හපාලන ආණ්ඩුවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් අමතක කර දමා තිබූ පළාත් සභා මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට රජය අදහස් කර ගෙන තිබේ.


 පළාත් සභා සුදු අලියකු බවත් පළාත් සභා ක්‍රමය ඉන්දියාවේ වුවමනාවට මෙරටට බලෙන් පැටවූ බරක් බවත් ආදි කරුණු කාරණා ගෙනහැර පාමින් ආණ්ඩුවේ ඇතැම් පිරිස් පළාත් සභා මැතිවරණය නතර කිරීමට උත්සාහ ගත්තේය. එම පිරිසට ඇතැම්  භික්ෂූන් වහන්සේලාගේද සහය නොමඳව හිමිවිය. භික්ෂූන් වහන්සේලා පළාත් සභා මැතිවරණය අනවශ්‍ය බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවේ ඔහුට හිතවත් පිරිසකගේ අවශ්‍යතාව වී තිබුණේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේම ඥාතීන් පිරිසක් පළාත්  සභා නියෝජනය කරන  හෙයින් ඔවුන්ගේ ඉදිරි දේශපාලන පැවැත්ම සඳහා ද පළාත් සභා අවශ්‍ය බවට ඉකුත් කාලය පුරාම ප්‍රසිද්ධ වේදිකාවේ කරුණු අනාවරණය විය. මේ අතර ඉන්දියාව  දිගින් දිගටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලපෑම් කරන බවටද දේශපාලන කරළියේ මත පළවන්නට  විය.

‘‘ඉන්දියාව 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වනවා. විශේෂයෙන් පළාත් සභා මැතිවරණය කල්දැමීම පිළිබඳව ඉන්දියාව  සතුටු නැහැ. ජිනීවා ප්‍රශ්නය, වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නය ආදී කරුණු හේතුවෙන් ආණ්‍ඩුවට ගැලවීමක් නැහැ. ඒ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවෙනවා’’ යැයි ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් කීවේය.

එහෙත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවක් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පළාත් සභා නව ඡන්ද ක්‍රමය  අනුව පැවැත්වීමට යහපාලන ආණ්ඩුව  සූදානම් වුණා. සීමානිර්ණයක්  කරලා නැහැ. මැතිවරණ නීතිය සංශෝධනය කළා. ඒ නිසා පැරණි ක්‍රමයට ඡන්දය තියන්න බැහැ. නැවත පාර්ලිමේන්තුවෙන් පළාත් සභා පනත සංශෝධනය  කරන්න අවශ්‍යයි. එතකොට පැරණි සමානුපාතික ක්‍රමයට  ඡන්දය තියන්න පුළුවන් වෙනවා’’යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත්දා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබිණ.
‘‘පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්  ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත්කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමඟ සාකච්ඡා කළා.  කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ කාන්තා සංයුතිය ඇතුළු ඉකුත් ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන්ම පරාජය කළා. මහජන නියෝජිතයන් නැතිව තමයි දැන් පළාත් සභාව ක්‍රියාත්මක වන්නේ. මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර කඩිනමින් මැතිවරණය පැවැත්වීම අවශ්‍යයි’’ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට අනුව අනිවාර් යෙන්ම මේ වසරේදී පළාත් සභා ඡන්දය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බුර්කාව  තහනම් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. රජයේ මෙම  තීන්දුවට මුස්ලිම් දේශපානඥයන් කනස්සල්ල පළකර ඇතැයි වාර්තාවේ. ‘‘ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මුස්ලිම් දේශපාලනඥයන් ද මේ තීන්දුවට විරෝධය දක්වනවා. ඒත් ජනාධිපතිතුමා ඍජු තීන්දුවක් ගනීවි. ලෝකයේ රටවල් කීපයකම බුර්කාව මේ වනවිට තහනම් කර තිබෙනවා. ආරක්ෂාව  සම්බන්ධ ප්‍රශ්නවලදී එවැනි දේ කරන්න වෙනවා’’ යැයි ආණ්ඩුවේ දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය. 

