ශ්‍රි ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස  මහ නා හිමිපාණෝ  අපවත් වී වදාළහ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සුපින්වත් පුද්ගලයන් අධ්‍යයනයේ දී කොටුගොඩ නායක මාහිමිපාණන් තරම් සුවිශේෂී චරිතයක් හමු වී නැත. වසර තිහකට අධික කාලයක් සමීපව ඇසුරු කළෙමි. දශක තුනකට පමණ කලින් පළමු වතාවට මුණ ගැසුණු අවස්ථාව පමණක් නොව දින කිහිපයකට කලින් අවසාන වතාවට කතා බහ කළ මොහොතේ දී ද පැවැතියේ පැහැදිලි, නිරවුල් ප්‍රසන්න භාවයකි. අමරපුර මහා නිකායාභිවෘද්ධී දායක සභාවේ සභාපති ධුරය පිළිගන්නා සේ කරන ලද ඇරයුම මගේ ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයකි. හිමිපාණෝ එය නිසි පිළිවෙළකට සැලසුම් කළහ. ප්‍රතික්ෂේප කරන්නට ඉඩ නොතබා ක්‍රියා කරන ලදහ.  

සිරිමෙවන් රුද්‍රිගු කුල කුමරුවන් ජන්ම ලාභය ලබන්නේ 1933 ජනවාරි 23 වැනිදාය. ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුගොඩ ගම්මානයේ විසූ ඇඳ විතාරණගේ හරමානිස් සහ සෙලෙස්තිනා රොද්‍රිගෝ යන දෙමහල්ලන්ගේ පුතුන් පස්දෙනෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගෙන් යුතු ගොවි පවුලක බාල දරුවාය. කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලින් මූලික අධ්‍යාපනය ලබා 1948 අගෝස්තු 17 වැනිදා පැවිදි ජීවිතයට පත් කොටුගොඩ ධම්මාවාස කුඩා හිමියන්ගේ වයස එවකට අවුරුදු පහළොවකි. වසර හැත්තෑ තුනක කාලයක් හිමිපාණෝ ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නිරතව තිබීම මහත් පුණ්‍යවන්ත සිද්ධියක් සේ ගෞරව බුහුමානයෙන් සැලකිය හැකිය.

ධම්මාවාස පොඩි හාමුදුරුවෝ පැවිදිව ගල්කිස්සේ ධර්මපාලාරාමයට වැඩම කළහ. උණවටුනේ ධම්මපාල හිමියෝ ගුරු තනතුරෙහි වූහ.  ඉගෙනුම පිණිස රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනට පිවිසි කුඩා හිමිපාණෝ දෙමටගොඩ පදානඝර ධර්ම දූත විද්‍යාලයෙන් විදෙස් ධර්ම ප්‍රචාරය ගැන මූලික අවබෝධය ලැබ ගත්හ. 1949-51 කාල සමය තුළ  වලානේ සට්ඨිස්සර නාහිමි, පූජ්‍ය කම්මට්යාචාර්ය  මාහෝ සුමේධ,  පණ්ඩිත යටිපහුවේ මේධානන්ද නාහිමි යන හිමිවරුන් යටතේ ශබ් ද ශාස්ත්‍රාදිය ද, ධර්ම විනය ද හැදෑරූ උන්වහන්සේ 1952 දී උසස් අධ්‍යාපනය සඳහා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළු වූහ. 1954 ජුලි 10 වෙනි දින කළු ගඟේ උදකුක්ඛේය සීමාමාලකයේ දී උපසම්පදාවට පත්වූ අතර  අග්ගමහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මා හිමිපාණෝ එයට අනුග්‍රාහක උපාධ්‍යායයන් වහන්සේ වූහ.

භාෂා ශාස්ත්‍ර ත්‍රිපිටක ධර්මයන් හදාල ධම්මාවාස හිමිපාණන්ට විනයාචාර්ය හා සද්ධර්මාචාර්ය යන විභාග සාමාර්ථයන් ලබාගත හැකි වූයේ විදුදය පිරිවෙණිනි. ඒ පණ්ඩිත පොලෙන්නොරුවේ විමලධම්ම නාහිමිපාණන්ගේ ධර්මචාර්යත්වයේ මහිමයෙනි. තුරුණු වියේ සිටම උන්වහන්සේගේ ධර්ම දේශනා ශෛලිය හිමිපාණන්ටම අනන්‍ය  විය. ගුරු හිමිපාණන් අසනීපව විසුයෙන් භාරගත් ධර්ම දේශනයකට හදිසියේ අවස්ථාව ලද කොටුගොඩ හිමිපාණෝ එදා ඒ  සිය පළමු ධර්ම දේශනා අවස්ථාවෙන්ම උපාසක උපාසිකාවන්ගේ හද බැඳ ගත් බව ප්‍රකාශ කළේ සිනහ පිරි වතකින්ය.  

