කොරෝනා රෝගයට ප්‍රතිකාරයක් ලෙසින් ගෙන්වනු ලබන එන්නත රටට ආවේ මේ සතියේය. ඒ වෙනුවෙන් රජයේ විශේෂ සැලැස්මක් ඇති බව මේ වන විට ප්‍රකාශයට පත්වී හමාරය. ඒ සඳහා පත්කළ විශේෂ ජනාධිපති නියෝජිතයා වූ ලලිත් වීරතුංග මහතා කියන පරිදි මේ එන්නතේ පළමු කාණ්ඩය ලබා දෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ අත්‍යාවශ්‍ය සේවා ක්ෂේත්‍රයේ සිටින කණ්ඩායම් සඳහාය. ඒ තීරණය අගය කළ යුතු එකක්ය. මේ මොහොතේ මේ උවදුරෙන් රට ගලවා ගන්නට මහන්සි වෙන අපේ රටේ සිටින එක් වැදගත්ම කාණ්ඩයක් වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදළ කණ්ඩායමය. ඒ අයගේ මහන්සිය හා කැපකිරීම අපේ අගය කිරීමට ලක්විය යුත්තේ ඒ නිසාය. අනෙක් අතට ආරක්ෂක ක්ෂේත්‍රයේ සිටින අය ද මේ වෙනුවෙන් විශාල වෙහෙසක් ගන්නා බව පැහැදිලිය. ඒ අයට දෙවනුව මේ එන්නත ලබා දෙන බව දැනටමත් ප්‍රකාශ වී ඇත.

මේ සටහනින් මා ලියන්නට යන්නේ කොරෝනා එන්නත පිළිබඳව නොවේ. මගේ සාකච්ජාව වන්නේ කොරෝනා අභියෝගය මගින් ඇති කරනු ලැබ ඇති බලපෑම හුදු සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා වූවක් නොවන බව පැහැදිලි කිරීමටයි. ඒ කියන්නේ කොරෝනා රෝගයක් ලෙසින් අපේ ජීවිතවලට සිදුකරන බලපෑම හා සමානම බලපෑමක් සෞඛ්‍ය නොවන ක්ෂේත්‍ර තුළට එය මගින්  සිදුකරමින් තිබෙන බවයි. පසුගිය දිනක රුහුණු විශ්ව විද්‍යාලයට මා සිදුකළ ‘ඔන් ලයින්’ (On-line)  දේශනයක මාතෘකාව වශයෙන් යොද ගත්තේ ද ‘කොරෝනා රෝගයක් පමණක් ද’ යන යෙදුමය. එයින් අදහස් කළේ සෞඛ්‍යමය නොවන ක්ෂේත්‍රයේ මේ උවදුරෙන් සිදු කරන බලපෑම  පිළිබඳව සාකච්ජා කිරීමයි.

කොරෝනා කියන්නේ බරපතළ වසංගතයක් බවත් එය වයිරසයක් මගින් බෝවෙන මාරාන්තික රෝගයක් බවත් මේ වන විට  අප කවුරුත් හොඳින් දන්නා කරුණක්ය. මා මේ වසංගතය රෝගයක් පමණක් නොවේ යැයි කියන්නේ එහි ඇති භයානක අනතුරුදයක බව පිළිබඳව අඩු තක්සේරුවක් කිරීමේ අදහසින් නොවේ. මගේ සාකච්ජාව පදනම් වෙන්නේ මේ වසංගතයෙන් මතුකර ඇති බලපෑමේ ස්වභාවය පිළිබඳව සිතා බැලීමේදී මේ උවදුර හුදු රෝගයක් පමණක් නොවන බව මගේ අදහසයි. ඒ කියන්නේ එය සෞඛ්‍යමය වූ සීමාවන් බරපතළ ආකාරයෙන් පසුකරමින් ගමන් කරන බවයි. මේ  පිළිබඳව කරුණු කීපයක් සාකච්ජා කිරීම මේ ලිපියේ අරමුණයි.

