Kallady_Bridge_Batticaloa

 

සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන් ජීවත්වන මඩකළපුව ප්‍රදේශය ත්‍රස්ත බියෙන් ඇලළී තිබිණි. නිවෙස්වලට පනින ත්‍රස්තයෝ නිරායුධ සිවිල් වැසියන් අමු අමුවේ මරාදැමූහ. ඔවුනගේ දේපල කොල්ලකෑහ. යුද හමුදා සෙබළු සිය ගාණක් මරා දැමූහ. එවන් වූ වකවානුවක මඩකළපුව ත්‍රස්තබියෙන් නිදහස්කර ගතයුතු විය. ඒ සඳහා විශේෂ බළකා සෙබළුන්, කමාන්ඩෝ සෙබළුන් හා පාබල හමුදාව පෙළ ගැසුනහ. 1993, 1994 වසර පුරා දිවා, රෑ නොතකා සටන්කර එම ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගත්හ. ඒ සඳහා මෙහෙයුම් තුනක් දියත් කළ අතර ඒ පිළිබඳව තොරතුරු විශ්‍රාමික කර්නල් වරයෙකු වූ රාජ් විජේසිරි මුදාහැරියේ මෙලෙසිනි. 

 

 

 

1993 සහ 1994 වසරවල මඩකළපුවේ සුවිශාල මෙහෙයුම් සිදු කළේය. එහි ප්‍රධාන අරමුණ වූයේ කරුණා අම්මාන් ඇතුළු 800ක් පමණ ත්‍රස්තයන් මර්දනය කිරීමය. එනම් ඒ කාලය වෙනවිට එම ත්‍රස්ත කණ්ඩායම් හමුදාවට සේම සිංහල, මුස්ලිම් ගම්මානවලට ද විශාල තර්ජනයක් වී තිබුණි. එම වාතාවරණය පැවති ආණ්ඩුවේ ඡන්ද කටයුතුවලට බාධාවක් වූ හෙයින් ත්‍රස්තයන් මර්දනය කර සාමකාමී වටපිටාවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වූවේය. 


එම නිසා ආණ්ඩුවේ අවශ්‍යතාව මත එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. ඒ සඳහා » වැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස මේජර් ජයවි ප්‍රනෑන්ඩෝත් දෙවැනි අණදෙන්නා ලෙස කර්නල් රාජ් විජේසිරිත් කටයුතු කළ අතර ඒ සඳහා චාලි බළගණය, කැප්ටන් දර්ශන රත්නායක යටතේත්, එකෝ බළගණය කැප්ටන් උපුල් වීරසිංහ යටතේත්, ඩෙල්ටා බළගණය කැප්ටන් වඩුගේ යටතේත්, ඇල්ෆා බළගණය කැප්ටන් අනිල් ප්‍රනෑන්ඩෝ යටතේත්, බ්‍රාවෝ බළගණය සරත් ඇඹව යටතේත් සූදානම් කළහ.

 

07-Page-7-S2-02

කැප්ටන් හරේන්ද්‍ර රණසිංහ, කැප්ටන් දර්ශන රත්නායක, කැප්ටන් උපුල් වීරසිංහ, කැප්ටන් සුජීව යාපා, කැප්ටන් ධම්මික හේවගේ සහ මේජර් රාජ් විජේසිරි.

 


මීට අමතරව » වැනි කමාන්ඩෝ රෙජිමේන්තුව සහ පාබල හමුදා සේනාංක කීපයක් මෙහෙයුමට සම්බන්ධ වූහ.


මේ වනවිට කරුණා අම්මාන් ඇතුළු 800ක් දෙනා තොප්පිගල, තාරාවිකුලම්, මඩකළපුව - අනුරාධපුර ප්‍රධාන මාර්ගයට බටහිරින් හා අරලගන්විල ප්‍රදේශවල සිය ආරක්ෂිත බංකර් පිහිටුවා තිබුණි. එම ප්‍රදේශවල ආරක්ෂිත බංකර් පිහිටුවා සිටි ත්‍රස්තයෝ පාරේ ගමන් ගන්නා යුද හමුදා කණ්ඩායම්වලට පහරදීමට කටයුතු කළහ. ඒ සෑම අවස්ථාවකම හමුදා සෙබළු 30ක්, 35ක් වැනි ප්‍රමාණයක් මිය ගියහ.


