දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් මනුෂ්‍ය ලෝකයට පැමිණීම නත්තල හෙවත් ක්‍රිස්තු උපත ලෙස සැලකේ. ඓතිහාසික සිදුවීමක් හැටියට අප විසින් එය සමරනු ලබන්නේ මුළු ලොවට මනුෂ්‍යත්වයේ පණිවුඩය බෙදාහරිමිනි. එහෙත් එය හුදු උත්පත්ති සැමරුම් මංගල්‍යයක්ම පමණක්ම නොවේ. වඩා වටින්නේ උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගැනීමය. බොහෝ දෙනා ක්‍රිස්තු ධර්මය ගැන අපරිමිත දේ කීව ද ක්‍රිස්තුන් වහන්සේ තම ධර්මය වාක්‍ය දෙකකට කැටි කොට දැක් වූ සේක. ඒ, “දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. එමෙන්ම ඔබට මෙන්ම ඔබේ අසල්වැසියාට ද ප්‍රේම කරන්න” යන්නයි.

මෙකී ධර්මය අප නිසි ලෙස අවබෝධ කරගන්නේ නම් මනුෂ්‍යය සමාජයෙහි කිසිදු ගැටුමක් හටගන්නේ නැත. පුද්ගලයන් අතරත් ජාතීන් අතරත් ගැටුම් හටගන්නේ නැත. කනගාටුවට කරුණ වන්නේ වර්තමානයේදී මේ පණිවුඩය බොහෝ දෙනකුට අමතක වීමය. පරාර්ථ චර්යාව වෙනුවට ආත්මාර්ථයම අගයන සමාජ රැලි හටගෙන ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ජාතීන්ගේ සිට පවුල හා පුද්ගලයා දක්වාම උත්කර්ෂයට නංවමින් තිබෙන මමත්වය විසින් විනාශ කරනු ලබන්නේ ප්‍රේමයේ පණිවුඩයයි.

මේ වනවිට ගෝලීය වශයෙන් මුළු ලොව පුරාම යුද ගැටුම් නිර්මාණය වී තිබේ. මේ ගැටුම් සියල්ලටම හේතුව වී තිබෙන්නේ ආත්මාර්ථයයි. රටවල් හෝ ජනවර්ග හැටියට අනෙක් සමාජ ප්‍රජාවන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ දී සිය රාජ්‍ය පාලන කටයුතු කරගෙන යන්නේ නම් කොතැනකවත් ගැටුම් හටගන්නේ නැත. කවර රටක කවර ජාතියක් වර්ගයක් කුලයක් නියෝජනය කළ ද මනුෂ්‍යයා යනු දෙවියන් වහන්සේගේ පුත්‍රයෙකි. අප සිතිය යුත්තේ මනුෂ්‍යයකු හැටියට තමාට මුහුණ පෑමට සිදුවන පීඩාකාරී අත්දැකීම්වලට අනෙක් මනුෂ්‍යයා ද ලක් කළ යුතු නැති බවය. ලෝකය ලස්සන තැනක් වන්නේ එකී පරාර්ථචර්යාවෙනි. මානය උඩඟුකම යනු විනාශයේ මුලය. වර්තමානයේ රටක් හැටියට අප මුහුණ පා සිටින ඇතැම් සමාජ ආර්ථික ප්‍රශ්න විමසද්දී මේ බව පැහැදිලිව පෙනී යයි. තමාට වඩා උසස් කෙනකු නැතැයි යන සිතුවිල්ලෙන් ජීවත් වී තමාගේ තත්ත්වයට වඩා ඉහළට යන පිරිස්වලට ඊර්ෂ්‍යා කිරීම මානයේ ස්වභාවයයි. එසේ බලද්දී මානය ඊර්ෂ්‍යාවට පදනම සලසයි. ඊර්ෂ්‍යාව නිසා කෙනකු දියුණු වනවා දැකීමට කැමැති නැති සිතුවිලි ජනිත වන අතර එහි ඊළඟ පියවර වන්නේ දියුණුවන්නාට කළ හැකි සෑම බාධාවක්ම කිරීමය. අද අප මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ මේ තත්ත්වයයි.

