(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)

අලුත් අවුරුද්ද, ආර්ථික තත්ත්වය, කසළ ප්‍රශ්නය සහ මැයි දිනයට ඇති සූදානම යනාදී කරුණු සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් එළිදැක්වෙයි.

මෙතන කිසිම ස්වභාවික විපතක් නැහැ. මේ කඩා වැටුණේ ස්වභාවයෙන්ම ගොඩනැගුණු පස් කන්දක් නෙමෙයි. ආණ්ඩුවේ බලධාරීන් විසින් නිසිලෙස කළමනාකරණය නොකිරීම නිසා සහ නිසි කලට නිසි තීන්දු නොගැනීම නිසයි මේ කුණු කන්ද කඩා වැටුණේ. කුණු කඳු ස්වභාවයෙන් ඇති වූ රටවල් ගැන මම නම් අසා නැහැ.

 

ප්‍රශ්නය:- අලුත් අවුරුද්දත් උදාවුණා. කොහොමද අවුරුදු?
පිළිතුර:- ජනතාව දැඩි පීඩාවකට පත්වුණු අවුරුද්දක් හැටියටයි අපි අලුත් අවුරුද්ද දකින්නේ. වෙනද නම් ජනතාව අවුරුදු කෑවා. හැබැයි මෙදාපාර අවුරුද්ද ජනතාව කෑවා. ජනතාවට අවුරුදු සමරන්න තරම් සරුසාර පසුබිමක් තිබුණේ නැහැ. එක පැත්තකින් බදු මත බදු වැදිලා ආදායම් අඩු වෙලා. තව පැත්තකින් රුපියල පිරිහිලා වියදම වැඩි වෙලා. මේ ඔක්කොටම වඩා ආණ්ඩුවේ දැඩි නොසැලකිල්ල නිසා සිංහල අලුත් අවුරුද්ද උදා වුණේ මීතොටමුල්ලේ සමූල ඝාතනය සමගින්. එනිසා මේ වසර අසුබ පෙරනිමිති සමග ඇරැඹුණු වසරක්.


ප්‍රශ්නය:- ආර්ථික ප්‍රශ්න ගැන ඔබ කිව්වට රටේ ආර්ථිකය දැන් හරි තැනට පැමිණ ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබුණා. එහෙම නම් ඔබ අසුබ තත්ත්වයක් ගැන කියන්නේ කොහොමද?
පිළිතුර:- අවාසනාවට රටේ ආර්ථිකය ගැන ජනාධිපතිතුමා නිසිලෙස දැනුම්වත් කර නොමැති බව එතුමාගේ ප්‍රකාශවලින් පේනවා. එතුමා රට බාරගන්නා විට ඩොලර් බිලියන 8.1ක් වූවිදේශ වත්කම් අද වනවිට ඩොලර් බිලියන පහක් දක්වා කඩා වැටිලා. මේක පිරිහීමක්. මේ ගැන එතුමා සතුටු වෙන්නේ කොහොමද? මේ මුදල මාස හතරකට ප්‍රමාණවත් ආනයනවලට පමණයි. තව පැත්තකින් රුපියල ශීඝ්‍රයෙන් පිරිහෙනවා. විරැකියාව ඉහළ යමින් පවතිනවා. බදු පිට බදු ගැසීම නිසා අත්‍යවශ්‍ය ආහාර පවා මිලදී ගත නොහැකි තත්ත්වයක් ඇති වෙලා. අපි එතුමට බාර දුන්නේ අටුකොටු පිරවූ වී ගබඩා කරන්න ඉඩ මදි වී මත්තල ගුවන් තොටුපොළත් වී වලින් පුරවන්න වුණු රටක්. ඒත් අද සහල් ආනයනය කරන්න වෙලා. මේ පසුබිම යටතේ රටේ ආර්ථිකය ස්ථාවරයි කියා එතුමා කියනවා නම් ඒක මහ පුදුම තත්ත්වයක්.