ඉන් ගමනාගමනයට බාධා ඇති වූ අතර පාරේ ගමන්ගන්නා සිවිල් ජනතාව මර බියෙන් පසුවූහ. මීට අමතරව තැනින් තැන පිහිටි හමුදා කඳවුරුවලට පහර දීමත්, මායිම් ගම්මානවල සිටි නිරායුධ සිවිල් වැසියන් වෙඩි තබා හෝ කපාකොටා ඝාතනය කිරීමත් ඔවුනගේ දෛනික ක්‍රියාවන් වී තිබුණේය. එවැනි අමානුෂික ඝාතනයන් නතර කිරීම අරමුණ කරගත් විශේෂ බළකා සෙබළු හා සාමාන්‍ය සෙබළ පිරිස් මඩකළපුවට ගොඩ බැස්සහ.

 

07-Page-7-S2-03

එල්.ටී.ටී.ඊ.යෙන් අල්ලාගත් වාහනයක්

 


සතියක් පමණ කාලයක් ඇතුළත තාරාවිකුලම්, කරනවිකුලම් සහ වැව් ආශ්‍රිතව තිබුණු ත්‍රස්ත බංකර විනාශ කර හමුදා ආරක්ෂක වළලු පිහිටුවීමට රාජ්‍ය ආරක්ෂක හමුදාවන්ට හැකිවූවේය.


එම කඳවුරුවල නතර වූ විශේෂ බළකා සෙබළු සහ කමාන්ඩෝ සෙබළු කැලෑපීරමින් ත්‍රස්තයන් සොයා ගියහ. පුනානි මාර්ගයෙන් උතුරේ කමාන්ඩෝ සෙබළුත් පුනානී මාර්ගයෙන් දකුණේ විශේෂ බළකා සෙබළුත් සිය වික්‍රමයන් ආරම්භ කළහ. වසර එකහහමාරක් පමණ පැවති මෙහෙයුමෙන් ජයගත් රාජ්‍ය සෙබළුන් අත්පත්කරගත් දේ බොහෝය.


එනම් පුනානිකුලම් ප්‍රදේශයේ තිබුණ කැලෑවේ පිහිටා තිබූ කරුණා අම්මාන්ගේ පිරිස පාලනය කළ ආරෝග්‍යශාලා, බේකරි, යුද පුහුණු ස්ථාන, සංඥා මධ්‍යස්ථාන ආදී අක්කර ගණනාවක සුවිශාල ප්‍රදේශයක් සහ ත්‍රස්තයන් සතුවූ වාහන විශාල ප්‍රමාණයක් හමුදාව අතට පත්විය.


ඒ අතර ජීප්, ට්‍රැක්ටර්, කාර් ඇතුළු වාහන 16ක් පමණ විය.


වසර එකහමාරක් පමණ කාලයක් යුදවැදී ආරක්ෂක හමුදාවෝ ජයග්‍රහණය අත්පත්කර ගත්හ. එසේ ලබාගත් ජයග්‍රහණය පිටුපස මෙහෙයුම් තුනක තතු ඇත්තේය.

07-Page-7-S2-04

තරව්කුලම් අසල එල්.ටී.ටී.ඊ කඳවුර

 


එනම් මේජර් ජයවි ප්‍රනෑන්ඩෝට ලැබුණු තොරතුරක් මත නාරකමුල්ල කන්ද පාමුලින් එක් මෙහෙයුමක් ආරම්භ කළේය. ඒ 1993 වසරේ අප්‍රේල් මාසයේදීය.
කැප්ටන් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු එකෝ බළගණයේ නිලධාරීන්ට කන්ද පාමුල සැඟවී සිට සටන මෙහෙයවීම භාරවිය. ලෙෆ්ටිනන් නිශ්ශංක ඊරියගම, ලෙෆ්ටිනන් කැලුම් පෙරේරා, දෙවැනි ලුතිනන් ප්‍රශන්ත විජේසූරිය, ලුතිනන් කැලුම් පෙරේරා ආදී නිලධාරීන් එහි ප්‍රමුඛයෝ වූහ.


