අධික විදුලි බිල, ජීවන බර හා විරැකියාව තුළ රට ගිනියම් වී තිබේ. ඊට අදාළව මෙන්ම රටේ ආර්ථිකයේ කල දවස,  අධික ණයබර හා එජාපය සතු විසඳුම් ගැන එජාප ප‍්‍රබලයකු වන  රවි කරුණානායකගේ මතවාදයි මේ. 

 

* ප‍්‍රශ්නය: ඉතිහාසයේ නොවූ තරම් ඉහළ විදුලි බිලක් මේ ආණ්ඩුව ජනතාව පිට පැටවු විට මුළුරටම ඊට විරුද්ධ වුණා. බිල අඩුකරන බව ජනපති කීවේ අනතුරුවයි. ඒත් විදුලිබල මණ්ඩලය කීවේ එය ඉටුකළ නොහැකි බවයි. උපයෝගිතා කොමිසම කීවේ මිල අඩු කරන බවයි. ඒත් දැන් සැබෑ තත්ත්වය තාමවත් පැහැදිලි නෑ. එජාප ප‍්‍රමුඛ වෘත්තීය සමිති 600ක් හෙට වර්ජන කරනවා. මේ පසුබිම ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද?

 
පිළිතුර: දැන් ක‍්‍රියාත්මකවෙන්නේ විදුලි මණ්ඩලය කියන බිලද උපයෝගීතා කොමිසම කියන බිලද ජනපති කියන එකද වෙනත් එකක්ද කියල කාටවත් පැහැදිලි නෑ. ජනතාව මෝඩයා කරලා ගසාකන්නයි ආණ්ඩුව හදන්නේ. 1995 වෙනතෙක් විදුලි මණ්ඩලය ලාබ ලැබූ තැනක්. 94 සිට මේ දක්වා වසර 19ක් මේ රට පාලනය කරන්නේ මේ ආණ්ඩුවයි. මොවුන්ගේ වැඩ බැරිකම, හොරකම්, නාස්තිය, සෝබන වියදම්වල පාඩුව තමයි හතර පැත්තෙන්ම අද අසරණ ජනතාව පිට පටවන්න හදන්නේ. 
විදුලි මණ්ඩලයේ ලොකු පාඩුව ලෙස ආණ්ඩුව පෙන්නන්න හදන්නේ තම අකාර්යක්ෂමතාවයි. ආණ්ඩුවේ නොහැකියාවට ජනතාව වන්දි ගෙවන්නේ මොකටද? මූල්‍ය අරමුදල ගිය පෙරබවාරිවල ආණ්ඩුවට ණය දීමට බැරි බව කීවා. අධික පාඩු ලබන විදුලිය. තෙල්, දුම්රිය, ශ්‍රී ලංකන් ඇතුළු රාජ්‍ය ආයතනවල පාඩුව මකාගන්න කියලා ඔවුන් කොන්දේසි දැම්මා. පාඩු නැතිකරන ලේසිම ක‍්‍රමය මිල වැඩිකර ජනතාව පිට පැටවීමයි. ජනතා අමාරුකම් ගැන නොතකන මේ ආණ්ඩුව දැන් කරන්න හදන්නේ ඒ ලේසිම ක‍්‍රමයයි. අනික ලෝක තෙල් මිල අඩුවෙලා තියෙද්දී විදුලිබිල වැඩිකිරීම ඉතා අසාධාරණයි. 
 

ජල විදුලියට අමතරව ඉන්ධනවලින් අද විදුලිය නිපදවන්නේ පහළ මිල යටතේයි. ඒ නිසා ජනතාවට විදුලිබිල පැටවීම සම්පූර්ණයෙන් ඉවත් කරගන්නාතුරු පක්ෂ පාට භේද නැතුව අපි මේ සටන ඉදිරියට ගෙනියනවා. ලෝකයේ තෙල් මිල නිදසුනක් ලෙස පෙට්රල් ලීටරය රු. 85 යි. මේ රටේ ජනතාවට විකුණන්නේ 162ට දෙගුණයක් ලාබ තියාගෙනයි. ඞීසලූත් එහෙමයි. දැන් විදුලි බිලත් වැඩිකරලා තෙල් වලින් වගේම විදුලියෙන් දෙපැත්තෙන්ම ලාභ ලබන්නයි මේ ආණ්ඩුව හදන්නේ. 

