යෝජිත 20 වැනි සංශෝධනයේ අන්තර්ගතය, ඉහළ විනිසුරන් පත්කිරීමේ බලය, ජනාධිපතිවරයාට යළි හිමිවන දණ්ඩමුක්තිය, කැබිනට් මණ්ඩලයේ සීමා ඉවත් කිරීම, ද්විත්ව පුරවැසියන්ගේ දේශපාලන අයිතිය, අගමැතිගේ බල සීමාව, ශ්‍රී.ල.නි.පයේ බලය, ආණ්ඩුවේ තුනෙන් දෙක හා ආර්ථික අර්බුදයට විසඳුම ගැන මෙවර ‘සඳුදා හමුවෙන්’ අදහස් දක්වන්නේ බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන පිළිබඳ ඇමැති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්  දයාසිරි ජයසේකර මහතායි.

ප්‍රශ්නය:- 20 වැනි සංශෝධනයට අදාළ මූලික කෙටුම්පතක් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. එම කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්ද?
පිළිතුර:- මේ වනතුරු අපට ඒ කෙටුම්පත හරියට දැකගන්න ලැබුණේ නෑ. එහෙත් අපි ඒ සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේදි තීරණයක් ගත්තා. ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත්කරලා අධ්‍යයනය කරලා අදහස් ඉදිරිපත් කළ යුතු යැයි අපි සිතුවා. කෙසේ නමුත් 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවට මේ රටේ ජනමත දෙකක් ලැබී තිබෙනවා. එකක් ජනාධිපතිතුමාට ලැබුණා. අනෙක මහමැතිවරණයෙන් තුනෙන් දෙකකට ලැබුණු ජනමතය. ඒ අනුව ජනතාව යම් මතයක් ලබා දී තිබෙනවා. ඒකත් අපි සැලකිල්ලට භාජන කළ යුතුයි. 19 වැනි සංශෝධනයෙන් රටේ හටගත් අස්ථාවරභාවය වෙනස් කිරීමට අවශ්‍යයි. ඒ සඳහාත් අපි අවශ්‍ය පියවර ගත යුතු බව මගේ පුද්ගලික මතයයි.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයාට දණ්ඩමුක්තිය හිමිවීම ගැන අදහස කුමක් ද?
පිළිතුර:- මාත් ඒකට විරුද්ධයි. මොකද හේතුව අඩුම තරමින් මානව හිමිකම් සම්බන්ධයෙන්වත් ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ බලයක් ජනතාවට තිබිය යුතුයි. එහෙත් මේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ මේ සමස්තයට තමයි. 19 යේ හොඳ නරක දෙකම තිබෙනවා. හැබැයි මිනිස්සු කිව්වේ 19 අහෝසි කරන්න කියලනෙ. ඉතින් එතකොට ඒ ජනමතයට ගරු කළයුත්තේ කෙසේද කියන කාරණය බලන්න වෙනවා. මේ ගැන අපට එකවර අදහස් පළකරන්න බෑ. සමහර විට අපට ඒ ජනමතයත් සමග හිටගන්න වේවි.

ප්‍රශ්නය:- ජනවරමට ජනමතය හදද්දී ආණ්ඩුවේ විද්වතුන් ජම්බෝ කැබිනට්ටු එපා කිව්වත් 19 වැනි සංශෝධනයෙන් සීමා කර තිබූ ඇමැති මණ්ඩලයේ සීමා මායිම් පවා නව කෙටුම්පතින් ඉවත් කර තිබෙනවා. ඒ දේවල් ජනවරමට ගැලපෙනවද?
පිළිතුර:- ඒක තමයි මාත් කිව්වේ. ජනාධිපතිතුමා කැබිනට්ටුවේ තිහක් පත්කිරීමේ අවස්ථාව තිබිලත් පහළොවක් පත්කරලා ඉතා නිවැරැදිව ඒ ආරම්භය ගත්තා. එතුමා අදටත් විසි අට දෙනයි පත්කරලා තිබෙන්නේ. ඉතින් ලබා දෙන බලය භාවිත කරන්නේ කොහොමද කියන දේ වැදගත්. පොල්වලටයි තල්වලටයි වී වලටයි ඇමැතිවරු බිහි කරපු යුගයකුත් අපි දැක්කා. එහෙම නොකර මේ බලය සාධාරනීකරණය කළ හැකි ආකාරයට ජනාධිපතිතුමා බලය පාවිච්චි කරාවි කියලා විශ්වාසයක් අපට තිබෙනවා. වර්තමාන ජනාධිපතිතුමා ඉන්නේ ඉතිහාසයේ කළ වැරැදි නැවත ක්‍රියාත්මක කරන්න නෙවෙයි. එතුමා ඉතාම සරල ජනාධිපතිවරයෙක් කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා තිබෙනවා. වාහන, බලය, වියහියදම් යන කාරණාවලදී අනෙක් ජනාධිපතිවරුන්ට සාපේක්ෂව වත්මන් ජනාධිපතිවරයා කැපී පෙනෙන වෙනසක් කරලා තිබෙනවා. ඉතින් තමන්ට බලය ලැබුණා යැයි කියා එය වැරැදි විදියට පාවිච්චි නොකරනු ඇතැයි මා සිතනවා.