මේජර් දර්ශන රත්නායක යටතේ චාලි බළගණය මෙහෙයුමට සූදානම් වූ අතර නාරකමුල්ල කන්දේ සිට කිලෝමීටර් අටක පමණ දුරකින් ඔවුහු ස්ථානගත වූහ.


මේජර් වඩුගේ ප්‍රමුඛ ඩෙල්ටා බළගණය පෙළගැසුණේ නාරකමුල්ල කන්දේ උතුරු දෙසිනි.


මේ ආකාරයට සූදානම් වූ විශේෂ බළකා සෙබළු සැඟවී සිට පහර දීම ආරම්භ කළහ.


දිනක් එකෝ බළගණයේ මේජර් කැළුම් පෙරේරා සිය බඩියාත් සමග කැලය අභ්‍යන්තරයට ගිය අතර ඔවුනට දක්නට ලැබෙන්නේ ත්‍රස්තයන් සියයකට අධික පිරිසකි. නිහඬව ඒ දෙස බලා සිටි ඔවුන් ත්‍රස්තයන් පුනානි දෙසට ගමන්ගන්නා බව කැප්ටන් රණසිංහට දැනුම් දුන්නේය. ඔහු මේජර් ජයවි ප්‍රනෑන්ඩෝට ඒ පිළිබඳව දැනුම්දුන් අතර අවසානයේ ත්‍රස්තයන් ලුහුබැඳ පහරදීමට තීරණය විය. ඒ අනුව මේජර් රණසිංහ ඇතුළු පිරිස කිලෝමීටර් ගණනාවක් දුරගෙවා ත්‍රස්තයන් පසුපස ලුහුබැඳි අතර රාත්‍රිය උදාවූවේය. අන්ධකාරයත් සමගම වර්ෂාව පතිත වූ අතර මහ කැලෑවේ විඳි දුෂ්කරතා බොහෝය. එම නිසා සෙබළුන්ට ඉර උදාවනතුරු බලා ඉන්නට සිදුවිය. 

 

07-Page-7-S2-05

ලෙෆ්ටිනන් ප්‍රසන්න විජේසූරිය සහ සෙකන්ඞ් ලෙෆ්ටිනන් උපේන්ද්‍ර කරුණාරත්න

 


සිදුවූයේ ඛේදවාචකයකි. වැස්ස නිසා ත්‍රස්තයන්ගේ අඩිපාරවල් මැකීගොස්ය. දින ගණනාවක් කැලෑවේ ගත කළ සෙබළ පිරිස » වැනි විශේෂ බළකාය ස්ථානගතවී සිටි සිත්තණ්ඩි ප්‍රදේශය කරා ආපසු පැමිණියහ.


ගතවූයේ එක් දිනක් පමණි එල්.ටී.ටී.ඊ.ය පුනානි පාරේ ගමන්ගත් හමුදා සෙබළ කණ්ඩායමකට පහර දී ඇති බව දැනගන්නට ලැබුණි. එම පහරදීමෙන් හමුදාවේ 20ක් පමණ මියගිය බව දැනගත් විශේෂ බළකා සෙබළු එසේ පහරදීමට පැමිණ ඇත්තේ පසුගිය දිනක එකෝ බළගණයට මගඇරුණු 200ක පමණ ත්‍රස්ත පිරිස බව වටහා ගත්හ.


මේජර් ජයවි ප්‍රනෑන්ඩෝගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ කැප්ටන් රණසිංහ යළිත් ත්‍රස්තයන් ආපසු එන ගමන් මාර්ගය අනුමාන කර පහරදීමට සූදානම් විය.
නැවතත් නාරකමුල්ල ප්‍රදේශයට ගිය සෙබළ පිරිස එහි ආරක්ෂක බළඇණිය පිහිටුවේය. එය 70ක පමණ සෙබළ පිරිසකගෙන් සමන්විත විය.


කන්ද මුදුන සිට එක් සෙබළ පිරිසක් ඔත්තු බැලූ අතර අන් පිරිස ආයුධ ස්ථානගත කර සතුරා එනතුරු බලා සිටියහ.


