ශ්‍රී ලංකාවේ ජනතාව ඈත අතීතයේ පටන්ම වී වගාකොට බත් අනුභව කළහ. මහාවංශයට අනුව වසර දෙදහස් පන්සියයකට පමණ පෙර කුසගින්නේ හෙම්බත් වී තම්මැන්නා වෙරළින් ගොඩබට විජය කුමරු සහ ඔහුගේ පිරිවරට, බිඳී ගිය නෞකාවේ තිබූ සහල් ගෙන කුවේනිය බත් පිස කන්නට දුන්නාය.

ශ්‍රී ලංකාවෙන් සහල් අපනයනය කළ බව හෝ ශ්‍රී ලංකාවට සහල් ආනයනය කළ බවක් මහාවංශයේ සඳහන් නොවූව ද ඉන් අනුමාන කළ හැක්කේ එකල දේශීය වෙළෙඳපොළේ සහල් හිඟ වූ බවය. එවැනි බිඳුණු නෞකාවලින් සහල් සහ වෙනත් වටිනා දෑ ලබාගැනීම සාමාන්‍ය පුරුද්දක් වග ද ඉන් ඇඟවේ. එහෙත් ගසට පොත්ත ඇලුණාක් මෙන් සහල් ද ශ්‍රී ලාංකිකයාගේ ජීවිතයට තදින් සම්බන්ධ වී තිබේ. එසේ වුව ද වසර දහස් ගණනක් ගත වුව ද සහල් වගා කළ ආදිතමයා මෙන්ම නූතන යුගයේ ශ්‍රී ලාංකිකයා ද සහල් නිෂ්පාදනයේදී ප්‍රාතිහාර්යය පෑමට අසමත් වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ සහල් ප්‍රාතිහාර්යය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ ශ්‍රී ලංකාවේ ඉපදුණු නිමල් චන්ද්‍රසේන විද්‍යාඥයා, මේ වනවිට ඕස්ට්‍රේලියාවේ GHD ජල විද්‍යා ආයතනයේ සේවය කරමින් තවත් විද්‍යාඥයන් තිදෙනකු සමග එක්වී ඕස්ට්‍රේලියාවේ සහල් ප්‍රාතිහාර්යය පිළිබඳව කෘතියක් රචනා කළේය. අනෙක් විද්‍යාඥයන් තිදෙනා වූයේ ඕස්ට්‍රේලියාවේ ඇග්‍රෝ ප්‍රෙයිසල්ස් ආයතනයේ මැල්කම් ටේලර්, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සරසවියේ ගුල්ෂාන් මහජාන් සහ භාගිරත් සිංග් චෞහාන් යන අයයි.

මෙම විද්‍යාත්මක පත්‍රිකාව ප්‍රසිද්ධියට පත්කොට ඇත්තේ Weed Management in Rice in the Asian, Pacific Region නම් ග්‍රන්ථයේය. එය එ්.එන්. රාඕ සහ එච්. මැට්සුමෝටෝ විසින් සංස්කරණය කර තිබේ.

අවශ්‍යතා විසින් ඕස්ට්‍රේලියානු ගොවීහු කාර්යක්ෂම වගාකරුවන් බවට පත්කරනු ලැබුවෝය.

ඕස්ට්‍රේලියාවේ සහල් කතාවේ, චන්ද්‍රසේන සහ ඔහුගේ සහාය කතුවරුන් කියා සිටින්නේ ඉහත කාරණයයි.

ධාන්‍ය නිෂ්පාදනය විවිධාංගීකරණයට ලක් කිරීම පිණිස 1914 දී ඕස්ට්‍රේලියාවට මධ්‍යම ප්‍රමාණයේ දිගින් යුත් වී වර්ගයක් හඳුන්වා දෙනු ලැබුවේය. ඒවා වගා කරනු ලැබුවේ ග්‍රීෂ්ම කාලයේ පමණක් වගා කරන බෝගයක් ලෙසයි. ඕස්ට්‍රේලියාව ලෝකයේ වියළිතම මහද්වීපයක් ලෙස සැලකෙන නිසා එරට සහල් වගා කරනු ලබන්නේ දකුණු නිව් සවුත්වේල්ස් සහ උතුරු වික්ටෝරියා ප්‍රාන්තවලය. ප්‍රධාන වශයෙන් එහිදී වාරි ජලය උපයෝගි කරගන්නා අතර ඇතැම් විට අනුපූරකයක් ලෙස වැසි ජලය ද ඒ සඳහා යොදා ගැනේ. දැඩි වියළි තත්ත්වය නිසා ජල සම්පාදනය සහ ඉඩම් යොදා ගැනීම බලධාරීන් විසින් දැඩි නියාමනයකට යටත්කොට තිබේ.

