28_MA_P_6  

 

අහස උසට මහ කම්හල් ඉදිවුවත් පවුරු පදනම් බැඳ සුවිසල් ප්‍රසාද ඉදිවුවත් කුඩා ලෑලි නිවසක සිට මහා මැදුරක් දක්වා ජීවත්වන කොළඹ වැසියන්ගේ ඉරණම රඳා පවතින්නේ කැලණි ගඟ තුළය. එහෙත් හෙටත් යළි මහ ගංවතුරක් පැමිණියත් කොළඹ වැසියන්ට කැලණි ගඟ සමඟ තරහ විය නොහැක.
ඉකුත් සතියේ ඇද හැලුණු මහා වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලූ අතර එයින් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවෝ 94151 ක්, කඩුවෙල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවෝ 13486ක්, ශ්‍රී  ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවෝ 11718ක්, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවෝ 15178ක පිරිසක් ද පීඩාවට පත්වූහ. එම ප්‍රදේශවල ජනතාව ප්‍රකාශ කරන ආකාරයට මෙවැනි ගංවතුර තත්ත්වයක් මෙයට පෙර ඇති වී ඇත්තේ 1989 වර්ෂයේය. එවර ඇති වූ ගංවතුර තත්ත්වය පාලනය කරගත හැකි තරම් මට්ටමක් එම වකවානුව තුළ පැවති බව ඔවුහු ප්‍රකාශ කරති. ඉකුත් සතියේ ඉරිදා මැයි (14) සිට ඇති වූ ගංවතුර තත්ත්වය (23) සඳුදා දක්වා පැවතුණි. මෙයට ප්‍රධාන හේතුව වූයේ ගංවතුර බැස යෑමට තිබූ ඉඩකඩ සීමාවන් සියල්ල අවහිරව තිබීමයි.


අධික වර්ෂාපතන තත්ත්වයක දී කැලණි ගඟෙන් පිටාර ගලන ජලය බැසයන මාර්ග අවහිර කරමින් පවුල් 5600ක් පමණ පදිංචි වී ඇති අතර ඒ ආශ්‍රිතව කර්මාන්ත ශාලා හයසියයක පමණ ප්‍රමාණයක් ඉදිවී ඇති බවත් මේ සියල්ල හේතුවෙන් කැලණි ගගේ සිට ජලය බැස යන වඟුරු බිම් සියයට පනහක් ආවරණය වී ඇති බවත් මහනගර සභා සහ බස්නාහිර ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශ වාර්තා හෙළිදරව් කර ඇත.

tu
ගඟක අතිරික්ත ජල මට්ටම පාලනය කිරීම සඳහා සොබාදහම විසින්ම නිර්මාණය කරන ලද භූමිය පිටාර තැන්න ලෙසින් හැඳින්වේ. ඉකුත් සතියේ ඇති වූ ගංවතුර බැස යෑමට නොහැකි මට්ටමට පත්වීමට හේතු වූයේ කැලණි ගඟට අයත් මෙම පිටාර තැන්න ආවරණය කරමින් ජනාවාස ඉදිකිරීම, කර්මාන්තශාලා ඉදිකිරීම, වඟුරුබිම් සංරක්ෂණය නොකිරීම යනාදිය හේතුකොට ගෙනය. කැලණි ගඟට අයත් පිටාර තැන්න ආවරණය කරමින් සිදුවී ඇති ඉදිකිරීම් මොනවාද? ගංවතුර තත්ත්වයක් පාලනය කරගත හැකි අයුරින් පිටාර බිම් යළිත් සුරක්ෂිත කළ හැකිද? ඒ සඳහා යෙදිය හැකි උපක්‍රම මොනවාද? ලක් පොළොවේ පිහිටි අමිල දායාදයක් වූ කැලණි ගඟ සුරක්ෂිත කිරීමට අපට පැවරෙන යුතුකම කුමක්ද? යනාදිය පිළිබඳව අපි විමර්ශනයක නියැලුනෙමු. එහිදී හෙළිදරව් කරගන්නා ලද තොරතුරු මෙසේ සටහන් කරන්නෙමු.


