එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තෝරා ගැනීම සඳහා පසුගිය දිනක  නිලවරණයෙන් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ලැබූ ජයග‍්‍රහණය මේ ආණ්ඩුවේ සමහර අයට ඔවුන්ගේ ම ජයග‍්‍රහණයක් විය. ඒ පිළිබඳ උණුසුම් ප‍්‍රතිඵල ආණ්ඩුවේ හිතවතෙක් ආරක්‍ෂක මාධ්‍ය ප‍්‍රධානියකුට පැවසුවේ ”මචං අපි දිනුම්” කියලාය. ”ඒ කියන්නේ උඹ කවදාද යූ.ඇන්.පී.යට ගියේ.”  නැහැ රනිල් දිනුම් කියන්නේ අපි දිනුම් කියන එකනෙ. සමහරු උද්දාමයට පත්වුණේ එහෙමය. මෙය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අපේක්‍ෂා කරන රටට ආදරය කරන ශක්තිමත් විපක්ෂයක්  ඕනෑය යන අදහසට ද පටහැනිය. ආණ්ඩුවේ සමහරු එහෙම කල්පනා කරන්නට වූයේ ඇයි? දුර්වල විපක්ෂ නායකයෙකු සිටීම තුළ  ඕනෑම දහජරා වැඩක් කර වුවද ආණ්ඩුවට කලක් වැජඹිය හැකිය යන උපකල්පනය මතය. දැන් ආණ්ඩුවේ සමහරු හැසිරෙන්නේ ද එවන් ජරාජීර්ණ විදියටය. ඒ කියන්නෙ විපක්ෂයේ දුර්වලකමින් ආණ්ඩුවේ පැවැත්ම ද ? ඒක හරියට හරි. එහෙත් රටට ජාත්‍යන්තර වශයෙන් උවදුරක් පැමිණි විට රටේ තිබිය යුතු විපක්ෂය කුමක්දැයි එදා කල්පනා කළා නම් රනිල් විරෝධීන්ගේ ගමන සිරිකොත ඉදිරිපස කාපට් දමා වළක්වන්නේ ද නැත. රනිල්ගේ ජයග‍්‍රහණය ගැන උදම් අනන්නේ ද නැත. මේ අය සිතන තරම් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ දුර්වලයෙක් නොවේ. මේ රට ජාත්‍යන්තර ප‍්‍රශ්නයකට පැටලෙන විට ඉස්මතුවන වර්තමාන චරිත තුනක් තිබේ. ඉන් එක් චරිතයක් වන්නේ නිතැතින්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. අනෙක් චරිතය විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහය. තුන්වැනියා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. ජන ආකර්ශනය කෙසේ වෙතත් ජාත්‍යන්තර දේශපාලන කළමනාකරණයෙහිලා රනිල් වික‍්‍රමසිංහ වර්තමානයේ මේ රටේ පුරෝගාමී දේශපාලන චරිතයකි. රටට එල්ලවන තර්ජන වාසියට හෝ අවාසියට කළමනාකරණය කර ගැනීමට ඔහු දක්ෂය. ඒ අනුව ඔහු නිතැතින්ම මේ මොහොතේ සූදානම් වනු ඇත්තේ තමන්ගේ වාසියට මේ දේශපාලන අර්බුදය කළමනාකරණය කර ගැනීමටයි. මේ රටේ කවදත් සම්ප‍්‍රදායික විපක්ෂ දේශපාලනය සැකසී තිබුණේ ද අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමේ ක‍්‍රමයකටය. මේ ආණ්ඩුව විපක්ෂයේ සිටියත් සම්ප‍්‍රදාය එයමය. පසුගිය දිනක එක්වරම ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගෙන් ශී‍්‍ර ලංකාවට එරෙහිව ප‍්‍රකාශයක් නිකුත් කරන්නේ මෙවන් පසුබිමකයි. කොටින්ම කියනවා නම් එහි සඳහන් වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවකදී ඇමරිකාවේ සහාය ඊට ලබාදෙන බවයි. එහෙත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේ විදේශ ඇමතිවරයාට ඇමරිකාවෙන් ආරාධනාවක් ලැබුණි. ඇමතිතුමාට වැඩ අධික නිසාදෝ ඒ සඳහා වේලාවක් තිබී නැත. අනතුරුව ඇමරිකාවේ ආසියාව බාර නි. රාජ්‍ය ලේකම් රොබට්  ඕ බ්ලේක් සමඟ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරිනියක වන මරියෝ ඔටේරා ශී‍්‍ර ලංකාවට නැත්නම් අපේ කකුල් දෙක ළඟටම පැමිණියාය. අපේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුහු යළිත් වරක් හිලරි කී දේම කීහ. ඊට සමගාමීව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කි‍්‍රයාත්මක විය. එතෙක් උගත් පාඩම් කොමිසම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සඟවාගෙන සිටි ඔහු වහා එය ප‍්‍රකාශයට පත් කළේය. එමගින් කියවුණේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ එ.ජා.ප. ද පිළිගන්නා බවයි. එය කි‍්‍රයාත්මක කරන ලෙසයි. බැලූබැල්මට එහි වරදක් නැත. එහෙත් එ.ජා.ප. ප‍්‍රකාශය මඟින් බරපතළ චෝදනා රැසක් රජයට එල්ලකර තිබේ. එහිද වරදක් නැත. එය විපක්‍ෂයේ වගකීමක් ලෙස පෙන්වාදිය හැකිය. එම ප‍්‍රකාශනයේ සමස්තය කෙසේ වුවද එහි අන්තර්ගතයේ සඳහන් සමහර කාරණා බිහිසුණුය. ”සිවිල් ජනයා විශාල පිරිසගේ ජීවිත නැති වීම, පෞද්ගලික දේපළ විනාශ වීම, ග‍්‍රාමීය ජනයා මහා පරිමානයෙන් අතුරුදන් වීම නිසා ඇති වූ ජාතික කම්පනය... ආදී වශයෙන් සඳහන් කිරීම් සමඟ එ.ජා.ප.ය උගත් පාඩම් කොමිසමේ අඩුපාඩුද පෙන්වා දෙයි. ආණ්ඩුවත් එ.ජා.ප.යේ මේ ප‍්‍රකාශනය ගැන එතරම් අවධානයක් යොමු කළේ නැත. කොටින්ම ගණන් ගත්තේ නැත. එය විපක්ෂය කෙරෙහි දක්වන අඩු තක්සේරුවකින් යුතු ආණ්ඩුවේ උද්දච්ච හැසිරීමකි. එහෙත් විපක්ෂයේ ප‍්‍රකාශනය රොබට්  ඕ බ්ලේක්ගේ පැමිණීමට සමගාමීව ජාත්‍යන්තරයට ද නිකුත් විය. එ.ජා.ප.ය කියන්නේ ද ඇමරිකාව කියන දේමය. කුමක්ද ? උගත්පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන මෙන් ඉල්ලා සිටීමය. රජය එය පිළිගෙන තිබේ. නිකම් නොවේ. සහසුද්දයෙන්ම ජගත් මානව හිමිකම් කොමිසමට මේ පොරොන්දුව දී ඇත්තේ  ඊට අදාළ කාල සටහනට ද ප‍්‍රකාශයට පත් කරන බව සඳහන් කරමිනි. එසේ නම් ඇමරිකාව ඒ සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් ගෙන එන්නේ ඇයි. කලින් ඇමරිකාව කීවේ මේ සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවට සහාය දෙන බවකි. දැන් ඔවුන්ම යෝජනාව ගෙනවිත් තිබේ. ප‍්‍රශ්නය පැන නඟින්නේ මෙතැනය. දැන් ඇමරිකාව සූදානම් වන්නේ අප පොරොන්දු වන යෝජනා ගැනම කියමින් ශී‍්‍ර ලංකාව බිත්තියට හේත්තු කිරීමටයි. වරද ඇත්තේ මෙතැනය. එනම් රටක් ඉලක්ක කර මෙවන් යෝජනාවක් ගෙන ඒමයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වචනයක් වත් සඳහන් කරන්නේ නැත. ඔවුන් ලබන 23 වැනිදා වනතුරු ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටී. යූ.ඇන්.පී.යේ මේ හැසිරීම වතුර නාවන තුරු ගෙට වී සිටින නාඹර ලමිස්සියක වාගේය. එදා නිලවරණයෙන් එ.ජා.ප. හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය නායකයා වී නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස බලයක් සහිතව පත්වුණා නම් රට පිළිබඳ මෙවන් අර්බුදයකදී යූ.ඇන්.පි.ය මෙසේ කි‍්‍රයාකරන්නේ නැත. නැතිනම් නිහඬ වන්නේ නැත.  පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරු ජයසූරිය තම දේශපාලන භාවිතාවේදීම රටට ආදරය කරන නායකයෙකි. ඔහු යුද්ධයට සහාය වීමට ආණ්ඩුවට පැමිණීමත් රට වෙනුවෙන් එම කාර්ය අවසන් වීමෙන් පසු යළි යූ.ඇන්.පි.යට යෑමත් නිවැරදි බව දැන් පැහැදිලිය. නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ද තමන් එවැන්නෙක් බව පෙන්වමින් සිටී. මේ අර්බුදයේදී විපක්ෂයේ නායකයකු ලෙස තම පාර්ශවයෙන් නිවැරදිව දේ ප‍්‍රකාශය කළේ එ.ජා.ප.නි නායක සජිත් පේ‍්‍රමදාසය. මෙතරම් අර්බුදයක් ඇත්නම් සර්ව පාර්ෂික නියෝජිත කණ්ඩායමක් ජිනීවා නොයැව්වේ ඇයිදැයි ඔහු ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කළේය. අද සජිත්ට එරෙහිව යූ.ඇන්.පී. නායකයා අවි අමෝරාගෙන සිටී. ඔහු විනය කමිටුවට ගෙනයෑමට සූදානම් වේ. ඒ ඇයි මේ මොහොතේ රට ගැන කල්පනාකර විපක්ෂයේ සිටියදී වුවද ප‍්‍රකාශයක් නිකුත් කිරීමයි. උන්ගේ නෑදැයින්ගේ පක්‍ෂය ලෙස රටේ තහවුරු වී උඩු යටිකුරු වී පැවැති යූ.ඇන්.පී.ය දෙපයින් සිටවූවෝ ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස හා ගාමිණී දිසානායක යන නායකයෝය. එසේම යූ.ඇන්.පි.යේ අධිරාජ්‍ය ගැති හැව ඉවත් කරමින් ගමේ මිනිහාගේ පක්ෂයක් කිරීමට ද ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස සමත්විය. ඉන්දියාව සමඟ හොඳහිත අමාත්‍ය ගාමිණී දිසානායක තහවුරු කළේය. අද එම පක්ෂයේ බලය අල්ලාගෙන සිටින කොටසක් නැවත සූදානම් වන්නේ යූ.ඇන්.පි.ය පරණ තැනට තල්ලූ කිරීමට වාගේය. කොල්ලූපිටියේ චින්තනය යනු එයමදැයි කියන්න දන්නේ නැත. මේ මොහොතේ කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, ඉම්ටියාස් බාකීර් මාකර්ලා යූ.ඇන්.පි.යේ බලපෑමක් කළ හැකි නායකත්‍වයක සිටියා නම් ඔවුන් කොතරම් ආණ්ඩුව සමඟ විරසකව සිටියත් රට වෙනුවෙන් ප‍්‍රකාශයක් කරනු ඇත. මහ ලේකම් තිස්ස අත්තනායකට පමණක් එවැන්නක් තනිව කළ නොහැකිය. මේ වන විට යූ.