ජනාධිපතිගෙ මූලිකත්වයෙන් කැබිනට් එක තීන්දු කරලා ලොව ඉහළම විදුලි බිල වැඩි කරලා දැන් ජනාධිපතිම මිල අඩු කරනවා කියලා විහිළු කරනවා. අනික වීරවංශ ඇමැති තවත් ලොකු විහිළුවක් කරනවා. විදුලිබිල වැඩි කළේ ජයසුන්දරලූ. මුදල් ඇමැතිගෙ එනම් ජනාධිපතිගෙ අනුමැතිය නැතිව ජයසුන්දරට විදුලි බිල වැඩිකළ හැකිනම් මේ රටේ මුදල් ඇමැති ලෙස පිළිගන්න වෙන්නේ ජයසුන්දරයි. ‘‘විදුලිබිල අඩු කරව්’’ කියල එජාපය පෙළපාලි ගිය දවසේ ‘‘විදුලි බිල වැඩි කරව්” කියල ආණ්ඩුව වෙනුවෙන් කඬේ ගිය මිනිස්සු තමන් ගැන ලැජ්ජා වෙන්න  ඕනෑ. මේ ආණ්ඩුවේ ක‍්‍රමය නම් ඇමැති බිල්ලට දීලා ජනපතිට ලකුණු ලබාදීමයි. එනම් විදුලි ඇමැති බිලිදීලා ලකුණු ටික ජනපතිට දීම ඒ ක‍්‍රමයයි. ජනතාව මේක දන්නවා. 

 


* ප‍්‍රශ්නය: විදුලි මණ්ඩලය පාඩු නිසා විදුලි බිල වැඩි කිරීම හැර විකල්ප තියෙනවද?

පිළිතුර: මේ ආණ්ඩුවේ පාලකයන් හා ඇමැතිවරුයි නිලධාරීනුයි හොරකම්කරලා ඒ බර අහක ඉන්න ජනතාවට පැටවීම සාධාරණ වෙන්නෙ කොහොමද? අපි අහන්නෙ ඒකයි. 

 


* ප‍්‍රශ්නය: මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්  මෙන්ම බොහෝ ඇමැතිවරු ජනමාධ්‍යවලට කියන්නේ මේ රටේ ආර්ථිකය ඉතා ශක්තිමත් බවයි. ඒත් අද මේ රටේ බැංකුවලින් ණය අරන් ආණ්ඩුව පඩි ගෙවන බවට තොරතුරු එළිදකිනවා. රටේ ආර්ථිකය ගැන ඔබේ විග‍්‍රහය කෙබඳුද?
 

පිළිතුර: ආශ්චර්ය පහළවන  රටේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නෙත් බැංකු හූරාගෙනයි. ජනතාව මෝඩයාට අන්දන්න හදන මහ බැංකු අධිපති කියනවා ඒක පුද්ගල ආදායම අද ඩොලර් 3000යිලූ. ඒ තරම් ආදායම් ඇති ජනතාව ඩොලර් 10x15 ක විදුලි බිල වැඩිවීම දරා ගන්න බැරි ඇයි කියලයි මම අහන්නේ. ආණ්ඩුවේ බොරු ප‍්‍රචාරයයි ජනතා අමාරුකම් අතරයි ලොකු පරතරයක් තියෙනවා. විදුලිය බිල රු. 1000ක් වැඩි කරලා රු. 20ක බොරු සහනයක් ලබාදීම ජනතාව පිළිගත යුතුද? 