ප්‍රශ්නය:- අටුකොටු පිරවූ රටක් ගැන ඔබ කිව්වත් මහා ණය කන්දක් ගොඩගැසූ රටක් බාරගත් බවයි ආණ්ඩුව කියන්නේ. සියලු ප්‍රශ්න ඒ නිසා කියා ආණ්ඩුව කියන කතාවේ ඇත්තක් නැද්ද?
පිළිතුර:- කිසිසේත්ම පදනමක් නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තය රට බාරගන්න විට නම් ලොකු ණය බරක් තිබුණා. 2005 දී මහින්ද මහත්තයා රට බාරගන්න විට සියයට 103ක් වූ ණය බර එතුමා රට ආපසු මේ අයට බාරදෙන විට සියයට 72 දක්වා පහත වැටී තිබුණා. මේ ආණ්ඩුව ගෙවුණු වසර දෙකේදී එය සියයට 77 දක්වා ඉහළ නංවා තිබෙනවා. යුද්ධයෙන් වැනසුනු රටේ යටිතල පහසුකම් සකස් කළේ රාජපක්‍ෂ යුගයේ ණයවලින්. අධිවේගී මාර්ග හඳුන්වා දුන්නා. ගමේ පාරවල් කොන්ක්‍රීට් වෙද්දී නගරයේ පාරවල් කාපට් කළා. රටට විදුලිය, ජලය සැපයුවා, මහා වාරි ව්‍යාපෘති කළා. දැවැන්ත බලාගාර, වරාය ආදී ව්‍යාපෘති ඇති කළා. හැබැයි ගිය වසර දෙකේ ණය අරගෙන කරලා තිබෙන්නේ වර්තන වියදම් පමණයි.

ඇමැතිවරුන්ට සැප වාහන ගේන්න මේ ණය යොදවා තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10000කින් වැඩි කිරීම මේ ආණ්ඩුව ගත් මෝඩ තීරණයක්. වාර්ෂිකව රුපියල් බිලියන 15ක් මේ සඳහා අවශ්‍යයි. මේ මුදල වැය කළාට රටේ නිෂ්පාදනයට කිසිවක් එකතු වෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බඩු මිල ඉහළ ගහින් වැටුප් වැඩිවීමේ වාසියත් අහිමි වෙලා. වැටුප් වැඩි නොවූ පෞද්ගලික අංශ සේවකයන්ට දැවැන්ත උද්ධමනයකට මුහුණ දෙන්න සිදු වෙලා. අපි බාර දුන්නේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක්. එහෙත් අවාසනාවට 2015 ජනවාරි 29 ඉදිරිපත් කළ අයවැය මැතිවරණය ඉලක්ක කර තිබුණා. ඒ අය වැය ක්‍රියාත්මක කළොත් ආර්ථිකය කඩා වැටෙන බව ආයෝජකයන් දැක්කා. ඒ නිසා කොටස් වෙළෙඳපොළේ සිටි වක්‍ර ආයෝජකයනුත් කර්මාන්ත අරඹා සිටි වක්‍ර ආයෝජකයනුත් තමන්ගේ ආයෝජන අරගෙන ලංකාවෙන් යන්න පටන් ගත්තා මේ නිසා කොටස් වෙළෙඳ පොළ කඩා වැටුණා. සෘජු ආයෝජන පහළ ගියා. වරාය නගර ව්‍යාපෘතිය ඒක පාර්ශිකව නතර කළා. ලෝකයේ ලොකුම ආයෝජකයාට ලංකාව සලකන්නේ මෙහෙම නම් පුංචි අපේ ආයෝජන ලංකාවේදී සුරක්‍ෂිත නෑ කියා අනෙක් ආයෝජකයන් සිතුවා. ඔවුන්ගේ පැමිණීම නතර කළා. ආර්ථිකය කඩා වැටුණේ මේවා නිසායි.
පසුව පලිගැනීමේ චේතනාවෙන් පරිපාලන නිලධාරින් එක්දහස් ගණනක් එෆ්.සී.අයි.ඩී ගෙනිච්චා. මේ සමග රාජ්‍ය යාන්ත්‍රණය තීන්දු ගන්න බය වුණා. එනිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඉද්ද ගැසුවා වගේ නතර වුණා. ලංකාව හදිසියේම කඩා වැටුණේ මේවා නිසයි. අපි බාර දුන්නේ හොඳින් දිවූ ආර්ථිකයක්. එය කඩා දැම්මේ මේ ආණ්ඩුව. මේ අය කලින් ආණ්ඩුවට බනිනවා හැරෙන්න කරපු දෙයක් නැහැ.