ඇත්ත වශයෙන්ම සහල් වගා කරනු ලැබුවේ වාර්ෂිකව ලබාදෙන බලපත්‍රයක් මතයි. බලධාරීන් විසින් ක්‍රියාවට නංවනු ලබන එම ක්‍රියා පිළිවෙළේදී පවතින ජල ප්‍රමාණය සහ පසේ යෝග්‍යතාව ද සැලකිල්ලට ගෙන එම බලපත්‍ර නිකුත් කෙරේ. එක් අතකින් එය ආශිර්වාදයක් වන්නේ, කාර්යක්‍ෂම ජල කළමනාකරණයකට, නවීන ගොවිපොළ කළමනාකරණයකට ඉහළම එකතු කළ අගයකින් යුක්ත වීමට සහ ප්‍රබල අලෙවිකරණයකට එමගින් ගොවීන්ට බල කෙරෙන බැවිනි. මෙහිදී දීර්ඝ කාලීන සක්‍යතාවකින් යුතුව ගොවීන් ඉහත කී ක්‍රමෝපාය හතර අනුගමනය කළ යුතුය.

සහල් කෙටීම මුල් කාලයේදී කරනු ලැබූයේ සහල් වගාකරන්නන්ගේ සමුපකාර සහල් මෝල් මගිනි. එහෙත් පසු කාලයේදී එය ඔවුන් සියලු දෙනා ඒකාබද්ධ වූ දැවැන්ත සමුපකාර ආයතනයක් බවට පත්කළ පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ සන් රයිස් (Sun Rice) නාමය යටතේය. එම නව ගුණාත්මක සහල් සඳහා ලොව පරසිදු වූයේය. එහි කාර්යභාරය වූයේ, වී භාර ගැනීම, ගබඩා කිරීම, කෙටීම, ඇසුරුම් කිරීම හා සහල් දේශීය වෙළෙඳපොළේ මෙන්ම අන්තර්ජාතික වෙළෙඳපොළේ ද එම කීර්තිමත් වෙළෙඳ නාමය යටතේ අලෙවි කිරීමය. මේ වනවිට රටකට වඩා රටවල් සංඛ්‍යාවකට සහල් ආනයනය කරමින් එම සංවිධානය ලෝකය පුරා විහිදී තිබේ. මැද පෙරදිග, ජපානය සහ හොංකොං යන සහල් පරිභෝජනය කරන රටවල් ඊට අයත් වේ.


ලෝකයේ ඉහළම සහල් අස්වනු ලබන ඕස්ට්‍රේලියාව:
වියළි භූමියේ වගා කරන තිරිඟු භෝගය හා සැසඳූ විට ඕස්ට්‍රේලියාවේ වී වගා කිරීම අතිශය වියදම්කාරීය. ගොවීන්ට විශාල මුදලක් ගෙවා ජලය ලබාගත යුතු නිසාත්, වී වගාවට සුදුසු ලෙස බිම් සැකැසීම අවශ්‍යවීම නිසාත් එසේ වියදම්කාරීය. ඒ අනුව ගොවියකුට වී වගාව තහවුරු කොට පවත්වා ගැනීමේදී ජලය ප්‍රමාණවත් ලෙස තිබේ ද නැති ද යන කාරණය මත පිහිටා හෙක්ටයාරයකට ඇ. ඩොලර් 780 සිට 1,600 දක්වා වූ වියදමක් දරන්නට සිදු වේ. වියළි බිම වගා කරන තිරිඟු සඳහා වැය වන්නේ හෙක්ටයාර් එකකට ඩොලර් 200ක් පමණි. එම නිසා ඕනෑම වසරකදී වී වගා කරන්නට තීරණය කරන ගොවියකු ඉතා සැලකිල්ලෙන් එම තීරණය ගත යුතු වේ. එම නිසා වී වගා කරනුයේ ධාන්‍ය වර්ග, Oil Seeds, මුං, පරිප්පු ආදිය හා සත්ව පාලනය උදෙසා තෘණ වගා කිරීම් අතරට වගා කරන ශෂ්‍ය මාරු බෝගයක් ලෙසයි.