ගංඟාවකට අයත් පිටාර තැන්න (රක්ෂිත භූමිය) යනුවෙන් හඳුන්වන්නේ ඉහළ ජලපෝෂක ප්‍රදේශයක සිට ගංඟාවක් පහළට ගලා යෑමේදි ජලය ගලන මට්ටම වඩා වැඩි වූ පසු පිටාර ගලන ප්‍රදේශය සඳහා ගංගාවේ ඉවුර දෙපස පිහිටි ප්‍රදේශයයි. රජයේ ඉඩම් ආඥා පනතට අනුව ගංඟාවක මධ්‍යයේ සිට ගංඟාව පහළට ගලා ඒමේදී ජලය පාලනය කර ගැනීම සඳහා පිහිටි ආරක්‍ෂිත කලාපය පිටාර තැන්න ලෙස හඳුන්වනු ලබයි. ජාතික පාරිසරික පනතට අනුව ගංඟාවක පිටාර තැන්නට අයත් සීමාව ඉවුරේ සිට පළල මීටර් 25ට වැඩි ගංඟාවක ඉවුරේ සිට මීටර්  හැටක කලාපය (60ප) ප්‍රමාණයක් ගංගාවක පිටාර තැන්නට අයත් වේ.


කැලණි ගඟට අයත් පිටාර තැන්න පිහිටිය යුතු ප්‍රදේශය වන්නේ හංවැල්ල සිට පහළට කැලණි ගඟට අයත් ඉවුර දෙපස පිහිටි ඉඩම් ප්‍රදේශයයි. නමුත් එයින් කිසිදු භූමි ප්‍රදේශයක් පිටාර තැන්න හෙවත් රක්ෂිත ප්‍රදේශය සඳහා ඉතිරි කොට නැත. එම ප්‍රදේශ ආශ්‍රිතව පවතින ජනහීනත්වය මෙන්ම විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙයට හේතු වී ඇත. මහවැලි ගංගාව වැනි ගංගාවක ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය, සෝමාවතිය, වස්ගමුව, කන්දකාඩුව වැනි ප්‍රදේශ පිටාර තැන්න හෙවත් රක්ෂිත භූමියට අයත් වන අතර ඒවා සුරක්‍ෂිත මට්ටමකින්ද පවතියි.


අප විමර්ශනයට ලක් කරන කැලණි ගඟ ආශ්‍රිත පිටාර තැන්නට අයත් සීමාවේ පිහිටි නිවාස, කර්මාන්ත හා අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව හෙළිදරව් කරගත් තොරතුරුවලට අනුව ඒවායින් බෝහෝමයක් අවසර දී නැති ඉදිකිරීම්ය. පරිසර බලපත්‍රය හැරුණු විට ඉඩම් ඔප්පු මගින් ඒවා සියල්ල පවරා ඇත.
නිරීක්‍ෂණ චාරිකාවේදී අප පළමුව ප්‍රවේශ වූයේ මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයටයි. ගං ඉවුරේ ප්‍රදේශයක ඉදි වී ඇති නිවාස බොහෝමයක වහලය මට්ටමට ගංවතුර පැමිණීම නිසා දැඩි ලෙස පීඩාවට පත් වූ නිවැසියෝ කිහිප දෙනෙක් අප සමග අදහස් දැක්වීමට එක් වූහ.


“මම දැනට අවුරුදු දෙකක සිට කැලණි නදී මාවත පදිංචිකරුවෙක් අපේ ගෙදර පස් දෙනෙක් ඉන්නවා. ඒ හැමෝම ජීවත් වෙන්නේ මේ කුඩා නිවසේ අපිට වෙන යන්න තැනක් නැහැ. ඉඩමට අයත් පත්ඉරු පරීක්‍ෂා කරලා බැලුවාම අපේ ඉඩමේ සීමාව තියෙන්නේ ගංගාව මැද්දේ ගං ඉවුර ඔක්කොම හේදිලා ගිහින් ගං ඉවුර ප්‍රතිසංස්කරණය කරලා නැහැ. ඒවා ගැන හොයා බැලීම් සිදුවී නැහැ. අපිත් කැලණි ගඟට ආදරෙයි. පරිසරය සුරක්ෂිත කරන්නක් ඕසේ නමුත් අපිට ජීවත් වෙන්න වෙන තැනක් නැහැ” යනුවෙන් ඒ මහතා පැවසුවේය.


