දවසක් එක්ගල්ඔය වැව් පිටියේ වෙඩි වැදිච්ච අලියෙක් බොහොම අමාරුවෙන් අවට සැරිසරනවා කියලා උද්‍යාන මූලස්ථාන කාර්යාලයට පණිවුඩයක් ලැබුණා. එතකොට උද්‍යාන භාරකරු විදිහට හිටියේ වසන්ත පුෂ්පානන්ද මහත්තයා. අපි එයා එක්ක ඇවිල්ලා අලියව නිරීක්‍ෂණය කළා. අලියගේ ඉදිරි වම් පස පාදයේ දණියට වෙඩි වැදිලා තිබුණ නිසා අමාරුවෙන් ඇවිද්දේ. පුෂ්පානන්ද මහත්තයා සියලූ තොරතුරු කොළඹ මූලස්ථාන කාර්යාලයට දැනුම් දීමෙන් පසුව පසු දින හවස් වෙද්දී පශු වෛද්‍ය නන්දන අතපත්තු මහත්තයා ප‍්‍රතිකාර සඳහා පැමිණියා. සවස අලියව හොඳින් නිරීක්‍ෂණය කළ අතපත්තු මහත්තයා පසු දින උදේ සිරින්ජර් මගින් අලියට බෙහෙත් එන්නත් කිරීමට සැලසුම් කළා. සැලසුමට අනුව සුළං අත බලලා අලියට මීටර් විස්සක් විසිපහක් පමණ දුර ඉඳලා තුවක්කුවෙන් එන්නත් විද්දා. අලියා කලබල වුණේ නෑ. නමුත් ටික වෙලාවක් යද්දී මෙන්න අලියා මහ හයියෙන් නන්දන අතපත්තු මහත්තයා දිහාවට දුවගෙන ආවා. අතපත්තු මහත්තයත් දිව්වා. පිරිසේ අනිත් පිරිසත් හිස හැරුන අතේ දිව්වා. නමුත් අලියා දැන් අතපත්තු මහත්තයා පස්සේ පන්නනවා. ඒ හරිය විවෘත තණ පිටියක්. කිසිම ආවරණයක් නෑ. අතපත්තු මහත්තයත් අලියත් අතර දුර මීටර් 10-15 තරම් ඇති. මම ඒ වෙනකොට අලියට වම් පැත්තේ සෑහෙන දුරක හිටියේ. අතපත්තු මහත්තයාට හානියක් වෙන බව නියත බව දැනුණු නිසා මම මහා හයියෙන් කෑ ගහගෙන අලියා පැත්තට දිව්වා. ඒ සමගම අලියා මා පස්සේ පන්නන්න පටන් ගත්තා. මගේ උපක‍්‍රමය සාර්ථක වුණා. මම දුවලා ගිහින් වැව් පිටියේ කැලේ ඇතුළට රිංගුවා. රිංගලා අලියට හොයා ගන්න බැරි විදිහට ගල් කුලක් ළඟ හැංගුණා. කැලේ බිඳගෙන ඇතුළට ගිය අලියා වරුවකටවත් එළියට ආවේ නෑ. ඔය විදිහට අලියගේ කකුලේ තුවාලේ වේළෙන්න අවස්ථා කීපයක දී බෙහෙත් විද්දා. ඉන්පසු අපට ඒ අලියා මුණ ගැසුණේ නෑ. එදා අතපත්තු මහත්තයාගේ ජීවිතය ගැලවුණේ අනූනවයෙන්. ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් ඉඟිනියාගල කන්ද එක්තරා කාලයක දී වලසුන්ගේ සහ දිවියන්ගේ රාජධානියක්ව පැවතිණි. මේ කන්දට පිටුපස ප‍්‍රදේශය ඉඟිනියාගල නාගරික ජනාවාස ප‍්‍රදේශයයි. 1978 වසරේ එක්තරා සති දෙක තුනක දී මේ කන්දේ සැඟව සිටි දිවියකු නිසා ඉඟිනියාගල ප‍්‍රදේශවාසීන් මහත් භීතියට පත්විය. රාතී‍්‍ර 6-7 වන විට දොර ජනෙල් වසා ගන්නා කඳු පාමුලම වැසියන් පසු දින පාන්දරට මිස, ඊට පෙර එළියට බහින්නේ නැත. රාත‍්‍රි අඳුර වැටෙද්දී ගොදුරු සොයා කන්දෙන් පහළට බසින දිවියා ජනාවාසයේ සිටින හරකුන්, එළුවන්, බල්ලෝ ඩැහැගෙන ගියේය. ඉඟිනියාගල කන්දේ දර කඩන්නට ගිය පිරිසක් ද මේ දිවියා මුණ ගැසී මහත් බියට පත්ව කන්දෙන් පහළට ආහ. ඇතැම් විටෙක මැදියම් රැයේ දී දිවියා ගොරවන බියකරු හඬ ඇසෙන විට කුඩා ළමයින් තව තවත් ගුලිවී නිදන්නේ සිරුරම වැසෙන සේ පොරවාගෙනය. ඉඟිනියාගල