මිනිස් ශ්‍රමය හිඟ නිසා ඕස්ට්‍රේලියාවේ වී වගාව සම්පූර්ණයෙන්ම යන්ත්‍ර භාවිත කොට සිදුකරන්නකි. දියුණු කළ බීජ ප්‍රබේද, පොහොර, පළිබෝධ නිසි ප්‍රමාණය නිසි කලට යොදා, කාර්යක්‍ෂම ලෙස කරන ජල සම්පාදනයෙන් හා ගොවිපොළ කළමනාකරණය ඉවහල් කරගෙන ඕස්ට්‍රේලියාවේ වී ගොවියෝ, ලෝකයේ ඉහළම මට්ටමේ අස්වනු ලබමින් ලෝක වාර්තාවක් තබා ඇත්තාහ. ලෝකයේ වී ගොවියකු සාමාන්‍යයෙන් හෙක්ටයාරයකින් ලබන වී අස්වැන්න කි. ග්‍රෑ. 5,400ක් පමණ වේ. එහෙත් ඕස්ට්‍රේලියානු ගොවීහු එම ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි අස්වනු ලබමින් හෙක්ටයාරයකට කි. ග්‍රෑ. 9,000–11,000ක අස්වැන්නක් ලබති.


වී යනු දරුණු ලෙස ජලය බීගන්නා භෝගයකි
මැනිලා නුවර ඇති සහල් පර් යේෂණ ආයතනය ඇස්තමේන්තු කරන ආකාරයට සාමාන්‍යයෙන් වී කිලෝ ග්‍රෑම් 1ක් නිෂ්පාදනය කිරීම සඳහා ජලය ලීටර් 2,500 ක් පමණ භාවිත කළ යුතු වේ. කෙසේ වුව ද දැඩි ජල හිඟය නිසා ඕස්ට්‍රේලියානු ගොවියෝ පසුගිය දශකයේදී ජලය පරිහරණ කාර්යක්‍ෂමතාව සියයට 60කින් පමණ වැඩිකොට අස්වැන්න සියයට 30කින් වැඩි කරගෙන තිබේ. ඒ අනුව හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 10,000ක පමණ සාමාන්‍ය අස්වැන්නක් ලබන ඔවුහු වී කි. ග්‍රෑ. 1ක් නිෂ්පාදනය කිරීමට වැය කරන්නේ ජල ලීටර් 1,200ක් පමණි.


එක් ගොවියකු විසින් කරන ඉහළම නිෂ්පාදනය
ඕස්ට්‍රේලියාවේ විවිධ කටයුතු උදෙසා ජලය වෙන් කරන විට වී වගාවට ප්‍රමුඛතාව හිමි වන්නේ නැත. එම නිසා වගා කෙරෙන බිම් ප්‍රමාණයත් නිෂ්පාදනය වන ප්‍රමාණයත් මුළුමනින්ම පවතින ජලය ප්‍රමාණය මත තීරණය වේ. වඩා හොඳ වර්ෂවල ඕස්ට්‍රේලියාව සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.4ක් පමණ නිෂ්පාදනය කරනු ලබයි. එහෙත් එරට සාමාන්‍ය වාර්ෂික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 7,63,000ක් පමණ වේ. මෙය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික සහල් නිෂ්පාදන ප්‍රමාණය වූ මෙ. ටො. මිලියන 3.1 හා සසඳා බැලූවිට ඉන් ¼ ක් පමණ වෙයි. ශ්‍රී ලංකාවේ මෙම ප්‍රමාණය ගණන් බැලෙන්නේ බිත්තර වීවලට වෙන් කරන සියයට 10 ප්‍රමාණයත්, සහල් කෙටීමේදී අපතේ යන ප්‍රමාණයත් ඉවත් කර ගණනය කළ විටයි.