ඇන්.පි.ය ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂය තරම් වත් ශී‍්‍ර ලංකාවට හිතවත් කමක් නැති තැනට තල්ලූවෙමින් පවතී. එය එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ වරදක් නිසා නොවන බව නොදන්නා කෙනෙක් නැත. ඇයි එහෙම කියන්නෙ. මේ ඊයේ පෙරේදා ඉන්දියානු කොංග‍්‍රස් ආණ්ඩුවේ අමාත්‍ය පුනාම් මුකර්ජි ලෝක් සභාවේ දී කීවේ කුමක් ද ?  ඔහු කීවේ රටක් ඉලක්ක කර ඉදිරිපත් කරන මෙවන් යෝජනාවකට සහාය දැක්වීම ඉන්දියාවේ ස්ථාවරය නොවන බවය. ශී‍්‍ර ලංකාව තුළ මේ ස්ථාවරය නිවැරදිව සඳහන් කළේ විදේශ සේවා ප‍්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරාය. මෙහි දී විපක්ෂයේ පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගත් ස්ථාවරය වුවද නිවැරදිය. ඔවුහු ඇමරිකානු යෝජනාවට විරුද්ධය. එසේම ආණ්ඩුවේ වැඩද අනුමත කරන්නේ නැත. මේ නිසා ඇමරිකානු යෝජනාවට ජ.වි.පෙ. හා ටිල්වින් සහෝදරයා ගාවා ගැනීම තර්කානුකූල නොවන මඩ ප‍්‍රහාරයකි. දැන් මේ ආණ්ඩුවේ සමහරු එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ඇමරිකාවට ප‍්‍රතිපත්තිමය නොවන විරෝධයක් ගොඩ නඟමින් සිටිති. මෙවන් විරෝධතා හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ඇමරිකා හා බටහිර විරෝධය හමුවේ හෙට දවසේ රට නතර වන්නේ කොතැනද කියාවත් අපට වැටහීමක් නැත. ඇමරිකන් භාණ්ඩ තහනමකට ජනතාව පෙළඹවීම හාස්‍ය ජනකය. ඉන් ඇමරිකාවට සිදුවන පාඩුවක් නැත. අදත් මේ රටේ අපනයන ආදායමෙන් සියයට 65ක් ලැබෙන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලිනි. වත්මන් යූ.ඇන්.පි.යේ දේශපාලනය මෙන්ම මේ දේශපාලන අන්තවාදය ද හෙළාදැකිය යුතුය. අදත් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර කීර්තියක් හිමිකර ගෙන සිටින්නේ ඇස්.ඩබ්.ආර්.ඞී. හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන ගිය පැහැදිලි නොබැඳි පිළිවෙත නිසාය. එක්සත් ජාතික පක්ෂයේ ඩඞ්ලි සේනානායක යුගයද ඊට දායක විය. එවන් ගෞරවයක් රටට හිමිකර දුන් බණ්ඩාරනායකවරුන් බිහිකළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුවේ න්‍යෂ්ටිය වුවද එහි සමහර වත්මන් නායකයන් අද අඩපණ වෙලා වාගේය. ඒ කාට ඇන්නවීමටදැයි කියන්න දන්නේ නැත. රටට ඇනෙන කොට කාටත් ඇනෙන බව දැනගැනීම වැදගත්ය. මේ ආණ්ඩුවේ ඇමතිවරයකු වන අනුර පි‍්‍රයදර්ශන යාපාගේ වියට්නාම් සංචාරයේ දී එරට අගමැතිවරයාගෙන් ඔහු වැදගත් ප‍්‍රශ්නයක් ඇසීය. ”එදා ඇමරිකාව බෝම්බ දමා ඔබේ රට විනාශ කළා. ආක‍්‍රමණයත් කළා. එහෙත් ඇයි