08-Page6-M-1   

 

යාපනයේ වන්නාර්පන්නෛ ගම්මානයේ නිවසක දැඩි කලබලයකි. එළියේ සිටින බොහෝ දෙනෙක් දෙවියන්ට කන්නලව් කරති. නිවසේ විලි රුදාවෙන් දඟලන මව අසල කාන්තාවෝ රැසක් වටවී සිටිති. මිදුලේ එහා මෙහා ගමන් කරමින් සිටින පොඩි අප්පුහාමි වරින් වර ගෙතුළට එබිකම් පෑවේය. ඔහු සනසන්නට මෙන් සින්නතම්බිලා, සිල්වදොරෙයිලා මෙන්ම මුත්තුලා කිහිප දෙනෙක්ම රැස්ව සිටියහ. 


ගාල්ලේ වැලිවිටියේ උපත ලද කලේගාන කෝරාලගේ පොඩි අප්පුහාමි මහතාගේ තරුණ බිරිඳ තම තෙවැනි දරුවා බිහිකිරීමට සූදානම්ව සිටියාය. විලි රුදාවෙන් පීඩිතව සිටි ඇය වටා සිටින්නේ දෙමළ කාන්තාවන් කිහිප දෙනකු පමණි. කරලැයින් ජයවර්ධන නමැති ඇය බිහිකළ  දරුවා ඔසවාගත් රාණි දොර අසලට පැමිණ -අයියා තවත් කොලු පැටියෙක්- යැයි කැඩිච්ච සිංහලෙන් කීවාය. 


ඒ කලේගාන කෝරාලගේ අබේසිරි මහතාගේ උපත සිදුවූ ආකාරයයි. 1944 මාර්තු මස 18 වැනිදා යාපනයේ දී උපත ලැබූ අබේසිරි මහතා දැන් ජීවත් වන්නේ ගාල්ලේ වදුරඹය. ඔහුගේ නිවස හඳුන්වන්නේ යාපනේ ගෙදර නමිනි. 

08-Page6-M-3
-මගේ තාත්තා 1930 ගණන්වල යාපනයට ගිහින් තියෙන්නේ එළවළු වෙළඳාමට. මගේ බාප්පාත් ඒ සමග ගිහින් තියෙනවා. යාපනේ ප්‍රධාන වෙළෙඳ ගොඩනැගිල්ල වුණේ පෙරියකඬේ. මේ පෙරියකඬේ අපි වෙළඳාම් කළා. මම වගේම මගේ දෙවැනි අයියත්, නංගිත් ඉපදිලා තියෙන්නේ යාපනයේ.”
යාපනයේ මෙවැනි සිංහල මිනිසුන් බොහෝ දෙනෙක් වූහ. ඔවුහු යාපනයේ දෙමළ වැසියන් සමග මහත් සමගි සමාදානයෙන් ජීවත් වූහ. 


-අපි ඉගෙන ගන්තේ සිංහල මහා විද්‍යාලයේ. ඒ පාසලේ ළමයි 1500ක් විතර හිටියා. වැඩිපුර සිටියේ සිංහල ළමයි. ඒ වගේම දෙමළ ළමයිත් හිටියා. යාපනයේ ව්‍යාපාරිකයන් වැඩි දෙනෙක් සිංහල, නීතිඥයන්, රජයේ සේවකයන් විතරක් නෙවෙයි පෙදරේරුවන්, වඩුවන් පවා සිංහල අය. ඒ නිසා සැලකිය යුතු සිංහල පිරිසක් යාපනය නගරයේ ජීවත්වුණා.” 


ඔහු පවසන්නේ තමන් යාපනයේ ජීවත් වූ කාලයේ සිංහල, දෙමළ බේදයක් කිසිදිනක නොදැනුණු බවයි. ඒ කාලේ නිවස අසල දෙමළ ළමුන් සමග කෙළි සෙල්ලමෙන් කාලය ගත කළ තමන්ට සිංහල භාෂාවට වඩා හොඳින් දෙමළ බස කතා කිරීමේ හැකියාව තිබුණු බවද අබේසිරි මහතා කීවේය. තම පියා නිවසේදී වැඩිපුර කතා කරන්නේ දෙමළ බසින් බව ද ඔහු කියයි. 