තනි කෘෂි කම්කරුවකු විසින් ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කෙරෙන සහල් ප්‍රමාණය එවිට කිලෝ ග්‍රෑම් 100,000ක් වේ. ශ්‍රී ලංකාවේ එක් කෘෂි කම්කරුවකුට වැටෙන සහල් ප්‍රමාණය (එක් කම්කරුවකු විසින් නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය) කි. ග්‍රෑ. 2,000ක් පමණි. මේ ආකාරයට වී ගොවිතැනේ යාන්ත්‍රීකරණය විසින් අඩු කම්කරුවන් සංඛ්‍යාවක් ඉවහල් කරගෙන වැඩි සහල් නිෂ්පාදන ප්‍රමාණයක් නිපදවා ගැනීමේ හැකියාව ඕස්ට්‍රේලියාවට උදාවී තිබේ. එවැනි සුඛෝපභෝගී නිෂ්පාදනයකට ශ්‍රී ලංකාවේ ගොවියාට හිමිකම් කීමේ හැකියාවක් නැත. ශ්‍රී ලංකාවේ වී ගොවියා දරිද්‍රතාවේ හෙළන සදාකාලික ප්‍රශ්නයට මූලික හේතුව වී ඇත්තේ එයයි.


විද්‍යාත්මක ක්‍රම ඉවහල් කරගැනීම
ඕස්ට්‍රේලියාව මෙම ප්‍රාතිහාර්යය පාන්නේ කෙසේ ද? ඒ වී වගාව සඳහා විද්‍යාත්මක ක්‍රම උපයෝගි කරගැනීමෙනි. ශ්‍රී ලංකාවට අහිමි, ඕස්ට්‍රේලියාවට හිමි එක් වාසියක් වන්නේ ඕස්ට්‍රේලියාව වී වගාව නව බෝග වගාවක් ලෙස ආරම්භ කරන්නේ 20 වැනි සියවස ආරම්භයේදී වීමයි. එම නිසා ඕස්ට්‍රේලියානුවන්ට පරම්පරාවෙන් පරම්පාවට ගමන් කරන පැරැණි පාරම්පරික දැනුමක් වී වගාව සම්බන්ධයෙන් නොවීය.

ශ්‍රී ලංකාවේ වී වගාව සිදු කරන්නේ වසර දහස් ගණනක පටන් වීම මෙහිදී පවතින ගැටලුවයි. පියාගෙන් පුතාට එම දැනුම කාලයක් තිස්සේ ගලා යද්දී සොයා ගැනීම්වලට අවකාශයක් නැත. එම නිසා අලුත් සොයා ගැනීම් වී වගාවට එක් වීම වැළකුණේය. පියා නියරේ කට මට්ටමට වතුර පුරවා (අඟල් 12ක් පමණ) වල් පැළෑටි වැවීම වළක්වාලූයේ නම් කිසිම ප්‍රශ්නයක් නොනඟා පුතා ද අනුගමනය කළේ එම ක්‍රියාමාර්ගයයි.


ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද විද්‍යාත්මක ක්‍රම නිර්දේශ කරයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ වෙබ් අඩවියෙන් එය ඒකාබද්ධ වල් මර්දනය නිර්දේශ කරන බව පැහැදිලිව පෙනේ. ඉන් වල් මර්දනය ගොවීන්ට නිර්දේශ කර ඇත්තේ මෙසේය. විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් වල් මර්දනය කාර්යක්‍ෂම ලෙස, ආර්ථීක වශයෙන් ලාභදායී ලෙසත් සිදු කළ හැකිය. මෙම ක්‍රියාකාරකම්වලට නිවාරණ ක්‍රම (වළක්වන ක්‍රම), සංස්කෘතික ක්‍රම, මිනිස් ශ්‍රමයෙන්, යාන්ත්‍රිකව, ජීව විද්‍යාත්මකව සහ රසායනික යෙදීම ආදිය අයත්ය. ඒකාබද්ධ වල් මර්දන ක්‍රමයේදී මෙම ක්‍රම සියල්ල මිශ්‍ර ලෙස යොදා ගැනේ. එකම ක්‍රමයක් දීර්ඝ කාලයක් තිස්සේ යොදා ගන්නා විට වල් පැළෑටි විශේෂ එම ක්‍රමයට ඔරොත්තු දෙමින් වැඩෙන්නට ගනී. එවිට වල් මර්දන පියවර අසාර්ථක වේ. එම නිසා ඒකාබද්ධ වල් මර්දන ක්‍රමයේ අරමුණ වන්නේ වල් පැළෑටිවලට අහිතකර තත්ත්වයක් නිර්මාණය කිරීමයි. එය බෝගයට ගැළැපෙන ආකාරයෙන් පවත්වාගෙන යා යුතුය.