1948 සිට 2005  දක්වා හිටපු සියලූ  ආණ්ඩු ලබාගත් ණය මෙන් සිවු ගුණයක් මේ ආණ්ඩුව  2005  සිට මේ දක්වා අරන් තියෙනවා. ඒ නිසා ණය හා වාරික ගෙවන්න රටේ ආදායමෙන් සියයට එකසිය එකක් වැයවෙනවා. එනම් රටේ ආදායම දැන් ණය ගෙවන්නත් මදි. ආශ්චර්ය කියන්නේ ඒකටයි. එජාප කාලේ 80,000 ක් වූ ඒක පුද්ගල ණය බර අද තුන්ලක්ෂ හතලිස්නවදාහක් වෙලා. ඒකත් ආශ්චර්යයක්. 

 


* ප‍්‍රශ්නය: ඒත් මේ ආණ්ඩුව ලබාගත් ණයවලින් වරාය, ගුවන් තොටුපොල, විදුලි බලාගාර, අධිවේගී මාර්ග ආදී පවතින දේවල් කරලා නැද්ද? 

පිළිතුර: හම්බන්තොට වරායට රු. කෝටි 7800ක් ණය අරන් හැදුවේ. මාස 28ට නැව් 15 ක් වත් ආවේ නෑ. හම්බන්තොට වරායට ගත් ණයවලට වසරකට රු. කෝටි 650ක් ගෙවන්න  ඕනෑ. ඒක ගෙවන්නෙ කොළඹ වරායයි. අන්තිමට කොළඹ වරායත් බංකොළොත් වේවි. ඊළඟට මත්තල  ගුවන් තොටට කෝටි 3800ක ණය අරන්  ඒක හැදුවා. අද එක ප්ලේන් එකක් එන්නෙ නෑ. 


ගාල්ල අධිවේගයට සියලූ මූලික කටයුතු කරල කෝටි 4800ක් නිම කරන්න එදා එජාප ආණ්ඩුව සැලසුම් කළත් මේ ආණ්ඩුවට ඒක නිමකරන්න කෝටි 9800ට වැඩි වුණා. අද මේ මාර්ගය වසරක නඩත්තුවට කෝටි 600ක් යනවා. ඒත් ආදායම කෝටි 100යි. කටුනායක අධිවේගයට කෝටි 650යි වැයවීමට තිබුණේ. ඒත් කෝටි 4500ක් දැන් ඒකට යට කරනවා. නොරොච්චෝලේට කෝටි 3950ක ණයක් අරන් වැය කළා. 20 වරක් ඒක කැඩිලා. යුරෝපයේ හදන ගණන්වලට ඒ බලාගාරය ලංකාවේ හදල තියෙන්නේ. ඒක හැදුවාම විදුලිබිල බිංදුවට බහිනවා කිව්වා. අන්තිමට මොකද වුණේ. මේ සියලූ ණය බර ජනතාවට පැටවුණා විතරයි. ඒත් ආණ්ඩුවේ කාගේ කාගේ සාක්කු පිරුණ ද කියලයි අපි අහන්න්. 


කොට්ටාවේ ඉඳන් හදන කොළඹ පිටත වටරවුම් අධිවේගයේ දුර කිලෝමීටර් 30යි. ඒකට කෝටි 13,300ක් වැය කරනවලූ. ගාල්ලට කි.මී. 109ක් හදන්න කෝටි 9800යි. මේ කි.මී. 30 ට කෝටි 13,300ක් යාම විශ්වාස කළ හැකිද? ජනතා මුදල් පුදුම ගසාකෑමක් මේ කරන්නේ. පාරක් කාපට් කරන්න කි.මී. එකකට රු. දස ලක්ෂ 30ක් විතර යනවා. ඒත් ආණ්ඩුවේ හිතවත් කොන්ත‍්‍රාත් අයට කි.මී. එකකට රු. දස ලක්ෂ 140 දක්වා ගෙවනවා. මේ ආණ්ඩුව ජනතා මුදල් ගසා කන්නෙ ඒ විදියටයි. තව දුරටත් මේ ගසාකෑම්වලට ඉඩ දෙනවාද?