එහෙත් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණේ බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකා සඳුදා සාකච්ඡාවට නොගත් බවය. ඉකුත් සඳුදා පැවැති කැබිනට් රැස්වීමේදී බුර්කාව තහම් කිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත කර ගනු ඇතැයි ආරංචි පැතිර ගොස් තිබූ  නමුත් ආණ්ඩුවේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කළේ  තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්  අවශ්‍ය බවට ආණ්ඩුවේ නායකයන් කල්පනා කරන බවය. ‘‘හදිසියේ මේ වගේ තීන්දු තීරණ ගන්න බැහැ. විවිධ පාර්ශ්වවල අදහස් තිබෙනවා. ඒ ගැන බලන්න ඕනෙ. බුර්කාව තහනම් කිරීමේ අදහස ආණ්ඩුව අත්හැර නැහැ’’යැයි ඇමතිවරයකු ප්‍රකාශ කර තිබේ. 

ශ්‍රී ලකාවේ ඉන්දීය මහකොමාසරිස් ගෝපාල් බාග්ලේ ඉකුත් මාස කීපය ඇතුළත ශ්‍රීලංකාවේ දේශපාලනඥයන් හමුවී විශේෂ සාකච්ඡා පැවැත්වීය. විපක්ෂයේ දේශපාලනඥයන් මෙන්ම සුළු ජාතික  පක්ෂවල නායකයන්ද එලෙස හමුවූ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන කරුණු කාරණා සම්බන්ධ අදහස් හුවමාරු කරගත්තේය. ඉකුත් සති අන්තයේ ගෝපාල් බාග්ලේ නැගෙනහිර පළාතේ සංචාරයක නිරත විය. ඔහු එම  සංචාරයේදී යාපනයේ සහ ත්‍රිකුණාමලයේදී ඔහු විවිධ දේශපාලන පක්ෂවල නායකයන් හමුවීය. ඊ.පී.ඩී.පී. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් දිලිපන්, දෙමළ ජාතික සන්ධානයේ සභාපති මාවෛ සේනාධිරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන්, සිද්ධාර්ථන්, සුමන්තිරන් චාල්ස් නිර්මලනාදන් ඇතුළු පිරිසක් හමුවී ඉන්දීය මහ කොමසාරිස්වරයා සාකච්ඡා පැවැත්වීය. මීට අමතරව උතුරු පළාතේ තරුණ නායකයන් 15 දෙනෙකුගෙන් සමන්විත දෙමළ ජාතික  සන්ධානයේ නියෝජිතයන් පිරිසක්ද ඔහු මුණගැසුණේය. උතුරු නැගෙනහිරට ආවේණික සමාජ ආර්ථික ප්‍රශ්න මෙන්ම රටේ දේශපාලන ගැටලු පිළිබඳව ඒ ඒ දේශපාලනඥයෝ මහ කොමසාරිස්වරයා හමුවේ කරුණු කීහ. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන්  හා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ උනන්දුව ගැනද ඔහු විවිධ දේශපානඥයන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. සී.වී. විග්​ෙන්ස්වරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එන්. ශ්‍රී කාන්තා, ශිවාජිලිංගම්, ආනන්දි සශිදරන්, වෙන්දන් ඇතුළු පිරිසක්ද ඉන්දීය  මහකොමසාරිස්වරයා හමුවූහ. රටේ පවතින ආර්ථික, දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ ගෝපාල් බාග්ලේ පසුව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් එස්. කජේන්ද්‍රන්, ආර්. ශානක්කියන් ආදී තවත් පිරිසක් සමඟද විශේෂ සාකච්ඡා පැවැත්වීය. එහිදී උතුරේ දේශපාලන නායකයන් තම තමන්ගේ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමුකරන්නැයි මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියහ. 