මෙම පසුගාමී සමාජ මනෝභාවයට ප්‍රසිද්ධ උදාහරණයක් හැටියට චිරාත් කාලයක් තිස්සේ පවතින ‘ගුරු මුෂ්ටිය’ යන සංකල්පය දැක්විය හැකිය. සරලව කිවහොත් ගුරු මුෂ්ටිය යනු ශිල්පයක හෝ ශාස්ත්‍රයක තමා දන්නා සියල්ල තව කෙනකුට නොඋගැන්වීමය. සිංහල වෛද්‍ය ක්‍රමය මේ තත්ත්වයට දරුණු ලෙස විවෘත වී අවදානමට ලක්වූවකි. සිංහල වෛද්‍ය ක්‍රමයෙන් ජනිත දක්ෂ වෛද්‍යවරු රැසක් මේ වනවිට මෙරට සිටියහ. වෛද්‍ය ක්‍ෂේත්‍රයෙහි කෙල පැමිණි අය හැටියට සැලකිය හැකි වුවද බොහෝ තැන්වල සිදුවුණේ ඔවුන්ගේ මරණයත් සමග ඔවුන් දත් ශාස්ත්‍රයේ අන්තර්ගත වටිනා කරුණු ද රහස් ලෙසම අභාවයට යෑමය. තමා දන්නා දෙය තව කෙනකුට කිවහොත් දැනුම තමාට අහිමිවන්නේය යන පුහු විශ්වාසයක් අදටත් මෙරට ඇතැම් ජනයා අතරෙහි පවතී. කිසිදු විද්‍යාවක් මෙරටදී දියුණුව අත්පත් කර නොගැනීමට ද බලපෑවේ මේ විශ්වාසයයි. බටහිර රටවලදී යමකු නව නිර්මාණයක් කළ විට එය ලියාපදිංචි කර පේටන්ට් බලපතක් ද ලබාදෙයි. එවිට වෙනත් අයකු එකම නිර්මාණය නැවත කරන්නේ නැති අතර සිදුවන්නේ අදාළ නිර්මාණය එතැනින් ඔබ්බට දියුණු කිරීමය. බටහිර විද්‍යාවේ දර්ශනය ඉදිරියට ගියේ ද විද්‍යාත්මක ඥානය දියුණු වුණේ ද එම පසුබිමේය. එහෙත් අප රටෙහි රජයන ගුරු මුෂ්ටි සංකල්පයෙන් සිදුවුණේ ශිල්පයෙහි ශාස්ත්‍රයෙහි නිපුණයන්ගේ අභාවය සමඟ එකී ශිල්ප ශාස්ත්‍ර ද අභාවයට යෑමය. මෙම ක්‍රමයට ගියහොත් සම්භාව්‍ය අර්ථයෙන් විශ්වවිද්‍යාලවලට ද පැවැත්මක් නැත. මන්දයත් ආචාර්ය මහාචාර්යවරුන් දැනුම බෙදා දුන් විට හානියක් සිදුවන බැවිනි.

ආත්මාර්ථය මමත්වය යනු ආගමික පසුබිමක් නිසා හටගන්නා චෛතසික නොව මනුෂ්‍ය ස්වභාවයේම ලක්ෂණය. ඇත්තෙන්ම මමත්වය වර්ධනය වන්නේ ආගමික දාර්ශනික මූලික හරය නිසියාකාරව උරාගැනීමට මානව සමාජය අසමත්වීම නිසාමය. කිතුනු මෙන්ම බෞද්ධ හෝ හින්දු දර්ශනයෙහි ද පොදුවේ ඉගැන්වෙන්නේ දයාව, කරුණාවට වඩා සමාජය සුවපත් කිරීම ගැනය. මනුෂ්‍යත්වයේ වටිනාකම ගැනය. එකී පුරුෂාර්ථ යටපත් කරගෙන දුර්ගුණ මතුවන්නේම මනුෂ්‍යත්වයේ දුර්වලතාව නිසාය. සැබැවින්ම මනුෂ්‍යයකු උසස් වන්නේ කුලයෙන් හෝ උත්පත්තිය නිසා නොවේ ක්‍රියාවෙනි. බුදුන් වහන්සේම එය වදාරා ඇත්තේ මෙසේය.

“නජච්චා වසලෝ හෝති නජච්චා හෝති බ්‍රාහ්මණෝ - කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ”

“උපතින් යම් කෙනෙක් වසලයකු හෝ බ්‍රාහ්මණයකු නොවේ. යම් අයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු බවට පත්වන්නේ ක්‍රියාවෙනි” යන්න එහි අර්ථයයි.  

