අප “ලෝක ගුරු දිනය” සමරන්නේ ඔක්තෝබර් 07 වැනිදා අඟහරුවාදා දිනයේ ය. එහෙත් එය ඇත්තට යෙදෙන්නේ ඔක්තෝබර් 05 වැනිදාය. එදින ලෝක ගුරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ අධ්‍යාපනයට හා ගුරු වෘත්තියට එදින විශේෂ දිනයක් වන හෙයිනි.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය (UNESCO) සමග ජාත්‍යන්තර කම්කරු සංවිධානය (IOL) එක්ව “ගුරුවරුන් සතු පිළිගැනීම සඳහා වන නිර්දේශ” ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1966 ඔක්තෝබර් 05 වැනිදාය. එනිසා ඔක්තෝබර් 05 වැනිදා මුළු ලෝකයටම වැදගත් දිනයක් ලෙස 1994 දී මේ සංවිධාන ද්විත්වය “ලෝක ගුරු දිනය” ප්‍රකාශයට පත් කළහ.
අපේ සමාජයේ මේ ගුරු දිනය සැමරෙන්නේ මවුපිය කණ්ඩායම් එකතුවී ගුරුවරුන්ට මුදලින් හෝ වෙනත් ආකාරයකින් තෑගි ලබා දීමේ උත්සව පැවැත්වීමෙනි. ඒ සඳහා මුදල් එකතු කිරීමත් පාසල්වල සිදුවන දූෂණයට එකතුවක්ව ඇත. සෑම වසරකම යුනෙස්කෝව විසින් ලෝක ගුරු දිනය වෙනුවෙන් තේමාවක් ලබා දෙන්නේ ය. එය කුමක්දැයි කියා හොයා බලන විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා මවුපියන් ඇතිදැයි නොදනිමි.
ලෝක ගුරු දින වාර්ෂික තේමාව ඇසුරෙන් පාසල්වල සාකච්ඡා සංවාද පැවැත්වෙන්නේ යැයි මා අසා නැත.
මේ නොසැලකිල්ල නොතැකීම නිසා අවුරුදු 60 ට ආසන්න කාලයකට පෙර ප්‍රකාශයට පත් කෙරුණු “ගුරුවරුන් සතු පිළිගැනීම සඳහා වන නිර්දේශ” කිසිවක් ගැන අපගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහි අවධානයට ලක්ව නැත. ඒ සම්බන්ධ ගුරුවරුන් හා මවුපියන් අතර ඇත්තේ දැනුවත්කමක් නොව, නොදැනුවත්කමකි. එම නිර්දේශ පෙළ ආරම්භයේදීම සඳහන් කෙරෙන්නේ ගුරු සේවාව වෘත්තියක් ලෙස සැලකිය යුතු යැයි කියා ය. එය පැහැදිලි කරමින් එහි සඳහන් කෙරෙන්නේ, “එය මහජන සේවාවකි. ඒ සඳහා අඛණ්ඩව ඉගෙනීමෙන් වර්ධනය කෙරෙන හා දැනුවත් වන විශේෂඥ දැනුමක් හා විශේෂ කුසලතාවක් ගුරුවරුන් සතුව තිබිය යුතුය. ඒ වගේම තමන් භාරයේ ඉන්නා සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය හා සුබසිද්ධිය සම්බන්ධ සාමූහික මෙන්ම පෞද්ගලික වගකීමක්ද ඇති බව දත යුතුය” යනුවෙනි.
මෙහි ගැබ්ව ඇති පණිවිඩය වන්නේ තමන් අනාගත පරම්පරාවක වගකීම බාරව ඉන්නා මහජන සේවාවක් කරන්නා වූ විශේෂඥ වෘත්තිකයන් බැව් ගුරුවරුන් දැන සිටිය යුතු අතර, ඔවුන්ට එලෙසින් සැලකීමේ වගකීමක් සමාජයටද ඇත යන්න ය. එහෙත් මේ සමාජයේ ඒ දෙපැත්තම නැති බව, පාසල් අධ්‍යාපනය පමණක් නොව, පාසලද පිරිහී යාමෙන් කියන්නකි. ඒ පිරිහීමේ තරම දැකිය හැකි වූයේ සතියකට ඉහතින් පැවති “ලෝක ළමා දින” සැමරීම් සමගින්ය. එදින උත්සව සඳහා බොහෝ පාසල්වල ළමයින්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් හවුල් වූ අනිසි හැසිරීම්, අපචාර සම්බන්ධ වාර්තා අපමණ විය.