ගං ඉවුර ඛාදනය හේතුවෙන් ඉඩමට අයත් සීමාව ගඟට යටවීම නිසා “ගඟ දැන් ගේ ළඟටම ඇවිත් යැයි පැවසූ බොහෝ දෙනෙක් අපට මෙහිදී හමු වූහ. එහි අදහස් දැක්වූ තවත් ගම්වැසියෙකු මෙසේ ප්‍රකාශ කළේය.


“මම ගේ හදනකොට ගඟට මීටර් 80 ක් විතර දුර තිබුණා. ඒ දුර තිබුණු නිසා තමයි පළත් සභාවෙන් අපට ඉඩම් ඔප්පු දුන්නේ යැයි ඔහු පැවසුවේය.
කැලණි නදී මාවතට අමතරව අඹතලේ, නිර්මාවිල, පොකුණුගොඩ, එඹුවල වත්ත මුල්ලේරියාව උතුර වැනි ප්‍රදේශවල වැසියන්ද මෙම තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇත. ගංවතුර හමුවේ දැඩි පීඩාවට පත් වූ කැලණි නදී මාවත වැසියන්ට සහනාධාර සැපයීමට පැමිණි කණ්ඩායම් පවා ඒමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබී ඇත. එම අවස්ථාවේ ගමේ තරුණ පිරිස් එක්ව සංවිධානය කරගන්නා ලද වැඩපිළිවෙළකට අනුව මුල්ලේරියාව යුනයිටට් ස්පෝර්ට් ක්ල්බ් සංවිධානය ආධාර බෙදාහැරීම් සිදුකොට ඇත්තේ මීට වසර ගණනාවකට පෙර එම ක්‍රීඩා සමාජයට ලැබුණු බෝට්ටුවකින්ය. නිතර ගංවතුර උවදුරට ලක්වන මෙම ප්‍රදේශයට බෝට්ටුවක් ලබාදෙන්නැයි ඔවුහු ඉල්ලීමක් කර සිටිති. ගංවතුර බැස යෑමෙන් පසුව මෙම ප්‍රදේශවල වැසිකිළි පහසුකම් පවා ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවී ඇතැයි එහි වැසියෝ අප සමග පැවසූහ.


නිරීක්‍ෂණයේදී මුල්ලේරියාව උතුර ප්‍රදේශයට ගිය විට හමු වූ එහි පදිංචි ප්‍රේමදාස මහතා අප සමග අදහස් දැක්වූයේ මේ අයුරින්ය. “අවුරුදු විසිපහකට පස්සේ තමයි මේ වගේ ගංවතුරක් ආවේ. ගංවතුර කියන්නේ ස්වාභාවික විපතක්. ගඟ උතුරලා ගෙවල්වලට වතුර දාන එක සාමාන්‍ය දෙයක්. ඒත් මේ ප්‍රදේශවල ගෙවල් දැන් ගංවතුරෙන් යට වෙන්නේ පහත් බිම් ගොඩකිරීම නිසා. වැලි ගොඩදැමීම වැලි හේදීම නිසා ගං ඉවුර හානි වීමෙන් ඒ පිළිබඳව අපි පහත්බිම් ගොඩකිරීම් හා සංවර්ධන දෙපාර්ගමේන්තුවේ නිලධාරීන් දැනුම්වත් කර තිබෙනවා. නමුත් ඒ කිසිවකින් වැඩක් වුණේ නැහැ. නැති බැරි අය අඩු ගාණට පිටාර තැන්න හරියෙන් ඉඩම් අරගෙන පදිංචි වෙලා ඉන්නවා. දැන් නම් පහත්බිම් ඉඩම් ගොඩකරන්න දෙන්නේ නැහැ. නමුත් පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වැලි ගොඩදාන්න, හෝදන්න බලපත්‍ර අරන් දෙනවා. ඒ අය වැලි හෝදලා වැලි ටික අරගෙන වළවල් වහන්න පස්දානවා. එහෙම වුණාම අවසර නොමැතිවම පහත්බිම් ගොඩවෙනවා. සමහර වෙලාවට කානු පද්ධති එක්කම තමයි පස් ගොඩ කරන්නේ මේ තත්ත්වය නිසා ගංවතුර පාලනය කරගත නොහැකි වී තිබෙනවා. ගඟ පිරිලා එන වතුර ගම ඇතුළට කඩා වදිනවා” යනුවෙන් ඒ මහතා පැවසුවේය. කැලණි නදී මාවත සිට නිර්මාවිල සොරෙවුව තෙක් පිටාරතැනිවල නිවාස ඉදිකිරීම් සඳහා බස්නාහිර පළාත් සභාවෙන් අනුමැතිය ලබාදී ඇති බවද තවත් අයෙකු අප සමග සඳහන් කළේය. මෙම තත්ත්වයන් නිරීක්‍ෂණය කිරීමට පහත් බිම් ගොඩ කිරීම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණියත් පළාත් සභාවේ සමහර නිලධාරීන් මිනිසුන්ගෙන් මුදල් අරගෙන මෙම ඉදිකිරීම්වලට අවසර දීලා පහත්බිම් එකේ මහත්වරු අපට කියනවා” යනුවෙන් ද ඔවුන් අප සමග සඳහන් කළේය.