පොලිසියටත් වනජීවී කාර්යාලයටත් මේ පිළිබඳව නිරන්තර පැමිණිලි ගලා ආවේය. කුමන මොහොතක හෝ මනුෂ්‍යයන්ට ද කරදරයක් වෙන්නට ඉඩ තිබෙන බව ගව්වාසීහු වනජීවී කාර්යාලයට පෙන්වා දුන්හ. දිවියා පිළිබඳව තීරණ ගැනීමේ වැඩි වගකීමක් පැවරුණේ වනජීවී කාර්යාලයටයි. උද්‍යාන භාරකාර ඩෙස්මන් වයිට් මහතා වහාම මේ පිළිබඳව කළ යුත්තේ කුමක්දැයි අසා වනජීවී ප‍්‍රධාන කාර්යාලයට ලිඛිතව දැන්වූයේය. අද මෙන් සන්නිවේදන තාක්‍ෂණය නොදියුණු නිසා දිවියා පිළිබඳව අවසන් තීන්දුව එන්නට තවත් සති දෙක තුනක් ගතවිය. ඒ අතරතුර දිවියාගේ ක‍්‍රියාකාරකම් වැඩිවෙන්නට විය. අවස්ථා කීපයකදීම දිවියා දුටු මිනිසුන් ඌට හසු නොවී ගැලවී ආවේය. කාලය මෙසේ ගෙවී යද්දී ප‍්‍රධාන කාර්යාලයෙන් දැනුම් දුන්නේ දිවියා වෙඩි තබා මරා දැමීමට පියවර ගන්නා ලෙසයි. එම අවසරය ලැබීමත් සමග දිවියා මරා දැමීම සඳහා වයිට් මහතාගේ උපදෙස් ලැබිණි. මෙම අවදානම් සහගත මෙහෙයුම සඳහා තෝරා ගනු ලැබුවේ අඩවි සහකාර අරුලානන්දන්, බී. සෝමපාල සහ චන්දරේ අයියාවයි. මේ තිදෙනාම හොඳ අත්දැකීම් ඇති පලපුරුදු අය වූහ. අරුලානන්දන් දෙමළ ජාතිකයකු වූ අතර වනාන්තරය ගැන අතැඹුලක් සේ දනියි. දීර්ඝ කාලයක් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි ඔහු 1989 දී යාල-නැගෙනහිර (කුමණ) වනෝද්‍යානය නැවත විවෘත කිරීමේ ඇති හැකියාව සොයා බලන්නට උසස් බලධාරීන් සමග ගොස් ආපසු එමින් සිටියදී හැලව කලපුව අසල දී ත‍්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයෙන් අකාලයේ මරු දුටුවේය. එදා එම පීප් රථයේ සිටි නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ එම්.එම්.ඞී. පෙරේරා, ලාහුගල උද්‍යාන භාරකරු කේ.ටී.පී. පෙරේරා, ඩිංගිරි බණ්ඩා යන අය ද අරුලානන්දන් සමග දිවි පිදුහ. තව දෙතුන් දෙනෙක් බරපතළ තුවාල සහිතව දිවි ගළවා ගත්හ. ඉඟිනියාගල කන්දේ දිවියා වෙඩි තබා මරා දැමීමට මත්තෙන් දිවියා ගැන සියලූ තොරතුරු හොඳින් අධ්‍යයනය කර වෙඩි තැබීමට සුදුසු ස්ථානයක් සකස් කර ගන්නැයි වයිට් මහතා මේ තිදෙනාට උපදෙස් දුන්නේය. ඒ අනුව මේ වනජීවී නිලධාරීන් ඉඟිනියාගල කන්දේ දිවියාගේ දිවි තොර කිරීමේ මෙහෙයුමට අත ගැසූහ. උද්‍යාන භාරකාර වයිට් මහතාගේ උපදෙස් පරිදි ඉඟිනියාගල කන්දේ භයානක දිවියාගේ දිවි තොර කිරීම සඳහා නිලධාරීන් පිටත් විය. ඒ දිවි මෙහෙයුම පිළිබඳව චන්දරේ අයියා අදහස් පළකළේ මෙසේය. මුලින්ම අප දිවියාගේ පා සටහන් පරීක්ෂා කළා. තවත් නොයෙකුත් සාධක පිළිබඳව නිරීක්ෂණය කළා. ඒ අනුව මේ දිවියා වල්ගයත් සමග අඩි අටක් පමණ දිග උස අඩි දෙකහමාරක් පමණ බව අපට අවබෝධ වුණා. දිවියාට වෙඩි තැබීමට කන්ද පාමුල තැනක් සකස් කරගෙන පොඩි හරක් කුණක් අරන් ගිහින් ඒ ආසන්නයේ ගහක බැන්දා. තුවක්කු දෙකක්, විදුලි පන්දමක් සහ වතුර බෝතලයක් විතරයි අප අරගෙන ගියේ. කැලේ ඇතුළේ හැංගිලා ඉන්නකොට රාත‍්‍රී 7ට විතර කන්ද ඉහළින් දිවියා ගොරවන හඬ ඇහුණා. ඒ ගෙරවුම් හඬ ටික ටික අඩුවුණා. දැන් මුළු පළාතම නිශ්ශබ්දයි. අපි තුන්දෙනා හුස්ම ගන්න හඬ විතරයි අපට ඇහුනේ. තවත් පැයක් විතර යද්දි අඳුරේම, දිවියා හරක් කුණ ළඟට කිට්ටු කළා. වයිට් මහත්තයා උපදෙස් දීලා තිබුණේ මම විදුලි පන්දම අල්ලපු සැණින්ම අරුලානන්දන්ට වෙඩි තියන්න කියලයි. කිව්ව විදිහටම කොටියාගේ මූණටම මම විදුලි පන්දමේ එළිය එල්ල කළා. කොටියත් විදුලි පන්දම දිහා බලාගෙන දත් විලිස්සලා ගොරවන්න ගත්තා. මේ දර්ශනය දැකපු අරුලානන්දන් බයවෙලා හඃ ගෑවා. ඒ හඬට කොටියා පැනලා දිව්වා. මටත්, සෝමපාලටත් හරි කේන්තියි. ”දැන් ඉතින් යමල්ලා” කියලා කළුවරේම කන්ද බැහැලා ප‍්‍රධාන පාරට ආවා. ප‍්‍රධාන පාරට ඇවිත් තමයි තුන්දෙනාම කතා කළේ. ඉන්පසුව උද්‍යාන මූලස්ථාන කාර්යාලයට ගියා. ඒ යනකොටත් වයිට් මහත්තයා අවධියෙන් හිටියේ. ”කොහොමද වැඬේ හරිද?” කියලා වයිට් මහත්තයා ඇහුවා. මම විස්තරේ කිව්වා. අපි හිතුවේ වයිට් මහත්තයා හොඳටම බනියි කියලයි. නමුත් එහෙම වුණේ නෑ. වයිට් මහත්තයා හොඳට හිනාවෙලා ”තොපි බේරිලා ආව එක ලොකු දෙයක්” කියලා කිව්වා. එහෙම කියලා ”මේ දිවියා මරන්න ඕන නෑ, අපි හෙඞ් ඔෆීස් එක හරහා සත්තු වත්තට දැනුම් දීලා මූව අල්ලං යන්න කියමු” කියලා කිව්වා. ඒ අනුව සතියකින් දෙකකින් ලොකු කූඩුවකුත් අරගෙන සත්තුවත්තේ සේවක පිරිසක් ආවා. අර කූඩුව හොඳට කොළ අතුවලින් වහලා ඒක ඇතුළට බලූපැටියෙකුත් දැම්මා. ”කොටියගේ පැණි මුල බල්ලා” කියලා කතාවකුත් තියෙනවනේ. සත්තුවත්තේ නිලධාරීන් දිවියට හොඳ උගුලක් අටවලා තිබුණේ. මැරුණු වඳුරකුත් මේක ඇතුළට දාලා තිබුණේ. දිවියා බල්ලගේ හෝ වඳුරගේ ඉවට කූඩුව ඇතුළට ගිය සැණින් කූඩුවේ දොර ස්වයංක‍්‍රීයව වැහෙන විදිහට තමයි උගුල අටවලා තිබුණේ. සියල්ල සූදානම් කරලා තියලා අපි හැංගිලා බලාගෙන හිටියා. ඔන්න සුපුරුදු පරිදි දිවියා ඇවිත් කූඩුවට රිංගුවා. ඒ සැණින්ම දොර වැහුණා. හැබැයි අර බල්ලව දාල තිබුණේ ඒ කූඩුව ඇතුළෙම වෙන්කරපු කොටසක. ඒ නිසා බල්ලව කන්න විදිහක් නෑ. ඒ වෙලාවේ අපි ඒ ස්ථානයට ගියේ නෑ. මොකද එහෙම ගියා නම් කොටියා කලබල වෙලා දඟලලා තුවාල කරගන්න ඉඩ තියෙනවා. අපි මූලස්ථාන කාර්යාලයට ගිහින් පසුදා උදේ නැවත ඒ ස්ථානයට ආවා. ඒ එනකොට දිවියා දඟලලා මූණ තුවාල කරගෙනයි හිටියේ. පසුව මේ දිවියව සත්තුවත්තට අරගෙන ගියා. ලබන සතියට...
සටහන සහ සේයාරූ - දිගාමඩුල්ල සමන් දිසානායක
ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 1 ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 2 ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 3 ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 4 ඉඟිනියාගල කන්ද හිටපු අඩවි ආරක්‍ෂක දසනායක චන්ද්‍රසිරි