මැතිවරණ කොමිෂන් සභාවේ ඉකුත් අඟහරුවාදා පැවති වැඩමුළුවකදී කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා විශේෂ කරුණක් හෙළිදරව් කළේය. ඒ ඉකුත් මහ මැතිවරණයේදී එක්තරා අපේක්ෂකයෙක් රුපියල් මිලියන 30ක් වියදම් කර තිබෙන බව ඔහු අනාවරණය  කළේය. ඒත් එම අපේක්ෂයාට ලබාගත හැකිව තිබුණේ ඡන්ද 5000ක් පමණ ප්‍රමාණයකැයිද සභාපතිවරයා සඳහන් කළේය.‘‘මැතිවරයකදී සිදුකරන  වියහියදම් ගැන අපි සලකා බලන්න ඕනෙ. වියදම්  පාලනය ගැන නීති ඇතුළත් පනතක් සකස් කරමින් තිබෙනවා. එහි වැඩ කටයුතු නිමකර පාර්ලිමේන්තුවේ සම්මත  කරගත් පසුව එය රටේ නීතියක්  බවට පත්වේවි. ඉන්පසුව අපට ඒ ඒ අපේක්ෂකයා මැතිවරණයේදී සිදුකර ඇති වියදම් සොයා බැලීමටත් කුමන කාරණා සඳහා ඒවා වියදම් කර ඇත්දැයි යන්න සොයා බලන්න හැකිවෙනවා’’ යැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන්නේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණ ජාතික ලැයිස්තු පුරප්පාඩුව නොපිරවීම ජනතාවගේ ඡන්ද බලයට කරන අගෞරවයක් බවට තර්ක ඉදිරිපත් කරමින් කණ්ඩායමක් මැතිවරණ කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබේ. මාස ගණනාවක් එජාප ජාතික ලැයිස්තු ධුරය හිස්ව තැබීම  එජාපයට ඡන්දය ලබාදුන් ඡන්දදායකයන්ට කරන අගෞරවයකැයිද එම කණ්ඩායම පෙන්වා දී තිබේ. ‘‘ එවැනි අවස්ථාවක ගතයුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවෙන් කොමිසමට බලය පවරා ගෙන නැහැ. ඒක විශාල අඩුවක්. එවැනි අවස්ථාවක එජාප ලැයිස්තුවේ සිටින මුල්ම අපේක්ෂකයා නැත්නම් වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා පත්කිරීමට මැතිවරණ කොමිසමට  බලයක් ලබාදිය යුතු යැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

කිසියම් දේශපාලන පක්ෂයක නමක් ජාතියක හෝ ආගමික හෝ නමකට සම්බන්ධ නම්  එවැනි පක්ෂවල නම සංශෝධනය කළ යුතු බවට යෝජනා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වේ. කිසියම් ජනවර්ගයක අනන්‍යතාව  තහවුරු වන මේ දේශපාලන පක්ෂ තිබීම ගැටලුසහගත බවද දේශපාලන පක්ෂයක් මුළු රටටම අයත් එකක් මිස ජනවර්ගයකට හෝ කණ්ඩායමකට හෝ අයත් එකක් නොවිය යුතු බවද මැතිවරණ කොමිසමේ අදහස වී තිබේ. මීට අමතරව රටේ පොදු නීතිවලට පටහැනි කරුණු සහිත ව්‍යවස්ථා තිබෙන පක්ෂවලට ලියාපදිංචිය ලබා නොදීමටද මැතිවරණ කොමිසම තීන්දු කර ඇතැයි වාර්තාවේ.