නිරීක්‍ෂණ චාරිකාවේදී අපට හමුවූ කැලණි ගඟට යාබද හල්දුම්මල ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙම ගැටලුව පිළිබඳව අප සමග අදහස් දැක්වීමට එක්වූහ. 1989 වසරට පසු දරුණු ලෙස බලපෑ ගංවතුර මෙය බවත් එකදිගටම දවස් ගණනක් ගංවතුරක් ගම තුළම රැඳී තිබීම පුදුමයට කරුණක් බවත් ඔවුහු ප්‍රකාශ කරති. එක දිගට දින හතක් ජලය නිවාස ඇතුළත රැඳීම නිසා බිත්ති දියවී යෑම ගෘහ භාණ්ඩ විනාශයට පත්වීම ආදී අලාභහානි රැසකට මුහුණ දීමට ඔවුන්ට ද සිදුව තිබුණි. තද ලෙස බැඳුණු රොන් මඩ තට්ටු ඉවත් කරමින් යළි පදිංචිවීමට හැකිවන ලෙස සිය නිවාස ප්‍රතිසංස්කරණය කරමින් සිටින ඔවුන් අප සමග අදහස් දැක්වීමට එක්වූයේ දැඩි ශෝකයක්ද පෙරදැරිවය. එහිදී අදහස් දැක්වූ හල්දුම්මල ප්‍රදේශයේ ගෘහණියක් මෙසේ ප්‍රකාශ කළාය.


“හැමෝගෙම ගොඩක් දේපළවලට හානි වුණා. 1989 වසරේ බලපෑ ගංවතුර තත්ත්වය අවස්ථාවේ අධික ජනගහනයක් නොසිටීම නිසා ගංවතුර දරුණුවට බලපෑමක් වුණේ නැහැ. තත්ත්වය පාලනය කරගන්න හැකිවුණා.


කැලණි ගඟේ ඇළ මාර්ගයක් අපේ නිවාස පිහිටි ඉඩම් උඩින් ගලනවා. මෙයට වසර කිහිපයකට පමණ පෙර ඇළ මාර්ගය සහිත ඉඩම පෞද්ගලික ආහාර සැපයුම් ව්‍යාපාරයක් කරගෙන යන ආයතනයක් මිලදී ගත්තා. ඒ අය ඇළ මාර්ගය කුඩා කරලා බැම්මක් ඉදිකළා. මේ තත්ත්වය නිසා ඇළ මාර්ගය වැසීගොස් තිබෙනවා. මහ වැස්සකදී එන ජලකඳ එම කුඩා කාණු පද්ධතියට දරාගන්න බැහැ. එවැනි අවස්ථාවක ගංවතුර නිවාස යටකරගෙන එනවා. අපේ ගෙවල් ඇතුළේ විශාල බේසම් වගේ වතුර රැඳිලා තියෙනවා. තත්ත්වය පාලනය කරගන්න බැහැ. මෙයට පෙර අවස්ථාවකදී ගංවතුර පැමිණි විට ප්‍රදේශයේ එක්තරා දේශපාලන නියෝජිතයෙක් මිනිසුන්ව රවට්ටන්න වගේ ඇළේ වතුර ගලාගෙන යන බෝක්කුවේ කට පිළිසකර කළා. නමුත් එම පිළිසකර කිරීම කෙසේවත් මෙම ප්‍රශ්නයට නිසි විසඳුමක් වුණේ නැහැ. ඉවක් බවක් නැතුව ඉඩම් ගොඩකරනවා. කැමති කැමති අයට විකුණනවා. මේ තත්ත්වය මත ඔවුන් අපේ ජීවිතවලට හානි කරනවා. මේ නිවාස අත්හැරලා අපට පදිංචි වෙන්න තැනක් නැහැ. ඇඳුම් රෙදිපිළි ඔක්කොම විනාශවෙලා ගෙදර විදුලි පද්ධතියත් අලුත් කරන්න වෙනවා. යැයිද ඇය සඳහන් කළාය.