ප්‍රශ්නය:- ඔබ මුලින් සඳහන් කළා සමූල ඝාතනයක් ගැන. ස්වභාවික විපතක් පවා සමූල ඝාතනයක් ලෙස දකින තත්ත්වයට ඔබලා පත්වෙලාද?
පිළිතුර:- මෙතන කිසිම ස්වභාවික විපතක් නැහැ. මේ කඩා වැටුණේ ස්වභාවයෙන්ම ගොඩනැගුණු පස් කන්දක් නෙමෙයි. ආණ්ඩුවේ බලධාරීන් විසින් නිසිලෙස කළමනාකරණය නොකිරීම නිසා සහ නිසි කලට නිසි තීන්දු නොගැනීම නිසයි මේ කුණු කන්ද කඩා වැටුණේ. කුණු කඳු ස්වභාවයෙන් ඇති වූ රටවල් ගැන මම නම් අසා නැහැ.

කොළඹ මහ නගර සභාව 1958 සිට අඛණ්ඩව පාලනය කර තිබෙන්නේ එ.ජා.ප.යයි එහෙත් මේ අය කසළ කළමනාකරණය ජාවාරමක් කර ගත්තා මිස ඒකට විසඳුමක් සෙව්වේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස බ්ලූ මැන්ඩල්වල දැවැන්ත කුණු කන්දක් ගොඩනැගුණා. මෙහි අවදානම දැක වාසුදේව නානායක්කාර මහත්මයා අධිකරණයට ගියා. ඒ අවස්ථාවේ කොළඹ මහ නගර සභාව අපූරු උත්තරයක් දී තිබුණා. බ්ලූ මැන්ඩල් කුණු කන්දේ සහ කොළඹ එකතුවන කුණු සියල්ල දහනය කිරීමට සැලසුම් කර ඇති බව එයින් කිය වී තිබුණා. එය ක්‍රියාත්මක කිරීමට මාස කීපයක් යන නිසා ඒ වන තෙක් මීතොටමුල්ලට කසළ බැහැර කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තාවකාලිකව ඒ අවසරය දුන්නා. එහෙත් කසළ දහනය කිරීමේ ව්‍යාපෘතිය කවදාවත් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ සමඟ මීතොටමුල්ලට කුණු දැමීම සදාකාලික වුණා. එහෙම නම් මේක ස්වභාවික විපතක් වෙන්නේ කොහොමද?


ප්‍රශ්නය:- ගිය ආණ්ඩුව දස වසරක් රට පාලනය කළා. එතකොට මේවා දැක්කේ නැද්ද?
පිළිතුර:- දැක්කා. 2010 දී ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා නාගරික සංවර්ධන විෂය භාර ලේකම්වරයා වන විට මීතොටමුල්ල කුණු කන්ද දැවැන්ත කන්දක් බවට පත්වෙමින් තිබුණා. මේ ඉඩම අයිතිය තිබුණෙත් නාගරික සංවර්ධන අධිකාරියට. මේ කසළ කන්ද වරක් කඩා වැටුණා. එය නිරීක්‍ෂණයට ගිය ගෝඨාභය රාජපක්‍ෂ යුද හමුදාව යොදා වටේ ඇළ මාර්ග කපා කුණු කන්දේ එකතුවන ජලය එයින් ඉවත් වන ක්‍රමයක් සකස් කළා.

එනිසා කුණු කන්දේ බර කඩා වැටෙන මට්ටමෙන් ක්‍ෂණිකව අඩු වෙනවා. ඒ වගේම කුණු කන්ද මීටර් 30 කට වඩා ඉහළ යන අවස්ථාවලදී එය පැතලි කිරීමට කටයුතු කළා. මේ නිසා පරිසර හිතකාමී කසළ කළමනාකරණයක් නොවූවත්  එය බරපතළ ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් නඩත්තු කළා.