ඛේදවාචකය නම්, එවැනි පිරිහීම් සඳහා විසඳුම් කතා කරන්නේ ළමයින්ට දඬුවම් කිරීමෙන් වීම ය. ජාත්‍යන්තර ප්‍රමිතීන්, සංකල්ප, නීති හා සම්මුතීන් කිසිදු සමාජ කතිකාවකින් තොරව, සමාජය දැනුවත් කිරීමකින් තොරව සමාජය මත පැටවීමේ නරුම පුරුද්ද අනුව ළමයින්ට කායිකව හා මානසිකව දඬුවම් කිරීම තහනම් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් මුදා හැරි විරෝධය මගින් ප්‍රකාශ කෙරෙන්නේ “පාසල් විනය” සඳහා ළමයින්ට දඬුවම් කිරීමේ “අයිතිය” ගුරුවරුන්ට තිබිය යුතු බවය. එය ගුරුවරුන් හා ගුරු සංගම් නායකයන් පමණක් නොව, මවුපියන්ද කියන්නකි.
දඬුවමකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? බලාපොරොත්තු වන්නේ වරදක් නිවැරැදි කිරීම හෝ නැවත එවැන්නක් නොවීම නම්, කවර ආකාරයේ වුවත් ශාරීරික දඬුවම් මගින් එය නොවන්නකි. ශාරීරික දඬුවම් නොවුණත් ඇණුම් බැණුම් මගින්ද එවැන්නක් නොවන්නේය. අධිකරණයෙන් දෙන දඬුවම් මගින් පවා සමාජයක අපරාධ අඩු නොවන්නේත් එකම වරද කිහිප වර කළවුන් නැවත අධිකරණයට ඉදිරිපත් කෙරෙන්නේත් වරදක් නැවත කිරීම වළකා ලීමට දඬුවම උත්තරයක් නොවන බැව් සනාථ කරමින් ය.
මේ කතා කරන “පාසල් විනය” ගුරුවරුනට අදාළ නොවන්නකි. ගුරුවර ගුරුවරියන්ගේ විනය ගැන කතා කිරීමක් ඒ කිසි තැනක නැත. කතා වන්නේ ළමයින් හීලෑකර පාසලෙහි තබා ගැනීමේ විනයක් ගැන පමණය. ගුරුවරුන්ට කරදරයක් නොවන ලෙස හැසිරෙන ළමයින් පාසලක, පන්තියක සිටිය යුතු යැයි ඉන් කියන්නකි. ඒ මානසිකත්වය කෙතරම් දැඩි ලෙස ගුරුවරුන් අතර පැළපදියම්ව තිබේදැයි කිවහොත් ළමයකු පන්තියේ ප්‍රශ්නයක් ඇසුවහොත් එය තමන්ට කළ බාධාවක් යැයි දඬුවම් කරන ගුරුවර ගුරුවරියන්ද ඇත. “ඕකව මකලා හරි කමක් නැහැ හදලා දෙන්න” යැයි කියන මවුපියන්ද ඇත. “හදන්න” යැයි කියන්නේ අණට කීකරු, කියන දේ කරන ළමයකු හැදීමට ය. පාසලක සිටිය යුත්තේ එවැනි ළමයින් නොවේ. එවැනි ගුරුවරුන්ද නොවේ. පාසලක සිටිය යුත්තේ දැනුම සොයන ළමයින් ය. පාසලක සිටිය යුත්තේ ඊට හවුල්වන ගුරුවර ගුරුවරියන් ය.