දැඩි ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත්වූ කැලණි ගංඉවුර මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි තරුණියක් අප සමග අදහස් දැක්වීමට එක්වූවාය.


“ගංවතුර අපට නුපුරුදු අත්දැකීමක් නෙවෙයි. ඒත් මෙදාපාර ගංවතුර ගෙදර උළුවස්ස ප්‍රමාණයටම ආවා. රෑ 2.00 විතර තමයි ගංවතුර එකවරම වැඩිවුණේ. අපිට කරකියා ගන්න දෙයක් නැතිවුණා. රූපවාහිනී යන්ත්‍රය ශීතකරණය ආදී ගෘහ විදුලි උපකරණ ආදියේ සිට සියලුම බඩු භාණ්ඩ වතුරට ගහගෙන ගියා. ගේ ඇතුළේ හිටියේ ඉත්තෑවෝ, මාළුවෝ, කූඩැල්ලෝ වගේ සත්තු විතරයි. ගෙදරට අඳින ඇඳුම් දෙකක් විතරක් අරගෙන ගිහින් ජීවිතේ බේරාගත්තා. අපේ ගෙවල්වල ඉඳලා ගඟට කිලෝමීටර් භාගයක්වත් නැහැ. බොහෝ කාලයක සිට දුක්මහන්සිවෙලා තමයි ගෙවල්දොරවල් ඉදිකර ගත්තේ. ඒ සියල්ල විනාශවුණ බවත්” ඇය සඳහන් කළාය.


කැලණි ගංගාව සීමාවේ හංවැල්ල, පහත්ගම, ආටිගල, රණාල, වෑක්කෑවත්ත, ඇඹුල්ගම, නවගමුව, ඉහළ හා පහළ බෝමිරිය, වෙලේ හංදිය, කොරතොට, කඩුවෙල, හේවාගම, වැලිවැට, අටේ කනුව ආදී ප්‍රදේශ කැලණි ගඟ සීමාවේ පිටාර තැන්නට අයත් ප්‍රදේශ ලෙස මෙහිදී අපට හඳුනාගත හැකිවූ අතර ඒ ආශ්‍රිතව පිහිටි කර්මාන්තශාලා බොහෝමයක්ද ගංවතුර හේතුවෙන් හානියට ලක්ව ඇති බව හඳුනාගත හැකිවිය. මේ ආකාරයට ගංවතුර උවදුර හේතුවෙන් කැලණි ගඟ දෙපස ගම්මාන පනහක ප්‍රමාණයකට බලපෑ බව සඳහන් වේ. ගංගාවේ සිට කිලෝමීටර් 10 පමණ ප්‍රමාණයක් පුරා මෙම ජලකඳ ව්‍යාප්ත වීම නිසා ඇතිවූ ජන පීඩාව අතිමහත්ය. එයින් රජයට බිලියන 20 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවද ප්‍රකාශ වේ.


වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරන ආකාරයට කැලණි ගඟේ ජලය මුහුදට ගලා බසින මෝදර මෝයේ මීටර් 250 ක පමණ පළලකින් යුතු මෝය කට පිරිසිදු කිරීමට නොහැකි වීමට බලපා ඇත්තේ අවට ජනවාස පිහිටීමයි. එසේ පිරිසිදු කළහොත් එම ජලය මිනිසුන්ගේ පානීය ජලයට එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක්වී තිබේ. වැලිගොඩ දැමීම, වැලි සේදීම වැනි ගං ඉවුරේ සිදුවන විවිධ ව්‍යාපාර කැලණි ගඟේ පැවැත්මට බාධාවක් බවට පත්ව ඇත. අතිරික්ත ජලය බැසයාම සඳහා පහත්බිම් ගොඩකිරීමේ සංස්ථාව මගින් පොම්ප යොදා නගරයේ එකතු වන ජලය ඉවත් කිරීමට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.