ප්‍රශ්නය:- ඒවා තාවකාලිකයි. මම අසන්නේ ස්ථිර විසඳුමක් නොදුන්නේ ඇයි කියලයි?
පිළිතුර:- ස්ථිර විසඳුම්වලට ගියා. 2011 දී ලෝක බැංකු ආධාර යටතේ ඩොලර් මිලියන 107 ක් ලබාගෙන කොළඹ කසළ කළමනාකරණයට ප්‍රශස්තම විසඳුම සෙවීමට විශේෂඥ අධ්‍යයනයක් ආරම්භ කළා. මෙහි වාර්තාව ආවේ වසර 2013 දී. එහි නිර්දේශය වුණේ මීතොටමුල්ලේ කසළ හුවමාරු මධ්‍යස්ථානයක් ඉදිකර එතැන් සිට දුම්රියෙන් පුත්තලම වනාතවිල්ලුව අරුක්කාරු ප්‍රදේශය දක්වා කසළ ගෙනයාමයි. හුණුගල් හෑරීමෙන් සෑදුනු දැවැන්ත පතල් මේ ප්‍රදේශයේ තිබෙනවා. මේ පතල්වල සනීපාරක්‍ෂක කසළ රඳවන අයුරින් කසළ තැන්පත් කිරීමයි විසඳුම ලෙස යෝජනා වී තිබුණේ. ගෝඨාභය රාජපක්‍ෂ ගෙනා මේ විසඳුම  ප්‍රශස්තම විසඳුමයි. ක්‍ෂණිකව කසළ කඳු එයින් ඉවත් වෙනවා. පොළව හාරන්න දෙයක් නැහැ. පොළව හෑරීමෙන් ඇතිව තිබෙන පරිසර ප්‍රශ්නයකටත් මෙයින් විසඳුම් ලැබෙනවා. මේ ප්‍රදේශය ශුෂ්ක ප්‍රදේශයක්. කිසිදු පරිසර හානියකට ඉඩ නොතබා මේ ව්‍යාපෘති කරන්න කටයුතු කර තිබුණා.
ඒ වගේම මේ කසළවලින් නිකුත් වන මීතේන් වායුව ගෑස් ලෙස අලෙවි කිරීමට හෝ විදුලිය නිපදවීමට යොදාගන්න පුළුවන්. ඒ නිසා මේ සඳහා යොදාගත හැකි ප්‍රශස්ත විසඳුමක් තමයි 2013 දී ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තේ. එහෙත් ආණ්ඩු පෙරළියෙන් පස්සේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව බාධා මතු කළා. මේවා වුණේ දේශපාලන වුවමනාවකට. මේ දේශපාලකයන්ට ඕන වුණේ කසළ ප්‍රශ්නය විසඳුවේ මමයි කියා ඒ කීර්තිය තමන්ට අයිති කර ගන්නයි. ගෝඨාභය රාජපක්‍ෂට මේ කීර්තිය යන නිසා මේ ව්‍යාපෘතිය කඩා කප්පල් කළ බව තාර්කිකව බලන විට පේනවා.
මිතොටමුල්ල කුණු කන්ද නායයාමේ අවදානමක ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා. තෙත්කලාපයක දැවැන්ත කසළ කන්දක් නඩත්තු කිරීමෙන් ද වැඩි පරිසර හානියක් වෙන්නේ නැති නම් ශුෂ්ක කලාපයේ දැනටමත් පොළොවේ තිබෙන හුණුගල් පතල්වල කසළ පිරවීමෙන්ද වැඩි පරිසර හානියක් වෙන්නේ කියන කරුණ ගැන සන්සන්දනාත්මක අධ්‍යයනයක් කර තිබේද කියා මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. 2016 පෙබරවාරි 8 වැනිදා මේ ප්‍රශ්නයට පිළිතුරු දුන් මෙගාපොලිස් නියෝජ්‍ය ඇමැති කිව්වේ එවැනි අධ්‍යයනයක් කර තිබුණේ නැහැ කියලයි. මීතොටමුල්ලේ කසළ ඇක්කාරු ප්‍රදේශයට ගෙනයාමෙන් යම් පරිසර ප්‍රශ්නයක් ඇති වුවත් එය දැනට තිබෙන පරිසර ප්‍රශ්නයෙන් දාසෙන් එකක්වත් නෑ කියා ගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවකදී මෙගාපොලිස් ඇමැති කියා තිබුණා. එහෙම නම් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළානම් අද මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේකට පැහැදිලිව මේ ආණ්ඩුව වග කියන්න ඕන.


ප්‍රශ්නය:- කොළඹ ලස්සන කරන්න කියා කොළඹ කුණු මීතොටමුල්ලට ගොඩගැසුවේ ගෝඨාභයගේ අනින් නම් මෙහි වගඋත්තරකරු ඔහු නොවේද?
පිළිතුර:- කිසිසේත්ම නැහැ. මීතොටමුල්ලට කුණු ගිය හැටි මම මුලින් පැහැදිලි කළා. කොළඹින් මෙතනට ගියකුණු එදා ප්‍රශ්නයක් නොවුණේ කුණු කන්ද නිසිලෙස නඩත්තු කළ නිසයි. එවැනි දෙයක් පසුගිය වසර දෙක හමාරේ නොවුණු නිසා කඩා වැටුණා. අරුක්කාරු කීර්තිය බෙදා ගැනීමට අමතරව කොමිස් බෙදා ගැනීමේ ප්‍රශ්නයක් ගැනත් දැන් කතා වෙනවා. මේ ගැන මම දන්නෙ නැහැ. හැබැයි සමාජ චෝදනාවක් ඒ ගැන තිබෙනවා.


