මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබන පාඩුව සම්බන්ධයෙන් වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශයක් කර තිබිණි. අමාත්‍ය ධුරයේ රාජකාරි බාර ගැනීමෙන් පසුව ගුවන්තොටුපොළ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක යෙදී සිටියදී අමාත්‍යවරයාට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව ඔහු කියා තිබුණේ, මත්තල ගුවන්තොටුපොළ මාසිකව ලබන පාඩුව රුපියල් කෝටියකට අධික බවය. අද වන විට මත්තලට එකම ගුවන් යානයක්වත් නොපැමිණෙන බව ද සඳහන් විය.

එකම ගුවන් යානාවක් හෝ නොපැමිණියත් ගුවන් තොටේ කාර්ය මණ්ඩලයේ 545ක පිරිසක් සේවය කරති. එයින් සමහරුන් දිනපතාම කොළඹ සිට මත්තලට බස් රථයකින් ප්‍රවාහනය කරනු ලබන බවටත් තොරතුරු හෙළි වී තිබිණි. උදෑසන මේ ආකාරයට රැගෙන යන සේවක පිරිස සවස් කාලයේදී ආපසු ගෙන එනු ලබන්නේ ද බස් රථයකින් විය යුතුය.

 රටේ මහජනතාවගේ බදු මුදලින් සම්පූර්ණයෙන් නඩත්තු වන තත්ත්වයකට මත්තල ගුවන්තොටුපොළ පත්වී ඇති බව මේ අනුව පැහැදිලිය. එපමණක් නොව සේවකයන් පිරිසකට උදේ සවස කොළඹ සිට විනෝද ගමන් පහසුව ද රටේ ජනතාවගේ බදු මුදලින්ම සියලු‍ පහසුකම් සහිතව ලබා දී තිබීම ද කැපී පෙනෙයි. එසේම මත්තල නඩත්තුවේ බර කර ගසා ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළින් උපයන මුදල් බව ද මේ ගුවන්තොටුපොළ ඉදිකිරීමට චීනයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් කෝටි 21ක ණය මුදලේ වාරික ගෙවීමට තිබෙන බව ද සඳහන්ය.

සත පහක ආදායමක් නොලබන ගුවන්තොටුපොළේ ණය වාරික ගෙවීමේ බර ද මේ අනුව පැවැරී ඇත්තේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ කර මතය. බැලූ බැල්මටම පෙනී යන්නේ මත්තල ගුවන්තොටුපොළ සැලසුම් කිරීමේදී ලොවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමේදී භාවිත කෙරෙන නිර්ණායක කිසිවක් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වා නැති බවය. අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ රජදහනක ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීමට නායකත්වය දුන් සහ සැලසුම් හැදූ සියලු‍ දෙනා අද ගුවන්තොටුපොළට අත්වී තිබෙන ඉරණමට වගකිව යුත්තෝ වෙති. එහෙත් වගකීම යනු අපේ රටේ මාස්තබාල්දු වූ වචනයක් බවට පත්ව තිබෙන බැවින් මත්තලට අත්ව තිබෙන ඉරණමට වගකිව යුත්තන් සොයා ගැනීම කවදාවත් නොකෙරෙන වැඩක් බව ද පෙන්වා දිය යුතුය.

පිටරටකින් ලබාගන්නා ණය රටේ සංවර්ධන යෝජනා ක්‍රම සඳහා යොදවා ගැනීමේදී අපේ රට මොනතරම් තකතීරු ආකාරයකට කටයුතු කර ඇත්දැයි යන්නට මත්තල ගුවන්තොටුපොළ එක් උදාහරණයක් පමණි. සූරියවැව ඉදිකර තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ද මෙවැනිම තඩි සුදු අලියෙකි. එයට වැය කරන්නට සිදු වූ කෝටි සිය ගණනක මුදල් අඩු තරමින් පළාතේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය සඳහා යොදවා ගත්තේ නම් රටට එය අනාගත ආයෝජනයක් විය හැකිව තිබිණි. එහෙත් සැබෑ සංවර්ධනයට වඩා බඩගෝස්තරවාදී බොරු ෂෝක් වැඩට මුල් තැන ලබාදීමේ කරුමය අද රටම ගෙවමින් සිටී. ප්‍රතිලාභ නොලැබෙන ආයෝජන සඳහා ඩොලර් බිලියන ගණනින් ණය ලබාගත් රටකට මෙහෙම සිදු වීම පිළිබඳ පුදුම විය යුතු නැත.

මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කිරීම ආරම්භයේදීම එහි ඵලදායිතාව පිළිබඳ ගැටලු‍ පැන නැගුණු බව අපගේ මතකයේ රැඳී තිබේ. හදිසි ගොඩබෑම් සඳහා රටට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා ද ප්‍රකාශ කර තිබුණත් මත්තල ඉදිකිරීම් නිම වූ වහාම ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරන ජගත් සංවිධානයක් ප්‍රකාශ කර තිබුණේ, මත්තල අනාගතයේදී ලොවේ වඩාත්ම හිස් ගුවන්තොටුපොළ අතරට එක්වනු ඇති බවය. අද එම ප්‍රකාශය සත්‍ය වී තිබේ. මේ අනාගත දැක්ම රජයේ ගුවන්තොටුපොළ සැලසුම් කළ පිරිසට නොතිබීම රටේම අභාග්‍යයකි.

නිමල් සිරිපාල අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ, කොපමණ පාඩු ලැබුවත් මත්තල ගුවන්තොටුපොළ පවත්වාගෙන යා යුතු බවය. වියදම් අවම කරගනිමින් විකල්ප ආදායම් උත්පාදන මාර්ග හරහා මත්තල ගුවන්තොටුපොළේ ආදායම ඉහළ නංවාගත යුතු බවට ද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන්ය. අපට නම් පෙනෙන්නේ මෙය සිත නිවන කතාවක් පමණක් බවය. වසර 10ක් තිස්සේ ඉටුකරගත නොහැකි වූ ආදායම ඉහළ නැංවීම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අතර හිස් නවාතැනක් වශයෙන් සඳහන් වී ඇති මත්තල ගුවන්තොටුපොළට ඉටු කරගත හැකි නම් එය වාසනාවකි. එහෙත් ජාත්‍යන්තරයේ කටයුතු කෙරෙන්නේ වාසනාවට වඩා හැකියාව මතය. මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට තීන්දු ගත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන නිමල් සිරිපාල අමාත්‍යවරයා අද මේ දකින්නේ තමන් සියලු‍ දෙනා එකතු වී සහාය ලබාදුන් වැරැදි තීන්දුවක අමිහිරි ප්‍රතිවිපාක පමණි.

(***)