දුර සිට ඔත්තු බැලූ සෙබළ පිරිසට පළමුව දක්නට ලැබෙනුයේ 5ක පමණ කුඩා ත්‍රස්ත කණ්ඩායමකි. එහෙත් කිසිදු පහරදීමකින් තොරව ඔවුන් එන ගමන් මාර්ගය නිරීක්ෂණය කළ සෙබළ පිරිසගේ නෙතට කුඩා කණ්ඩායම් ලෙස සැදී පසුගිය දින හමුදා සෙබළුන්ට පහරදී ලබාගත් ආයුධත් සමඟ පැමිණෙන ත්‍රස්තයන් දර්ශනය විය. 


එම කණ්ඩායම් අවසානයේ ත්‍රස්ත නායකයන් එන බව දැනගත් ආරක්ෂක හමුදාව 50ක පමණ කණ්ඩායම ඉලක්ක කර පහර දෙන්නට කටයුතු කළහ. පෙර දින වැසි ඇති වුවත් ඊට පෙර තිබූ තද පෑවිල්ල නිසා මානා පඳුරු වියළීගොස් තිබුණි. සටනත් සමඟ වියළි මානා පඳුරුවලට මහා ගින්නක් හටගත් අතර ත්‍රස්තයෝ අසල වූ වනරොදට පැන ගත්හ.

07-Page-7-S2-06

ලෙෆ්ටිනන් නිශ්ශංක ඊරියගම සහ ලෙෆ්ටිනන් ප්‍රසන්න විජේසූරිය

 


හමුදාව ඔවුන් ලුහුබැඳි අතර කැලෑව තුළදීද සටන් පැවතියේය. 


එම සටන් එසේ පවතිද්දී කැලෑව තුළ සැඟවී සිටි වෙනත් ත්‍රස්ත කණ්ඩායමක් කැප්ටන් රණසිංහ සිටි ප්‍රදේශයට පහර දෙන්නට විය. ඉන් කැප්ටන් රණසිංහ සහ කැප්ටන් පතිරාජ තදබල ලෙස තුවාල ලැබූහ. ඒත් ඔවුන් සටන නොනැවැත්වූ අතර ඉන් ත්‍රස්තයන් 30කගේ පමණ ජීවිත නැති විය. තුවක්කු 20ක් පමණ ආරක්ෂක හමුදාවන් සතු වූවේය. 


එම සටනින් ආරක්ෂක හමුදාවන්ටද හානි සිදුවූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යැවීමට ගුවන් යානා ගෙන්වා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව ගුවන් යානයක් පැමිණි අතර එහි ලෙෆ්ටිනන් සිරිසාන්ත සහ සාජන් අස්මිත් යන නිලධාරීන් දෙදෙනා පැමිණියහ.


මෙහිදී මේජර් ජයවි ප්‍රනෑන්ඩෝගේ අදහසට අනුව ආරක්ෂක හමුදාවන්ට එල්.ටී.ටී.ඊ. මළසිරුරු සහිත ප්‍රදේශයට ආරක්ෂක රැකවල් දැමීමට නැවත සිදුවිය. හේතුව එම මළසිරුරු ගෙනයාම සඳහා ත්‍රස්තයන් ආපසු පැමිණීමයි. එම රාජකාරිය කැප්ටන් සිරිශාන්ත ඇතුළු පිරිසට භාර විය. ලෙෆ්ටිනන් ප්‍රශන්න, ලෙෆ්ටිනන් කැළුම්, ලෙෆ්ටිනන් නිශ්සංක යන පිරිස ද ඔවුන් සමඟ වූහ.


මේ පිරිස සන්ධ්‍යාව එළඹෙනතුරුම කැලෑවේ සැඟවී බලා සිටියහ. අඳුර වැටී එනවාත් සමග එක් එක් ත්‍රස්තයා සැඟවෙමින් මළසිරුරු ඇති ප්‍රදේශයට එනවා හමුදා නෙත් ගැටුණි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ටත් හමුදාව සිටිදෝ යන සැකය තිබුණ අතර ඔවුන්ගේ කුඩා කුඩා කණ්ඩායම්ද ආයුධත් සමඟ ස්ථානගතවීම සිදුවිය.