ප්‍රශ්නය:- ගිය ආණ්ඩුව කාලේ කසළ කළමනාකරණයට විදේශ සමාගම් ආවත් ඒවාට ඉඩ දුන්නේ නැහැ නේද? ඒවාට ඉඩ දුන්නා නම් අද මේ ප්‍රශ්න නැහැ?
පිළිතුර:- මේවා ගැන අධ්‍යයනය කර ලබාගත් විසඳුම වුණේ කසළ අරුක්කාරු ගෙනයාමයි. විවිධ යෝජනා ආවා. සියල්ල අවසානයේ ගොනුවුණේ අරුක්කාරු විසඳුමටයි. එය ක්‍රියාත්මක කළා නම් ඉදිරි වසර පනහකට මේ කසළ ප්‍රශ්න මතු වන්නේ නැහැ. කවුරු හෝ කියනවා නම් මේ යෝජනාවට වඩා ඔවුන් ගෙනා යෝජනාව ප්‍රශස්තයි. කියා අපි ලෑස්තියි ඒ ගැන වාද කරන්න.


ප්‍රශ්නය:- අද කසළ බැහැර කිරීම ප්‍රශ්නයක් වී ඇත්තේ ඔබලා ජනතාව උසිගන්වා වාසි ගන්න හදන නිසා නේද?
පිළිතුර:- ඒක බොරු කතාවක්. අපි ඉන්නේ උද්ඝෝෂණවල ඉදිරියේ. ජනතාව ඉහළම මනාපයෙන් අපි පාර්ලිමේන්තු යැව්වේ ජනතාවගේ ප්‍රශ්නවලදී ඉදිරියට එන්නයි. එනිසා ජනතා ප්‍රශ්නවලදී අපි නායකත්වය ගන්නවා. ජනතාවට පිළිගත හැකි විසඳුමක් දීමට ආණ්ඩුව අසමත් වනතාක් ජනතාව මහ පාරේ උද්ඝෝෂණ කිරීම නවත්වන්න කාටවත්ම බෑ.


ප්‍රශ්නය:- මැයි දිනයක් ළඟ එනවා. ඒකට ඔබලාගේ ගෝල්ෆෝස් සූදානම කොහොමද?
පිළිතුර:- ජනතාවට මේ ආණ්ඩුව තිත්ත වෙලා. එහෙත්  මැතිවරණ කල් දමමින් සිටින නිසා ජනතාවට අප්‍රසාදය පළ කරගන්න ක්‍රමයක් නැහැ. මේ පසුබිම යටතේ ජනතාවගේ අප්‍රසාදය පළකරන්න වේදිකාවක්  බවට මැයි රැලිය පත් කරන්න අපි ලෑස්තියි. ඒ නිසා තමයි ලංකාවෙ තිබෙන දැවැන්තම පිට්ටනිය වන ගාලු මුවදොර පිට්ටනිය මෙදා මැයි රැලියට අපි ඉල්ල ගත්තේ.


ප්‍රශ්නය:- හැබැයි ගැටඹේ නොගිහින් ගෝල්ෆේස් යන අයට විනය පරීක්‍ෂණ තියන බව එ.ජ.නි.ස. මහ ලේකම් කිව්වා නේද?
පිළිතුර:- මන්ත්‍රීවරු ඇහුන්කන් දෙන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ අයට නෙමෙයි. ජනතාවටයි. ජනතාව කියන්නේ ගෝල්ෆේස් ගිහින් මේ ආණ්ඩුවට විරෝධය දක්වන්න කියලයි. මේ අයට විනය පරීක්‍ෂණ පවත්වා පක්‍ෂයෙන් වීසි කළොත් ඔවුන් වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවටයි. ඒ නිසා අපේ කිසිම මන්ත්‍රීවරයෙක් ඔය විනය පරීක්‍ෂණවලට බය වෙන්නේ නැහැ. තමන්ගේ මන්ත්‍රීධුරය අහිමිවීමේ අවදානම අරගෙන වුවත් ඔවුන් ජනතා සටනේ ඉදිරියෙන්ම හිටගන්න ලෑස්තියි.