ප්‍රශ්නය:- යෝජිත ව්‍යවස්ථාව මගින් අගමැතිවරයා පියන් කෙනෙකු බවට පත්කර ඇතැයි ජ.වි.පෙ නායකයා පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඇත්තටම අගමැතිගේ බලයට වෙන්නේ මොකක්ද?
පිළිතුර:- ඇත්තටම 19 වැනි සංශෝධනයෙන් කළේ ජනාධිපති, අගමැති හා කතානායක වශයෙන් බල අධිකාරින් තුනක් නිර්මාණය කිරීමයි. මේ බලාධිකාරි තුනෙන් රටට විශාල අස්ථාවරභාවයක් ඇතිවුණා. එතැනදි වැදගත් වෙන්නේ අගමැති පියන් වෙනවද නැද්ද කියන එක නෙවෙයි. බලය තිබෙන්නේ කවුරු අතද ඒ අතට බලය ලබා දිය යුතුයි. නැත්නම් කරන්න තිබෙන්නේ ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි. ජනාධිපතිකමත් තියාගෙන අගමැතිවරයාටත් බලය වැඩි කරගෙන ඒකෙන් කොටසක් කතානායකටත් දීම අවුලක්. ඇත්තටම එදා වුණේ තමන්ගෙ පක්ෂය විසින් පත්කරන ලද ජනාධිපතිවරයාගේ බලය හෑල්ලු කර එය තමන්ට ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහත්තයට වුවමනා වීමයි. ඒවට තමයි ඡන්දය දුන්නේ. එයින් අවසානයේදි වුණේ රට අස්ථාවර වීමයි. බලය අඩු කරන්න ගිහින් රටට වූ විනාශය වගේම අන්ත බලයේ දූෂිතභාවයත් අපි ඇස් දෙකටම දැකලා තිබෙනවා. එනිසා තිබෙන්නේ ජනාධිපති ක්‍රමයක් නම් ජනාධිපතිවරයාට බලය හිමි විය යුතුයි. නැත්නම් එය අහෝසි කර වෙස්ට් මින්ස්ටර් ක්‍රමයකට රට ගෙන යා යුතුයි.

ප්‍රශ්නය:- නව සංශෝධනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුදුසුකම සම්බන්ධයෙන් දිවිත්ව පුරවැසිභාවයේ සීමා ඉවත්කරන්නේ පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු පැමිණීමට යැයි චෝදනාවක් ආවා. බැසිල් රාජපක්ෂ මහතාට ඇමෙරිකානු රටවැසිභාවය ඉවත් කරගෙන පාර්ලිමේන්තුවට පැමිණීම සුදුසු යැයි ආණ්ඩුවේම ඇතැම් මැති ඇමැතිවරුන් පැවසුවත් කෙටුම්පතින් ද්විත්ව පුරවැසි සීමා ඉවත් කර තිබෙනවා නේද?
පිළිතුර:- මේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නීතිය ගෙනාවෙ කවුද? ඇයි ගෙනාවේ? 2015 වනතුරු මේ රටේ ද්විත්ව පුරවැසිභාවය දැරූවන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවේ නෑ. ඇත්තටම නීති හදන්නේ පුද්ගලයන් ඉලක්ක කරගෙන නම් ඒවා නීති නෙවෙයිනේ. මර්දනයන්. පැහැදිලිවම මේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ තීන්දුව ගත්තේ 2015 ජනවාරි 8. ඒ ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිවයි. පුද්ගලවාදී ලෙස රටේ නීති සැකැසුවාම ඒවා යළිත් වෙනස් වෙන එක නතර වෙන්නේත් නෑ. අනෙක් අයට බලයක් ආපු ගමන් කරන්නේ ඒක අනෙක් පැත්තට කරකවනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ පුරවැසිභාවය ඉවත් කරගෙන ජනාධිපතිවරණයට තරග කරලා ආදර්ශවත් වුණා. ඒක වෙනස් කරගන්නෙ නැතිව නීති වෙනස් කරගෙන වෙනස් විදියකට නීති පරිවර්තනය කිරීමේ ඉඩකුත් තිබෙනවා. මේ ඉඩ හැදුණෙත් 19 වැනි සංශෝධනයට පුද්ගලවාදී ලෙස නීති ඇතුළත් කිරීම නිසා. ඉතින් පුද්ගලවාදී ලෙස හදන නීති ඊළඟ කණ්ඩායම අාපු ගමන් වෙනස්කිරීම අනිවාර් යෙන්ම නතර කරන්න බෑ.  