නිවාරණ වල් මර්දන ක්‍රම නිර්දේශ කර ඇත්තේ පහත ආකාරයටයි.

“ශුද්ධ බීජ භාවිත කළ යුතුය (කවළම් නොවූ). තවාන වල් පැලෑටිවලින් තොරව පවත්වාගත යුතුය. නියර, වේලි සහ වාරි ඇළ පවිත්‍රව තබාගත යුතුය. උපකරණ සහ යන්ත්‍ර භාවිත කොට ඒවා පවිත්‍රව තබාගත යුතු වේ. ඇති කරන (ගව, කුකුළු ආදී) සතුන් කුඹුරෙන් බැහැරව තබාගත යුතුය. වල් පැළෑටි බීජවලින් පැළවෙන්නට ඉඩ නොතැබිය යුතුය.


සංස්කෘතිකමය වල් මර්දන ක්‍රම පහත ලෙස දැක්විය හැකිය.
නිසි ලෙස භූමිය සැකැසීම, බෝග තේරීම, බෝග තහවුරු කරගැනීම, ජල කළමනාකරණය, පොහොර යෙදීම පාලනය.
යාන්ත්‍රික වල් මර්දනයේදී නිර්දේශ කොට ඇත්තේ රොටරියෙන් වල් මර්දනය කිරීමයි. මානව ශ්‍රමය යොදා වල් මර්දනය යනු අතින් කරන වල් මර්දනයයි. මීට අමතරව රසායනික සහ ජීව විද්‍යාත්මක පියවර මගින් වල් මර්දනය ද නිර්දේශ කර තිබේ. රසායනික ද්‍රව්‍ය යොදා වල් මර්දනය කිරීමේදී වල් නාශක රාශියක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කර තිබේ.


විවිධ වල් නාශක යොදා ගැනීම
වල් නාශක සම්බන්ධයෙන් ඒවායේ අසුරනයේ ඇති වගුවේ වල් නාශක වර්ග පිළිබඳ තොරතුරු ගොවීන්ට දන්වා තිබේ. ඒවා තනුක කරන ආකාරයත්, ඒවා ඉසින ආකාරයත්, ඉසිය යුත්තේ බෝගය කිනම් අවධියේ පවතින විට ද යන්නත් පිළිබඳව ගොවීන් දැනුවත් කර ඇත.

ජීව විද්‍යාත්මක වල් මර්දන ක්‍රම පිළිබඳව සඳහන් කිරීමේදී යොදාගෙන ඇත්තේ වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ වී වගාවේ භාවිත ක්‍රමයයි. ඉන් එකක් වන්නේ පැළෑටිය වටා තෙතමනය හෝ පිදුරු වැස්මක් පවත්වා ගැනීම වැනි ක්‍රමයකි. ඊට අමතරව මෙහිදී වෙනත් කොළ සහ අතු වැස්මක් භාවිත කිරීම ද නිර්දේශ කෙරේ. වියළි දේශගුණයක් පවතින රටවල ඒ සඳහා ප්ලාස්ටික් හෝ පොලිතින් වැනි කෘත්‍රිම වැස්මක් ගොවීහු යොදා ගනිති.

වල් මර්දනයේදී භාවිත කරන අනෙක් ජීව විද්‍යාත්මක ක්‍රමය නම් ඇලිලෝපතීය (නැතහොත් ප්‍රවේනි ක්‍රමය) යොදා ගැනීමයි. එහිදී කෙරෙන්නේ බෝගය සමීපයේ වෙනත් පැළෑටි වර්ග වගා කිරීමයි. මේවා ලෝකය පුරා භාවිත කරන පිළිගත් වල් මර්දන ක්‍රම වන අතර ඕස්ට්‍රේලියාවේ ඒවා විශේෂයෙන් සිදු කෙරේ.