මේ සියලු දේ කැප්ටන් සිරිශාන්ත ඇතුළු පිරිස නිහඬව බලා සිටියහ. අවසානයේ ත්‍රස්තයන් තිස් දෙනෙකු පමණ ක්‍රම ක්‍රමයෙන් එකතු වුණ පසු ආරක්ෂක හමුදාව ප්‍රහාර දියත් කළහ. ත්‍රස්තයෝද ඊට සූදානමින් සිටි අතර ප්‍රති ප්‍රහාර එල්ල කළහ. 


නැවතත් අඳුර පසාරු කරමින් ගිනිපුළිඟුසේ වෙඩි පත්තුවන්නට විය. එම සටන පැයක් පමණ පැවතියේය. ඉන් ආරක්ෂක හමුදාවන්ට ජය අත්වූ අතර ත්‍රස්තයෝ 30ක පමණ ප්‍රමාණයක් මිය ගියහ. ඔවුන්ගේ ආයුධ හමුදාව අතට පත්විය. එම සටනින්ද විශේෂ බළකා සෙබළු තිදෙනෙක් තුවාල වූහ.
නාරකමුල්ල ප්‍රදේශයේ සිදුකළ මෙම ක්‍රියාන්විතයට විශේෂ බළකා සෙබළු විශාල පිරිසක් සහභාගි වූ අතර එය සාර්ථක මෙහෙයුමක් විය. 


මෙම මෙහෙයුමෙන් පසු ජයග්‍රහණය අත්කරගත් සෙබළ පිරිස දෙවැනි මෙහෙයුම ආරම්භ කරන්නේ පූනානිවලට උතුරින් පිහිටි කඩිඩමුරුවිකුලම් ප්‍රදේශයෙනි.


එනම් ඒ වනවිට අංගොඩවිලු සිට කදිරවේලි ප්‍රදේශයට එල්.ටී.ටී.ඊ. බලපෑම ඇතිබවත් ඔවුනගේ බංකර් එම ප්‍රදේශයෙහි පිහිටා ඇති බවත් මුහුදින් එම බංකර්වලට ආයුධ සපයා ගන්නා බවත් ආරක්ෂක හමුදාවන්ට දැනගැනීමට ලැබුණි.


ඒ අනුව එම තොරතුරු පිළිබඳ සොයා බැලීමට ආරක්ෂක හමුදාවෝ කටයුතු කළහ. 


ඔවුනගේ නෙත ගැටෙන්නේ බොහෝ කාලයක් එහා මෙහා ගිය අඩි පාරක් වෙතය. එය ත්‍රස්තයන්ගේ බව අනුමාන කළ විශේෂ බළකා නිලධාරීන් පළමු පහර දීමට එකෝ බළගණයේ කැප්ටන් ප්‍රශන්න විජේසූරිය ඇතුළු පිරිස පිටත් කර හැරියේය. ඔවුහු දින 4ක් පුරා පාර රැකගෙන සිටියත් කිසිදු අයෙක් නෙත නොගැටෙන අතර ආපසු ඒමට කටයුතු කළහ. එහිදී තවත් අඩිපාරක් ඔවුනගේ නෙත ගැටුණි. ඒ අනුව කැප්ටන් උපුල් වීරසිංහගේ උපදෙස් පරිදි එකෝ පළමු කණ්ඩායම හා කැප්ටන් නිශ්ශංක ඊරියගම ඇතුළු පිරිස නව පාර නිරීක්ෂණය කිරීමට පිටත් කර යැව්වේය. 12හේ 12හේ කණ්ඩායම් 2ක් ලෙස පෙළ ගැසෙන ඔවුහු එම මෙහෙයුම දින හයකට සැලසුම් කළහ. සිව් දිනක් නිහඬව තිබූ අතර පස්වැනි දින රාත්‍රියේ යම් කණ්ඩායමක් ගමන් ගන්නා ශබ්දය ඔවුනට ඇසෙන්නේය. ඒ ත්‍රස්තයන්ගේ බව හඳුනාගත් කැප්ටන් ඊරියගම පළවැනි වතාවට ත්‍රස්තයන් උදෙසා ක්ලේමෝ බෝම්බයක් භාවිත කිරීමට කටයුතු කළේය. එහෙත් බෝම්බය සක්‍රීය නොවීය. ඒ නිසාම අන් සෙබළුද සතුරාට වෙඩි තැබීමට ක්‍රියා නොකළහ.