ප්‍රශ්නය:- බැඳුම්කර ගනුදෙනුවට අදාළව අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වාගැනීමට ප්‍රධාන බාධකය පුරවැසිභාවය යැයි මේ ආණ්ඩුවේ සමහරු කිව්වා. එසේ නම් මේ නව වෙනස සමග අපරාධ වරදක් කර පලා යන ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරයකුට නීතියෙන් දඬුවම් කිරීම සිහිනයක් නොවේවිද?
පිළිතුර:- ඔව්. ඉතින් ඒක වෙන්න පුළුවන්. ඒක තමයි. ඒ වගේ අය පත්කරනවද නැද්ද කියන එක තීරණය කළයුත්තේ මේ රටේ ජනතාවයි. ද්විත්ව පුරවැසිභාවය හිමි අය ඡන්දය ඉල්ලුවොත් තනතුරු දැරුවොත් ඒ අයට විරුද්ධව ගත හැකි පියවර සම්බන්ධයෙනුත් නීතියේ අලුත් ප්‍රතිපාදන ඇති විය යුතුයි කියලයි මා විශ්වාස කරන්නේ.

ප්‍රශ්නය:- ඇත්තටම 20 කෙටුම්පත් කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් ගත්තද? පක්ෂය ඊට සම්බන්ධ වුණේ කවර මට්ටමකින්ද?
පිළිතුර:- මූලික ලියැවිල්ලට කාගෙන්වත් අදහස් ගත්තේ නෑ. මූලික ලියැවිල්ල හදන්නේ සාමාන්‍යයෙන් ඇමැතිවරයා හා අමාත්‍යාංශයයි. ඒක කැබිනට්ටුවේ සාකච්ඡා වෙන්නේ පසුවයි. මේ යෝජනාව සම්මත වෙන්න තව මාස තුනක් විතර යාවි. තාම මෙය තිබෙන්නේ නීතිපතිතුමා ළඟ. ඊටපස්සේ එය කැබිනට් මණ්ඩලයට ඇවිත් එය අනුමත කිරීමෙන් පසු ගැසට් කරනවා. ඊටපස්සෙ ඒක පාර්ලිමේන්තුවට දාලා සති තුනක් න්‍යාය පුස්තකයේ තිබිය යුතුයි. ඒ නිසා අපට මේ ගැන පාර්ලිමේන්තුවේ ඇති තරම් සාකච්ඡා කිරීමට කාලය තිබෙනවා. අපි ලබන සතියේ ඒ සඳහා වූ කමිටුවක් පත්කර අධ්‍යයනය කරනවා.

ප්‍රශ්නය:- ආණ්ඩුවට තවම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සම්පූර්ණ නෑ. එවැනි තත්ත්වයක ඔබ හිතන්නේ ශ්‍රී.ල.නි.ප සහාය තීරණාත්මක යැයි කියාද?
පිළිතුර:- ඔව්. අපි දාහතර දෙනා ඡන්දය නොදී හිටියොත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය නැතිව යනවා. හැබැයි රටේ ජාතික ප්‍රශ්න සමග ඒක කේවල් කරන්න අපි සූදානම් නෑ. 19 වැනි ව්‍යවස්ථාව අහෝසි කිරීමේදී රටට වගකිව හැකි සංශෝධන ක්‍රියාවලියක් ගෙනආවොත් අපි සහාය දක්වනවා. ඒ වගේම මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය වටිනවා. ජනප්‍රියත්වය විනාශ කරගෙන සංශෝධන කළ යුතු යැයි මා විශ්වාස කරන්නේ නෑ.