මේ කිසිවක් පාර්ලිමේන්තුවෙහි පනත් සම්මත කිරීමෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පිළිසකර කරගත හැකි තත්ව නොවේ. මේ සමාජගත පිරිහීම් ඉල්ලන්නේ යෝධ ආකල්පමය වෙනසකි. කොතැනකවත් කතා නොවුණත් මෙවර ලෝක ගුරු දිනයේ තේමාව එවැනි වෙනසකට මුල පිරීම සඳහා යොදා ගත හැකිව තිබුණකි. මෙවර තේමාව වන්නේ “ගුරු වෘත්තිය හවුල්කාර වෘත්තියක් ලෙස ස්ථාපිත කිරීම” යන්න ය. පළමුව එය පැහැදිලි කරගත යුතු ය.
“හවුල්කාර” වෘත්තියක් (Collaborative Profession) යැයි අදහස් කරන්නේ කවර ආකාරයේ වෘත්තියකට විය යුතුද? නිශ්චිතවම එය කණ්ඩායම්ගත වෘත්තියකි. එහි ලක්ෂණ ගණනාවකි. පළමුව ඔහු හෝ ඇය, විශේෂඥ දැනුමක් හා විශේෂ කුසලතාවක් අඛණ්ඩව ප්‍රගුණ කර ගන්නා ගුරුවරයකු හෝ ගුරුවරියක විය යුතුය. එවැනි ගුරුවරයකු පන්තියක තනිව උගන්වන්නකු නොවිය යුතුය. ඔහු හෝ ඇය තවත් ගුරුවරයකු හෝ ගුරුවරියක සමග ළමයින්ට දැනුම ලබා ගැනීම සඳහා සහාය විය යුතුය. මෙයද ඒ සමග අවධාරණය කළ යුතුය. මෙහි කතා වන්නේ “ඉගැන්වීම” යැයි පාසල් අධ්‍යාපනයෙහි අද කතා කරන ළමයින්ට පාඩම් කරවීමක් ගැන නොවේ. මෙහි ගුරු වෘත්තිය හවුල්කාර වෘත්තියක් යැයි අදහස් කෙරෙන්නේ ගුරුවරයා ළමයින්ට දැනුම ලබා ගැනීමට සහාය වන වෘත්තිකයකු ලෙස සැලකීමෙන් ය.
ඒ එක හවුලකි. අනෙක ගුරු වෘත්තිකයකු ලෙස, නිරන්තරව අත්දැකීම් බෙදා හදා ගන්නා ගුරු ඇසුරක් තබා ගැනීම ය. එය පාසලේදී මෙන්ම, පාසලින් බැහැරවද විය යුත්තකි. ගුරුවරයකු සතු විය යුතු පුළුල් දැනුමට එය එකතුවක් කෙරෙන බැවින් ය. අනෙක ගුරුවරයකු මවුපියන් සමග තබා ගන්නා හවුල ය. එය පන්ති කාමරයේදී වැදගත් වන හවුලකි. පන්තියේ ළමයින් ගැන වඩා හොඳ අවබෝධයක් ඒ හවුලෙන් ලබා ගත හැකි හෙයිනි. තවත් හවුලක් ඇත. ඒ අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේදී ප්‍රාදේශීය සාමාජිකයන් ලෙස හවුල්වීමේ අවශ්‍යතාව වන්නේ ය.