මෙහිදී මුලින්ම මතුකළ යුතු කාරණයක් වන්නේ මේ වයිරසය මතුවුණේ ස්වභාවික තත්ත්වයක් හේතුවෙන්ද එසේත් නැතිනම් මෙය කාගේ හෝ නිර්මාණයක්ද යන ප්‍රශ්නය මේ වන විට මතුවෙමින් පවතින බවයි. වර්තමාන වෙළඳපොළ ධනවාදයේ එක ගැටලුකාරි පැත්තක් වන්නේ ‘විකුණන්න පුළුවන් ඕන දෙයක්’ තිබේ  නම් එය ඉදිරියට ගැනීමයි”  ඒ අර්ථයෙන් සමහරුන් තර්ක කරන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ අවශ්‍යතාවක් සඳහා මේ වයිරසය ලෝකයේ යම් කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද්දේ ද යන්නයි” මේ පිළිබඳව ගැඹුරින් සිතිය යුත්තේ එක පැත්තකින් මේ වයිරසය පැමිණීමත් සමගින් ලෝකයේ භූ  දේශපාලනය අර්බුදයට යමින් ඇති ආකාරයේ තත්ත්වය තේරුම් ගන්නා විටය.

2020 වසර ආරම්භ වන විට ලෝකයේ දේශපාලනයේ මතුවෙමින් පැවති  ‘චීන භූමිකාව’ යම් ආකාරයකට පාලනය වීමක් මේ වසංගතය මගින් සිදු වූ බව සමහරුන්ගේ මතයයි. තවත් සමහරුන් තර්ක කරන්නේ මේ වසංගතය හේතුවෙන් ‘ඇමරිකාව හා යුරෝපයේ භූමිකාව’ සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවයි. මේ කථා දෙකෙන්  කුමන එක සත්‍යයක් වුවත් කුමන එක බොරුවක් වුවත් ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. මේ වසංගතය යනු මිනිසුන් විසින් යම් සමාජ හෝ දේශපාලන කාරණයක් මුල් කරගනිමින් ‘නිෂ්පාදනය කරන ලද’ විනාශයක් ද යන කාරණය පැහැදිලි කර ගැනීමයි. වෙළෙඳපොළ ධනවාදය තුළ ඇති එක් ගැටලුකාරිත්වයක් වන්නේ ලාභය මත පදනම්ව විසඳුම් පමණක් නොව ප්‍රශ්නය ද නිෂ්පාදනය කිරීමේ අවස්ථා තිබෙන බවයි. මදුරු කොයිල් විකුණන්නට නම් මදුරුවන් වැඩිකිරීමත් අවශ්‍යතාවක් ලෙසින් සංවිධානය වෙන වෙළෙඳවාදයක් ද තිබෙන තත්ත්වයක් තුළ මේ වසංගතය යනු වෙනත් අවශ්‍යතාවක් සඳහා නිර්මාණය කරන ලද දෙයක්ද යන කාරණය සොයා බැලීම වැදගත් බව ඉතාමත් පැහැදිලිය. මේ වන විට ලෝකය පුරා මේ පිළිබඳ සාකච්ඡාවක් ගොඩ නැගී ඇත.

මීළඟට අපේ අවධානය යොමු විය යුතු කාරණය වන්නේ මේ වසංගතයෙන් අපේ සමාජයේ සෞඛ්‍යමය නොවන ක්ෂේත්‍ර ගණනාවක ඇති කරනු ලැබ ඇති ගැටලු කීපයක් වෙතටය. මේ ගැටලුකාරිත්වය කොරෝනා හේතුවෙන් ඇති වූ සෞඛ්‍යමය නොවූ අර්බුද ලෙසින් සැලකීම වඩාත් නිවැරදිය.

