(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය -  උපාලි වීරකෝන්)

මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය සියයට තිහක් දක්වා වැඩි කිරීම සමාජයේ කාලීන අවශ්‍යතාවයක් ඉටු කිරීමට ගත් වැදගත් පියවරක් වශයෙන් හදුනා ගත හැකිය. මේ තුළින් මෙරට දේශපාලන ඉතිහාසයේ නව අත්දැකීමක් පමණක් නොව අලූත් සමාජ පෙරළියක් උදෙසා අනිවාර්ය බලපෑමක් ඇති කරනු නොඅනුමානය.

යම් අවස්ථාවල කාන්තාවන් දේශපාලනයට පිවිසෙන්නට උත්සාහ ගෙන ඇති නමුදු එය නිශ්චිත නීතිමය රාමුවකින් ආවරණය නොවීමෙන් ඇයට එම අවස්ථා ගිලිහී යන්නට විය. මේ නිසා මෙරට දේශපාලන ක‍්‍රියාවලිය තුළ වැඩියෙන්ම පිරිමින් නියෝජනය කිරීම පමණක් නොව ඔවුන් විසින් මෙහෙයවනු ලබන දේශපාලන අධිකාරි රටාවක් නිර්මාණයවීම ද දැකිය හැකිය.  මේ තත්ත්වය අඩු කාන්තා දේශපාලන සහභාගිත්වයක් සඳහා බලපෑම ද සැලකිය යුතු දෙයකි. 

මෙරට සමස්ත ජනගහනයෙන් 49.3% ක් පමණ පිරිමින් දල 50.7% ක් පමණ කාන්තාවෝ ද සිටිති. මෙයින් පෙනෙන්නේ පිරිමි ජනගහනයට වඩා කාන්තාවන් වැඩියෙන් සිටින බව ය. එසේ වුවත් මෙරට ක‍්‍රියාකාරී දේශපාලන ව්‍යුහය තුළ කාන්තාවන්ට කිසිදු අවස්ථාවක වැඩි නියෝජන අවස්ථා ලැබී නැත. එහි ප‍්‍රතිඵලය වුයේ කාන්තාව දේශපාලන ක‍්‍රියාවලියෙන් ක‍්‍රමයෙන් බැහැර වීමයි. එසේ වුවද මෙරට ජාතික තලයේ දේශපාලනය තුළ කාන්තාවගේ දායකත්වය කැපී පෙනෙයි.

ලොව පළමු අගමැතිනිය බිහි වන්නේ ශ‍්‍රී ලංකාවෙනි. එමෙන්ම මෙරට ජනතාව විසින් ජනාධිපති තනතුර සඳහා පළමුවරට කාන්තාවක තෝරා පත්කර ගනු ලැබුහ. එවැනි පසුබිමක සිට පැමිණෙන දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම මෙතෙක් ප‍්‍රමාද වුයේ ඇයි ද යන්න එක් අතෙකින් විමතියට හේතුවන දෙයකි.

මුල් කාලයේ පටන් දේශපාලන නියෝජනය තුළ අවම කාන්තා සභික සංඛ්‍යාවක් දක්නට ඇත්තේ එම අය අඩුවෙන් දේශපාලනයට පිවිසීම නිසාය. එම තත්ත්වය ජාතික ව්‍යවස්ථාදායකයේ පටන් පාර්ලිමේන්තු ක‍්‍රමය දක්වා ආ දේශපාලන ගමන් මෙහි පැහැදිලිව දක්නට තිබේ. 1947 වසරේ ජාතික ව්‍යවස්ථා සභාවේ මුළු නියෝජනය සංඛ්‍යාව 101 ක් වනවිට එයින් තිදෙනකු පමණක් කාන්තාවන් විය.  1952 දී එම ගණන තුනක් ද 1956 දී හතරක් ද විය.  එමෙන්ම 1960, 1965 හා 1970 යන වසරවල එම අගයන් තුනක් හා හය බැගින් විය. එහෙත් 1977 එම සංඛ්‍යාව 11 ක් දක්වා වැඩිවී ඇත්තේ තේරී පත්වු වු මු`ඵ ගණන 168ක් වන විටදී ය. කෙසේ නමුත් පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ සාමාජික සංඛ්‍යාව 225 ක් වීමේදී 1989 පටන් මේ දක්වා කාන්තා නියෝජනය ගණන 13 ඉක්මවා ගොස් නැත. පළාත් පාලන මැතිවරණය සඳහා කාන්තා නියෝජනය 30ක් දක්වා වැඩි කිරීම මෙරට පාර්ලිමේන්තු ක‍්‍රමයට ද අදාළ කර ගන්නේ නම් කොතෙක් සුදුසු ද යන්න ඉහත කරුණුවලින්ම සාක්‍ෂි දරයි.  