ප්‍රශ්නය:- ලද දෙයින් සතුටු වී ආණ්ඩුව ආරක්ෂා කිරීමට කැප වෙන බව ඇමැති ධුරයේ දිව්රුම් දුන් පසුව ඔබ කීවා. එහෙත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රදානයත් සම්ප්‍රදායෙන් පිට සිදු වූ බව ශ්‍රී.ල.නි.ප මතයයි. ආරම්භයේ හැටියට දිගටම ලද දෙයින්ම සතුටු වී ඉන්න ශ්‍රී.ල.නි.ප.යට සිදු වේවිද?
පිළිතුර:- එක එක අවස්ථාවලදී අපි කොහොමද වැඩ කරන්නේ කියලා කල්පනා කළ යුතුයි. මේ විදියට අසාධාරණකම් වුණා කියලා මිනිස්සුත් දැනගන්න ඕනෑ.

ප්‍රශ්නය:- ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය නම් ආර්ථික අර්බුදයයි. ඇත්තටම ආණ්ඩුවට රට කරවන්න සල්ලි උත්පාදන මාර්ග තිබෙනවද?
පිළිතුර:- මේ කොරෝනා අර්බුදයත් එක්ක රටේ සල්ලි නෑ තමයි. ඇත්ත කතාව. මේ වනවිට අපේ අපනයනවල වර්ධනයක් තිබෙනවා. ඒ අතරේ ආනයන සීමා කර තිබෙනවා. මෙමගින් විසඳුමක් සොයාගත හැකි යැයි අපි කල්පනා කරනවා. මේක මුළු ලෝකයටම තිබෙන ප්‍රශ්නයක්. ඇමෙරිකාව ඩොලර් බිලියන අටක් අච්චුගහන්න තීරණය කළා. සංචාරකයන්ට නැවත රට විවෘත වෙද්දී අලුත් ආයෝජන එද්දී මීට වඩා වෙනසක් වේ යැයි අපි හිතනවා.

ප්‍රශ්නය:- දේශීය මෙන්ම විදේශීය වශයෙන් රෙදිපිළි නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට කටයුතු කරන බව ඔබ කීවත් එය පහසු කටයුත්තක් ද?
පිළිතුර:- තවමත් මේවායේ වැඩ කරන්නේ පරණ සේවකයන්. වයසක අය. අලුත් තරුණ තරුණියන් මේකට ඇදෙන්නේ නෑ. ලබන අවුරුද්දෙදි තරුණ තරුණියන් දහදාහක් ඒ සඳහා පුහුණු කරනවා. ඒ වගේම වහලා තිබෙන රෙදිපිළි කර්මාන්ත ශාලා නැවත විවෘත කරනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන් සතියේ එක දවසක් බතික් හෝ දේශීය ඇඟලුම්වලින් සැරසීමට පොළඹවනවා. ගැටලු ප්‍රශ්න ඕනෑම අමාත්‍යාංශයකට එනවා. එම අභියෝග ජයගැනීමට අපි සූදානම්.

ප්‍රශ්නය:- දකුණු චීන මුහුදේ ඉදිකිරීම්වලට එරෙහිව චීන සමාගම් 24කට ඇමෙරිකාව විසින් සම්බාධක පනවනු ලබද්දී කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ඊට දැඩි විවේචනයක් කළා. ලංකාවේ දේශපාලනයට ස්වාධීනව පැවැත්මක් නැතැයි දිගින් දිගටම කී දේශපාලකයකු වූ ඔබ වත්මන් රජයේ විදෙස් පිළිවෙත ගැන දරන්නේ කවර මතයක් ද?
පිළිතුර:- මම හැමදාම කියනවා වගේ මේ රටේ ජනාධිපතිවරණවලදීත් මහමැතිවරණවලදීත් ක්‍රියාත්මක වෙන්නේ විදේශ න්‍යායපත්‍රයි. ඉදිරියටත් ඒක එහෙමමයි. ලංකාව එතැනින් ගැලවිලා නෑ. මේ ආණ්ඩුව යටතේත් ඒ විදියටම ඒක ක්‍රියාත්මක වෙනවා. ඒකට ඕනෑ තරම් උදාහරණත් තිබෙනවා. ඒකෙන් ගැලවීමට හැකිවන්නේ අපි ස්වයංව නැගිට්ට ජාතියක් බවට පත් වූ පසු පමණයි.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)