කෙසේ වුව ද වී වගාවේදී එම ක්‍රම හඳුන්වා දෙමින් පරිවර්තනයකට ලක් කිරීම සහ ගොවීන්ට ඒ පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීම මගහැරී ඇති බවක් පෙනේ. කෙසේ වුව ද ශ්‍රී ලංකාවේ ගොවියා තවමත් භාවිත කරන්නේ පියාගෙන් පුතා වෙත පැමිණි පාරම්පරික ක්‍රම පමණි. පමණට වඩා ජලය නාස්ති කරමින් වල් මර්දනය කිරීම මෙරට තවමත් සිදුවේ.


සෑම රසයකටම උචිත වී ප්‍රබේද
ඕස්ට්‍රේලියාවේ වී වගාව සාර්ථක වීමට බලපෑ තවත් සාධක වන්නේ, ඉහළ අස්වනු ලබාදෙන වී ප්‍රබේද භාවිත කිරීම, නිසි අවස්ථාවේදී (අවධියේදී) බෝගයකට උචිත ලෙස නිසි පොහොර ප්‍රමාණය භාවිත කිරීම ආදියයි. චන්ද්‍රසේන සහ ඔහුගේ සහාය රචකයන් කියා සිටින පරිදි, ඕස්ට්‍රේලියාවේ වී වර්ග බෝ කිරීමේදී මූලික වශයෙන්ම අවධානය යොමු වනුයේ, අඩු ජල ප්‍රමාණයකට ඔරොත්තු දීමේ හැකියාව ඇති බීජ ප්‍රවර්ධනය (අභිජනනය) කිරීමයි. ඒ අතර වී අස්වනු ප්‍රමාණය, බතෙහි රසවත්භාවය, සහල් ඇටේ ස්වභාවය හා සුවඳ ද විශේෂයෙන් සලකා බැලේ.”

මෙම වී ප්‍රබේද වර්ග පහත සඳහන් ප්‍රධාන අරමුණු හතර මූලික කරගෙන සැකැසෙන බව එම කතුවරු කියා සිටිති.

විවිධ තත්ත්වයනට ඔරොත්තු දෙන ස්වභාවය - අධික ශීතලට, උණුසුමට හා නියඟයට ඔරොත්තු දෙන බීජ අභිජනනය කිරීම සහ ස්වායු විභවතාව ඇති ප්‍රබේද තෝරා ගැනීම (වල් වී වර්ගවල සිදු වෙන්නා සේ ජලය උරාගත හැකි ශක්තිමත් මූල පද්ධතිය ඇති වී වර්ග තෝරා ගැනීම මීට උදාහරණ වේ.) බාහිර තත්ත්වයට ඔරොත්තු දීමේ හැකියාව බහුලව ඇති කෙටි කාලීන වී වර්ග අභිජනනය කිරීම මීට අයත්ය.

විශේෂිත වෙළෙඳපොළ තත්ත්වයනට ගැළැපීම - ඉහළ අගයකින් යුතු (හිටි හැටියේ මතුවන) විශේෂිත වෙළෙඳපොළ තත්ත්වයන්ට ගැළැපෙන ප්‍රබේද අභිජනනය කිරීම. උදා:- මධ්‍යම දිගින් යුතු බීජ සහිත මැද පෙරදිග පෙදෙස්වලින් ඉල්ලුම ලැබෙන වී වර්ග (Reiziq – රෙයිසික් වැනි), දිගු ඇට සහිත සුවඳ හමන ටොපෑස් (Topaz), සුෂී (කොෂිනිකාරී සහ ඕපුස්) සහ ග්ලූකෝස් මට්ටම අඩු දුන්ගාරා වර්ගයේ වී ඕස්ට්‍රේලියාවේ පරිභෝජනයටත්, අපනයනයටත් යොදා ගැනේ.
උතුරු නිවර්තන ඕස්ට්‍රේලියාවට ගැළැපෙන වී ප්‍රබේද දියුණු කිරීම - එහිදී ජල සැපැයුම සහ කෘෂිකාර්මික තත්ත්වයන් අනුව සහල් පදනම් කරගත් නව කර්මාන්තවලට උචිත වීම සලකා බැලේ.