උගත් ශිල්ප ශාස්ත්‍රාදිය ඇසුරෙන් සද්ධර්මය සමාජගත කිරීමේ මෙහෙවර හිමිපාණෝ ඇරඹූහ. නව ආකල්ප අනුව බුද්ධ සමාජයේ අටුවා ටීකා වත්මන් සමාජය සමග සසඳමින්  ධර්ම දේශනා පැවැත් වූහ. දහම ඇසූ සැදැහැවත්හු සැනසුනහ. සියලු පස්පවු දුරුකොට සාන්ත සමාජයකට දායක විය යුතු වග මොහොතකට හෝ කල්පනා කළහ. හිමිපාණන්ගේ ධර්ම දේශනා අසන්නට අවස්ථාව නොලැබුනෝ කනින් කන පැතිර ගිය කොටුගොඩ නාහිමියන්ගේ දහම් දේශනා විලාසය ගැන පැහැදුනහ. මේ නිසා රටට අත් වූයේ සෙතකි. සැනසිල්ලකි. එයින් උන්වහන්සේගේ කීර්ති කදම්බය සියලු දේශසීමා කඩඉම් ද අභිබවමින් පැතිරි ගියේය. කිසිදු ඉසුඹුවක් නැත්තා සේ වී දම් දෙසුම් ඇරයුම් නොනැවතී ගලා එන්නට විය. දකුණේත් උතුරේත් දිවයිනේ හැම තැනෙකටමත් වැඩම කළ හිමිපාණෝ තැනට උචිතව, උපමා කතා සහිතව දහම දේශනා කළහ.

ගුරුදේවයාණන් වහන්සේ අපවත් වූ බැවින් ගල්කිස්සේ ධර්මපාලාරාමයේ විහාරාධිපතිධුරය භාර ගැනීමට සිදුවීමෙන් උන්වහන්සේ කර උර මත වට වගකීම් සම්භාරයකි. එය පෙරලා තවත් අවස්ථාවක් කොට ගත් ධම්මාවාස හිමියෝ වෙහෙර බිම සංවර්ධනය කළහ. බෞද්ධයන් පමණක් නොව ඒ අවට විසූ අන්‍ය ආගමිකයන්ගෙන් ද සහාය ලැබිණි. ජාති, ආගම් හෝ කුල බේදයක් නොතිබිණි. දරුවන් සහභාගී කර ගෙන දහම් පාසල අරඹා, ළමා සමාජයට දහම උගන්වා ඔවුන් හා ඔවුන්ගේ පවුල් පසුබිමට නංවන්නට මග දැක්වීය. එදා ඇරඹි ඒ ළමා සමාජය අද ඉතා දියුණුය. ධර්මපාල වෙහෙර බිම සුවිශාල බිම් පෙදෙසකි.

ධර්ම භාෂණයෙන් පමණක් නොව ලේඛනයෙන් ද ධම්මාවාස හිමිපාණන් වහන්සේ ඉටු කරන ලද සමාජ හා ශාසනික මෙහෙවර සුවිසල්ය. එය වෙසෙසින් දැක්විය යුතු කාරණයකි. මේ වන විටත් උන්වහන්සේ පළ කොට ඇති ග්‍රන්ථ සංඛ්‍යාව තිහකට ආසන්නය. ධර්මපාල බෞද්ධ සමිතිය මාස්පතා දහම් පත්‍රිකාවක් මුද්‍රණය කර රට පුරා තැපැල් කර හරියි. නේපාලයෙන් ඇරඹි දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතු පසුව ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව එංගලන්තය, රුසියාව, ඇමරිකාව හා ජපානය දක්වා පැතිරිණි. තවත් මහඟු මෙහෙවරක් වන්නේ උන්වහන්සේ මැදිහත්වීමෙන් ද දායක දායිකාවන්ගේ අනුග්‍රහයෙන් බුරුම දේශයේ යැංගු තාංසිස්ටා පෙදෙසේ ලංකාරාමයක් තැනීමට හැකිවීමය. දකුණූ ලක කතරගම තවත් බොදු පුද බිමක් හිමිපාණන්ගේ දිරියෙන් බිහිවිය. ඒවා සදාතනික බෞද්ධ උරුමයන් වශයෙන් පවතිනු ඇත.උත්තරීතර අප මාහිමිපාණන් වහන්සේ අමා මහ නිවනින් සැනසේවා.


(***)
මිලින්ද මොරගොඩ
ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධී දායක සභාවේ ගිහි අනුශාසක