කෙසේ නමුත් ජාතික තලයේ නියෝජනය අභිබවා පළාත් පාලන දේශපාලන ක‍්‍රියාවලිය සඳහා කාන්තා සහභාගීත්වය වැඩි කිරීම අත්‍යවශ්‍ය දෙයක් බැව් නම් පැහැදිලි දෙයකි. මෙරට ප‍්‍රාදේශීය සභා ක‍්‍රමය ස්ථාපිත කොට දැනට වසර විසිහයක් පමණ කාලයක් ඉක්මවා ඇත.  එම කාලය පුරාවට මන්ත‍්‍රීවරු තේරී පත් වූයේ කිසියම් පළාතක් නැතිනම් දිස්ත‍්‍රික්කයක් පදනම් කර ගෙනය. එහෙත් මේ වනවිට මෙයට අලූතින් නව මැතිවරණ ක‍්‍රමය හඳුන්වාදීමත් සමඟම එම තත්ත්වය වෙනස් වේ.  ඒ අනුව තමන්ගේ ඡන්ද කොට්ඨාශයට වග කියන මන්ත‍්‍රී වරයෙකු හෝ මන්ත‍්‍රී වරියක තේරී පත්කර ගැනීම සිදුවේ. මෙම පසුබිම තුළ කාන්තා නියෝජනය 30 දක්වා වැඩි කිරීම කොතෙක් ප‍්‍රතිඵලදායී දැයි විමසීම වැදගත් එකකි.

මේ දක්වා මෙරට පැවති පළාත් මැතිවරණවලදී ඉතා අඩු කාන්තා මන්ත‍්‍රී නියෝජනයක් දැකිය හැක. 1993 වසරේ උතුරු හා නැගෙනහිර පළාත් සභා දෙක හැර සෙසු හතෙහි මු`ඵ මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 380 ක් වන විට මන්ත‍්‍රීවරියන් සිටියේ 18 කි. 1999 දී එම ප‍්‍රමාණය 12 ක් ද 2004 දී එය 19 ක් ද විය.  2008 දී නැගෙනහිර ඇතුළුව මන්ත‍්‍රී ධුර ගණන 417ක් වනවිට මන්ත‍්‍රීවරියන් නියෝජනය වූයේ 17 ක් පමණී. මේ තත්ත්වය ප‍්‍රාදේශීය සභා තුළ වඩාත් දුර්වල මට්ටමක් ගෙන තිබේ.  1991 වසරේ 2632 ක් වූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ගණනින් මන්ත‍්‍රීවරියන් සිටියේ 42 කි. 

එම ප‍්‍රමාණය 1997 වසරේ 3137 න් 55 ක් ද, 2006 දී 3243 න් 51 දෙනෙකු පමණක් ද විය. මෙයින් හෙළිවන ප‍්‍රධාන කරුණු දෙකකි.  පළමුවෙන්ම මේ තත්ත්වය සාධාරණ වූ සමාජයකට කොතෙක් නොගැළපෙන්නේ ද යන්නයි. දෙවැන්න මෙවැනි තත්ත්වයක් රටේ සංවර්ධන ක‍්‍රියාවලියට කොතෙක් දුරට අහිතකර අන්දමින් බලපාන්නේ ද යන්නයි.  කෙසේ නමුත් කල් පමාවී හෝ එම පසුගාමී තත්ත්වය නිවැරදි තැනෙකට රගෙන ඒම මගින් සමාජයට යහපත් බලාපොරොත්තු ඇතිකර ගැනීමට ඉඩකඩ විවර වී තිබේ. 