ඔබලා ඇමරිකාව සමඟ මේ තරම් සමීප සම්බන්ධතා පවත්වන්නේ ”අනුර ඇමතිවරයා මේ ප‍්‍රශ්න ඇසුවේ කොමියුනිස්ට් වියට්නාමයේ අගමැතිවරයාගෙනි. ඔහුගේ පිළිතුර වූයේ ”ඒවා දැන් අතීතයට අයත් කාරණා පමණයි. අපට  ඕනෑ අපේ රට ඒ අලූමතින් ශක්තිමත් රාජ්‍යයක් කරගැනීමටයි. ඒ සඳහා ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල ආධාර අපට අවශ්‍යයි.” වියට්නාම් අගමැතිවරයාගේ පිළිතුර විය. ඒ වන විට එම වසරේ වියට්නාමය ලබාගෙන තිබූ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල විදේශ ආයෝජනය ඇ.ඩො. බිලියන 8කි. (මිලියන 8000) අපට මෙතෙක් වසරකට ලැබී තිබෙන වැඩිම විදේශ ආයෝජනය ඇ.ඩො. මිලියන 750කි. එයද පසුගිය වසරේය. ආණ්ඩුවක් ලෙස මේ හැම කාරණයක් ගැනම කල්පනා කළ යුතුය. එහෙත් අප ඇමරිකන් ගැත්තන් විය යුතු යැයිද, නිහඬ විය යුතු යැයිද මින් අදහස් කරන්නේ නැත. එහෙත් කිරි කෑවත් සිරිත්තමට යැයි රුහුණේ ප‍්‍රකට කියමනක් තිබේ. එය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නොදන්නවා නොවේ. අප අද සිටින්නේ වමේත් දකුණේත් සහාය ලබාගෙන රට ගොඩනඟා ගත යුතු තැනකය. එසේ නොමැතිව හැම හත් ඉලව්වටම අධිරාජ්‍යවාදයට සාප කරමින්, සියල්ල ඔවුන්ගේ ගිණුමට තල්ලූකරමින් ගෝලීය ජාත්‍යන්තර අවකාශයක කොන්වන රටක් ලෙස නොවේ. සමහර අයට මේ අර්බුදය තුළ ඔවුනට ආවේණික වූ දේශපාලන න්‍යාය පත‍්‍ර තිබිය හැකිය. අද මහින්ද වාදීන් හෙට ඔහු තනිකර තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කැපවිය හැකිය. දැන් සිට ම ඒ සඳහා පිඹුරුපත් සැකසෙනවාදැයි කියන්න දන්නේ නැත. උමතු ඇමරිකානු විරෝධය දැනුවත්ව හෝ නොදැනුවත්ව ජනාධිපති මහින්ද අනාගතේ දිනක හේග් නුවරට තල්ලූ කිරීමක් වීමටත් බැරි නැත. එහෙත් දරුස්මාන් වාර්තාව පිළිගත් බටහිර ජාත්‍යන්තරය උගත් පාඩම් කොමිසම පිළිගන්නා තැනට ගෙන ඒම ජනාධිපති මහින්ද රාජපක්‍ෂත්, රටත් ලැබූ ජයග‍්‍රහණයකි. ඒ නිසා මේ යකා හිතන තරම් කළු නැත.  උගත් පාඩම් කොමිසමේ නිර්දේශවල අවංකවම කි‍්‍රයාත්මක කළ හැකි වන්නේ නම් සත්‍ය වශයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යුද්ධය පමණක් නොව සාමය ද ජයගත් කීර්තිමත් නායකයෙකු ලෙස මෙරට පමණක් නොව ජාත්‍යන්තරයට ද එක්වනු ඇත. එසේ වන්නේ නම් ලබන 23 වැනිදා කුමක් වුවද අපට කමක් නැත. එදා දකුණු අපි‍්‍රකානු සිවිල් යුද්ධය අවසානේ ”ක්රූට්” කොමිසමේ යෝජනා කි‍්‍රයාත්මක කරමින් නෙල්සන් මැන්ඩෙලා ගිය මාවත ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත.
වසන්තප‍්‍රිය රාමනායක
රොබට්  ඕ බ්ලෙක් ඉන්දියා විදේශ ඇමැති ක‍්‍රිෂ්ණා