පරිබාහිර බලපෑමකින් තොරව නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ වෙසෙන  ජන කොට්ඨාසයකගේ ස්වාධිපත්‍ය බලය මෙහෙයවමින් පාලනය ගෙනයන ආණ්ඩුවක් පවතින බල ප්‍රදේශයක් නූතන රාජ්‍යය යනුවෙන් සරල ලෙස අර්ථ නිරූපණය වේ. එවැනි රාජ්‍යයක් තුළ ජීවත් වන ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරමින් රට සංවර්ධනය කරා ගෙනයාමට සුදුසු ක්‍රමවේද අතීතයේ පටන් අත්හදා බලා ඇත. වර්තමානයේ ජනතාව පිළිගන්නා වඩාත් සුවිශේෂී ක්‍රමය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පාලනය විවිධ ක්‍රම ඔස්සේ විකාශය වී ඇත. මහා බ්‍රිතාන්‍යයේ අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත වෙස්ට්මින්ස්ටර් ක්‍රමය ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ විධායක ජනාධිපති ක්‍රමය සහිත ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රමය ද ක්‍රියාත්මක වන අතර සමහර රාජ්‍යවල ඒකීය ක්‍රමය ද සමහර රටවල ෆෙඩරල් ක්‍රමය ද ක්‍රියාත්මක ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ප්‍රතිපාදන සලසනු ලබන්නේ පහත සඳහන් ඉලක්ක සපුරා ගැනීම සඳහා ය.

1. ජනතාවගේ ස්වාධිපත්‍ය බලය තහවුරු කිරීම.

2. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.

3. ජනතාවගේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතන හඳුන්වා දීම.

4. එම ආයතනවලට හිමි බලතල සහ ඒවා ක්‍රියාත්මක කරන ක්‍රමවේද නිශ්චිත කිරීම.

එම බලය ක්‍රියාත්මක කරමින් සාක්ෂාත් කරගතයුතු ජනතා අභිලාෂ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි පරිච්ජේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් වශයෙන් සවිස්තරව දක්වා ඇත. ජනතාවගේ මූලික අවශ්‍යතා ලෙස ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස යනාදියත් ආර්ථික, ආගමික, අාධ්‍යාත්මික, සංස්කෘතික සහ සමාජමය සංවර්ධනය යනාදියත් එහි ඉලක්කගත අරමුණු වේ. එහෙත් පසුගිය දශක කිහිපය තුළ ජනතාව අපේක්ෂාභංගත්වයට පත්වූ බව පසුගියදා සිදු වූ ජනතා පෙළගැසීම් තුළින් සනාථ වේ. රටේ දේශපාලන අස්ථාවරත්වයක් මෙන්ම ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති අතර එය සමනය කිරීම ද පහසු කාර්යක් නොවනු ඇත.

රාජ්‍යය මෙවැනි බිඳ වැටීමක් දක්වා ගමන් කරන බවට විවිධාකාර ලෙස ආණ්ඩුවට අනතුරු ඇඟවීම් කළත් ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නැත. පවුල්වාදය, පක්ෂවාදය සහ පුද්ගලවාදය මත දේශපාලනය ගොඩනැගී තිබීම ඊට හේතුවයි. රටේ දේශපාලනය ගමන් කරන දිශානතිය ගැන ජනතාව ද වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. ජනතාව අවදි වූයේ දේශපාලන ක්ෂේත්‍රය ඔද්දල් වී එහි ප්‍රතිඵලයක් ලෙස පැනනැගි ආර්ථික අර්බුදය ඔවුන්ව පීඩාවට පත්කිරීමට පටන්ගත් පසුව ය. එසේ නොවන්නට ජනතාවගෙන් වැඩි පිරිසක් තවමත් දේශපාලන වහල්භාවය තුළම හිර වී පක්ෂ සහ පුද්ගල වන්දනාවේ යෙදෙමින් සිටින්නට ඉඩ තිබුණි.

තනි පුද්ගලයකු විධායක බලය ක්‍රියාත්මක කිරීම හරහා අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම අහෝසි වීමත්, ව්‍යවස්ථාදායකය පවා විධායක ජනාධිපතිගේ අතකොළුවක් බවට පත්වීමත්, පවුල් පාලනය ස්ථාපිත වීමත් රටේ පාලන තන්ත්‍රය බිඳ වැටීමට හේතු වූ බව සාමාන්‍ය ජනතාවට අවබෝධ කරගත හැකි වූයේ මෑත සමයේ ය. අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන යනාදිය නොමැති වීම දරාගත නොහැකි වූ ජනතාව තුළ ඇතිවූ ක්‍රෝධය සහ වෛරය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණීය කරුණු ලෙස සමාජය පිළිගත්තේය. එහි පුපුරා යාම හිටපු ජනාධිපතිවරයා නෙරපා දැමීම දක්වා ගමන් කළේය.