පන්සලට සේම කෝවිලට ද ආගමික කටයුතු සඳහා ඔවුහු යති. දෙමළ පවුල් ද පන්සල් යති. එසේ වුව ද මේ සියල්ල ජාතිවාදී පිරිස්වල ක්‍රියා හේතුවෙන් වෙනස් වී ගියේය. එතෙක් රථවාහනවලට යොදා තිබුණු ඉංග්‍රීසි අකුරු වෙනුවට ශ්‍රී අකුර යෙදීමත් සමග යාපනයේ කලබල ඇතිවන්නට විය. යාපනයේ ඇතැම් පිරිස් ශ්‍රී අකුරේ තාර ගා සිංහල ශ්‍රී අකුර වෙනුවට දෙමළ ශ්‍රී අකුර සටහන් කළහ. 


මෙය පසුව හර්තාලයක් දක්වා පැතිර ගියේය.  අබේසිරි මහතා එය සිහිපත් කරන්නේ මහත් වේදනාවෙනි. 


-දවසක් අපි පාසල් ඇරිලා ගෙදර ආපු ගමන් දෙමළ පවුල් කිහිපයක අය ඇවිත් අපිව එක්කගෙන එයාලගේ ගෙදරට ගියා. හවස අපි දැක්කා අපේ ඉස්කෝලේ ගිනිබත් කරලා තියෙනවා. එදා තමයි මම මුලින්ම හමුදා නිලධාරියෙක් දැක්කේ. අන්තිමේදී අතට අහුවුන දෙයක් අරගෙන අපි පවුල් පිටින් ගාලු ආවා.”
ගාල්ලේ මහමෝදර පදිංචි මානෙල් විජේවික්‍රම මහත්මියද යාපනයේ කාලයක් ජීවත් වූ මහත්මියකි. ඇය යාපනයේ ගත කළ කාලය ගැන මෙසේ කියන්නීය. 
-මම විවාහ වුණේ 1969 දී. මහත්තයා වැඩ කළේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ. එයා යාපනේ පොඩිපොඩි ව්‍යාපාර කටයුතුත් කළා. නම කේ.කේ. පුණ්‍යසිරි. ඉතින් මටත් යාපනයේ පදිංචියට යන්න වුණා.”


ඇය පවසන්නේ යාපනයේ ගත කළ කාලය ඉතා සුන්දර මතකවලින් සපිරි බවයි. වැඩිපුර දෙමළ ජනතාව සිටියද සිංහල, දෙමළ කියා කිසිදු වෙනසක් නොතිබූ බව ඇය පවසන්නීය. යාපනයේ බසාර් වීදියේ තම සැමියා ව්‍යාපාර කරන අතරතුර ඇය කිලිනොච්චි රෝහලේ උපස්ථායිකාවක ලෙස සේවය ආරම්භ කළාය. 


ඇය සිය දරුවන්ට උපත ලබා දුන්නේද යාපනය රෝහලේදීය. මානෙල් පවසන්නේ එකල යාපනයේ දෙමළ හිතවතුන්ගේ මංගල උත්සව සඳහා තමන් පුදුම කැමැත්තකින් සහභාගී වූ බවයි. 


-එයාලා මොන උත්සවය තිබුණත් අපට ආරාධනා කරනවා. තෑගි බෝග අරගෙන තමයි ඒ අය උත්සවවලට යන්නේ. පැදුරුවල වාඩිවෙලා කරන සංගීතය හරිම රසවත්. පැදුරේ වාඩිවෙලාම කෑම කනවා. ඇත්තටම ඒ සංස්කෘතිය අපේම වෙලා තිබුණේ.”


මානෙල් විජේවික්‍රම මහත්මිය යාපනයේ සිටි තම මිතුරියන් ගැන තවමත් සිහිපත් කරන්නේ පුදුමාකාර සෙනෙහසකිනි. පද්මා අක්කා, බබා අක්කා, යෝගේෂ්වරී ඒ අතර වෙති. ඇය පවසන්නේ එකල සිංහල, දෙමළ ජාතීන් දෙක අතර කිසිදු බේදයක් නොතිබූ බවයි. 1958දී සිදුවූ අමිහිරි අත්දැකීම් සියල්ල ඒ වන විට අමතකව ගොස් යාපනයේ සිංහල, දෙමළ සමගිය නැවත දලුලා වැඩෙමින් තිබූ බවද ඇය පවසන්නීය. 


-මගේ දරුවන්ගේ වැඩවලදීත් දෙමළ අය ගොඩක් උදව් කළා. දරුවන් හතරදෙනා එක්ක මට මගේ රස්සාව කරගන්න පුළුවන් වුණේ මේ අයගේ සහයෝගය නිසා. අදටත් මම අපේ ගෙවල් අසල සිටි දෙමළ අයට ණයගැතියි. මේ දරුවන්ගේ කැත කුණු පවා එයාලා අත ගෑවා.”