ගංවතුර අවස්ථාවකදී කැලණි ගඟේ අතිරික්ත ජලය පාලනය කිරීමට යොදා ගතහැකි උපක්‍රම මොනවාද? ඒ සම්බන්ධයෙන් අපි විවිධ ආයතන හා නිලධාරීන්ගෙන් අදහස් විමසුවෙමු. එහිදී අදහස් දැක්වූ වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා දැක්වූ අදහස් මෙසේය.
මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා කැලණි ගඟ ඇතුළු ගංගා දහයක ගංගා ද්‍රෝණි පිළිසකර කිරීමට ව්‍යාපෘතියක් සැලසුම්කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 13 පමණ මුදල් ප්‍රමාණයක්ද යොදවා තිබෙනවා. ඊට අමතරව ගංවතුරින් නැතිවූ ප්‍රදේශවල නළ ළිං ප්‍රතිසංස්කරණය පොකුණු ඉස පිළිසකර කිරීම වගුරු බිම් ප්‍රතිසංස්කරණය ආදිය මේ වන විට අප අමාත්‍යංශය මගින් ඉටු කෙරෙනවා. ඊට අමතරව අවිස්සාවේල්ල, හංවැල්ල ප්‍රදේශයේ ළිං 350 ක් ප්‍රතිසංස්කරණය කරනවා. හංවැල්ලේ පිහිටි ගංවතුර බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා කර තිබෙනවා. ඇළ මාර්ග, වගුරු බිම්, ඇළ වේලි ආදී සියල්ල පිළිසකර කරමින් ජල බැසයෑමේ මාර්ග නැවත සැකසීමට කටයුතු යොදා තිබෙනවා. ඉකුත් රජයන් සමයේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූයේ එක් පුද්ගලයෙකුගේ උවමනාවට අනුවයි. මේ නිසා පරිසරයට විශාල බලපෑමක් වුණා. පරිසරය වෙනුවෙන් මිනිසුන්ට සුවිශාල වගකීමක් පැවරෙන බව අප හඳුනාගෙන තිබෙන කරුණක්. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සියලු පාරිසරික දේශගුණික තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් පසුවිය යුතුයැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.


පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා එහිදී දැක්වූ අදහස් මෙසේය.


“ලෝකයේ බොහෝ රටවල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී පරිසර තත්ත්වයන් සැලකීමට ලක්කරනවා. ජල ආශ්‍රිත කලාපවල කෙරෙන ඉදිකිරීම්වලදී කුලුනු මත ඉදිකිරීම් කිරීම බහුලව භාවිත කරනවා. නමුත් අපේ රටේ අධිවේගී මාර්ග පවා ඉදිකොට තිබෙන්නේ වගුරු බිම්වල වේලි ඉදිකරමින් වේලි මත විශාල ඉදිකිරීම් කළාම ගංවතුරකදී ජලය වගුරුබිම්වලට කාන්දු වෙන්නේ නැහැ. අනෙක් අතට වගුරු පද්ධති ගොඩකිරීම බහුලව සිදුවෙනවා. වගුරු බිම්වල වේල්ආතා, හම්බුපත් වගේ ආක්‍රමණික ශාක වැවිලා තිබෙනවා. මෙවැනි වගුරු බිම්වලට ජලය කාන්දු වෙන්නේ නැහැ. ඒවා ඉක්මනින් පිරිසිදු කළ යුතුයි. ඇළ මාර්ග පිළිසකර කිරීම් ආදිය ක්‍රියාත්මක කළ යුතුයැයිද ඒ මහතා සඳහන් කළේය.


නිරීක්ෂණ චාරිකාවේදී අප ලබා ගත් අදහස් වලට අනුව කිසිවෙකු ගඟට හානි කිරීමේ සෘජු අරමුණ මත ක්‍රියානොකළත් ඔවුනොවුන්ට පවා නොදැකීමට කැලණි ගංගාවට හානි පැමිණ වී ඇත. එසේ සිදුවන හානිවල පල විපාක යළිත් මිනිසුන් වෙතටම ඇදීඒම අපට උගන්වන හොඳ පාඩමකි.

m