ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්‍ෂිත අත් අඩංගුවේ සිටි සෙල්වරාසා පත්මනාදන් හෙවත් කේපී කොළඹ සිට කිලිනොච්චියට යැවීමට බලධාරීහු පසුගියදා කටයුතු කළහ. කලින් කොළඹ උප නාගරික ප‍්‍රදේශයක රඳවාගෙන සිටි දෙමළ ඊළාම් කොටි සංවිධානයේ හිටපු නායකයා දැන් පදිංචි වී සිටින්නේ කිලිනොච්චි නාගරික ප‍්‍රදේශයේය. ඔහු විසින් ආරම්භ කරන ලද සංවිධානයවන උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සහ සංවර්ධන සංවිධානය (NERDO නර්ඩෝ) හි ප‍්‍රධාන කාර්යාලය පිිහිිටි ස්ථානයේම ඔහුද රැඳී සිටිනු ඇත. කේපීගේ හා නර්ඩෝහි කාර්යාලය පිහිටි මෙම දෙමහල් නිවස එල්ටීටීඊ දේශපාලන අංශ නායක පුප්යියා පරමු තමිල්සෙල්වන් කලින් වාසය කළ ස්ථානයයි. කිලිනොච්චි දකුණ ප‍්‍රදේශයේ තිරුවයි ආරුහි මෙය පිහිටා තිබෙන්නේ ඉරණමඩු මංසන්ධියේ සිට කිලෝමීටරයක් පමණ දුරිණි. ඒ නවය මාර්ගය ලෙස හඳුන්වනු ලබන යාපනය මහනුවර මාර්ගයට මීටර් 100-150ක් පමණ දුරින් අක්කර හතරක පමණ භූමියක මෙම නිවස ඇත්තේ තොන්ඩමාන් අතුරු මාවතෙහිය. කාලයක් එල්ටීටීඊයේ ප‍්‍රධාන අවි ගැනුම්කරුවා ලෙස සිටි කේපී දැන් පදිංචියට ගොස් ඇත්තේ එල්ටීටීඊ දේශපාලන කොම්සාර් ලෙස සිටි එස්පී තමිල් සෙල්වම්ගේ නිවසටවීම එක් අතකින් උපහාසාත්මක වන අතරම වෙනස් වූ තත්ත්වය පිළිබඳව සංකේතයකි. එල්ටීටීඊය බලගතුව සිටි කාලයේ තමිල් සෙල්වම් මෙම නිවස තම පදිංචිය සඳහා මෙන්ම කාර්යාලය ලෙස ද භාවිත කළේය. එහි පහත මාලය පදිංචිය සඳහා යොදාගන්නා අතර ඉහළ මාලයේ විශාල කොටසක් රැස්වීම් ශාලාවක් බවට පත්කොට තිබුණේ 150-200 ක පිරිසකට රැස්විය හැකි ආකාරයෙනි. එල්ටීටීඊ දේශපාලන අංශ නායකයා 2007 දී මරණයට පත්වූයේ ද මෙම ස්ථානයේදීය. මෙම ස්ථානයේ ප‍්‍රධාන නිවසට ඈතින් වූ බංකරයක ඔහු නිදා සිටියේය. 2007 නොවැම්බර් 23 හිරු උදාවන මොහොතේ කෆීර් හා මිග් ගුවන් යානා මගින් බෝම්බ හෙළන ලද්දේ නැගෙනහිර ඉරණමඩු ප‍්‍රදේශයට කිලිනොච්චි නගරයෙන් දකුණු ප‍්‍රදේශයට සහ ආනන්ද පාරමි, තිරුවයි ආරු වැනි උප නාගරික ප‍්‍රදේශවලටය. එල්ටීටීඊ දේශපාලන අංශ නායකයා වූ හතළිස් වියැති සුප්පයියා පරමු තමිල්චෙල්වන් සහ තවත් පස් දෙනෙක් එම බෝම්බ ප‍්‍රහාරයෙන් මිය ගියහ. මරණයෙන් පසුව තමිල් චෙල්වන්ට බි‍්‍රගේඩියර් තනතුරක් පිරිනමනු