ජනතාවට එදා වේල කන්න නෑ. ආණ්ඩුවේ අය පරම්පරා හතකට හම්බ කරනවා. පොහොර සහනාධාරයට වසරකට රු. කෝටි 6500ක් වැය කරනවා කිව්වාට ඒක 3800ට බැහැපු බව පාර්ලිමේන්තුවේදී එළිවුණා. දැන් ඊටත් අඩුයි. ඒත් මේකෙන් ලොකු මුදලක් කාගෙ හරි සාක්කුවට යනවා. ගොවියා දහදුක් විඳිද්දී පොහොරවල ආසනික් නිසා වකුගඩු රෝග පැතිරෙද්දී රජරට විසාලා මහනුවරක් වෙද්දී ආණ්ඩුව කොමිස් කුට්ටි අරන් රට වනසනවා. ධීවරයන්ට ඉන්ධන සහන, ගොවි විශ‍්‍රාම වැටුප, ගැබිණි මවුවරුන්ට සහන මල්ල, දරුවන්ට කිරි හා ආහාර ආදී දෙනවා කී කිසි දෙයක් දෙන්නෙ නෑ. 
අද පාසල් හා උසස් අධ්‍යාපනයට ආණ්ඩුව වියදම් කරන්නේ නෑ. සල්ලිකාරයන්ට අධ්‍යාපනය වෙන් කරන්න හදනවා. එජාපයේ අපි නිදහස් අධ්‍යාපනය රකිමිනුයි පෞද්ගලික අධ්‍යාපනය දියුණු කරන්නේ. අද රෝහල් වලින් බේත් තුණ්ඩුව මිසක් බෙහෙත් දෙන්නෙ නෑ. වතුර බිල ලබන මාසෙ වැඩි කරනවා. 

* ප‍්‍රශ්නය: ඒත් විදුලි බිලට එරෙහිව එය අඩු කරන ලෙස ඉල්ලා ජනතාව පක්ෂ පාට භේදයෙන් තොරව වීදි බහිද්දී රටට එරෙහි කුමන්ත‍්‍රණ පරදවමුයි  කියමින් විදුලිබිල වැඩි කිරීම සාධාරණීය කරමින් තවත් පිරිසක් කොළඹ පෙළපාලි ගියා නේද?

පිළිතුර: ආණ්ඩුවට දැන් සටන් පාඨ නෑ. එල්ලෙන්න වැලේ වැල් නෑ. විදුලිබිල  වැඩි කරපු එක හොඳයි කියන අයට මොලේ අමාරුවක් තියෙන බව ඇමැතිවරුම කියද්දී විදුලි බිල වැඩි කිරීමට පක්ෂව කොළඹදී  පෙළපාලි ගිය අය තමන් ගැන ලජ්ජා වෙන්න  ඕන. ආණ්ඩුවට සටන් පාඨ නැති නිසා කොටින්ට එරෙහි පරණ සටන් පාඨ මකුළු දැල් කඩලා අරන් ඒ මිනිස්සුන්ට දී තිබුණා. ජනතාවට සහන දෙන්න බැරිනම් ආණ්ඩුවක් මොකටද? දැයට කිරුළට සතියකට රු. කෝටි 3500ක් වැයකරපු  මේ ආණ්ඩුව විදුලිබිල ජනතාවට පටවලා රට කළඹලා උපයා ගන්න දඟලන්නේ රු. කෝටි 2500යි. ආණ්ඩුවේ පටු ක‍්‍රියාකාරි බව එතනින්ම පේනවා. 
ජනතාවට බර පටවමින් ආණ්ඩුවේ අය ජනතා මුදල් ගසා කෑමට අමතරව ඇමතිවරයකුට මසකට රු. ලක්ෂ 02 ක විදුලි බිල ගෙවන්නේ ජනතාවයි. ගෙවල් කුලියට ලක්ෂයක්. කාර් 10x15ක්. අතට පයට සේවකයො, ආරක්ෂක නිලධාරීන්ට ආදී මේ ඔක්කොම ගෙවන්නෙ ජනතාවයි. ඒත් ජනතාවට හුළං. 