ඇගේ පුත් කේ. කේ. ප්‍රියන්ත මහතාටද යාපනය ගැන අත්දැකීම් තිබේ. 


-ඇත්තටම යාපනය මට මගේ ජීවිතයේ දී කවදාවත් අමතක කරන්න බැහැ. හරිම සුන්දර කාලයක් අපි එහේ ගත කළා. මට වැඩිපුරම හිටියේ දෙමළ යාළුවෝ. අපි හැමදාම සෙල්ලම් කරන්නේ දුව පැන ඇවිදින්නේ එකට. සමහරු දෙමළ පාසලට යනවා. මම සිංහල මහා විද්‍යාලයට ගියත් මට දෙමළ ලියන්න බැරුව හිටියා. මට දෙමළ තරම් හොඳින් සිංහල කතාකරන්න බැරුවයි හිටියේ. ඒ කාලේ මට මතකයි තාත්තා ලංකාදීප පත්තරයත්, දෙමළ පත්තරයත් දෙකම ගෙනාවා.”


මානෙල් මහත්මිය පවසන්නේ තමන් එකල දෙමළ කාන්තාවන් සමග සීට්ටු දැමූ බවයි. එමෙන්ම අවශ්‍ය සෑම අවස්ථාවකදීම දෙමළ පවුල්වලින් උදව් ඉල්ලූ බවත්, ඔවුන් නොපැකිළව සෑම විටකම උදව් කළ බවත් ඇය සිහිපත් කළාය. 

 

08-Page6-M-4

 


1977 දී දෙමළ, සිංහල සමගියට බාධා කරන සිදුවීම් ආරම්භවීමත් සමග ඇය තම දරුවන්ද සමග ගාලු_ පැමිණි බව පවසන්නීය. ඒ තම පස්වැනි දරු ප්‍රසූතියට සූදානම්ව සිටි බැවිනි. 


යාපනයේ ක්‍රිස්තියානි පල්ලියක දෙමළ තරුණයන් කරාටේ පුහුණු වූ බවත්, ඒ වැඩපිළිවෙළ ගැන හිතවත් දෙමළ අයද කැමැත්තක් නොදැක්වූ බවත් ප්‍රියන්තගේ මතකයේ තිබේ. යාපනයේ උගත් දෙමළ බහුතරයද මීට දැඩි විරෝධයක් දැක්වූහ. 1983 ජූලි මාසයේදී සියල්ල වෙනස් විය. 


රෝහලේ සේවය කරමින් සිටි මානෙල්ට හදිසියේම පැමිණි අයකු මෙසේ කීවේය. 


-අන්න ඔයාලගේ කට්ටිය මැරුවා. දැන් මළ කඳන් ගේනවා. ඉස්සරහටම වෙලා ඉඳලා හොඳට බලාගන්න.” 


-වෙනදා සිය සහෝදරයන් සේ සිටි රෝහල් සේවක සේවිකාවන්ගේ ආදරය කරුණාව පලා ගොසිනි. ඔවුන් සිංහල ජාතියට වෛර කරන්නට පටන්ගෙන තිබේ. මානෙල් තැතිගෙන අදහාගත නොහැකිව බලා සිටියා. 


එදින රාත්‍රී හමුදාවේ වාහන කිහිපයක් විසින් මළ සිරුරු 13ක් රෝහලට ගෙන එන ලදී. සෑම දෙසින්ම වෙඩි ශබ්ද ඇසෙන්නට විය. මානෙල් සිය සැමියා දුටුවේ දින තුනකට පසුවය. සිංහල ව්‍යාපාරික ස්ථාන ගිනිබත් වෙමින් තිබිණි. නිවාස විනාශ කර දමන බවටත් කට කතා පැතිරෙන්නට විය. මානෙල්ගේ පවුලේ සියලු_ දෙනා හමුදාවේ සහයෝගයෙන් යළි ගාලු_ බලා පැමිණියහ. 


-අපි යාපනය දාලා ආවේ හිතකින් නෙවෙයි. එදා අපි හිටපු සමගිය මතක්වෙන කොට පපුව පිච්චෙනවා. කෝවිල් ගිය හැටි, නාගදීපයට දෙමළ අයත් එක්ක ගිහින් වැඳුම් පිදුම් කරපු හැටි. එකට අවුරුදු සමරපු හැටි හරිම සුන්දර අත්දැකීමක්. මේ සුළු පිරිසකගේ ජාතිවාදී අදහස් අපිව දෙපැත්තට කළා.”