දැන් ප්‍රශ්න එකක් නොව දෙකක් මතු වන්නේ ය. එවැනි හවුල්කාර වෘත්තිකයකු වන්නට ගුරුවරයකුට වැදගත් පුහුණුවක් පමණක් නොව සැලකිය යුතු කාලයක්ද අවශ්‍ය වන්නේය. ඒ කාලය ලැබෙන්නේ කෙසේද? එය පාසලේ කාල සටහනින් ලබා දිය හැකි කාලයක් නොවේ. ඒ වගේම එය පාසල් කාලයට සීමා වන්නක්ම නොවේ. එසේ නම් ඒ කාලය සහ වැය ලබා දෙන්නේ කවුරුන් විසින් කෙසේදැයි තවත් ප්‍රශ්නයකි. එය ගුරු වෘත්තියට බඳවා ගැනීමේදී අවම සුදුසුකම් තීන්දු කිරීමේ සිට ගුරු වෘත්තියෙහි වැටුප්, වගකීම් හා කාර්යයන් තීන්දු කිරීම දක්වා වන හැමකක්ම තීන්දු කරන අධ්‍යාපන ප්‍රතිපත්ති සකසන්නන් විසින් සැලසුම් කළ යුත්තකි. ගුරු වෘත්තිකයන්ගේ රාජකාරි හා වගකීම් තීන්දු කිරීමේදී පන්ති කාමරයෙන් පිටතද හවුල්කාර ගනුදෙනු ඇති බව තේරුම් ගත යුත්තකි. වැටුප් තීන්දු කිරීමේදී පාසලෙන් පිටත කෙරෙන ඒ කටයුතු සඳහා ද ගණන් බැලිය යුතු වන්නේය. එවැනි සැලසුම් කිරීමක් අපේ අධ්‍යාපන ක්‍රමයෙහි ඇත්තේ නැත. වෙනකක් තබා වෘත්තියක් ලෙස සැලකිය හැකි අයුරු ගුරු පත්වීම් ලබා දීමේ නිශ්චිත පිළිවෙතක් ක්‍රමයක් ඇත්තේද නැත. පාසලක ගුරු මණ්ඩලය බැලූ විට එය අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් නොසලකා විවිධාකාරයෙන් පත්වීම් ලැබූ පිරිසකගේ ගොනුවක් බැව් දැකිය හැක්කකි. පාසලක ගුරු විනයක් නොමැත්තේද එනිසාවෙනි.
“ගුරුවරුන් සතු පිළිගැනීම සඳහා වන නිර්දේශ” අතර, ගුරුවරුන් තමන් වෙනුවෙන් වෘත්තීය ආචාරධර්ම පද්ධතියක් සකසා ගත යුතු යැයි සඳහන් වන්නේ අපගේ වැනි අසමමිතික ගුරු මණ්ඩල වෙනුවෙන් නොවේ. එවැනි ගුරු මණ්ඩල සඳහා ආචාරධර්ම පද්ධති කෙටුම්පත් කළ හැකිදැයි නොදනිමි. එනමුත් ආචාරධර්ම පද්ධතියක් සඳහා වන මේ නිර්දේශය ගුරු වෘත්තිකයන් ළමයින්ට පමණක් නොව, සමාජයටද ආදර්ශයක් විය යුතු හෙයින් යෝජනා කෙරුණකි. ගුරු වෘත්තිකයා සමාජයේ ඉන්නා මූර්තිමත් චරිතයක් විය යුතු බැවින් යෝජනා කෙරුණකි. ගුරු වෘත්තිකයන්ගේ පාසල් විනය පිටතින් ගෙනෙන බලයක් මගින් පවත්වා ගැනීම එනිසා ඔවුන්ගේ වෘත්තිමය පැවැත්මට නොගැළපෙන්නක් වන හෙයිනි.
මෙවර ලෝක ගුරු දින තේමාවේ “හවුල්කාර” ගුරු වෘත්තියක් ගැන කතාවේ ඇති වැදගත්කම එවැනිය. එය අපගේ පාසල් අධ්‍යාපනය, ගුරු සේවාව හා සමාජීය පාර්ශව ඛණ්ඩනය කර ගැඹුරින් විමසා බැලීමටත් ළමයින්ට දඬුවම් කිරීමෙන් ඔබ්බට ගොස් විසඳුම් සෙවීමටත් යොමු කරන්නක් වීම ය. අධ්‍යාපනය සම්බන්ධ පාරම්පරික අදහස්, සංකල්ප අලුත් කර ගැනීමට යොමු කරන්නක් වීම ය.
එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කරන අධ්‍යාපන ඇමතිනී වහා කළ යුත්තේ ගුරු සේවාව “හවුල්කාර” ගුරු වෘත්තියක් ලෙස ස්ථාපනය කිරීමේ සාකච්ඡාව ලෝක ගුරු දිනයෙන් ආරම්භ කිරීමය. ඒ වෙනුවෙන් “ගුරුවරුන් සතු පිළිගැනීම සඳහා වන නිර්දේශ” සිංහල සහ දෙමළ බසින් ප්‍රසිද්ධ කිරීම වැදගත් එකතුවකි.
(*** කුසල් පෙරේරා)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුරු දිනය - කළ යුත්තේ කුමක්ද?