ලැබීය. තමිල්චෙල්වන් සමග මරණයට පත් අනෙක් අය නම් මුතුත්කුමාරු සෝන්දර කි‍්‍රෂණන් හෙවත් කර්නල් අම්ප‍්‍රමනි, ධර්මරාජා විජයකුමාරි හෙවත් මේජර් මිහුනේ, කරුණානිධි වසන්ත කුමාර් හෙවත් කැප්ටන් කලයියාරසන් පන්චට්චායන් සජීබන් හෙවත් ලූතිනන් ආච්චිවෙල් සහ මුතුක්කුමාරන්තුරුන්කල් ශි‍්‍රගයති‍්‍රතානා හෙවත් ලූතිනන් මාවයිකුමාරන්ය. මේ සියලූ දෙනා යාපනය දිස්ති‍්‍රක්කයේ ගම්වලින් පැමිණි අය වෙති. මාවයි කුමාරන් බ‍්‍රාහ්මණ පූජකවරයකුගේ පුතෙකි. කලයියාරසන්, ආච්චිවේල් සහ මාවායිකුමාරන් තමිල්චෙල්වන්ගේ ශරීර ආරක්ෂකයන් ලෙස කටයුතු කළේය. ඇලෙක්ස් ලෙසද හඳුන්වනු ලැබූ අප්පුමනි සහ මිත‍්‍රතන්ද දේශපාලන අංශයේ සාමාජිකයෝ වූහ. දක්‍ෂ ඡායාරූප ශිල්පියකු වූ ඇලෙක්ස් හෙවත් අම්පුමනි ජනමාධ්‍යකරුවන් හඳුනාගෙන සිටි අයෙකි. එල්ටීටීඊ දේශපාලන අංශයේ උපාය මාර්ගික සන්නිවේදන අංශය භාරව සිටියේ ඔහුය. තමිල් චෙල්වන් සමග කිට්ටු සබඳතා තුබූ අමිපුමනි දේශපාලන කොමිසාර් සමග යුරෝපා සංචාරවලට ද සහභාගි වීය. තමිල්නාඩුවේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකු සහ නළුවකු වූ සෙබස්ටියන් සීමන් හෙවත් සෙන්තමිසන් සීමන් තමිල්නාඩුවේ අපි දෙමළ පක්ෂයේ නායකයා ද වෙයි. සෙන්දරරාජ හෙවත් ඇලෙක්ස්ගේ වැන්දඹුව ඔහු විවාහකර ගත්තේය. සීමන්ගේ අපි දෙමළ පක්‍ෂය තමිල්නාඩුවේ දී ශ්‍රී ලාංකික සංචාරකයන්ට හා වන්දනාකරුවන්ට පහරදීමේ පෙරමුණේ සිටියේය. සිංහල විරෝධියකු ලෙස ප‍්‍රකට සීමන් කැනඩාවෙන් පිටුවහල් කළ අතර ඇමෙරිකාව තම රටට ඇතුළුවීම ඔහුට ඉඩ දුන්නේ නැත. තමිල් චෙල්වන් යාපනය අර්ධද්වීපයේ මද්දුවිල් හිදී තමිල් චෙල්වන් උපත ලැබුවේ 1967 දීය. 1983 දී එල්ටීටීඊ සංවිධානයට බැඳුණු ඔහු තමිල්නාඩුවේ ඩින්ගිදුල් ආසන්නයේ තිරුමලෙයි කඳවුරේ පුහුණුව ලැබුවේ එල්ටීටීඊ යේ එලෙස පුහුණුව ලත් හතරවැනි කණ්ඩායමේ සාමාජිකයකු වශයෙනි. තමිල්නාඩුවේ දී ඔහු එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ගේ සහ ඔහුගේ බිරිඳ මදිවනීගේ ශරිර ආරක්‍ෂකයකු ලෙසද කටයුතු කළේය. එකල ඔහු පෙනී සිටියේ දිනේශ් නාමයෙනි. ඉන් පසු කාලයේ ඔහු තෙන්මරච්චි ප‍්‍රදේශයේ නායකයා සහ යාපනය දිස්ති‍්‍රක් අණදෙන නිලධාරි ආදී ලෙස එල්.ටී.ටී.ඊ.