 


* ප‍්‍රශ්නය: ජනතාවට අමාරුකම් තිබුණත් ජාත්‍යන්තර අපවාද ආණ්ඩුවට එල්ලවුවත් මේ වසර අවසානයේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ලංකාවේ පැවැත්වීම විශාල ජයක් නේද? 

පිළිතුර: එජාපය ඔය සමුළුවට විරුද්ධ නැහැ. රටවල් 54ක රාජ්‍ය නායකයො හා රැුජිණ ගෙන්වාගැනීම දැන් මේ ආණ්ඩුවේ වගකීමයි. රැුජින එන්නෙ නැතිලූ. කැනඩා අගමැති එන්නෙ නැතිලූ. තව කවුද එන්නේ නැත්තේ කියලා  තවම දන්නෙ නෑ.
76දී සිරිමා මැතිනි නොබැඳි සමුළුව පවත්වලා වසරෙන් හෝදගෙන පැරදුණේ ජනතාව දුක් විඳිද්දී නොබැඳි සමුළුව තියපු නිසයි. මේ ආණ්ඩුවට වෙන්නෙත් ඒකම තමයි. ජනතාවට යන්න බස් කෝච්චි නෑ. ඒත් සමුළුවට රෝල්ස් රොයිස් කාර් 50ක් ගේනවා. කාර් එකක මිල කෝටි 11 යි. ජනතාව හාමතේ. විදුලි බිලයි, වතුර බිලයි වැඩි කරලා රෝහල්වල බෙහෙත් නොදී දරුවන්ට අධ්‍යානය ලබා නොදී සුද්දන්ට සුරසැප දෙන්නේ මේ රටේ දුප්පතාගෙ බොක්කටම ගහලයි. 

සමුළුවට අපි පක්ෂයි. ඒත් ජනතාව හාමතේ කියල ජනතාවගෙන් හූරාකාලා ඒ මුදල් සමුළුවට වැය කරන එකටයි අපි විරුද්ධ. මොකද කාර් 50ට විතරක් රු. කෝටි 500ක් ආණ්ඩුව වැය කරනවා. කොළඹ අලංකරණය හා අනිත් වියදම් කෝටි 8000ක් පනීවි කියල නිලධාරීන් කියනවා. මෙච්චර බංකොළොත් රටේ ජනතාව දුක් විඳිද්දී ජාත්‍යන්තර මඟුල් කන්න හදන්නේ ජනතාව පිට බර පටවලයි. ඒ මදිවාට රු. කෝටි 31,500ක් වැය කරලා එයාර් බස් 13ක් ගන්නත් හදන්නේ කාගේ සාක්කුවට කෝටි ගණන් කොමිස් වැටෙන නිසාද කියලයි අපි අහන්නේ. 
ශ්‍රී ලංකන් ගිය වසරේ විතරක් රු. කෝටි 2900ක් පාඩුයි. ආණ්ඩුව ඇමෙරිකාවේ ඇරිසෝනා ගුවන් යානා පාක් එකෙන් ප්ලේන් අරගෙන ලීසිං කොම්පැණියකට විකුණලා ඒ යානා ටිකම ආපසු ලංකාවට බද්දට ගන්නයි හදන්නේ. එතනදී තමයි කොමිස් කුට්ටිය ලැබෙන්නේ. මේ රටේ ජනතාව මේ ආණ්ඩුව රකින්න පෙළපාලි යනවා නොවෙයි හරිනම් ගහල එළවන්න  ඕනෑ. කැබිනට් අනුමැතිය පවා නැතිව පිට පාරෙනුයි මේ යෝෂිත එයාර් බස් ගනුදෙනුව කරන්න හදන්නේ. 

 


* ප‍්‍රශ්නය: ජනතාවගේ අධික ජීවන බරට, විරැුකියාවට තරුණ අසහනයට මේ ආණ්ඩුවට විසඳුමක් නැතිනම් ආණ්ඩුවේ හොරකම්, ගසා කෑම්, මේ තරම් ඉහළනම් එජාපය  ආවොත් ජනතා ප‍්‍රශ්නවලට විසදුම් දෙන හැටි කියන්න. 

