි. ජනතාවගේ මෙම අවශ්‍යතාව තේරුම් නොගන්නා දේශපාලනඥයන් රටේ ඉරණමෙහි වගකීම බාර ගත යුතුය.

(***)