යේ විවිධ තනතුරු දැරීය. 1993 නොවැම්බර් 11දා පුනගරි සටනේ දී තුවාල ලැබූ තමිල් චෙල්වන්ගේ කකුලක් කොරවීම නිසා ඔහුට හැරමිටියක ආධාරයෙන් ඇවිදීමට සිදුවිය. ඉන්පසුව ඔහුව එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ නායකයා ලෙස පත්කරනු ලැබූ ඔහු ශ්‍රී ලංකාවේ දී සාකච්ඡා රාශියකට සහභාගී විය. තමිල් චෙල්වන් හා අනෙත් අය මරණයට පත්වූයේ නිදා සිටියදීය. එම දිනවල ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයන් එකම ස්ථානයක සෑම දිනමක නිදා නොගත්තේ ආරක්‍ෂක හේතු නිසාය. තමිල් චෙල්වන් ද ස්ථාන තුනක හෝ හතරක නිදා ගත්තේ ස්ථාන මාරු කරමින්ය. එදින රාති‍්‍රයේ පුනගරි සිට කිලිනොච්චි බලා ආ එල්ටීටීඊ දේශපාලන නායකයා තිරුවායියාරුති බංකරයක නිදා ගත්තේය. බංකර් බස්ටර් වර්ගයේ බලගතු බෝම්බ හෙළීම මගින් ඔහුව මරා දැමිණි. සම්පූර්ණ බංකරයම බෝම්බ ප‍්‍රහාරයෙන් විනාශ විය. එම ප‍්‍රහාරය එල්ල වූයේ පෙරවරු 6 පසුවී මිනිත්තු කීපයක් ගත වෙද්දීය. විනාශ වූ නටබුන් මගින් මළ සිරුරු ගොඩ ගැනීමට එල්ටීටීඊ සාමාජිකයන්ට පැය කිහිපයක් ගත විය. අවසන් වශයෙන් එළියට ගත්තේ තමිල් චෙන්වන්ගේ සිරුරයි. කෙසේ වෙතත් ප‍්‍රධාන ගෘහයට එතරම් හානි සිදුවී නොතිබුණු අතර බොහෝ දුරට ආරක්‍ෂාවී තිබිණි. නර්ඩෝ සංවිධානයේ නායකයා දැන් කි‍්‍රයාත්මකවීමට යන්නේ මෙම නිවසේ සිටය. දැනට නර්ඩෝ සංවිධානයේ කාර්යාලය පිහිටා තිබෙන්නේ කිලිනොච්චියේ වෙනත් ස්ථානයකය. සෙල්වරාජා පත්මනාදන් හෙවත් කේ.පී. ද මෙහි පදිංචි වනු ඇත. කේපී සිටින්නේ ආරක්‍ෂිත අත්අඩංගුවේ නිසා ඔහුට ආරක්‍ෂාව සපයා විශේෂ හමුදා කණ්ඩායම ද අසල නිවසක රඳවනු ඇත. කේපී හා නර්ඩෝ සඳහා ආරක්‍ෂාව සපයන මෙම පිරිස කණ්ඩායම් වශයෙන් එහි සේවයේ යෙදෙනු ඇත. කේපී මෙම නිවස යොදාගනු ඇත්තේ නර්ඩෝ සංවිධානයේ එදිනෙදා කටයුතු සඳහාය. ළමා නිවාස පරිපාලනය, අවශ්‍යතා ඇති ශිෂ්‍යයන්ට උපකාර කිරීම, අධ්‍යාපන පහසුකම් දියුණු කිරීම, පරිගණක පුහුණුව ලබාදීම, ඉංග‍්‍රීසි පංති, තාක්‍ෂණ සහ අත්කම් නිෂ්පාදන කුසලතා ඉහළ නැංවීම, ආහාර පිසීමේ සහ මැහුම් පංති ආදර්ශ ගොවිපළ පවත්වාගෙන යාම, කුඩා දරුවන් ඇති වැන්දඹුවන්ට ආධාර කිරීම, දුප්පත් පවුල් නගා සිටුවීම, විවිධ හැකියා ඇති ජනයාට, වැඩිහිටියන්ට සහ අනාථ ජනයාට ආධාරදීම වැනි විවිධ කි‍්‍රයාවන්හි නර්ඩෝ සංවිධානය නියැළෙනු ඇත. නර්ඩෝ: ගෝලීය දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් සමගද නර්ඩෝව සම්බන්ධතා පවත්වයි. ස්වේච්ඡා පදනමෙන් කි‍්‍රයාත්මක වන මෙම නියෝජිතයන්ගේ ප‍්‍රධාන වගකීමක් වන්නේ නර්ඩෝ ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල්වලින් වැඩි කොටස රැස්කිරීම හා ලබාදීමයි. ඔවුන් බොහෝ දෙනෙකු කි‍්‍රයාත්මක වන්නේ බි‍්‍රතාන්‍ය,  ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, නෝර්වේ, ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය, මැද පෙරදිග සහ අග්නිදිග ආසියානු රාජ්‍ය කිහිපයක සිටය. පත්මනාදන් හෙවත් කේපී නර්ඩෝහි ලේකම්වරයා ලෙස එහි ප‍්‍රධානත්වය දරයි. කොළඹ සිට කටයුතු සම්බන්ධීකරණය කළ ඔහු දැන් කිලිනොච්චියේ සිට එම කටයුතු කරනු ඇත. නර්ඩෝහි කි‍්‍රයාකාරීත්වය බොහෝ දුරට සිදුවන්නේ කිලිනොච්චි, මුලතිව් හා යාපනය දිස්ති‍්‍රක්කවල නිසා කිලිනොච්චියේ මධ්‍යම ස්ථානයක සිටීම පහසුවකි. එමෙන්ම කිලිනොච්චිහි සිට කි‍්‍රයාත්මක වීමේදී කේපීට විශාල ස්වාධීනත්වයක්ද හිමිවනු ඇත. කොළඹ දී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ස්ථානවලදී වෙනත් අය හමුවීම සඳහා අවසර ගැනීමට ඔහුට සිදුවුවද දැන් නර්ඩො කාර්යාලයේ දී ඔවුන් කෙළින්ම හමුවිය හැකිය. කෙසේ වෙතත් ඔහුට ආරක්‍ෂක භටයන් සපයනු ලබනු ඇති අතර ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ සිටින ඔහුට වරින්වර තම ප‍්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට සිදුවිය හැකිය. කොළඹ සිට කිලිනොච්චියට යාම සෙල්වරාජ් පද්මනාදන් හෙවත් කේපීගේ ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. යාපනය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයකුව සිටි ඔහුට කේපී යන නාමය පටබැදෙන්නේ තිරුනෙල්විලි මණ්ඩපයේ සිටියදීය. වෙනත් පද්මනාදන්ලාගෙන් ඔහුව වෙන්කර දැක්වීම සඳහා ඔහුව හඳුන්වන ලද්දේ කණ්ණාඩි පද්මනාදන් වශයෙනි. ඇතැම් ජනමාධ්‍ය විසින් ඔහුව කුමාරන් පද්මනාදන් ලෙස හඳුන්වනු ලැබුවද කේපී යන්නෙහි තේරුම කණ්ණාඩි පද්මනාදන් යන්නයි. පසු කලෙක මෙම කේපී යන පටබැඳි නාමය ඔහු පෙනී සිටින නාමය බවට පත්විය. (ඬේලි මිරර් පුවත්පතේ පළවූ ලිපියකින් කොටසකි)

ඞී.බී.එස්. ජෙයරාජ් විසිනි

පරිවර්තනය - සී.ජේ. අමරතුංග