මෙසේ රටේ ආර්ථික බිඳ වැටීමට හේතු වූ කරුණු බොහොමයකි. කොවිඩ්19 වසංගතය වැනි පාලනයකින් තොර ව්‍යසන පැවතීම පිළිගත හැකි කාරණාය. එහෙත් අර්බුදයට බලපෑ මූලික හේතු සාධාරණීයකරණය කිරීමට පාලකයන්ට නොහැකි ය. මෙම අර්බුද බොහොමයක් ආරම්භ වූයේ 2010 වසරෙන් මෙපිට ය.

1. 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලය නොලත් ආණ්ඩුව මන්ත්‍රීවරුන් බිලීබා ගනිමින් 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සහ ඒ හරහා සිදුවූ බල උන්මාදය සහ පවුල්වාදය.

2. රටට ප්‍රතිලාභ අත්නොවන සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා අධිපොලී අනුපාතයනට ණය ලබා ගනිමින් රට ණය උගුලක හිර කිරීම.

3. හම්බන්තොට වරාය චීනයට ලබා දීම හරහා ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපය ඇතුළු මිත්‍ර රාජ්‍ය දුරස්ථ කර ගැනීම. කොළඹ වරාය නගර කොමිෂන් සභාව ස්ථාපිත කරමින් චීන රාජ්‍යයට ඒ තුළ බලාධිකාරයක් නිර්මාණයකර දීම (2021 අප්‍රේල්) නිසා මෙය භයානක තත්ත්වයකට ගමන් කර ඇත.

4. වළක්වාගත හැකිව තිබූ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට රාජ්‍ය නායකයන් අසමත් වීම (ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති වීමේ මාර්ගය විවර වූයේ ඒ හරහා ය.)

5. පී.බී. ජයසුන්දර සහ කූඨ ජාවාරම්කාරයන්ගේ උපදෙස් මත ගෝඨාභය ජනාධිපති මධ්‍යම සහ ඉහළ පාන්තිකයන්ට බදු සහන ලබා දීම.

6. කාලයක් තිස්සේ ආර්ථික විනාශයට මග පෑදූ නුසුදුස්සකු මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම.

7. පදනම් විරහිත සහ අතාත්වික කාබනික පොහොර ප්‍රතිපත්තිය හරහා රටේ කෘෂිකාර්මික අස්වනු සියයට 50 ට වැඩි ප්‍රමාණයකින් අහිමි කිරීම.

8. සුළු ජන කොටස් පීඩාවට පත්වන ස්වරූපයෙන් ක්‍රියාත්මක වීම.

මීට අමතරව වෙනත් කරුණු ද රාශියක් පවතී.

මෙම අර්බුදයෙන් ගොඩ ඒම පිණිස කෙටි කාලීන විසඳුමක් ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආකෘතියෙන් යුතු 22 වැනි සංශෝධනය සම්මත කරගෙන ජනමත විචාරණයකින් තොරව විධායක ජනාධිපතිගේ බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පවරා ගැනීම සිදුකළ යුතුව ඇත. ව්‍යවස්ථාදායක සභාව, අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීමේ බලය, අග්‍රාමාත්‍යවරයාගේ බලතල සහ ස්වාධීන කොමිෂන් සභාවල බලය මෙමගින් ශක්තිමත් වනු ඇත. අධිකරණයේ, රාජ්‍ය සේවයේ සහ නීති ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීනත්වය ද ප්‍රමාණාත්මකව ආරක්ෂාකර ගැනීමට මින් හැකි වේ.

එසේ වුව ද පාර්ලිමේන්තුවේ නියෝජනය සම්බන්ධයෙන් ජනතාවට සෑහීමකට පත්විය නොහැක. උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, වෘත්තිකයන්ගේ, තරුණයන්ගේ සහ කාන්තාවන්ගේ නියෝජනය තුලනාත්මක ලෙස ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය වන්නේ නම් එය අවිවාදයෙන් ම ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කිරීමට අත්වැලක් වනු ඇත.

සමානුපාතික මැතිවරණ ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමයත් සමඟ සමගාමීව ගමන් කරමින් ස්ථාවර ආණ්ඩු පවත්වාගෙන යාමේ අරමුණින් ඇතිකළ ද ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගුණාංග ඒ මගින් ස්ථාවරව පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බව දැන් පසක් වී හමාරය. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීම සඳහා ස්ථාවර ආණ්ඩු හෝ 2/3 බලය ඇති ආණ්ඩු අවශ්‍ය වන්නේ ද යන ප්‍රශ්න මතු වේ.