මෙරට ග‍්‍රාමීය සංවර්ධනයට ප‍්‍රාදේශීය මට්ටමේ දේශපාලන නියෝජනයෙන් වැඩි බලපෑමක් ඇති කරයි. සංවර්ධන ක‍්‍රියාවලියේ මහා පරිමාණ නිෂ්පාදන අවස්ථා බෙහෙවින්ම නගරයට සීමා වුවද, සුළු පරිමාණ නිෂ්පාදන ක‍්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය වන්නේ තවමත් ගම ය.  එසේම ප‍්‍රාදේශීය මට්ටමේ ජීවන රටාව තුළ කාන්තාව විසින් වැඩි වගකීම් සම්භාරයක් උසුලනු පෙනේ. මෙරට ගම් මට්ටමෙන් දක්නට ලැබෙන සංවර්ධන, මරණාධාර, සමෘද්ධි, ආගමික, පාසල් හෝ වෙනත් කවර අන්දමේ හෝ සමිති සමාගම්වල වැඩි සහභාගිත්වය දැනටත් සිදු කරනුයේ පවුලේ කාන්තාව විසිනි. මෙම සංවිධාන ක‍්‍රියාකාරීත්වයේදී පැන නගින ප‍්‍රශ්න පිළිබඳව මනා අවබෝධයක් ඇය සතුවෙයි. මෙවැනි පසුබිමක සිටින කාන්තාවන්ට සමාජ සංවර්ධනය වෙනුවෙන් සිය අදහස් ක‍්‍රියාවට නැංවීමේ අවස්ථාව කාන්තා නියෝජනය වැඩි කිරීම තුළින් සිදුවේ.

මේ සම්බන්ධයෙන් ගෙනෙනු ලැබු නව යෝජනා තුළින් නැවතත් කොට්ඨාස ක‍්‍රමය පදනම්කොට ඡන්ද පැවැත්වීමට නියමිත බව පැහැදිලි ය.  මෙහිදී එක් එක් ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයන් කොට්ඨාශ ලෙස නිර්ණය කෙරේ. මෙම කොට්ඨාශවලට සුවිශේෂී තත්ත්වයන් රැසක් පවතියි.  සමහර කොට්ඨාශ එකම නෑදෑ පරම්පරාවක මිනිසුන් ජීවත් වනවා ඇත.

එබැවින් මෙම ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශය ඥාතිත්වය හා බැඳුණු ජීවන රටාවකින් යුක්ත වෙයි. මෙහි ජීවත්වන මිනිසුන් තීන්දු තීරණ ගැනීමේදී නෑකමට මුල් තැනක් ලබා දී කටයුතු කිරීම බෙහෙවින් දත හැකිය.  එසේම තවත් ප‍්‍රදේශවල බැලූ බැල්මට මතු පිටින් නොපෙනුනත් ඊට යටින් දිවෙන කුල සංකල්පය අනුව කටයුතු කිරීම හදුනා ගත හැකිය.  සමාජ විද්‍යාත්මක අනාවරණ තුළින් හෙළිවන්නේ මෙරට සමහර ඡන්ද බල ප‍්‍රදේශ කුලයෙන් පිටස්තර අය ඉදිරිපත් වීමෙන් ජය ගත නොහැකි බවකි. 

මේ තත්ත්වය තමන්ගේ මිනිසුන් යන හැඟීම හෝ පිළිගැනීම ඇති කිරීමට බලපා ඇත. තවත් විටෙක ජනවාර්ගික හෝ සංස්කෘතික වශයෙන් විවිධතා දැකිය හැකිය. මේ සියල්ලක් දෙසම වඩාත් හොඳින් බලන විට පෙනෙන්නේ සාපේක්‍ෂව කාන්තා ජනගහනයේ වැඩි බව සහ ඇය කැපී පෙනෙන සමාජ කාර්ය භාරයක් නිහඬව සිදු කරන බවයි.  මෙම පසුබිම ප‍්‍රාදේශීය දේශපාලනයට පිවිසෙන කාන්තාවට ජනතා කැමැත්ත දිනා ගැනීම පහසු කරනු ඇත.

ප‍්‍රාදේශීය දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම මගින් ප‍්‍රාදේශීය පරිපාලන ව්‍යුහය තුළ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට කාන්තාවට සෘජුවම සම්බන්ධ විය හැකිය. පළාත් පාලන ක‍්‍රමය අනුව ඒ ඒ ආයතන වලට පැවරී ඇති බලතල හා කාර්යයන් ක‍්‍රියාවට නැංවීමේදී අදාළ ප‍්‍රදේශයේ දේශපාලන නියෝජනය ඉතා වැදගත් සාධකයක් වේ. ඇත්ත වශයෙන්ම මෙහිදී සිදුවන්නේ රජයේ කාර්යයන් ප‍්‍රාදේශීය මට්ටමෙන් සිදු කිරීමට වුවමනා පසුබිම සකස් කර දීමකි.