ජානමය වෙනස්වීම් නතර කිරීම උදෙසා අභිජනන පවත්වා ගැනීම.
රෝග හා පළිබෝධවලට ඔරොත්තු දෙන වී වර්ග අභිජනනය කිරීම. බහුවිධ ලක්‍ෂණ ක්ෂණිකව තෝරා ගැනීමට ඉඩ දෙන අයුරින් අනුක විද්‍යා නිපුණතා භාවිත කොට අභිජනන වැඩසටහන් තහවුරු කොට පවත්වා ගැනේ.


ගුණාත්මක බවෙන් උසස් වී වගාවක් කරා
ගොවිපොළ ඵලදායිතාව, බෝග යෙදවුම්, බෝග ආරක්ෂණය සහ ගොවිපොළ ක්‍රම වර්ධනය කිරීම පිළිබඳව අඛණ්ඩව කරන පරීක්ෂණවලින් ඕස්ට්‍රේලියාව සහල් වගාවේ යාවත්කාලීන බව තබාගනී. ගොවිපොළ යෙදවුම්වල කාර්යක්ෂමතාව උපරිම අයුරින් පවත්වා ගැනීමටත්, පිරිවැය අඩු කිරීමටත්, අස්වැන්න වැඩි කිරීමටත් මෙය ඉතාමත් අවශ්‍ය වේ. ඕස්ට්‍රේලියාව එවැනි උත්කෘෂ්ඨ ගුණාත්මක ස්වභාවයකින් ගොවිපොළ තත්ත්වයන් පවත්වා ගන්නේ වැඩි අස්වැන්නක් උත්පාදනය කිරීම උදෙසා උසස් තාක්ෂණයෙන් යුක්ත උපකරණ භාවිතයෙනුත්, ඒ අතර වාරයේ සිදුවිය හැකි යම් යම් හානි අවම තත්ත්වයෙන් පවත්වා ගැනීමෙනුත්ය.

වගා කළ හැකි බිම් ක්‍ෂය වෙමින් පවතින, ජනගහනය වැඩිවන පරිසරයක අද දවසේ යම් රටකට ආරක්ෂා විය හැක්කේ ගුණාත්මක බවෙන් උසස් ගොවිපොළ ක්‍රමයක් පවත්වා ගැනීමෙනි. කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍ය වේ නම් සාර්ව ගොවිපොළ ක්‍රමයකින් සූක්ෂම ගොවිපොළ ක්‍රමයක් කරා මාරු විය හැකිය.

වී බෝගයේ සාමාන්‍ය අවශ්‍යතාවලට අනුව සාර්ව මට්ටමේදී වල් නාශක, පොහොර හා ජලය කළමනාකරණය කිරීම වර්තමානයේ සාමාන්‍ය සිරිතකි. කෙසේ වුව ද පඳුරු ආකාරයෙන් හෝ විසිරුණ ආකාරයෙන් වර්ධනය සිදු වුවත් සාර්ව මට්ටමේදී මෙය සිදු කරනුයේ පැළෑටියේ විශේෂිත අවශ්‍යතා සැලකිල්ලට ගෙනයි. මෙය කුඹුර දෙස බැලූ බැල්මට ද සිදු කළ හැකිමුත් වී පැළෑටියේ අවශ්‍යතා මිනුම් කොට එය තක්සේරු කරමින් එය කළ යුතුය. මෙම කාර්යය කිරීම සඳහා නවීන ගොවීහු සංවේදක භාවිත කොට යෝග්‍ය ජල ප්‍රමාණය මුදාහැරීමත්, නියම ආකාරයේ පොහොර නිසි ප්‍රමාණයෙන් මුදාහැරීමත් සිදු කරති.