2000 වසරේ සහ 2015 වසරේ 17 සහ 19 වැනි ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත වූයේ සුළුතර ආණ්ඩු හරහා ය. 2010 සහ 2020 වසරේ 18 සහ 20 වැනි සංශෝධන සම්මත වූයේ තුනෙන් දෙකක බලය සහිත ආණ්ඩු මගිනි. ඒ දෙකම ජනතාවාදී නොවුණි.

පවතින මැතිවරණ ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය පාලනය යන දෙකම පිරිහී ගොස් අවසන් ය. දිස්ත්‍රික්කයක් ප්‍රරාවට මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමට විශාල ධනස්කන්ධයක් වැයකළ යුතු ය. 

ජනතාව සතුටු කිරීමට සන්තෝසම් දීමට ද පුරුදුව ඇත. සාමාන්‍ය ජීවනෝපායක් ඇති වෘත්තිකයකුට හෝ තරුණයකුට හෝ තරුණියකට මෙම අභියෝගයට මුහුණ දිය නොහැක. දේශපාලන පක්ෂ වලින් ද එවැන්නන්ට දොර විවෘත වන්නේ නැත. පවුල් පරම්පරාවලට මහජන නියෝජිතත්වය උරුම වී තිබේ. රාජ්‍ය තන්ත්‍රයේ ජනතාවාදී වෙනසක් අපේක්ෂා කරන්නේ නම් මුලින් ම වෙනස් කළ යුත්තේ මෙම ක්‍රමයයි.

රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථා සම්පාදනයේ දී බුද්ධිමතුන්ගේ දායකත්වය ලබාගැනීම සඳහා තිබූ සෙනෙට් මණ්ඩලය 1972 ව්‍යවස්ථාව මගින් අහෝසිකර දැමීම ඉතා අනුවණ ක්‍රියාවකි. බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව, ඉන්දියාව යන රටවල් ද එම ක්‍රමය පවත්වා ගෙන යයි. සෙනෙට් සභාව යනු පාර්ලිමේන්තුවට උඩින් තිබූ බුද්ධි මණ්ඩලයකි. හුදු ජනප්‍රිතාව නිසාම තේරීපත් වන මහජන නියෝජිතයන් නොදකින රාජ්‍යයේ ස්ථාවරභාවය පිළිබඳව දුරපෙනෙන බුද්ධියක් සහ නායකත්වයක් සෙනට් සභාවක වියතුන් සතුව ඇත. ලොව දි‍යුණුම රාජ්‍ය පවා එම ක්‍රමය ආරක්ෂා කර ගෙන තිබීමෙන් මෙය පැහැදිලි වේ. දැන් ඇත්තේ පාර්ලිමේන්තුවට පහළින් ඇති පළාත් සභාවයි. සෙනෙට් මණ්ඩලය පැවතියේ නම් ඉන්දියාව බලහත්කාර ලෙස පළාත් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එබ්බවීමට කටයුතු නොකරන්නට ද ඉඩ තිබුණි.

මහජන ඡන්දයෙන් තේරීපත් වන මන්ත්‍රීවරුන් 196 ආසන මට්ටමින් තෝරා ගැනීමත්, ජාතික ලැයිස්තුවෙන් පත්වන 29 දෙනා වෙනුවට ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව 29 දෙනකුගෙන් සමන්විත සෙනෙට් සභාවක් පත්කර ගැනීමත් පවතින ක්‍රමයට විකල්ප ක්‍රමයක් ලෙස තෝරා ගැනීමේ හැකියාව ද පවතී. එසේ 29 දෙනකු පත් කිරීමේ දී සමාජයේ විවිධ ජන කොට්ඨාස, තරුණ සහ කාන්තා නියෝජනය ප්‍රමාණවත් ලෙස සිදුකළ යුතු අතර අවම අධ්‍යාපන සුදුසුකම ලෙස උපාධියක් හෝ ඒ හා සමාන වෘත්තීය සුදුසුකමක් තිබිය යුතු ය. ව්‍යවස්ථාදායකයේ සංයුතියේ ගුණාත්මකභාවය පිළිබඳ දැඩි විවේචන පැවතියත් එය ගුණාත්මක ලෙස වර්ධනය කරගත යුතු ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා වන්නේ ඉතා මද වශයෙනි.

මෙහි සඳහන් වන්නේ දේශපාලනික සහ ව්‍යවස්ථාමය ලෙස සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පමණි. ආර්ථික සහ ජාත්‍යන්තර භූ දේශපාලනය පදනම් ව සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ වෙන ම සලකා බැලිය යුතු කරුණු වේ.

(***)