මහජනතාවගේ පහසුව හා සුබසාධනය ඇති කිරීම, පොදු උපයෝගිතා සපුරා දීම, සෞඛ්‍ය හා සනීපාරක්‍ෂාව මෙන්ම පොදු මංමාවත් පිළිබඳ කටයුතු යනාදිය කෙරෙහි මැදිහත්වීම මෙහිදී සිදුවේ. එමෙන්ම ප‍්‍රාදේශීය සභාවක මුදල් හා ප‍්‍රතිපත්ති සැකසීම, නිවාස හා ප‍්‍රජා සංවර්ධනය, කාර්මික සේවාවල පරිසර හා පහසුකම් යනාදී වශයෙන් ප‍්‍රධාන විෂයන් යටතේ කමිටු පත් කිරීමට සිදුවේ.

මෙම සෑම විටෙකම ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ උක්ත අරමුණු ඉටුකර ගැනීමට ප‍්‍රදේශයේ මහජන සහභාගිත්වය ලබා ගැනීමයි.   මෙම තත්වය ගැඹුරින් සලකන විට වැඩි කාන්තා නියෝජනය දේශපාලන සංචිතය තුළ සිටීම කොතරම් හොඳ දෙයක් දැයි කල්පනා වන්නේ උක්ත සංවර්ධන කටයුතු පෙරට වඩා ඵලදායී වීමට තිබෙන ඉඩකඩ බහුල වන නිසාය.  තමන්ගේ බිරිඳ, සහෝදරිය, ඥාතිවරිගය, හිතවතිය මෙන්ම අසල්වැසි කෙනෙකුය යන හැඟීම සාමාන්‍යයෙන් කාන්තාව කෙරෙහි විශේෂකොට ඉස්මතු වේ.

ඊට හේතූව ග‍්‍රාමීය මට්ටමේ සමාජ සම්බන්ධතා ජාලය පවත්වාගෙන යාමේදී වැඩි කාර්ය කොටසක් ඇය විසින් ඉසිලීමයි. අනෙක් අතට ප‍්‍රදේශයේ තිබෙන ගැටලූවලින් වැඩියෙන් පීඩා විඳින්නේ කාන්තාවන්වීම නිසා ඇය මේවාට සැබෑ හා සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීමට උත්සුක වන්නීය.  නිවසේ ගෟහණියක වශයෙන් සලකන විට මුළුතැන්ගෙයි දිනකට එකතු වන කුණු ප‍්‍රමාණය කොතෙක් දැයි දන්නේ ඇයයි. එවිට කසළ කළමනාකරණය ගැන පිරිමින්ට වඩා ඇය උනන්දු වන්නී ය.  ඊට විසඳුම් සොයන තැන හා තීන්දු තීරණ ගන්නා තැන ඇය නියෝජනය කිරීමෙන් ඵලදායී ක‍්‍රියාමාර්ග වෙත යොමුවිය හැකිය.

මෙරට සමාජය දිනෙන් දින වේගයෙන් වෙනස් වෙමින් ගමන් කරනු පෙනේ.  මේ වනවිට ඇසෙන දකින දේවල් සලකන විට සමාජ ඇගයුම් කොතෙක් අභාවයට යමින් තිබෙන්නේ දැයි පැහැදිලි වෙයි.  මත්ද්‍රව්‍ය භාවිතය, අපචාර මෙන්ම අපරාධ ක‍්‍රමයෙන් වර්ධනය වීමෙන් ඒවා උග‍්‍ර සමාජ ගැටලූ බවට පත්ව ඇත. සමහර තැන්හී ගම් මට්ටම දක්වා මෙම අර්බුද ව්‍යාප්ත වෙමින් පවතියි.  සමහර ගම්වල පාසල් යා යුතු වයසේ සිටින ළමයි පාසල් නොයවන අවස්ථා දක්නට තිබේ.  තවත් විටෙක ළමා මෙහෙකාර සේවය හොර රහසේ ක‍්‍රියාත්මක වෙයි.  එසේම ගැහැණු පිරිමි බේදයෙන් තොරව ළමයින් විවිධ ලිංගික අතවරවලට ගොදුරු වේ. මේවාට විසඳුම් සොයන ජාතික මට්ටමේ කතිකාවන් නිතර අසන්නට දකින්නට පුළුවන.