එයින් එකක් වන්නේ  ආර්ථික හා ජාත්‍යන්තර සම්බන්ධතා ක්ෂේත්‍රයේ ඇතිවෙමින් තිබෙන ගැටලුකාරිත්වයයි. මේ වසංගතය හේතුවෙන් ලෝකයේ හැම රටකටම මෙන් අපටත් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගණනාවක්ම මතුකර ඇති බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. මෙහි ප්‍රධාන පැත්තක් නියෝජනය කරන්නේ අපේ රටේ විදේශ මූල්‍ය සංචිතවලය. ඒ කියන්නේ අපි සතුව ඇති විදේශ මුදල් ප්‍රමාණය කෙරෙහිය. අපේ රටේ විදේශ සංචිතවල තත්ත්වය යම් ආකාරයක අර්බුදයකට ගමන් කිරීම ආරම්භ වූයේ පසුගිය යහපාලනය යැයි කියා ගත් රජයේ අමනෝඥ ආර්ථික වැඩ සටහන නිසා බව පැහැදිලිය. එහෙත් ඒ අර්බුදය වඩාත් ගැටලු සහගත තත්ත්වයකට පත්වූයේ මේ කොරෝනා වසංගතය හේතුවෙන් අපේ විදේශ මූල්‍ය උත්පාදන ක්‍රමෝපාය දූර්වල  වූ නිසාය. අපේ රටට විදේශ මුදල් මූලික වශයෙන් ලැබෙන්නේ අපනයන ආදයමෙන් -  විදේශ රැකියා ශ්‍රමිකයන්ගෙන් සහ සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රවලින්ය. කොරෝනා වසංගතයෙන් මේ හැම ක්ෂේත්‍රයක්ම බරපතළ අර්බුදයකට ලක් වී ඇති අතර අපේ රටේ ආර්ථික ක්ෂේත්‍රයේ මේ නිසා ඇතිවිය හැකි තත්ත්වය පාලනය කර ගත හැක්කේ විශාල පරිශ්‍රමයකින්ය.

ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ ද කොරෝනා හේතුවෙන් ඇති තිබෙන බලපෑම ඉතාමත් විශාලය. ලෝකයේ බලවතුන් සම්බන්ධ පිළිගැනීම් වෙනස් වෙමින් පවතින අතර කලාපයේ දේශපාලනය ද යම් ආකාරයකින් වෙනස් වෙමින් පවතින බව පෙනී යන කාරණයක්ය. චීනයේ ආර්ථික බලවන්තභාවයට එරෙහිව ඇමරිකාව ජපානය සහ  ඉන්දියාව ඒකාබද්ධව ගොඩ නගිමින් තිබෙන නව බලරටාව මේ කොරෝනා රෝගයත් සමගින් වඩාත් බලපෑම් සහගතව අපේ වැනි රටවලට වෙතට තල්ලුවීමේ විභවතාවක් ද පවති. මේ නිසා ජාත්‍යන්තර සම්බන්ධතා ක්ෂේත්‍රයේ අප වැනි රටවලට සෞඛ්‍යමය වූ බලපෑමකට වඩා වෙනස් බලපෑම් ගණනාවක් මේ තත්ත්වය හමුවේ මතුවිය හැකි බව පිළිගැනීම නිවැරදිය” මේ තත්ත්වය පැති කීපයකින් නේනුම් කළ හැකිය. මාර්තු මාසයේ ජිනීවාවල පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේ දී අපේ රට පිළිබඳව චීනය සහ ඉන්දියාව ගනු ලබන ස්ථාවරය දක්වා පළල් කලාපයක දේශපාලනයක් මේ කොරෝනා වසංගතයෙන් මතු වූ භූ දේශපාලන කටයුතු සමග සම්බන්ධ වී පවතින බව මගේ අදහසය.  