බුදුන් වහන්සේ මෙන්ම ක්‍රිස්තුස් වහන්සේ ද අපට උගන්වා ඇති ආකාරයට මනුෂ්‍ය ලෝකයේ කිසිදු ජන කොටසක් උසස් හෝ පහත් ලෙස සැලකීමට අපට බැරිය. ජපානයේ, ජර්මනියේ, ඇමෙරිකාවේ සිටින විදේශිකයාට ද ගාල්ලේ හා යාපනයේ ජීවත් වන ස්වදේශිකයාට ද ඇත්තේ මට ඇති මනුෂ්‍යාත්මභාවයමය. අප සියල්ලන්ම එකම මිනිස් කැළක් නම් සහෝදර මනුෂ්‍යාට සැලකීම අප සැමගේ යුතුකම හා වගකීම වන්නේය. සංඛ්‍යාත්මක බහුතරය මත තවත් පිරිසක් පාගාගෙන සිටින්නට කිසිදු ජන කොටසකට නොහැකිය. එය දේශපාලන යථාර්ථයක් නොව මනුෂ්‍ය යථාර්ථයයි. එනිසා රටක් හැටියට අපට ජයක් අත්පත් කරගතහැක්කේ විවෘත මනසකින් ලෝකය දෙස බලමින් සාමූහිකව නැඟී සිටියහොත් පමණි. මේ ධර්මය අප හොඳින් සිතට ධාරණය කරගත යුතුය. මක්නිසාදයත් ඉතිහාසය පුරාම ලාංකික අපට වැරැදුණේ සමගියක් නැතිකමින් වන බැවිනි. රටේ ගැටුම් ඇති තරමට තමන්ට වාසි අත්වේ යැයි සිතන පිරිස් එදත් සිටියහ. අදත් සිටිති. බොහෝ සමාජ ප්‍රශ්න නිරාකරණය කරගත නොහැකිව තිබෙන්නේ එවැන්නන් නිසාය. ශ්‍රී ලංකාවට වඩා වාර්ගික වශයෙන් විවිධත්වය තීව්‍ර සමාජ සහිත රාජ්‍ය ලොව ඕනෑ තරම් තිබේ. එහෙත් ඒ සියලු විවිධත්ව මධ්‍යයේ වුව රටක් හැටියට නැගී සිටින්නට එවැනි රාජ්‍ය සමත්ව තිබෙන්නේ සියලු පාර්ශ්ව සමගි සම්මුතියෙන් කටයුතු කිරීම මතය.  

කවර සීමා සහිතකම් පැවැතිය ද ලංකාවට නිදහස ලබාගැනීම සඳහා මැදිහත් වූ අවස්ථාව සැලකිය හැක්කේ සියලු භේද නොසලකා නායකයන් එකමුතු වූ එකම අවස්ථාව හැටියටය. යම් යම් අය ඊට එකඟ නොවූව ද බහුතර නායකත්වය එක අරමුණක සිටි බැවින් එක ලේ බිඳක් නොසොලවා නිදහස ලබාගැනීමට එදා අපට හැකි විය. අප බෙදුණු සෑම අවස්ථාවකදීම සිදුවුණේ අපට පිට ජාතීන්ට ද වහල්වීමටය. පෘතුගීසීන් මෙරටට කැන්දාගෙන ආවේ යැයි කත් ඇද්දේ යැයි බොහෝ අවස්ථාවලදී ඇතැම්හු චෝදනා කරති. එහෙත් හොඳින් විමසා බැලුවොත් එදා ජාතියේ අගතියට හේතුකාරක වූයේ බලලෝභී දේශපාලනයම බව පැහැදිලි වනු ඇත. විජයබා කොල්ලයෙන් පසුව බුවනෙකබාහු කෝට්‌ටේ රජකමට පත්වෙද්දී සෙසු සහෝදරයන් දෙදෙනා සීතාවක සහ රයිගම රාජධානි නිර්මාණය කරගත්හ. බුවනෙකබාහුගේ කෝට්‌ටේ රාජධානියෙන් කොටස්‌ ද අල්ලා ගැනීමට බලවත් මායාදුන්නේ කටයුතු කරද්දී සහෝදරයා පරාජය කිරීමට බුවනෙකබාහු උපකාර ඉල්ලුවේ කාගෙන්ද? පෘතුගීසීන්ගෙනි. යුද්ධ ආධාර සඳහා බුවනෙකබාහු 1543 දී පෘතුගීසීන් සමඟ සම්මුතිගත වෙද්දී මායාදුන්නේ ද නිකම් සිටියේ නැත. මායාදුන්නේ කළේ එවකට කල්කටාවේ පෘතුගීසීන් සමඟ සටන් වැද සිටි සැමොරියන්වරුන්ගෙන් ආධාර ගැනීමය. එක පසෙක සිංහල මිනිස්සු හා පෘතුගීසීහුය. අනෙක් පස සිංහල මිනිස්සු හා මරක්කල මිනිස්සුය. අවසානයේදී සිදුවුණේ අන්‍ය ජාතියක සරණින් යුද වැදී එකම ජාතියක් දෙකට බෙදී එකිනෙකා මරාගැනීමය. බෙදුණු හැම තැනකම ජාතියට වුණේ විනාශයයි. ජාතිය නැගී සිටියේ සමගිසම්පන්න වූ අවස්ථාවලය.