එහෙත් එම ප‍්‍රශ්නවලට ස්ථීර විසදුම් නොලැබෙන තත්ත්වයක් පෙන්නුම් කෙරේ.  සැබැවින්ම මෙම ව්‍යසනයන්ට බිම් මට්ටමේ සිට විසදුම් හා යෝජනා ඉදිරිපත්වීම අත්‍යවශ්‍ය දෙයකි. කාන්තා නියෝජනය වැඩිවීම ඊට වඩාත් හොඳ ප‍්‍රවේශයක් සපයයි. එමගින් අදාල ගැටලූ පිළිබඳ වැඩි හඬක් නැඟිය හැකිය. මෙය සමාජ ප‍්‍රශ්න බොහෝදුරට සමනය කර ගැනීමට ලැබෙන අවස්ථාවෙකි.

අප රටේ බහුලව ඇසෙන දෙයක් වනුයේ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයයි.  මෙය වැඩියෙන් ග‍්‍රාමීය මට්ටමෙන් දැකිය හැකි දෙයකි. කාන්තාවක වීම යන කාරණය යම් යම් අවස්ථාවල සමාජ අසාධාරණයට ලක් කිරීමට බලපෑම් ඇතිකර තිබේ. ගේදොර රැකබලා ගනිමින් ගෘහණියක ලෙස කටයුතු කිරීම, දරුවන් ඇති දැඩි කරමින් ඔවුන් රැකබලා ගැනීම මෙන්ම පවුලේ අවශ්‍යතා ගැන වැඩි අවධානය යොමු කිරීම යනාදී වශයෙන් වූ වගකීම් රැසක් වැඩියෙන් ග‍්‍රාමීයව ජීවත්වන කාන්තාව වෙත පැවරී තිබේ. 

බොහොමයක් ග‍්‍රාමීය පරිසරයේ පිරිමියා ආර්ථික ඉපැයීම් කරන්නා හා පවුලේ ආරක්‍ෂකයා ලෙස පෙනී සිටින නමුත් බිරි`දට තරම් වු පවුලේ වගකීම් සමුදායක් ඔහුට නැති බව ප‍්‍රායෝගිකව දැකිය හැකිය. මේ පසුබිම තුළ කාන්තාවට සමාජයේ ඉදිරි පියවරක් තැබීමට හැකි වාතාවරණයක් දේශපාලන නියෝජනය වැඩි කිරීම මගින් සිදුවේ.  මෙතෙක් විවිධ අන්දමේ අසාධාරණ තත්ත්වයන්ට භාජන වූ කාන්තාව එයින් නිදහස් කර ගැනීමේ අවස්ථාව මෙම`ගින් උදාවෙතැයි අපේක්‍ෂා තැබිය හැකිය.

ප‍්‍රාදේශීය දේශපාලනයේ සිටින බොහොමයක් පිරිමින් සිය දේශපාලන බලය යොදා ගනිමින් අකටයුතුකම් හා බලපෑම් සිදුකිරීම ගැන නොයෙක් අවස්ථාවල වාර්තා වේ.  මිනිසුන් දිනා ගැනීම වෙනුවට මිනිසුන් බියවැද්දීම හෝ ඔවුන්ට පහරදීම බොහෝවිට සිදු කෙරේ.  මෙය වෙනත් අදහස් දරන අයගේ අයිතිවාසිකම් කඩවීමකට සෘජු බලපෑම් ඇති කරයි.  ස්ත‍්‍රී-පුරුෂ, පක්‍ෂ දේශපාලන, ජාති, ආගම් හෝ කුල වශයෙන් සිදුවන වෙනස්කම් අවම කර ගැනීමේ ඉඩකඩ කාන්තා නියෝජනය වැඩිවීම මගින් සිදුවනු ඇත.