සමගි ජනබලවේගය පක්ෂයේ පළමු සංවත්සරය කොළඹදී ඉකුත් අඟහරුවාදා පැවැත්විණ. නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම ජනරැලිය පැවතියේ කොළඹ හයිඩ් පිටියේය. රටේ පවතින සෞඛ්‍ය නීති රීතිවලට අනුගත වෙමින් සීමිත පිරිසකට පමණක් එම රැළියට ආරාධනා කළ බවද සංවිධායකයෝ පැවසූහ. සමගි ජනබලවේගය පක්ෂයේ පළමු සංවත්සර රැස්වීමේදී කතිකයන්ගේ ප්‍රධානතම මාතෘකා බවට පත්ව තිබුණේ රටේ ආර්ථික හා සමාජ ප්‍රශ්නය. සමගි ජනබලවේගය පක්ෂයේ පළමු සංවත්සර රැස්වීමට මහලේකම්  රංජිත් මද්දුම බණ්ඩාරට සහභාගිවීමට හැකි වූයේ නැත. ඒ ඔහු හදිසියේ අසනීපවීම හේතුවෙනි. මුලදී ආරංචි පැතිර ගියේ චම්පික  රණවක සංවත්සර රැස්වීමට සහභාගි නොවන බවකි. එහෙත් එම ආරංචි  අසත්‍යයක් බවට පත් කරමින් චම්පික රණවක ඊට සහභාගි විය. ඔහු කතාවක්ද කළේය. න්‍යාය පත්‍රයේ සඳහන්ව තිබුණේ ඉමිටියාස්  බාකීර් මාකර් කතාවක් කරන බවය. එහෙත් ඉමිටියාස් ඊට සහභාගී වූයේ නැත. ඒ වෙනුවට කබීර්  හෂීම් කතාවක් කළේය. සමගි ජන බලවේගයේ මංගල රැස්වීමට තේමාවී තිබුණේ ‘‘එකට හිටගනිමු’’ යන්නය. ‘‘ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් පොදු සන්ධානයක් ගොඩනැගීමත් එහි ශක්තිය මත ආණ්ඩුව පරාජය කිරීමත් අරමුණ’’ යැයි විපක්ෂයේ දේශපාලනඥයෝ කියති. සමගි ජනබලවේගය පක්ෂයේ සංවත්සර රැස්වීමේදී කතිකයෝ ආණ්ඩුවට පහර දුන්හ. එහෙත් සරත් ෆොන්සේකා  තරමක වෙනස් කතාවක් කළේය. ඔහු එජාප නායක රනිල් වික්‍රමසිංහට පහර පිට පහර ගැසුවේය. තවදුරටත් දේශපාලනයේ නිරතවීමට උත්සාහ  දරන බවට ඔහු රනිල්ට දොස් කීවේය.

මේ අතර  සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තීන්දුකර ඇත්තේ රටපුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමටය. රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් හා ජීවන වියදම පහත හෙලන ලෙස බලකරමින් රටපුරා එම උද්ඝෝෂණ මාලාව කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කරන බවද  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් කියන්නේය.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ඉකුත් දිනක මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට ගොඩවැදීමට පැමිණි බවත් ඔහුට ඒ සඳහා අවසර නොලැබුණු බවටත් ඇතැම් සමාජ මාධ්‍යවල කරුණු වාර්තා කර තිබුණේය. හිටපු සභාපතිවරයාට මැතිවරණ කොමිෂන් සභා කාර්යාය තුළට ප්‍රවේශවීමට අවස්ථාව නොදීම පිළිබඳව ඇතැම් පිරිස්ද විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කළහ. එහෙත් මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මහින්ද දේශප්‍රියගේ අකරතැබ්බ ගැන වෙනත් අදහසක් දක්වා තිබුණේය. ‘‘මහින්ද දේශප්‍රිය කොමිසමේ කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ ගත්තේ නැහැ. මැතිවරණ කොමිසමේ සේවය කරන ඔහුගේ පාසල් මිත්‍රයෙක් හමුවීමට පැමිණ ඔහු සමඟ මෝටර් රථයට වී කතාබහ කර තිබෙනවා. මෝටර් රථය නතර කර තිබූ හෙයින් එතන මාර්ගයේ වාහන තදබදයක් හටගත්තා. ඒ  නිසා කොමිසමේ ආරක්ෂක නිලධාරියෙක් ඔහුගේ මෝටර් රථය ඉදිරියට ගන්නැයි ඉල්ලා තිබෙනවා. මෝටර් රථයේ සිටියේ කවුරුන්දැයි ආරක්ෂක නිලධාරියා දැන සිටියේ නැහැ. ඕක තමයි ඇත්තම කතාව. ඒත් සමහරු වෙනත් කතා ප්‍රචාරය කරලා අපේ ඉහළ නිලධාරියෙකුට පහර ගහන්න උත්සාහයක් දරනවා’’ යැයි ඔහු කියන්නේය.  

 - කස්තුරි