හමුදාවන් ඉදිරියෙන් ත්‍රස්තයෝ 30ට ආසන්න පිරිසක් කදිරවේලි දෙසට ගමන් ගත්හ. එළිය වැටුණු පසු ක්ලේමෝ බෝම්බය පරීක්ෂා කළ අතර යම් සතෙකු එය සක්‍රීය කරන වයරය කා ඇති බව දක්නට ලැබිණි. නැවතත් කැප්ටන් මානද යහම්පත් ඇතුළු එකෝ හතරවන කණ්ඩායම එල්.ටී.ටී.ඊ.ය ගමන්ගත් මාර්ගය අසලට ගොස් ඔවුන් ආපසු එනතුරු බලා සිටින්නට වූහ. දින හතරක් ගෙවීගිය ද කිසිදු ත්‍රස්තයෙක් ආපසු නොආවේය. නැවතත් එකෝ පළමුවැනි කණ්ඩායම ලෙෆ්ටිනන් ඊරියගම සමඟ පෙර සිටි ස්ථානයට යවන අතර එය 20 වැනි දිනය වූවේය.


මැසි, මදුරු, සර්ප උවදුරු සේම අලි, කොටි, වලස් තර්ජන උග්‍ර වනසේ දිවා රාත්‍රී ගත කළ හමුදාවන්ට දක්නට ලැබුණේ ත්‍රස්ත මාර්ගයේ දිගේ දිවියෙකු ගමන් ගන්නා ආකාරයයි. හමුදාව නිහඬව ඔහු දෙස බලාසිටි අතර දිවියා නිහඬව ඉදිරියට ඇදුණේය. එදින රාත්‍රියේ නැවතත් ත්‍රස්තයන්ගේ පාහඬ හමුදාවන්ගේ සවනත වැකිණි. පළමුව දෙදෙනා, තිදෙනා ලෙස ත්‍රස්තයන් ගමන්ගත් අතර ලොකුම කණ්ඩායම පිටුපසින් ගමන් ගත්හ. මල්ටි මීටර වලින් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කළ ක්ලේමෝ බෝම්බය මහා ශබ්දයක් නගමින් පත්තු වූ අතර ඉන් ත්‍රස්තයන්ට විශාල හානියක් සිදු කළේය. එනම් ත්‍රස්තයන් 19කගේ මළ සිරුරු සහ ඔවුන් රැගෙන ගිය අවි හමුදාවන් අතට පත්විය.


කැප්ටන් උපුල් වීරසිංහයන්ගේ අණ පරිදි එකෝ බළගණයේ ඉතිරි පිරිසද එම ප්‍රදේශය නිදහස් කර ගැනීමට පිටත් කෙරිණි. සියලුදෙනා එකතු වී දින 20ක් පුරා දිවා රාත්‍රී සටන්කර එම ප්‍රදේශයද ත්‍රස්තයන්ගෙන් මුදාගත්හ. එනම් ත්‍රස්තයන් මුහුදේ සිට අංගොඩවිල්ලු ත්‍රස්ත කඳවුරට බඩු ගෙනෙනා සැපයුම් මාර්ගය හමුදාව අත්පත් කර ගත්තේය. එයම ත්‍රස්තයන්ට එම ප්‍රදේශය හැර යාමට හේතු වූවේය. ඒ ආකාරයට ජයග්‍රහණය අත්පත් කරගත් ආරක්ෂක හමුදාව තෙවැනි මෙහෙයුමට ද අත තැබූහ.


තලවගල ප්‍රදේශයේ සිදුකළ තෙවැනි මෙහෙයුමට හේතුපාදක වූයේ හමුදාවේ රහස් ලබාගන්නා එල්.ටී.ටී.ඊ. සංඥා මධ්‍යස්ථාන විනාශ කිරීමය.