පිළිතුර: විරැුකියාවට, තරුණ අසහනයට මේ ආණ්ඩුවට ඇති විසඳුම සුදු වෑන්වලින් ගෙනිහින් අතුරුදන්  කිරීමයි. අනිත් අය බෝට්ටු වලින් පණ එපා කියල පිටරට යන්න හදනවා. ජීවන බරට මේ ආණ්ඩුවට ඇති විසඳුම බඩුමිල හා බදු බර තවත් පැටවීම විතරයි. මේ විධායක ජනපති ක‍්‍රමය රටට  හෙණයක්. මේකට දැන් මුළු රටම විරුද්ධයි. ඒත් මේ ක‍්‍රමය දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ රාජපක්ෂවරුන්ට විතරද කියන ගැටලූවයි ජනතාව මතු කරන්නේ. එජාපය ගෙනා විධායක ක‍්‍රමය නමැති දරුවා අද නෑ. විකෘති කරපු යක්ෂයෙක් අද ඉන්නේ. 

උතුරේ ඡුන්දය පවත්වන බව ආණ්ඩුව ලොවට කිව්වත් දැන් වීරවංශ හා චම්පික ඇමැතිවරු දාලා වෙන වෙන බොරු හේතු දාලා මේක කල්දාන්නයි බලන්නේ. ආණ්ඩුව තමන්ට  ඕන විදියට හැසිරෙන උසාවියක් තනා ගත්තා. ඒ උසාවියට ගිහින් උතුරේ ඡුන්දය කල්දාන නියෝගයක් අරන් මේක කල්දාන්නයි බලන්නේ. ඉන්දියාවට 8 වරක් බොරු කරලා ඔවුන්ට ලංකාව තිත්ත වෙලා තියෙන්නේ. ලෝකයටත් එහෙමයි. සුළු ජාතීන්ට තවත් අසාධාරණකම් කරලා ලංකාව තවත් අනාථ කරන්නයි හදන්නේ. උතුර ලංකාවේ කොටසක් නෙවෙයිද කියල අපි අහනවා. මේ ජනපති දීපු පොරොන්දුම මේ ජනපති හා ආණ්ඩුව කැඞීම රාජ්‍ය තාන්ත‍්‍රික බව විනාශ කිරීමක්. 
 


* ප‍්‍රශ්නය: එජාපය හෙට බලයට ආවොත් රටේ ප‍්‍රශ්නවලට දෙන විසඳුම්  ගැනත් මම ඇහුවා?

පිළිතුර: ශ්‍රීලනිප අවුල් කරන රටත් ආර්ථිකයත් හැමදාම ගොඩගත්තේ එජාපයයි. 77 හා 2001 ඊට නිදසුන්. සෘණ ආර්ථික අපි ගොඩගත්තේ. මේ රට සංවර්ධනය කරන්න දැක්මක් හා ලෝක සහාය අවශ්‍යයි. ලංකාවට ලැබුණු ජී.එස්.පී. සහනය නැති කරගෙන රටට වසරකට රු. කෝටි 11,300ක් පාඩුකරපු ආණ්ඩුව ලයිට් බිල වැඩි කරලා කෝටි 2500ක් උයන්න දඟලනවා. මේ ආණ්ඩුව කරන හොරකම් හා නාස්තිය නැති කරලා ලෝක සහාය අරන් ආර්ථිකය හදලා රට සංවර්ධනය කරමින් එකම රටක් ලෙස ලංකාව අපි ඉදිරියට ගෙනියනවා. ජනතාවගේ අතමිට සරු කරලා තරුණ පරපුරේ විරැුකියාවට තිත  තබනවා. ඒක අත ළගයි. එජාප මැයි දිනය හා විදුලිබල විරෝධතාවට එක්වූ ජනගඟ ඊට සාක්ෂි සපයනවා. 

 

සංවාද මෙහෙවර : අශෝක ජයතුංග