මෙය දියුණු රටවල ගොවීන්ට පමණක් භාවිත කළ හැකි සංකීර්ණ තාක්ෂණයක් නොවේ. සංවේදක භාවිත කිරීමේ තාක්ෂණය අද වනවිට බහුලව භාවිත වන බැවින් දියුණු වෙමින් පවතින ආර්ථිකයක් ඇති රටවල ගොවීන්ට එය පහසුවෙන් ඉවහල් කරගත හැකිය. ගොවීන්, යෙදවුම් අවම ලෙස භාවිත කොට පැළෑටියේ ප්‍රශස්ථ අවශ්‍යතාවට ගැළැපෙන ලෙස එම යෙදවුම් යොදාගතහොත් එය අස්වැන්න වැඩි වීමට බලපානු ඇත. එසේම එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ආදායම ද වැඩි වේ. වෙළෙඳපොළ, දේශගුණ හා අහිතකර රාජ්‍ය ප්‍රතිපත්තිවල විපර්යාසවලින් බැට කන ගොවීන්ට ලබාදෙන සාර්ථක හා ප්‍රබලම ආරක්ෂණය එයයි.


වල් මර්දනය කිරීමේ සංවේදක දියුණු කිරීම
ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ගුණාත්මක ගොවිපොළ ක්‍රමයේ මීළඟ තාක්ෂණය සොයා හෙළිකරන්නට තරගයක යෙදී සිටිති. කෘෂිකර්මයේ වල් නාශක භාවිතය ගැන ගෝලීය වශයෙන් සැලකිල්ලට යොමු වී තිබෙන නිසා විද්‍යාඥයන්ගේ අවධානය වල් නාශකවලින් තොර ක්‍රමයක් කෙරේ යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ කෘෂිකර්ම ඉංජිනේරුවෝ, සිඩ්නි සරසවියේ එකී ඉංජිනේරුවන් සමඟ එක්වී සංවේදක භාවිතයෙන් වල් පැළෑටි සොයාගෙන ඒවා නසා දමන්නා වූ ක්‍රමයක් සොයාගෙන තිබේ. මෙහිදී වී පැළෑටියට හෝ කුඹුරේ මතුපිට පසට හානි නොවන්නට ද ඔවුන් වග බලාගෙන ඇත්තාහ.

අත් මුල්ලුවකින් වැනි උපකරණයකින් වල් පැළෑටිය පමණක් සූරාගෙන, ඒවා වී පැළෑටියට පොහොර වනු සඳහා කුඹුරේම වළලන්නට සමත් උපකරණයකට එම සංවේදකය සවි වේ. දැන් මෙම සංවේදක වාණිජ මට්ටමෙන් විකිණීමට සූදානම්ය.

බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි නිෂ්පාදන සමාගමක් මෙම වල් නසන (වීඩ් චිපරයන්) නිෂ්පාදනය කොට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු යොදා ඇත. මෙය එක්තරා කඩඉම් තාක්ෂණයක් වන අතර, මෙය භාවිත කරන්නන් සහ ගොවීන් එයින් සැලසෙන වාසිය පිළිබඳව දැනුවත් වූ විට, මේ වනවිට සෞඛ්‍යයට අහිතකර කෘෂිකාර්මික වල් නාශකවලින් හෙම්බත් වී සිටින ලෝකයා සැනසුම් සුසුම් හෙළනු ඇත.


ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් පාඩමක් උගනී ද?
ශ්‍රී ලංකාව පළිබෝධ නාශක, වල් නාශක සහ රසායනික පොහොර භාවිතය ප්‍රතික්ෂේප කරමින් කාබනික පොහොර හඳුන්වා දීමෙන් පමණක් කෘෂිකර්මය දියුණු කොට පවත්වා ගන්නට සැලසුම් කරමින් සිටී. එය ලේසි පහසු කටයුත්තක් නොවන බව ඕස්ට්‍රේලියානු වී ගොවීන් අපට පෙන්වා දී තිබේ. ඒ සඳහා දැඩි සැලකිල්ලෙන් යුතුව ඒකාබද්ධ සැලසුම්කරණයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවට ද ඕස්ට්‍රේලියානු සහල් ප්‍රාතිහාර්යයෙන් පාඩම් උගත හැකි වේ.

(***)
2021 ජුනි 07 වැනිදා Daily FT පුවත්පතේ පළ වූ
Australia’s rice miracle:
Should Sri Lanka learn
a lesson or two from it
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