එනම් ඒ වනවිට හමුදාව භාවිත කළ ඩිරේක්ටර්ස් ෆයින්ඩර්ස් නම් සංඥා උපකරණයට එල්.ටී.ටී.ඊ. සංඥා මධ්‍යස්ථාන පිළිබඳව තොරතුරු ලබාගත හැකිවිය. ඒ අනුව චාලි බළගණයේ කැප්ටන් දර්ශන රත්නායක, ලෙෆ්ටිනන් සිරිමාන, ලෙෆ්ටිනන් නාලක යන පිරිස් සහ සෙබළු මෙහෙයුම සඳහා සූදානම් වූහ. ඔවුන් තලවගල ප්‍රදේශයට ගොස් ත්‍රස්ත සංඥා මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු සෙවූමුත් කිසිවක් පිළිබඳ හෝඩුවාවක් ලබාගත නොහැකි විය. හැත්තෑවක පමණ ප්‍රමාණයක් දවසක් පුරා වෙහෙස වුවද සාර්ථක ප්‍රතිඵල නොලැබුණ අතර කෝප්‍රල් මුණසිංහට තලවගල කන්දේ උඩහරියේ ගසක කැපූ අතු 2ක් හමුවන්නේය. ඔහුගේ අනුමානයට අනුව කන්ද මුදුනට ගිය අතර එහිදී සංඥා මධ්‍යස්ථානය හමුවන්නේය. ත්‍රස්තයන් තිදෙනෙක් එය මෙහෙය වූ අතර හමුදාවේ ගමන් බිමන් පිළිබඳව තොරතුරු සැපයීම ඒ මගින් සිදුවී තිබුණි.


කරුණා අම්මාන් ඇතුළු පිරිස පාරේ ගමන් ගන්නා හමුදාවන්ට පහරදී ඇත්තේ ඒ හරහා ලැබුණු තොරතුරු නිසාවෙනි. එම ස්ථානය හමුදාව අත්පත්කර ගන්නා අතර ආරක්ෂක හමුදා රහස් ත්‍රස්තයන් අතට පත්වන මාර්ගය ඉන් අවහිර විය.


මේ ආකාරයට තුන් ආකාරයක මෙහෙයුමකින් හමුදාව ජයග්‍රහණය අත්පත්කර ගත් අතර 1994 අවසාන වනවිට කරුණා අම්මාන්ගේ කණ්ඩායම් කඳවුරු අත්හැර ගොස් තිබිණි. ඔහුගේ 800ක පමණ පිරිසෙන් 20ක 30ක කුඩා කණ්ඩායම් පමණක් දිනෙන් දින කැලයෙන් කැලයට ගමන් ගනිමින් කුඩා පහරදීම් සිදු කළහ. එහෙත් ඔවුනගේ බලය හීනවී තිබුණි. ඒ නිසාම පැවති රජයට වසර ගණනාවකට පසු 1994 වසරේ ඡන්දය පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සැලසී තිබුණි. 


1995 වසරේ යාපනය අල්ලා ගැනීම සඳහා රිවිරැස මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර මඩකළපුව අතහැර එහි යාමට විශේෂ බළකායට සිදුවිය. එය ප්‍රයෝජනයට ගත් කරුණා අම්මාන් ඇතුළු පිරිස නැවත තොප්පිගල වනයට ඇතුළු වූ අතර නැවතත් ත්‍රස්ත ක්‍රියාකාරකම් ආරම්භ කළහ.


හමුදාවන් සිදුකරන ලද්දේ මානුෂීය මෙහෙයුමකි. ඔවුහු දෙමළ වැසියන් සමඟ යුද්ධ නොකළහ. අන්තවාදී අදහස් ඉදිරිපත් කරමින් සිවිල් වැසියන් ඝාතනය කළ, රාජ්‍ය දේපලට හානිකළ. ජාති ආගම් භේදයකින් තොරව සියලු ජනතාවට හිරිහැර කළ ඊලාම්වාදී ත්‍රස්තයන් සමඟ සටන් කළහ. එනම් දින, සති, මාස, වසර පුරා දිවා, රාත්‍රී කැපවී සටන් කළ සෙබළු ජීවිත දහස් ගණනක් පුදා මව්බිම රැකගත්හ. විරුවෝ ජීවිත පුදා දිනා දුන් දේශය රැකගැනීම සියලුදෙනාගේ යුතුකමකි.

m