විශ්‍රාමික රාජ්‍ය සේවකයකු වන ප්‍රේමසිරි බෝපේ හෙට්ටිගේ මහතා යාපනයේ තම සේවා කාලය සිහිපත් කරන්නේ මහත් සතුටිනි. ඔහු පවසන්නේ 1978 දී දේශපාලන පළිගැනීමක් හැටියට තමන්ට යාපනය කච්චේරියට ස්ථාන මාරුවක් ලැබුණු බවයි. 


-මම යාපනයේ කිසිම කෙනෙක් අඳුනනන්නේ නැහැ. නමුත් වැලිගම දුම්රිය හරස්පාර අසල සුරුට්ටු කඩයක් තිබුණා. මේ මුදලාලි යාපනයේ කෙනෙක්. මට යාපනයේ යන්න වෙනවා කියපු ගමන් තමන්ගේ දරුවකුට වගේ කතා කරලා කිව්වා කිසිදේකට බයවෙන්න එපා, මම ඔක්කොම බලාගන්නම් කියලා. ඒ වෙලාවෙම එයාගේ බෑනාට දෙන්න කියලා ලියමනක් දුන්නා. ඒ ලියුම තමයි මට පිහිට වුණේ.”


හෙට්ටිගේ මහතාට සුරුට්ටු මුදලාලි දුන් කුඩා කොළ කැබැල්ලේ සඳහන් දේ කියවාගැනීමට ද නොහැකිය. එය සුරක්ෂිතව තබාගත් ඔහු දුම්රියෙන් යාපනයට ගොස් සුරුට්ටු මුදලාලිගේ ගෙදරට ගියේ කුලී රියකිනි. හෙට්ටිගේ ගිය නිවස දුටු කුලී රථ රියදුරා ගමනට අදාළ ගාස්තුව පවා ප්‍රතික්ෂේප කළ බව ඔහු කියයි. 
-මම ටික කාලයක් අම්පාරේ වැඩ කළා. ඒ නිසා දෙමළ ටිකටික පුළුවන්. ඒත් මම ඉස්සරහට ආපු සුරුට්ටු මුදලාලිගේ බෑනා මාව පුදුමයට පත්කරමින් හොඳ සිංහලෙන් කතා කළා. එයා මට ළඟම නෑයෙකුට වගේ සැලකුවා.”


-යාපනයේ සිංහල, දෙමළ, මුස්ලිම් කියලා කිසිම බේදයක් තිබුණේ නැහැ. අපි දැනගෙන හිටියා යාපනයේ බේකරි කර්මාන්තයේ සහ රන් භාණ්ඩ කර්මාන්තයේ නිරත වූ අය සිංහල. ඒ වගේම සිංහල ධීවරයන්ද විශාල ප්‍රමාණයක් හිටියා. යාපනේ අයත් දකුණට ඇවිත් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගියා. මේ අය අතර පුදුමාකාර සමගියක් තිබුණා.”


හෙට්ටිගේ මහතා පවසන්නේ ජනතාව සමගියෙන් ජීවත් වුව ද පටු දේශපාලන අරමුණු තිබූ බොහෝ දෙනකුට මේ සමගිය පවත්වාගෙන යාමට වුවමනාවක් නොතිබූ බවයි. 


ඒ.ඩී.ඩබ්ලිව්. සිරිමාන්න මහතාද දැන් විශ්‍රාම ලබා සිටින රජයේ සේවකයෙකි. ඔහු ද කලක් යාපනය මහ නගර සභාවේ ගබඩා භාරකරු ලෙස සේවය කළේය. ඔහුගේ විශේෂත්වය වන්නේ හෙතෙම යාපනය නගර සභාවේ සිටි අවසන් සිංහල සේවකයා වීමයි. 


ඔහු තම අත්දැකීම් සිහිපත් කරන්නේ මේ ආකාරයෙනි.


-දිනක් මම යාපනය මහ නගර සභාවේ ගබඩාවට වෙලා දිවා ආහාරය ගනිමින් සිටියා. මා සිටි තැනම දෙමළ ජාතික නිලධාරීන් කණ්ඩායමක් කෑම ගන්නවා. අපි එකිනෙකාගේ ආහාර බෙදා හදා ගනිමින් බොහොම රසවත්ව කෑම කනවා. මේ අතර එතැන සිටි නිලධාරියකුගෙන් මම ඇහුවා යාපනයේ ඇතැම් තරුණ පිරිස් ඉල්ලා සිටින වෙනමම ඊළාම් රාජ්‍යය ගැන මොකද කියන්නේ කියලා. එවිට එතන හිටපු හැමෝම මගේ දිහා උපහාසයෙන් යුතුව බලා සිනාසුණා. හඬනගා සිනාසෙමින් ඔවුන් කිවේ මේ දෙමළ ඊළාම් රාජ්‍යයක් කියන සංකල්පයම මිථ්‍යාවක් බවයි. එතැන හිටපු මනෝහරන් කියන නිලධාරියා කිව්වා මේක පිස්සුවක් කියලා.”