මෙම ආර්ථික හා ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රවලට මෙන්ම මේ වසංගතයෙන් බලපෑම් එල්ලවන සෞඛ්‍ය නොවන ක්ෂේත්‍රයක් වන්නේ සංස්කෘතික කලාපයයි” මේ වසංගතය විසින් බරපතළ ආකාරයෙන් අපේ සංස්කෘතික සීමාවලට අභියෝග කරමින් තිබෙන බව ඉතාමත් පැහැදිලිය. මුස්ලිම් ජාතිකයන් විසින් මතු කර තිබෙන මරණ ආදාහනය පිළිබඳ කාරණයත් මූලික වශයෙන් පෙන්නුම් කරන්නෙ සංස්කෘතික කලාපයේ මේ වසංගතය විසින් මතුකරනු ලබන ගැටලූකාරිත්වයක්ය. ආගමිකත්වය හා ජාතිකත්වයෙන් ඔබ්බට ගිය වසංගතයක් හේතුවෙන් මේ තත්ත්වය හමුවේ සංස්කෘතික සාධකය යම් තරමකට යටපත් කර ගැනීම අවශ්‍ය තත්ත්වයක් බව අප පිළිගත යුතු කාරණයක්ය. එනමුත් සමහරුන් කල්පනා කරන්නේ සංස්කෘතික සාධකය මොනම තත්ත්වයක් යටතේ හෝ පහතට දැමිය නොහැකි දෙයක් කියාය.

විශේෂයෙන්ම ධම්මික පැණිය පිළිබඳව සමාජයේ මතුවූ සාකච්ජාවද නියෝජනය කරන්නේ සංස්කෘතික සාධකය පිළිබඳ කාරණයක්ය. සාම්ප්‍රදායික අභිචාර ක්‍රම උපයෝගි කරගනිමින් මේ  වසංගතයෙන් ගොඩ යා හැකි යැයි සිතන අය මේ මෙහොතේ උත්සාහ දරන්නේ ඒ මගින් විසඳුම් යෝජනා කිරීමට වන අතර එම විසඳුම් උපහාසයට ලක් කරන අය උත්සාහ කරන්නේ විද්‍යාවේ විසඳුමකින් මෙහා කිසිම දෙයක් ඒ අය විශ්වාස කරන්නේ නැතිබව කියා පෑමටය. සංස්කෘතික ක්ෂේත්‍රයේ මේ මතුවී තිබෙන සාකච්ඡාව හා ගැටුම් සහගත තත්ත්වය කොරෝනා රෝගයේම සෞඛ්‍යමය නොවු බරපතළ තත්ත්වයක් බව තේරුම් ගැනීම නිවැරදි වන්නේ මේ නව සංස්කෘතික කථිකා අවකාශය රටේ සමාජයේ ඇති මතවාදි පිහිටීම පිළිබඳව විශාල කාරණයක් කියන නිසාය.

ඉහතින් සඳහන් කළ කාරණා කීපය හැරුණු විට මේ වසංගත තත්ත්වයෙන් අපේ සමාජයේ එදිනෙදා ජීවිතවල ආකෘතිය ද  බරපතළ වෙනසකට පත්වී ඇත. ඒ කියන්නේ අප නව සාමාන්‍යකරණයකට පත් වෙමින් සිටින බවය. මේ නව තත්ත්වය යටතේ අපගේ එදිනෙදා චර්යාවේ සහ රැකියා කිරීමේ විශාල වෙනසක් මතුවී තිබෙන බව පිළිගැනීම නිවැරදිය. එසේම අධ්‍යාපනයේ සහ ගමනාගමනයේ බරපතළ අලුත් තත්ත්වයක් ගොඩ නැගී ඇත. මේ නිසාම සමාජයේ අලුත් ආකාරයක ගැටලු සමුහයක් ද මෝදූ වී ඇති බව පෙනී යන කාරණයක්ය.

මේ කරුණු හරහා පෙන්නුම් කරන්නේ කොරෝනා වසංගතයේ ඇති සෞඛ්‍යමය වූ අභියෝගවලට සමාන වූ වෙනත් කලාප ගණනාවක අභියෝග ගණනාවක්ම මතුවෙමින් පවතින බවයි. ඒ නිසාම කොරෝනා යනු රෝගයක් පමණක්ම නොවන බව මගේ අදහසයි.


(***)
(මහාචාර්ය - චරිත හේරත්)