 කාන්තාවන්ගෙන් වැඩි පිරිසකගේ අපේක්‍ෂාව සාධාරණත්වයයි. එමෙන්ම සාමකාමී බවයි.  පිරිමින්ට වඩා අඩු කලහකාරී ගති පැවතුම් ඇති ඇය සාපේක්‍ෂව සංවේදී කෙනෙකු ලෙසද සැලකේ.  එමෙන්ම බිම් මට්ටමේ සමාජය තුළ විශාල කාර්ය භාරයක් ඇය විසින් උසුලනු ලබයි. මෙම පසුබිම තුළ කාන්තාව දේශපාලන ක‍්‍රියාවලියේ තීන්දු ගැනීමට වැඩියෙන් සම්බන්ධවීම මගින් අවැඩදායී ක‍්‍රියා ම`ගහරවා ගැනීමට අවස්ථාව උදාවනු ඇත. 

ලෝකය දෙස බලනවිට එය වේගයෙන් වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරනු පෙනේ. තාක්‍ෂණ භාවිතය හා නව සොයා ගැනීම් නිසා මිනිසුන්ගේ දෛනික කාර්ය භාරයේ වෙනස්කම් සිදුවෙමින් පවතියි.  මේ පසුබිම තුළ සම්ප‍්‍රදායිකව කාර්ය භාරයන්ගෙන් කාන්තාව වෙනස් වෙමින් සිටී.  නව ඉවුම් පිහුම් උපකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර වැනි බොහොමයක් වූ නව තාක්‍ෂණික මෙවලම් මගින් කාන්තාවගේ දෛනික කාර්යයන් පහසු කර ඇත.

ශ‍්‍රී ලංකාවට වඩා පසුගාමීව සිටි රටවල් අද වන විට ඉතා දියුණු තත්ත්වයට පත්ව ඇත. මේ සඳහා මූලිකවී ඇත්තේ ජනතාවගේ අකල්පමය වෙනස්කම් සිදුවීමයි. ප‍්‍රාදේශීය දේශපාලන ව්‍යුහය තුළ තිබෙන යල් පැන ගිය ආකල්ප වෙනස් කිරීමට කාන්තා සහභාගීත්වය වැඩි කිරීම ඉවහල් වෙයි. මහජන නියෝජිතයින් යනු මහජනයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින පිරිසකි. රාජ්‍ය නිලධාරීන්ට අයථා බලපෑම් කිරීම, රාජ්‍ය දේපළ අයථා භාවිතය, නාස්තිය, අල්ලස හා දුෂණය ගැන විවිධ අවස්ථාවල තොරතුරු හෙළිවෙයි.

එසේම මෙම ආයතන පද්ධතිය තුළ අරපිරිමැස්මක් නොමැතිකම පැහැදිලිව පෙනෙයි. අනවශ්‍ය අන්දමට ජලය, විදුලිය, දුරකථන හා වාහන භාවිතය නිසා කොතෙක් ජාතික ධනය අපතේ යන්නේදැයි බැලිය හැකිය. මේ සියල්ල කෙරෙහිම හේතු වන්නේ මනා කළමනාකරණයක් නොමැතිකමයි. කළමනාකරණය හෙවත් කළ යුතු දේ මනාලෙස කිරීමට කාන්තාව සමර්ථ දක්වන්නේ යැයි පිළිගන්නා සමාජ මතයකි. එබැවින් සිදුවන වැරදි අවස්ථා නිවැරදි කර ගැනීමට කාන්තාවන් වැඩියෙන් දේශපාලන ව්‍යුහයට පිවිසීම ප‍්‍රයෝජනවත් දෙයකි. 

මේ අන්දමට ශ‍්‍රී ලංකාවේ පළාත් දේශපාලනයට කාන්තා සහභාගිත්වය වැඩි කිරීම සමාජයේ නව පිබිදීමකට මුල පුරනු ඇත.  විශේෂයෙන්ම මෙරට දේශපාලනය තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩ නැඟීමට මෙයින් ඉඩකඩ විවර වෙයි.

මෙම ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් අනාගතයේදී ජාතික තලයේ දේශපාලන භූමිකාවට පිවිසිය හැකිය. එබැවින් දේශපාලනිකව පමණක් නොව සමාජ, ආර්ථික සහ සංස්කෘතිකමය වශයෙන් යහපත් සමාජයක් බිහි කිරීමට මෙරට ප‍්‍රාදේශීය දේශපාලනයේ කාන්තා නියෝජනය සියයට තිහ දක්වා වැඩි කිරීම බෙහෙවින් ඉවහල්වනු ඇත.