කපිලවස්තුපුරයේ සිට ශ්‍රී ලංකාවට වැඩමකරවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් වරක් යාපනයේ නාග විහාරයේදී පැවැත්වූ බව සිරිමාන්න මහතා සිහිපත් කළේය. එකල යාපනය දිසාපති වූයේ ලයනල් ප්‍රනාන්දු මහතාය. මේ ධාතු වැඳ පුදා ගැනීමට දෙමළ ජාතිකයන් විශාල වශයෙන් පෝලිම් සෑදී පැමිණි බව සිරිමාන්න මහතාගේ මතකයේ තිබේ. අවසානයේ ධාතු ප්‍රදර්ශනය සැලසුම් කළාටත් වඩා වැඩි දින ගණනක් පැවැත්වීමටද සිදුවිය. 


යාපනයේ සේවය කළ සිරිමාන්න මහතා යුද්ධයට පෙර අවසන් වතාවට යාපනයට යන්නේ යාපනයේ පැවති ප්‍රකට නගර සභා ඡන්දය ජයගැනීමටය.

සිරිමාන්න මහතා පවසන්නේ එය එවකට පාලක පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය විසින් කරන ලද ඡන්ද මංකොල්ලයක් බවයි. එමෙන්ම එය තම ජීවිතයේ අත්දුටු අමිහිරිතම සිදුවීමක් බවත්, යාපනයේ සිංහල, දෙමළ සමගිය යළි කිසිදා එක්කළ නොහැකි අයුරින් ඉරිතලා බිඳී ගිය අවස්ථාව එය බවත් ඔහු කියයි. 


ඡන්දය කොල්ලකෑමේ අරමුණෙන් එක්සත් ජාතික පක්ෂයේ එවකට ඇමතිවරු කිහිප දෙනකුගේ නායකත්වයෙන් යාපනයට කෝච්චියක් පුරා පිරිසක් පැමිණ සිටියහ. ඡන්දයට පෙරදින රාත්‍රියේ ඔවුන්ට ලැබුණු උපදෙස වූයේ අපි ආවේ උතුරේ ඡන්දය දිනන්න. හෙට රෑ වෙනවිට අපි ඡන්දය දිනලා ඉවරයි යන්නයි. 
ඉන්පසු යාපනයේ නගර සභා ඡන්ද කොල්ලය සිදුවිය. එදින සිරිමාන්න තමන් ජීවිතයේ දුටු අප්‍රසන්නම වූ සිදුවීම දුටුවේය. ඒ යාපනය පුස්තකාලය ගිනිදැල් ඇවිළෙමින් දැවී අළු වී යන ආකාරයයි. යාපනයේ දෙමළ ජාතිකයන් අහසට දෑත් දිගුකරමින් පපුවට වේගයෙන් ගසා ගනිමින් මහ හඬින් හඬා වැටුණු ආකාරය සිරිමාන්න අදටද සිහිපත් කරන්නේ හදපිරි වේදනාවෙනි. 


යාපනයේ සෑම වීදියකම දක්නට ලැබුණු විද්වතුන්ගේ, සාහිත්‍යධරයන්ගේ මෙන්ම වීරවරයන්ගේ පිළිම සියල්ල කඩා බිඳ දමා තිබිණි. ඒ සෑම පිළිමයක් අසළම රැස්වූ සියගණනක් ජනතාව සෝ සුසුම් හෙළුවේ මේවා කඩා බිඳ දැමූ පාලකයන්ට දෙස් දෙවොල් තබමිනි. 


ඒ පෑරුණු සිත් ජයගන්නට එදා මෙදාතුර කිසිදු රජයක් සමත්ව නැතැයි සිරිමාන්න පවසයි. 


එතැනින් යාපනයේත්, දකුණේත් තිබූ සිංහල, දෙමළ සමගිය අවසන් විය. රට තිස් අවුරුදු යුද්ධයකට ඇදී ගියේය. දැන් යුද්ධය අවසන් වී තිබේ. නමුත් පෑරුණු සිත් යළි ප්‍රකෘති කිරීමේ දැවැන්ත අභියෝගය අප සැම දෙනා හමුවේ තිබේ.

m