අනෙකා ගැන නොතැකීම, නොසලකාහැරීම මේ යුගයේ සුලබ මනුෂ්‍ය ධර්මයක්ව තිබේ. තමාගේ කාරිය කෙරෙන්නේ නම් අනෙකාට කුමක් වුවත් කමක් නැතැයි යන සිතුවිල්ල කුඩා කල පටන්ම දරුවන් අතරෙහි පවා ප්‍රචලිත වෙමින් ඇත. ධනය හා බලය ඒකාරම්මණය කරගත් නොතිත් තරගයට සමාජයේ සියලු ක්‍ෂේත්‍ර ඇද වැටිලාය. හරි වැරැද්ද දැක දැකත් වැරැද්දටම පෙළඹෙන්නේ එහෙයිනි. වර්තමානය වනවිට ආර්ථික වටිනාකම් ආධ්‍යාත්මික වටිනාකම් අතික්‍රමණය කර තිබේ. මිනිසුන් යමක් කරන්නේ හෝ නොකරන්නේ එය පදනම් කරගත් ආර්ථික වාසි සලකා බලාය. රට වඩාත් නරක තැනකට තල්ලු වුණේ රාජ්‍ය පාලන ක්‍ෂේත්‍රයට ද මේ පිළිලය පැතිරීමෙනි. අතීතයේදී බොහෝ නායකයන් දේශපාලනයට පිවිසියේ යමක් උපයාසපයා ගැනීමේ අදහසින් නොවේ. නිස්සරණාධ්‍යාශයෙනි. තමා සන්තකයෙහි පවත්නා වතු පිටි දේපළ පවා විය පැහැදම් කර ඔවුන් කළ දේශපාලනයෙහි ගැබ්ව තිබුණේ සමාජ සේවයකි. එහෙත් අද වනවිට තත්ත්වය මුළුමනින්ම වෙනස්වෙලාය. දේශපාලනයේ පටන් සියලු ක්‍ෂේත්‍ර තිබෙන්නේ උන්නතිකාමයෙන් වැනසී යමිනි. සමාජ පරිහානියේ කැඩපතක් බවට අද වනවිට මේ රටේ ජාතික අධ්‍යාපනය පත්ව තිබේ. ව්‍යාපාරික මාෆියාවක් විසින් ආක්‍රමණය කරනු ලැබ ඇති අධ්‍යාපනයේ ටියුෂන් ක්‍රමය කුඩා කල පටන්ම දරුවන් අතර වර්ධනය කරඇත්තේ තරගයයි. අනෙකා පරයා යෑමයි. පාසල් අධ්‍යාපන ක්‍රමය නිසියාකාරව දියත්වන්නේ නම් ටියුෂන් පන්ති අවශ්‍ය වන්නේ නැත. ඉතින් මෙතැන ප්‍රශ්නයක් තිබේ. සමාජය යහපත් දිශාවකට ප්‍රතිසංස්කරණය කරන්නේ නම් නිසැකයෙන්ම අධ්‍යාපනයේ මෙකී පරාභවයට පිළිතුරක් අප සපයාගත යුතුවේ. මන්දයත් රටේ අනාගතය නම් ජාතියේ ජීවනාලිය බඳු සිසු දරු පරම්පරාවම වන බැවිනි.       

විමුක්ති ධර්මයක් යමෙකුට බලෙන් පටවන්නට බැරිය. ආගමික නිදහස යනු තම නැණ පමණින් අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කිරීමය. ආගමික විමුක්තිය යනු හමුදා අණක් වැනි ඉහළින් එන නියෝගයක් මගින් සාක්ෂාත් කරගත හැකි දෙයක් නොවේ. එනිසා මනුෂ්‍යත්වය දෙස දයාලු හදවතකින් බලා බුදුන් වහන්සේ ද වදාළ පරිදි තමන්ම උපමා කරගනිමින් සෙසු ලෝකයා දෙස බැලීම වටී. අසල්වැසියාට ප්‍රේම කරන්නැයි ජේසුස් වහන්සේ කැටි කොට දැක්වූයේ ද එම ලෝක ධර්මයමය. අසල්වැසියා යනු අප සහෝදර සමාජයම මිස අනෙකක් නොවේ. සහෝදර සමාජයට විරුද්ධවාදී වීමෙන් උපදින්නේ දයාවිරහිතභාවයයි. වෛරයයි. මෙකී සකල අගතින් නසාලන මනුෂ්‍ය ගුණය නම් ප්‍රේමයයි. ඉතින් මේ උතුම් නත්තල් දිනයේ සියලු මනුෂ්‍යයන්ගෙන් අප නැවතත් ඉල්ලන්නේ ජේසු ස්වාමි දරුවන් දායාද කළ ඒ ප්‍රේමයේ පණිවුඩය මනුෂ්‍ය වර්ගයා අතරට ගෙනයන්නැයි කියාය. පිළිමළුන් පිටුදැකීමේ ඛේදවාචකයෙන් අපට මිදිය හැකි හොඳම මඟ එයමය.

සටහන
බිඟුන් මේනක ගමගේ